Tuesday, April 7, 2015

පටන් ගැන්මේ සිට පටන් ගන්නේ කෙසේද? - ස්ලැවෝයි ජිජැක් ( 2 කොටස )



වෙනස් පාරක්

1989 දී ඇති වූ අදුරු විනාශයෙන් ඉක්බිති දැන් අප ඉන්නේ කොතැනද? 1922 දී වාගේම අදත් පාතාලයෙන් මතු වී අවුත් , ද්වේශසහගත ප්‍රීතියකින් යුක්තව කොදුරන කටහඩවල් අවට සෑම තැනෙකම ලැගුම් ගෙන ඇත. ' තමන්ගේ සමස්තතාවාදී දැක්ම සමාජය මත බලෙන් පැටවීමට දත කන උන්මන්තකයෝ !'. තවත් සමහරු තමන්ගේ ද්වේශසහගත ප්‍රමෝදය යටපත් කරගැනීමට උත්සාහ කරති. වේදනාභරිත ස්වභාවයක් මවා පාමින්, සිය ශෝකී ඇසිපිය අහස උසට ඔසවමින් ඔවුහු මෙසේ කියති. ' අපි බිය පලකල දේ සැබෑවක් වී තිබීම දකින්නට ලැබීම ගැන අපට හරිම කනගාටුයි! සාධාරන සමාජයක් ගොඩනැගීමට ඔබ තුල වූ දැක්ම මොන තරම් උතුම්ද! ඒක මොන තරම් ශ්‍රේෂ්ඨ ද කියනවා නම් අපේ හදවත් ඔබේ හදවත් සමග එකට ගැහුනා. ඒත් ඔබේ සැලසුම් විනාශය තුල සහ නව නිර්- නිදහස් තත්වයන් ඇති කරමින් අවසාන වනු ඇතැයි අපගේ විචාර බුද්ධිය අපට කීවා' මේ වසගකාරී චපල කථා සමග සම්මුතියක් ඇති කරගැනීම තරයේ ප්‍රතික්ෂේප කරන අතරේම අප අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු ප්‍රශ්නයක් පවතී. එනම්, පටන් ගත් ස්ථානයෙන් පටන් ගන්නේ කෙසේද? 1917 සිට 1989 දක්වා විහිදෙන, වඩාත් නිශ්චිතව කියනවා නම් 1968 දක්වා පැවැති 20 වන සියවසේ විප්ලවකාරී යුගයේ පදනම් මත තැවත වතාවක් ගොඩනැගීම වෙනුවට, සියල්ල පටන් ගත් ලක්ෂ්‍යයට ආපසු ගොස් වෙනස් මාවතක් තෝරාගැනීම.

එහෙත් එවැනි තෝරාගැනීමක් කරන්නේ කෙසේද? බටහිර මාක්ස්වාදය විසින් සලකා බැලූ තීරනාත්මක ප්‍රශ්නය වූයේ විප්ලවකාරී ආත්මයක ( Revolutionary Subject ) අඩුව පිලිබද ප්‍රශ්නයයි. කම්කරු පංතිය එය තුලම වු පංතියක සිට එය සදහා වූ පංතියක් දක්වා පරිවර්තනය වී විප්ලවවාදී කාරකයා ලෙස ස්වකීයත්වය සංයුක්ත කර නොගන්නේ ඇයි? මේ ප්‍රශ්නය බටහිර මාක්ස්වාදය මනෝ වි‍ශ්ලේෂනය මගින් සැදහුම් ලබාගැනීම පැහැදිලි කරන ප්‍රධාන තාර්කිකය බවට පත්වූයේය. කම්කරු පංතියේ එහිම  පැවැත්ම හෝ එහි සමාජ තත්වය හා අභිලේඛනගත වී තිබෙන පංති විඥාන‍යේ නැගීම වලක්වාලන අවිඥානික ලුබ්ධිමය යාන්ත්‍රන මොනවාද?මෙම ප්‍රශ්නයට පිලිතුරු සෙවීම සදහා මනෝවිශ්ලේෂනය යොදාගන්නා ලදී. මේ ආකාරයට මාක්ස්වාදී සමාජ ආර්ථික විශ්ලේෂනයේ සත්‍යය ආරක්ෂා කරගනු ලැබීය. මධ්‍යම පංතීන්ගේ නැගීම පිලිබද කථා කරන සංශෝධනවාදී න්‍යායන්ට ඉඩ ලබා දීමේ අවශ්‍යතාවක් ඒ නිසා ඇති නොවීය. මේ හේතුව නිසාම විප්ලවවාදී කාරකයාගේ භූමිකාව රග දැක්විය හැකි වෙනත් ඒජන්තයෙක් සොයා යාම සදහා වූ අනවරත ව්‍යායාමයක බටහිර මාක්ස්වාදය නියුක්ත විය. රෝගාතුර වී සිටින කම්කරු පංතිය වෙනත් විප්ලවවාදී කාරකයෙක් මගින් විස්ථාපනය කිරීමට බටහිර මාක්ස්වාදය උත්සාහ කලේය. ඒ අනුව තුන්වන ලෝකයේ ගොවිජනයා, ශිෂ්‍යයින් සහ බුද්ධිමතුන්, බැහැර කරනු ලැබූවන් ආදී බලවේග පිලිබද අවධානය යොමු විය. විප්ලවවාදී කාරකයෙක් සොයාගැනීම සම්බන්ධයෙන් වූ මෙම අතිමහත් ගවේෂනය ඇත්ත වශයෙන්ම කියනවා නම් එහි සම්පූර්න ප්‍රතිවිරුද්ධය ප්‍රකාශ වීමේ ප්‍රකාරයකි. එනම් එය සැබැවින්ම මුනගැසීම කෙරෙහි දක්වන භීතියයි. එය දැනටමත් තිබෙන තැන එය තිබෙනු දැකගැනීමට තිබෙන භීතියයි. අප විසින් ඉටු කල යුතු දෙය වෙනත් අයෙක් විසින් ඉටු කරනු ඇතැයි සිතා බලා සිටීම අපගේ අක්‍රියාකාරීබව සහේතුක කරගැනීමේ විදිහකි.

අප කොමියුනිස්ට් උපන්‍යාසය නැවත සලකා බැලිය යුතු යැයි ඇලේන් බදියු යෝජනා කරන්නේ මෙම පසුබිම තුලය.

ඔහු මෙසේ ලියයි -

' අප මෙම උපන්‍යාසය අත් හරින්නෙමු නම් සාමූහික ක්‍රියාමාර්ග ක්ෂේත්‍රය තුල අප කරන කිසිවක් තවදුරටත් වැඩක් නැති කටයුත්තක් බවට පත්වනු ඇත. කොමියුනිස්ට්වාදයේ සිතිජයෙන් තොරව, ඒ අදහසෙන් තොරව, ඓතිහාසික හා දේශපාලන සන්තතියේ කිසිවක් දාර්ශනිකයෙක් තුල කිසිදු උනන්දුවක් ඇති කරනු නැත'

කෙසේ වුවද බදියු තවදුරටත් මෙසේ ලියයි -

'මේ අදහස අල්ලා ගෙන සිටීම මගින්, එනම් උපන්‍යාසයේ පැවැත්ම මගින් දේපල සහ රාජ්‍යය ස්වකීය අවධානයේ ලක්ෂ්‍යය ලෙස ගත් එහි ( උපන්‍යාසයේ ) පලමු ප්‍රකාශන ආකාරය ඒ විදිහටම පවත්වාගෙන යා යුතු යැයි අදහස් වන්නේ නැත.ඒ වෙනුවට සද්භවය ලබාගැනීම සදහා මෙම උපන්‍යාසයට නව රූපාකාරයක් ලබාදීමට උදවු කිරීම අප වෙත පැවරී තිබෙන දාර්ශනික කාර්යය - ඇතැම් විට දාර්ශනික වගකීම කියා වුව - කිව හැකි  වන්නේය8'

මේ වාක්‍ය පේලි කාන්ටියානු ශෛලියකින් නොකියැවීමට යමෙක් ප්‍රවේශම්සහගත විය යුතු මනාය. එවැනි කියැවීමක් කොමියුනිස්ට්වාදය යනු නියාමන අදහසක් ( Regulative Idea ) ලෙස සංකල්පගත කරන්නට ඉඩ තිබෙන අතර එය සමානාත්මතාවය එහි පූර්ව නිශ්චිත න්‍යාමයක් ( a priori ) ලෙස හෝ ප්‍රත්‍යක්ෂයක් ලෙස ගත් 'ආචාරධාර්මික සමාජවාදයේ' ( Ethical Socialism) භූතයාට නැවත පන දීමක් හා සමාන වනු ඇත. ඒ වෙනුවට කොමියුනිස්ට්වාදයේ අවශ්‍යතාව ජනනය කරන සමාජ පසමිතුරුතා පද්ධතියක් පිලිබද කෙරෙන නිශ්චිත සැදහුම දිගටම පවත්වා ගැනීම කල  යුතුය. කොමියුනිස්ට්වාදය පිලිබද පැරනි මාක්ස්වාදී සංකල්පනය එය හුදු පරමාදර්ශී අදහසක් නොවේ යන්නයි. එය වූ කලී ලෝකයේ සැබෑ ප්‍රතිවිරෝධතාවලට  ප්‍රතිචාර දක්වන්නා වූ චලිතයකි. කොමියුනිස්ට්වාදය සදාකාලික අදහසක් ලෙස සැලකීමෙන් ගම්‍ය වන්නේ කුමක්ද? කොමියුනිස්ට්වාදය පිලිබද අවශ්‍යතාව ජනනය කරන තත්වයන් ද එලෙසම සදාකාලික නොවන්නක් බවත්, කොමියුනිස්ට්වාදය විසින් ප්‍රතිචාර දක්වන පසමිතුරුතාව සෑම විටම පවතිනු ඇති බවත් ඉන් අනුමිත වනු ඇත. එතැන් සිට කොමියුනිස්ට්වාදය ගැන කෙරෙන විසංයෝජනාත්මක කියැවීමකට , එනම්  කොමියුනිස්ට්වාදය පැවැත්මක සිහිනයක් ලෙස,සියලුම පරාරෝපිත නියෝජනයන් අහෝසි කරදැමීමක් ලෙස -  සිහිනය තුල තිබෙන එහි විය නොහැකියාව මතම ගොඩනැගෙන සිහිනයක් ලෙස  කෙරෙන කියැවීමකට ඇත්තේ එක් පියවරකි.

ඉතිහාසයේ අවසානය ගැන ෆුකුයාමාගේ අදහස සමච්චලයට ලක්කිරීම පහසු වූවත් අද දවසේ බහුතරයක් දෙනා ෆුකුයාමාවාදීන්ය. මේ ලෝකයේ මෙතෙක් ඇති වී තිබෙන, අනාගතයේ දීද ඇතිවිය හැකි වඩාත්ම යහපත් සමාජය සදහා වූ සූත්‍රය ලෙස ලිබරල් ප්‍රජාතාන්ත්‍රවාදී ධනවාදය පොදු පිලිගැනීමකට ලක්වී තිබේ. යමෙක්ට කල හැකි උපරිම දෙය නම් එය ( ලිබරල් ධනවාදය ) වඩා සාධාරන එකක් කිරීම, වඩා ඉවසනසුලු එකක් කිරීම ආදී වශයෙන් වූ දේවල්ය. සරල එහෙත් වඩාත්ම අදාල ප්‍රශ්නයක් මෙහිදී පැන නගී. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ලොව පහල විය හැකි හොදම සමාජය කෙසේ වෙතත් අවම වශයෙන් වඩාත්ම අඩු නපුර සහිත සමාජය නම් අප එම සත්‍යය පිලිගෙන පරිනත විදිහට ඒ සමග සම්මුතියකට ගමන් නොකරන්නේ ඇයි? මුලු හදවතින්ම එය වැලද ගැනීම වුව නොකරන්නේ ඇයි? අපමන අමාරුකම් මැද්දේ කොමියුනිස්ට් උපන්‍යාසය ගැන අවධාරනය කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි?

පංති සහ 'පොදු දෙය' ( Commons )

කොමියුනිස්ට් උපන්‍යාසයට භක්තිමත්ව සිටීම ප්‍රමානවත් නැත. එය ප්‍රායෝගික අවශ්‍යතාවයක් බවට පත් කරන , ඓතිහාසික යථාර්ථය තුල ගැබ් වී තිබෙන පසමිතුරුතා හදුනාගත යුතුය.‍අද තිබෙන එකම සැබෑ ප්‍රශ්නය මෙයයි - එහි අනන්ත ප්‍රතිනිෂ්පාදනය නතර කිරීමට තරම් ප්‍රබලතාවයෙන් යුක්ත පසමිතුරුතා ගෝලීය ධනවාදය තුල අන්තර්ගත වී තිබේද? එවැනි විය හැකියාවක් පෙන්නුම් කරන පසමිතුරුතා සතරකි මෝදු වෙමින් තිබෙන මහා පාරිසරික විපත්තියක් පිලිබද තර්ජනය, ඊනියා බුද්ධිමය දේපල සදහා පුද්ගලික දේපොල ආකෘතිය දක්වන අනුචිතබව, නව තාක්ෂනික- විද්‍යාත්මක වර්ධනයන් මගින් ඇති කොට තිබෙන සමාජ - ආචාර ධාර්මික හැගවීම් ( විශේෂයෙන්ම ජෛව-ජානමය ක්ෂේත්‍රය තුල ) සහ අවසාන වශයෙන් සමාජ ඇපාතයිඩයේ නව රූපාකාර - එනම් අලුත් තාප්ප සහ මුඩුක්කු. මෙහි අන්තිමට සදහන් කල පසමිතුරුතාව - එනම් 'බැහැර කරනු ලැබූවන්' (Excluded) සහ 'ඇතුලත් කරගනු ලැබුවන්' (Included) අතර පරතරය සහ කලින් කී පසමිතුරුතා තුන අතර ගුනාත්මක වෙනසක් තිබෙන බව මෙහිදී අප මතක තබාගත යුතුය. එම කලින් කී පසමිතුරුතා ත්‍රිත්වය හාර්ඩ්ට් සහ නෙග්‍රි 'පොදු දෙය' ලෙස හදුන්වන කලාපයට වැටේ. එනම් අපගේ සමාජයීය පැවැත්මේ බෙදාහදාගනු ලැබෙන හරයයි. ඒවා පෞද්ගලිකකරනයට ලක්කිරීම වූ කලී ප්‍රචන්ඩ ක්‍රියාවකි. ඊට එරෙහිව ප්‍රතිවිරෝධය පෑ යුතු අතර ඒ සදහා අවශ්‍ය නම් බලය වුවද පාවිච්චි කල යුතුය.

පලමුව සංස්කෘතිය තුල පොදු දේ පවතී. එනම් ඥානමය ප්‍රාග්ධනයේ ආසන්නතම සමාජයීයකරනය වූ ආකෘති. මූලික වශයෙන් අපගේ භාෂාව, අපගේ සන්නිවේදන මාධ්‍ය සහ අධ්‍යාපනය. ඒ ‍වගේම පොදු ප්‍රවාහනය, විදුලිබලය, තැපෑල ආදී පොදු යටිතල පහසුකම්. දෙවනුව බාහිර සොබාදහම තුල පොදු දේ පවතී. ඒවා සූරාකෑම හා දූෂනය පිලිබද තර්ජනයන්ට විෂය වී ඇත. එනම් තෙල්බිම්වල සිට වනාන්තර දක්වා සහ මුලු ස්වභාවික ලෝකයම.තෙවනුව අභ්‍යන්තර සොබාදහමේ පොදු දේ පවතී. එනම් මනුෂ්‍යවර්ගයාගේ ජෛව-ජානමය උරුමය. මේ සියලු අරගල වල තිබෙන බෙදාහදාගත් පොදු ලක්ෂනය නම් මේ පොදු දේවල් වලට කා වැදීමට ධනවාදයේ තර්කනයට ඉඩ දීම මගින් ඇති විය හැකි විනාශකාරී විභවයන් - ඇතැම් විට මුලු මහත් මනුෂ්‍ය වර්ගයාගේ ස්වයං විනාශය දක්වා තරම් දීර්ඝ විය හැකි - විනාශකාරී විභවතා පිලිබද වූ අවබෝධයයි. 'පොදු දෙය' ගැන කෙරෙන මේ සැදහුමයි කොමියුනිස්ට්වාදය පිලිබද සංකල්පනය යලි පුබුදු කිරීමට උපකාරී වන්නේ. මෙම පොදු දෙයෙහි හරයෙන් ඒවා ගලවා ඉවත් කරනු ලැබෙන මෙම ක්‍රමානුකූල ක්‍රියාවලිය නිර්ධනීකරන ක්‍රියාවලියක් ලෙස හදුනාගැනීමට එය අපට ආධාර කරයි. මෙකී ක්‍රියාවලිය සූරාකෑම වෙත ඉලක්කගත වූ ක්‍රියාවලියක් ද වන්නේය. අද දවසේ කාර්යය නම් සූරාකෑම පිලිබද දේශපාලන ආර්ථිකය අලුත් කිරීමයි. උදාහරනයක් ලෙස නිර්නාමික 'දැනුම් කම්කරුවන්' ඔවුන් සේවය කරන සමාගම් විසින් සූරාකෑම සූරාකෑම පිලිබද සංකල්පනයට ඇතුලත් කරගැනීම දැක්වීමට පුලුවන.
කෙසේ වුවද කොමියුනිස්ට්වාදය නමැති වචනය යුක්ති යුක්ත කරන්නේ සිවුවන පසමිතුරුතාවය - එනම් 'බැහැර කරනු ලැබූවන්' පිලිබද සැදහුමය. බැහැර කරනු ලැබූවන් තර්ජනයක් ලෙස සලකන සහ ඔවුන් නිසි දුරකින් තබා ගැනීම ගැන වධ වෙන ජන ප්‍රජාවක තත්වය තරම් පුද්ගලික වූ අන් කිසිවක් නැත. වෙනත් වචන වලින් කියනවා නම් ඉහත කී පසමිතුරුතා හතර අතුරින් වඩාත්ම තීරනාත්මක පසමිතුරුතාව වූ කලී ඇතුලත් කරගනු ලැබූවන් සහ බැහැර කරනු ලැබූවන් අතර පසමිතුරුතාවයයි. එය නොමැති වී නම් සෙසු පසමිතුරුතාවලට ඒවායේ විනාශකාරී තියුනු මුවහත අහිමි වේ. පරිසර ප්‍රශ්නය ධරනීය සංවර්ධනය පිලිබද ප්‍රශ්නයක් බවට හැරවේ. බුද්ධිමය දේපල ප්‍රශ්නය සංකීර්න  නීතිමය ගැටලුවක් බවට, ජෛවජානමය ප්‍රශ්න ආචාරධර්ම පිලිබද ගැටලුවක් බවට ආදී ලෙස පරිවර්තනය වේ. ඇතුලත් කරගනු ලැබූවන් සහ බැහැර කරනු ලැබූවන් අතර පසමිතුරුතාවය සමග අභිමුඛ නොවී යමෙක්ට සැබැවින්ම පරිසරය වෙනුවෙන් සටන් කිරීමට, බුද්ධිමය දේපල පිලිබද වඩා පුලුල් සංකල්පනයක් වෙනුවෙන් පෙනී සිටීමට සහ ජාන පිටපත් කිරීමට විරෝධය පල කිරීමට නොහැකියාවක් නැත. එපමනක් නොවේ. ඇතුලත් කරගනු ලැබූවන්ගේ ( එනම් දුෂ්චරිතය පතුරුවන බැහැර කරනු ලැබූවන්ගේ තර්ජනයට ලක්වී සිටින අයගේ ) භාෂාවෙන් ඉහත කී අරගල සංකල්පගත කිරීමට පවා අවශ්‍ය නම් පුලුවන. මේ විදිහට ගත් විට අපට කාන්ටියානු අර්ථයෙන් 'පුද්ගලික' කරුනක් මිස සැබෑ විශ්වීයත්වයක් ලැබෙන්නේ නැත. හෝල්ෆුඩ්ස් හා ස්ටාර්බක්ස් බදු සමාගම් ඒවා  වෘත්තීය සමිති විරෝධී කටයුතුවල නිරත වේ යන කරුන නොතකා ලිබරල්වාදීන් අතර ජනප්‍රියයඑම ජනප්‍රියත්වයේ රහස නම් ඔවුන් ප්‍රගතිශීලී පිටකවරයක් සහිත නිෂ්පාදිත අලෙවි කිරීමයි. 'සාධාරන වෙලද මිලකට' මිලදී ගත් ඇට වලින් නිෂ්පාදිත කෝපි, මිල අධික හයිබ්‍රිඩ් වාහන ආදී ලෙස. කෙටියෙන් කියනවා නම් ඇතුලත් කරගනු ලැබූවන් සහ බැහැර කරනු ලැබූවන් අතර පසමිතුරුතාව අප පසෙකට දමන්නේ නම්, අපට මුන ගැසෙනු ඇත්තේ , දුප්පත්කම හා ලෙඩරෝගවලට එරෙහිව සටන් කරන බිල් ගේට්ස්ට ශ්‍රේෂ්ඨතම මානවවාදියා විය හැකි, තමන්ගේ මාධ්‍ය අධිරාජ්‍යය හරහා මිලියන සංඛ්‍යාත ජනයා ඒකරාශී කරන රූපට් ‍මර්ඩෝක්ට ශ්‍රේෂ්ඨතම පරිසරවේදියා  විය හැකි ලෝකයකි.
කාන්ට්ගෙන් ඔබ්බට යමින්, යමෙක්ට මෙහිදී මේ කරුන ද එකතු කල හැක. සමාජ ධූරාවලියේ 'පුද්ගලික' පරාසය තුල නිශ්චිත තැනක් හිමි නොවීම නිසා සෘජුවම විශ්වීයත්වය වෙනුවෙන් පෙනී සිටින සමාජ කන්ඩායම් සිටී. ජාක් රොන්සියර්ට අනුව ඔවුන් සමාජ දේහයේ කොටසක් නොවන දෙයෙහි කොටසකි'    ( part of no part ). ඕනෑම සැබෑ විමුක්තිවාදී දේශපාලනයක් පැන නගින්නේ විචාර බුද්ධියේ පොදු භාවිතයේ ( Public use of the reason)  පවත්නා විශ්වීයත්වය සහ 'කොටසක් නොවන දෙයෙහි කොටසේ' පවත්නා විශ්වීයත්වය අතර ඇති වන සම්බන්ධය තුලිනි. මේ වූ කලී තරුන මාක්ස්ගේ කොමියුනිස්ට්වාදී සිහිනයයි. එනම් දර්ශනයේ විශ්වීයත්වය සමග නිර්ධන පන්තියේ විශ්වීය ස්වභාවය සුසංයෝග කිරීම. බැහැර කරනු ලැබූවන් සමාජ-දේශපාලන අවකාශය තුලට බලහත්කාරීව ඇතුලු කරගැනීම හැදින්වීම සදහා පුරාතන ග්‍රීසියේ පටන් පැවැතීගෙන එන නමක් තිබේ. එය ප්‍රජාතන්ත්‍රවාදය නම් වේ.
ප්‍රජාතන්ත්‍රවාදය පිලිබදව දැනට පවතින අධිපති ලිබරල් සංකල්පනය ද බැහැර කරනු ලැබූවන් සමග ගනුදෙනු කරයි. ඒත් ඒ රැඩිකල් ලෙස වෙනස් මාදිලියකිනි. ඔවුන් 'සුලුතර කොටස්වල හඩට ඉඩ දීම' ලෙස එය හදුන්වයි. හැම ස්ථාවරයකමට ඇහුම්කන් දිය යුතුයි, හැම අභිලාෂයක්ම සැලකිල්ලට ගත යුතුයි, සියලුම දෙනාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයි, සියලුම ජීවන විලාශ, සංස්කෘතීන් සහ භාවිතාවන්ට ගරු කල යුතුයි ආදී වශයෙන්. මේ වර්ගයේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි පවතින අධිකතර ලොල්බව ප්‍රකාශයට පත්වන්නේ සියලුම වර්ගවල සුලුතරයන්ගේ - එනම් සංස්කෘතික, ආගමික, ලිංගිකමය සුලුතරයන්ගේ ආරක්ෂාව ලෙසය. මෙකී ප්‍රජාතන්ත්‍රවාදයේ සූත්‍රය සංයුක්ත වන්නේ ඉවසිලිවන්තව කෙරෙන සාකච්ඡාවලින් සහ සමගි සම්මුතීන්ට එලැඹීම් වලිනි. මේ ස්ථාවරය මත යමෙක් පදනම් වනවිට ගිලිහී යන දෙය නම් බැහැර කරනු ලැබූවන් තුල ගැබ්ව පවතින විශ්වීයත්වයයිනව විමුක්තිවාදී දේශපාලනය තවදුරටත් නිශ්චිත එක් සමාජ කාරකයෙක්ගේ  ක්‍රියාවක් නොව බහුවිධ කාරකයින්ගේ පුපුරා යන සුලු සංයෝග වීමක් වන්නේය. 'තමා බැද දමා ඇති යදම් හැර නැතිවීමට අන් කිසිවක් නොමැති' නිර්ධනයින් ගැන තිබෙන සම්භාව්‍ය රූපයට වෙනස්ව, මෙහිදී අපව එක්සත් කරන සාධකය නම් 'සියලුම දේ නැතිවී යාමේ අවදානමකට' අප සියල්ලන් මුහුන දී සිටීම යන කරුනයි. අප සියලු දෙනා වියුක්තයක් බවට ඌනනය වී යාමේ තර්ජනයක් - එනම් අපගේ ජානමය පදනම තවදුරටත් අපගේ නොවන, වෘක්ෂලතාදියෙන් තොර ජීවත්විය නොහැකි පරිසරයක ජීවත්වන - කෙටින්ම කිවහොත් අපගේ සංකේතීය අන්තර්ගතය අපට අහිමි කරනු ලැබූ හිස් කාටීසියානු ආත්මයක් බවට අප ඌනනය වී යාමේ තර්ජනයක් මතු වී ඇත. මේ ත්‍රිවිධ තර්ජනය අප සියලු දෙනා නිර්ධනීන් බවට පත් කරයි. මාක්ස් ගෲන්ඩ්‍රිසේ වල යොදාගත් යෙදුමකින් දක්වන්නේ නම් එය ' හරයකින් තොර ආත්මීයත්වයක්' ( Subjectivity without substance ) බවට අප ඌනනය වීමකි. ' කොටසක් නොවන  දෙයෙහි කොටසක' පැවැත්ම පිලිබද රූපය අපගේ ස්ථාවරයේ සත්‍යය අපට අභිමුඛ කරවයි. එක්තරා විදිහකට සොබාදහමෙන් මෙන්ම අපගේ සංකේතීය සාරයෙන් ද අපව බැහැර කරනු ලැබ ඇත. අද වනවිට අප සියලු දෙනා තහනමට ලක්වූ ශාපලත් මිනිසුන් ( homo sacer) වීමේ විභවය සහිත අය වෙමු.එය යථාර්තයක් වීම නතර කල හැකි එකම මග නම් එම ඉරනම ඇති වීම වැලකෙන ආකාරයෙන් ක්‍රියා කිරීම පමනි

පාද සටහන් - 
  
[1] Moshe Lewin, Lenin’s Last Struggle [1968], Ann Arbor, MI 2005. pp. 131–2.
[2] Quoted in Lewin, Lenin’s Last Struggle, Appendix 1, pp. 146–7.
[3] Lewin, Lenin’s Last Struggle, p. 84.
[4] Lewin, Lenin’s Last Struggle, p. 133.
[5] Lenin, ‘Better Fewer, But Better’, Collected Works, vol. 33, p. 495.
[6] Lewin, Lenin’s Last Struggle, p. 125.
[7] Lewin, Lenin’s Last Struggle, p. 124.
[8] Alain Badiou, The Meaning of Sarkozy, London and New York 2008, p. 115.


පටන් ගැන්මේ සිට පටන් ගන්නේ කෙසේද? - ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්ගේ  How to begin from the beginning රචනයෙන් උපුටා ගනු ලැබූ කොටසක සිංහල පරිවර්තනය පහත පලවේ. මෙම රචනය 2009 දී New Left Review සගරාවේ මැයි- ජූනි කලාපයේ පලවිය. රචනාව දීර්ඝ නිසා මෙය කොටස් දෙකකින් බ්ලොග් අඩවියේ පල කරනු ලැබේ. උපුටා ගැනීම් සදහා වූ පාද සටහන් දෙවැනි අර්ධයේ අග යොදා ඇත. 

***


සෝවියට් බලතල බෙදීමක්?
ලෙනින්ගේ සිට ස්ටාලින් දක්වා වූ යොමුව අත්‍යවශ්‍ය වූවක්ද? මේ සදහා තිබෙන හෙගෙලියානු උත්තරය අතීතයට බලපාන ලෙස ක්‍රියාත්මක වන අවශ්‍යතාවයක් ( Retroactive necessity) මතු කරනු ඇත. එම මග ගනු ලැබූ විට, එනම් ස්ටාලින් ජය ලැබූ විට, එය අත්‍යවශ්‍ය වූවකි. දයලෙක්තික ඉතිහාසඥයෙක්ගේ කාර්යය නම් යමක් එහි 'භවය තුල' ( in becoming ) තේරුම් ගැනීමයි. එනම් යම් අරගලයක් අවසාන විය හැකිව තිබූ විවිධ ආකාර ගැන අදහසක් ඇති වන විදිහට එහි සියලු විය හැකියාවන් සමග එය ඉදිරිපත් කිරීමය. 'ලෙනින්ගේ අවසාන සටන' ( Lenin's Last Struggle ) කෘතියේ දී මොෂෙ ලවීන් කරන්නේ ඒ දෙයයි. පලමුව ලවීන් සෝවියට් රාජ්‍යය සමන්විත වන්නා වූ ජාතික ඒකකවල පූර්න ස්වාධිපත්‍යය ගැන ලෙනින් කරනු ලැබූ අවධාරනය කෙරෙහි ස්වකීය අවධානය යොමු කරයි. 1922 සැප්තැම්බර් 22 දාතම දරන ලිපියක් මගින් දේශපාලන මන්ඩලය ආමන්ත්‍රනය කරන ස්ටාලින් ඉහත කී කරුන සම්බන්ධයෙන් 'ජාතික ලිබරල්වාදී' ආස්ථානයක් ගත්තේ යැයි ලෙනින්ට විවෘතව චෝදනා කරයි. ස්ටාලින් එවැනි චෝදනාවක් කිරීමේ අරුමයක් නැත. දෙවනුව ලෙනින් විසින් ඉදිරිපත් කල අරමුනු වල සරලබව කෙරෙහි ලවීන් සිය අවධානය යොමු කරයි. ඒ අරමුන සමාජවාදය නොව ඊට වඩා බෙහෙවින් චාම් ඒවාය. සංස්කෘතිය, සර්වජන සාක්ෂරතාව, කාර්යක්ෂමතාව, ශිල්පාධිපත්‍යය, සමූපකාර යනාදියය ඒ. මේවා නව ආර්ථික වැඩපිලිවෙලේ සන්දර්භය තුල ගොවීන්ට 'සංස්කෘතියක් සහිත වෙලෙදුන්' බවට පත්වීමෙහි ලා උපකාර කරනු ඇතැයි ලෙනින් කල්පනා කලේය. මේ වූ කලී පැහැදිලිවම 'තනි රටක සමාජවාදය' ට වඩා හාත්පසින්ම වෙනස් චිත්‍රයකි. අරමුනුවල සරලබව ඇතැම් විට විස්මයජනක ලෙස විවෘතය.  'සමාජවාදය ගොඩනැගීම' සදහා වූ සියලු උත්සාහයන් සමච්චලයට ලක්කරන ලෙනින් නැවත නැවතත් පක්ෂයේ අඩුලුහුඩුකම් පෙන්වා දෙමින් සෝවියට් ප්‍රතිපත්තියේ තිබෙන 'හදිසියෙන් සම්පාදනය කරගත්' ස්වභාවය මත සිය අවධාරනය රදවයි. ඔහු නැ‍පෝලියන්ගේ ' මුලින්ම කෝලාහලයට අවතීර්නය වන්න. පසුව වෙන්නේ මොනවා දැයි බලමු' නමැති උද්ධෘතය ගෙන හැර දැක්වීමේ ප්‍රමානයට එම අවධාරනය රැදවීය.
රාජ්‍යයේ නිලධරයට එරෙහිව ලෙනින් කල අවසන් සටන බෙහෙවින් ජනප්‍රියය. එහෙත් ලවීන් පෙන්වා දෙන පරිදි ලෙනින් ප්‍රජාතන්ත්‍රවාදය සහ පක්ෂ - රාජ්‍යයේ ආඥාදායකත්වයේ වක්‍රය සමතලා කරන්ට වෑයම් කරමින් සිටියේය. මෙය එතරම් ප්‍රචලිත වූ කරුනක් නොවේ. ඔහු එසේ කරන්ට වෑයම් කලේ මධ්‍යම පාලක කොමිසම නම් වූ නව පාලක ව්‍යුහය යෝජනා කිරීම මගින්ය. සෝවියට් පාලන තන්ත්‍රයේ ආඥාදායක ස්වභාවය සම්පූර්නයෙන්ම පිලිගන්නා ගමන් ඔහු විවිධ සංඝටකවල තුලනයක් මත එය රැදවීමට උත්සාහ කලේය. ' එකම කෘත්‍යය වෙනුවෙන් සේවය කල හැකි අන්‍යොන්‍ය ක්‍රියාකාරී පද්ධතියක් - මෙම සංසන්දනය ඉතා ලංවූ දෙයකට වැඩි දෙයක් නොවේ , ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක බලතල බෙදීම ලෙස ස්ථාපිත කිරීම'.ප්‍රසාරනය කරනු ලැබූ මධ්‍යම කාරක සභාවක් විසින් ප්‍රතිපත්තිවල පුලුල් සීමා මායිම් නිර්නය කරනු ඇති අතර සමස්ත පක්ෂය යාන්ත්‍රනය එය විසින් අධීක්ෂනය කරනු ඇත. ඒ තුල මධ්‍යම පාලක කොමිසම පහත කෘත්‍යය ඉටු කරනු ඇත.
' මධ්‍යම කාරක සභාවට සහ එමගින් පැන නගින විවිධ සංවිධාන ව්‍යුහ - එනම් දේශපාලන මන්ඩලය, ‍ලේකම් මන්ඩලය, ඔර්ගොබියුරෝව ආදී වූ ආයතනවල පාලකයක් ලෙස ක්‍රියා කිරීම. මෙම කොමිසමේ සෘජු සම්බන්ධීකරනය තිබෙන්නේ පක්ෂ සම්මේලනය සමගය .එනම් එය වග කියන්නේ පක්ෂ සම්මේලනයටය. දේශපාලන මන්ඩලයේ හෝ එහි පරිපාලන ව්‍යුහයේ හෝ මධ්‍යම කාරක සභාවේ මැදිහත්වීමකින් තොරව මෙම කොමිසමේ ස්වාධීනත්වය තහවරු කෙරෙනු ඇත' 1
පාලකයන්ව පාලනය කරන්නේ කවුද? සංවරන හා තුලන, බලතල බෙදීම, අන්‍යොන්‍ය පාලනය - මේ ඒ ප්‍රශ්නයට ලෙනින් දුන් දුෂ්කර උත්තරයයි. මධ්‍යම පාලන කොමිසමක් පිලිබද මේ අදහසේ එක්තරා විදිහක ස්වප්නමය, නියම ලෙස කියනවා නම් මායාරූපී ස්වභාවයක් පවතී. දේශපාලනිකකරනය වූ මධ්‍යම කාරක සභාව සහ එහි අවයව වල ක්‍රියාකාරීත්වය සංවරනය කිරීම සදහා හොදම ගුරුවරුන්ගෙන් හා තාක්ෂනඥයින්ගෙන් සමන්විත ස්වාධීන, අධ්‍යාපනික ස්වභාවයෙන් යුක්ත, 'අදේශපාලනික' මායිමකින් යුතු පාලන ව්‍යුහයක්. සරලවම කියනවා නම් පක්ෂයේ විධායකය නිසි මග තබා ගැනීම සදහා මධ්‍යස්ථ විශේෂඥයින් පිරිසක්. කෙසේ වුවද මේ සියල්ල රැදී පවතින්නේ පක්ෂ සම්මේලනයේ සැබෑ ස්වාධීනත්වය මතය. කන්ඩායම් ලෙස සංවිධානය වීම තහනම් කිරීම නිසා පක්ෂ සම්මේලනවල ස්වාධීනත්වය ඒ වනවිටත් තත්වාකාර වශයෙන් පලුදු වී තිබුනේය. කන්ඩායම් තහනම සම්මේලනය පාලනය කිරීමේ පහසු හැකියාවක් පක්ෂයේ ඉහල තන්ත්‍රයට ලබා දුන් අතර ස්වකීය විවේචකයින් 'කන්ඩායම්වාදීන්' ලෙස නම් කොට බැහැර කිරීමට ඒ තුල ඔවුහු අවස්ථාව ලබාගෙන තිබුනාහ. ලෙනින් වූ කලී දේශපාලන අරගලයේ පැතිරුනු ස්වභාවය ගැනත් ඒ තුල නිර්පාක්ෂික ආස්ථානයකට කිසිදු ඉඩක් නොමැති වීම ගැනත් මනා අවබෝධයක් තිබූ නායකයෙක් බව සිහියට නගා ගන්නා විට මධ්‍යස්ථ විශේෂඥයින් ගැන ලෙනින් තබන මේ විශ්වාසයේ ඇති අවිදග්ධබව කැපී පෙනෙන්නේය.
1922 දී රුසියානු සෝවියට් ෆෙඩරල් සමාජවාදී ජනරජයේ ආන්ඩුව යුක්‍රේන, බෙලරූස්, අසර්බයිජාන්, ආර්මේනියා හා ජෝර්ජියා සමුහාන්ඩුවලද ආන්ඩුව ලෙස ප්‍රකාශයට පත් කල යුතු බවට ස්ටාලින් 1922 දී යෝජනා කරයි. මේ යෝජනාව සුලං හැමීම ආරම්භ වි තිබූ දිශාව පැහැදිලිවම පෙන්නුම් කරන්නකි.
'මේ යෝජනාව රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අනුමත කලේ නම් එය ප්‍රසිද්ධ නොකරනු ලැබේ. ඒ වෙනුවට එම පනිවුඩය සමස්ත රුසියානු සෝවියට් සභා සම්මේනය කැදවීමට පෙර සමූහාන්ඩුවල මධ්‍යම කාරක සභාවන් වෙත සන්නිවේදනය කෙරෙන අතර ඒ හරහා සෝවියට් ආයතන, මධ්‍යම විධායක කමිටු හෝ අදාල සමූහාන්ඩුවල සම්මේලන වෙත ලැබෙන්නට සැලැස්වේ. සමස්ත රුසියානු සම්මේලනයේ දී අදාල සමූහාන්ඩුවල කැමැත්ත ලෙස එම යෝජනාව ප්‍රකාශයට පත්කෙරෙනු ඇත'2
මේ අනුව ඉහල අධිකාරියට සිය අභිලාෂය ගැටලුවකින් තොරව බිම් මට්ටම මත ආරෝපනය කිරීමට ඉඩ ලැබෙන පරිදි ඉහල අධිකාරිය සහ එහි බහුජන පදනම අතර අන්තර් ක්‍රියාකාරීත්වය මුලිනුපුටා දැම්මා පමනක් නොවේ. තුවාලය තවත් පාරමින් එහි ප්‍රතිවිරුද්ධය බලගන්වන ලදී. එනම් බහුජන පදනමේ අභිලාෂය මධ්‍යම කාරක සභාව විසින් තීරනය කොට , බහුජනයාගේ අභිලාෂය ලෙස ඉහල අධිකාරියේ අභිලාෂය ප්‍රකාශයට පත්කරනු ලබයි.
උපක්‍රම සහ ත්‍රස්තය
ලෙනින්ගේ අවසාන අරගල ගැන ලවීන් අවධානය යොමු කරන තවත් එක් පැතිකඩක් වන්නේ ඒ අරගල තුල දී විනීතභාවය සහ ශිෂ්ටසම්පන්නබව කෙරෙහි ලෙනින් දක්වන අනපේක්ෂිත අවධාරනයයි. සිදුවීම් දෙකක් නිසා ලෙනින් ගැඹුරින් කම්පාවට පත් වී සිටියේය. දේශපාලන විවාදයක් අතරතුර ජෝර්ජියාවේ මොස්කව් නියෝජිතයා වූ සර්ජෝ ඕඩ්ෂොනිකිඩ්සේ ජෝර්ජියානු මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක්ට ශාරීරීකව පහර දීම එක් සිද්ධියකි. අනිත් සිද්ධිය නම් ස්ටාලින් විසින් තෙමේම කෘප්ස්කායාට වාචිකව බැන වැදීමයි. ඔහු එසේ බැන වැදී තිබුනේ ස්ටාලින්ට එරෙහිව සන්ධානයක් ඇති කරගත යුතු යැයි යෝජනා කරමින් ලෙඩ ඇදේ සිටි ලෙනින් ට්‍රොට්ස්කි වෙත ලියනු ලැබූ ලිපියක් ට්‍රොට්ස්කිට ලබාදීමට කෘප්ස්කායා ක්‍රියා කල බව ස්ටාලින්ට ආරංචි වීම නිසාය. ස්වකීය සුප්‍රකට ඉල්ලීම ඉදිරියට දැමීමෙහිලා ලෙනින්ව පොලඹොවන ලද්දේ මේ පසුව කී සිද්ධියයි.
' ස්ටාලින් අති ගොරහැඩිය. මෙම අඩුපාඩුව කොමියුනිස්ට්වාදීන් වන අප අතර සහ අපේ වැඩවලදී විද දරා ගත හැකි වුවද ප්‍රධාන ලේකම් පදවිය සමග එය කොහෙත්ම නොගැලපෙයි. එම නිසා ස්ටාලින් එම ධූරයෙන් අස් කර දැමිමට ක්‍රමයක් ගැනත් ස්ටාලින් සහෝදරයාට වඩා හැම අතින්ම වෙනස්, එනම්, වඩාත් ඉවසිලිවත්, වඩාත් ලැදි, වඩාත් ආචාරශීලී සහ සහෝදරවරුන් වෙත වඩාත් සැලකිලි දක්වන චපල ගති ආදිය වඩාත් අඩු පුද්ගලයෙකු එම ධූරයට පත්කිරීම ගැනත් කල්පනා කරන ලෙස ද මා ඉල්ලා සිටින්නේ එබැවිනි' 3
මධ්‍යම පාලන කොමිසමක් ගැන ලෙනින්ගේ යෝජනා හා ශිෂ්ටසම්පන්න වීම ගැන ලෙනින් දක්වන අවධාරනය කිසිසේත්ම ලිබරල් මෘදු වීමක් ගම්‍ය නොකරයි. මේ කාලයේ දීම කාමනෙව්ට ලියන ලිපියක ඔහු මෙසේ ලියයි. ' නව ආර්ථික වැඩපිලිවෙල විසින් ත්‍රස්තය නිමා කොට තිබෙන බව සිතීම අත් වැරැද්දකි. අප නැවත ත්‍රස්තයේ පිහිට වෙත එලැඹී සිටිමු. ඒ ආර්ථික ත්‍රස්තයයි '. කෙසේ වුවද රාජ්‍ය උපකරනවල සහ චෙකා ආයතනය තුල සැලසුම් කරනු ලැබූ කප්පාදුවෙන් ඉක්බිති ත්‍රස්තය පිලිබද මේ සදහන සැබෑවකට වඩා හුදු තර්ජනයක් ලෙස ගත හැකිව තිබුනි. ලවීන් දක්වන පරිදි ලෙනින් ගේ අරමුන වූයේ ' නව ආර්ථික වැඩපිලිවෙල යටතේ ක්‍රියා කරන විට, රජය විසින් ව්‍යාපාරිකයින්ට අදාලව පනවා තිබෙන සීමාවන් ඉක්මවා කටයුතු කිරීමේ විභවය සහිත පුද්ගලයින්ට' ' උපක්‍රමශීලීව සහ විනීතව' මෙම අවසාන ආයුධයේ පැවැත්ම පිලිබද සිහි කැදවීමක් කිරීමය4. ලෙනින් මෙහිදී නිවැරදිය. ආඥාදායකත්වය යනු ( රාජ්‍ය ) බලයේ සංස්ථාපිත අතිරික්තයයි. මේ මට්ටමේ දී කිසිදු මධ්‍යස්ථතාවයක් තිබිය නොහැක. තීරනාත්මක ප්‍රශ්නය නම් කාගේ අතිරික්තය ද? යන්නයි. එය අපගේ නොවේ නම් එය ඔවුන්ගේ.
1923 දී ලියන ලද ඔහුගේ අවසාන ලියැවිල්ලක් වූ ' ස්වල්පයක් හොදයි. නමුදු වඩාත් හොදට ' හිදී ලෙනින් මධ්‍යම පාලන කොමිසමේ කාර්ය මාදිලිය ගැන ලියමින් මෙම ව්‍යුහය සමන්විත විය යුතු ලක්ෂන ගැන මෙසේ සදහන් කරයි.

'' ... යම් අර්ධ වශයෙන් හාස්‍යජනක ප්‍රයෝගයක්, කපටි උපායක්, යම් ප්‍රෝඩාවක් හෝ එවැනි යමක්. මෙවැනි යෝජනා බටහිර යුරෝපයේ සන්සුන් සහ සැලකිලිමත් ආයතනවලට ඉදිරිපත් කලහොත් එම අදහස් එම වැසියන් කම්පනයට පත්කරනු ඇති බවත් එකදු හෝ ශිෂ්ට නිලධාරියෙක් එබදු යෝජනාවක් විනෝදාත්මකව පිලි නොගනු ඇති බවත් අපි දනිමු. කෙසේ වුවද අප තවමත් ඒ තරම් නිලධාරිවාදී වී නැති බවත් අප අතර වන සාකච්ඡාවක දී මෙබදු අදහසක් හුදු සිනහවකට වඩා වැඩි යමක් ඇති නොකරන බවත් මම විශ්වාස කරමි.   

සත්තකින්ම සතුට සමග ප්‍රයෝජනවත්භාවය එක් නොකරන්නේ මන්ද? මුග්ධ කිසිවක්, හානිදායක කිසිවක්, අර්ධ මුග්ධ යම් කිසිවක්, අර්ධ හානිදායක ආදී යම් කිසිවක් හෙලිදරවු කිරීම පිනිස කිසියම් හාස්‍යජනක, නැතිනම්, අර්ධ හාස්‍යජනක උපායක් පාවිච්චි නොකරන්නේ මන්ද?...5 ''

මේ වූ කලී මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මන්ඩලය තුල සංකේන්ද්‍රනය වී තිබෙන 'බැරෑරැම්' විධායක බලය අශ්ලීල ලෙස දෙගුන කිරීමක් නොවේද? ප්‍රයෝග, සටකපට බුද්ධිය - අලංකාර සිහිනයක්. එහෙත් පැහැදිලිවම යුටෝපියාවක්. ලවීන් තර්ක කරන විදිහට ලෙනින්ගේ දුර්වලකම මෙයයි. ඔහු නිලධාරිකරනයේ ප්‍රශ්නය දුටුවේය. එහෙත් එහි බර සහ එහි සැබෑ මානය ඔහු අවතක්සේරු ක‍ලේය. ' ඔහුගේ සමාජ විශ්ලේෂනය පදනම් වී තිබුනේ පංතීන් තුනක් මතය. එනම් කම්කරුවන්, ගොවීන් සහ ධනපතීන් ලෙස. ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර ජනසතු කොට තිබූ රටක රාජ්‍ය උපකරන වෙනම සමාජ අවයවයක් ලෙස ඔහු සැලකිල්ලට ගත්තේ නැත6'

තම දේශපාලන බලය සදහා නිශ්චිත ස්වීය සමාජ පදනමක් නොමැති බව බොල්ෂෙවික්වරු ඉක්මනින්ම වටහා ගත්තෝය. ඔවුන් වෙත ලැබුනු සහයෝගයේ පදනම ලෙස පැවැති කම්කරු පංතියේ බොහෝ ක්‍රියාකාරී කොටස් සිවිල් යුද්ධය තුල මිය ගොස් සිටියෝය. ඒ අනුව ඔවුන් එක්තරා විදිහකට පාලනය කරමින් සිටියේ සමාජ නියෝජනය නොමැති වූ තලයක සිටය. කෙසේ වුවද සමාජය මත ස්වකීය අභිලාෂය බලාත්මක කරන ශුද්ධ දේශපාලන බලයක් ලෙස තමාව පරිකල්පනය කරගැනීමේ දී රාජ්‍ය නිලධාරී තන්‍ත්‍රය 'බලයේ සැබෑ සමාජ පදනම' බවට පත්වන ආකාරය ඔවුහු නොසලකා හැරියෝය. විශේෂයෙන් නිෂ්පාදන බලවේගවලට අයිතිකරුවෙක් නොසිටි තත්වයක් තුල ,එම බලවේගවල තත්වාකාර හිමිකරු ලෙස හෝ භාරකරු ලෙස රජය ක්‍රියා කල තත්වයක් තුල, නිලධරය බලයේ සැබෑ සමාජ පදනම බවට පත්විය.

'' සමාජ පදනමකින් තොර ශුද්ධ දේශපාලන බලය යනුවෙන් යමක් නොමැත.මර්ධනකාරී උපකරන හැර ආන්ඩුව යම් වෙනත් සමාජ පදනමක් සොයාගත යුතුය. සෝවියට් ආන්ඩුව සිර වී සිටි 'හිස් තැන' ඉතා ඉක්මනින් පිරවින. එසේ එය පිරෙනු බොල්ෂෙවික්වරු සමහර විට නොදකින්නට ඇත.සමහර විට ඔවුන්ට එය දැකීම අවශ්‍ය නොවන්නට ඇත7''

මෙම පදනම මධ්‍යම පාලක කොමිසමක් පිලිබද ලෙනින්ගේ ව්‍යාපෘතිය අවහිර කිරීමට හේතු වී යැයි විවාදාත්මක ලෙස යෝජනා කල හැක. ප්‍රති ආර්ථිකවාදී (Anti Economist) සහ ආර්ථික නිර්නයවාදී ( Economic Deterministic) නොවන ආකාරයකින් ලෙනින් දේශපාලනයේ තිබෙන ස්වතන්ත්‍රභාවය පිලිබද අවධාරනය කරන බව සැබැවි. එහෙත් ඔහුට මග හැරෙන තැනක් ද ඇත. බදියුගේ වචන වලින් කියනවා නම් ඔහුට මග හැරෙන තැන , ඕනෑම දේශපාලන බලවේගයක් යම් සමාජ බලවේගයක් හෝ පංතියක් නියෝජනය කරන්නේය යන්න නොව , එලෙස නියෝජනය කරන දේශපාලන බලවේගය සෘජු ලෙස නියෝජිතයාගේ මට්ටමට තෙමේම එසවී ගන්නේ කෙසේද සහ ඉක්බිති වෙනම සමාජ බලවේගයක් ලෙස සංයුක්ත  වී ගන්නේ කෙසේද යන්නය.  ස්ටාලින්ට එරෙහි ලෙනින්ගේ අවසාන අරගලය ඒ නිසා නියමාකාර ඛේදාන්තයක සියලු ප්‍රකට ලක්ෂන උසුලයි. එය හුදෙක් දුෂ්ටයාට එරෙහිව වීරයා සටන් කරන උද්වේගී නාට්‍යයක් නොවේ. එය වූ කලී තමා සටන් කරන්නේ තමාගෙන්ම පැවත එන්නෙක්ට විරුද්ධව බව තේරුම් ගන්නා , ඒත් අතීතයේ දී තමා ගනු ලැබූ වැරදි තීරන ඉරනම්සහගත ලෙස ඉදිරියට ගලා යාම ආපසු හැරවීමට තමා ප්‍රමාද බව වටහා ගත් වීරයෙක් පිලිබද ඛේදාන්තයකි.