Monday, July 27, 2015

ප්‍රාග්ධනයේ බලයට එරෙහි යුරෝ - ඇමරිකානු ප්‍රතික්‍රියාව

ජෙරමි කෝබින්ට සහයෝගය දීමෙන් වැලැකී සිටින ලෙස බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් එරට ලේබර් පක්ෂයේ සාමාජිකත්වයෙන් පසුගිය දා ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය.බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂ නායකත්වය සඳහා වූ ඡන්දය නොබෝ දිනෙකින් පැවැත්වීමට නියමිතය. මේ වනවිට ඊට අදාළ ඡන්ද ව්‍යාපාරය දියත් වී තිබේ. කෝබින් නායකත්වයට පත්වීම නිසා පක්ෂය නැවත සාම්ප්‍රදායික වාමාංශික පක්ෂයක් වී එය ‘80 දශකය වෙත ‘පසුබසිනු ’ ඇතැයි බ්ලෙයාර් ස්වකීය ප‍්‍රකාශයෙන් අනතුරු හඟවා සිටියේය.

ජෙරමි කෝබින් වූ කලී දීර්ඝ කාලයක් තිස්සේ ලේබර් පක්ෂයේ වාමාංශය නියෝජනය කරන්නෙකි. පසුගිය මහ මැතිවරනයෙන් ලේබර් පක්ෂය වාර්තාගත ලෙස කොන්සර්වැටිව් පක්ෂය ඉදිරියේ පරාජය වූ අතර පක්ෂ නායක එඞ්වඞ් මිලිබෑන්ඞ් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්විය. ඉන් පුරප්පාඩු වූ තනතුර උදෙසාය මෙම ඡන්දය පැවැත්වෙන්නේ. නායකත්ව අපේක්ෂකයින් සිවු දෙනෙක් මේ වනවිට ඒ සඳහා තරග වැද සිටී. කෝබින් තරගයට ඉදිරිපත් වී සිටින්නේ වාමවාදී අපේක්ෂකයෙක් ලෙසයි. ආර්ථික අර්බුදයට බ්‍රිතාන්‍යය ගොදුරු වීමත් සමග එරට ආන්ඩුව විසින් ක‍්‍රියාවේ යොදවා තිබෙන ‘කප්පාදු පිලිවෙත්’ වලට දැඩි විරෝධය පල කරන කෝබින් මේ වනවිට ලේබර් ආධාරකරුවන් අතර සීඝ‍්‍ර ජනප‍්‍රියත්වයක් අත්කරගනිමින් සිටී. ඔහු තැචර්වාදයේ සහ බ්ලෙයාර් විසින් හදුන්වාදුන් ‘නව ලේබර්වාදයේ‘ ( New Labour ) ප‍්‍රකට විවේචකයෙකි.

බ්‍රිතාන්‍යයේ ප‍්‍රධානතම වෘත්තීය සමිති සම්මේලනයක් වන ‘යුනයිට්’ සම්මේලනය ස්වකීය සහයෝගය කෝබින් වෙත මේ වනවිට පලකොට ඇත. පටන් ගැන්මේ දී කෝර්බින්ගේ අපේක්ෂකත්වය ‘විහිලුවක් ’ ලෙස ලේබර් පක්ෂයේ ඉහල මාලය විසින් ගනන් ගනු ලැබුවත් දැන් දැන් එම අපේක්ෂකත්වය ‘තර්ජනයක් ’ ලෙස එය විසින් සැලකිල්ලට ගෙන තිබෙන බවට සලකුනකි බ්ලෙයාර්ගේ ප‍්‍රකාශය.

ලේබර් පක්ෂය තුළ රැඩිකල් වාමාංශික අපේක්ෂකයෙක් සඳහා පුලුල් සහයෝගයක් ගොනු වෙමින් තිබීම පසුගිය වසර කිහිපය තුල යුරෝපය තුල හමා යමින් තිබෙන වාමගාමී රැුල්ලේ තවත් එක් අවස්ථාවකි. නව ලිබරල් කප්පාදු පිලිවෙත්වලට විරෝධය පල කරන ග‍්‍රීසියේ සිරීසා, ස්පාඤ්ඤයේ පොදෙමොස් ආදී වාමාංශික ජන ව්‍යාපාරවල නැගීම සමග එකට ගත්විට මෙම ප‍්‍රවනතාව වැදගත් දේශපාලන හැඟවුමක් ඉදිරිපත් කොට සිටී. එම හැඟවුම කවරේද?

1970 දශකයේ අග සිට ගෝලීය දේශපාලනය නිර්වචනය කරනු ලැබූයේ නව ලිබරල් ධනවාදයේ උද්ගතය විසිනි. නව ලිබරල්වාදය එතෙක් පැවැති සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සුබසාධක රාජ්‍යයට එරෙහි මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කලේය. ප‍්‍රාග්ධනයේ ප‍්‍රසාරනය සඳහා සුබසාධක රාජ්‍යය බාධාවක් වූ අතර එම බාධාව සාහසික ලෙස කඩා බිඳ දමන ලදී. එහි ප‍්‍රතිඵල ලෙස ගෝලීය පරිමානයෙන් විවිධ රටවල පහල පාංතික ජනයා එතෙක් දිනාගෙන තිබූ සමාජ අයිතීන් ප‍්‍රාග්ධනයේ ප‍්‍රහාරයට ගොදුරු වූයේය. වෘත්තීය සමිතිවලට පහර දෙන ලදී. ශ‍්‍රමයේ සංවිධානාත්මක කේවල් කිරීමේ බලය ඒ අනුව මැඩ පවත්වනු ලැබුනි. නව ලිබරල්වාදයේ ප්‍රවාහය එතකේ පැවැති සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නව ලිබරල් රාමුව තුල ප්‍රතිඅර්ථකථනයට භාජනය කලේය.එහි තාර්කික අවසානය යුරෝපයේ ප්‍රධාන පෙලේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ නව ලිබරල්කරනයට ගොදුරු වීමයි. බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය 1997 දී ටෝනි බ්ලෙයාර් යටතේ ‘නව ලේබර්වාදය’ වැලද ගැනීම සාම්ප්‍රදායික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල මෙම නව ලිබරල්කරනය සම්බන්ධ සම්භාව්‍ය උදාහරනයකි.

නව ලිබරල්වාදයේ මෙම විජයග‍්‍රාහී ගමන පටන් ගන්නේ 1973 දී චිලී දේශයෙනි. සැල්වදෝර් අයියන්දේගේ සමාජවාදී ආන්ඩුව පෙරලා දමා ඔගස්තෝ පිනෝශේ එක්සත් ජනපදය අනුබලය ලත් හමුදා කුමන්ත‍්‍රනයකින් බලය ගැනීමත් සමග නව ලිබරල් අත්හදා බැලීම පටන් ගත් අතර මෙම ප‍්‍රවාහය ලතින් ඇමරිකාවෙන් ඇරඹී, ‘80 දශකයේ දී තැචර්වාදය සහ රේගන්වාදය ලෙස බ‍්‍රිතාන්‍යයට හා ඇමරිකාවටත්, ‘90 දශකය වන විට මහාද්වීපික යුරෝපයටත් ගලා ආයේය. පහල පාන්තික ජනයාගේ සමාජ අයිතීන්ට පහර දෙන විට ඇති වන ප‍්‍රතිවිරෝධතා මැඩලීම සඳහා දේශපාලන අධිකාරීවාදයක් වර්ධනය කෙරින. මේ අනුව ‘80 දශකයට මෙහා ඉතිහාසය යනු පහල පාන්තික ජනකොටස්වල සමාජ හා ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන්ට එරෙහිව ප‍්‍රාග්ධනය පැත්තෙන් දියත් වූ නොනවතින ප‍්‍රහාරයක ඉතිහාසයයි. 2008 ගෝලීය ආර්ථික අර්බුදය ඇති වන තුරු නව ලිබරල්වාදයේ මෙම ප‍්‍රහාරය විජයග‍්‍රාහී ලෙස ඉදිරියට ඇදී ආයේය. පෞද්ගලිකකරනය, සමාජ සේවා වෙලඳපොලකරනය, ප‍්‍රාග්ධනයට අධිකතර ලෙස දෙන සහන සහ ආර්ථිකයෙන් රාජ්‍යය ඉවත්වීම යනාදී ලක්ෂනයන්ගෙන් මෙකී ප‍්‍රහාරය සංයුක්තය.

මේ වනවිට යුරෝපය තුල ඇති වී තිබෙන රැඩිකල් වාම සමාජ ප‍්‍රජාතාන්ත‍්‍රික රැල්ල නව ලිබරල්වාදයේ මෙම ප‍්‍රහාරයට එරෙහිව උද්ගත වී තිබෙන ප‍්‍රතිවිරෝධය පෑමක් ලෙස හඳුනාගත හැක. යුරෝපය තුල මෙම වාම ප්‍රවාහය විසින් මතු කොට තිබෙන ප්‍රධානතම තේමාව වනුයේ තම තමන්ගේ රටවල ආන්ඩුවල නව ලිබරල් කප්පාදු පිලිවෙත්වලට එරෙහි විරෝධයයි. ජෙරමි කෝබින් ලේබර් පක්ෂයේ තරුන ආධාරකරුවන් අතර ජනප්‍රිය වීමට එක් හේතුවක් වී තිබෙන්නේ කප්පාදු පිලිවෙත් කෙරෙහි කෝබින් දක්වන අශමනීය ප්‍රතිවිරෝධයයි.

ගෝලීය නව ලිබරල්වාදයට එරෙහි මෙම ‍ලෝක ව්‍යාප්ත ප‍්‍රතික‍්‍රියාවේ පලමු ගිනි පුපුරු මතු වූයේ ලතින් ඇමරිකානු රටවලිනි. වෙනිසුවේලාවේ චාවේස් බලයට ඒම, බොලිවියාවේ මොරාලේස්ගේ ආන්ඩුව පිහිටුවීම ආදී සිදුවීම් එහි ආරම්භක ලක්ෂ්‍යයයි. එක්සත් ජනපදයේ ඇති වූ වෝල් වීදිය අල්ලා ගැනීමේ ව්‍යාපාරය ද මෙම ප‍්‍රවාහයට අයත්ය. දැන් මෙම ප‍්‍රතිවිරෝධතා ප‍්‍රවාහය යුරෝපයට ද ඇතුලූ වී තිබේ. ප්‍රාග්ධනයට ඉහලින් සමාජය තැබීමේ අවශ්‍යතාවය වූ කලී මහාද්වීප භේදයෙන් තොරව මෙම සියලු ව්‍යාපාර විසින් බෙදාහදා ගනු ලැබෙන පොදු වටිනාකමයි. පොදු තේමාවයි.

මෙම වාම සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රැල්ල, එහි සියලූ සීමාවන් තිබියදීම, ගෝලීය වශයෙන් ප‍්‍රාග්ධනය සහ ශ‍්‍රමය අතර බලතුලනයේ තීරනාත්මක විතැන් වීමක් පිලිඹිබු කරයි. නව ලිබරල්වාදී පර්යායේ සමතුලිතය දෙදරීමකට ලක්වී තිබෙන අතර ප‍්‍රාග්ධනයේ අනවරත ප‍්‍රහාරයට එරෙහි සංවිධානාත්මක විරෝධය මෙම වාම ප‍්‍රවාහය තුල කැටී වී තිබේ. ප‍්‍රාග්ධනයේ ආධිපත්‍යයට එරෙහි මෙම ප‍්‍රතිවිරෝධය නව රැඩිකල් ප‍්‍රති-ධනවාදී දේශපාලන ව්‍යාපෘතියක් සඳහා වූ පුලුල් විභවයක් ගැබ් කොට ගත්තකි. ගෝලීය නව ලිබරල් හෙජමොනිය අභියෝගයට ලක්වෙමින් තිබේ. එම අභියෝගය පුලුල් ප‍්‍රති- ධනවාදී ව්‍යාපෘතියක් දක්වා වර්ධනය කිරීමට නම් පලමුව ගෝලීයව ඇතිවෙමින් තිබෙන මෙම වෙනස නිවැරදිව වටහාගෙන සිටිය යුතු වන්නේය.  

Wednesday, July 22, 2015

ක්ෂාමා සාවන්ත් සහ වාමාංශය පටන් ගත යුතු තැන

ක්ෂාමා සාවන්ත් එක්සත් ජනපදයේ සියැටල් නාගරික සභාවේ මන්ත‍්‍රීවරියකි. ඇය 2014 දී මෙම නාගරික සභාවට තේරී පත්වූයේ කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ ඇමරිකානු අංශය වන ‘සමාජවාදී විකල්පය’ සංවිධානය නියෝජනය කරමිනි. 1877 දී ඒ.ඩබ්.පයිපර් සියැටල් නාගරික සභාව තේරී පත්වුවාට පසු තමා සමාජවාදිනියක ලෙස හඳුන්වගන්නා අයෙක් මෙම ආයතනයට ඡන්දයෙන් තේරී පත්වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

සාවන්ත්ගේ ජයග‍්‍රහනය වැදගත් වන ආකාර දෙකකි. පලමුව එක්සත් ජනපදය වැනි රටක රැඩිකල් වාමාංශය අතිශයින් දුර්වලය. බලවත් ධනපති පක්ෂ දෙකක් විසින් මුදුනේ සිට යටට එරට දේශපාලන ආධිපත්‍යය හොබවයි. 20 වන සියවසේ මුල් කාර්තුවෙන් මෙහා එම රටේ ප‍්‍රබල වාමාංශික දේශපාලන සම්ප‍්‍රදායක පැවැත්ම හෝ නොවීය. සීතල යුද්ධ කාලයේ ඇති වූ ප‍්‍රචාර උඩ ‘සමාජවාදය’ යන වචනය කෙරෙහි ඇමරිකානු සාමාන්‍ය ජන විඥානය තුල තිබෙන්නේ එදිරිවාදී අදහසකි. එම තතු තුල සමාජවාදී ප‍්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින අයෙක් මැතිවරනයෙන් තේරී පත්වීම, ඉතාම සුලු දෙයක් යැයි පෙනී යා හැකි වුවද, එම සමාජයට සාපේක්ෂව එය ඉදිරි පියවරකි.

වැදගත්ම කරුණ දෙවැන්නයි. සාවන්ත් ජයගන්නේ නිකම් නොව බිම් මට්ටමෙන් ගෙන ගිය දීර්ඝකාලීන සමාජ අරගලයක ප‍්‍රතිඵලයක් ලෙසය. 2012 දී වෝල් වීදිය අල්ලා ගැනීමේ ව්‍යාපාරය පැන නැංග අවස්ථාවේ සියැටල් නගරයේ එම ව්‍යාපාරය සංවිධානය කලේ සාවන්ත් විසිනි. වෝල් වීදියේ අත්දැකීමෙන් ඉක්බිති සියැටල් කම්කරුවන්ගේ අවම වැටුප පැයට ඩොලර් 15 ක් කල යුතු බවට වූ ඉල්ලීම වටා මහජන ව්‍යාපාරයක් ඇයගේ පක්ෂය විසින් සංවිධානය කරයි. මෙම ව්‍යාපාරය ජනගත කිරීම සදහා වේදිකාවක් ලෙස ඇය යොදාගන්නේ සියැටල් නාගරික මැතිවරනයයි. ප‍්‍රධාන පක්ෂ දෙක ’මහා පරිමාන පොහොසතුන්ගේ පක්ෂ’ ලෙස හඳුන්වන ඇය අවම වැටුප වැඩි කිරීමේ ඉල්ලීම වටා ශ‍්‍රමික ජනයා මෙම පක්ෂවලින් ස්වාධීනව සංවිධානය වීමේ වැදගත්කම අවධාරනය කරන්නීය. වෘත්තීය සමිති, බිම් මට්ටමේ වෙනත් ප‍්‍රජා සංවිධාන මෙම ඉල්ලීමට සහයෝගය ලබාදෙන අතර විශාල ධනපති පක්ෂවල මැතිවරන ව්‍යාපාරයට වඩා බෙහෙවින් වෙනස්, ප‍්‍රජා මූලික මැතිවරන ව්‍යාපාරයක් මෙම බහුජන සංවිධානවල සහයෝගය සහිතව ඇය විසින් ක‍්‍රියාවට නංවන්නීය.

මෙම ව්‍යාපාරයේ ප‍්‍රතිඵල ලෙසය ක්ෂාමා සාවන්ත් සියැටල් නාගරික සභාවට තේරී පත්වන්නේ. සැලකිය යුතු ආන්දෝලනයකින් ඉක්බිති අවම වැටුප වැඩිකිරීම සඳහා වූ ඇයගේ යෝජනාව නාගරිකය තුල ජයගනී. මේ වනවිට මෙම ඉල්ලීම වෙනත් ප‍්‍රාන්තවලටත් පැතිරී ගොස් තිබේ. කම්කරුවන් ඇතුලු ශ‍්‍රමික කොටස් දේශපාලන වශයෙන් සක‍්‍රීය කිරීම සඳහා මේ ඉල්ලීම බලපා තිබෙන අතර සාවන්ත් මේ වනවිිට ස්ටාර්බක් හා ඇමසන් බඳු ප‍්‍රධාන පෙලේ සමාගම්වල කම්කරුවන් වෘත්තීය සමිතිගත කිරීම සඳහා ව්‍යාපාරයකට මුල පුරා තිබේ.

ප‍්‍රති- සමාජවාදී අදහස් තදබල ලෙස මුල්බැසගෙන තිබෙන සමාජයක සමාජවාදී අදහස් ජනප‍්‍රිය කිරීමේ මාධ්‍යයක් ලෙස නියෝජිත මැතිවරන පාවිච්චි කළ හැකි ආකාරය ගැන සමකාලීන උදාහරනයකි සාවන්ත්ගේ අත්දැකීම. අවම වැටුප වැඩි කිරීම සඳහා වූ ඉල්ලීම සමාජවාදී විකල්පය සංවිධානය විසින් ඉදිරියට දමන තුරු එය දේශපාලන සටන් පාඨයක් ලෙස මතුව තිබූ එකක් නොවේ. එහෙත් ශ‍්‍රමික ජනයාගේ පැත්තෙන් බලන විට එය අත්‍යවශ්‍ය ඉල්ලීමක් විය. මෙම ඉල්ලීම මතු වී ආ වේලේ සමාජයේ ඉහල පාංතික කොටස් එයට සිය විරෝධය පෑවේය. කම්කරුවන්ගේ වැටුප් වැඩිකලහොත් ‘ආර්ථිකය අක‍්‍රීය වනු ඇතැයි ’ ඒ විරෝධතාවලින් කියැවින. එහෙත් අනිත් අතට අවම වැටුප සඳහා බිම් මට්ටමෙන් ප‍්‍රබල ව්‍යාපාරයක් වර්ධනය විය. කම්කරුවන් හා තරුනයන් සක‍්‍රීයව එම ව්‍යාපාරය හා සම්බන්ධ විය. මේ පොදු ඉල්ලීම වටා ප‍්‍රජා මූලික ව්‍යාපාරයක් ඇති කිරීම සාවන්ත්ගේ ජයග‍්‍රහනයේ පදනම වූයෙය. එනම් හුදෙක් පක්ෂයක් විසින් මෙහෙයවනු ලැබෙන, උඩ සිට පහලට සංවිධානය වූ ව්‍යාපාරයකට වඩා පක්ෂයද කොටස්කරුවෙක් වූ පුලුල් ප‍්‍රජාතාන්ත‍්‍රීය බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීමට දැක්වූ සමත්කමයි. අවම වැටුප් පිළිබඳ ඉල්ලීම සාවන්ත්ගේ හෝ ඇගේ පක්ෂයේ ඉල්ලීමක් නොවී සමාජයේ පහල පාංතික කොටස්වල ඓන්ද්‍රීය ඉල්ලීමක් ලෙස වර්ධනය වූයේ එම ව්‍යාපාරයේ තිබූ මෙකී ප‍්‍රජාතාන්ත‍්‍රීය ගතිකත්වය නිසාය.

මේ ලංකාවේ මහ මැතිවරන කාලයයි. මේ මොහොතේ ලංකාවේ කම්කරු ව්‍යාපාරය ඉතිහාසයේ දුබලම අඩියට වැටී තිබේ. 1980 ජූලි වර්ජනයෙන් පසු වෘත්තීය සමිති ව්‍යාපාරය විශාල බිඳ වැටීමකට ලක්විය. වැටුප් ශ‍්‍රමිකයින්ගෙන් අති බහුතරය අඩු තරමේ වෘත්තීය සමිති තුල හෝ සංවිධානය වී නැත.  ‘40-‘70 දශකවල මෙරට දේශපාලනය තුල මහත් බලයක් අභ්‍යාස කල ශ‍්‍රමික ජනයා මත පදනම් වූ බහුජන වාමාංශික පක්ෂ ද අද නැත.

එහෙත් එබඳු දේශපාලනයක විභවය ඉතාමත් සක‍්‍රීයය. හැට ගණන්වලට සාපේක්ෂව වර්තමානය වනවිට ජනගහනයේ විශාල පිරිසක් වැටුප් ශ‍්‍රමිකයින් බවට පත්වී සිටී. ආර්ථික ලිබරල්කරනයත් සමග ශ‍්‍රමික පංතියේ ස්වභාවය වෙනස් වී තිබෙන අතර ඔවුන් මුහුන දෙන ප‍්‍රශ්නවල රූපාකාරයන් ද තීව‍්‍ර වී තිබේ. මේ වනවිට වතු කම්කරුවන් සිය වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එලැඹී සිටී. අවම වැටුප රු.2500 න් ඉහල දමන ලෙස වූ ඉල්ලීමක් පුද්ගලික අංශයේ ශ‍්‍රමිකයින්ගේ පැත්නෙත් කාලාන්තරයක් තිස්සේ ඉදිරිපත් වෙමින් ඇත.

එහෙත් මේ කිසිදු අභිලාෂයක් බල දේශපාලන තලය තුල සෘජුව නියෝජනය වන්නේ නැත.   ඕනෑම ප‍්‍රති- ධනවාදී දේශපාලනයක අත්‍යවශ්‍ය අංගයක් වන්නේ ප‍්‍රාග්ධනයේ පාර්ශවීය අනෙකා වන වැටුප් ශ‍්‍රමය දේශපාලනිකව සංවිධානය කිරීමයි. අපගේ වාමාංශික පක්ෂ නැවත පටන් ගත යුත්තේ මේ මූලික ලක්ෂ්‍යයෙනි. එබඳු වෑයමක දී ක්ෂාමා සාවන්ත්ගේ සාර්ථකත්වය වැනි අත්දැකීම්වලින් උකහාගත හැකි පාඩම් බොහෝය.








Monday, July 6, 2015

ග්‍රීසියේ සිරීසා ආන්ඩුව සහ නිකොස් පුලන්සාස්ගේ මාක්ස්වාදය - 2

සිය අකල් මරනයට පෙර පුලන්සාස් විසින් රචිත අවසාන කෘතිය වූ 'රාජ්‍යය, බලය, සමාජවාදය' ( 1978 ) හිදී පුලන්සාස් තමන්ගේ න්‍යායන් පිරිපහදු කොට ඉදිරිපත් කලේය. මෙහි දී ඔහු රාජ්‍යය 'සමාජ සම්බන්ධතාවයක් ' ලෙස නිර්වචනය කරයි. එසේම රාජ්‍යයේ සාපේක්ෂ ස්වාධීනත්වය ගතික එකක් යැයි යෝජනා කරයි. රාජ්‍යය වූ කලී 'පංති අරගලය කැටි කොට දැක්වීමක්' නිසා රාජ්‍යයේ ස්වාධීනත්වය සෑම විටම තරගයට භාජනය වේ. එක් තනි පංතියක් කිසිදු විටෙක සම්පූර්න පාලනය උසුලන්නේ නැත. රාජ්‍යයට සෑම විටම අධිපති පංතීන්ගේ අභිලාෂයන් සැලකිල්ලට ගැනීමට සිදුවේ. රාජ්‍යයේ සාපේක්ෂ ස්වාධීනත්වය අරගලයේ තීව්‍රතාවට ප්‍රතිචාරීව විතැන් වීම් හා වෙනස්වීම්වලට ලක්වනු ඇත.

නිදසුනක් ලෙස කුවේලකිස් ග්‍රීක අර්බුදයේ සන්දර්භය තුල රාජ්‍යයේ මෙම සාපේක්ෂ ස්වාධීනත්වය පිලිබද අදහස වටහා ගත හැකි ආකාරය මෙසේ පැහැදිලි කරයි -

ග්‍රීසියේ රාජ්‍යය තුල තිබෙන ලක්ෂනයක් නම් මේ සාපේක්ෂ ස්වාධීනත්වය වෙනත් අවස්ථාවන්ට වඩා සාපේක්ෂව දුර්වල සහ සාපේක්ෂව සීමාසහිත වූවක් වීමයි. මෙහි හේතු සෙවීම සදහා ග්‍රීක ඉතිහාසයේ ගැඹුරට කිමිදීමට අපට සිදුවේ. ග්‍රීක රාජ්‍යය ජනප්‍රිය පංතීන් සමග, එනම් තමන්ගේම ජනතාව සමග, දශක ගනනාවක් තිස්සේ අඛන්ඩ යුද්ධයක නියැලී සිටියේය. විරුද්ධාභාසයක් ලෙස පෙනී යා හැකි නමුත් ග්‍රීක රාජ්‍යයේ මෙම දුර්වලතාවයේ මූලය නම් ග්‍රීසියේ ජනප්‍රිය පංතීන්ට රාජ්‍යය තුල ස්වකීය අභිලාෂයන් නියාමනය කිරීමට සහ ඒ සදහා ස්ථිර නියෝජන ආකෘති ඇති කරගැනීමක් වෙත ලගාවීමට එකී පංතීන් අසමර්ථ වීමයි9'.


ඒ නිසා ප්‍රශ්නය වූ කලී නියෝජනය සහ රාජ්‍යය තුල වන මෙහෙයවීමේ බලය පිලිබද ප්‍රශ්නයකි. රාජ්‍යය ප්‍රජාතාන්ත්‍රීකරනය කරමින් ස්වාධීන බිම් මට්ටමේ ව්‍යාපාරවල ආරක්ෂාව සදහා එය භාවිතා කල හැකි උපාය මාර්ගයක් පුලන්සාස් යෝජනා කලේය. මෙකී සමාජ ව්‍යාපාර ' රාජ්‍යයට පිටතින්, රාජ්‍යය තුල සහ රාජ්‍යය පරිවර්තනය කිරීම සදහා ක්‍රියාත්මක වනු ඇත10'

පුලන්සාස් මෙසේ ලියයි -

අප 'රාජ්‍යය සුනුවිසුනු කිරීම' පිලිබද කථා නොකලා වුවත් වාමාංශික යුරෝ කොමියුනිස්ට්වාදය රැඩිකල් පරිවර්තනයක අවශ්‍යතාවය පිලිබද ප්‍රශ්නය ගැන අතිශය සවිඥානිකය. රාජ්‍යයේ දෘෂ්ටිවාදී උපකරන පමනක් නොව එහි මර්දනකාරී උපකරන ද මෙම රැඩිකල් පරිවර්තනයට හසුවිය යුතුය. එතැනදී තීරනාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් එලැඹෙනු ඇත. එම හැරවුම් ලක්ෂ්‍යය සිවිල් යුද්ධයක් නොව රාජ්‍යයේ ඇතිවන නොනවතින අර්බුදයක් වනු ඇත11

ආර්ථිකය ගැන ඔහු මෙසේ කරුනු දක්වයි -

ආර්ථික උපකරනවල කොටස් එහෙම් පිටින්ම ගලවා දැමීමක් වෙත වෙනස්කම් ඉලක්කගත වීම කිසිදු මොහොතක දී සිදු නොවිය යුත්තකි. එබදු දිශානතියක් ආර්ථිකය අබ්බගාත කොට ධනපති පංතියට කඩාකප්පල්කාරී ක්‍රියා කිරී‍මට තිබෙන හැකියාව ඉහල නංවනු ඇත. සමාජවාදය සදහා වූ ප්‍රජාතාන්ත්‍රීය මග සදහා දීර්ඝ ක්‍රියාවලියක් අවශ්‍යයය. මේ මාර්ගයේ මුල් අවධිය බහුල වශයෙන් සමන්විත වනු ඇත්තේ  ඒකාධිකාරී ප්‍රාග්ධනයේ හෙජමොනිය අභියෝගයට ලක්කිරීම්වලිනි. එහෙත් එය නිෂ්පාදන සම්බන්ධතාවල න්‍යෂ්ඨිය තුල මහත් වේගයෙන් ක්ෂනික පෙරලියක් ඇති කිරීම වෙත ඉලක්කගත වීම නොහොබී. ඒකාධිකාර විරෝධී අවධිය තුල සිදුවන සෑම ඛන්ඩනයකදීම සහ ප්‍රහාරයකදීම ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සුමට ලෙස ගලාගෙන යනු ඇති බවට රාජ්‍යය වගබලා ගත යුතුය. එනම් ආර්ථිකය  එක්තරා ප්‍රමානයකට ධනවාදී එකක් ලෙස කාලාන්තරයක් තිස්සේ පවතිනු ඇත12.

සංවිධාන ක්‍රම පිලිබද ප්‍රශ්නය වෙත එන විට තනි පක්ෂ ක්‍රමයක තිබෙන අඩුපාඩු මගහරවා ගැනීම සම්බන්ධයෙන් පුලන්සාස් අතිශයින් උනන්දුසහගතය. ස්ටාලින්වාදී පාලන ආකෘතියට වෙනස්ව ප්‍රජාතාන්ත්‍රීය සමාජවාදයක් සදහා වූ අරගලයේ දී සමාජ ව්‍යාපාරවල වැදගත්කම කෙරෙහි හෙතෙම අවධානය යොමු කලේය.

පක්ෂය අසමසම මධ්‍යගතකරන සාධකය ලෙස සැලකීම, එම මධ්‍යගතකරනය මොනතරම් විචක්ෂන එකක් වුවත් හොදම විසදුම යැයි මම නොසිතමි. මා සිතන්නේ අපට වැඩි වැඩියෙන් ස්වාධීන සමාජ ව්‍යාපාර අවශ්‍ය බවයි. මෙම සමාජ ව්‍යාපාරවල සංවිධාන ආකෘතිය දේශපාලන පක්ෂයක සංවිධාන ආකෘතිය ගැනීම අවශ්‍ය නැහැ. ‍ගොඩනැගිය හැකි ඉතාම පරමාදර්ශී දේශපාලන පක්ෂයට වුව පිටතිනුයි ස්ත්‍රීවාදී ව්‍යාපාරය ස්ථානගත විය යුත්තේ. විප්ලවවාදී පක්ෂයක් කාන්තා ප්‍රශ්නය කෙරෙහි නිශ්චිත සංකල්පනයක් සහිත විය යුතු බව අවධාරනය කරන අතරේම කිව යුත්තේ ඉතාම පරමාදර්ශී පක්ෂයට වුව මේ වාගේ සමාජ ව්‍යාපාර මුලුමනින්ම අන්තර්ග්‍රහනය කරගත නොහැකි බවයි13

පුලන්සාස් සහ වාමාංශික යුරෝ කොමියුනිස්ට්වාදීන්ට අනුව ඉදිරි මග සංයුක්ත වන්නේ තම තමන්ගේ ප්‍රවේගය අනුව විවිධ තලවල ක්‍රියාත්මක වන බහුවිධ අරගල වල සංකීර්නයකිනි. මේ සෑම අරගලයක්ම තමාටම අනන්‍ය වූ සංවිධාන ආකෘතියක් නිර්මානය කිරීම හෝ සොයාගැනීම කරනු ඇත. මේ වූ කලී ලෙනින් ( හා ග්‍රාම්ස්චි ) විසින් න්‍යාගත කරන ලද මධ්‍යගත පෙරටුගාමී පක්ෂය පිලිබද අදහස ප්‍රකාශිතව ප්‍රතික්ෂේප කිරීමකි.

අප පැහැදිලිව මේ දේ කිව යුතුයි. සමාජවාදය වෙත සිදුවන සංක්‍රාන්තියේ දී පක්ෂවල බහුවිධතාව ගැන අප කථා කරනවා නම්, අප ඒ කථා කරන දෙය බැරෑරුම් ලෙස ගන්නවා නම්, ඔබට 'කේක් ගෙඩිය තනිවම ගෙන කටට දා ගත නොහැකි බව' ඉතාම පැහැදිලියි. ලෙනින්වාදී සම්ප්‍රදාය තුල ( ඇත්තටම තනි පක්ෂ ක්‍රමයක් පිලිබද සංකල්පනයක් ලෙනින් තුල තිබුනේ නැත ) පෙරටුගාමී පක්ෂය පිලිබද සංකල්පනය නිර්ධන පංති ආඥාදායකත්වය හා තනි පක්ෂ ක්‍රමය සමග වෙන් කල නොහැකි ලෙස සම්බන්ධ වී තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. පෙරටුගාමී පක්ෂය පිලිබද ලෙනින්වාදී අදහස නඩත්තු කරන අතර අප පක්ෂවල බහුවිධතාවය වෙනුවෙන්‍ පෙනී සිටිනවා යැයි කීම කල නොහැක්කකි. මන්ද පක්ෂය පිලිබද එබදු සංකල්පයක් එනයින්ම තනි පක්ෂ ක්‍රමයක අවශ්‍යතාවය අනුමිත කිරීම හෝ ඇතැම් වි‍ට ඉල්ලා සිටීම පවා සිදුකරන බැවිනි. මේ දෙකම එක්වර පවත්වාගත නොහැක14

පුලන්සාස්ට අනුව ලෙනින්ගේ 'කල යුත්තේ කුමක්ද?' කෘතියේ තිබෙන ප්‍රශ්නය නම් 'මධ්‍යගතකරනය සහ පිටතින් සිට කම්කරු පංතිය තුලට විඥානය ගෙන ඒම' පිලිබද අදහසයි. ස්වාධීන සමාජ ව්‍යාපාර පිලිබද ඔහුගේ යෝජනාව බොහෝ දේශපාලන ක්‍රියාකාරීන් තුල ආවේගාත්මක ප්‍රතිචාරයක් ජනිත කරනු ඇත. විවිධ ව්‍යාපාර එක්සත් කිරීමේ දී ඊට අදාල මෙයෙවීම 'පාලනය' අභ්‍යාස කෙරන්නේ කෙසේද යන මූලික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහු මෙසේ තර්ක කරයි.

පක්ෂය තුල ඇති විය යුතු වෙනස්කම, පක්ෂය තුල සිදුවිය යුතු පරිවර්තනය කුමක්ද? විවිධ ආකාරවල සමාජ ව්‍යාපාර තුල පක්ෂය අතරමං විය යුතු යැයි හෝ ඒවා සමග පක්ෂය තමාව පාස්සවා ගත යුතු යැයි මම නොසිතමි. කාඩර්වරුන්ගෙන් යුක්ත ව්‍යුහයක් ලෙස  පක්ෂයට බහුවිධ සමාජ හෝ ආර්ථික ව්‍යාපාර සාර්ථක ලෙස සම්බන්ධීකරනය කල හැකි යැයි කියා ද මා සිතන්නේ නැත. සෑම දේශපාලනික දෙයක්ම ප්‍රාථමික යැයි ද ඉතිරි සියල්ල ද්විතීක යැයි ද සලකන ලෙනින්වාදී මධ්‍යගතකරනයේ සාම්ප්‍රදායික ආකල්පය ද අප විසින් නැවත සලකා බලනු වටී. ස්ත්‍රීවාදී ව්‍යාපාරය, පරිසර ව්‍යාපාරය සහ වෙනත් වර්ගවල සමාජ ව්‍යාපාර අප තේරුම් ගත යුත්තේ කෙසේද? ශ්‍රමික පංති ව්‍යාපාරයට හෝ පක්ෂයට සාපේක්ෂව මේවා හුදෙක් ද්විතීක ගනයේ ව්‍යාපාර යැයි කිව නොහැක. ඒ අනුව බලන්නේ නම් අනිත් හැමදේම ද්විතීක වේ. ප්‍රාථමික සහ ද්විතීක සම්බන්ධතා පිලිබද මේ ප්‍රශ්නය ගැන අප නැවත කල්පනා කල  යුතුය15'

පුලන්සාස් ව්‍යාපාරයේ විභව ශක්තියට වඩා මැතිවරන උපාය මාර්ගය කෙරෙහි වැඩි අවධානයක් යොමු කල බව සහ කම්කරු පංතිය හා කොමියුනිස්ට් පක්ෂය වැනි ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහු පල කරන අදහස්වල අපැහැදිලි ස්වභාවය ගැන විවේචකයෝ අදහස් ඉදිරිපත් කොට තිබේ. කම්කරුවන්ගේ සැබෑ අරගල පිලිබද පුලන්සාස් දක්වන 'නිහැඩියාව' ද ඇතැම් විවේචකයින් ගේ අවධානයට පාත්‍ර වූවකි.

මාක්ස්ට අනුව 'රාජ්‍යය කම්කරුවන්ට ඉහලින් සහ කම්කරුවන්ට එරෙහිව ස්ථානගත වී සිටී'. රජය හා විප්ලවය හිදී බලය සහ ධනය සහිත අයට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නිශේධ කල හැකි ආකාරය ලෙනින් විසින් පෙන්වා දී තිබේ. ග්‍රීසියේ සිරීසා ආන්ඩුව මත පාලක පංතිය අතිමහත් පීඩනයක් ‍යොදන ආකාරය අප හොදාකාරව දනිමු. මූල්‍ය 'ට්‍රොයිකාව' සිරීසා ආන්ඩුවේ ගෙල මිරිකා දැමීමට වෑයම් කරන අතර මේ බලපෑම් ව්‍යාපාරය සමග සිරීසාවට තිබෙන සම්බන්ධතාවය කෙරෙහි ද බලපෑම් කොට තිබේ.


ජාත්‍යන්තර සමාජවාදී 'ඩයස්පෝරාව' තුල සිටින අප මේ ප්‍රශ්න වෙත ප්‍රවේශ වන්නේ 'පහල සිට' ඇති වන විප්ලවය පිලිබද ඉදිරි දර්ශනය මතය. 'කම්කරු පංතියේ විමුක්තිය වූ කලී කම්කරු පංතියේ ක්‍රියාවක්' යැයි මාක්ස් පවසන විට අප දෙගිඩියාවකින් තොරව එම අදහස සමග එකට සිටගෙන සිටින්නෙමු. 

පාද සටහන් -

9.    Kouvelakis, 2010
10.    Poulantzas, 1978
11.    Hall and Hunt, 1979
12.    Poulantzas, 1978
13.    Hall and Hunt, 1979
14.    Hall and Hunt, 1979
15.    Hall and Hunt, 1979

ග්‍රීසියේ සිරීසා ආන්ඩුව සහ නිකොස් පුලන්සාස්ගේ මාක්ස්වාදය - 1



ග්‍රීසියේ වාමාංශික සිරීසා ආන්ඩුවේ ( සිරීසා - රැඩිකල් වාමාංශයේ සන්ධානය)  න්‍යායික පදනම් කෙරෙහි ප්‍රබලතම බලපෑම ලෙස උපුටා දැක්වෙන්නේ නිකොස් පුලන්සාස්ය. විශේෂයෙන්ම සිරීසා සංවිධානයේ වාම පාර්ශවය ස්වකීය න්‍යායික අනුප්‍රානය ලබාගන්නේ මූලික වශයෙන් පුලන්සාස් වෙතිනි. ග්‍රීක ජාතික මාක්ස්වාදියෙක් වූ නිකොස් පුලන්සාස් (1936-1979) ලුවී අල්තුසර්ගේ ව්‍යුහවාදී මාක්ස්වාදී ගුරුකුලය නියෝජනය කලේය. පසුකාලීනව ඔහු යුරෝකොමියුනිස්ට්වාදයේ වාමාංශය නියෝජනය කල න්‍යායධරයෙක් ලෙස ක්‍රියාකලේය. 

වාමාංශික දේශපාලනය ගැන උනන්දු වන කිසිවෙක්ට ග්‍රීසියේ මේ මොහොතේ සිදුවෙමින් තිබෙන ක්‍රියාදාමය මග හැර යා නොහැක. 2015 ජනවාරියේ දී රැඩිකල් වාමාංශික පක්ෂවල එකමුතුවක් වන සිරීසා පක්ෂය ග්‍රීසියේ බලයට පත්වූ අතර සිරීසා ආන්ඩුව සහ යුරෝපීය බලවතුන් වන යුරෝපා සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපා මධ්‍යම බැංකුව යන ආයතන අතර එතැන් පටන් ඇතිවී තිබෙන්නේ ආතතිකාරී සම්බන්ධතාවයකි. සිරීසා දේශපාලනයේ ස්වභාවය වටහාගැනීමට නිකොස් පුලන්සාස් ගේ අදහස් පසුබිම සකසයි. සිංහලට පරිවර්තනය කොට මේ පල කෙරෙන්නේ The state,Power and Democratic road to Socialism - The ideas of Nicos Poulantzas හිසින් මාක් වින්ටර් විසින් රචිත ලිපියයි. මෙය rs21  සගරාවේ 2015 ජූනි කලාපයේ පල වූවකි.  

***
තන්ස්වල සිරීසා පක්ෂ මූලස්ථානය නිකොස් පුලන්සාස් ආයතනයට මොන තරම් සමීප දැයි ඇලෙක්සැන්ඩර් ක්ලැප් මෙසේ විස්තර කරයි -

සිරීසා පක්ෂ මූලස්ථානය පසුකොට එම මූලස්ථානය පිහිටි වීදිය ඔස්සේ පහලට යන විට නිකොස් පුලන්සාස් ආයතනය හමු වේ. මේ ආයතනය වූ කලී සිරීසා සංවිධානයේ බුද්ධි මන්ඩලයයි. පක්ෂයේ බුද්ධිමතුන් දෙසීයක් පමන එහි වැඩ කරයි. ඔවුන් බහුතරය ආර්ථික විද්‍යාඥයින්ය. 1997 සිට ඔවුහු සිය අදහස් මුවහත් කරමින් සිටිති. යුරෝපයේ මෙවැනි සංවිධාන ගනනාවකට අයත් වාමාංශිකයෝ සෑම සතියකම අදහස් දැක්වීම් සදහා නිකොස් පුලන්සාස් ආයතනය වෙත එති. ජර්මනියේ රෝසා ලක්සම්බර්ග් පදනමේ සිට ප්‍රංශයේ මාක්ස් අවකාශය දක්වා වූ සංවිධානවල බුද්ධිමත්හු මෙලෙස පැමිනෙති. නිකොස් පුලන්සාස් ග්‍රීසිය තුල ඇති වූ වාමාංශික අදහස්වල පුනර්ජීවනයට තීරනාත්මක ලෙස බල පෑ අයෙකි. ඔහු සිරීසා පක්ෂයේ බුද්ධිමය නැංගුරම වන්නේය. සිරීසාවේ වත්මන් නායකයින් කිහිප දෙනෙක් ඔහුව පෞද්ගලිකව දැන සිටි අය වෙති1.

පුලන්සාස්ගේ චින්තනය ජාත්‍යන්තර වාමාංශය මත මහත් අනුප්‍රානයක් ඇති කිරීමට සමත් වූවකි. ග්‍රීක මුදල් ඇමති යානිස් වැරෝෆකිස් සහ සිරීසාවේ වාම වේදිකාවේ ක්‍රියාධර ස්තැතිස් කුවේලකිස් මෑතක දී සිය අදහස් දැක්වීම්වලදී පුලන්සාස් උපුටා දැක්වූහ. කුවේලකිස් මෙසේ කියයි -

මා අයත් වන්නේ, මා ස්ථානගත වන්නේ මාක්ස්වාදී සම්ප්‍රදාය තුලය. රාජ්‍යය පිලිබද මාක්ස්වාදී සම්ප්‍රදාය තුල එන ප්‍රධානතම තේමාවක් නම් රාජ්‍යයේ 'සාපේක්ෂ ස්වාධීනත්වය' පිලිබද අදහසයි. මෙම සංකල්පය නිකොස් පුලන්සාස් විසින් සුප්‍රකට ලෙස විදාරනය කලේය. සාපේක්ෂ ස්වාධීනත්වය යන්නෙන් අදහස් වන්නේ පාලක පංතියේ විවිධ පාර්ශවවලින් සහ සමාජයේ පංති බලවේග අතර තුලනයෙන් යම් පරතරයක් පවත්වාගැනීමට රාජ්‍යයට තිබෙන හැකියාවයි. මෙම පංති බලවේගවල අවසානාත්මක ප්‍රතිවිපාකය සංයුක්ත කිරීමට රාජ්‍යය මැදිහත්වන අතර එහි දී පංති බලවේග හා පංති සම්බන්ධතා අතර තුලනය කැටි කොට දක්වන්නක් ලෙස රාජ්‍යය තමාවම සංයුක්ත කරගනී. මේ පුලන්සාස්ගේ ප්‍රකට අදහසකි
2.

 බ්‍රිතාන්‍යය වාමාංශයට අයත් අප රාජ්‍යය න්‍යායගත කිරීම සදහා දීර්ඝ කාලයක් තිස්සේ වෙහෙසී ඇත්තෙමු. කොමියුනිස්ට් සහ ප්‍රතිසංස්කරනවාදී සම්ප්‍රදායන්ට අයත් අය අප අතින් තියුනු ලෙස විවේචනයට ලක් විය. එහෙත් '70 දශකයේ දී විවාදයට ලක්වූ ප්‍රශ්න නැවත නැවතත් අපට ඉදිරියේ මතු වෙමින් තිබේ. රාජ්‍යය සහ සමාජ ක්‍රියාකාරීත්වය හෝ සමාජ ව්‍යාපාර අතර සම්බන්ධතාව කුමක්ද,ප්‍රතිසංස්කරන හා විප්ලවය අතර පරතරය පියවන්නේ කෙසේද, වෙනස්කම් ඇති කිරීම සදහා ප්‍රබල ව්‍යාපාර ඇති කරන්නේ කෙසේද ආදිය මේ ප්‍රශ්න අතර වේ.

පුලන්සාස්ගේ වැදගත්කම කුමක්ද? ද්විත්ව බලය පිලිබද සංකල්පය ඇතුලු ප්‍රතිසංස්කරනවාදයට එරෙහිව බටහිර යුරෝපීය කොමියුනිස්ට්වාදීන් විසින් ප්‍රත්‍යක්ෂයන් ලෙස ගත් සංකල්ප පුලන්සාස් මග හරී. ඒ වෙනුවට 'රාජ්‍යය තුල අරගලය' ඔහු යෝජනා කරයි. එනම් සමාජ ව්‍යාපාරවල සංවිධානාත්මක ඒකරාශී වීම සමග සංයෝග වූ මැතිවරන හරහා බලය අල්ලා ගැනීමේ උපාය මාර්ගයකි.  

පුලන්සාස්ගේ මේ අදහස වටහා ගැනීමට ඔහු මේ අදහස් ඉදිරිපත් කල සන්දර්භය ගැන විස්තරයක් සැපයීම වැදගත්ය. 1970 දශකයේ දී ප්‍රධාන පෙලේ යුරෝපීය රටවල වාම පක්ෂ ගනනාවක් බලය ලබාගැනීම පිලිබද සැබෑ ඉදිරි දැක්මක අවශ්‍යතාවය සමග අභිමුඛ විය. වාම පක්ෂ යනුවෙන් මා මෙහිදී අදහස් කරන්නේ ඉතාලිය, ප්‍රංශය ( සහ ඇතැම්විට ස්පාඤ්ඤය ) යන යුරෝපා රටවල කොමියුනිස්ට් පක්ෂයන්ය. බලය ලබාගැනීම සදහා 'සමාජවාදය වෙත වූ ප්‍රජාතාන්ත්‍රික මාර්ගය' නමැති ඉදිරි දර්ශනය ඔවුහු පිලිගත්හ. මේ යුරෝකොමියුනිස්ට්වාදය එහි සාර්ථකත්වයේ උපරිම තැන පසු වූ යුගයයි. යුරෝකොමියුනිස්ට්වාදයේ වාමාංශය නියෝජනය කල පුලන්සාස් රාජ්‍ය බලය පිලිබද ප්‍රබල න්‍යායක් ඉදිරිපත් කලේය.

'1976 සහ 1977 යන වර්ෂයන් වූ කලී ආපසු හැරී බලන විට යුරෝකොමියුනිස්ට්වාදී ව්‍යාපාරයේ සාර්ථකම අවධියයි. 1976 ජූනි මාසයේ දී ඉතාලි කොමියුනිස්ට් පක්ෂය මැතිවරණයේ දී කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්වූ අතර මුලු ඡන්දවලින් තුනෙන් එකක්ම තමා සතු කරගත්තේය. ඊලග අවුරුද්දේ එම පක්ෂය වසර තිස් ගනනකට පසු පලමු වතාවට ආන්ඩුවකට සහභාගී විය. ස්පාඤ්ඤයේ දී ඒකාධිපති ෆ්‍රැන්කෝගේ මරනය සහ ඔහු විසින් ගොඩනැගූ පද්ධතිය බිදී විසිරී යාම විසින් ස්පාඤ්ඤ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය අති මහත් ලෙස ප්‍රසාරනය වීම සදහා පසුබිම සැපයීය. කම්කරු කොමිෂන් තුල එම පක්ෂයට බලය හිමිවීමත් සමග එය කම්කරු පංතිය තුල වූ ප්‍රබලතම පක්ෂය ලෙස ඉස්මතු විය' 3

පුලුල් වාමාංශයට අයත් බොහෝ අය ස්ටාලින්වාදය සහ තනි පක්ෂ රාජ්‍යය ප්‍රතික්ෂේප කල අය වූහ. හංගේරියාවට හා චෙකොස්ලොවැකියාවට එරෙහිව සිදුවූ සෝවියට් ආක්‍රමනය පැහැදිලිවම පෙන්නුම් කලේ රුසියානු යුද ටැංකි විසින් සමාජවාදය ප්‍රදානය නොකරන බවයි. ඒ වෙනුවට සෝවියට් සංගමය ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ව්‍යාපාර පොඩිපට්ටම් කරන ලදී. එහෙත් බොහෝ දෙනා සෝවියට් සංගමය සැලකුවේ යම් ආකාරයක කම්කරු රාජ්‍යයක් ලෙසය. ඉන් ආ නිගමනය? ලෙනින්ගේ ' කල යුත්තේ කුමක්ද?' කෘතියෙන් ඔබ්බට ගොස් ධනවාදය යටතේ පවතින සීමාසහිත රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ආකෘති උපයෝගී කරගත හැකි උපාය මාර්ගයක් වෙත හැරීමට  වාමාංශයට සිදුවිය.

'( ලෙනින්වාදයේ ) නිශේධනීය පැතිකඩ නම් නිර්ධන පංති ආඥාදායකත්වය න්‍යාගත කිරීම හා එය ක්‍රියාවේ යෙදවීම පිලිබද සම්පූර්න ප්‍රශ්නය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මුලුමනින්ම සුනු විසුනු කර දැමීම වටා භ්‍රමනය වීමය. මධ්‍යගතකරනය පිලිබද නිශ්චිත හැගවුම් ඒ තුල වූ අතර වැඩකරන ජනතාවගෙන් පිටත සිට ඔවුන් වෙත විඥානය ගෙන එන පක්ෂය පිලිබද සංකල්පනය ද ඒ තුල විය. 'කල යුත්තේ කුමක්ද?' තුල එන ලෙනින්වාදයේ මෙම පැතිකඩ ගැන තවදුරටත් මා තුල විශ්වාසයක් නැත. පක්ෂය පිලිබද මෙම සංකල්පනය සෘජුව 'රාජ්‍ය- පක්ෂය' වෙත හා රාජ්‍යවාදය ( Statism) වෙත පාර කපන බව මම සිතමි' 4

රාජ්‍යය අතට ගෙන එය අනුභව කිරීම

ස්ටුවර්ට් හෝල් සහ ඇලන් හන්ට් සමග කරන සම්මුඛ සාකච්ඡාවක දී පුලන්සාස් රාජ්‍යය පිලිබද සිය මතය මෙසේ විස්තර කරයි.

අප රාජ්‍යය වටහා ගන්නේ එක්තරා විදිහක සංවෘත අවකාශයක් ලෙස නම් එය අබිබවනය කල හැක්කේ බාහිර ස්වරූපයක උපාය මාර්ගයකින්. ලෙනින්වාදී ප්‍රහාරාත්මක පන්නයේ උපාය මාර්ගය හෝ රාජ්‍යය වටලෑම පිලිබද ග්‍රාම්ස්චියානු අදහස එවැනි උපාය මාර්ගයන්ට නිදසුන්. මේ පසුබිම තුල රාජ්‍යය යනු බලවේගවල සම්බන්ධතා කැටි කරගනු ලැබූවක් ලෙස සිතන්නට මා උත්සාහ කලා5

පුලන්සාස් ද්විත්ව උපාය මාර්ගයක් යෝජනා කරයි. පදනම තුල සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් නිර්මානය කරන අතරේ ( එනම් 'ව්‍යාපාරය' ) නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම. කුවේලකිස් එම අදහස මෙසේ සාරාංශ කරයි - ' ඇතුලතින් සහ පිටතින්, ඉහලින් සහ පහලින් යන සියලු විධිවලින් රාජ්‍යය අත්පත් කරගත යුතුය' මේ අනුව අරගලය පැතිකඩ දෙකකින් සංයුක්තය. එය ' රාජ්‍යය තුල වන අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා තියුනු කරමින් රාජ්‍යයේ ගැඹුරු පරිවර්තනයන් ඇතිකිරීම' වෙනුවෙන් පෙනී සිටින අතර 'පදනමේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව ඇතිවන නව ව්‍යුහයන් විසින් ' එම ක්‍රියාවලියට බලය සපයනු ලැබේ.

'අප ප්‍රජාතාන්ත්‍රික සමාජවාදයක් වෙත වූ ප්‍රජාතාන්ත්‍රීය මාවතක් ගැන කථා කරන විට, පරිවර්තනය පිලිබද ආකෘතියක් පමනක් නොව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහසේ විවිධ මාදිලි ආරක්ෂා කරන ආකෘතියක් ද එබදු උපාය මාර්ගයක් විසින් ඉල්ලා සිටී. මීට සමගාමීව බිම් මට්ටමෙන් සෘජු ප්‍රජාතන්ත්‍රවාදය නිර්මානය කිරීම සමග මෙම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අති සමීප ලෙස බැදී තිබිය යුතුය'6

මේ අනුව පුලන්සාස් එක් අතෙකින් මැතිවරන සදහාත් අනෙක් අතින් සමාජ ව්‍යාපාර සදහාත් කැදවුම් කරයි -
'අප 'රාජ්‍යය සුනු විසුනු කිරීම' ගැන කථා නොකලත්, රාජ්‍යයේ දෘෂ්ටිවාදී උපකරනවල පමනක් නොව එහි මර්ධනකාරී උපකරනවල පවා  රැඩිකල් පරිවර්තනයක් ඇති කිරීමේ අවශ්‍යතාවය පිලිබද ප්‍රශ්නය පිලිබද යුරෝ කොමියුනිස්ට්වාදයේ වාමාංශය ඉතාමත් සවිඥානිකය'7

ඒ අනුව පටන් ගන්නේ කෙසේද? වාමාංශය රාජ්‍යය තුලට ඇතුලුවිය යුතුය. මේ සදහා මැතිවරන මූලෝපායක් අවශ්‍යයය. මැතිවරන බලය ලබාගත්තාට පසු රාජ්‍ය ව්‍යුහයන් ප්‍රජාතාන්ත්‍රීය කිරීම සදහා අවශ්‍ය බලය ඔවුන් සතුවේ.එතැන් සිට ' රාජ්‍යයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා තියුනු කරමින් සහ රාජ්‍යයේ ගැඹුරු පරිවර්තනයක් ඇති  කරමින්' අරගලය ක්‍රියා කරනු ඇත. 'බිම් මට්ටමේ ඇතිවන සෘජු ප්‍රජාතාන්ත්‍රීය ව්‍යුහයන්' ඉහත කී ක්‍රියාවලියට සහයෝගය ලබා දෙනු ඇත. පුලන්සාස්ට අනුව 'අරගලය' සෑම විටම ජනප්‍රිය ව්‍යාපාරවල සංවර්ධනය තුල, බිම්මට්ටමේ  ප්‍රජාතාන්ත්‍රීය ආයතන බහුල වශයෙන් බිහිවීම තුල සහ ස්වයං පාලිත කේන්ද්‍රයන් තුල ස්වකීය ප්‍රකාශනය අත්පත් කරගත යුතුය.  

පුලන්සාස්ගේ ප්‍රධාන න්‍යායන්
      
  •  රාජ්‍යය ( ද්විත්ව උපාය මාර්ගය )
  •  රාජ්‍යයේ සාපේක්ෂ ස්වාධීනත්වය
  •  රාජ්‍යය පංති අරගලයේ කැටි කොට දැක්වීමක් බවට වූ අදහස සහ ඒ සදහා අරගලයක් පවතින බව.

 රාජ්‍යයේ සාපේක්ෂ ස්වාධීනත්වය පිලිබද අදහස ඔහු මුලින්ම සංවර්ධනය කලේ දේශපාලන බලය සහ සමාජ පංති (1968) නම් වූ කෘතිය තුලදීය. ධනවාදයට සුමටව ක්‍රියාත්මක වීමට නම් තනි තනි ධනපතියාගේ අභිලාෂයන්ට ප්‍රතිරෝධය පෑ‍මේ හැකියාව රාජ්‍යය තුල තිබිය යුතුය. එනම් එක් එක් ධනපතියාගේ යහපත වෙනුවෙන් නොව ධනවාදයේ පොදු යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව රාජ්‍යය සතුව තිබිය යුතුය. ඒ අනුව ඇපල්, ගූගල්, ෆේස්බුක් ආදී එකිනෙකා සමග තරග කිරීමේ හා බෙදී සිටීමේ නැඹුරුතාවයක් දක්වන ආයතන වල අභිලාෂයන් සහ ඉල්ලීම්වලින් රාජ්‍යය 'සාපේක්ෂ ලෙස ස්වාධීන' වී සිටිය යුතුය.

 සාපේක්ෂ ස්වාධීනත්වය -
·         
  •   රාජ්‍යය පාලක පංතියේ විවිධ කන්ඩායම්වලින් සහ සමාජයේ පංති බලවේග අතර සමතුලිතයෙන් යම් පරතරයක් සහිතව ස්ථානගත වී තිබීමට පුලුවන
  •  ධනපති පංතිය තුල තිබෙන ගැටෙන සුලු අභිලාෂයන්ට ඒකාබද්ධ වීමට සහ දීර්ඝ කාලීන මූලෝපායන් සහ සන්ධාන - එනම් 'බල හවුල්' ගොඩනැගීමට අවශ්‍ය අවකාශය රාජ්‍යය විසින් නිර්මානය කරයි. ඒ අතර රාජ්‍යය ශ්‍රමික පංතිය තනි පුද්ගලයින් හෝ පුරවැසියන් ලෙස බෙදමින් එම පංතිය අසංවිධානාත්මක කරයි. මෙය 'හුදෙකලාභාවයේ ආචරනයයි'.

    ( මතු සම්බන්ධයි )

    පාද සටහන් -

1.    Clapp, 2015
2.    Kouvelakis, 2010
3.    Spencer, 1979
4.    Hall and Hunt, 1979
5.    Hall and Hunt, 1979
6.    Hall and Hunt, 1979
7.    Hall and Hunt, 1979
8.Kouvelakis, 2010

Saturday, July 4, 2015

රාජපක්ෂ යලි ඉපදීම සමාජ ප‍්‍රගතියට තර්ජනයකි

හින්ද රාජපක්ෂ නැවත බල දේශපාලනයේ මාතෘකාවක් වී තිබේ. ජනවාරි 08 වන දාට පසු මොහොතකට පෙනෙන්නට තිබුණේ ඉතිහාසයේ ඔහුගේ භූමිකාව අවසාන වූ බවයි. බොහෝ දෙනා යුක්ති යුක්ත ලෙස අනුමාන කළ ලෙස බලහත්කාරයෙන් ජනාධිපති පුටුවේ රැදී සිටීමේ තදබල සූදානමක් ජනවාරි 08 වන දා මැතිවරණ පරාජයෙන් ඉක්බිති ඔහුගේ පාර්ශවයෙන් පෙන්නුම් වූයේ නැත. ජනාධිපතිධූරය මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය ද භාර දුන් හෙතෙම මැදමුලනට ගියේය. බැලූ බැල්මට ‘හකුලාගෙන යාමක් ’ ලෙස දිස්වූවත් එය හුදෙක් උපක‍්‍රමික පසුබැසීමක් බව පෙනෙන්නට තිබේ. දැන් එලැඹෙන මහ මැතිවරණයට තරග වැදීමේ සිය සූදානම ඔහු ප‍්‍රකාශයට පත්කොට තිබෙන අතර පෙනෙන්නට තිබෙන ආකාරයට ජනාධිපති සිරිසේනට එම සූදානම පිලිගැනීමට බල කෙරී ඇත.

රාජපක්ෂ ‘නැවත ගෙන ඒමේ’ ව්‍යාපෘතිය උග‍්‍ර සිංහල ජාතිකවාදය මත පදනම් වූවකි. රාජපක්ෂගේ මැතිවරණ පරාජය ඔහුගේ ක්ෂමාලාපකයින් විසින් විස්තර කරන ලද්දේ ‘සුලූ ජාතික ඡන්ද’ නිසා සිදුවූ දෙයක් වශයෙනි. එය රාජපක්ෂ විසින් ද ප‍්‍රකාශ කරන ලදී. මෑතක දී පුවත්පත්වලට දුන් සම්මුඛ සාකච්ඡුවක දී බැසිල් රාජපක්ෂ ද කියා තිබුණේ උතුරේ ඡන්ද සංවිධානාත්මකව රාජපක්ෂට විරුද්ධව පාවිච්චි කළ නිසා මැතිවරණය පරාජය වූ බවයි. පසුගිය කාලයේ විමල් වීරවංශ ආදීන් මූලික කරගෙන රාජපක්ෂවාදී ප‍්‍රචාරක ව්‍යාපාරයේ මුඛ්‍ය තේමාව වූයේ ද සිංහල ජාතිකවාදයයි. රාජපක්ෂ නැති වූ පසු රට කොටින්ට යනවා ආදී කථා එවැනි බලවේග විසින් සංවිධානය කළ ‘වෙනස සැපද?’ ආදී සම්ම්න්ත‍්‍රණවලදී පුනරුච්චාරණය කෙරිණ.

‘රාජපක්ෂවාදය’ වූ කලී ග‍්‍රාමීය පසුගාමීත්වය, සිංහල වර්ගවාදය සහ දූපත්වාදී මුග්ධත්වය මිශ‍්‍ර කොටගත් අජූව දේශපාලන ප‍්‍රවර්ගයකි. 2005 න් පසු සිදුවූ එක් දේශපාලනික විතැන් වීමක් නම් මෙන්න මේ අජූව දේශපාලන ප‍්‍රවර්ගය දකුණු ලංකාවේ හෙජමොනික දේශපාලන මොඩලය බවට පත්වීමයි. නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම්, බලතල බෙදීම ආදී නූතන ප‍්‍රජාතාන්ත‍්‍රීය ව්‍යාපෘතියට අයත් සියලූ සංකල්ප ඒ යටතේ ජෝක් බවට පත්විය. දෛනික ජීවිතය හමුදාකරණයට ලක්කිරීම ස්වභාවික දෙයකට හැරවිණ. විශාල ආයෝජනයක් මත නඩත්තු කරන ජාතික ආරක්ෂක රාජ්‍යයක් පිහිටුවනු ලැබූ අතර මෙම රාජ්‍යයට සිංහල ජනතාව අතර සහයෝගය දිනාගැනීම සඳහා සාහසික ලෙස දෙමළ හා මුස්ලිම් ජනතාවට එරෙහි වර්ගවාදී ප‍්‍රහාර පාවිච්චියට ගන්නා ලදී.

ජනවාරි 08 වන දා රාජපක්ෂ පරාජය වීම එක්තරා විදිහකට රාජපක්ෂවාදය තුළ ආන්තිකකරණයට ලක්වූ ජනකොටස් විසින් ගසනු ලැබූ කැරැල්ලක් ලෙස විස්තර කළ හැක. ශ‍්‍රීලනිපය තුළ ඇති වූ අභ්‍යන්තර භේදය හා ජාතික හෙළ උරුමය රාජපකෂ සමග ඇති කරගත් ගැටීම නිසා රාජපක්ෂගේ සිංහල ඡුන්ද පදනම යම් දෙදරීමකට ලක්විය. මේ දෙදරුම සුලූ ජාතික කොටස්වල අති බහුතර විරෝධතා ඡන්දය සමග සංයුක්ත වී රාජපක්ෂව පරාජය කළ ඡුන්ද ලක්ෂ 62 නිර්මාණය විය.

රාජපක්ෂ පාලනය විස්ථාපනය කරන ලද්දේ විවිධ බලවේගවලින් සමන්විත තාවකාලික ආණ්ඩුවක් විසිනි. එහි ප‍්‍රධානතම සංරචකය වන එජාපය නව ලිබරල්වාදය මත පදනම් වූ ප‍්‍රභූවාදී දක්ෂිණාංශික පක්ෂයකි. ගෝලීය ධනවාදය සමග ලංකාව සුමටව ආබද්ධ කිරීම සඳහා අවශ්‍ය කෙරෙන ආයතනික ප‍්‍රජාතාන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරණ සමූහයක් එය විසින් පසුගිය කාලයේ යෝජනා කරනු ලැබීය. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සාපේක්ෂව ගත්තත් මෙම ප‍්‍රතිසංස්කරණ ඉතාම සීමිත ප‍්‍රතිසංස්කරණයන්ය. රාජපක්ෂ සිය හෙජමොනිය ගොඩනගාගන්නේ සිංහල ජාතිය මත පදනම්ව නම් වික‍්‍රමසිංහ සිය හෙජමොනිය ගොඩනගා ගැනීමට උත්සාහ කරන එක් අක්ෂයක් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරන බවට වූ පොරොන්දුවයි. ප‍්‍රධාන ධනපති පක්ෂ දෙක අතර ඇති වී තිබෙන දෙබෙදුම එයාකාරය.

මෙලෙස ප‍්‍රභූවාදී පක්ෂ දෙක ඉහලින් සිට දේශපාලනය සංවිධානය කරද්දී වැඩකරන ජනයා ඇතුලූ නිර්ප‍්‍රභූ ජනතාවන්ගේ  ස්වාධීන දේශපාලන ප‍්‍රකාශනයක් නොපවතින තරම්ය. සමසමාජ - කොමියුනිස්ට් දේශපාලනය බලවත් වී තිබූ ‘40 - ‘70 දශකවල වැඩකරන ජනතාව මෙරට තීරණාත්මක දේශපාලන බලවේගයක් ලෙස සංයුක්ත වී සිටියේය. එනම් ප‍්‍රාග්ධනය පමණක් නොව ශ‍්‍රමය ද අඩු වැඩි වශයෙන් දේශපාලනිකව සංවිධානය වී තිබුණි. එහෙත් ශ‍්‍රමය මේ වනවිට දේශපාලන සාධකයක් ලෙස පවතින්නේ අතිශය දුර්වල අඩියකය. මෙය ප‍්‍රබල සාධකයක් ලෙස එසැවී ගන්නා තුරු දේශපාලනය ප‍්‍රභූවාදී බලවේග විසින් හසුරුවනු ඇත.

කෙසේ වූවද පහළ පාන්තික ජනයා ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස සංවිධානය කිරීමේ දෘෂ්ටිකෝණයෙන් ප‍්‍රශ්නය දෙස බලන්නේ නම් ඒ සඳහා තිබෙන මාරාන්තික තර්ජනයක් ලෙස රාජපක්ෂවාදය හඳුනාගත යුතුමය. ඒ අනුව ඉදිරියට එලැඹෙන කාලය තුළ මෙරට වාමාංශික හා ප‍්‍රගතිශීලී බලවේග වල කාර්යය ද්විත්ව ස්වභාවයක් ගනී. පළමුව රාජපක්ෂවාදයට එරෙහි සමා විරහිත අරගලයක් පවත්වා ගත යුතුය. මෙය විශේෂ අවධාරණයක් සහිතව පවත්වාගත යුතු අරගලයකි. ජාතිවාදය බලවත් වීම  ඕනෑම විදිහක වාමාංශික හා ප‍්‍රගතිශීලී දේශපාලනයක මග අහුරයි. රාජපක්ෂවාදයේ නැගීමට එම නිසා මාරාන්තික ලෙස එරෙහි විය යුතුය.

දෙවනුව ධනේශ්වර ලිබරල් කොටස් විසින් ඉදිරිපත් කරන සටන් පාඨ එම කොටස්වලටම ලගා විය නොහැකි මට්ටමට රැඩිකල්කරණය කළ යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතිකාව පහළ පාන්තික ජනයාගේ සහ වෙනත් පීඩිත ජනකොටස්වල දෘෂ්ටිකෝණයෙන් ප‍්‍රතිනිර්වචනය කිරීම මෙයට ඇතුලත්ය. එනම් උද්ඝෝෂණය කිරීමේ පූර්ණ නිදහස, ජාතික ආරක්ෂක රාජ්‍යය විසුරුවා හැරීම, වැඩවර්ජන අයිතිය, වෘත්තීය සමිතිවලට පූර්න නිදහස, ජාතික පීඩනය අවසන් කිරීම ආදියේ සිට අධ්‍යාපන අයිතිය, සෞඛ්‍යය සඳහා ඇති අයිතිය, පරිසරය සඳහා ඇති අයිතිය දක්වා. වාමාංශයේ ඉදිරි ගමන වැටී තිබෙන්නේ මෙන්න මේ ද්විත්ව උපාය මාර්ගය ඔස්සේය.