Thursday, March 26, 2015

ප්‍රශ්නය ශ්‍රී ලංකා මාතා ද?

දෙමල භාෂාවෙන් ජාතික ගීය ගැයීම මේ දිනවල පැන නැගී තිබෙන අලුත්ම විවාදයයි. ලංකාවේ ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව කියන විදිහට රටේ ජාතික ගීය ‘ශ‍්‍රී ලංකා මාතා’ය. එහෙත් දශක ගනනාවක් තිස්සේ මෙම ගීතයේ දමිල අනුවාදනයක් දෙමල ජනතාව බහුතරයක් ජීවත් වන ප‍්‍රදේශවල පාවිච්චි කරන ලදී. මෙම අනුවාදනය ඉවත් කිරීම පිලිබඳ ප‍්‍රශ්නය මුලින්ම මතු කරන ලද්දේ පසුගිය රාජපක්ෂ පාලන සමයේය. රාජපක්ෂ යෝජනා කලේ ජාතික ගී දෙකක් රටකට තිබිය නොහැකි බවත්, ඒ නිසා සිංහල භාෂාවෙන් පමනක් ජාතික ගීය ගායනා කල යුතු බවත්ය. මේ යෝජනාව සිංහල ජාතිවාදී කොටස් විසින් ඒ මොහොතේ මහත් අභිරුචියෙන් වැලඳ ගන්නා ලදී.

දැන් නැවත කලබලය ඇති වී තිබෙන්නේ දෙමල භාෂාවෙන් ජාතික ගීය ගැයීමට අවසර දෙමින් මෛත‍්‍රී - රනිල් ආන්ඩුව විසින් නිකුත් කල නියෝගයක් මත පදනම්වය. මේ කාරනය මත ධනේශ්වර දේශපාලකයින් භේද වී සිටී. ඩිලාන් පෙරේරා වැනි ඇතැමුන් මෙම යෝජනාවට පක්ෂව අදහස් දක්වමින් සිටින අතර දිනේශ් ගුනවර්ධන, සරත් වීරසේකර යනාදීහු එයට එරෙහිව පෙනී සිටිති. මෙම තීන්දුවට විරුද්ධ එක්තරා විදිහයක උද්ඝෝෂනයක් සිංහල ජාතිවාදී කොටස් විසින් දියත් කොට තිබේ.

ජාතික ගීය දෙමල භාෂාවෙන් ගායනා කිරීමට අවසර ඉල්ලීම දෙමල ජනතාවගේ ඉල්ලීමක් ද? මෙයට දිය හැකි සරල පිලිතුර ‘නැත’ යන්නයි. දෙමල ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අභිලාෂයන් ඊට වඩා බෙහෙවින් ගැඹුරුය. ඊට වඩා බෙහෙවින් දුර දිග විහිදෙන සුලුය. නිදහසින් පසු රට තුල ඇට වූ සිංහල කේන්ද්‍රීය රාජ්‍යයේ අත්තනෝමතිකත්වයට එරෙහි දීර්ඝ කාලීන අරගලයක් දෙමල සමාජය පැත්තෙන් ඇති වූ අතර දෙමල ජනයාගේ ජාතිකත්වය පිලිගැනීම සහ ඔවුන්ගේ දේශපාලන ස්වාධීනත්වය පිලිගැනීම එම අරගලයේ කේන්ද්‍රීය ඉල්ලීම වූයේය. ඒ අනුව මුලින් දෙමල බහුතර පලාත් සදහා කලාපීය ස්වයං පාලන තත්වයක් ඉල්ලා සිටිනු ලැබින. එම ඉල්ලීම සිංහල බහුතර ආන්ඩු විසින් දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කරනු ලැබූ තත්වයක් යටතේ සහ උතුරු නැගෙනහිර ඇති වූ සිවිල් විරෝධතා හමුදා බලය යොදා මැඞීම වේගවත් කරනු ලැබූ තත්වයක් යටතේ දෙමල ජාතිකවාදය වඩා සටන්කාමී මුහුනුවරක් ගත් අතර කලාපීය ස්වයං පාලනය සදහා වූ ඉල්ලීම ‘70 හා ‘80 දශක වන විට වෙනම රාජ්‍යයක් සදහා වූ ඉල්ලීම දක්වා වැඞී ගියේය.

2009 දී සිදු වූයේ ඉහත කී අරගලය මිලිටරි බලය යොදා පොඩිපට්ටම් කොට දැමීමකි. ඒ අනුව දෙමල සමාජය යටත් කරන ලදී. එම සමාජයේ දේශපාලන අභිලාෂයන් හා ප‍්‍රජාතාන්ත‍්‍රික ඉල්ලීම් බලහත්කාරයෙන් යටපත් කෙරින. සිංහල භාෂිත හමුදාවක් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල වාඩි ලා ගත් අතර එම ප‍්‍රදේශවල නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහවලට සීමිත ඉඩක් දෙන ලද්දේ හමුදා පාලනයේ රාමුව තුළය. මේ දෘඩ පාලනය තවමත් වෙනස් වී නොමැත. දෙමල සටන්කාමී සංවිධාන බලවත්ව තිබූ අවධියේ දෙමල ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය ඉල්ලීම් සම්බන්ධ යම් කේවල් කිරීමක් ජාතික දේශපාලනය තුල සිදුවිය. එම සටන්කාමී බලය අභිමුව යම් යම් දේශපාලන ප‍්‍රතිසංස්කරන ඇති කිරීමේ ‘තෙරපුමක් ’ කොළඹ සංස්ථාපිතය මත යෙදවින. 13 වන සංශෝධනය, දෙමල භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස පිලිගැනීම, බලය බෙදා හැරීම සම්බන්ධයෙන් චන්ද්‍රිකා ආන්ඩුව ඉදිරිපත් කල යෝජනා ආදිය එම තෙරපුමේ ප‍්‍රතිඵලයෝ වෙති. විශේෂයෙන්ම 2005 දී මහින්ද රාජපක්ෂ බලයට ඒමට පෙර ජාතික ප‍්‍රශ්නය විෂයෙහි මාතෘකාව භ‍්‍රමනය වූයේ ‘දේශපාලන විසඳුමේ ආකෘතිය කුමක්ද ’ යන ප‍්‍රශ්නය වටාය.

2009 යුද ජයග‍්‍රහනය සමග මෙකී බලතුලනය කැපී පෙනෙන වෙනසක් අත්පත් කරගෙන තිබේ. 2005 දී සාකච්ඡාව තිබ්බේ ‘බලය බෙදීමේ ආකෘතිය කුමක්ද’ යන්න පිලිබඳව නම් අද එම සාකච්ඡාව ‘දෙමල භාෂාවෙන් ජාතික ගීය ගැයීමට අවසර දිය යුතුද?’ යන්න දක්වා පල්ලම් බැස තිබේ. උග‍්‍ර සිංහල ජාතිවාදීහු එම සීමිත යෝජනාවට පවා විරුද්ධ වෙති. දකුනු ලංකාව තුළ වාර්ගික ස්වෝත්තමවාදී විඥානය අතිශය උච්ච තලයකට එසැවී තිබේ. මෙය 2005 න් පසු ඇති වූ දේශපාලන ක‍්‍රියාදාමයේ ප‍්‍රතිඵලයකි. දේශපාලන ප‍්‍රශ්නයක් මිලිටරි බලහත්කාරය යොදා පොඩිපට්ටම් කල පසු ‘සියල්ල හොදින් අවසාන විය’ යන සැනසිලිදායක අදහස දකුනු ලංකාව තුල තහවුරු කෙරින. සිංහල රනකාමී ජාතිකවාදයේ මෙම උච්ච ප‍්‍රකාරය සමග අභිමුඛ වීමට සිංහල ලිබරල්වාදීන් ද සූදානම් නැත. පසුගිය ජනාධිපතිවරනය කාලයේ සිංහල ලිබරල්වාදීන් හැසිරුනේ ජාතික ප‍්‍රශ්නය කියා එකක් නැති ගානටය. මේ මොහොතේ ඔවුන් සෙල්ලම් කරමින් ඉන්නේ ජාතික ගීය භාෂා දෙකකින් ගැයීම, ජාතික සමඟියේ සංකේතය ලෙස ජනාධිපතිවරයා ව්‍යවස්ථාව මගින් පිලිගැනීම වැනි සුරතල් යෝජනා වටාය.

එනම් දෙමල ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය දේශපාලන අභිලාෂයන් පිලිබඳ ප‍්‍රශ්නය සිංහල දේශපාලන සැකැස්මේ කිසිවෙක් විසින් බැරෑරුම්ව භාරගෙන නැත. මෙම අවාසිදායක බලතුලනය වෙනස් කල හැකි මාර්ගය කුමක්ද? ඒ සදඟා ස්වකීය දේශපාලන ඉල්ලීම් බරපතල ලෙස මතුකරන ප‍්‍රජාතාන්ත‍්‍රීය ව්‍යාපාරයක් දෙමල සමාජය තුලින් මතුවී ඒම අත්‍යවශ්‍යයය. දකුනු ලංකාව තුල රජයන උද්දච්ච මහජාතිවාදය වූ කලී දෙමල සමාජයේ කේවල් කිරීමේ බලය දුර්වල වීම තුලින් උද්ගත වූවකි. එම මහජාතිවාදී උද්දච්චකම දුර්වල කිරීමට නම් දෙමල සමාජය පැත්තෙන් බලගතු ප‍්‍රජාතාන්ත‍්‍රීය ව්‍යාපාරයක් මතු විය යුතුව තිබේ. එබඳු අරගලයක ප‍්‍රජාතාන්ත‍්‍රීය සන්ධාරයට සහයෝගය දීම සියලු වාමාංශිකයින්ගේ වගකීම වන්නේය.

Sunday, March 22, 2015

අනුර දිසානායක සහ ඊඩිපස් රජු

ල්ටීටීඊයට එරෙහි යුද්ධයට සහයෝගය දීමේ දී පවත්වා ගත යුතු ‘සමබරතාව’ තමා අතින් ගිලිහී ගිය බව ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර දිසානායක කියයි. ඔහු මේ ‘පාපොච්චාරනය’ කලේ පසුගිය දිනෙක ස්වාධීන රූපවාහිනී සේවය විසින් විකාශය කල ‘සත්‍යාගාරය’ සංවාදාත්මක වැඩසටහනට සහභාගී වෙමිනි. මානෙල් මල් ව්‍යාපාරය ඇරඹීම, රනවිරුවන් ලෙස හමුදා සොල්දාදුවන් අභිෂේක කරවීම, යුධ මුක්ත කලාපයට බර අවි වලින් පහර දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂනය කිරීම ආදිය එලෙස ‘සමබරතාව’ අහිමි කරගත් අවස්ථා ලෙස ඔහු හඳුන්වා දුන්නේය.

මිලාන් කුන්දේරාගේ The unbearable lightness of being නවකථාවට ( සහ එනමින්ම යුත් චිත‍්‍රපටයට ) පාදක වන්නේ ‘ප‍්‍රාග් වසන්තය’ යුගයේ චෙකොස්ලොවැකියාවයි. 1960 ගනන් වල අග චෙකොස්ලොවැකියාව සාම්ප‍්‍රදායික ස්ටාලින්වාදී පාලන ආකෘතියෙන් බිඳී යාමක් පෙන්නුම් කළේය. පාලක කොමියුනිස්ට් පක්ෂය තුල එක්තරා විදිහක ‘ප‍්‍රතිසංස්කරනවාදී ’ ප‍්‍රවනතාවයක් බලවත් විය. කොමියුනිස්ට් පක්ෂ පාලනය තුල පෙර සිදු වූ අව ක‍්‍රියා එම ප‍්‍රතිසංස්කරනවාදය තුල හෙලා දැකීමට ලක්විය. ඒවා ‘ස්ටාලින්වාදයේ ගිනුමට’ බැර කරනු ලැබීය. කලාව සහ සාහිත්‍යය මත වූ වාරන යම් ප‍්‍රමානයකින් මෙම නව ප‍්‍රතිසංස්කරනවාදය තුල ඉවත් විය.

චිත‍්‍රපටයේ කථා නායක ( ටොමාස් ) පක්ෂ නායකයින්ගේ හැසිරීම විස්තර කිරීමට ඊඩිපස් රජු ගේ සාදෘශ්‍යය ඈඳයි. තමා තම පියා මරා මව සමඟ රමනයේ යෙදුනු බව දැනගත් පසු ඊඩිපස් රජු එම සත්‍යය දරා ගත නොහී තමාටම දඩුවම් පමුනුවා ගනී. ඒ සිය ඇස් දෙක උගුල්ලා ගනිමිනි. ප‍්‍රාග් වසන්තය කාලයේ කොමියුනිස්ට් පක්ෂ නායකයින් යනු ඔවුන්ම හෙලාදකින ස්ටාලින්වාදී අතීතයේ කොටස්කරුවෝය. ඊඩිපස් තම ‘වරද’ කලේ දැනගෙන නොවේ. එහෙත් තමා අතින් වරදක් වූ බව දැනගත් විට ඔහු එයට ප‍්‍රතිචාර දක්වන්නේ ඇස් උගුල්ලා ගනිමිනි. ටොමාස් මෙය ‘ඊඩිපස් සදාචාරය’ ( Oedipus Morality)  ලෙස නම් කරයි. සමහර විට අර වැරදි වලට කොමියුනිස්ට් නායකයෝ සම්මාදම් වෙන්ට ඇත්තේ ‘දැනගෙන’ නොවන්නට පුලූවන. එහෙත් ස්ටාලින්වාදී තන්ත‍්‍රයේ සාපරාධීත්වය හෙලි වූ විට හුදෙක් ‘අපි ඒ ගැන දුක් වෙනවා’ කියා ඒවා ස්ටාලින්ගේ ගිනුමට බැර කොට අත පිස දා ගත නොහැක. එම පසුතැවීම අවංක නම් ඇස් උගුල්ලා ගැනීමට තරම් වූ ආවේගයක් පක්ෂ නායකත්වය තුල පැනනැගිය යුතුය.

ලංකාවේ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුනට තිබෙන්නේ වාමාංශික පක්ෂයකට තරම් නොවන අපකීර්තිමත් ඉතිහාසයකි. මෙය හුදෙක් 2005 න් පසු ඇති වූ තත්වයක් නොවේ. මෙම කුප‍්‍රකටත්වයේ මූලය ‘80 දශකය දක්වාම දිව යන්නකි. සිංහල කේන්ද්‍රීය රාජ්‍යයේ සාහසිකත්වයට එරෙහිව දෙමල ජනතාව අතරින් පැන නැගුනු සටන්කාමී සංවිධාන බිහිවීමේ මූලික හේතුව ජාතික පීඩනය නොව අධිරාජ්‍යවාදී උවමනාවන් යැයි කියන රෝහන විජේවීර සහෝදරයාගේ සුප‍්‍රකට ප‍්‍රවාදය දක්වාම මෙකී අපගමනයේ මූලයන් විහිදෙන්නේය. ‘80 දශකය අගභාගයේ දී පලාත් සභා විරෝධය ලෙස ජවිපෙ විසින් දකුනු ලංකාව තුල සංවිධානය කරනු ලැබූයේ සිංහල මහජාතිවාදී කතිකාව විසින් දෙමල ජනයාගේ ස්වයං පාලන ඉල්ලීම සම්බන්ධයෙන් දකුනේ ගොඩනගා තිබූ භීතිකාවයි. නිර්ප‍්‍රභූ ජනතා නැගිටීමක් ලෙස 88-89 අරගලයේ තිබුනු විමුක්ති විභවතා මෙයින් නිශේධනය නොවන නමුත් එම නැගිටීමේ තිබූ ජාතිවාදී සංරචකය දැකීමට එය බාධාවක් කරගත යුතු නැත.

2006-09 කාලයේ යුද්ධය සඳහා සක‍්‍රීයව සහයෝගය දීමේ දී ජවිපෙ පදනම් වන්නේ ඉහත කී න්‍යායික ආස්ථානය මතය. එම සහය පිදීම ‘අහඹුවක්’ නොව ඉහත න්‍යායික ආස්ථානයේ තර්කානුකූල දිගුවකි. ඊලාම් අරගලය අධිරාජ්‍යවාදී උගුලක් නම්, එය පරාජය කිරීම ‘අධිරාජ්‍ය විරෝධී’ අරගලයේ සංයුක්ත කොටසක් වන්නේය. මේ අනුව 2002-05 කාලයේ එල්ටීටීඊය යුදමය ලෙස පරාජය කළ යුතු බවට රනකාමී මතයක් ජවිපෙ දකුනු ලංකාව තුළ ගොඩනැගීය. එම සටන් පාඨය මහින්ද සියතට ගත් අතර මහින්ද එල්ටීටීඊය සමූලඝාතනය කරද්දී ඊට සහයෝගය නොදී සිටීමේ කිසිදු තර්කයක් ජවිපෙට නොමැති විය.

මෙම සමස්ත කාලය තුළ දෙමල ජනතාවට අත්වන ඉරනම කුමක්ද යන්න ගැන හාංකවිසියක තැකීමක් ජවිපෙ තුල නොවීය. යුධ මුක්ත කලාපය තුල සිර වූ දෙමල ජනයාට බර අවිවලින් ගැසීම රජයේ හමුදා විසින් නතර කළ විට එය ‘රට පාවාදීමක් ’ ලෙස හඳුන්වා ජවිපෙ පෝස්ටර් ගැසුවේ ඒ අනුවය.

2009 එකී ජනසංහාරයෙන් ඉක්බිති ජවිපෙ ‘මානවවාදී’ අදහසකින් උතුරේ ප‍්‍රශ්නවලට මැදිහත්වීම පටන්ගත්තේය. දැන් යුද්ධය තුල ‘සමබරතාව’ රඳවා නොගැනීම ගැන ඔවුන් සිය කනගාටුව ප‍්‍රකාශ කර සිටී. ගරිල්ලා සංවිධානයක් යුදමය ලෙස සමූලඝාතනය කිරීමට යාමේ දී විශාල සිවිල් ජන හානියක් සිදුවන බව වටහා ගැනීමට විශේෂඥ නුවනක් අවශ්‍ය නොවේ. මේ නිසා යුද්ධය කරන්න යැයි කියන ගමන් මිනිස්සු මියයාමට විරුද්ධ වීම නොම්මර එකේ තක්කඩිකමකි. හුදෙක් ‘කනගාටුව’ ප‍්‍රකාශ කොට එම ඉතිහාසය සම්බන්ධ ස්වකීය වගකීමෙන් මිදීගත හැකිද? මෙය හරියටම චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් නිලධාරීන් ස්ටාලින්වාදී අතීතය ගැන සිය ‘කනගාටුව’ ප‍්‍රකාශ කිරීම හා සමානය. අතීතය පිළිබඳ පශ්චාත්තාපය අවංක එකක් නම් ජවිපෙ සම්ප‍්‍රදායට අයත් වාමාංශිකයින්ට සරල ‘සොරි’ කීමකින් එකී අතීතය සම්බන්ධ සිය පංගුකාරීත්වයෙන් මිදිය නොහැක. එම අතීතය සම්බන්ධයෙන් ඔවුන් අවංක නම් ඇස් උගුල්ලා ගැනීමට තරම් ආවේගයක් ඔවුන් තුල ජනිත විය යුත්තේය.

Friday, March 13, 2015

සීගිරියේ කුරුටු ගීත ලස්සනද ?

ඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරනයේ මතය අනුව සින්නතම්බි උදය ශ‍්‍රී නමැති තරුනිය සිදු කොට තිබෙන්නේ වසර දෙකක කාලයකට සිරගත කල යුතු අපරාධයකි. ඇය කල වරද සීගිරිය බැලීමට ආ අවස්ථාවක කැටපත් පවුරේ තම නම කුරුටු ගෑමය. මඩකලපුව ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කම්කරු ස්ත‍්‍රියක වන මෙම දෙමල ජාතික තරුනිය සිරගත කිරීමේ නියෝගයක් ලබාදීම හරහා දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරනය නීතිය අකුරට ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමා තුල තිබෙන ‘කැපවීම’ විදහා දක්වා තිබේ.

මෙම දඩුවම ඇය සිදු කල ‘වරද’ හා සසදන විට කිසිසේත්ම සමානුපාතික නොවන බව පැහැදිලිය. මෙම තරුනිය අදාල කුරුටු ගෑම සිදු කොට තිබෙන්නේ චේතාන්විතව කැටපත් පවුර විනාශ කිරීමේ අදහසකින් නොව අනවබෝධය නිසා බව අදාල පුවත විස්තරාත්මක විමසා බලන විට පෙනී යන්නේය. තරුනියගේ මව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටි දෙයක් වූයේ තමුන් ‘සිංහල නොදන්නා නිසා මේ අවනඩුව කියා ගැනීමේ විදිහක් නැති බවත් ’ දියනිය නිදහස් කරගැනීමට උදවු කරන ලෙසත්ය. මෙම සුලු ජාතික නිර්ප‍්‍රභූ තරුනියට ඇතැම් විට ස්වකීය නිදහසට කරුනු දැක්වීම වෙනුවෙන් ඉහල මිලකට මිල දී ගත හැකි දක්ෂ නීතිඥවරයෙක්ගේ සේවය නොලැබෙන්නට ඇත. එවැන්නෙක් මිලදී ගැනීම සදහා එක්කෝ ඇයට අවබෝධයක් නොතිබෙන්නට ඇත. නැතිනම් ඒ සදහා මුදල් නොතිබෙන්නට ඇත.

මේ අනුව පින්තූරය ලැබෙන්නේ මේ විදිහට. එක් කෙලවරක දුගී, සුලු ජාතික, තරුන කම්කරු ගැහැනියක්. අනිත් අන්තයේ රාජ්‍ය බලයේ සමස්ත පරාක‍්‍රමය නියෝජනය කරන්නා වූ අධිකරනය. මෙම අධිකරන සැකැස්මේ එක් ලක්ෂනයක් වන්නේ එය ඉදිරියේ ඇතැම් මිනිසුන් ‘එනයින්ම අපරාධකරුවන්’ ලෙස ස්ථානගත වීමය. සාමාන්‍ය පිලිගැනීම අනුව විනිසුරුවරයා යනු ස්වාධීන පුද්ගලයෙකි. ඔහුට  ඕනෑම ප‍්‍රශ්නයක් දෙස විවෘත මනසකින් අපක්ෂපාතීව බැලීමට පුලුවන. නීතිය යුක්තිසහගතයි කියා ඒ සාමාන්‍ය මතය තුල කියැවෙන්නේ ඒ නිසාය.

එහෙත් කිසිදු නිරීක්ෂනයක් ‘ස්වාධීන’ නොවේ. නිරීක්ෂකයා තුළ පූර්ව නිගමන, පූර්ව සංකල්ප සහ හැගීම් යනාදිය පවතී. මේවා ‘නිරීක්ෂනයට’ බලපාන්නේය. ඒ අනුව කිසිදු නිරීක්ෂිතයක් අපක්ෂපාතී නැත. එය පාර්ශවිකය. පක්ෂපාතීය. මන්ද නිරීක්ෂකයා තුළ තිබෙන පූර්ව නිගමන සියයට සියයක් ඉවත් කොට නිරීක්ෂනයක් ලබාගත නොහැකි නිසාය.

මෙය සමාජ බල ව්‍යුහයක් ලෙස අධිකරන සම්බන්ධයෙන් ද පොදු තත්වයකි. ප‍්‍රභූවාදී බල ව්‍යුහයක් වන අධිකරනය විසින් එහිම අභ්‍යන්තර වටිනාකම් සහ ආකල්ප පද්ධතියක් ප‍්‍රතිනිෂ්පාදනය කරයි. විනිශ්යකාරවරුන්ගේ දෘෂ්ටිය මේ වටිනාකම් පද්ධතිය විසින් ශික්ෂනය කරනු ලැබූවකි. මෙකී වටිනාකම් මත ප‍්‍රභූවාදය, පුරුෂෝත්තමවාදය, මහජාතිවාදය ආදී සමාජයේ අධිපති මතවාද ස්වකීය මුද්‍රාව තබා තිබේ. දෙමල ජාතික නල්ලරත්නම් සිංහරාසා ගේ මූලික අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ප‍්‍රතික්ෂේප කරන්නේ ඇයි? දෙමල ජාතික එල්ටීටීඊ සැකකරුවෙක් වූ ගනේශන් නිමලරුබන් වවුනියාව බන්ධනාගාරයේ දී අමු අමුවේ මරා දමන ලද විට ‘ඔහු ත‍්‍රස්තවාදියෙක් බව තමා පෞද්ගලිකව දන්නා නිසා’ එම නඩුව විභාග කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරනය පවසන්නේ ඇයි? වාරියපොල තිලිනි අමල්කා නමැති තරුනිය තමාට අයුතු ලෙස විහිලු කළ තරුනයෙක්ට පහර දුන් අවස්ථාවේ ඇය අධිකරනය ඉදිරියට පැමිනවූ විට ඇයට මානසික ආබාධයක් තිබේ දැයි පරීක්ෂා කර බැලීම සදහා ඇයව වෛද්‍යවරයෙක් ඉදිරියට අධිකරනය විසින් යොමු කරන්නේ ඇයි? මේ ජාතිවාදය, පුරුෂෝත්තමවාදය ආදී පූර්ව දෘෂ්ටීන් විසින් ‘නිරීක්ෂිතයේ ස්වභාවය’ නිර්නය කරනු ලැබූ අවස්ථාවන් සම්බන්ධ ප‍්‍රකට උදාහරනය.

නිර්ප‍්‍රභූ ගැහැනුන් සහ පිරිමින් සම්බන්ධයෙන් අධිකරන පද්ධතිය තුල පවතින ආකල්පය මේ අනුව පූර්ව නිගමන සහ ආකෘතීන්ගෙන් ස්වාධීන වූවක් නොවේ. වාර්ගික දේශපාලනය සම්බන්ධ ප‍්‍රශ්නවලදී දෙමල ජාතිකයින් එනයින්ම ත‍්‍රස්තවාදීන් වීමේ අවදානමක පසු වෙති. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සම්බන්ධ නඩුවලදීද මෙය ප‍්‍රකටව දැකිය හැක. විශ්ව විද්‍යාල පරිපාලනය හොබවන ‘මහත්වරුන්ගේ’ නිරවද්‍යතාව සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ ‘නොහික්මුනුකම’ පිළිබ`ද පූර්ව සංකල්ප අධිකරන ධූරාවලිය තුළ පවතී. සමාජයේ පහල පාන්තික තීරු වලට අයත් ජනයා ‘අපරාධකරුවන්’ ලෙස නිර්වචනය වීමේ සම්භාවිතාව අධිකය. සමාජයේ බලවත් සහ ‘වැදගත් ’ පිරිස් කෙරෙහි නීතිය දක්වන ප‍්‍රවේශය සහ සමාජයේ අද්දරට තල්ලු වී සිටින ජනයා කෙරෙහි එය දක්වන ප‍්‍රවේශය අතර වන මෙම වෙනස ප‍්‍රායෝගික ව්‍යවහාරයේ දී පැහැදිලිවම දැකගත හැක්කකි. ‘නීතිය ඉදිරියේ සමානතාවය’ ගැන නීතිපොත් වල ලියා තිබුනත් යථාර්ථයේ දී නීතියේ බැල්ම පූර්ව නිගමන මගින් නිර්නය කරනු ලබන්නේ වේ.

සින්නතම්බි උදය ශ‍්‍රී ට මුහුන දීමට සිදුවී තිබෙන්නේ ද නීතියේ තිබෙන මෙම පාර්ශවිකත්වය පිළිබද යථාර්ථයටය. නිර්ප‍්‍රභූ පිරිමින් සහ ගැහැණුන් ඉදිරියේ ‘තග’ දැමීමට අධිකරනය මැලි වන්නේ නැත. නොදැනුවත්කම නිසා කොන්ඩා කටුවකින් සීගිරි බිත්තියේ සිය නම ලියූ වරදට මෙම තරුනිය වසර දෙකකට සිරගත කිරීම පැහැදිලිවම ‘තගකි’. සිය ඊනියා මහේශාඛ්‍ය බව නිර්ප‍්‍රභූ ගැහැනියක ඉදිරියේ අවධාරනය කිරීමකි. නීතිය නමැති බල ව්‍යුහයේ මහේශාඛ්‍යභාවය ඉදිරියේ සාමාන්‍ය ජනයා අසාධාරනයට, සමච්චලයට, අවමානයට හා බැහැර කිරීමට ලක්වීම දෛනිකව සිදුවන සුලභ අත්දැකීමකි. සින්නතම්බි උදය ශ‍්‍රී ගේ ප‍්‍රශ්නය ඒ නිසා ගත යුත්තේ ඇගේ මවට විදින්නට වී තිබෙන වේදනාව පිළිබද හුදු මානුෂීය ප‍්‍රශ්නයක් ලෙස නොව අධිකරනය නම් වූ සමාජ බල ව්‍යුහය සංවිධානය වී තිබෙන ස්වභාවය පිලිබද දේශපාලන ප‍්‍රශ්නයක් ලෙසය.  

එරාන් වික්‍රමරත්නගේ මුහුනු දෙක

මාර්ග සංවර්ධනය හා ආයෝජනය පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න විසින් ආයෝජකයින් පිරිසක් ඉලක්ක කොට ගෙන කල ප‍්‍රකාශයක් පෙබරවාරි 28 වන දා ‘අයිලන්ඞ්’ ඉංග‍්‍රීසි පුවත්පතේ පල වී තිබුනේය. එම පුවතට යොදා තිබූ මාතෘකාව වූයේ ‘‘ ආයතනික ප‍්‍රතිසංස්කරන සඳහා ස්වර්නමය අවස්ථාවක් ශ‍්‍රී ලංකාව තුළ උදාවී තිබේ’’ යන්නය. පසුගිය ජනවාරි මස ඉදිරිපත් කල අතුරු අයවැයෙන් රජයේ සේවකයන්ට වැටුප් වැඩි කර තිබීම ආදී ‘සහන ක‍්‍රියාමාර්ග’ ගැන සහ ඇතැම් බදු යෝජනා ගැන ආයෝජකයින්ගේ පැත්තෙන් ප‍්‍රශ්න මතු වූ බවත් එහි දී ‘සමාජ සාමය දිනාගැනීම සඳහා’ එබඳු යෝජනා අවශ්‍ය වූ බවට එරාන් වික‍්‍රමරත්න සඳහන් කල බවට අයිලන්ඞ් පුවත්පත වාර්තා කොට තිබුනේය.

ඉංග‍්‍රීසි භාෂාවෙන් පල වූ අයිලන්ඞ් පුවත මොහොතකට පසෙක තබා දැන් අප පසුගිය අතුරු අය වැය සමයේ රජයේ පැත්තෙන් කියන ලද කථා කෙරෙහි මඳකට අවධානය යොමු කරමු. එම අතුරු අය වැය ප‍්‍රසිද්ධියේ හඳුන්වා දෙනු ලැබූයේ ‘ජනතාවට සහන ලබා දුන් අයවැයක්’ වශයෙනි. රවී කරුනානායක පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කලේ සහන රාශියක් තම ආන්ඩුව ජනතාවට ලබා දෙන්නේ මෙම රජය ‘ජනතා හිතවාදී රජයක්’ වන නිසා බවයි. ඇමති ගයන්ත කරුනාතිලකට අනුව එය ‘පොඩි මිනිහාගේ පැත්තෙන් හදපු සාර්ථක අය වැයකි.’ එරාන් වික‍්‍රමරත්න අය වැය ඉදිරිපත් කළ දිනයට පසු දිනෙක ( පෙබරවාරි 01 ) ‘සන්ඬේ ඔබ්සර්වර්’ පුවත්පතට ප‍්‍රකාශ කොට තිබුනේ මේ අය වැය සියයට 1 වෙනුවෙන් නොව සියයට 99 ක ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන ලද්දක් බවයි. වික‍්‍රමරත්න ‘සියයට 1 - සියයට 99’ රූපකය අහුලා ගන්නේ ධනවතුන්ට වාසි ගෙන දෙන සමාජ සැකැස්මට විරෝධය පල කරමින් එක්සත් ජනපදය තුල පැතිරී ගිය ‘වෝල් වීදිය අල්ලා ගනු’ ව්‍යාපාරයේ සුප‍්‍රකට සටන් පාඨය වෙතිනි.

දැන් එකම අය වැය ගැන එකම පිරිස් විසින් අවස්ථා දෙකකදී ස්වර දෙකකින් කෙරෙන කථා දෙකක් අපට දැකගැනීමට පුලූවන. මහජනතාව පේ‍්‍රක්ෂකාගාරය වන විට එක ස්වරයක්. ව්‍යාපාරික ප‍්‍රජාව හෝ ආයෝජකයින් පේ‍්‍රක්ෂකාගාරය වන විට තව ස්වරයක්. මහජනයා ඉදිරියේ ‘ජනතා හිතවාදී ආණ්ඩුව’. ආයෝජකයින් ඉදිරියේ ‘සමාජ සාමය දිනාගැනීමට ගත යුතුව තිබූ නොවැලැක්විය හැකි ක‍්‍රියාමාර්ග’.

සමාජයේ ප‍්‍රතිවිරුද්ධ අභිලාෂයන් සහිත පන්තීන් එකිනෙකා සමග සටන් වැද විනාශ වී යාම වැලැක්වීම සඳහා සමාජයට ඉහලින් තිබෙන, අපක්ෂපාතී යැයි පෙනෙන ව්‍යුහයක් අවශ්‍ය වූ බවත් එනයින් රාජ්‍යය නමැති ආයතනයේ පැන නැගීම සිදු වූ බවත් රාජ්‍යය පිළිබඳ සම්භාව්‍ය මාක්ස්වාදය තුල එන පැහැදිලි කිරීමයි. දැන් අපට මෙතැන ප‍්‍රතිවිරුද්ධ පන්ති අභිලාෂයන් පැහැදිලිව දැක ගැනීමට පුලූවන. ජීවන වියදම ඇතුලූ සමාජ ප‍්‍රශ්නවලින් මිරීකී සිටින වැඩ කරන ජනතාව ඇතුලූ පොදු ජනයාහට මේ මොහොතේ අවශ්‍ය වී තිබෙන්නේ යම් සහනයකි. වැටුප් වැඩිවීම සහ රජය විසින් ඒ සඳහා කරන වියදම් වූ කලී ඔවුන්ගේ පැත්තෙන් එන ඉල්ලීමකි.

එහෙත් රජය එලෙස වියදම් කිරීම ප‍්‍රාග්ධනයේ සුමට ක‍්‍රියාකාරීත්වය සමඟ ගැලපෙන්නේ නැත. රජය ස්වකීය වියදම් අඩු කරගත යුතු බව නව ලිබරල් ආර්ථික චින්තනය විසින් ඉල්ලා සිටින්නේම වෙලඳපොල බලවේග වල සුමට ක‍්‍රියාකාරීත්වයට එකී රාජ්‍ය මැදිහත්වීම ගැටලූවක් වන බවට ප‍්‍රාග්ධනය පැත්තෙන් තිබෙන විශ්වාසය නිසාය. රජය ආර්ථිකයට මැදිහත් වන ප‍්‍රමානය වැඩි වත්ම ධනවතුන් සහ ව්‍යාපාරිකයන් මත පැටවෙන බදු බර ආදිය වැඩි වන්නේය. මේ නිසා රජයේ ‘සුබසාධනවාදී මැදිහත්වීම්’ මහා පරිමාන ප‍්‍රාග්ධනය එතරම් රුස්සන්නේ නැත.

මෙම ප‍්‍රතිවිරෝධී සමාජ අභිලාෂයන් අභිමුව ආන්ඩුවේ භූමිකාව වී තිබෙන්නේ කුමක්ද? එරාන් වික‍්‍රමරත්න ‘සමාජ සාමය දිනාගැනීමක්’ ගැන කථා කරයි. ඔහු සමාජ සාමයක් ගැන කථා කරන්නේ කාගේ පැත්තේ හිඳගෙනද?

දැනට මතු වී තිබෙන තත්වය අනුව මහජනයාට යම් අවම හෝ සහනයක් තාවකාලික පදනමකින් හෝ ලබා දෙන්නේ නැතිව ඉදිරියට ගමන් කිරීම ආන්ඩුවට අපහසුය. රාජපක්ෂ රජයට එරෙහිව නාගරික පහල පාන්තික ජනයා ඡන්දය දෙද්දී ඒ සඳහා එම ජනයා පෙලඹවූ එක් හේතුවක් වන්නේ වැඩෙන ජීවන වියදම කෙරෙහි වන අප‍්‍රසාදයයි. අඩුම තරමින් එලැඹෙන මහ මැතිවරනය තෙක් හෝ මෙම ජනතාවට යම් කැරට් අලයක් විසි කළ යුතුය. එසේ නොකරන්නේ නම් මහජන කෝපය නමැති අවදානමට මුහුන දීමට ආන්ඩුවට සිදු වන්නේය.

එරාන් වික‍්‍රමරත්නලාගේ කාර්යය වූ කලී ප‍්‍රාග්ධනය සහ සමාජය අතර තිබෙන ප‍්‍රතිවිරෝධය දීර්ඝකාලීනව ප‍්‍රාග්ධනයේ යහපත වෙනුවෙන් කලමනාකරනය කොට දීමය. ඔහුගේ යට කී ප‍්‍රකාශය වූ කලී තාවකාලිකව හෝ ජනයාට සහන දීමට සිදුවීම ගැන ප‍්‍රාග්ධනය වෙත ( සිය ස්වාමියා වෙත ) කෙරෙන ‘කරුනු පැහැදිලි කිරීමකි’. එරාන් ආයෝජකයින්ට කියන්නේ මහජනයා හීලෑ කරගැනීම සඳහා මස් කට්ටක් විසි කිරීමට සිදු වූ බවත් ඒ ගැන කලබල නොවන ලෙසත් ආයෝජකයින්ට හිතකර ලෙස ආර්ථිකය දීර්ඝකාලීනව ව්‍යුහගත වෙමින් තිබෙන බවත්ය. මෙම ප‍්‍රභූ දේශපාලකයින්ට මහජනයා යනු හීලෑ කර ගත යුතු සත්ව විශේෂයකි.

ඇතැමුන්ට අනුව එරාන් වික‍්‍රමරත්න ‘මහත්මා දේශපාලකයෙකි’. මේ මහත්මා දේශපාලකයින් මහත්මා ලීලාවෙන් කරන්නේ අන් කවරක් හෝ නොව ස්වකීය මහත්මා ලීලාව තුලින් මහජනයා රවටමින් ප්‍රාග්ධනයට සේවය කිරීම සදහා කැපවී ගැනීමය.එම 'මහත්මා ගතිය' සැබැවින්ම තක්කඩිකමකි.