Wednesday, April 20, 2016

රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට අධිගෘහිත මැලේරියා මදුරුවෝ


ජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් පසුගිය දා අපූරු අවවාදයක් ලාංකිකයන් අමතා නිකුත් කලේය. ඒ මෙරට රැකියාව පිණිස ආ ඉන්දීය ජාතිකයෙක් අසනීපව රෝහල්ගත වූ පසු ඔහු මැලේරියා රෝගියෙක් බව අනාවරණය වූ බවට ප්‍රවෘත්තියක් වාර්තා වීමත් සමගය. ඉන්දියාව මැලේරියා රෝගය අධික ලෙස තිබෙන රටක් බවත්, එම නිසා ඉන්දියානුවන්ගෙන් එම රෝගය බෝවීමේ අවදානමක් තිබෙන නිසා තම ප්‍රදේශයේ ඉන්දියානු ජාතික‍යින් සිටින්නේ නම් ඔවුන් කෙරෙහි සෝදිසියෙන් ඉන්නා ලෙසත් වෛද්‍ය නලින්ද හේරත් ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ. ඉන්දියාව හා අත්සන් කිරීමට යෝජිත 'එට්කා' ගිවිසුම හා මැලේරියා රෝගය අතර සම්බන්ධයක් සංකල්පගත කරමින් හෙතෙම වැඩිදුරටත් අනතුරු හගවා තිබුණේ එම ගිවිසුම අත්සන් කිරීමට පෙර තත්වය මෙසේ නම් එය අත්සන් කිරීමෙන් පසු වැඩි වැඩියෙන් ඉන්දියානුවන් ලංකාවේ රැකියාවලට ඒමත් සමග එය ලංකාවේ සෞඛ්‍යයට බරපතල තර්ජනයක් වීමට ඉඩ තිබෙන බවයි.
වෛද්‍ය නලින්ද හේරත්ගේ මෙම ප්‍රකාශය අහම්බයක් හෝ හුදෙකලා උදාහරණයක් නොව පසුගිය කාලයේ එට්කා ගිවිසුම කරලියට ඒමත් සමග උද්ගත වූ ඊට විරෝධය පෑමේ ව්‍යාපාරයේ ගැබ්ව තිබෙන එක්තරා ජනප්‍රිය මනෝභාවයක් නිරූපණය කරන්නකි. අවලස්සන, අපිරිසිදු, කැත කුණු තවරාගත්, නූගත් ඉන්දියානුවා සහ එම ඉන්දියානුවාගෙන් තර්ජනයට ලක්වීමට නියමිත ඉන්දියානුවාට වඩා ශෝභමාන ලාංකිකයා. මේ එම ජනප්‍රිය මනෝභාවය තුල ගැබ්ව තිබෙන ප්‍රකට සංකල්ප රූපයකි. නලින්ද හේරත්ගේ ප්‍රකාශය හා සමාන්තරව යන ප්‍රකාශයක් කරමින් කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැති සම්මන්ත්‍රණයක දී අදහස් දැක්වූ ජනතා විමුක්ති‍ පෙරමුණු නායක අනුර දිසානායක කීවේ ඉන්දියාව උග්‍ර විරැකියාවෙන් හා දිලිදුකමින් පෙලෙන රටක් බවත් එම නිසා 'ඉන්න තැනයි, කන්න බුලත් විටයි, බොන්න කහට එකයි' දෙනවා නම් බුරුතු පිටින් ඉන්දියානුවන් ලංකාවට ඇදී එනු බවයි. නලින්ද හේරත්ගේ වගේම අනුර දිසානායකගේත් ප්‍රකාශ තුලින් දිවෙන යටිපෙල නම් ඉන්දියානුවා ලාංකිකයාට වඩා 'පහත් වර්ගයක' මිනිස් කොට්ටාශයක් ලෙස පින්තාරු කොට දැක්වීමේ අභිලාෂයයි. එවිට වැඩේ පහසුය. අපිරිසිදු පිටස්තර අනෙකාගේ තර්ජනයෙන් අපගේ 'ශෝභමාන පැවැත්ම' තර්ජනයට ලක්වූ විට එම පිටස්තරයාට එරෙහිව බල මුලු නොබදින්නේ කවරහුද?

කෙසේ වූවද ශෝභමානීත්වය හා අපිරිසිදුකම සාපේක්ෂය. 'වල්මත් වී හසරක් නුදුටිමි' යනු 1960 ගණන්වල මුල එදිරිවීර සරච්චන්ද්‍ර විසින් රචිත නවකථාවකි. යටත් විජිත යුගයේ ලංකාවේ ඉංග්‍රීසි භාෂාව දෛනික බස ලෙස වහරන මැද පංතික තරුණයෙක්ගේ ජීවිතය එම නවකථාවට විෂය වී තිබේ. එම තරුණයා (වික්ටර්) උසස් අධ්‍යාපනය හදාරනු පිණිස එංගලන්තයට යයි. ඔහු එංගලන්තයට යාත්‍රා කරන්නේ නැවෙනි. එක්තරා අවස්ථාවක නැවේ සිටිය දී සිරුරු කිස කරනු පිණිස හෙතෙම වැසිකිලියට යන අතර සුදු ජාතික සේවකයෙක් වැසිලිකිලිය ශුද්ධ කරමින් සිටිනු හෙතෙම දකී. ඔහු සුදු කම්කරුවාගෙන් ආචාරශීලී ලෙස විමසන්නේ 'තමා වැසිකිලිය භාවිතා කලාට කමක් නැද්ද' කියාය. සුදු කම්කරුවා ඔහු දෙස බලන්නේවත් නැතිව අප්‍රසාදයෙන් යුක්තව මෙසේ තෙපලයි. 'පාවිච්චි කලාට කමක් නැහැ - හැබැයි ගොහොදු කරන්න එපා'.

කම්කරුවා කීවේ මොකක්දැයි තේරුම් ගිය විට වික්ටර් කෝපාවිෂ්ට වේ. ආසියානුවන් වැසිකිලි නිසි ලෙස පාවිච්චි නොකරන බවටත්, ඔවුන් එය පාවිච්චි කලහොත් එය අපිරිසිදුව කාබාසීනියා වෙන බවටත් සුදු ජාතිකයින් තුල ආසියාතිකයන් ගැන ඒකාකෘතික (stereotyped) සංකල්ප රූපයක් තිබේ. සුදු කම්කරුවාගේ ඉහත කී ප්‍රකාශය වික්ටර් තුල වූ අභිමානයට ගැසූ අතුල් පහරකි. වෛද්‍යවරයෙක් වන වික්ටර් උසස් අධ්‍යාපනය සදහා එංගලන්තයට යන්නෙකි. වැසිලිකි සෝදන සුදු කම්කරුවාට ඒ කිසිවක් වැදගත් නැත. ඔහුට අනුව යමෙක් ආසියාතිකයෙක් නම් ඔහු කිලුට්ටෙකි. ගිය ගිය තැන ජරා කරන ඌරු මීයෙකි.

සමකාලීන යුරෝපය හා ඇමරිකාව තුල බුර බුරා නගින අන්ත දක්ෂිණාංශික/ නව-නාසිවාදී දේශපාලන ප්‍රවණතාවලට ඒ රටවල ජනයා ගොනු කරන තර්කනය සමන්විත වන්නේ මෙන්න මේ හා සමාන සංකල්පනයකිනි. දුප්පත්, අපිරිසිදු, මිථ්‍යා දෘෂ්ටික තුන්‍වැනි ලෝකයෙන් එන සංක්‍රමණිකයෝ අපිට හිමි රැකියා අල්ලාගෙන අපිට හිමි තැන් උදුරා ගන්නවා. එම 'ප්‍රශ්නයට' විසදුමක් ලෙස මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් වීමට සූදානම්ව සිටින කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ මෙක්සිකානුවන්ට ඇමරිකාවට ඒමට නොහැකි වන ලෙස ඇමරිකාව හා මෙක්සිකෝව අතර තාප්පයක් ගසන බවත් මුස්ලිම් ජාතිකයන්ට ඇමරිකානු වීසා දීම නතර කරන බවත්ය. ආර්ථික අර්බුදය තීව්‍ර වීමත් සමග ආසියාතිකයන්ට හා දුඹුරු හා කලු හම ඇත්තන්ට මහ මග දාමරිකකම් කරන සුදු ස්වෝත්තමවාදී කල්ලි යුරෝපයේ පැටවු ගසසන්නට වී තිබේ. පසුගිය දිනෙක ස්වීඩනයේ දුම්රියපොලකට කඩා වැදි එබදු කල්ලියක් දකින දකින සුදු නොවන පුද්ගලයින්ට පොලු වලින් පහර දීගෙන දීගෙන ගියේය. ග්‍රීසියේ 'රන් අරුණෝදය' නම් නව නාසිවාදී කල්ලිය එරට කඩ සාප්පු පීරමින්, ඒ කඩවල සේවය කරන අයගේ හැදුනුම්පත් පිරික්සමින්, සංක්‍රමණික කම්කරුවන් වේ නම් වට කරගෙන පහර දෙන සිදුවීමක දර්ශන මීට කාලයකට පෙර යූ ටියුබ් වෙබ් අඩවියේ වයිරල් ගියේය.

මේ නිරූපණය විසින් කරන්නේ වි‍දේශික අනෙකා අවමානුෂිකකරණය කිරීමකි. එනම් විදේශික අනෙකා මනුශ්‍යයෙක් නොව අපට කෙලවන්නට ආ කැරපොත්තෙකි. ඌරු මීයෙකි. පොලු වලින් තඩි බා එම උවදුර දුරු කල යුතු බවට වූ යෝජනාව සමාජයේ බලයක් බවට පත්වන්නේ සුදු ස්වෝත්තමවාදී කතිකාව විසින් එලෙස සංක්‍රමණිකයන් හා විදේශිකයන් පහත් වර්ගයක මිනිස් කොට්ටාශයක් ලෙස සාර්ථක ලෙස චිත්‍රණය කරනු ලැබෙන නිසාය. ලංකාවේ ලැබෙන වැටුපට වඩා ඉහල වැටුපක් අර්පණය කරනු ලැබුවහොත් වෛද්‍ය නලින්ද හේරත් අයත් ස්ථරයේ වෘත්තිකයන් ඇමරිකාව වැනි රටවල සේවය සදහා යාමට තිබෙන්නේ ඉහල සම්භාවිතාවක් බව අපි දනිමු. එලෙස සේවයට ගියහොත් ඩොනල්ඩ් ට්‍රම්ප් නලින්ද හේරත්ව වුව රූපණය කරනු ඇත්තේ ටයි කෝට් අදින වැදගත් දොස්තර මහත්තයෙක් ලෙස නොව ඇමරිකාවේ සමෘද්ධියට කෙලවන්නට ආ, වැසිකිලි ගොහොදු කරන, තුන්වන ලෝකයේ කැරපොත්තෙක් ලෙසය. ශෝභමානීත්වයේ හා අපවිත්‍රත්වයේ සාපේක්ෂකත්වය එසේය.

දැන් එට්කා විරෝධී ව්‍යාපාරය තුල වෛද්‍ය නලින්ද හේරත් හා අනුර දිසානායක ආදීහු ඉන්දියානුවා ගැන මවන්නට වෑයම් කරන චිත්‍රය සමීප වන්නේ කවරකටද? ඉන්දියානුවා ගැන මේ චිත්‍රය සිංහල ජනමනසට ආගන්තුක වූවක් නොවේ. කල්ලතෝනීන් හා වතු කම්කරුවන් පිලිබද වූ ඓතිහාසික අවමානාත්මක ජනප්‍රිය ආකල්ප මෙන්ම 1920 ගණන්වල වරාය ආදී තැන්වල වැඩ කල මලයාලි හා දකුණු ඉන්දීය ශ්‍රමිකයන් ගැන ඒ.ඊ. ගුණසිංහ ආදීන් පැතිර වූ ස්වෝත්තමවාදී පීඩක ආකල්පයද අයිති වන්නේ මේ ප්‍රවර්ගයටමය. ඒ.ඊ. ගුණසිංහ මලයාලි කම්කරුවන් සිංහල කම්කරුවාගේ සතුරන් ලෙස ප්‍රචාරය කරමින් සිංහල කම්කරුවන් ජාතිවාදීව සංවිධානය කරන විට ඊට එරෙහිව මලයාලි හා සිංහල කම්කරුවන්ගේ එක්සත්කම වෙනුවෙන් ඒ යුගයේ පෙනී සිටියේ මුල්කාලීන සමසමාජ පක්ෂයයි. එහෙත් රෝහණ විජේවීරට සුදු වැවිලිකරුවන්ගේ තේ වතුවල කඹුරන දෙමළ වතු කම්කරුවන් පෙනී ගියේ ඉන්දීය ආධිපත්‍යය මෙරට තහවුරු කිරීමට ආධාර කරන කුලී භට පිරිසක් ලෙසය. අවලස්සන ඉන්දියානුවා ගැන වූ මෙම ගර්හාසහගත ආකල්පය සාම්ප්‍රදායිකව සිංහල සමාජයේ පවතින දෙමළ විරෝධය ('පර දෙමලු') සමග ඉතාමත් කිට්ටුවන්ත ලෙස සම්බන්ධය. එට්කා ගිවිසුමට එරෙහි සිය ව්‍යාපාරයේ දී නලින්ද හේරත් හා අනුර දිසානායක වැන්නන් ආමන්ත්‍රණය කරන්නේ සිංහල සමාජයේ තිබෙන මෙන්න මේ සාම්ප්‍රදායික ඉන්දීය (දෙමළ) විරෝධී මනෝභාවයටය. එය ඉතා ඉක්මනින් විසිල් හා අත්පොලසන් ලැබෙන ප්‍රවේශයක් බව ඔවුහු වටහා ගෙන සිටිති.

කෙසේ වූවද 'දුප්පත් ඉන්දියාව' හා 'ශෝභමාන අපි' ගැන අදින මේ චිත්‍රය ද අතිශයෝක්තියෙන් යුක්ත වූවකි. දොස්තර මහත්වරුන්ගේ ජීවිත දිලිදු ඉන්දියානුවන්ගේ ජීවිතවලට වඩා ලස්සන විය හැකි වුවද ඉන්දියානු දිලින්දන්ගේ හා ලාංකික දිලින්දන්ගේ ජීවන යථාර්තයන් අතර එතරම් විශාල පරතරයක් නොමැත.ලෝ ප්‍රකට වික්ටෝරියා සීක්‍රට්ස් ආදී බහුජාතික සන්නාම වෙනුවෙන් තමිල්නාඩුවේ වි‍ශේෂ ආර්ථික කලාපවල වහල් කොන්දේසි යටතේ ඇදුම් මසන දකුණු ඉන්දීය ගාමන්ට් ශ්‍රමික ගැහැණු සහ දවස පුරා හිටගෙන මහන යන්ත්‍ර දුවවන කෑගල්ල පොලිටෙක්ස් ආදී කම්හල් පිහිටා තිබෙන ලංකාවේ නිදහස් වෙළද කලාපවල කඹුරන ලංකාවේ ගාමන්ට් ශ්‍රමික ගැහැණු අතර තිබෙන වෙනස කුමක්ද? ප්‍රාග්ධනයට නිදහසේ සැරිසරන්නට ඉඩ දෙන ඊනියා නිදහස් ගිවිසුම් තුල තමිල්නාඩුවේ ගාමන්ට් කම්කරුවන් ගොදුරු වී සිටින සූරාකෑමටමය ලංකාවේ ගාමන්ට් කම්කරු තරුණියන් ද ගොදුරු වී සිටින්නේ. ප්‍රභූ තන්ත්‍රයේ ව්‍යාපාරික අභිලාෂ හා ඒ හා සන්ධානගත වූ රාජ්‍ය බලය විසින් ඉඩම් උදුරා ගැනීම නිසා අසරණභාවයට පත් මධ්‍යම ඉන්දියාවේ ඉඩම් අහිමි දුගීන් හා පානම ඉඩම් අසන්තක කරනු ලැබූ දුප්පත් සිංහලයන් අතර තිබෙන මහා වෙනස කුමක්ද? අධ්‍යාපනය සදහා කරන රාජ්‍ය වියදම් කපා දැමීමට එරෙහිව වීදි බසින හයිද්‍රාබාදයේ හෝ දිල්ලියේ සාමාන්‍ය පංතියේ විශ්ව විද්‍යාල සිසුන් පොලිසියේ සාහසික පහර දීම් මැද කරන අරගලය හා අධ්‍යාපනය වෙලදපොලකරණයට එරෙහිව වීදි බසින, පොලිසියෙන් බැටන් පොලු පහර කන ලංකාවේ ගම්බද විශ්ව විද්‍යාල සිසුන් කරන අරගලය අතර හරයාත්මක වෙනසක් වේද? හමුදාව විසින් අත්පත් කරගනු ලැබූ උතුරු පළාතේ සාමාන්‍ය ජනයා මුහුණ දෙන දෛනික පීඩාව හා ආධිපත්‍යය කාශ්මීරයේ හෝ නාගලන්තයේ හෝ ඇසෑමයේ සාමාන්‍ය ජනයා මුහුණ දෙන පීඩාවෙන් වෙනස් වන්නේ කෙසේද?

ඉන්දියාවේ පීඩිතයන්, බැහැර කරනු ලැබූවන් හා අවවරප්‍රසාදිතයන්ගේ ජීවිතවලට වඩා ලංකාවේ පීඩිතයන්, බැහැර කරනු ලැබූවන් හා අවවරප්‍රසාදිතයන්ගේ ජීවිත උසස් යැයි කිව හැක්කේ කවර මිම්මක් අනුවද?

එට්කා ගිවිසුම හෝ වෙනත් එවැනි නිදහස් වෙළද ගිවිසුම් යනු නව ලිබරල් ගෝලීයකරණයේ ආර්ථික උපකරණයකි. වැඩි වැඩියෙන් ලාභ ඉපැයීම පිණිස දේශසීමා අතික්‍රමණය කොට ලෝකය පුරා ව්‍යාප්ත වීම ප්‍රාග්ධනයේ ලක්ෂණයයි. නිදහස් වෙළද ගිවිසුම් ඇති කොට ප්‍රාග්ධනයට ඔබ මොබ යාම සදහා වැඩි නිදහසක් දෙන ලෙස ගෝලීය ධනවාදය ඉල්ලා සිටින්නේ ශ්‍රමය හා පරිසරය සූරාකෑමට ඉන් වැඩි නිදහසක් ලැබෙන නිසාය. ඉන්දියාව සමග මෙන්ම චීනය හා වෙනත් රටවල් සමග ද නිදහස් වෙලද ගිවිසුම් ඇති කරගැනීමට තම ආණ්ඩුව අපේක්ෂා කරන බව පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලේය. ඒ නිසා මෙය හුදෙක් ඉන්දියාවේ කාලකණ්ණිකම පිලිබද සරල ප්‍රශ්නයක් නොව නව ලිබරල් යුගයේ ප්‍රාග්ධනය හැසිරෙන ආකාරය පිලිබද පුලුල් ප්‍රශ්නයකි. නිදහස් වෙලද ගිවිසුම් නිසා ලෝකයේ අසමානතා තීව්‍ර වීම හා වැඩ කරන ජනකොටස්වල ජීවන කොන්දේසිවලට පහර වැදීම වැඩි වැඩියෙන් ලාභ උපයා ගැනීම සදහා ප්‍රාග්ධනයට තිබෙන පිපාසය සමග නෛසර්ගිකව ගැට ගැසී තිබෙන්නකි.

එම නිසා ප්‍රශ්න කල යුත්තේ එට්කා වැනි ගිවිසුම්වලට පසුබිම් වන මෙන්න මේ පුලුල් දේශපාලන ආර්ථික අක්ෂයයි. රටේ ජනගහණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දෛනික ආදායම ඩොලර් දෙකට අඩු සීමාවේ පසුවන දූපතක හිද ඉන්දියානුවන්ගේ දිලිදුකම ස්වෝත්තමවාදීව සෝපාහාසයට ලක්කිරීම කල හැක්කේ සිය රටේ බහුජනයාගේ ජීවන යථාර්තයන්ට අසංවේදී මධ්‍යම පාංතික උද්දච්චයන්ට පමණි. එක් ඉන්දියානුවෙක්ට මැලේරියා වැලදුණු නිසා සියලු ඉන්දියානුවන් මැලේරියා වාහකයන් ලෙස ලේබල් කරන වෛද්‍ය නලින්ද හේරත් එය එසේ කරන්නේ නොදැනුවත්කම නිසා නොවේ. එය වූ කලී ජනයා අතර ස්වෝත්තමවාදය ඇවලවීම සදහා යොදාගන්නා තක්කඩි ප්‍රචාරයකි. දැන දැන බොරු කීමකි. අධ්‍යාපනය ලැබූ උගත් පුද්ගලයින් කල යුත්තේ සමාජය සබුද්ධික කිරිමට දායක වීම වූවත් මෙම කෛරාටිකයන් ලැජ්ජා විරහිත ලෙස මිනිසුන්ගේ තිබෙන පහත්ම ආශයන් කුලුප්පා ගැනීමේ වෑයමක නියුතු වී සිටී. එට්කා ගිවිසුමට එරෙහිව නලින්ද හේරත් ආදීන් මතු කරන විරෝධය තුල තිබෙන මෙම ස්වෝත්තමවාදී දක්ෂිණාංශික යොමුවේ කිසිදු ප්‍රගතිශීලී හරයක් නැති අතර මැලේරියා රෝගය ශිෂ්ටාචාරයට තර්ජනයක් ලෙස සලකා දුරු කරන්නේ යම් සේද නලින්ද හේරත්ලාගේ මේ ස්වෝත්තමවාදී ප්‍රවේශයද ශිෂ්ට ලෝකයට තර්ජනයක් ලෙස සලකා කොන්දේසි විරහිතව පරාජයට ලක්කල යුත්තේ එම නිසාවෙනි.  

මුල් ලිපිය - http://akshaya.lk/index.php/component/k2/item/105.html