Monday, November 2, 2015

කම්කරු නීතිය 'අනම්‍ය' කාටද?


ලංකාවේ වෘත්තීය සමිති කිහිපයක මූලිකත්වයෙන් පසුගිය ඔක්තෝබර් (26) දින කොලඹ එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා කාර්යාලය ඉදිරියේ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කොට තිබුනේය. මෙම උද්ඝෝෂනයේ අරමුන වූයේ යෝජිත කම්කරු නීති ප‍්‍රතිසංස්කරනවලට විරෝධය පල කිරීම සහ එකී විරෝධය ප‍්‍රකාශ කරමින් සංදේශයක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ලංකා නියෝජිතයා වෙත භාර දීමය.

ලංකාවේ කම්කරු නීති බෙහෙවින් ‘අනම්‍යයය’ යන්න කාලාන්තරයක් තිස්සේ එල්ල වී තිබෙන චෝදනාවකි. මේ චෝදනාව ඉදිරිපත් කරන්නේ ප‍්‍රාග්ධන හිමියන් සහ ව්‍යාපාර අයිතිකරුවන්ය. මෙන්න මේ අනම්‍ය කම්කරු නීති නිසා ශ‍්‍රම වෙලඳපොලේ ‘නම්‍යශීලීභාවය’ නැති වී තිබෙන බවට ඔවුහු චෝදනා නගති. විදේශ ආයෝජන ආකර්ෂනය කරගැනීමටත් දේශීය ව්‍යාපාර ප‍්‍රසාරනය කිරීමටත් මේ කම්කරු නීති බාධාවක් තිබේ යන්න ඒ අනුසාරයෙන් නැගී එන තර්කයයි. ලංකාවේ හාම්පුතුන්ගේ සම්මේලනය දීර්ඝ කාලයක් තිස්සේ ආක‍්‍රමනශීලී ලෙස මේ අදහස ප‍්‍රවර්ධනය කරමින් සිටී.

පසුගිය දශක කීපයක ඉතිහාසය සලකා බලන විට අපට පෙනී යන්නේ කම්කරු නීතිවල දැඩිබව ගැන හාම්පුතුන්ගේ පැත්තෙන් එන මේ සංකල්පනය විශාල වශයෙන් භාරගන්නා තැනකට ආන්ඩු ගමන් කර තිබෙන ආකාරයයි. මේ අනුව කම්කරු නීති ප‍්‍රතිසංස්කරන ගැන කථා කරනවිට ආන්ඩු පැත්තෙන් ඉදිරිපත් වන්නේ ද ශ‍්‍රම වෙලදපොල නම්‍යශීලී කිරීමේ අවශ්‍යතාවයයි. 2001 දී බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජය මෙම අදහස දැඩි ලෙස මතු කළ අතර සේවය අත්හිටුවනු ලබන සේවකයෙක් සඳහා ලැබිය යුතු වන්දිය තීරනය කිරීමේ අභිමතය කම්කරු කොමසාරිස්වරයාට ලබාදුන් 1971 සේවකයින්ගේ සේවය අවසන් කිරීමේ පනතට ඉදිරිපත් කල සංශෝධනයක් මගින් වන්දි සඳහා උපරිම සීමාවක් පැනවීම ( වන්දි සූත‍්‍රය ) ආදී ප‍්‍රතිසංස්කරන වෙත එම රජය යොමු වූයේය.

2005 දී බලයට පත් මහින්ද රාජපක්ෂ රජය ද ශ‍්‍රම වෙලඳපොල නම්‍යශීලී කිරීම ගැන මෙම ව්‍යාජෝක්තිය ඉදිරියට ගෙන ගියේය. 2006-2016 දස අවුරුදු සංවර්ධන සැලැස්ම ව්‍යාපාරවල වර්ධනය සඳහා කම්කරු නීති ලිහිල් කිරීමේ අවශ්‍යතාව පැහැදිලිව ප‍්‍රකාශ කොට සිටියේය. කම්කරු දෙපාර්තමේන්තුව හා රජය නීති ප‍්‍රතිසංස්කරනවලදී ඒ අනුව සලකා බලනු ලැබූයේ ප‍්‍රාග්ධනයේ ප‍්‍රසාරනයට බාධාවක් වී තිබෙන කම්කරු නීති ලිහිල් කිරීමේ පැත්තයි. කෙසේ වූවද මෙම ප‍්‍රතිසංස්කරන යෝජනා ‘යෝජනා මට්ටමෙන් ’ එහාට ගෙන ගොස් ප‍්‍රායෝගිකකරනය කරගැනීමට රාජපක්ෂ රජය අසමත් විය. දැන් නව යහපාලන රජය රාජපක්ෂ නතර කල තැනින් බැටන් පොල්ල සියතට ගෙන තිබේ.

ලංකාවේ දැනට පවතින කම්කරු නීති රාමුව 1950-1977 කාලය තුල එවකට පැවැති දේශපාලන බලවේගවල බලතුලනයේ ප‍්‍රතිඵල ලෙස සකස් වුවකි. ලංකාව යනු දකුනු ආසියාවේ බලවත්ම වෘත්තීය සමිති ව්‍යාපාරයක් හා වාමාංශික කම්කරු ව්‍යාපාරයක් තිබූ රටකි. සංවිධිත කම්කරු පංතිය ඒ කාලයේ අභ්‍යාස කල ප‍්‍රබල කේවල් කිරීමේ බලය හේතුකොට ගෙන ප‍්‍රාග්ධනය හා ශ‍්‍රමය අතර තිබෙන බල සම්බන්ධතාවය තුල සැලකිය යුතු සහන හා ආරක්ෂනයන් ප‍්‍රමානයක් දිනාගැනිමට කම්කරු පංතිය සමත්විය. උපරිම වැඩ දිනය, සේවයෙන් ඉවත් කිරීමට ව්‍යාපාර හිමිකරුට තිබෙන අභිමතය නියාමනය කිරීම, අවම වැටුප් නියම කල හැකි පඩි පාලක සභා, රාත‍්‍රී කාලයේ වැඩ ගැනීම පිලිබඳ නීති, රැකියා සුරක්ෂිතතාවය ආදී කම්කරුවන්ගේ පැත්තෙන් ප‍්‍රතිිලාභසහගත ජයග‍්‍රහන ගනනාවක් ඒ අනුව මෙම නීති පද්ධතිය තුල පිලිගැනීමට ලක්වී තිබේ.

ප‍්‍රාග්ධන හිමියන් සහ ඔවුන්ගේ න්‍යායික කේවට්ටයන් ලංකාවේ කම්කරු නීතිය ‘දැඩියි’ කියා කියද්දී ඔවුන්ට එය දැඩි එකක් ලෙස පෙනෙන්නේ ප‍්‍රාග්ධනයේ දෘෂ්ටිකෝනයෙන් ප‍්‍රශ්නය දිහා බලන නිසාය. උදාහරනයක් ලෙස 1971 සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ පනත යටතේ විනයානුකූල හේතුවක් මත නොවේ නම් කැමති විදිහකට සේවකයින් සේවයෙන් පහ කිරීමේ හැකියාව ව්‍යාපාර හිමිකරුවන්ට නැත. එසේ කරන්නේ නම් ඒ සඳහා කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතියක් අවශ්‍ය කෙරේ. මෙය කම්කරුවාගේ පැත්තෙන් ආරක්ෂිත ප‍්‍රතිපාදනයකි. එහෙත් ප‍්‍රාග්ධන හිමියාගේ පැත්තෙන් ගත්විට ඔහුගේ නිදහස සහ කම්කරුවා විෂයෙහි ඔහුට තිබෙන ආධිපත්‍යය සීමා කරන්නකි. මෙම නීතිය ‘දැඩි’ වන්නේ ප‍්‍රාග්ධන හිමියාටය. ශ‍්‍රමිකයාට එම නීතිය ඔහුගේ ‘සේවා සුරක්ෂිතතාවය තහවුරු කිරීමකි’.

වෙනත් වචනවලින් කියනවා නම් ලංකාව නව ලිබරල්වාදයේ යුගයට ඇතුලූ වී තිබුනත් ලංකාවේ ශ‍්‍රම වෙලදපොල නියාමනය කරන නීතිය මූලික වශයෙන් අයත් වන්නේ කම්කරුවාගේ කේවල් කිරීමේ බලය ප‍්‍රබල තැනෙක තිබූ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සුබසාධන යුගයටය. මෙන්න මේ සුබසාධන රාමුව පහර දී සුනු විසුනු කර දැමීම ප‍්‍රාග්ධනයේ වැඩිදුර ප‍්‍රසාරනය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබේ. නව යහපාලන ආන්ඩුව විසින් පෙරට ගනිමින් සිටින්නේ එම සුබසාධන රාමුව කඩා බිඳ දමා ප‍්‍රාග්ධනය සඳහා හෝල්සේල් මාර්ගය විවෘත කරන එම ආක‍්‍රමනශීලී ව්‍යාපෘතියයි.

ලංකාවේ කම්කරු ව්‍යාපාරය අද වනවිට සිටින්නේ අතිශය දුර්වල අඩියකය. ශ‍්‍රමික පංතියේ ජනයා අද වැඩි වශයෙන් ගොනු වී සිටින්නේ අසංවිධිත ආර්ථිකය තුලය. මේ කම්කරුවන්ට සංවිධිත ක්ෂේත‍්‍රයේ ශ‍්‍රමිකයන්ට තිබෙන අවම නීතිමය රැුකවරනය හෝ නැත. සංවිධිත ක්ෂේත‍්‍රයේ කම්කරුවන්ගේ සංවිධාන මට්ටම ද බෙහෙවින් දුර්වලය. ‘80 ජූලි වර්ජනය පරාජය වූවාට පසු නැවත ඒ මට්ටමෙන් හිස ඔසවන්නට වෘත්තීය සමිති ව්‍යාපාරය සමත් වී නැත. කම්කරු හිතවාදී අවම නීතිවලට එරෙහි මහා පරිමාන ප‍්‍රහාරයකට ප‍්‍රාග්ධනය සැරසෙන්නේ දේශපාලන බලතුලනය මෙලෙස වැඩ කරන ජනකොටස්වලට අවාසිදායක විදිහට වෙනස් වී තිබෙන මොහොතක, එම වෙනස් වීමේ වාසිය ද අරගනිමින්ය.

තර්ජනය බලවත් වත්ම සංවිධානය ඊට ප‍්‍රතිචාරීව නොසිතූ විරූ ලෙස බලවත් වීම ඇතැම් විට සිදුවිය හැක. 2011 දී විශ‍්‍රාම වැටුප් පනත ගෙන ආ වෙලාවේ විධිමත්ව සංවිධානය වී නොසිටි නිදහස් වෙලද කලාපයේ ශ‍්‍රමිකයන් සාංසිද්ධිකව සංවිධානාත්මක ලෙස වීදි බැසීම ඒ සම්බන්ධ කදිම උදාහරනයකි. ඒ අනුව ගත්විට පසුගිය සඳුදා උද්ඝෝෂනයට අති විශාල කම්කරුවන් පිරිසක් සහභාගී නොවූ බව සැබැවි. එහෙත් නීති ප‍්‍රතිසංස්කරන ගෙන ඒමටත් පෙර ඒ ගැන සංවේදී පුරෝගාමී කොටස් ශ‍්‍රමිකයින් අතර සිටින බවට මෙම උද්ඝෝෂනය විසින් ලබාදෙන සංඥාව ගුනාත්මකව බෙහෙවින් ප‍්‍රබල එකකි.

No comments:

Post a Comment