Friday, November 6, 2015

ගාමිනී වියන්ගොඩගේ අදිසි හස්තය


උසස් ජාතික ගනකාධිකරන ඩිප්ලෝමා සිසුන්ගේ උපාධි සමතාවය පිලිබද ප්‍රශ්නය මත ඇති වූ ශිෂ්‍ය උද්ඝෝෂනයට පසුගිය දා ආන්ඩුව එල්ල කල මෘග පොලිස් ප‍්‍රහාරය මේ වනවිට විශාල සමාජ අප‍්‍රසාදයක් ජනනය කොට තිබේ. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට අනුව මේ උද්ඝෝෂනය ‘දේශපාලන කුපිත කිරීමක’ ප‍්‍රතිඵලයකි. මීට සති කිහිපයකට පෙර හම්බන්තොට බඳගිරිය ගම්වාසීන් පානීය ජල අයිතිය ඉල්ලා කල උද්ඝෝෂනයද මෙලෙසම විසුරුවා හරිනු ලැබූ අතර එම අවස්ථාවේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස කීවේ ඒ පසුපසත් ‘දේශපාලන බලවේගයක්’ තිබූ බවයි.

උද්ඝෝෂන පසුපස තිබෙන දේශපාලන හස්ත ඉව කරන ප්‍රේමදාසලාගේ හා කිරිඇල්ලලාගේ මෙම පෝලිමට අලුතින්ම එකතු වී සිටින චරිතය ප‍්‍රකට සාහිත්‍යවේදී ගාමිනී වියන්ගොඩ මහතාය. බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ඔහු කියා තිබුනේ පොලිස් ප්‍රහාරය තමා හෙලා දකින නමුත් මෙම ශිෂ්‍ය උද්ඝෝෂන පසුපස තිබෙන ‘අදිසි දේශපාලන බලවේගය’ ගැන සැලකිලිමත් විය යුතු බවයි.

අවශ්‍ය නම් මේ ප‍්‍රකාශය පදනම් කොට ගෙන වියන්ගොඩ දඩු කඳේ ගැසිය හැක. එහෙත් වැදගත් වන්නේ එය නොව මේ වර්ගයේ ප‍්‍රකාශයක් කිරීමට ඔහුට සිදුවී තිබෙන්නේ ඇයිද යන්න විචාරාත්මකව පැහැදිලි කරගැනීමයි.

ගාමිනී වියන්ගොඩගේ මේ ප‍්‍රකාශය හුදෙක් වියන්ගොඩගේ ප‍්‍රශ්නයක් ලෙස නොව ඔහු විසින් නියෝජනය කරන එක්තරා දේශපාලන ප‍්‍රවාහයක් මේ වනවිට මුහුන දී සිටින උභතෝකෝටිකයක ප‍්‍රකාශනයක් ලෙස දැකිය යුතුය. වියන්ගොඩ රාජපක්ෂ පාලනයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී භාවිතාවට එරෙහිව නිර්භීතව පෙනී සිටි ප‍්‍රකාශකයින් කිහිප දෙනාගෙන් එක්කෙනෙකි. එම පාලනයේ අධිකාරිවාදී-ජාතිවාදී සැකැස්ම ඔහු තදබල ලෙස විවේචනය කලේය. ජනවාරි 08 වන දා මෛත‍්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමේ ව්‍යාපාරයේ කැපී පෙනෙන භූමිකාවකට ඔහු උර දුන්නේය. ගාමිනී වියන්ගොඩ හා එවැනි තවත් අය මෙම ව්‍යාපාරයට සම්බන්ධ වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස්කමක් රට තුල ඇති කිරීමේ අභිලාෂයෙනි. මාදුලූවාවේ සෝභිත හිමි වටා සංවිධානය වූ ‘සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය’ සමග සම්බන්ධ විවිධ කොටස් ද අයිති වන්නේ මේ කුලකයටය. එනම් ඔවුන් රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධ වූයේ ඔවුන් හුදු එක්සත් ජාතික පාක්ෂිකයින් වූ නිසා නොවේ. ප‍්‍රජාතාන්ත‍්‍රීය වටිනාකම් පිලිබද යම් අවංක ආධ්‍යාෂයක් මතින් පොලඹවනු ලැබය ඔවුන් එම ව්‍යාපාරය හා සම්බන්ධ වූයේ.

ජනවාරි 08 වන දා ජයග‍්‍රහනය කල ව්‍යාපෘතිය ගත් විට එය තුල අන්තර්ගත එක් ප‍්‍රතිවිරෝධයක් දැන් අපට හඳුනාගැනීමට පුලූවන. එනම් ‘එක්සත් ජාතික පාක්ෂිකයන්’ සහ ‘එජාප නොවන රාජපක්ෂ විරෝධීන්’ අතර ප‍්‍රතිවිරෝධයයි. මේ දෙගොල්ලම රාජපක්ෂ විරෝධීන් වූවද ඔවුන් රාජපක්ෂ විරෝධීන් වූ පදනම් එකිනෙකින් වෙනස්ය.

දක්ෂිනාංශික එජාපය තමා විසින් ජනවාරි 08 වන දා පෙනී සිටි වටිනාකම් අමු අමුවේ උල්ලංඝනය කිරීම දැන් පටන් ගෙන තිබේ. විරෝධතාවලට පොලිසිය පහරදීම මහජන උද්ඝෝෂන සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ප‍්‍රතිපත්තිය පිලිබඳ ව්‍යුහාත්මක ප‍්‍රශ්නයකි. මහජන උද්ඝෝෂන ඇති වූ විට ඒවා ‘නීතිය හා සාමය’ පිලිබඳ ප‍්‍රශ්නයක් ලෙස ලඝු කොට , ඒවාට පහර දී , ඒ පසුපස දේශපාලන බලවේග ඇතැයි කීම අද ඊයේ පටන් ගත් දෙයක් නොවේ. රාජපක්ෂ පාලනය මේ තර්කය ඇති තරම් පාවිච්චි කලේය. කටුනායක කම්කරුවන් කල උද්ඝෝෂනය පසුපස තිබෙන්නේ ජේවීපී උසිගැන්වීමක් යැයි රාජපක්ෂ පාලනය එදා ප්‍රකාශ කලේය. රතුපස්වල උද්ඝෝෂනය ද දේශපාලන බලවේගයක ක්‍රියාවකැයි ප්‍රකාශ කෙරින. මුල්ලිවයික්කාල් දිනය සැමරීම සදහා යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සිදුකල අනුස්මරන උත්සවයක් සාහසික ලෙස මර්දනය කොට රජය ප්‍රකාශ කලේ ඒ පසුපස එල්ටීටීඊ සංවිධානය සිටින බවයි. ඒ කාලයේ ශිෂ්‍ය උද්ඝෝෂන පමනක් නොව ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය පසුපස ද ජනතා විමුක්ති‍ පෙරමුන / පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉන්නා බව රජය තරයේ කියා සිටියේය.

'අදිසි හස්තය' පිලිබද මේ තර්කය පාලකයින් විසින් පාවිච්චි කරන්නේ මහජන උද්ඝෝෂන විසින් මතු කරන දේශපාලන ප‍්‍රශ්නය යට ගසා වෙනත් එල්ලයක් වෙත ප‍්‍රශ්නය හැරවීමටය. ඒ තුලින් තමා කරන මර්දනය සාධාරනීකරනය කරගැනීමටය. මෙහිදී උද්ඝෝෂනය විසින් මතු කරන ප්‍රශ්නය යට වී 'අදිසි බලවේගය' සම්බන්ධ සාකච්ඡාව කරලියට පිවිසේ. දේශපාලන ප්‍රශ්නය ආමන්ත්‍රනය කරනවාට වඩා අදිසි බලවේගයට බැට දීම පාලකයින්ගේ පැත්තෙන් ගත් කල පහසු කටයුත්තකි.

ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලකයින් විසින් පාවිච්චි කරන මේ කුප‍්‍රකට තර්කය ගාමිනී වියන්ගොඩ වැනි කෙනෙක්ට ප‍්‍රතිරාවය කිරීමට සිදුවී තිබෙන්නේ ඇයි? මේ මොහොතේ දකුනු ලංකාවේ දේශපාලනයේ පවතින සංකීර්නතාවය ඒ සඳහා බලපා තිබේ. පරාජය ලැබූ රාජපක්ෂ ප‍්‍රමුඛ ජාතිවාදී නඩය නැවත බලය අල්ලා ගැනීම සඳහා මාන බලමින් සිටී. පවතින ආන්ඩුව අප‍්‍රසාදයට පත් වන තරමට රාජපක්ෂ පිල බලවත් වීමට ඉඩ තිබේ. ‘රාජපක්ෂ (ජාතිවාදය)  බලයෙන් ඈත් කොට තැබීමට නම් ආන්ඩුව ආරක්ෂා කල යුතුය’ යන ආස්ථානය වෙත එම නිසා ඇතැම් රාජපක්ෂ විරෝධී-එජාප නොවන ඇතැම් කොටස් තල්ලූ වී ගන්නා බව පෙනෙන්නට තිබේ.

ශිෂ්‍ය උද්ඝෝෂනයට කල පහරදීම නිසා සමාජය තුල ඇති වූ විරෝධය ද සංවිධානය කිරීමේ ව්‍යායාමයක රාජපක්ෂ කදවුර පසුගිය දවස්වල නිරත විය. මේ නිසා රාජපක්ෂ විරෝධී ඇතැමෙක් පහරදීම හෙලා දකින ගමන් ආන්ඩුව ආරක්ෂා කිරීම ද කල යුතු යැයි සිතයි. එය කල හැකි එක් ආකාරයක් වන්නේ පහරදීමේ ‘සැර’ බාල කිරීමයි. මෙම උද්ඝෝෂන අව්‍යාජ ඒවා නොව යම් දේශපාලන කුමන්ත‍්‍රනයක ප‍්‍රතිඵලයක් යැයි කීම එලෙස සැර තනුක කල හැකි එක් ප‍්‍රවේශයකි.

එහෙත් එහෙම කල විට සිදුවන අලකලංචිය නම් ජනවාරි 08 වනදා තමා පෙනී සිටි වටිනාකම්වලට පිටුපා සිටගැනීමේ ඉරනමට තෙමේම ලක්වීමයි. රාජපක්ෂ යුගයේ උද්ඝෝෂනවලට පහර දෙන විට ගාමිනී වියන්ගොඩ වැනි අය නිවැරදි ලෙස මතුකලේ විරෝධය පෑමේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිය පිලිබඳ ප‍්‍රශ්නයයි. ඒ කාලයේ උද්ඝෝෂන පසුපස සිටි ‘බිල්ලන්’ ගැන කථාකලේ රාජපක්ෂ ක්ෂමාලාපකයින්ය. උත්ප්‍රාසාත්මක ලෙස එදා එස්.බී.දිසානායක කියූ දේ අද කියන්නේ ගාමිනී වියන්ගොඩය ! යහපාලන ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හැසිරීම් නිර්දය ලෙස විවේචනය කලහොත් එහි වාසිය රාජපක්ෂට යාමට ඉඩ තිබෙන නිසා රාජපක්ෂ බලවත් වීම වැලැක්වීමට යහපාලන ආන්ඩුව ආරක්ෂා කල යුතු යැයි මේ අය කල්පනා කරනවා විය හැක. එහෙත් උභතෝකෝටිකය නම් යහපාලන ආන්ඩුවත් මහජනයාගේ - විශේෂයෙන් නිර්ප‍්‍රභූ කන්ඩායම්වල - උද්ඝෝෂන සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය රාජපක්ෂගේ ප‍්‍රතිචාරයට වඩා වෙනස් එකක් නොවීමයි!

රාජපක්ෂ විරෝධී-එජාප නොවන කොටස් තේරුම් ගත යුත්තේ රාජපක්ෂට විරුද්ධව ආන්ඩුව අවිවේචනාත්මකව ආරක්ෂා කිරීමට යාමෙන් අවසානයේ බලවත් වන්නේ රාජපක්ෂම බවයි. ආන්ඩුවට එරෙහි බලවත් විපක්ෂයක් නොමැති තත්වයක් තුල ආන්ඩුවේ මෙබඳු ක‍්‍රියාකාරකම්වලට එරෙහි විරෝධය සංවිධානය වන්නේ රාජපක්ෂ කඳවුර වටේය. දක්ෂිනාංශික ප‍්‍රභූවාදී එජාපයෙන් ඉදිරියේදීත් මීට වඩා වෙනස් හැසිරීමක් අපේක්ෂා කල නොහැක. ඊට එරෙහි සමාජ මතය සංවිධානය කිරීම සඳහා ප‍්‍රජාතාන්ත‍්‍රීය හා වාමාංශික බලවේගවලින් සමන්විත පුලූල් විකල්ප පරිමන්ඩලයක් මින් ඔබ්බට ඇවැසිය. එවැනි පරිමන්ඩලයක් ගොඩ නොනැගෙන්නේ නම් යහපාලන ආන්ඩුවට එරෙහි විසම්මුතිය රාජපක්ෂ කදවුර විසින් සාර්ථක ලෙස සංවිධානය කිරීමට නියමිතය.සමාජය ප‍්‍රජාතාන්ත‍්‍රීකරනය කිරීම සඳහා වූ අරගලය මෙතැනින් ඉදිරියට ගෙන යාමට නම් යට කී ආකාරයේ විකල්ප අවකාශයක අවශ්‍යතාව නොවැලැක්විය හැකි ලෙස මතු වී තිබේ. ආන්ඩුව අනවශ්‍ය ලෙස ආරක්ෂා කිරීමට යාමෙන් පරාජය වන්නේ රාජපක්ෂ නොව තමාම පෙනී සිටි වටිනාකම් හා පුරුෂාර්ථයන් බව ගාමිනී වියන්ගොඩ (ලා) වටහා ගැනීම වැදගත් වන්නේය.  

1 comment:

  1. මෙහි දි ගාමිනී වියන්ගොඩ හා රාජපක්ශ රෙජීමය පරාජය කිරිමට මැදිහත් වු වන්ගේ අර්බූදය වනුයේ මෛත්‍රි- රනිල් ආන්ඩුව අනවශ්‍ය ආරාකාරය ට ආරාක්ශා කිරිමට යෑම කියන කෙටිකාලීන ක්‍රියාදාමය තුළ ද ? නැතිනම් පවතින ප්‍රජාත්න්ත්‍ර විරොදි රාජ්‍ය පිලිබද ව විකල්ප යොජනාවක් නැතිව එහි ඵලයක් වූ පාලන තන්ත්‍රයකට මනෝමූලික විරොධයක් තුළ ට තමන් ද කොටු වෙමින්, සමාජය ද එහි ගොදුරක් බවට පත් කිරිමට මැදිහත් වීම නොවෙ ද ? කළ යුත්තේ පවතින සන්කීර්න අර්බූද්යෙන් ගොඩ ඒම සදහා කෙටිකාලීන හා දීරඝකාලීන දැක්මක් ගොඩනාගා ගන්නා අතරම සන්යුක්තව පවතින ප්‍රජාත්න්ත්‍ර විරොධී තත්වයන්ට විරුද්ධව තමා ද මැදිහත් වෙමින් සමාජීය ක්‍රියා කාරිත්වයක් ගොඩ නැගීම නොවේ ද ? ඒ සදහා සාමාජ පන්තීන්, සන්ස්කෘතික හා සමාජිය පිඩිත භාවයන් නියොජනය වන බහු මානීය "තාත්වික සාකාච්ඡාව" (ප්‍රජාතන්ත්‍රවාදය හා අපෝහකය ) තුලින් දැක්මක් ගොඩ නගමින් අරගලය කිරිම නෝවේ ද ? නොනවතින අපෝහක සාකාඡාව සදහා සමාජය පොළබවා ගැනීම නොවේ ද අප ගේ දීර්ඝකාලීන ක්‍රියා වලිය විය යුත්තේ. වියන්ගොඩ ඇතුලු කන්ඩායම කරමින් සිටිනුයේ එක් එක් ශේත්‍රවල ස්වයන් සිද්ධව පැන නැගෙන අරගල තමන් ගේ ගිනුමට බැර කර ගනිමින් දීරඝකාලීන සාකාඡාවක් පැන නැගීමත් ඇනහිටවීම නොවේ ද ? මේ සදහා ඇති හොදම උදාහරනය වනුයේ රාජපක්ශ පාරජය කිරීම පිලිබදව සාකාඡාව ට වාමාන්ශීක කන්ඩායම වෙනත් මානයකින් (මෙහි පැවති හා පවතින සීමවන් වෙනම සාකාඡා කළ යුත්තකි ) මැදිහත් වීම හුදේක් රාජපක්ශ ට උපකාර කිරිමක් දක්වා ලගූ කිරිම. මේය මොහුන් ගේ චින්තනයේ සීමාව නොවේ ද ? මේම චින්තනය ට කළ හැකි එකම දේය නම් තමන්ම කුරුසය ට නැග තන්ටම ඇන ගාසා ගැනීම පමනයි.

    ReplyDelete