Friday, January 29, 2016

සිංහ ලේ වූ කලී දුරු කල යුතු වසංගතයකි

න්ඩු බලය අහිමි වූ සිංහල ස්වෝත්තමවාදී බලවේග මහ පාරේ පිස්සු නැටීම පටන් ගෙන තිබේ. මෙහි වඩාත්ම තීව‍්‍ර ප‍්‍රකාශනයක් වූයේ පසුගිය දිනෙක දලදා මාලිගාව වෙත ගිය ‘සිංහ ලේ’ සංවිධානයේ පෙලපාලියයි. ජාතික කොඩියේ සුලු ජාතීන් නියෝජනය වෙන කොටස් ඉවත් කොට සකසනු ලැබූ ‘සිංහල ධජ’ අතැතිව මෙම පිරිස් දලදා  මාලිගාවට කඩා වැදුනෝය. ඉන් දින කිහිපයකට ඉක්බිති හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරන පරිශ‍්‍රයේ දී ගලබොඩඅත්තේ ඥානසාර මහතා තවත් අඩවුවක් ඇල්ලුවේය. ප‍්‍රගීත් එක්නැලිගොඩ නඩුව රනවිරුවන්ව පාවා දෙන නිහීන ව්‍යායාමයක් ලෙස හෙලාදකිමින් ඔහු ඇල්ලූ අඩවුවට තවත් භික්ෂූන් පිරිසකගේ සහයෝගය ද හිමිවූයේය. සිංහ ලේ ව්‍යාපාරය විසින් කොලඹ නගරයේ සිංහල නොවන ගෙවල්වල බිත්තිවල සිය සලකුන පින්තාරු කිරීම ආදී වෙනත් සිදුවීම්ද සමග එක්ව ගත්විට මෙය ක‍්‍රමයෙන් වැඩෙන ප‍්‍රවනතාවයක් ලෙස දැකීම සදොස් නොවේ.

මෙම ලුම්පන් ප‍්‍රවනතාවයට සමාන්තරව දිවෙන අනෙක් දේශපාලන වර්ධනය වන්නේ ශ‍්‍රීලනිපයේ රාජපක්ෂවාදී පිරිස් විසින් අලුත් පක්ෂයක් පිහිටුවීමට දැරෙන ව්‍යායාමයයි. ගෝඨාභය රාජපක්ෂ එබදු පක්ෂයක ප‍්‍රධාන පෙලේ චරිතයක් වනු ඇතැයි වාර්තා වී තිබේ. විජාතික රුපුන්ගෙන් ප‍්‍රවේශම් විය යුතු පැරකුම්බා කෙනෙක් ලෙස තමාව හුවා දැක්වීමට මෛත‍්‍රීපාල සිරිසේන දැඩි උත්සාහයක් ගනු ලැබූවත් එජාපය සමග ශ‍්‍රීලනිපය මේ මොහොතේ ඇති කරගෙන තිබෙන සභාගය නිසා සිංහල ස්වෝත්තමවාදයේ විශ්වසනීය ප‍්‍රකාශකයෙක් වීමේ නෛසර්ගික නොහැකියාවකින් සිරිසේන පෙලෙන්නේය. සිංහල ජාතිවාදය වඩාත් ප‍්‍රබල ලෙස නියෝජනය කරන විකල්ප දේශපාලන හවුලක් සඳහා භෞතික පදනමක් නිර්මානය වී තිබෙන්නේ ඒ අනුවය.

සිංහ ලේ සහ රාජපක්ෂවාදී ‘නව’ පක්ෂය ආදී වූ ව්‍යාපෘති වූ කලී ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ගෝලීය පරිමානව පසුගිය කාලයේ මතු වූ නව නාසිවාදයේ ලාංකීය ප‍්‍රකාශනයයි. ආර්ථික අර්බුදයට ගොදුරු වීමත් සමග යුරෝපයේ රටවල් ගනනාවක නව නාසිවාදී සංවිධාන පැටවු ගසන්නට වූයේය. උග‍්‍ර ජාතිකවාදය මත පදනම් වූ අන්ත-දක්ෂිනාංශික දේශපාලනයක් නියෝජනය කරන මෙබඳු පක්ෂ ග‍්‍රීසිය බඳු යුරෝපයේ පරිවාරයේ රටවල පමනක් නොව ජර්මනිය, ප‍්‍රංශය ආදී යුරෝපයේ කේන්ද්‍රයේ රටවලද මහත් ජන ප‍්‍රතිචාරයක් ලැබීය. ආර්ථික අර්බුදය නිසා අතෘප්තියට පත්වන පහල පාන්තික සමාජ කොටස් - විශේෂයෙන් පහල මැද පංතික කොටස් - සංක‍්‍රමනික කම්කරුවන්ට, මුස්ලිම්වරුන්ට, සමලිංගිකයන්ට, බහුසංස්කෘතිකවාදයට හා ‘විජාතික’ එබඳු සියලු දෑවලට එරෙහි වෛරය සංවිධානය කරන මෙබඳු සංවිධාන කෙරෙහි ආශක්ත වූහ. ලංකාවේ සිංහල නව නාසිවාදය තවමත් එතරම් සංවිධානාත්මක තලයකට පැමින නැත. එහෙත් ඒ මෙම මොහොතට පමනි.

අතිශය ප‍්‍රාථමික මිනිස් ආවේගයන් කුලුප්පන ද්වේශය ආත්ම කොටගත් නව නාසිවාදී ව්‍යාපෘතීන් නූතන මිනිස් ශිෂ්ටාචාරයේ සියලූ වටිනාකම්වලට පිලිමල්ව සිටී.ප‍්‍රජාතන්ත‍්‍රවාදය, වෙනස් මත ඉවසීම, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය ආදී සකල විධ සංකල්ප සමග නොපෑහීමක් එය විසින් ප‍්‍රදර්ශනය කරයි. මෙබඳු අශිෂ්ටත්වයක පැන නැගීම ආර්ථිකයට ඌනනය කල නොහැකි වූවත් එකී උද්ගතයන් සහ දේශපාලන-ආර්ථිකය අතර තිබෙන සම්බන්ධය තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය. නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් තුල අන්ත ජාතිවාදය කොහොමත් දේශපාලන බලවේගයක් ලෙස පැවතුනත් ඒවා සාමාන්‍ය තත්වයන් යටතේ පවතින්නේ ආන්තික ප‍්‍රවනතා වශයෙනි. කෙසේ වූවද ඒවා මහජන හිස්ටීරියාවක් ජනනය කරන විශාල ව්‍යාපාර බවට රූපාන්තරනය වීම බහුල වශයෙන් ආර්ථික පීඩනය තීව‍්‍ර වීම සමග සහසම්බන්ධිතය. ආර්ථික කඩාවැටීම් හා පීඩනය ඉදිරියේ අපේක්ෂාභංගත්වයට පත්වන පහල පාන්තික සමාජ කොටස් ඉතා පහසුවෙන් ස්වකීය අසහනය මුදා හරිනු වස් අන්ත ජාතිවාදය තුල දේශපාලන ප‍්‍රකාශනය සොයා ගනිති. ග‍්‍රීසියේ පසුගිය කාලයේ ව්‍යාප්ත වූ Golden Dawn (‘රන් අරුනෝදය’) සංවිධානය ආර්ථික අර්බුදය විසින් ජනිත කල මහජන අසහනය සංක‍්‍රමනික කම්කරුවන්ට හා යුරෝපා සංගමයේ අධිරාජ්‍යවාදී පිලිවෙතට එරෙහි ජාතිවාදී උද්ඝෝෂනයක් බවට පෙරලූහ. ඒ ආදී වශයෙනි.

ලංකාව යුරෝපය පසුගිය කාලයේ මුහුන දුන් ආකාරයේ ආර්ථික කඩාවැටීමකට තවමත් මුහුන දී නොමැත. එහෙත් නව ලිබරල් ප‍්‍රතිපත්තීන් විසින් කාලයක් තිස්සේ වර්ධනය කල සමාජ අසමානතා හා ආර්ථක අමාරුකම් නිසා බරපතල සමාජ පීඩනයක් සමාජයේ පහල මාලයේ ජීවත් වෙන ජනතාව අතර පවතී. නව ලිබරල් තර්ක පද්ධතිය විසින් එක් අතෙකින් සමාජ පීඩාවක් නිර්මානය කොට තිබෙන අතර අනෙත් අතට උග‍්‍ර පුද්ගලවාදී සංස්කෘතියක් තුල මිනිසුන් හැඩගස්වනු ලැබ ඇත. ඒ අනුව වෘත්තීය සමිති, බහුජන සංවිධාන ආදී සාමූහික දේශපාලන ක‍්‍රියාකාරීත්වයන් දුර්වල වී තිබේ. මේ තතු තුල අසහනයට ලක්වූ පුද්ගලයින්ට ස්වකීය අතෘප්තිය ප‍්‍රකාශ කිරීම සඳහා ව්‍යාජ සාමූහිකත්වයක් ජාතිවාදය තුල මුන ගැසේ. ලංකාවේ පහල මැද පංතික කොටස් බුදුන් ගාවට වැඩි වැඩියෙන් ඥානසාර වන්දනාමාන කිරීමට පටන් ගැනීමේ රහස එයයි. නව ආන්ඩුව යටතේ තීව‍්‍ර කරනු ලැබ තිබෙන නව ලිබරල් සංවර්ධන වැඩපිලිවෙල තුල සිදුවෙන ආර්ථිකයේ අධිකතර මූල්‍යකරනය ආදිය දිශාගත වී තිබෙන්නේ අනාගත ආර්ථික පුපුරා යාමක් දිශාවටය. යෝජිත ඉන්දු-ලංකා නිදහස් වෙලඳ ගිවිසුම ආදිය විසින් ද සමාජය මත ආතතිකාරී බලපෑමක් ඇති කිරීමට නියමිතය. කරුනු පෙල ගැසෙමින් තිබෙන ආකාරය අනුව එබඳු තීව‍්‍ර අර්බුදකාරී අවස්ථාවක දී ඥානසාර වන්දනාව බුදුන් වන්දනාවද ඉක්මවා බලගතු වීමට නියමිතය.

එම නිසා මෙම නව දේශපාලන වර්ධනය එහි නිසි බරින් වටහා ගෙන, එනම් එය තවත් එක් ධනපති උපනතියක් නොව ශිෂ්ටාචාරයට එරෙහි තර්ජනයක් ලෙස වටහා ගෙන එය පරාජය කිරීම ප‍්‍රමුඛ ක‍්‍රියාවක් ලෙස ගැනීම අතිශයින් වැදගත් වී තිබේ. ජාතිවාදයට විරුද්ධ සාම්ප‍්‍රදායික ලිබරල් අයිතිවාසිකම් කතිකාව අසාර්ථක වෙන තැන නම් ආර්ථික තලය සහ ජාතිවාදය අතර සහසම්බන්ධය එය විසින් ග‍්‍රහනය කොටගෙන නොතිබීමයි. එහි එම දුර්වලතාවය ඉක්මවිය හැක්කේ ශක්තිමත් වාම-ප‍්‍රජාතාන්ත‍්‍රීය ව්‍යාපෘතියකටය. 2015 ජනවාරි මහ මැතිවරනය වෙලාවේ ග‍්‍රීසියේ වාමාංශික සිරීසා පක්ෂය ඉදිරිපත් කල ප‍්‍රබලතම තර්කයක් වූයේ ‘රන් අරුනෝදය’ සංවිධානයේ තර්ජනයෙන් ග‍්‍රීසිය මුදවා ගත හැක්කේ නව ලිබරල් කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට නංවන ප‍්‍රධාන පක්ෂ දෙකට නොව තම පක්ෂයට බවයි. බලයට පත්වූ ඉක්බිති යුරෝපා සංගමයේ බලගතු රටවල තර්ජනය ඉදිරියේ ආර්ථික පෙරමුනෙහි අපේක්ෂිත අරමුනු සිරිසාවට ඉටු කරගත නොහැකි විය. එහෙත් රන් අරුනෝදය විසින් ප්‍රකාශිත නව නාසිවාදයේ ඉදිරි ගමන වැලැක්වීමේ ගෞරවය අවිවාදාත්මකව ඔවුන් සතුය.

Sunday, January 24, 2016

ලිබරල් සාමය සහ ප්‍රගතිශීලී ඥානසාර හාමුදුරුවෝ

බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව පසුගිය දා පුවත්පත් සාකච්ඡාවක් කැඳවා තිබුනි. අප මෙතෙක් කල් දැන සිටි ඥානසාර සාමාන්‍යයෙන් පුවත්පත් සාකච්ඡා කැඳවන්නේ මුස්ලිම් ජාතිකයින් පරසක්වල ගැසීම සඳහාය. එහෙත් මෙවර පුවත් පත් සාකච්ඡාව තරමක අපූර්ව එකක් විය. උසස් පෙල විභාග ප‍්‍රතිඵල ආශ‍්‍රයෙන් ඔහු සාකච්ඡා කලේ ලංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අර්බුදය හා විෂමතාවය පිලිබඳවය.

ඥානසාරගේ මේ එලැඹුම හුදෙකලා එලැඹුමක් නොවේ. ඒකාබද්ධ විපක්ෂය නොහොත් රාජපක්ෂවාදී විපක්ෂය විවිධ සමාජ හා ආර්ථික ප‍්‍රශ්න මත රජයට එරෙහි විවේචන ඉදිරිපත් කරමින් සිටී. මෙම ප‍්‍රවනතාව උග‍්‍ර වූයේ පසුගිය නොවැම්බරයේ දී රජය අයවැය ඉදිරිපත් කිරීමත් සමගය. එම අයවැයේ අන්තර්ගත වී තිබූ රාජ්‍ය අංශය දුර්වල කිරීමේ උපනතිය සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ සේවකයින්ගේ පැත්තෙන් දැඩි විරෝධයක් මතු වූ අතර ‘ජනතාවගේ සහන කපන අයවැය’ පිළිබඳ රාජපක්ෂවාදී විපක්ෂය ද විවේචනාත්මක වූයේය. දෙරන රූපවාහිනී සේවයේ විකාශය වු ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහනකට සහභාගි වෙමින් බන්දුල ගුනවර්ධන කීවේ අයවැයට එරෙහිව පාර්ලිමේන්තුව තුල ඇති නොවූ විරෝධය වීථියේ දී මතු කරනු ලැබූයේ වෘත්තීය සමිති විසින් බවයි. අයවැයට එරෙහිව රාජ්‍ය අංශයේ සේවකයින් අතරින් මතු වී ආ විරෝධය ‘තමන්ගේ ගොඩට’ දාගැනීමට බන්දුල ගුනවර්ධන  වෑයම් කලේ එසේය.

මේ අනුව රාජපක්ෂවාදී විපක්ෂය ආණ්ඩුවට එරෙහි තම විරෝධය ගොනු කරමින් සිටින ප‍්‍රධාන අක්ෂයන් දෙකක් දැකගැනීමට පුලූවන. ඒවා නම් අ) ජාතික ප‍්‍රශ්නය හා ආ) සමාජ ආර්ථක තලයේ ප‍්‍රශ්න යන අක්ෂ දෙකයි. එනම් ආන්ඩුව පින්තාරු කරනු ලැබෙන්නේ රාජ්‍ය සේවය විනාශ කරන, ජාතික ආර්ථිකය බිලිදෙන, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල නියෝගවලට අනුව හැසිරෙන එසේම කොටි නිදහස් කරන, රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවකට අර අඳින, සිංහල ජාතියට හතුරුකම් කරන ආන්ඩුවක් ලෙසය.

රාජපක්ෂවාදී විපක්ෂය මේ තර්ක ගොඩනගමින් සිටින්නේ රජය ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරනයකට ගමන් කිරීමට උත්සාහ දරමින් සිටින පසුබිමකය. සිංහල සමාජයේ ලිබරල් හා ඇතැම් වාමාංශික කොටස් මෙම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරනය පිළිබඳ අපේක්ෂාසහගත වී සිටින්නේ එමගින් බලය බෙදීමේ දේශපාලන ව්‍යුහයක් ඇති කිරීම හරහා රාජ්‍යය ප‍්‍රතිසංස්කරනයක් සිදුවනු ඇත යන පදනම මතය. ලංකාවේ සිංහල කේන්ද්‍රීය රාජ්‍යය ව්‍යුහය වඩා ප‍්‍රජාතාන්ත‍්‍රීය ලෙස ප‍්‍රතිසංස්කරනය කිරීම මෙම කොටස් විසින් දීර්ඝකාලීනව මතු කරනු ලැබෙන දේශපාලන ඉල්ලීමකි. දෙමල ජාතික සන්ධානය සමග ආන්ඩුවට තිබෙන දේශපාලන සන්ධානයේ ස්වභාවය මත සහ ජාත්‍යන්තර ආධාර දෙන රටවල බලපෑම මත එබඳු දේශපාලන විසඳුමක් වෙත ගමන් කිරීම සඳහා වූ තෙරපුමක් ද ආන්ඩුවට පවතී. බලය බෙදීමේ විසඳුමක් ඇති කිරීම සඳහා ආන්ඩුව තුල තිබෙන යොමුව ඇත්තෙන්ම රාජ්‍යය ප‍්‍රජාතාන්ත‍්‍රීය ලෙස ප‍්‍රතිසංවිධානය කිරීම සහ ජාතික ප‍්‍රශ්නය විසඳීම පිළිබඳ අභ්‍යන්තර දේශපාලන දැක්මකින් ගලා එන එකකට වඩා ඉහත කී බලවේග සමග ආන්ඩුවට තිබෙන සම්බන්ධතාව මත ඇති වී තිබෙන උපයෝගිතාවාදී යොමුවකි. ආන්ඩුව බලය බෙදීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නිශ්චිත යෝජනා තවමත් පැහැදිලි නැත. කෙසේ වූවත් පවතින තත්වය තුල කවර හෝ බලය බෙදීමේ ආකෘතියක් එලැඹෙන මාස කිහිපය තුල ඉදිරිපත් කිරීම ආන්ඩුවට සිදුවනු ඇති බව පැහැදිලිය.

දේශපාලන තලය තුල යෝජිත මෙම බලය බෙදීමේ විසඳුම ආන්ඩුවේ ආර්ථික ප‍්‍රවේශය සමග සම්බන්ධ කල විට අපට ලැබෙන චිත‍්‍රය කුමක්ද? 2016 වර්ෂය සඳහා වූ අයවැය සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පසුගිය වසරේ ඉදිරිපත් කල මධ්‍යකාලීන ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ආන්ඩුවේ ආර්ථික ප‍්‍රවේශය පරාවර්තනය කරයි. ලංකාව තුල නව ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරනවල අලුත් රැල්ලක් ඇති වූයේ 2009 යුද්ධය අවසාන වීමත් සමග රාජපක්ෂ රෙජිමය යටතේය. නව රජය එකී රැල්ල වඩාත් තීව‍්‍ර ලෙස ඉදිරියට ගෙන යාමට සූදානම් බව පැහැදිලිය. 2016 අයවැය ඉඩම් වෙලඳපොල හා ප‍්‍රාග්ධන වෙලඳපොල තුල මූලික පරිවර්තනයක් ඇති කිරීම සඳහා වූ යෝජනාවලින් සමන්විත වූ අතර නව ලිබරල් සංවර්ධන ආකෘතියේ ප‍්‍රධානතම සංරචකයක් වන මූල්‍යකරනය (Finacialisation) වෙත දැඩි අවධානයක් එමගින් යොමු වී තිබේ.

මීට සමගාමීව රාජ්‍ය අංශයේ මූලික ප‍්‍රතිසංස්කරනයක් සඳහා රජය අරාඳිමින් සිටී. රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප් කප්පාදු කිරීමේ යෝජනාවේ සිට රාජ්‍ය ව්‍යවසාය ව්‍යාපාර පදනමක් මත සිංගප්පූරුවේ තමසෙක් ආකෘතියට ප‍්‍රතිසංවිධානය පිලිබඳ යෝජනාව දක්වා වූ යෝජනා මගින් පෙන්නුම් කරන්නේ එම යොමුවයි. තවද ලංකාවේ දැනට තිබෙන කම්කරුවන්ට වඩා හිතෛශී කම්කරු නීති පද්ධතිය ආයෝජකයන්ට හා ව්‍යාපාරිකයන්ට වඩා හිතවාදී වන නව නීති පද්ධතියක් මගින් විස්ථාපනය කිරීමේ උත්සාහයක් ද පවතී. අයවැය මගින් ඉදිරිපත් කළ පාට් ටයිම් ජොබ් සංස්කෘතිය පිලිබඳ අදහස හා තාවකාලික සේවකයින් ස්ථිර කිරීමේ කාලය මාස හයේ සිට වසර දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව කම්කරු නීති රෙජිමය තුල ඇති කිරීමට අපේක්ෂිත අනාගත ගැඹුරු වෙනස්කම් පිලිබඳ ආරම්භක සංඥාවෝ වෙති.

නව ලිබරල් ආර්ථික ආකෘතිය සහ බලය බෙදීමේ දේශපාලන ආකෘතිය අතර සම්බන්ධතාව පිලිබඳ ඉතා දීප්තිමත් විදර්ශනාවක් රාජේශ් වෙනුගෝපාල් විසින් රචිත The Politics of Market Reform at a Time of Ethnic Conflict: Sri Lanka in the Jayewardene Years නම් රචනය තුල එයි. වෙනුගෝපාල් එම රචනය තුල තර්ක කරන්නේ අසමානතා තීව‍්‍ර කරන ප‍්‍රභූවාදී නව ලිබරල් ආර්ථික මොඩලය සහ බලය බෙදීමේ දේශපාලන ආකෘතියක් තුලින් ජාතීන් අතර සබඳතා ප‍්‍රජාතාන්ත‍්‍රීයකරනය කිරීම අතර නෛසර්ගික නොගැලපීමක් තිබෙන බවයි. එනම් මේ ආකෘති දෙක එකට යන්නේ නැත. ජේ.ආර්.ජයවර්ධන යුගයේ ආර්ථික ප‍්‍රතිපත්ති හා බලය බෙදීම සඳහා දරනු ලැබූ උත්සාහයන් එකිනෙක විශ්ලේෂනය කරමින් ඔහු මතු කරන කරුන වන්නේ නව ලිබරල් ප‍්‍රතිපත්ති විසින් සමාජයේ පහල පාන්තික ජනයා අතර ඇති කරන අසහනය ඉතා පහසුවෙන් සිංහල ජාතිකවාදයේ තිබෙන බටහිර විරෝධී අලංකාරිකය සමග සම්බන්ධ වීමේ විභවයක් තිබෙන බවත්, නව ලිබරල් පිලිවෙත් විසින් පොදු ජනයා අතර ඇති කරන අතෘප්තිය සිංහල ජාතිකවාදය විසින් අවශෝෂනය කරගනු ලැබ බලය බෙදීමේ ආකෘතීන් කඩාකප්පල් කරන බලවේගයක් ලෙස ක‍්‍රියාකරන බවත්ය. 2002-2004 කාලයේ රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුවේ සාම ක‍්‍රියාවලිය බිඳ වැටීම මෙම තර්කය සනාථ කරන තවත් උදාහරනයක් ලෙස වෙනුගෝපාල් දක්වයි. එම සාම ක‍්‍රියාවලිය ආර්ථිකයේ සිදුවූ ප‍්‍රවේගකාරී නව ලිබරල්කරනයකට සමගාමීව ක‍්‍රියාත්මක වූවකි.

2016 අයවැය හා අගමැතිගේ ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය විසින් යෝජිත නව ලිබරල් ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට නම් සමාජයේ පහල මාලයේ ජීවත්වන ජනයාට එරෙහි දරුනු ප‍්‍රහාරයකට ගමන් කිරීමට ආන්ඩුවට ඉදිරියේ දී සිදුවීම වැලැක්විය නොහැක. ආන්ඩුවේ ඉදිරි ආර්ථික ගනන් බැලීම් විශාල වශයෙන් පදනම් වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පසුගිය වසර අගභාගයේ ඉල්ලුම් කරනු ලැබූ නය පැකේජය මත හා ඉදිරියේ දී පැවැත්වීමට යෝජිත ජාත්‍යන්තර නය-ආධාර දෙන රටවල සම්මේලනයෙන් අපේක්ෂිත ආධාර පැකේජ මතයි. රාජ්‍යයේ සුබසාධන මැදිහත් වීම දුර්වල කිරීම හා කප්පාදු කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රධානතම නය කොන්දේසියකි. එමගින් සමාජයේ පහල මාලයේ ජීවත්වන ජන කොටස්වලට ඇති වෙන තෙරපුම හා වැඩෙන අසමානතාවය විසින් එම ජනකොටස් අතර තදබල අතෘප්තියක් ඇති කරනු ඇත. මෙම අතෘප්තිය හා විරෝධය දියුනු දේශපාලන ව්‍යාපෘතියක් තුලට සංවිධානය කල හැකි වාම-ප‍්‍රජාතාන්ත‍්‍රීය විපක්ෂයක් ඉදිරි කාලය තුල ගොඩ නොනැගෙන්නේ නම් එය සංවිධානය වනු ඇත්තේ සිංහල ජාතිකවාදයේ රනකාමී දේශපාලන උද්ඝෝෂනය තුලය.

නව ලිබරල් ආකෘතිය සහ මූලධර්මවාදය අතර මෙන්න මේ සංකීර්න අන්තර් රැඳියාව තේරුම් ගත නොහැකි වීම සාමය පිලිබඳ ලිබරල් චින්තනයේ සීමාවය. මුස්ලිම් විරෝධී ඥානසාර අධ්‍යාපන අර්බුදය ගැන පුවත් පත් සාකච්ඡා කැඳවීම බැලූ බැල්මට කෙතරම් හාස්‍යජනක වූවත් එය සිනහවකින් අමතක කල නොහෙන වර්ගයේ බරපතල අනාගත හැඟවුමක් ද නියෝජනය කරයි.