Saturday, October 24, 2015

වික්‍රමබාහු සහ ලිංගික ශ්‍රමිකයෝ


ලිංගික ශ‍්‍රමය අපරාධහරනය කරන ලෙස ඉල්ලා මේ වනවිට සුලූවෙන් නමුත් පටන් ගෙන තිබෙන ව්‍යාපාරය බෙහෙවින් සාධනීය එලැඹුමකි. 'ලිංගික ශ‍්‍රමිකයින්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කේන්ද්‍රය' නමැති සංවිධානය පසුගිය දිනෙක මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම ඉල්ලීම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත්කලේය. මෙම මාධ්‍ය හමුවට ලිංගික ශ‍්‍රමික කාන්තාවන් කිහිප දෙනෙක් සහභාගී වී සිටි අතර තම වෘත්තීය ජීවිතය තුල මුහුන දෙන්නට සිදුවන ගැහැට පිලිබඳ ප‍්‍රබල විස්තරයක් ඔවුහු ඉදිරිපත් කලහ. මෙම අවස්ථාවට නීතිඥවරුන් කිහිප දෙනෙක් සමග නවසමසමාජ පක්ෂයේ නායක වික‍්‍රමබාහු කරුනාරත්න ද සහභාගී විය.

ලිංගික ශ‍්‍රමය පිලිබඳ විවාදය විවිධ මානයන්ගෙන් සමන්විත වූවකි. ලංකාව තුල ගනිකා නිවාස පවත්වාගෙන යාම නීතියෙන් තහනම් වන අතර ලිංගික ශ‍්‍රමිකයන් ගැන මහා සමාජය තුල තිබෙන්නේ බැහැර කිරීම්වාදී ආකල්පයකි. මෙම කුහක බැහැර කිරීම්වාදී ආකල්පය කාන්තාව ගැන තිබෙන පුරුෂොත්තමවාදී නිර්වචනය තුලින් ගලාගෙන එන්නකි. ‘එක් පුරුෂයෙක් පමනක් පතන කීකරු කාන්තාව’ ( = ගෙදර බුදුන් අම්මා ) පිලිබඳ සංකල්පනයේ ප‍්‍රතිවාදය ‘සල්ලි දෙනවා නම්  ඕනෑම පිරිමියෙක්ට රෙද්ද උස්සන අශ්ලීල ගැහැනිය’ පිලිබද සංකල්පනයයි. මතුපිටින් ප‍්‍රතිවිරුද්ධ යැයි පෙනුනත් මේ සංකල්පනා දෙකම පැන නගින්නේ එකම පුරුෂෝත්තමවාදී මූලයකිනි. එනම් මේ සංකල්පනයන් දෙකම ගැහැනිය මේ ආකාර විය යුතුයි යනුවෙන් කෙරුනු පුරුෂවාදී ආකෘතිගත කිරීම්ය. ඉහත පලමු ආකෘතියට ආශා කරන ඒ වෙනුවෙන් සමාජය ඉදිරියේ පෙනී සිටින සමකාලීන බොහෝ ලාංකීය පිරිමි දෙවැනි ආකෘතියට ද රහසේ ආශා කරති.

ලිංගික ශ‍්‍රමයේ දී සිදුවන්නේ ලිංගිකත්වය වෙලඳ භාන්ඩකරනය වීමකි. එනම් එය හුවමාරු භාන්ඩයක ස්වරූපය ගැනීමකි. කම්කරුවාගේ ශ‍්‍රමය ධනවාදය තුල දී යටත් වන තර්කනයට මෙහිදී ලිංගික ශ‍්‍රමය ද යටත් වේ. ආර්ථික හා දාර්ශනික අත්පිටපත් (1844) හිදී මාක්ස් සටහන් කල පරිදි ‘‘ගනිකා වෘත්තිය වූ කලී කම්කරුවා විෂයෙහි සිදුවන විශ්වීය සූරාකෑම් එක්තරා නිශ්චිත ප‍්‍රකාශනයක් පමනි’’. පුද්ගලයෙක්ගේ ස්වකීයත්වය සමග තදින් බැඳී තිබෙන ශ‍්‍රමය වැටුප් ශ‍්‍රම සම්බන්ධයකට ඇතුලූ වූ කම්කරුවෙක් විෂයෙහි ඔහුට අහිමි වී ගොස් ඔහු පරාරෝපනය වන්නේ යම් සේද ගැහැනියකගේ ස්වකීයත්වය සමග අත්‍යන්තයෙන් බැඳී තිබෙන ලිංගිකත්වය ලිංගික ශ‍්‍රම සම්බන්ධයක දී ඇයට අහිමි වී යයි. එනම් පරාරෝපිත තත්වයකට ඇය ගොදුරු වේ. වැටුප් ශ‍්‍රම සම්බන්ධයක් තුල කම්කරුවා සූරාකෑමට ලක් වේ. ලිංගික ශ‍්‍රමිකයා සිය සේවය සපයන්නේ අතරමැදි ප‍්‍රාග්ධන හිමියෙක් හරහා නම් ( ගනිකා නිවාස ආදිය ) ඇය ද එහිදී ආර්ථිකමය වශයෙන් සූරාකෑමට ගොදුරු වේ.

ගනිකා වෘත්තිය තහනම් කොට තිබීම නිසා ලිංගික ශ‍්‍රමිකයන්ගේ ජීවන කොන්දේසි සම්බන්ධයෙන් පැන නැගී තිබෙන්නේ ඉතාම නරක තත්වයකි. වෙනත් ශ‍්‍රමිකයෙක්ට නීතිය ඉදිරියේ තිබෙන අවම රැකවරනය ලිංගික ශ‍්‍රමිකයින්ට නොමැත. මේ නිසා අයිතිවාසිකම් විරහිත විෂයක් බවට ලිංගික ශ‍්‍රමිකයන් පත් කරනු ලැබ තිබේ. මෙය නීති විරෝධී වෘත්තියක් නිසා තමන්ගේ සේවා තත්වයන් හෝ සේවා කොන්දේසි සම්බන්ධයෙන් කේවල් කිරීමේ හැකියාවක් ලිංගික ශ‍්‍රමිකයාට නැත. මේ නිසා වෘත්තිය තුල දී මුහුන පාන්නට සිදුවන බලහත්කාරකම්, ප‍්‍රචන්ඩ ක‍්‍රියා, වංචා කිරීම්, මුදල් නොගෙවීම්, සෞඛ්‍ය ආරක්ෂාව කඩවීම් ආදිය සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රතිකර්මයකට ලිංගික ශ‍්‍රමිකයින්ට ප‍්‍රවේශයක් නොමැත.

ලිංගික ශ‍්‍රමිකයන් සංවිධානය වීම වැදගත් වන්නේ ඒ නිසාය. ලිංගික ශ‍්‍රමිකයන් දේශපාලනමය වශයෙන් සංවිධානය කල යුතුද යන ප‍්‍රශ්නය ගැන ලෝක පරිමානව වාමාංශික කොටස් අතර තියුනු විවාදයක් පවතී. ගනිකා වෘත්තීය කාන්තාවන්ට එරෙහි ප‍්‍රචන්ඩත්වයේ ආකාරයක් ලෙස දකින ඇතැම් වාමාංශික හා ස්ත‍්‍රීවාදී කොටස් ලිංගික ශ‍්‍රමිකයන් දකින්නේ ‘සංවිධානය කල යුතු පිරිසක්’ ලෙස නොව ‘මුදවා ගත යුතු’ වින්දිතයන් පිරිසක් ලෙසය. ප‍්‍රකට ස්ත‍්‍රීවාදිනියක වූ කැතරින් මැක්කිනොන් ලිංගික ශ‍්‍රමිකයන් විෂයෙහි ‘ගනිකාව’ නමැති වචනය යෙදීම ප‍්‍රතික්ෂේප කල අතර ඇය පාවිච්චි කලේ ‘ගනිකකාරනයට ලක්වූ පුද්ගලයා’ ( Prostituted Person) නම් යෙදුමයි. එනම් පීඩාකාරී සමාජ කොන්දේසි විසින් කාන්තාවක ගනිකාවක් බවට පත්කරන බවයි.

ලිංගික ශ‍්‍රමයේ අන්තර්ගත එම මානය පිලිගත යුත්තක් වූවත් එය ලිංගික ශ‍්‍රමිකයන් සංවිධානය කිරීම සමග පටලවා ගත යුතු නොවේ. නිදසුනක් ලෙස කම්කරුවන් වැඩි වැටුප්, නිවාඩු,අවම වැටුප් ආදී ස්වකීය සේවා කොන්දේසි වෙනුවෙන් අරගල කිරීම සම්බන්ධයෙන් අපට කිව හැක්කේ කුමක්ද? වැටුප් ක‍්‍රමය ( ශ‍්‍රම ශක්තිය හුවමාරු භාණ්ඩයක් වීම) සමස්තයක් ලෙස අප නොපිලිගන්නා නිසා ඒ වැටුප් ක‍්‍රමයේ රාමුව තුල සිදුවන සේවා කොන්දේසි සම්බන්ධ අරගලවලට අපට සහයෝගය දැක්විය නොහැකි යැයි කිව හැකිද? වැටුප් ක‍්‍රමය අතික‍්‍රමනය කිරීමේ දිගුකාලීන ඉදිරි දර්ශනය වැටුප් ක‍්‍රමයේ රාමුව තුල ඇතිවෙන දෛනික අරගලවලින් වියුක්ත වූවක් නොව ඒ හා සම්බන්ධ වී තිබෙන්නකි.

ලිංගික ශ‍්‍රමයේ තිබෙන පරාරෝපිත, පීඩාකාරී ස්වභාවය පිලිගන්නා ගමන්, එයට තුඩු දී තිබෙන සමාජ තත්වයන් ගැන විවේචනාත්මක වන ගමන් ස්වකීය ජීවන තත්වයන් වෙනුවෙන් ලිංගික ශ‍්‍රමිකයන් කරන අරගලය අප සාදරයෙන් පිලිගත යුතුව තිබේ. ලිංගික ශ‍්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ව්‍යාපාර සමකාලීන ලෝකයේ පුලූල්ව පැතිරෙමින් පවතී. උදාහරනයක් ලෙස බ‍්‍රිතාන්‍යය මූලික කරගෙන ක‍්‍රියාත්මක වන ලිංගික ශ‍්‍රමිකයින්ගේ ජාත්‍යන්තර සංගමය නම් වෘත්තීය සමිතිය මේ වනවිට බ‍්‍රිතාන්‍යයේ ප‍්‍රධාන වෘත්තීය සමිති සංවිධානයක ( GMB - Britain's General Union ) සාමාජිකත්වය දරයි. ලිංගික ශ‍්‍රමිකයන්ට ස්වයං ආරක්ෂක විධික‍්‍රම ඉගැන්වීම, නීති උපදෙස් ලබාදීම, වෘත්තීය හැර යාමට කැමති අයට උපදේශන ලබාදීම ආදී ක‍්‍රියාකාරකම් එම සංගමය විසින් සිදුකරන අතර ලිංගික ශ‍්‍රමය අපරාධහරනය කිරීම සහ වෙනත් අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් සටන් වැද සිටී. මේ එක් උදාහරනයක් පමනි.

මෙබඳු පසුබිමක් තුල ලංකාවේ ලිංගික ශ‍්‍රමිකයන්ගේ සංවිධාන එලැඹුම සමකාලීන ලාංකීය සමාජයේ වැදගත් ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලයක බිජුවට දරා සිටී. ඔවුන්ගේ මාධ්‍ය හමුවට වික‍්‍රමබාහු කරුනාරත්න වාඩි වීම සමාජයේ සෙසු ඉදිරිගාමී  හා වාමගාමී කොටස් ගතයුතු මග සංඥා කරන පුරෝගාමී ක‍්‍රියාවකි.




Friday, October 9, 2015

කොටදෙනියාවේ කොන්ඩයා අපේ කාලයේ වීරයෙකි

දුනේෂ් ප්‍රියශාන්ත 
සේයා නම් වූ කොටදෙනියාවේ කුඩා දැරිය දූෂනය කොට ඝාතනය කලේ ‘කොන්ඩයා’ නොව ඔහුගේ සහෝදරයා යැයි දැන් කියනු ලැබේ. මීට සතියකට පෙර පොලිසිය හා මාධ්‍යවලට අනුව එම ඝාතනය කලේ කොන්ඩයාය. කොන්ඩයා එම ඝාතනය කල ආකාරය පියවරෙන් පියවර විස්තර කරන තොරතුරු පොලිසිය විසින් මාධ්‍ය වෙත ලබා දී තිබූ අතර මාධ්‍ය ද පොල් ගෙඩි අකුරෙන් එය එලෙසම වාර්තා කලේය. ඊටත් සතියකට පෙර අදාල ඝාතනය සිදු කරනු ලැබුවා යැයි කීවේ 'නිල් චිත‍්‍රපටවලින් තම පුද්ගලික පරිගනකය පුරවාගත් පාසල් ශිෂ්‍යයාය'. මෙය ද පොලිසිය විසින් දුන් තොරතුරු මත මාධ්‍ය විසින් ප්‍රබන්ධගත කරනු ලැබූ කල්පිතයකි. දැන් කුඩා දැරියගේ පියාගේ ඩීඑන්ඒ පරීක්ෂනයක් රහස් පොලිසිය විසින් ඉල්ලා තිබේ.

සතියෙන් සතිය ඒ අනුව ‘ඝාතකයෝ’ මතු වෙති. එලෙස මතුවන ඝාතකයින් ගැන මාධ්‍යවේදියෝ සිය පත්තරවල පිටු ගනන් පුරවති.

දැන් මේ විගඩම පසුපස තිබෙන, කිසිවෙක් කථා නොකරන සැබෑ ඛේදවාචකය කුමක්ද? සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවාට අත්අඩංගුවේ දී පොලීසිය විසින් දරුනු වධ හිංසා පැමිනවූ බව නිදහස් වූ ඉක්බිති එම සිසුවා ප‍්‍රකාශයක් කලේය. ඔහුත් සමග සිරභාරයට පත්වූ එක් දරු පියා ද එයම ප‍්‍රකාශ කලේය. ඔහුට අනුව පොලිසිය ඔහුව බාල්කයක එල්ලා වරද පිලිගන්නා ලෙස බලකරමින් ඔහුට පහර දී තිබේ. පාසල් ශිෂ්‍යයාව නිරුවත් කොට ඔහුගේ ඡායාරූප ද ගෙන තිබේ. ඔහුගේ බාල විය නොතකා ඔහුටත් දරුනු ලෙස පහර දී වධ හිංසා කොට තිබේ. ‘කොන්ඩයා’ නමින් හඳුන්වන පුද්ගලයාගේ ඊනියා පාපොච්චාරනය ද පොලිසිය ලබාගත් ආකාරය ගැන දැන් සැකයක් තිබිය නොහැක. පොලිසිය විසින් වරද පිලිගන්නා තුරු ඔහුට ද බරපතල ලෙස වධහිංසා පමුනුවා ඇති බව කීමට අමුතු ඥානයක් අවශ්‍ය නොවේ.

ප‍්‍රශ්නය මෙයයි. අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්ගෙන් ‘තොරතුරු දැනගැනීමට’ යැයි කියා ඔහුට වධහිංසා පැමිනවීමට පොලිසියට පුලූවන්කම තිබේද? තල දෙකක දී මෙය සම්පූර්න වරදක් වන්නේය. එක් අතෙකින් මෙලෙස වධහිංසා පැමිනවීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. ලංකාවේ ආන්ඩුවත් පාර්ශවයක් වන වධහිංසා වැලැක්වීමේ ජාත්‍යන්තර සම්මුතිය මෙලෙස වධහිංසා කිරීම් මානව හිමිකම් කඩකිරීමක් ලෙස පිලිගනී. ලංකාවේ ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුව ද වධහිංසා සහ කෲර අමානුෂික හා අවමන්සහගත ලෙස කෙරෙන සැලකීම් මානව හිමිකම් කඩකිරීමකි. අනෙක් අතට ලංකාවේ නීතිය අනුව තොරතුරු දැනගැනීමේ පරමාර්ථයෙන් සැකකරුවෙක්ට වධහිංසා පැමිනවීම ‘අපරාධ වරදකි’. 1994 අංක 6 දරන පනත අනුව එලෙස වධහිංසා පැමිනවීම සාපරාධී වරදක් ලෙස නම් කොට තිබේ.

එහෙත්, මේ සියලූ සම්මතයන් නොතකා, ලංකාවේ පොලිසිය සැකකරුවන් වධබන්ධනයට ලක්කිරීම නොකඩවා සිදුකරයි. කොටකදෙනියාවේ සිද්ධිය හා තවත් එවැනි සිද්ධි කිහිපයක් මගින් මෙලෙස සැකකරුවන් වධබන්ධනයට ලක්කිරීම ‘ප‍්‍රවෘත්ති’ බවට පත්වූ බව සැබැවි. යථාර්ථය නම්, ප‍්‍රවෘත්ති බවට පත්වූවත් නැතත්, අත්අඩංගුවේ පසුවන පුද්ගලයින්ට වධදීම ආයතනගත ව්‍යවහාරයක් වශයෙන් ලංකාවේ පොලිසිය භාවිතා කරන බවයි. එනම් වධදීම ‘ව්‍යතිරේඛයක්’ නොව ලංකාවේ පොලිසියේ ව්‍යවහාරය තුල තිබෙන ‘අනිවාර්යය භාවිතාවකි’. එය පොලිසිය නම් වූ ආයතනය සමග ඓන්ද්‍රීයව සම්බන්ධ වී තිබෙන ව්‍යුහාත්මක විධික‍්‍රමයකි. වෙනත් වචනවලින් කියනවා නම් අපරාධ සැකකරුවන්ට වධ දීම පොලිසිය විසින් ‘සාමාන්‍යයෙන්’ සිදුකරන දෙයයි. එසේ සිදු නොකරන්නේ නම් ඒ ව්‍යතිරේඛයකි.

මෙබඳු වධබන්ධන පැමිනවීමේ සිදුවීම් දුර්ලභ වශයෙන් ප‍්‍රසිද්ධ වූ පසු පොලිසිය ගන්නා ක‍්‍රියාමාර්ගයක් තිබේ. එනම් ‘අභ්‍යන්තර පරීක්ෂනයක් පවත්වා’ වැරදිකරුවන් සිටී නම් දඩුවම් දෙන බව ප‍්‍රකාශ කිරීමයි. 17 හැවිරිදි පාසල් සිසුවාට වධ දුන් බවට චෝදනා එල්ල වූ කල්හි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක තෙමේ කියා සිටියේ පොලිසිය අභ්‍යන්තර පරීක්ෂනයක් කොට, වධදීමක් සිදුවී තබේ යැයි හෙලිවේ නම් අදාල පොලිස් නිලධාරීන්ට දඩුවම් දෙන බවයි.

පොලිසියේ මේ නිල ප‍්‍රකාශය එම ආයතනයේ තක්කඩිකම සහ නීචත්වය පිලිබද සම්භාව්‍ය නිදර්ශනයකි. 2003 එක්සත් ජනපදය විසින් ඉරාකය ආක‍්‍රමනය කොට, ඊනියා ‘ත‍්‍රස්තවාදී‘ සැකකරුවන් රඳවා ගැනීම සඳහා විවිධ වධ කඳවුරු ඉරාකය තුලත් ඉන් පිටතත් ඉදි කරනු ලැබීය. කියුබාවේ ග්වන්තනමෝ බේ වධ කඳවුර සහ ඉරාකයේ අබු ග‍්‍රයිබ් වධකඳවුර මේ සම්බන්ධ කුප‍්‍රකට උදාහරනයෝය. මේ වධ කඳවුරු තුල රැදවියන්ට එරෙහිව ලිංගික හිංසාද ඇතුලත් ඉතාම දරුනු වධහිංසා පමුනුවන ලදී. එක්සත් ජනපදයේ මෙම භාවිතාව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා ක‍්‍රියාකාරීන් විසින් හෙලිදරවු කරනු ලැබූ විට ඒ සම්බන්ධයෙන් ඇමරිකානු රජයේ නිල ප‍්‍රතිචාරය වූයේ මේවා එක් එක් නිලධාරීන් විසින් අනුගමනය කල හුදෙකලා ප‍්‍රතිපත්ති මිස ඇමරිකානු රජයේ නිල ප‍්‍රතිපත්තිය නොවන බවයි. මේ බව හුවා දැක්වීම සඳහා ඇතැම් පහල නිලධාරීන්ට එරෙහි විනය ක‍්‍රියාමාර්ග ද ඇමරිකානු රජය විසින් ගනු ලැබීය.

එහෙත් පසුව හෙලිවූ තොරතුරු මගින් සනාථ වූයේ මෙකී වධහිංසක ක‍්‍රමවේද යොදාගැනීමට අන දුන්නේ ඇමරිකානු ආරක්ෂක ලේකම් ඩොනල්ඞ් රම්ස්ෆෙල්ඞ් බවයි. එනම් වධහිංසක ක‍්‍රියා වූ කලී තනි තනි ඇමරිකානු සොල්දාදුවන්ගේ හුදෙකලා සිතුවිලි නිසා ඇතිවූ අහඹු සිදුවීම් නොව නොව යුද්ධයේ දී ඇමරිකාව අනුගමනය කල මිලිටරි ප‍්‍රතිපත්තියේ අවියෝජනීය අංගයකි.

ලංකාවේ පොලිස් මෘගත්වය ගැන කීමට තිබෙන්නේ ද එයයි. 17 හැවිරිදි පාසල් සිසුවා හෝ කොන්ඩයා යනු පොලිස් වධහිංසාවට ලක්වූ එකම දෙදෙනා නොවෙත්. සැකකරුවන්ට වධදීම පොලිසිය ස්වකීය දෛනික චර්යාවේ කොටසක් ලෙස පවත්වාගෙන යනු ලබන භාවිතාවකි. මෙලෙස වධයට භාජනය කරනුයේ සමාජයේ හඩක් නැති නිර්ප‍්‍රභූ මිනිසුන්වය. ඒ අයට වධදීමට එරෙහි වීමට හෝ වධදීමට එරෙහිව නඩු කීමට ශක්තියක් නැත. මෙබඳු නිර්ප‍්‍රභූ මිනිසුන් දහස් ගනනක් බාල්කවල එල්ලා පහර කෑම, ගුද මාර්ගයට මිරිස් කුඩු ඇතුලූ කිරීම ආදී තිරශ්චීන වධහිංසාවල ගොදුරු බවට නිතිපතා පත්වෙති.

ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලයේ කොටසක් නම් මෙම පොලිස් මෘගත්වය දන ගැස්සවීමයි. පොලිසිය මහජනයාට වගකියන ආයතන විශේෂයක් බවට පත්කිරීමයි. පොලිසියේ දස වධයට ලක්ව නොකල වරදකට ‘පාපොච්චාරනය’ කල ‘කොන්ඩයා’ නම් වූ මන්ද මානසික තත්වයකින් පෙලෙනවා යැයි කියන යෞවනයාගේ ඉරනම හෘද සාක්ෂියක් තිබෙන සෑම හදවතක්ම ස්පර්ශ කිරීමෙහිලා සමර්ථ විය යුතු බරපතල ඛේදවාචකයකි. දුනේශ් ප්‍රියශාන්ත හෙවත් කොන්ඩයාගේ දඩබ්බර බැල්ම අයුක්තිය ඉදිරියේ නිෂ්ක‍්‍රීයව සිටින සමකාලීන ලාංකීය පුරවැසි සමාජයේ ගොලූවතට එල්ල කෙරෙන බරපතල අභියෝගයකි.

Saturday, October 3, 2015

ජිනීවා යෝජනා සහ විරෝධය සංවිධානය වන තැන



‘‘පාවා දීමට එරෙහිව රට ඉල්ලන මහ පොලොවේ විපක්ෂය බිහි කෙරේ’’

මේ ලංකාවේ යුද අපරාධ ප්‍රශ්නය ගැන ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ස්වකීය අදහස ප‍්‍රකාශ කිරීම පිනිස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සුලු පක්ෂ සමූහයක් විසින් පසුගිය දිනෙක නාරාහේන්පිට අභයාරාමයේ දී කැඳවූ මාධ්‍ය සාකච්ඡාව වාර්තා කිරීම සඳහා ලංකා සී නිවුස් වෙබ් අඩවිය යොදාගෙන තිබූ මාතෘකාවයි. විමල් වීරවංශ, බන්දුල ගුනවර්ධන, දිනේශ් ගුනවර්ධන, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල ඇතුලු පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියේය.

මාධ්‍ය හමුවේ තර්කය සරලය. යුද අපරාධ පිලිබඳ විමර්ශනයක් සඳහා එකඟ වීම තුලින් ආන්ඩුව ‘රට පාවා දී තිබේ’. ඇති වී තිබෙන හවුල් ආන්ඩුව නිසා මීට එරෙහි විරෝධය පාර්ලිමේන්තුව තුල හොඳින්ම නියෝජනය වන්නේ නැත. එම නිසා ‘රට ඉල්ලන’ විපක්ෂය මහපොලොවේ - එනම් පාර්ලිමේන්තුවෙන් පිටත බිහි කල යුතුව තිබේ. විමල් වීරවංශගේ හඩින් මේ පිටවන්නේ මහින්ද රාජපක්ෂගේ වචන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නාරාහේන්පිට අභයාරාමයෙන් මේ ඇසෙන්නේ අන් කිසිවක් නොව තුවාල ලැබ තිබෙන සිංහල ස්වෝත්තමවාදයේ උඩු බිරුම් හඩයි. සිංහල ජාතිකවාදීන්ට මේ වනවිට ආන්ඩු බලය අහිමි වී තිබේ. රනිල් වික‍්‍රමසිංහගේ මූලිකත්වයෙන් යුක්ත දක්ෂිනාංශික ආන්ඩුව සමාජය සංවිධානය කරන්නට උත්සාහ කරන්නේ සිංහල ජාතිකවාදයේ රේඛා අනුව නොවේ. ‘යහපාලනය’ පිලිබඳ අලංකාරිකය මෙතෙක් කල් භාවිතා කරමින් සිටි එය ඉදිරියේ දී සංවර්ධනවාදයේ තර්කනය තුල සමාජය ඇතුලේ හෙජමොනික බලයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරනු ඇතැයි සිතීමට පුලූවන. සරලව කියනවා නම් රනිල් වික‍්‍රමසිංහ රට ඉදිරියේ පෙනී ඉන්නේ ‘දෙමලාගෙන් රට බේරාගත් ජාතික වීරයා’ ලෙස නොව ‘ජාත්‍යන්තර ප‍්‍රජාව ( = ගෝලීය ප‍්‍රාග්ධනය ) සමඟ ගනුදෙනු කල හැකි රාජ්‍ය තාන්ත‍්‍රිකයා’ ලෙසය.

ගෝලීය ප‍්‍රාග්ධනය සමග - විශේෂයෙන්ම බලවත් බටහිර ජාතීන් සමග සුමට සම්මුතියක් ඇති කරගැනීමට නම් ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වඩා මෘදු ආකල්පයක් දැක්වීමට රනිල් වික‍්‍රමසිංහට බලකෙරී තිබේ. ජනවර්ග අතර ප‍්‍රතිසන්ධානයක් ඇතිකල යුතු යැයි ගෝලීය ධනවාදය ඉල්ලා සිටී. මූලික වශයෙන් මේ ඉල්ලීම මතු වන්නේ රට තුල කාර්මික සාමය පවත්වා ගැනීමේ අභිප‍්‍රාය මතය. දෙමල ජනතාව වෙත යම් යම් සහන ප‍්‍රමානයක් පිරිනමන්නේ නැතිව කාර්මික සාමය දිගුකාලීනව පවත්වා ගත නොහැක යන්න මේ යෝජනාව පසුපස තිබෙන තාර්කිකයයි. යුද අපරාධ හා බලය බෙදීම වැනි ප‍්‍රශ්න සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව වඩා ලිබරල් ආකල්පයක් දක්වන්නේ ප‍්‍රධාන වශයෙන් මෙන්න මේ පසුබිම හේතුකොට ගෙනය. අනෙක් අතට ‘ජාතික විමුක්තිය’ වෙනුවට ‘ප‍්‍රතිසන්ධානය’ භාරගන්නා ලෙසට දෙමල සමාජයටත් මේ වර්ගයේම තෙරපුමක් ගෝලීය බලවතුන් වෙතින් එල්ල වී තිබේ.

මෙය එක්තරා විදිහකට 2002-2005 සටන් විරාම ගිවිසුම් කාලයේ තිබූ තත්වයෙහි ක්ෂුද්‍ර ප‍්‍රතිරූපනයකි. එදා සහ අද අතර ප‍්‍රධානතම වෙනස වඩා සටන්කාමී හා දෙමල ජාතික සන්ධානයේ ප‍්‍රභූ නායකත්වයට වඩා රැඩිකල් එල්ටීටීඊ සංවිධානය එවකට දෙමල සමාජයේ දේශපාලන ප‍්‍රකාශකයා ලෙස ක‍්‍රියා කිරීමය. කොලඹ සංස්ථාපිතය - ගෝලීය ධනවාදය හා දෙමල දේශපාලනය යන සාධක ත‍්‍රිත්වයේ බලතුලනය මත එම යුගයේ ද බලය බෙදීම / උතුර නැගෙනහිර පලාත්වල ස්වයං පාලන අධිකාරියක් පිහිටුවීම / සුනාමි සහන මන්ඩලය ඇති කිරීම ආදී යෝජනා ඉදිරිපත් වූයේය.

එවකට මෙකී යෝජනාවලට එරෙහිව දකුනු ලංකාව තුල සිංහල ජාතිකවාදය සංවිධානය කරනු ලැබූයේ ජනතා විමුක්ති පෙරමුන හා ජාතික හෙල උරුමය විසිනි. මෙම කන්ඩායම් ශ‍්‍රීලනිපයේ ජාතිකවාදී කොටස් සමග එකතු වී සිදුකල උද්ඝෝෂනයේ ප‍්‍රතිඵල ලෙස 2002-2004 එජාප ආන්ඩුව බිඳ වැටුනි. සිංහල ජාතිකවාදය ආන්ඩුවේ නිල මතවාදය බවට පත්කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත්විය.

ඉදිරියේ දී උද්ගත විය හැකි එක් සම්භාවිතාවයක් වටහා ගැනීමට මෙම අතීත අත්දැකීම බෙහෙවින් ප‍්‍රයෝජනවත්ය. දැනට පාර්ලිමේන්තුව තුල තිබෙන්නේ දුර්වල විපක්ෂයකි. මෙහි නොවැලැක්විය හැකි ප‍්‍රතිඵලය වන්නේ ආන්ඩුවට එරෙහි විසම්මුතිය මහින්ද රාජපක්ෂ විසින් සංකේතවත් කෙරෙන සිංහල ජාතිකවාදී කඳවුර තුල සංවිධානය වීමේ ඉඩක් නිර්මානය වීමයි. යුද අපරාධ පරීක්ෂන, බලය බෙදීමේ යෝජනා ආදී ඉදිරිපත් විය හැකි ප‍්‍රවනතා ඉදිරියේ සිංහල සමාජය ස්වොත්තමවාදී අක්ෂයක් ඔස්සේ බලමුලු ගැන්වීමට මෙම කන්ඩායම් මුලු ශක්තිය යොදා ක‍්‍රියා කරනු ඇත. මහින්ද රාජපක්ෂ ‘තිරය පසුපසට’ වී සිටින්නේ නිසි අවස්ථාව එලැඹෙන තුරු බව පැහැදිලිය.

දැන් මෙම තත්වයට වාමාංශික හා ප‍්‍රගතිශීලී පිරිස් මුහුන දිය යුත්තේ කෙසේද? දකුනු ලංකාවේ වාමාංශයට මුහුන දීමට සිදුවී තිබෙන ප‍්‍රබලතම අභියෝගය නම් දක්ෂිනාංශික රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව සහ විපක්ෂයට විසි වී සිටින සිංහල ස්වෝත්තමවාදය යන පෙරමුනු දෙකටම එරෙහි අරගලයක යෙදෙන්නට සිදුවී තිබීමයි. මෙය ඉතා සංකීර්න තත්වයක් බව නොකිවමනාය.

මෙතැනදී දකුනේ ප්‍රගතිශීලීන් හා වාමාංශය ඉදිරියේ තිබෙන ඉදිරි මාර්ගය වූ කලී සිංහල ජාතිවාදයට විරුද්ධව දෙමල ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම්වලට පක්ෂ සක‍්‍රීය ආස්ථානයක් ගන්නා ගමන් සමාජ-ආර්ථික ඉල්ලීම් වටා සමාජය සංවිධානය කිරීමය. අධ්‍යාපනය, සෞඛ්‍ය. වැටුප් ප‍්‍රශ්න, වෘත්තීය සමිති අයිතිවාසිකම්, උතුරුමැද පලාතේ වකුගඩු රෝගය ආදී ප‍්‍රශ්න මග හැර යා නොහැකි ලෙස ජාතික දේශපාලන මාතෘකා බවට පත්කිරීමයි. එනම් විරෝධය සහ විසම්මුතිය සිංහල ජාතිකවාදී කඳවුර තුල සංවිධානය වීමට ඉඩ නොදී වෙනත් අක්ෂයක් ඔස්සේ එය රැඩිකල් ලෙස සංවිධානය කිරීමයි. විසම්මුතිය එලෙස විකල්ප අක්ෂයක් වටා සංවිධානය නොවේ නම් බොහෝ විට සිදුවිය හැකි දෙය නම් 2002-2005 ඉතිහාසය නැවත වතාවක් ප‍්‍රතිනිර්මානය වීමකි.