Friday, October 9, 2015

කොටදෙනියාවේ කොන්ඩයා අපේ කාලයේ වීරයෙකි

දුනේෂ් ප්‍රියශාන්ත 
සේයා නම් වූ කොටදෙනියාවේ කුඩා දැරිය දූෂනය කොට ඝාතනය කලේ ‘කොන්ඩයා’ නොව ඔහුගේ සහෝදරයා යැයි දැන් කියනු ලැබේ. මීට සතියකට පෙර පොලිසිය හා මාධ්‍යවලට අනුව එම ඝාතනය කලේ කොන්ඩයාය. කොන්ඩයා එම ඝාතනය කල ආකාරය පියවරෙන් පියවර විස්තර කරන තොරතුරු පොලිසිය විසින් මාධ්‍ය වෙත ලබා දී තිබූ අතර මාධ්‍ය ද පොල් ගෙඩි අකුරෙන් එය එලෙසම වාර්තා කලේය. ඊටත් සතියකට පෙර අදාල ඝාතනය සිදු කරනු ලැබුවා යැයි කීවේ 'නිල් චිත‍්‍රපටවලින් තම පුද්ගලික පරිගනකය පුරවාගත් පාසල් ශිෂ්‍යයාය'. මෙය ද පොලිසිය විසින් දුන් තොරතුරු මත මාධ්‍ය විසින් ප්‍රබන්ධගත කරනු ලැබූ කල්පිතයකි. දැන් කුඩා දැරියගේ පියාගේ ඩීඑන්ඒ පරීක්ෂනයක් රහස් පොලිසිය විසින් ඉල්ලා තිබේ.

සතියෙන් සතිය ඒ අනුව ‘ඝාතකයෝ’ මතු වෙති. එලෙස මතුවන ඝාතකයින් ගැන මාධ්‍යවේදියෝ සිය පත්තරවල පිටු ගනන් පුරවති.

දැන් මේ විගඩම පසුපස තිබෙන, කිසිවෙක් කථා නොකරන සැබෑ ඛේදවාචකය කුමක්ද? සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවාට අත්අඩංගුවේ දී පොලීසිය විසින් දරුනු වධ හිංසා පැමිනවූ බව නිදහස් වූ ඉක්බිති එම සිසුවා ප‍්‍රකාශයක් කලේය. ඔහුත් සමග සිරභාරයට පත්වූ එක් දරු පියා ද එයම ප‍්‍රකාශ කලේය. ඔහුට අනුව පොලිසිය ඔහුව බාල්කයක එල්ලා වරද පිලිගන්නා ලෙස බලකරමින් ඔහුට පහර දී තිබේ. පාසල් ශිෂ්‍යයාව නිරුවත් කොට ඔහුගේ ඡායාරූප ද ගෙන තිබේ. ඔහුගේ බාල විය නොතකා ඔහුටත් දරුනු ලෙස පහර දී වධ හිංසා කොට තිබේ. ‘කොන්ඩයා’ නමින් හඳුන්වන පුද්ගලයාගේ ඊනියා පාපොච්චාරනය ද පොලිසිය ලබාගත් ආකාරය ගැන දැන් සැකයක් තිබිය නොහැක. පොලිසිය විසින් වරද පිලිගන්නා තුරු ඔහුට ද බරපතල ලෙස වධහිංසා පමුනුවා ඇති බව කීමට අමුතු ඥානයක් අවශ්‍ය නොවේ.

ප‍්‍රශ්නය මෙයයි. අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්ගෙන් ‘තොරතුරු දැනගැනීමට’ යැයි කියා ඔහුට වධහිංසා පැමිනවීමට පොලිසියට පුලූවන්කම තිබේද? තල දෙකක දී මෙය සම්පූර්න වරදක් වන්නේය. එක් අතෙකින් මෙලෙස වධහිංසා පැමිනවීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. ලංකාවේ ආන්ඩුවත් පාර්ශවයක් වන වධහිංසා වැලැක්වීමේ ජාත්‍යන්තර සම්මුතිය මෙලෙස වධහිංසා කිරීම් මානව හිමිකම් කඩකිරීමක් ලෙස පිලිගනී. ලංකාවේ ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුව ද වධහිංසා සහ කෲර අමානුෂික හා අවමන්සහගත ලෙස කෙරෙන සැලකීම් මානව හිමිකම් කඩකිරීමකි. අනෙක් අතට ලංකාවේ නීතිය අනුව තොරතුරු දැනගැනීමේ පරමාර්ථයෙන් සැකකරුවෙක්ට වධහිංසා පැමිනවීම ‘අපරාධ වරදකි’. 1994 අංක 6 දරන පනත අනුව එලෙස වධහිංසා පැමිනවීම සාපරාධී වරදක් ලෙස නම් කොට තිබේ.

එහෙත්, මේ සියලූ සම්මතයන් නොතකා, ලංකාවේ පොලිසිය සැකකරුවන් වධබන්ධනයට ලක්කිරීම නොකඩවා සිදුකරයි. කොටකදෙනියාවේ සිද්ධිය හා තවත් එවැනි සිද්ධි කිහිපයක් මගින් මෙලෙස සැකකරුවන් වධබන්ධනයට ලක්කිරීම ‘ප‍්‍රවෘත්ති’ බවට පත්වූ බව සැබැවි. යථාර්ථය නම්, ප‍්‍රවෘත්ති බවට පත්වූවත් නැතත්, අත්අඩංගුවේ පසුවන පුද්ගලයින්ට වධදීම ආයතනගත ව්‍යවහාරයක් වශයෙන් ලංකාවේ පොලිසිය භාවිතා කරන බවයි. එනම් වධදීම ‘ව්‍යතිරේඛයක්’ නොව ලංකාවේ පොලිසියේ ව්‍යවහාරය තුල තිබෙන ‘අනිවාර්යය භාවිතාවකි’. එය පොලිසිය නම් වූ ආයතනය සමග ඓන්ද්‍රීයව සම්බන්ධ වී තිබෙන ව්‍යුහාත්මක විධික‍්‍රමයකි. වෙනත් වචනවලින් කියනවා නම් අපරාධ සැකකරුවන්ට වධ දීම පොලිසිය විසින් ‘සාමාන්‍යයෙන්’ සිදුකරන දෙයයි. එසේ සිදු නොකරන්නේ නම් ඒ ව්‍යතිරේඛයකි.

මෙබඳු වධබන්ධන පැමිනවීමේ සිදුවීම් දුර්ලභ වශයෙන් ප‍්‍රසිද්ධ වූ පසු පොලිසිය ගන්නා ක‍්‍රියාමාර්ගයක් තිබේ. එනම් ‘අභ්‍යන්තර පරීක්ෂනයක් පවත්වා’ වැරදිකරුවන් සිටී නම් දඩුවම් දෙන බව ප‍්‍රකාශ කිරීමයි. 17 හැවිරිදි පාසල් සිසුවාට වධ දුන් බවට චෝදනා එල්ල වූ කල්හි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක තෙමේ කියා සිටියේ පොලිසිය අභ්‍යන්තර පරීක්ෂනයක් කොට, වධදීමක් සිදුවී තබේ යැයි හෙලිවේ නම් අදාල පොලිස් නිලධාරීන්ට දඩුවම් දෙන බවයි.

පොලිසියේ මේ නිල ප‍්‍රකාශය එම ආයතනයේ තක්කඩිකම සහ නීචත්වය පිලිබද සම්භාව්‍ය නිදර්ශනයකි. 2003 එක්සත් ජනපදය විසින් ඉරාකය ආක‍්‍රමනය කොට, ඊනියා ‘ත‍්‍රස්තවාදී‘ සැකකරුවන් රඳවා ගැනීම සඳහා විවිධ වධ කඳවුරු ඉරාකය තුලත් ඉන් පිටතත් ඉදි කරනු ලැබීය. කියුබාවේ ග්වන්තනමෝ බේ වධ කඳවුර සහ ඉරාකයේ අබු ග‍්‍රයිබ් වධකඳවුර මේ සම්බන්ධ කුප‍්‍රකට උදාහරනයෝය. මේ වධ කඳවුරු තුල රැදවියන්ට එරෙහිව ලිංගික හිංසාද ඇතුලත් ඉතාම දරුනු වධහිංසා පමුනුවන ලදී. එක්සත් ජනපදයේ මෙම භාවිතාව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා ක‍්‍රියාකාරීන් විසින් හෙලිදරවු කරනු ලැබූ විට ඒ සම්බන්ධයෙන් ඇමරිකානු රජයේ නිල ප‍්‍රතිචාරය වූයේ මේවා එක් එක් නිලධාරීන් විසින් අනුගමනය කල හුදෙකලා ප‍්‍රතිපත්ති මිස ඇමරිකානු රජයේ නිල ප‍්‍රතිපත්තිය නොවන බවයි. මේ බව හුවා දැක්වීම සඳහා ඇතැම් පහල නිලධාරීන්ට එරෙහි විනය ක‍්‍රියාමාර්ග ද ඇමරිකානු රජය විසින් ගනු ලැබීය.

එහෙත් පසුව හෙලිවූ තොරතුරු මගින් සනාථ වූයේ මෙකී වධහිංසක ක‍්‍රමවේද යොදාගැනීමට අන දුන්නේ ඇමරිකානු ආරක්ෂක ලේකම් ඩොනල්ඞ් රම්ස්ෆෙල්ඞ් බවයි. එනම් වධහිංසක ක‍්‍රියා වූ කලී තනි තනි ඇමරිකානු සොල්දාදුවන්ගේ හුදෙකලා සිතුවිලි නිසා ඇතිවූ අහඹු සිදුවීම් නොව නොව යුද්ධයේ දී ඇමරිකාව අනුගමනය කල මිලිටරි ප‍්‍රතිපත්තියේ අවියෝජනීය අංගයකි.

ලංකාවේ පොලිස් මෘගත්වය ගැන කීමට තිබෙන්නේ ද එයයි. 17 හැවිරිදි පාසල් සිසුවා හෝ කොන්ඩයා යනු පොලිස් වධහිංසාවට ලක්වූ එකම දෙදෙනා නොවෙත්. සැකකරුවන්ට වධදීම පොලිසිය ස්වකීය දෛනික චර්යාවේ කොටසක් ලෙස පවත්වාගෙන යනු ලබන භාවිතාවකි. මෙලෙස වධයට භාජනය කරනුයේ සමාජයේ හඩක් නැති නිර්ප‍්‍රභූ මිනිසුන්වය. ඒ අයට වධදීමට එරෙහි වීමට හෝ වධදීමට එරෙහිව නඩු කීමට ශක්තියක් නැත. මෙබඳු නිර්ප‍්‍රභූ මිනිසුන් දහස් ගනනක් බාල්කවල එල්ලා පහර කෑම, ගුද මාර්ගයට මිරිස් කුඩු ඇතුලූ කිරීම ආදී තිරශ්චීන වධහිංසාවල ගොදුරු බවට නිතිපතා පත්වෙති.

ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලයේ කොටසක් නම් මෙම පොලිස් මෘගත්වය දන ගැස්සවීමයි. පොලිසිය මහජනයාට වගකියන ආයතන විශේෂයක් බවට පත්කිරීමයි. පොලිසියේ දස වධයට ලක්ව නොකල වරදකට ‘පාපොච්චාරනය’ කල ‘කොන්ඩයා’ නම් වූ මන්ද මානසික තත්වයකින් පෙලෙනවා යැයි කියන යෞවනයාගේ ඉරනම හෘද සාක්ෂියක් තිබෙන සෑම හදවතක්ම ස්පර්ශ කිරීමෙහිලා සමර්ථ විය යුතු බරපතල ඛේදවාචකයකි. දුනේශ් ප්‍රියශාන්ත හෙවත් කොන්ඩයාගේ දඩබ්බර බැල්ම අයුක්තිය ඉදිරියේ නිෂ්ක‍්‍රීයව සිටින සමකාලීන ලාංකීය පුරවැසි සමාජයේ ගොලූවතට එල්ල කෙරෙන බරපතල අභියෝගයකි.

10 comments:

  1. කොන්ඩයාගේ පෙර වැරදි රැසක් තිබේ. ඒ කියන්නේ ඒ වැරදිත් එක්කම මූ වීරයෙක්. එහෙම නේද? මේ බ්ලොග් එක දෙනවා ඕයි කොන්ඩයාට.

    ReplyDelete
    Replies
    1. Here's another one hikis...

      Delete
    2. ඔය කියන තරම් පෙර වැරදි තියෙනව නම් කෝමද ඒ මනුෂ්‍ය යා එලියේ ඉන්නෙ..මිනිහෙක්ගේ පෙනුම සවුත්තු උනු පලියට කතාන්දර ගොතල චරිත ඝාතනය කරන එක ඉතා ප්‍රාථමික දෙයක්..

      Delete
    3. @AnonymousOctober 9, 2015 at 5:13 AM,

      ඔයා නේද කොන්ඩගේ ජුන්ඩා ෆොටෝ ගත්තු පොලිසියේ බුවා. ඔයාල කොණ්ඩයට නෙළුවේ පෙර වැරදි වලටද ?

      Delete
  2. පොලීසී වල අපරාධ විමර්ශණ ඒකක වල ඉන්නේ අට පාස් සාමාන්‍ය පොරවල්....ඉගෙනීම පැත්තක තිබ්බත් අපරාධ එලි කර ගැනීමට අවශ්‍ය තාක්ශණික දැනුම මේ අයට ඇත්තේ නෑ...ඔවුන් දන්නේ සැකකරුට මලපහ යනතෙක් නෙලීම පමනි....

    ReplyDelete
    Replies
    1. මමත් මෙයට එකඟයි. නෙලීම හැර වෙනත් දෙයක් උගන්වා නැති නිසා මෙය සිදුවනවා කියායි මමත් හිතන්නේ. ඔවුන්ට වෙනත් තාක්ෂණ විධි කියා දෙනවා නම් වටිනවා. මොකද මිනිස්සු පොලිසිය දෙස බලාසිටින නිසා විමර්ශනයට අදාළ පොලිස් නිලධාරීන් ඉන්නේ යම් පීඩනයක් යටතේ. ඒ වෙලාවට ඉක්මනින් ප්‍රතිපලයක් ගන්න උත්සහ කරන එක වරදක් නෙවෙයි, එයට පාවිච්චි කරන ක්‍රමවේදයයි වරද.

      Delete
  3. පොලිසීයේ වද හින්සාවන්ට සහ සියලූම වර්ගයේ මානව හිමිකම් කඩකිරීම් වලට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිලිභඳව මිනිසුන් දැනුවත් කිරීමේ සහ ඒ සදහා මෙහෙයවීමේ වැඩපිලිවෙලක් අත්‍යාවශ්‍යයි.

    ReplyDelete
  4. පොලීසි තුල ලිංගික හිංසාවන් සිදුවන බව නිරුවත් කර ඡායාරූප ගත් සිදුවීමෙන් පේනවා. සිසුවා මෙහෙමවත් කතා කරනව. කොණ්ඩය මානසික රෝගිය නිසා බයවෙලා කට අරින්නෙ නෑ. සමහරවිට භීතිය හා අමුතු අත්දැකීම් නිසා තාවකාලික ගොළුවීමක් වෙලාද දන්නෙ නෑ.
    පොලීසියෙන් කරන පරීක්ෂන නම් බොරුව.ඒක හොරාගෙ අම්මගෙ පරීක්ෂන.

    ආබාධිතයට පහර දුන්නොත් දක්ෂ පොලිස්කාරයොය කියන්නෙ.පොලීසිය පීඩාකාරී ආයතනයක් ලෙස පැවතීම නතර කළ හැක්කෙ වැරදි කරන පොලිස්කාරයන්ට දඩුවම් දීමෙන් පමනයි

    ReplyDelete
  5. කොන්ඩයවත්..සිසුවා වත් අපේ රටේ ගෞරවනීය පුරවැසියන් විදියට සලකා කටයුතු කරන්න හැකියාවක් බොහෝ දෙනාට නෑ..බොහෝදෙනා ආසය් කෝම හරි වැරදි කාරයා හිතලා හරි සැනසෙන්න...තමුන්ගේ ලග නෑයෙක්..යාලුවෙක් ..දරුවෙක් නොකල වරදකට පොලිසිය උඩ එල්ලලා වද දෙනකොට තමා ගොඩක් අයට මානව හිමිකම් ඕනි වෙන්නෙ...තමන්ගෙ එකාට පහර දෙන තෙක් කී දෙනෙකුගේ ඇට තැලුවත් අපේ රටේ අති බහුතරයකට කිසිම ගානක් නෑ..

    ReplyDelete
  6. ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලයේ කොටසක් නම් මෙම පොලිස් මෘගත්වය දන ගැස්සවීමයි. පොලිසිය මහජනයාට වගකියන ආයතන විශේෂයක් බවට පත්කිරීමයි.

    ReplyDelete