Monday, December 14, 2015

මානව හිමිකම් කොමිසම සහ ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලයේ නව මං පෙත්

සස් ජාතික ගනකාධිකරන ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන්ට පසුගිය දිනෙක එල්ල වූ මිලෙච්ඡ පොලිස් ප‍්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව ස්වකීය විමර්ශන වාර්තාව එලි දක්වා තිබේ. අදාල පහරදීම නිසා සිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී තිබෙන බව එහිදී නිගමනය කොට තිබෙන කොමිසම එම සිසුන්ට වන්දි ගෙවන ලෙස පොලිසියට නියම කොට ඇත. එසේම අදාල පහර දීම්වලට වගකිව යුතු නිලධාරීන්ට එරෙහි විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ද නියෝග කොට තිබේ.

මානව හිමිකම් කොමිසමේ මෙම තීන්දුව වැදගත් එකක් වන්නේ එම කොමිසමේ භූමිකාව පිලිබඳ අලුත් එලැඹුමක් එමගින් පෙන්නුම් කරන නිසාය. මෙම පොලිස් පහරදීම විශාල කම්පනයක් රට තුල ඇති කලේය. ඒ පිලිබඳ විමර්ශන කටයුතු ඇරඹීමට කොමිසම තීරනය කොට තිබුනේ ඒ ගැන නිල පැමිනිල්ලක් ඉදිරිපත් වීමටත් පෙරය. වර්තමාන මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්ව සංයුතිය තුල මානව අයිතිවාසිකම් ප‍්‍රශ්න සම්බන්ධයෙන් ප‍්‍රගතිශීලී ඉතිහාසයක් පෙන්නුම් කල සාමාජික නියෝජනයක් පවතී. මෙම පිරිස්වල ආත්මමූලික බලපෑම මෙබඳු කඩිනම් විමර්ශනයක් සඳහා කොමිසම තල්ලු කල ප‍්‍රබල සාධකයක් වූවා විය හැක.

1996 දී පිහිටවූ මානව හිමිකම් කොමිසම සතු බලතල සීමාසහිතය. පසුගිය කාලයේ එම සීමාසහිත බල ක්ෂේත‍්‍රය පවා එම ආයතනය විසින් උපයෝගී කරගනු නොලැබීය. විශේෂයෙන්ම රාජපක්ෂ පාලන යුගයේ මෙම තත්වය වඩාත් නරක අතට පිරිහී තිබුනි. මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ වරෙක ප‍්‍රකාශ කොට තිබුනේ තමා සැමියාගේ අතුරුදහන්වීම පිලිබඳ විමර්ශන ගැන තමා මානව හිමිකම් කොමිසමෙන් නිරන්තර විමසීම් සිදුකරන විට ‘වැඩ කරන විදිහ අපි දන්නවා - අපට කියල දෙන්න එන්න එපා’ වර්ගයේ පිලිතුරක් තමන්ට ලැබුනු බවයි. මේ ප‍්‍රතිචාරය මෙම ආයතනය පිරිහී තිබූ ප‍්‍රමානය හකුලූවා දක්වන සංකේතයක් වැන්න. විශ්ව විද්‍යාල සිසුන්ට කල පහරදීම සම්බන්ධයෙන් කොමිසම පසුගිය දා කල විමර්ශනය ස්වකීය බල ක්ෂේත‍්‍රය සක‍්‍රීයව උපයෝජනය කරගැනීමට කොමිසමේ නව සාමාජිකත්වය දක්වන උනන්දුව පිලිබඳ ප‍්‍රශංසනීය උදාහරනයකි.

එම එලැඹුම අගය කරන අතර ඉන් නොනැවතී ප‍්‍රශ්නය වඩාත් බැරෑරුම් මානයක් තුල වර නැගීම අවශ්‍ය වේ. මිනිස් අයිතිවාසිකම් පිලිබඳ ලිබරල් සංකල්පනයේ පදනම රාජ්‍යයේ අත්තනෝමතිකත්වයෙන් පුද්ගලයින්ගේ අයිතීන් ආරක්ෂා කරගැනීමය. ඒ අනුව වර්ධනය වූ මූලික අයිතිවාසිකම් නීතිය සලකනු ලබන්නේ රාජ්‍යය විසින් පුද්ගලයින්ගේ අයිතිවාසිකම් කඩවීම පිලිබඳ ක්ෂේත‍්‍රයයි. එහෙත් ප‍්‍රශ්නය නම් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ රාජ්‍යය විසින් පමනක් නොවීමයි.

පසුගිය දිනෙක කටුනායක නිදහස් වෙලඳ කලාපයේ දී තමා ලද අත්දැකීමක් පිලිබඳ ආචාර්ය සුමනසිරි ලියනගේ ෆේස්බුක් සටහනක් යොදා තිබුනි. ලෝකයේ ප‍්‍රධාන පෙලේ සන්නාමයන් වෙනුවෙන් ඇගලුම් නිපදවන ‘ස්මාර්ට් ෂර්ට්’ නම් වූ කර්මාන්තශාලාවක් ගැනය ඒ සටහන. මෙම කම්හලේ කම්කරුවන් වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට උත්සාහ කොට ඇති අතර පාලනාධිකාරිය විවිධ හේතු දක්වමින් ඒ සඳහා මූලිකත්වය ගත් කම්කරුවන් නම දෙනෙක් සේවයෙන් පහකොට තිබේ. තවද පොලිසියේ හා ප‍්‍රාදේශීය චන්ඩින්ගේ ආධාර සහිතව වෘත්තීය සමිතිගත වීමට උත්සාහ කරන කම්කරුවන් පාලනාධිකාරිය විසින් බිය ගන්වමින් සිටී. දැන් මෙතැන කම්කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලබන්නේ රජය නොව පුද්ගලික සමාගමක් විසිනි. එහෙත් මූලික අයිතිවාසිකම් නීතිය අනුව කොම්පැනියකට විරුද්ධව මානව හිමිකම් නඩු පැවරිය නොහැක. රජය විසින් අයිතිවාසිකම් කඩකිරීම් වැලැක්වීමට ප‍්‍රතිපාදන තිබුනත් පුද්ගලික සමාගම් විසින් එය කරන විට ඒ සඳහා මූලික අයිතිවාසිකම් නීතියේ ප‍්‍රතිකර්ම නොමැත.

රජය යනු බලය සංකේන්ද්‍රගත වී තිබෙන ආයතනයකි. එම ආයතනයෙන් අයිතිවාසිකම් ආරක්ෂා කරගත යුත්තේ එලෙස අධික ලෙස සංකේන්ද්‍රගතව තිබෙන බලය මහජනයාට එරෙහිව යෙදෙවිය හැකි බැවිනි. සමකාලීන ධනවාදය තුල සමාගම් වූ කලී රජය තරම්ම බලගතු ආයතනයෝය. අති මහත් බලයක් ආර්ථික තලය තුල මෙකී සමාගම් තුල සංකේන්ද්‍රනය වී තිබේ. දේශපාලන ප‍්‍රභූ තන්ත‍්‍රයක් පමනක් නොව ආර්ථික ප‍්‍රභූ තන්ත‍්‍රයක් ද ඒ අනුව පවතී. සංකේන්ද්‍රනය වූ දේශපාලන බලය මානව හිමිකම් කඩ කරන විට ඊට එරෙහිව පවතින සම්මතයන් සංකේන්ද්‍රනය වූ ආර්ථික බලය විසින් මානව හිමිකම් කඩ කරන විට නොපවතින්නේ ඇයි? ස්වකීය වෘත්තීය අයිතිවාසිකම් කඩ වීමට එරෙහිව එකී අයිතීන් කඩන ස්මාර්ට් ෂර්ට්ස් හිමිකාරීත්වයට එරෙහි මානව අයිතිවාසිකම් නඩු පැවරීමේ අයිතිය කම්කරුවන්ට තිබිය යුතු නොවේද? මූලික අයිතිවාසිකම් නීතිය පුද්ගලික අංශයද ආවරනය කල යුතු බවට වූ සටන්පාඨය මේ මොහොතේ ඉදිරිපත් කල හැකි රැඩිකල් ප‍්‍රජාතාන්ත‍්‍රීය ඉල්ලීමකි.

මානව හිමිකම් කොමිසම වැනි ආයතන ගැන ඉදිරිපත් විය හැකි ග‍්‍රාම්‍ය වාමාංශික කියැවීමක් නම් මේවා ධනපති ආයතන නිසා මේවායෙන් සත පහක වැඩක් නැත යන්නය. ඒ අනුව ශිෂ්‍ය උද්ඝෝෂනයට අදාලව එම කොමිසම දුන් තීන්දුව අවශ්‍ය නම් ‘ජනතා විරෝධය උරා ගැනීමට ඇටවූ ධනපති උප්පරවැට්ටියක්’ කියා ද කිව හැක. මෙබදු අදහසක තිබෙන දුර්වලතාවය වනුයේ උපරි ව්‍යුහයේ සාපේක්ෂ ස්වාධීනත්වය පිලිබඳ වැදගත් සංකල්පය එය විසින් ග‍්‍රහනය කොට ගෙන නොතිබීමයි. දේශපාලන-නෛතික තලය සමාජයේ උපරි ව්‍යුහයට අයත්වූවක් වන අතර අවසාන විග‍්‍රහයේ දී ඒවායේ හැඩය නිර්නය වීමට ආර්ථික තලය බලපෑම් සහගත වූවත් මෙම තල තුල ඒවායේම වූ පැවැත්මක් හා තර්කනයක් පවතී. වාමාංශය කල යුත්තේ එකී තර්කනය තුල පවතින ප‍්‍රතිවිරෝධතා හඳුනාගෙන ඒවා රැඩිකල්කරනය කිරීම සඳහා මැදිහත්වීම් කිරීමය.

මානව හිමිකම් කොමිසම විසින් පෙන්නුම් කොට තිබෙන ප‍්‍රජාතාන්ත‍්‍රීය විභවය ලිබරල් සීමාව ඉක්මවා යන පරිමානයට පුලුල් කිරීමට ක‍්‍රියාමාර්ග තේරීම මෙකී ආයතන හුදු ධනපති උපක‍්‍රම ලෙස හෙලාදැකීමට වඩා බෙහෙවින් විප්ලවීය වනුයේ ඒ අර්ථයෙනි. සමකාලීන පංති අරගලය රාජ්‍යයෙන් පිටත මෙන්ම රාජ්‍යය තුල ද පවතින්නක් බවත්, රාජ්‍යය තුල තිබෙන ප‍්‍රතිවිරෝධය තුල විප්ලවවාදීන් දේශපාලනය කල යුතු බවත් වාමගාමී චින්තකයෙක් වූ නිකොස් පුලන්සාස් කියන විට ඔහු අදහස් කරන්නේ මෙන්න මේ වර්ගයේ පුලුල් නිර්මානශීලී ප‍්‍රවේශයකි.

6 comments:

  1. මානව හිමිකම් පිළිබඳ ලිබරල් සංකල්පයෙන් ආවරණය කරන්නේ රජය විසින් කරන මානව හිමිකම් උල්ලංඝනයන් පමණි.

    එහෙත් ඇතැම් වර්ජන, උද්ඝෝෂණ ආදිය ද ඉතා පැහැදිලි මානව හිමිකම් උල්ලංඝනයන් ය. උදාහරණයක් ලෙස අද කරන්නට තිබූ හා මේ වන විටත් බැංකු සේවකයන් විසින් කරමින් තිබෙන වැඩ වර්ජනය ගැන සලකා බලමු.

    මෙම වැඩ වර්ජනය සම්බන්ධ තීරණ ගැනීම සඳහා පැවැත්වුණු සාමාජික අදහස් කැඳවීම් තිබේ ද?

    ඒ සම්බන්ධ තීරණ ප්‍ර‍ජාතාන්ත්‍රික යයි පැහැදිලි කරන්නට පුළුවන් ද?

    දේශපාලන හා පෞද්ගලික අරමුණු සහිත වෘත්තීය සමිති නායකයන් අතළොස්සක් එක් වී සමස්ත සමාජය ම අපහසුතාවට පත් කරන තීන්දු ගැනීම ඇත්තෙන් ම මානව හිමිකම් උල්ලංඝනයක් නො වේ ද?

    ReplyDelete
    Replies
    1. ඔයා නම් දැන් මාරයි පැරා අයියා, මෙන්න මගේ සැලියුට් එක. ඔහොම යන් ඔහොම යන්.

      Delete
    2. වැඩවර්ජනය හා උද්ඝෝෂනය කිරීමේ අයිතිය ලෝකය තුල මනාව පිලිගත් මානව හිමිකම් ප්‍රවර්ග. ඔබට මේ උද්ඝෝෂන ගැටලුවක් වී තිබෙන්නේ හා ඒවා මානව හිමිකම් කඩකිරීම් ලෙස පෙනෙන්නේ ඔබ සහය දෙන ආන්ඩුවට ඒවා අපහසුවක් වන නිසා. 2012 විශ්ව විද්‍යාල ආචාර්යවරු දවස් සියයක වැඩ වර්ජනයක් කල අවස්ථාවේ ඔබ අද කියන කථාව ඒ කාලයේ කීවේ හරි වුනත් වැරදි වුනත් ආන්ඩුව රැකගැනීම තම කාර්යය ලෙස ගත් මහින්ද රාජපක්ෂවාදීන්.

      ඔබ ඒ තැනට වැටිය යුතුයි කියා මා සිතන්නේ නැහැ.

      Delete
  2. රාමචන්ද්‍ර අර ළමයින්ට වන්දි දෙන එක ගැන හෝ පොලිස් නිලධාරීන් ගේ වැඩ තහනම් කරපු එක ගැන කවුරුත් ලියන්නේ නැත්තේ ඇයි. ඒවා හොඳ වැඩ නේද ?

    ReplyDelete
    Replies
    1. හොද දේවල්. මම මේ කියන්නෙත් ඒක තමයි. මානව හිමිකම් කොමිසම නිර්දේශ කරලා තිබුනා ගහපු අයට වගේම අන දීපු අයටත් එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා. මේක වැදගත් ප්‍රවේශයක්.

      Delete
  3. අතපය අකුලාගෙන කටට ප්ලාස්ටර් ගහගෙන ඉන්නට සිදුවී තිබුණු මානව හිමිකම් කොමිසමට ආපහු ජීවය ලැබීම් ගැන අපි සතුටු වියයුතුයි.

    ReplyDelete