Sunday, August 30, 2015

එස්.බී පාර්ලිමේන්තුවට ගෙන රාජපක්ෂවාදය පැරදවීම?


‘මෛත‍්‍රී පාලනය’ පිලිබඳ අලංකාරිකය සහ මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය දවස්වල ශ‍්‍රීලනිපය තුල කටයුතු කල ආකාරය ගලපන්නේ කෙසේද? රාජපක්ෂ පාලනයට එරෙහිව විපක්ෂයේ පක්ෂවල පොදු අපේක්ෂක ලෙස මෛත‍්‍රීපාල සිරිසේන ඉදිරිපත් වූ විට ඔහුගේ පාර්ශවය වෙනුවෙන් කරුනු ඉදිරිපත් කල බොහෝ දෙනා මෛත‍්‍රීපාලගේ සාමකාමී ශාන්ත දාන්ත විලාශය රාජපක්ෂ විසින් නියෝජනය කල පලිගැනීමේ හා ද්වේශයේ සංස්කෘතියට එරෙහි විකල්පය ලෙස ඉදිරිපත් කලහ. රාජපක්ෂ යටතේ ශ‍්‍රීලනිපය ඔහුගේ බූදලයක් බවට පත්වී තිබුනි. එම පක්ෂය තුල කිසිදු අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නොවී. රාජපක්ෂගේ වචනය කුමක්ද එය ශ‍්‍රීලනිප ප‍්‍රතිපත්තිය බවට පත්වී තිබුනි. ඒ අනුව රාජපක්ෂ යටතේ ශ‍්‍රීලනිපය වූ කලී රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ඔහු අනුගමනය කල සාර්ව ප‍්‍රවේශයේ ක්ෂුද්‍ර ප‍්‍රතිබිම්බයක් සේ විය.

දැන් ශ‍්‍රීලනිපයේ සභාපති ලෙස මෛත‍්‍රීපාල කටයුතු කරමින් සිටින්නේ කෙසේද? ශී‍්‍රලනිප බහුතර සාමාජිකත්වයේ කැමැත්තට පිටින් ඔහු එම පක්ෂය හයිජැක් කොට තිබේ යන්න පැහැදිලිය. මෙම හයිජැක්කරනය ප‍්‍රකටව පෙනී ගියේ මෙවර මහ මැතිවරනයෙන් ශ‍්‍රීලනිපය ලබාගත් මන්ත‍්‍රීධූරවලට අදාල ජාතික ලැයිස්තුව පත්කිරීමේ දීය. මහජනයා විසින් ප‍්‍රතික්ෂේප කල, එහෙත් තමාට හිතවත් එස්.බී. දිසානායක, විජයමුනි සොයිසා ආදීන් ඔහු ජාතික ලැයිස්තුවේ මාර්ගයෙන් පාර්ලිමේන්තුවට ඇතුලත් කර ගත්තේය. දැන් එම පක්ෂයේ සාමාජිකත්වයේ කැමැත්තට පිටින් යමින් ජාතික ආන්ඩුවකට එම පක්ෂය බලහත්කාරයෙන් ඇතුලු කරවීම සඳහා ඔහු ක‍්‍රියාමාර්ග තෝරමින් සිටී.

යමෙක් මෙහිදී මෙසේ ඇසීමට පුලූවන. ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම්වලට පටහැනිව වුව මෛත‍්‍රීපාල මේ කරන දේ හොඳ දෙයක් නොවේද? ඔහු මේ කරන්නේ මහත් ප‍්‍රතිගාමී උග‍්‍ර ජාතිවාදී අක්ෂයක් සමාජයට යෝජනා කරන රාජපක්ෂවාදය දුර්වල කිරීම නොවේද?

මෙහිදී අපි දේශපාලනය සම්බන්ධ මූලික ආචාර ධාර්මික ප‍්‍රශ්නයක් වෙත එලැඹෙමු. ‘යහපත්’ යැයි යමෙක් සිතන අරමුනු ඉෂ්ට කරගැනීම වෙනුවෙන් ‘යහපත් නොවූ ’ ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීම සාධාරනීකරනය කල හැකිද? එනම් අන්තය විසින් එනයින්ම ක‍්‍රියාමාර්ගය සාධාරනීකරනය කරනු ලබයි ද?

මෙය දේශපාලන ඉතිහාසයේ ඇති තරම් වාද විවාදවලට ලක්වූ ප‍්‍රශ්නයකි. ‘යහපත් ’ යැයි කියන අරමුනු වෙනුවෙන් එම යහපත් අරමුනුවලට සපුරා පටහැනි විවිධ ක‍්‍රමෝපායන් පාවිච්චි කිරීම ඉතිහාසය තුල ඇති තරම් සිදුවී ඇත. 1917 දී විප්ලවයක් මගින් බලයට ආ රුසියානු බොල්ෂෙවික් පක්ෂය එම විප්ලවයට පසුව පැවැත්වූ මැතිවරනයකින් පිහිටුවනු ලැබූ ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හැරියේය. ඒ එම ව්‍යවස්ථාදායක සභාවේ බහුතර බලය සෝවියට් ක‍්‍රමයට විරුද්ධ සමාජවාදී විප්ලවවාදී පක්ෂය විසින් දිනාගත් නිසාය.

මෙම ක‍්‍රියාමාර්ගය එවකට විප්ලවයේ සතුරන් අතින් පමනක් නොව විප්ලවයට සපුරා  මිතුරු ආස්ථානයක් ගත් රෝසා ලක්සම්බර්ග් වැනි වාමාංශිකයින් අතින්ද විවේචනයට ලක්විය. ඇත්තටම බොල්ෂෙවික් පක්ෂය එම ක‍්‍රියාමාර්ගය ගත්තේ විප්ලවයේ ආරක්ෂාව උදෙසාය. එනම් ඔවුන් ‘යහපත් අරමුනක් ’ මත ක‍්‍රියා කලෝය. බලය ගන්නා විට තනි පක්ෂයක් ආධිපත්‍යය දරන දේශපාලන ක‍්‍රමයක් රුසියාවේ පිහිටුවීමට බොල්ෂෙවික්වරු කිසිවිටෙකත් නොසිතූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ සෝවියට් සභා මත පදනම් වූ නව පන්නයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගොඩනැගීමයි. මෙන්ෂෙවික්වරුන් ඇතුලූ සෙසු කම්කරු පක්ෂ එම සෝවියට් සභා තුල වැඩ කරන සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රයක් ඔවුහු අපේක්ෂා කලහ. එහෙත් බොල්ෂෙවික්වරුන්ට විරුද්ධ ආස්ථානයක සිට මෙන්ෂෙවික්වරුන් ඇතුලූ විරුද්ධ පාක්ෂික කොටස් ක‍්‍රියා කල නිසා එම පක්ෂ තහනම් කිරීමට බොල්ෂෙවික් පක්ෂය යොමුවිය. මෙතැන දීද ඔවුන් ක‍්‍රියාත්මක වූයේ ‘යහපත් අරමුනක්’ මතය.

එනම් ‘සෝවියට් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීම’ සඳහා එම සෝවියට් ප‍්‍රජාතන්ත‍්‍රවාදයටම පටහැනි ක‍්‍රියාමාර්ග වෙත යොමු වීමට බොල්ෂෙවික් පක්ෂයට සිදුවිය. මෙබඳු ක‍්‍රියාමාර්ග රාශියක අවසාන ප‍්‍රතිඵලය වූයේ විසම්මුතිය අත් හිටවූ සමස්තතාවාදී සමාජයක් බවට ක‍්‍රමානුකූලව රුසියාව පරිවර්තනය වීමයි. එය ලෙනින් හෝ ට්‍රොට්ස්කි බඳු විප්ලවයේ මුල්කාලීන නායකයින් සිහිනෙනුදු අපේක්ෂා කල තත්වයක් නොවේ. එහෙත් යම් පරමාදර්ශයක් ලගාකරගැනීම සඳහා එම පරමාදර්ශයට පටහැනි ක‍්‍රියාමාර්ග ගැනීම කෙලවර වූයේ ලගා කරගැනීමට අපේක්ෂා කල පරමාදර්ශය තවත් දුරස් වීමෙනි.

ශ‍්‍රීලනිපය තුල මෛත‍්‍රීපාල ක‍්‍රියාකරන විදිහ හා බොල්ෂෙවික් විප්ලවය සමපාත කිරීමට මාගේ පරමාර්ථය නොවේ. එහෙත් මෛත‍්‍රීපාලගේ හැසිරීම විසින් මතු කරන දේශපාලන-ආචාරධාර්මික ප‍්‍රශ්නය බැරෑරුම් ලෙස සාකච්ඡාවට ලක්විය යුත්තකි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය / සමාජවාදය ආදිය හුදු බලය ලබාගැනීම සඳහා තිබෙන උපකරන පමනද? එසේ නැතිනම් ඒවා යම් කිසි වටිනාකම් සමූහයක් අන්තර්ගත කරගත් පරමාදර්ශයන්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීමට යැයි කියා සපුරා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ග අනුගමනය කල හැකිද?

එක්සත් ජනපද ආන්ඩුව අදත් ඇෆ්ඝනිස්ථානයේ හා පකිස්ථානයේ දුර්ග මතට ඩ්‍රෝන් ප‍්‍රහාර අත් හරිමින් සමූහ වශයෙන් කුඩා ලමුන් ද ඇතුලත් මිනිසුන් ඝාතනය කරමින් සිටින්නේ ඒ රටවල ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීමටය’. එඞ්වඞ් ස්නෝව්ඩන් හෙලිදරවු කල ආකාරයට පුරවැසියන්ගේ අතිශය පෞද්ගලික තොරතුරු පවා අධීක්ෂනය කරන දැවැන්ත චර පුරුෂ ජාලයක් එරට රජය විසින් නඩත්තු කරමින් සිටින්නේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඇමරිකාව’ බාහිර සතුරන්ගෙන් ආරක්ෂා කරනු පිනිසය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා උල්ලංඝනය කෙරෙන්නේ ප‍්‍රජාතාන්ත‍්‍රීය වටිනාකම්ය. ප‍්‍රජාතාන්ත‍්‍රීය වටිනාකම් උල්ලංඝනය කරන පලමු මොහොතේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුරස් වේ. එබඳු ක‍්‍රියාමාර්ගයක් තුලින් සිදුවන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති වීම නොව එය වඩාත් දුරස්ථ යථාර්ථයක් ලෙස ඉවතට විසිවී යෑමය.

අවශ්‍ය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය / සමාජවාදය විසින් යෝජිත වටිනාකම් ජයග‍්‍රහනය කරවීම සඳහා වූ සම්මුති විරහිත අරගලයකි. මේ අරගලයේ දී එකී වටිනාකම් උල්ලංඝනය කිරීම කවර තත්වයක් යටතේ හෝ සාධාරනීකරනය කල නොහැක. කෙතරම් අසීරු වුව, කෙතරම් දුෂ්කර වුව මෙම ආස්ථානය මත තරයේ නොපිහිටන්නේ නම් අප අපේක්ෂා කරන යහපත් ප‍්‍රතිඵලය ඇති කරගැනීම කිසිවිටෙක සැබෑවක් බවට පත් වන්නේ නැත.

Thursday, August 20, 2015

දේශයේ හෘද සාක්ෂිය මේ තරම් චපලද?

ශ්‍රීලනිප කවන්ධයට ජවිපෙ හිස එක්වීම
සියල්ලෝ මොහොතකට වික්ෂිප්ත වූයේ ඔවුන් ලද අනපේක්ෂිත පසුබෑම හමුවේය. පසුගිය දා නිමාව දුටු මහ මැතිවරනයේ දී එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර කරට කර තරගයක් පවතිනු ඇති බවත්, එජාපයට සාපේක්ෂව වාසිදායක තත්වයක් පවතින බවත් මැතිවරනයට පෙර බොහෝ අය නිවැරදිව පැවසූහ. එය එසේම සිදුවිය. ඊට සමගාමීව බොහෝ අය විශ්වාස කලේ ජනතා විමුක්ති පෙරමුනේ කැපි පෙනෙන වර්ධනයක් මැතිවරනය තුල සිදුවනු ඇති බවයි. අති විශාල ප‍්‍රචාරක ව්‍යාපාරයක් ජවිපෙ විසින් දියත් කරනු ලැබ තිබු අතර ආසන 15 ත් 20 ත් අතර සංඛ්‍යාවක් තමුන් දිනාගන්නෙම් යැයි ඇතැම් ජවිපෙ හිතවාදීහු මැතිවරන කාලය තුල අනාවැකි ද පල කලෝය. බීබීසී සිංහල සේවය පූර්ව මැතිවරන සමය තුල විශේෂ ප‍්‍රවෘත්තියක් පල කරමින් කියා සිටියේ ජවිපෙ වෙත විශාල රැල්ලක් දැකගත හැකි බවයි.

එහෙත් ඒ කිසිවක් සිදු නොවීය. මැතිවරන ප‍්‍රතිඵල එන විට ජවිපෙ ආසන සංඛ්‍යාව 3 සිට 6 දක්වා වැඩි වී තිබූ බව සැබැවි. එහෙත් ඒ වැඩිවීම සහ ‘ජවිපෙට තිබූ රැල්ල’ පිළිබඳ ජනප‍්‍රිය සංකල්පනය අතර වූයේ අදහා ගත නොහැකි තරම් පරතරයකි.

එසේ වූයේ ඇයි? රටේ ප‍්‍රමුඛතම ඇඞ්වර්ටයිසිං සමාගම්වල සහය ද ලැබ නංවනු ලැබූ ඒ විසල් සීනු නාදය සමාජයට නෑසී ගියේ ඇයි? මෙය විකල්ප දේශපාලනයක් ගැන විශ්වාස කරන සියලූ දෙනා විසින් බරපතල ලෙස සාකච්ඡාවට ගත යුතු ප‍්‍රශ්නයකි.

මෙවර මැතිවරන ප‍්‍රතිඵල දෙස බලන විට පැහැදිලිව පෙනී යන කරුන නම් ගම්බද ප‍්‍රදේශවල ජවිපෙ වෙත ලැබී තිබූ ප‍්‍රතිචාරය සාපේක්ෂව අඩු එකක් බවයි. නගරබද ඡන්දදායක කොට්ටාශවල ජවිපෙට යම් ප‍්‍රතිචාරයක් ලැබී තිබුනි. ජනප‍්‍රිය ‘ජවිපෙ රැල්ල’  නාගරික අතරමැදි පංති කොටස් අතර දැකගත හැකි වූ ප‍්‍රවනතාවයක් මිස ගම්බදව දැකගත හැකිවූවක් නොවීය.

ජවිපෙ අවසන් වතාවට තනි පක්ෂයක් ලෙස මහ මැතිවරනයකට තරග කලේ 2001 දීය. එවර එම පක්ෂය ආසන 16 ක් දිනාගත්තේය. මෙම ආසන 16 වූ කලී 1994 සිට තනි පක්ෂයක් ලෙස ඔවුන් කල වෙහෙසකර ව්‍යායාමයක ප‍්‍රතිඵලයයි. එම මැතිවරනය වන තෙක්ම ජවිපෙ ඉදිරිපත් කල සටන් පාඨය වූයේ ‘උනුත් එකයි - මුනුත් එකයි ’ නමැති ජනප‍්‍රියවාදී වාම සටන් පාඨයයි.

ඉහත යුගයේ මැතිවරන ප‍්‍රතිඵල යමෙක් නිරීක්ෂනය කරන්නේ නම් ප‍්‍රකටව පෙනී යන කරුන වන්නේ ගම්බද ප‍්‍රදේශවල ජවිපෙ යම් බලයක් ගොඩනගාගෙන තිබුනු ආකාරයයි. ඓතිහාසිකව ජවිපෙ පදනම් වූයේ දිවයිනේ සිංහල ප‍්‍රදේශවල ග‍්‍රාමීය දිලිඳු හා නිර්ප‍්‍රභූ ජන කොටස් මතය. එය ග‍්‍රාමීය නිර්ප‍්‍රභූ ජනකොටස්වල රැඩිකල් ව්‍යාපාරයක් විය. ඒ අර්ථයෙන් ශ‍්‍රීලනිපය සහ ජවිපෙ අතර ඇත්තේ එක්තරා විදිහක ලේ ඥාතීත්වයකි. බන්ඩාරනායකවාදය විසින් කරනු ලැබූ ආමන්ත‍්‍රනය මත පිබිදී ආ මුල් කාලීන ශ‍්‍රීලනිප ජනතාවාදය ( populism) ගම්බද ජනකොටස්වල - විශේෂයෙන් ග‍්‍රාමීය සුලූ ධනේශ්වර කොටස්වල දේශපාලන අභිලාෂයන් කැටි කොට ගත් දේශපාලන උද්ගතයක් විය.

මෙම ජනතාවන්ගේ ඉල්ලීම් සහ රටේ ඌන ධනේශ්වර සංවර්ධනය අතර ප‍්‍රතිවිරෝධතාවය මතු වූ විට එම සීමාවට  එරෙහිව මතු වූ රැඩිකල් ප‍්‍රතිචාරය ලෙස ජවිපෙ හඳුනාගත හැක. ‘ජවිපෙ සමන්විත වන්නේ ‘56 දරුවන්ගෙනි’ යනුවෙන් ගුනදාස අමරසේකර කරන ප‍්‍රකාශය නිවැරදිය. අමරසේකර නිතර කියා සිටි දෙයක් නම් බන්ඩාරනායකගේ මරනයෙන් පසු ශ්‍රීලනිපයට එහි හිස අහිමි වූ බවත්, දැන් එය හිස අහිමි කවවන්ධයක් බවත්, එම කවන්ධයට හිසක් සවි කල යුතු බවත්ය. එම 'හිස' ලෙස ඔහු කාලාන්තරයක් තිස්සේ දැක්කේ ජනතා විමුක්ති පෙරමුනයි. මේ ගැන විවරනය කරමින් ඔහු 'ලංකාවේ අනාගතය භාරගන්නේ ග්‍රාමීය උගත් තරුන පරපුරයි' යන හිසින් දේශපාලන රචනයක් පවා ලිවීය. එනම් ඓතිහාසික තලයක තබා විමසන විට ශ‍්‍රීලනිපය හා ජවිපෙ හඳුනාගත හැක්කේ එකම දේශපාලන ප‍්‍රකාශනයක, එනම් සිංහල ගම්බද ජනතාවාදයේ ගතානුගතික හා රැඩිකල් වශයෙන් වූ ශාඛාවන් දෙකක් වශයෙනි.

2001 වන විට ජවිපෙ මෙන්න මේ ගම්බද සමාජ තීරු අතර මැතිවරනමය වශයෙන් යම් සාර්ථකත්වයක් සනිටුහන් කොට තිබුනේය. විශේෂයෙන්ම විවෘත ආර්ථිකය වැලඳ ගැනීමත් සමග ශ‍්‍රීලනිපයේ තිබූ මුල්කාලීන ජනතාවාදී හැඩය දුර්වර්න වී තිබූ තතු යටතේ ජවිපෙ රැඩිකල්වාදයට යම් අවකාශයක් ඒ කාලය තුල විවර වී තිබුනි. ස්වාධීන පක්ෂයක් ලෙස ජවිපෙ 1994-2001 කාලය තුල ලැබූ ප‍්‍රගමනය පසුපස තිබූ ප‍්‍රධානතම සාධකයක් වූයේ ‘උනුත් එකයි - මුනුත් එකයි ’ ලෙස එය විසින් කල උද්ඝෝෂනයට ගම්බද ප‍්‍රදේශ තුල ලැබුනු ප‍්‍රතිචාරයයි.

එහෙත් 2002 න් පසු ජවිපෙ තීරනාත්මක හැරවුමක් ගනී. මැතිවරන සාර්ථකත්වයෙන් ගිනි කන වැටී සිටි ජවිපෙ මේ යුගයේ ජනප‍්‍රිය බලය ගොඩනගා ගැනීමට තැත් කරන්නේ සිංහල ස්වෝත්තමවාදය සමග අනන්‍ය වීමෙනි. ඒ සදහා ඊට ඉඩකඩ සපයනු ලැබූයේ 2002 දී රනිල් වික්‍රමසිංහ ආන්ඩුව හා දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය අතර අත්සන් තැබුනු සටන් විරාම ගිවිසුමයි. ඒ වන විට රටේ සැලකිය යුතු ප්‍රදේශයක තත්වාකාර රාජ්‍යයක් පවත්වාගෙන යමින්, ප‍්‍රබල තැනකට ලගාවෙමින් තිබූ දෙමල ජනතාවගේ විමුක්ති අරගලයට එරෙහිව දකුනු ලංකාව තුල සිංහල ස්වෝත්තමවාදය සංවිධානය කිරීමේ ව්‍යාපෘතියට පුරෝගාමී වූයේ ජවිපෙය. කොටි පැරදවීමට නම් ‘දේශපේ‍්‍රමී ශ‍්‍රීලනිපය’ සමග හවුලකට යා යුතු යැයි ජවිපෙ උද්ඝෝෂනය කල අතර එම උද්ඝෝෂනයේ අවසාන ප‍්‍රතිඵලය වූ කලී මහින්ද චින්තනයයි. අමරසේකරගේ අර්ථයෙන් 2004 දී කවන්ධය සහ හිස ඒකාබද්ධ විය.

කෙසේ වූවද මෙම ඒකාබද්ධවීමේ ක්‍රියාදාමය අවසාන වූයේ කවන්ධය විසින් හිස ගිලගැනීමෙනි. පශ්චාත් 2005 යුගය තුල ශ‍්‍රීලනිපය උග‍්‍ර සිංහල ජාතිකවාදී පක්ෂයක් ලෙස ජනප‍්‍රිය වන්නට විය. ඒ සදහා අවශ්‍ය න්‍යායික නූල් සූත්තර සහ ආවරන සියල්ල සපයනු ලැබූයේ ශ්‍රීලනිප කවන්ධයට අලුත එකතු වූ ජවිපෙ හිස විසිනි. රට ‍පාවාදීම, බටහිර ආක්‍රමනය, එන්ජීඕ පිල්ලි, සුදු කොටි, යලි යටත්විජිතකරනය ආදී විවිධ න්‍යායික සංකල්ප ඒ අනුව සූත්‍රගත කරන ලදී. මේ සංකල්පද ගෙන ශ්‍රීලනිපය ප්‍රබල ජාතිකවාදී පක්ෂයක්‍ ලෙස වැඩෙද්දී එය සෘජුවම බලපෑවේ ජවිපෙටය. ශ්‍රීලනිව නැගීම අභිමුව ජවිපෙ රැඩිකල්වාදය විසින් ගොඩනගා ගෙන තිබූ ගම්බද ජන සහයෝගය සීඝ‍්‍රයෙන් හැකිලී යාම පටන් ගත්තේය. ශ‍්‍රීලනිපය අති සාර්ථකව ජවිපෙ ඡන්ද බැංකුව ආක‍්‍රමනය කලේය. මෙම ආක‍්‍රමනය වඩාත් බලගතු වූයේ ග‍්‍රාමීය ජනයා ඉලක්ක කරගත් යම් යම් සුබසාධන වැඩසටහන් මහින්ද රාජපක්ෂ රජය විසින් අනුගමනය කිරීමත් සමගය. ගම්බදව ජාතිකවාදය හා සංවර්ධනවාදය වේශයෙන් ආ මේ ද්විත්ව ප‍්‍රහාරය ජවිපෙට ඔරොත්තු දීගත හැක්කක් නොවී. ජවිපෙ විසින්ම ඔසවා තැබූ මහින්ද චින්තනය ජවිපෙට එරෙහි මාරාන්තික තර්ජනයක් වූයේ ඒ අනුවය.

මෙවර මැතිවරන ප‍්‍රතිඵලය මගින් පෙන්වන්නේ අන් කිසිවක් නොව ශ‍්‍රීලනිපය නිසා අහිමි වූ ජවිපෙ ග‍්‍රාමීය ඡන්ද පදනම ආපසු ජවිපෙ වෙත ඇදී ඇවිත් නොමැති බවයි. එය එක්කෝ ශ්‍රීලනිපය තුලම රැදී තිබේ. නැතිනම් එජාපය වෙත ගොස් තිබේ. එය අන් කාගේවත් වරද නොව ජවිපෙ විසින්ම අනුගමනය කල ජාතිකවාදී හා සභාගවාදී ප‍්‍රතිපත්තිවල තර්කානුකූල ප‍්‍රතිඵලයයි. ජවිපෙ මේ තිත්ත ලෙස අනුභව කරමින් සිටින්නේ තමා විසින්ම කලෙක වපුල බිජුවට වල අස්වැන්නය. විසල් සීනු නාදය එතරම් විසල් නොවීමේ හේතුව තිබෙන්නේ විසල් සීනු නාදය තුලම බව තේරුම් ගැනීම ජවිපෙට මෙන්ම මෙරට විකල්ප දේශපාලනයක් ගැන උනන්දු වන සෑම දෙනාටම අතිශය වැදගත් පාඩමක් වනු ඇත්තේය.

Thursday, August 13, 2015

ඒ විසල් ඝන්ටාර නාදය



ලංකාවේ නාගරික මධ්‍යම පංතියට හුරුබුහුටි සුරතලෙක් මුන ගැසී තිබේ. මහාචාර්යවරුන්ගේ සිට නීතිඥවරුන් දක්වා, ව්‍යාපාරිකයන්ගේ සිට ‘සමාජ ජාල ක‍්‍රියාකාරීන් ’ දක්වා නොසිතූ විරූ පරාසයක පිරිසක් ජනතා විමුක්ති පෙරමුනට ඡන්දය දෙන්න යැයි ඉල්ලා පෙරට පැමින තිබේ.  මීට වසර කිහිපයකට පෙර, ජවිපෙට ඡන්දය දෙන්න යැයි ඉල්ලා සිටියහොත්, නිසැකවම උපහාසයෙන් සිනාවනු ඇති බොහෝ අය මෙවර තමුන් ජවිපෙට ඡන්දය දෙන බව ප‍්‍රකාශ කරති. නගරබද මධ්‍යම පංතික තීරු අතර පෙර නුවූ විරූ ජනප‍්‍රියත්වයක් මේ වනවිට ජවිපෙ වෙත ලැබී තිබෙන බව ඉතාමත් පැහැදිලිය.

ඒ විසල් ජවිපෙ පේ‍්‍රමය කුමක්ද?

‘ජවිපෙ බලවත් කල යුත්තේ ඇයි?’ යන්නට ප‍්‍රකටව ලැබෙන පිලිතුර වන්නේ ‘පාර්ලිමේන්තුව තුල ශක්තිමත් විපක්ෂයක භූමිකාව’ ජවිපෙ විසින් ඉටු කරනු ඇති බවයි. පත්වන ආන්ඩුව කුමක් වූවත් එහි සොරකම් ඇල්ලීමට ජවිපෙට පුලුවන්. ඒ අනුව නාගරික මධ්‍යම පංතිය විසින් ජවිපෙට පවරන්නට සූදානම් වන්නේ සොරකම් ඇල්ලීමේ භූමිකාවය. ජවිපෙ විපක්ෂයට සුදුසු බව පුන පුනා කීමේ විලෝමය කුමක්ද? ජවිපෙ ආන්ඩු බලයට නුසුදුසු බවයි.

මේ කරුන ඉතා කදිමට ප‍්‍රකාශ වී තිබුනේ සිනමා විචාරක චින්තන ධර්මදාස වෙතිනි. ඔහු මධ්‍යම පංතික රැඩිකල්වාදීන් සමූහයකගෙන් සමන්විත ‘අලූත් පරපුර’ සංවිධානය විසින් ජවිපෙට සහයෝගය දීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවට ද වාඩි වූවෙකි. මිල්ටන් ෆ‍්‍රීඞ්මාන් පන්නයේ ධනවාදයක් ලංකාවට අවශ්‍ය බවත්, ඊට ලංවිය හැකි තැනෙක සිටින්නේ එජාපය බවත් චින්තන තම බ්ලොග් අඩවියේ ලියා තිබුනේය. ෆ‍්‍රීඞ්මාන් පන්නයේ ධනවාදයක් පතන නාගරික මධ්‍යම පංතිකයාගේ ආශාව ජවිපෙ බඳු විපක්ෂයකි.

මෙහෙම චින්තන පරිවර්තනයක් නාගරික මධ්‍යම පංතික තීරු තුල හදිසියේ ඇති වී තිබෙන්නේ ඇයි? නාගරික කම්කරුවන් අතර කිසිදු පදනමක් ඉතිහාසයේ කිසිම දිනෙක නොවූ ජවිපෙ ඓතිහාසිකව පැන නැංගේ ග‍්‍රාමීය පහල පාංතික ජනයාගේ රැඩිකල් ව්‍යාපාරයක් වශයෙනි. ශ‍්‍රීලනිපය විසින් සාම්ප‍්‍රදායිකව නියෝජනය කල සිංහල ග‍්‍රාමීය ජනතාවාදයේ රැඩිකල් වාමාංශික රූපාකාරය ජවිපෙය.

මෙම ග‍්‍රාමීය නිර්ප‍්‍රභූ ව්‍යාපාරය ගැන ප‍්‍රසාදයක් ඉතිහාසයේ කවදාවත්  නාගරික මධ්‍යම පංතිය තුල පැවැතියේ නැත. ලංකාවේ විශ්ව විද්‍යාල වූ කලී නාගරික මධ්‍යම පංතිය සහ ජවිපෙ විසින් නියෝජනය කල දේශපාලනය අතර ප‍්‍රතිවිරෝධය මූර්තිමත් වන්නාවූ අවකාශයකි. ජවිපෙ විසින් මෙහෙයවනු ලැබෙන ශිෂ්‍ය සංගම්වලට සම්බන්ධ වන්නේ සරසවිවලට එන ගම්බද තරුන තරුනියන්ය. මෙම තරුන කොටස් අතින් නවකවදයට ලක්වීමට අකමැති නාගරික මධ්‍යම පංතික පවුල්වලින් එන තරුන තරුනියන් නවක වධ විරෝධී කුඩා කන්ඩායම් ලෙස විශ්ව විද්‍යාලවල පොදු ජීවිතයෙන් බැහැර වී සිටිති. සාමාන්‍යයෙන් මෙම නාගරික මධ්‍යම පංතිකයන්ට රැවුල් වවාගත්, රබර් සෙරෙප්පු දමාගත්, දාඩිය ගඳ ගහගෙන ඉන්න ‘ජෙප්පන්’ පෙන්නන්නට බැරිය. ජෙප්පන් ඔවුන්ට ‘ස්මාට්’ නැත.

එහෙත් දැන් සිදුවී ඇත්තේ කුමක්ද? දාඩිය ගඳ ගසන මූසල ජෙප්පන් සහ ස්මාට් මධ්‍යම පංතිකයන් අතර එක්වරම මේ ඇති වී තිබෙන සහවාසය කුමක්ද? නිර්ප‍්‍රභූ ව්‍යාපාරයක් පාර්ලිමේන්තුව තුල බලවත් විය යුතු යැයි කියන තරමට නාගරික මධ්‍යම  පංතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී වී තිබේද?

ඇත්තටම සිදුවී තිබෙන්නේ නාගරික මැද පංතියේ පරිකල්පනයට ගැලපෙන ලෙස ජවිපෙ තමාව කප්පාදු කරගැනීමය. එනම් ස්මාට් වීමය. මෙම ස්මාට්කරනයේ සංකේතය වූ කලී ‘අප පිනිසා එන මිනිසා’ නමින් එම පක්ෂය මුද්‍රනය කොට ඇති ප‍්‍රචාරක පෝස්ටරයයි. මේ පෝස්ටර්වල ජවිපෙ ඡන්ද අපේක්ෂකයෝ පිලිවෙලට ආචාරශීලීව දෑත් පහලට කොට බැඳගෙන, සිනාමුසු මුහුනින් වැදගත් ලෙස පෙනී සිටිති. මෙම පෝස්ටර් වෙලද දැන්වීම් සමාගමක් විසින් නිර්මානය කරන ලද්දක් බව මුල් බැල්මටම පෙනේ. වෙලද දැන්වීම් ආයතනයේ කැමරාකරුගේ බැල්මට අනුව ජවිපෙ සාමාජිකයින් පිලිවෙලකට පෙල ගැසී සිටින ආකාරය ජවිපෙ විෂයෙහි සිදුවන ස්මාට්කරනය සම්බන්ධ රමනීය රූපකයක් නොවන්නේද?

ප‍්‍රශ්නය මෙයයි. මෙම ස්මාට්කරනයේ ‘මිල’ කවරේද? ආර්ථික ප‍්‍රතිපත්ති පිලිබද සිදුකල අදහස් දැක්වීමක දී ඉතාම මෑතක ජවිපෙ නායක අනුර දිසානායක ස්වකීය මෘදු හඩින් අවධාරනාත්මකව පැවැසූයේ ‘සරදියෙල් පන්නයේ ආර්ථිකයකට’ ජවිපෙ ගමන් නොකරන බවයි. සරදියෙල් පන්නයේ ආර්ථිකය යනු කිම? ඇති එකාගෙන් ගෙන නැති එකාට බෙදාදෙන ආර්ථිකයකි. අතිශය චාම් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සුබසාධක රාජ්‍යය වුව එක්තරා විධිහක සරදියෙල් පන්නයේ ආර්ථිකයකි. එනම් ධනවතුන් මත බදු ගසා ඒ බදු ආදායමෙන් පහල පාංතිකයින් වෙත සුබසාධන සපයන ආර්ථිකයකි. ජවිපෙ ප‍්‍රතිඥා දී සිටින්නේ වියට්නාමයට හා වෙනත් අඩු මිලට ශ‍්‍රමය විකුනන රටවලට ගලා යන ගෝලීය ප‍්‍රාග්ධනය ලංකාවට ගෙන ඒමටය. එසේ නැතිව ප‍්‍රාග්ධනය විසින් සූරාකෑමට ලක්වන ශ‍්‍රමිකයන්ගේ පීඩනය සංවිධානය කිරීම සඳහා නොවේ. සිංහල ග‍්‍රාමීය ජනතාවාදයේ අතිශය රැඩිකල් රූපාකාරය ගෝලීය ධනවාදය සමග පෑහීමකට ගොස් තිබෙන්නේ එලෙසය.

ජවිපෙ නව ලිබරල් පද්ධතිය සමග වේගවත් සම්මුතියක් දිශාවට ගමන් කරමින් සිටින බව පැහැදිලිය. සමාජ සාධාරනත්වය හා නිර්ප‍්‍රභූ ජනකොටස්වල ඉල්ලීම් පිලිබඳ සටන් පාඨ වෙනුවට නාගරික මධ්‍යම පංතියට එකඟ විය හැකි වංචා දූෂන පිලිබඳ සටන් පාඨවලට සීමා වී ගැනීමෙන් පරාවර්තනය වන්නේ එකී සම්මුතියේ ප‍්‍රබලත්වයයි. සමහරවිට ජවිපෙ කේඩරය සිතනවා ඇත්තේ තමන්ට උවමනා විදිහට නාගරික මැද පංතිය පාවිච්චි වෙමින් තිබෙන බවයි. එහෙත් ඇත්තටම සිදුවී තිබෙන්නේ නාගරික මැද පංතියට උවමනා විදිහට ජවිපෙ වෙනස් වෙමින් තිබීමය. මෙය වාමාංශික රැඩිකල් පක්ෂයක සිට නව ලිබරල් කතිකාවේ මූලධර්ම සමග නොගැටෙන සම්මුතිකාමී පක්ෂයක් දක්වා වූ විතැන් වීමකි.

කෙසේ වුවද සිත්ගන්නා සුලු එක් නිරීක්ෂනයක් අවසන් වශයෙන් සටහන් කල යුතුය. දන්නා සියලු ශිල්ප යොදා කෙතරම් ස්මාට් වූවත් නාගරික මැද පංතිය ජවිපෙට දීමට සූදානම් විපක්ෂය මිස ආන්ඩු බලය නොවේ. මෙය බෙහෙවින් වැදගත් කරුනකි. ජවිපෙ නිර්ප්‍රභූ මූලයක් සහිත නායක කාරකාදීන් කෙතරම් ස්මාට් ලෙස පෙනී සිටින්නට දැගලුවත් වලවුව මුර කරන රාජකාරිය මිස වලවුවේ අයිතිය ඔවුන්ට දීමට නාගරික මධ්‍යම පංතියේ නෝනාවරු සහ මහත්වරු සූදානම් නැත. එනම් ජවිපෙ උපරිම වෙනසටත් ඉහලින් ඔවුන්ගේ පංති මානය පිහිටා තිබේ.

Sunday, August 9, 2015

ජයම්පති වික්‍රමරත්නගේ එක්සත් ජාතික පක්ෂකරනය

චාර්ය ජයම්පති වික‍්‍රමරත්න එලැඹෙන මහ මැතිවරනයේ දී එජාප මන්ත‍්‍රීධූර අපේක්ෂකයෙක් ලෙස නම් කොට තිබේ. හෙතෙම ලංකා සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප‍්‍රකට සාමාජිකයෙකි. ආචාර්ය වික‍්‍රමරත්න සමග ලසසප හා කොමියුනිස්ට් පක්ෂවල විකල්ප කන්ඩායම් ද එජාපයට මැතිවරනයේ දී සහයෝගය දීමට තීන්දු කොට ඇත. මෙම විකල්ප කන්ඩායම් බිහිවූයේ මෙම පක්ෂ පසුගිය ජනාධිපතිවරනයේ දී මහින්ද රාජපක්ෂට සහය දීමට ගත් තීන්දුවට විරුද්ධවය. තම පක්ෂ කාලයක් තිස්සේ අනුගමනය කල රාජපක්ෂවාදී ප්‍රතිපත්තියට එරෙහිව කැරලි ගැසූ සමසමාජ-කොමියුනිස්ට් විකල්ප කන්ඩායම් ‘වමේ කේන්ද්‍රය’ නමින් විවිධ වැඩසටහන් හා සම්මන්ත‍්‍රන ද පසුගිය කාලයේ සංවිධානය කලේය.

මේ අතර ප්‍රකට මාධ්‍යවේදී ගුනසිරි සිල්වා පසුගිය දිනෙක ‘අවිචාර සමය’ නමින් කෘතියක් එලිදැක්වීය. මෙම කෘතිය සමන්විතව තිබෙන්නේ රාජපක්ෂ පාලන සමය තුළ ඔහු විසින් එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වන ‘සියරට’ පුවත්පතට ලියනු ලැබූ කතුවැකි සමූහයකිනි. ගුනසිරි සිල්වා එක්තරා යුගයක ප‍්‍රකටව සිටියේ වාමාංශික සිනමා විචාරකයෙක් ලෙසයි. බී.ඒ. සිරිවර්ධනගේ කර්තෘත්වය යටතේ කොමියුනිස්ට් පක්ෂයේ ‘ඇත්ත’ පුවත්පත පලවන යුගයේ එම පුවත්පතට සිනමා විචාර සැපයූ ප‍්‍රමුඛ විචාරකයා වූයේ ගුනසිරිය. පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ගුනසිරි කියා තිබ‍ුනේ 'ලිබරල් රනිල්' සාපේක්ෂව ඉදිරිගාමී නායකයෙක් බවයි.

අප දැන් දැන් දකින මේ ප්‍රවනතාව, එනම් වාමාංශික කොටස් එජාපය සමග සන්ධානගත වීම තරමක අලුත් ප‍්‍රවනතාවයක් යැයි කිව හැක. සාම්ප‍්‍රදායිකව අප දුටුවේ වාමාංශිකයින් ලෙස තමුන්ව හදුන්වා ගන්නා පිරිස් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීමය. එහෙත් දැන්, බහුලව පෙනෙන්නේ එහි ප්‍රතිවිරුද්ධ පැත්තට සිදුවීම් පෙල ගැසෙන ආකාරයයි. එජාපය වූ කලී මෙරට ප‍්‍රභූ පංතිය නියෝජනය කරන දක්ෂිනාංශික පක්ෂයකි යන සංකල්පනය සාම්ප‍්‍රදායිකව වාමාංශිකයින්ගේ ‘සාමාන්‍ය දැනුම’ තුල තිබූ සංකල්පනයකි. ගුනසිරි සිල්වා වැනි කෙනෙක් එජාපය ගැන එකල දැරූ ආකල්පය වටහා ගැනීමට ඔහුම ලියා ඇති 'පිහාටු පෑනේ කතාව' නම් වූ ඔහුගේ ස්වයං චරිතාපදානය කියැවීම ප්‍රමානවත්වය. එලෙස එජාපය ස්වකීය පරම සතුරා ලෙස සැලකූ වාමාංශිකයින් පවා මෙලෙස එජාපය සමග හරි හරියට කාන්ඩගත සිත්ගන්නා සුලු නිරීක්ෂනයකි.

මෙබදු කාන්ඩ ගැසීමකට බලපෑ පසුබිම කුමක්ද? රාජපක්ෂ යටතේ අප දුටුවේ ශ‍්‍රීලනිපය වේගයෙන් ජාතිවාදීකරනය වීමකි. එම ජාතිවාදීකරනයට සමගාමීව විශාල අධිකාරිවාදයක් එම පක්ෂ පාලනය වටා ඒකරාශී විය. අද එජාපයට, විශේෂයෙන්ම එහි රනිල් වික‍්‍රමසිංහ නායකත්වයට, සහයෝගය දෙන බොහෝ වාමගාමී කොටස් ඒ කෙරෙහි යොමුවීමට බලපෑ එක් හේතුවක් වන්නේ මෙන්න මේ ජාතිවාදය පිලිබද ප‍්‍රශ්නයයි. ඔවුන් තමන්ගේ ආස්ථානයන් සාධාරනීකරනය කරගන්නේ ද ජාතිවාදය නමැති සාධකය හුවා දැක්වීම මගිනි. ජාතිවාදී මහින්දට වඩා එහෙම නොවන රනිල් හොදයි. තර්කය එන්නේ ඒ විදිහටය.

ප‍්‍රශ්නය මෙයයි. ‘වමේ කේන්ද්‍රයට’ හෝ තමන් ‘වාමාංශික’ ලෙස හදුන්වගන්නා කවරෙක්ට, තමා වාමාංශික යැයි කියා ගන්නා ගමන් මේ වර්ගයේ ආස්ථානයන්ට එලැඹිය හැක්කේද? ඉහත කී 'ජාතිවාදී මහින්දට එරෙහිව එහෙම නැති/ එය අඩු රනිල්' තර්කයේ දෝෂය නම් රනිල්ව හෝ මහින්දව ඔවුන් ක්‍රියාත්මක වෙන සමස්තය තුල තබා සංයුක්තව කියවාගන්නේ නැතිව, තමා ඔවුන් තුල දකින්නට කැමති ලක්ෂනයක් වියුක්ත කොට ගෙන, එය උත්කර්ෂයට නගාලීමයි.

මෙන්න මෙතැනදී ‘වාමාංශය’ යනු කුමක්ද යන අතිශය මූලධාර්මික ප‍්‍රශ්නය නැවතත් වර නැගීමට අපට සිදුවේ. ඓතිහාසිකව වාමාංශික ලෙස හදුන්වනු ලැබූයේ සමාජ සාධාරනත්වය වෙනුවෙන් සහ වඩා සමානාත්මතාවාදී  ( Egalitarian )  සමාජයක් වෙනුවෙන් පෙනී සිටි දේශපාලන කන්ඩායම්ය. ධනවාදය විසින් ඇති කරන අසමානතාවාදී සමාජ සම්බන්ධතා වාමාංශික කොටස් වෙතින් විවේචනයට ලක්විය. මෙම අසමානාත්මතාවාදී සමාජ ව්‍යුහයන්ට/ සමාජ සම්බන්ධතාවලට එරෙහිව අරගල කිරීම ඒ අනුව වාමාංශිකත්වයේ අනන්‍යතාවයයි. ස්ලැවෝයි ජිජැක්ගේ නාමකරනයක් නයට ගෙන කියන්නේ නම් සමාජයේ ‘ඇතුලත් කරගනු ලැබූවන් ’ (Included)   ගේ ආධිපත්‍යය යුක්ති යුක්ත කරන සංස්ථාවන්ට එරෙහිව ‘බැහැර කරනු ලැබූවන් ’  ( Excluded) ගේ විමුක්ති අභිලාෂයන් නියෝජනය කිරීම, එකී විමුක්ති අභිලාෂයන් සංවිධානය කිරීම වාමාංශයේ ඓතිහාසික කාර්යය වූයේය. වාමාංශය ‘වාමාංශය’ වන්නේ එය සතු මෙන්න මේ සුවිශේෂී අනන්‍යතාවය නිසාය.

විප්ලවවාදී සමාජවාදීන් වේවා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හෝ ප‍්‍රතිසංස්කරනවාදී සමාජවාදීන් හෝ වේවා, නව සමාජ ව්‍යාපාරවලට අයත් විවිධ ප‍්‍රවනතා හෝ වේවා - මේ සියල්ලෝ අඩු වැඩි වශයෙන් ඉහත කී අනන්‍යතාවය තුල ස්ථානගත වූවෝ වූහ.

ශ‍්‍රීලනිපය මෙන්ම එජාපයත් අප සමාජයේ පවතින අසමානාතාවාදී සමාජ සැකැස්ම පවත්වාගෙන යන බල ව්‍යුහයන්ය. එනම් ‘ඇතුලත් කරගනු ලැබූවන්’ ගේ දේශපාලන අභිලාෂයන් මෙකී පක්ෂ විසින් නියෝජනය කරයි.

අප සලකා බලන එජාපය පිලිබද නිශ්චිත උදාහරනය ගතහොත් එජාපය යනු ශ‍්‍රමයේ සංවිධානාත්මක බලයට එරෙහි ප‍්‍රාග්ධනයේ ප‍්‍රහාරය නියෝජනය කරන නව ලිබරල්වාදය ලංකාවට හදුන්වාදුන් පක්ෂයයි. එම ප්‍රහාරය සංවිධානය කල පක්ෂයයි. පසුගිය දිනෙක ‘සත්හඩ’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් එහි නායක රනිල් වික‍්‍රමසිංහ පවසා තිබුනේ 1981 අධ්‍යාපන ධවල පත‍්‍රිකාව ක‍්‍රියාත්මක වූයේ නම් අද තිබෙන අධ්‍යාපන ප‍්‍රශ්න බොහොමයක් විසදී තිබෙනු ඇති බවයි. අධ්‍යාපන ධවල පත‍්‍රිකාව වූ කලී අධ්‍යාපනය පෞද්ගලිකකරනය කිරීමට කැදවුම් කල , දහස් ගනන් ශිෂ්‍යයින් හා කම්කරුවන්ගේ විරෝධයට පාත‍්‍ර වූ ගර්හිත ලියැවිල්ලකි. මහජන විරෝධතා නිසා එවකට අධ්‍යාපන ඇමති වූ රනිල් වික්‍රමසිංහට එම ලියැවිල්ල හකුලා ගැනීමට සිදුවූ අතර එම ලියැවිල්ලේ අන්තර්ගතය වෙනුවෙන්, එනම් අධ්‍යාපනය පුද්ගලිකකරනය වෙනුවෙන්, හේ මේ මොහොතේ දීත් විවෘතව පෙනී සිටින්නේ එසේය.

එමතු නොව එජාපයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ගෝලීය ප‍්‍රාග්ධනයට සහන දෙන නිදහස් වෙලද කලාප පන්නයේ අධි ආර්ථික කලාපවලින් යුක්ත සංවර්ධන වැඩසටහනක් යෝජනා කරයි. කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදල්වල පාලනය පෞද්ගලික අංශයට පැවරීමේ යෝජනාවක් පවා එය විසින් ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කොට ඇත. ජයම්පති වික්‍රමරත්න එජාපයේ මේ සාර්ව ආර්ථික ප්‍රවේශය ගැන දරන අදහස කුමක්ද? කම්කරු නීති ලිහිල් කොට කම්කරුවන් සූරාකෑම සදහා පහසුකම් ප්‍රාග්ධනයට සපයා දෙන අධි ආර්ථික කලාප ඇතිකිරීම එජාපය තමන්ගේ මුඛ්‍ය ආර්ථික උපාය මාර්ගය ලෙස ඉදිරිපත් කොට තිබෙන සන්දර්භයක ඒ ගැන ගුනසිරි සිල්වාට කියන්නට තිබෙන්නේ කුමක්ද?

හුදෙක් රනිල් ජාතිවාදී නැහැ යන අදහස ඉදිරිපත් කිරීම තුල ඉහත කී කිසිවක් නිශේධනය වන්නේද? පවතින අධිපති සමාජ සම්බන්ධතා / ව්‍යුහයන් ප‍්‍රතිනිෂ්පාදනය කිරීමට එජාපය දක්වන පුරෝගාමී දක්ෂිනාංශික මැදිහත්වීම නමැති සමස්තය ජාතිවාදය පිලිබද එක් නිරීක්ෂනයක් මත අමතක කොට දැමිය හැකිද? අනාගතයේ දී එජාප අනුග‍්‍රහය මත ඇතිවන අධි ආර්ථික කලාප තුල ගෝලීය ප‍්‍රාග්ධනය විසින් වැටුප් ශ‍්‍රමිකයන් දුෂ්කර ශ‍්‍රම කොන්දේසි තුල සූරාකෑමට ලක්වෙන විට එජාපයෙන් පාර්ලිමේන්තු යන ජයම්පති වික‍්‍රමරත්න ගැනීමට බලාපොරොත්තු වෙන්නේ කාගේ පැත්තද?  තතු මෙසේ වනවිට වරප‍්‍රසාදලාභීත්වයට එරෙහිව නිර්වරප‍්‍රසාදිතයන් සංවිධානය කිරීමේ වාමාංශයේ ඓතිහාසික රැඩිකල් අර්ථයට සිදුවන්නේ කුමක්ද? එම සුවිශේෂී රැඩිකල් අර්ථය අත්හරින වමේ කේන්ද්‍රය තවදුරටත් ‘වමේ කේන්ද්‍රයක්’ යැයි කිව හැකිද? විවිධ හේතු හුවා දක්වමින් එජාපය හෝ ශ‍්‍රීලනිපය සමග කාන්ඩගත වන ‘වාමාංශිකයින්ගෙන් ’ අප ඇසිය යුතු මූලධාර්මික ප‍්‍රශ්න මේවාය.


Saturday, August 1, 2015

විජිත හේරත් සහ නොනවතින විප්ලවය

දෙමල ජාතික සන්ධානය ස්වකීය මැතිවරන ප‍්‍රකාශනය මගින් බලය බෙදීමේ දේශපාලන විසඳුමක අවශ්‍යතාව අවධාරනය කොට තිබේ. කලාපීය ස්වයං පාලනය සඳහා වූ මෙකී ඉල්ලීම සම්බන්ධව ප‍්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුනේ විජිත හේරත් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කොට තිබුනේ මෙම ඉල්ලීමට ජවිපෙ විරුද්ධ බවයි. ෆෙඩරල් ක‍්‍රමයක් ඇති කිරීම ‘රට බෙදීමේ දිශාවට යාමක් ’ බව ඔහු ‘දිවයින’ පුවත්පතට ප‍්‍රකාශ කොට තිබුනේය.

‘නිම නොවූ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් සමාජවාදී විප්ලවය විසින් පවරා ගත යුතුය’ යන්න ජවිපෙ න්‍යායික ස්ථාවරයකි. ඔවුන්ගේ පක්ෂ වැඩපිලිවෙල තුල මෙම ස්ථාවරය සටහන් වී තිබේ. පක්ෂ වැඩපිලිවෙලේ ලියැවී තිබුනත් මෙම වාක්‍යයෙන් කියැවෙන්නේ කුමක්දැයි ජවිපෙ සාමාජිකත්වය බැරෑරුම්ව කල්පනා කොට තිබේදැයි සැක සහිතය. මෙම උද්ධෘතය ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය තුල එන්නකි. පසුගාමී ධනේශ්වර සංවර්ධනයක් තිබෙන රටවල විප්ලවයේ ස්වරූපය ගැන ලියමින් ට්‍රොට්ස්කි මෙම සංකල්පනය වර්ධනය කලේය. අඩු දියුනු ධනවාදී රටවල තිබූ ප‍්‍රශ්නයක් වූයේ සංවර්ධිත ධනවාදී රටවල යම් මට්ටමකින් සාක්ෂාත් කොටගෙන තිබූ ප‍්‍රජාතාන්ත‍්‍රීය ජයග‍්‍රහන නොදියුනු ධනවාදී රටවල ප‍්‍රමානවත්ව ඉටු වී නොතිබීමය.

ට්‍රොට්ස්කිගේ යෝජනාව වූයේ මෙබඳු පසුගාමී රටවල ධනපති පංතිය කෙතරම් දුර්වල ද යත් බටහිර යුරෝපයේ රටවල ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවවලින් ඉටු කල කාර්යයන් හෝ ඉටු කිරීමට ඔවුන් අසමත් බවයි. ඒ අනුව එම කාර්යයන් සාක්ෂාත් කරගැනීම කම්කරු පංතිය තමා වෙත පවරා ගත යුතු බවයි. කම්කරු පංතිය එලෙස එම කර්තව්‍යයන් තමා වෙත පවරා ගනිමින් පටන් ගන්නා විප්ලවය ප‍්‍රජාතාන්ත‍්‍රීය ඉල්ලීම්වලට සීමා නොවී සමාජවාදී ඉල්ලීම් දක්වා නොනැවතී ගමන් කල යුතු බව නොනවතින විප්ලව න්‍යායේ අදහසකි.

ට්‍රොට්ස්කි මේ අදහස සංකල්පගත කලේ සියවසකටත් ඉහතදීය. විසි එක් වන සියවසේ ඌන සංවර්ධිත ධනේශ්වර සමාජයක් වන ලංකාවේ සිට දේශපාලනය කියවන අපට මේ සංකල්පනයේ තිබෙන අදාලත්වය කුමක්ද? ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු මට්ටමකින් ධනේශ්වරකරනය වී තිබුනත් එනයින්ම සමාජ - දේශපාලන තලයන් තුල ප‍්‍රජාතාන්ත‍්‍රීය පෙරලියක් ඇති වී නැත. නූතන පුරවැසියෙක් බිහිවී නොතිබීම, සුලූතර ජාතික කොටස්වල ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම්, කාන්තා නිදහස, මහජන නියෝජිත ආයතන පිලිබද දුර්වල අදහස, රාජ්‍යය ලෞකිකකරනය කිරීම ආදී ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනයක් ඇති විය යුතු පුලුල් කලාපයක් පවතී.

මෙම කර්තව්‍යයන් ඉටු කිරීමට යාමේ දී සමාජයේ ඇටුවම් බැස තිබෙන පසුගාමී ආකල්ප හා සංස්ථාවන් සමග හැප්පීමට සිදුවේ. එම නිසා මෙබඳු පරිවර්තනයක් ඇතිකිරීම සඳහා දැඩි දේශපාලන අධිෂ්ඨානයක් අවශ්‍යයය. 1956 දී සිංහල පමනක් රාජ්‍ය භාෂාව කිරීම පිලිබද ප‍්‍රශ්නය මතු වූ විට එන්.එම්.පෙරේරා කීවේ මෙම යෝජනාවට විරුද්ධ වීම නිසා තමාට යම් කලෙකට දේශපාලන වැලිකතරට යාමට වුව සිදුවනු ඇති බවත් එහෙත් ජාතීන්ගේ සමානත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඊට පවා තමා සූදානම් බවත්ය. මහජාතිවාදය මහෝඝයක් මෙන් නැගී එන පසුබිමක සමසමාජ පක්ෂය ඉසිලූ මෙම අධිෂ්ඨානශීලී ආස්ථානය ලංකා දේශපාලන ඉතිහාසයේ කීර්තිමත් ස්මරනයකි. සමාජයේ ගැඹුරු ප‍්‍රජාතාන්ත‍්‍රීය පරිවර්තනයක් සඳහා මෙන්න මේ විදිහේ බලවත් දේශපාලන අධිෂ්ඨානයක් ඇවැසිය.  

ලංකාවේ සාම්ප‍්‍රදායික ප‍්‍රභූ පක්ෂ තුල එබඳු දේශපාලන අධිෂ්ඨානයක් හෝ විභවයක් නොපවතී. තතු එසේ නම් මෙම ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලයේ වගකීම පවරා ගත යුතුව තිබෙන්නේ වාමාංශයයයි. ලංකාවේ දේශපාලන ඉතිහාසය තුල ඇත්තටම සිදුවූයේ ද එයයි. ලංකාවේ සර්වජන ඡන්ද බලය, ජාතික ස්වාධීනත්වය ආදිය වෙනුවෙන් සටන් කලේ සමසමාජ පක්ෂය මිස සාම්ප‍්‍රදායික ප‍්‍රභූ පංතිය නොවේ. ජාතීන්ගේ සමානත්මතාවය වෙනුවෙන් සමසමාජ පක්ෂය ස්වකීය මුල්කාලීන ඉතිහාසය තුල කීර්තිමත් අරගලයක් කල අතර කුල පීඩනයට එරෙහිව ද එබඳු ආස්ථානයක් එම පක්ෂය ගත්තේය. සමසමාජ පක්ෂයේ එකම සටන වූයේ කම්කරු පංතියට රාජ්‍ය බලය ලබාගැනීමේ සටන නොවේ. එම සමාජවාදී ඉල්ලීම සමග ප‍්‍රජාතාන්ත‍්‍රීය ඉල්ලීම් පුරුද්දන ලදී.

‘ධනේශ්වරය විසින් ඉටු නොකළ ප‍්‍රජාතාන්ත‍්‍රීය කර්තව්‍යයන් සමාජවාදී විප්ලවයේ කොටසකි’ යන්න බැරෑරුම්ව ගන්නේ නම් ඉන් අර්ථවත් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය රැඩිකල් වාමාංශය බරපතල ලෙස භාරගත යුතු අරගලයකි යන්නය. එනයින් පීඩනයෙන් නිදහස් වීමට සුලූතර ජාතික කොටස්වලට තිබෙන අයිතිය වෙනුවෙන්, කාන්තා නිදහස වෙනුවෙන්, ප‍්‍රජාතාන්ත‍්‍රීය සම්ප‍්‍රදායන් සමාජය තුල ශක්තිමත් කිරීම වෙනුවෙන්, රාජ්‍යය ලෞකිකකරනය කිරීම වෙනුවෙන්, එල්ජීබීටී ජනයාගේ අයිතීන් වෙනුවෙන් - පොදුවේ මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් වඩාත්ම පුරෝගාමීව අරගල කල යුත්තේ රැඩිකල් වාමාංශයයි. සමාජවාදී අරගලය යනු එම  සටන දේශපාලන-ආර්ථික තලය දක්වා දීර්ඝ කිරීමකි. ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලය සහ සමාජවාදය යනු, ඒ අනුව, අවධි දෙකක තිබෙන අවස්ථා දෙකක් නොව, එකම නොනවතින අරගලයක අඛන්ඩත්වයක් තුල පවතින්නකි.

ඒ අනුව පීඩිත දෙමල ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන් වෙනුවෙන් අන් කාටත් වඩා පුරෝගාමීව පෙනී සිටිය යුත්තේ රැඩිකල් වාමාංශයයි. ජාතික පීඩනයෙන් නිදහස්වීම සඳහා දෙමල ජනයාගේ පැත්තෙන් මතුවන අරගලය තුල ප‍්‍රජාතාන්ත‍්‍රීය සන්ධාරයක් ඇත. එම ඉල්ලීමේ ප‍්‍රජාතාන්ත‍්‍රීය සන්ධාරය වෙනුවෙන් පෙනී සිටීම රැඩිකල් වාමාංශයේ කාර්යයයි. එය සමාජයේ පොදු ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලයේ සංයුක්ත කොටසකි. ලංකාවේ සිංහල ධනපති පක්ෂ දෙක ඉතිහාසය තුල අඩු වැඩි වශයෙන් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් දැක්වූයේ මිත‍්‍රශීලී ආකල්පයක් නොවේ.  පීඩිත ජනතාවකගේ මූලික ප‍්‍රජාතාන්ත‍්‍රීය ඉල්ලීම්වලට පවා විරුද්ධ වන වාමාංශික පක්ෂයක් වේ නම් එයට උරුම විය යුත්තේ ඉතිහාසයේ කුනු කූඩය මිස අනෙකක් නොවේ.