Saturday, October 24, 2015

වික්‍රමබාහු සහ ලිංගික ශ්‍රමිකයෝ


ලිංගික ශ‍්‍රමය අපරාධහරනය කරන ලෙස ඉල්ලා මේ වනවිට සුලූවෙන් නමුත් පටන් ගෙන තිබෙන ව්‍යාපාරය බෙහෙවින් සාධනීය එලැඹුමකි. 'ලිංගික ශ‍්‍රමිකයින්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කේන්ද්‍රය' නමැති සංවිධානය පසුගිය දිනෙක මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම ඉල්ලීම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත්කලේය. මෙම මාධ්‍ය හමුවට ලිංගික ශ‍්‍රමික කාන්තාවන් කිහිප දෙනෙක් සහභාගී වී සිටි අතර තම වෘත්තීය ජීවිතය තුල මුහුන දෙන්නට සිදුවන ගැහැට පිලිබඳ ප‍්‍රබල විස්තරයක් ඔවුහු ඉදිරිපත් කලහ. මෙම අවස්ථාවට නීතිඥවරුන් කිහිප දෙනෙක් සමග නවසමසමාජ පක්ෂයේ නායක වික‍්‍රමබාහු කරුනාරත්න ද සහභාගී විය.

ලිංගික ශ‍්‍රමය පිලිබඳ විවාදය විවිධ මානයන්ගෙන් සමන්විත වූවකි. ලංකාව තුල ගනිකා නිවාස පවත්වාගෙන යාම නීතියෙන් තහනම් වන අතර ලිංගික ශ‍්‍රමිකයන් ගැන මහා සමාජය තුල තිබෙන්නේ බැහැර කිරීම්වාදී ආකල්පයකි. මෙම කුහක බැහැර කිරීම්වාදී ආකල්පය කාන්තාව ගැන තිබෙන පුරුෂොත්තමවාදී නිර්වචනය තුලින් ගලාගෙන එන්නකි. ‘එක් පුරුෂයෙක් පමනක් පතන කීකරු කාන්තාව’ ( = ගෙදර බුදුන් අම්මා ) පිලිබඳ සංකල්පනයේ ප‍්‍රතිවාදය ‘සල්ලි දෙනවා නම්  ඕනෑම පිරිමියෙක්ට රෙද්ද උස්සන අශ්ලීල ගැහැනිය’ පිලිබද සංකල්පනයයි. මතුපිටින් ප‍්‍රතිවිරුද්ධ යැයි පෙනුනත් මේ සංකල්පනා දෙකම පැන නගින්නේ එකම පුරුෂෝත්තමවාදී මූලයකිනි. එනම් මේ සංකල්පනයන් දෙකම ගැහැනිය මේ ආකාර විය යුතුයි යනුවෙන් කෙරුනු පුරුෂවාදී ආකෘතිගත කිරීම්ය. ඉහත පලමු ආකෘතියට ආශා කරන ඒ වෙනුවෙන් සමාජය ඉදිරියේ පෙනී සිටින සමකාලීන බොහෝ ලාංකීය පිරිමි දෙවැනි ආකෘතියට ද රහසේ ආශා කරති.

ලිංගික ශ‍්‍රමයේ දී සිදුවන්නේ ලිංගිකත්වය වෙලඳ භාන්ඩකරනය වීමකි. එනම් එය හුවමාරු භාන්ඩයක ස්වරූපය ගැනීමකි. කම්කරුවාගේ ශ‍්‍රමය ධනවාදය තුල දී යටත් වන තර්කනයට මෙහිදී ලිංගික ශ‍්‍රමය ද යටත් වේ. ආර්ථික හා දාර්ශනික අත්පිටපත් (1844) හිදී මාක්ස් සටහන් කල පරිදි ‘‘ගනිකා වෘත්තිය වූ කලී කම්කරුවා විෂයෙහි සිදුවන විශ්වීය සූරාකෑම් එක්තරා නිශ්චිත ප‍්‍රකාශනයක් පමනි’’. පුද්ගලයෙක්ගේ ස්වකීයත්වය සමග තදින් බැඳී තිබෙන ශ‍්‍රමය වැටුප් ශ‍්‍රම සම්බන්ධයකට ඇතුලූ වූ කම්කරුවෙක් විෂයෙහි ඔහුට අහිමි වී ගොස් ඔහු පරාරෝපනය වන්නේ යම් සේද ගැහැනියකගේ ස්වකීයත්වය සමග අත්‍යන්තයෙන් බැඳී තිබෙන ලිංගිකත්වය ලිංගික ශ‍්‍රම සම්බන්ධයක දී ඇයට අහිමි වී යයි. එනම් පරාරෝපිත තත්වයකට ඇය ගොදුරු වේ. වැටුප් ශ‍්‍රම සම්බන්ධයක් තුල කම්කරුවා සූරාකෑමට ලක් වේ. ලිංගික ශ‍්‍රමිකයා සිය සේවය සපයන්නේ අතරමැදි ප‍්‍රාග්ධන හිමියෙක් හරහා නම් ( ගනිකා නිවාස ආදිය ) ඇය ද එහිදී ආර්ථිකමය වශයෙන් සූරාකෑමට ගොදුරු වේ.

ගනිකා වෘත්තිය තහනම් කොට තිබීම නිසා ලිංගික ශ‍්‍රමිකයන්ගේ ජීවන කොන්දේසි සම්බන්ධයෙන් පැන නැගී තිබෙන්නේ ඉතාම නරක තත්වයකි. වෙනත් ශ‍්‍රමිකයෙක්ට නීතිය ඉදිරියේ තිබෙන අවම රැකවරනය ලිංගික ශ‍්‍රමිකයින්ට නොමැත. මේ නිසා අයිතිවාසිකම් විරහිත විෂයක් බවට ලිංගික ශ‍්‍රමිකයන් පත් කරනු ලැබ තිබේ. මෙය නීති විරෝධී වෘත්තියක් නිසා තමන්ගේ සේවා තත්වයන් හෝ සේවා කොන්දේසි සම්බන්ධයෙන් කේවල් කිරීමේ හැකියාවක් ලිංගික ශ‍්‍රමිකයාට නැත. මේ නිසා වෘත්තිය තුල දී මුහුන පාන්නට සිදුවන බලහත්කාරකම්, ප‍්‍රචන්ඩ ක‍්‍රියා, වංචා කිරීම්, මුදල් නොගෙවීම්, සෞඛ්‍ය ආරක්ෂාව කඩවීම් ආදිය සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රතිකර්මයකට ලිංගික ශ‍්‍රමිකයින්ට ප‍්‍රවේශයක් නොමැත.

ලිංගික ශ‍්‍රමිකයන් සංවිධානය වීම වැදගත් වන්නේ ඒ නිසාය. ලිංගික ශ‍්‍රමිකයන් දේශපාලනමය වශයෙන් සංවිධානය කල යුතුද යන ප‍්‍රශ්නය ගැන ලෝක පරිමානව වාමාංශික කොටස් අතර තියුනු විවාදයක් පවතී. ගනිකා වෘත්තීය කාන්තාවන්ට එරෙහි ප‍්‍රචන්ඩත්වයේ ආකාරයක් ලෙස දකින ඇතැම් වාමාංශික හා ස්ත‍්‍රීවාදී කොටස් ලිංගික ශ‍්‍රමිකයන් දකින්නේ ‘සංවිධානය කල යුතු පිරිසක්’ ලෙස නොව ‘මුදවා ගත යුතු’ වින්දිතයන් පිරිසක් ලෙසය. ප‍්‍රකට ස්ත‍්‍රීවාදිනියක වූ කැතරින් මැක්කිනොන් ලිංගික ශ‍්‍රමිකයන් විෂයෙහි ‘ගනිකාව’ නමැති වචනය යෙදීම ප‍්‍රතික්ෂේප කල අතර ඇය පාවිච්චි කලේ ‘ගනිකකාරනයට ලක්වූ පුද්ගලයා’ ( Prostituted Person) නම් යෙදුමයි. එනම් පීඩාකාරී සමාජ කොන්දේසි විසින් කාන්තාවක ගනිකාවක් බවට පත්කරන බවයි.

ලිංගික ශ‍්‍රමයේ අන්තර්ගත එම මානය පිලිගත යුත්තක් වූවත් එය ලිංගික ශ‍්‍රමිකයන් සංවිධානය කිරීම සමග පටලවා ගත යුතු නොවේ. නිදසුනක් ලෙස කම්කරුවන් වැඩි වැටුප්, නිවාඩු,අවම වැටුප් ආදී ස්වකීය සේවා කොන්දේසි වෙනුවෙන් අරගල කිරීම සම්බන්ධයෙන් අපට කිව හැක්කේ කුමක්ද? වැටුප් ක‍්‍රමය ( ශ‍්‍රම ශක්තිය හුවමාරු භාණ්ඩයක් වීම) සමස්තයක් ලෙස අප නොපිලිගන්නා නිසා ඒ වැටුප් ක‍්‍රමයේ රාමුව තුල සිදුවන සේවා කොන්දේසි සම්බන්ධ අරගලවලට අපට සහයෝගය දැක්විය නොහැකි යැයි කිව හැකිද? වැටුප් ක‍්‍රමය අතික‍්‍රමනය කිරීමේ දිගුකාලීන ඉදිරි දර්ශනය වැටුප් ක‍්‍රමයේ රාමුව තුල ඇතිවෙන දෛනික අරගලවලින් වියුක්ත වූවක් නොව ඒ හා සම්බන්ධ වී තිබෙන්නකි.

ලිංගික ශ‍්‍රමයේ තිබෙන පරාරෝපිත, පීඩාකාරී ස්වභාවය පිලිගන්නා ගමන්, එයට තුඩු දී තිබෙන සමාජ තත්වයන් ගැන විවේචනාත්මක වන ගමන් ස්වකීය ජීවන තත්වයන් වෙනුවෙන් ලිංගික ශ‍්‍රමිකයන් කරන අරගලය අප සාදරයෙන් පිලිගත යුතුව තිබේ. ලිංගික ශ‍්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ව්‍යාපාර සමකාලීන ලෝකයේ පුලූල්ව පැතිරෙමින් පවතී. උදාහරනයක් ලෙස බ‍්‍රිතාන්‍යය මූලික කරගෙන ක‍්‍රියාත්මක වන ලිංගික ශ‍්‍රමිකයින්ගේ ජාත්‍යන්තර සංගමය නම් වෘත්තීය සමිතිය මේ වනවිට බ‍්‍රිතාන්‍යයේ ප‍්‍රධාන වෘත්තීය සමිති සංවිධානයක ( GMB - Britain's General Union ) සාමාජිකත්වය දරයි. ලිංගික ශ‍්‍රමිකයන්ට ස්වයං ආරක්ෂක විධික‍්‍රම ඉගැන්වීම, නීති උපදෙස් ලබාදීම, වෘත්තීය හැර යාමට කැමති අයට උපදේශන ලබාදීම ආදී ක‍්‍රියාකාරකම් එම සංගමය විසින් සිදුකරන අතර ලිංගික ශ‍්‍රමය අපරාධහරනය කිරීම සහ වෙනත් අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් සටන් වැද සිටී. මේ එක් උදාහරනයක් පමනි.

මෙබඳු පසුබිමක් තුල ලංකාවේ ලිංගික ශ‍්‍රමිකයන්ගේ සංවිධාන එලැඹුම සමකාලීන ලාංකීය සමාජයේ වැදගත් ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලයක බිජුවට දරා සිටී. ඔවුන්ගේ මාධ්‍ය හමුවට වික‍්‍රමබාහු කරුනාරත්න වාඩි වීම සමාජයේ සෙසු ඉදිරිගාමී  හා වාමගාමී කොටස් ගතයුතු මග සංඥා කරන පුරෝගාමී ක‍්‍රියාවකි.




9 comments:

  1. ඔය වික්‍රමබාහු කීයක්හරි හම්බකරගන්න පටන්ගත්ත වැඩක්. එයා ඔයවගේ ස්වයං රැකියාවලින් තමයි ජීවත් වෙන්නේ. ප්‍රභාකරන් මැරුනේ තැත්නම් මිනිහට ඊලාම් බිස්නස් එකක් කරගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. වික්‍රමබාහුගෙ කතාව පොඩ්ඩක් අහපන්. ඩොලර් ඕනනම් බාහුට ඇති සුදුසුකම් අනුව ඇමරිකාවේ හෝ යුරෝපයේ ඉංජිනේරු ක්ෂේස්ත්‍රයේ ඉහළ රැකියාවකට යන්න තිබුණා.

      Delete
    2. Bahu was a star in Faculty of Engineering, University of Peradeniya, he is NOT a cheap politician like many others..

      Delete
    3. රස්සාවක් හොයා ගන්න තිබුනා තරුණ නම්. ඒ අතින් ගම්මන්පිල මහත්තයට දැන් වුනත් හොඳ රස්සාවක් හොයාගන්න පුලුවන්.

      Delete
  2. දැනට වසර කිහිපයකට කලින් ගණිකා වෘත්තීය නිතියානුකුල කල යුතු බවට නිමල්කා ප්‍රනාන්දු පැවසු විට ඊට දැඩි විරෝධයක් ඇති වුණා. එය එන්ජිඕ කුමන්ත්‍රණයක් බවටත් ප්‍රකාශ වුණා. රජයේ සමාජයේ අවධානය එල්ල විය යුතු කරුණක් වුවත් එය කාගේ වත් අවධානයට ලක් නොවී අමතක වී ගියා. නිමල්කාවත් එම මතය සමාජ ගත කිරීමට වෙහෙසක් ගත් බවක් පෙනුනේ නෑ. මෙවර ඇති වී තිබෙන මෙම ව්‍යාපාරය වටා තවත් සංවිධාන සහ කණ්ඩායම් රොක් වන්නේ නම් ලිංගික ශ්‍රමිකයින් සංවිධානය කිරීමට ප්‍රභල අත් වැලක් වේවි. ලිංගික සේවාව නිතියානුකුල කිරීම පිළිබඳව ඉන්දියාවේ ඇති ව්‍යාපාර වලිනුත් අපට දැන ගත යුතු පාඩම් බොහෝ වෙයි.

    ReplyDelete
  3. ලින්ගික ශ්‍රමිකයින්ගේ අරගලය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ තවත් පියවරක්. දියුණු ලන්කාවක් පතන හැම මේ සඳහා එක් විය යුතුයි.

    ReplyDelete
  4. ලංකාවේ නීති තියෙන්නේ , එම නීති කඩන පුද්ගලයින් අල්ලා ගැනීමට නැතිනම් පරික්ෂා කිරීමට බලය තිබෙන නිලදාරින්ට පාගා ගැනීමට මිසක් යම් දෙයක් පාලනය කිරීමට හෝ නතර කිරීමට නොවේ , ලංකාවේ ඔය නීති විරෝදී කියන හැම දෙයක්ම පගාව දීල කරන්න පුළුවන්, එම නිසා කල යුත්තේ පැත්තක සිටින කප්පම් කාරයින්ට මුදල් හම්බ කරගැනීමට නීති පැනවීම නොවේ , තිබෙන නීති අවශ්‍ය ලෙස ලිහිල් කිරීමයි ,.

    ReplyDelete
  5. ‘එක් පුරුෂයෙක් පමනක් පතන කීකරු කාන්තාව’ ( = ගෙදර බුදුන් අම්මා ) පිලිබඳ සංකල්පනයේ ප‍්‍රතිවාදය ‘සල්ලි දෙනවා නම් ඕනෑම පිරිමියෙක්ට රෙද්ද උස්සන අශ්ලීල ගැහැනිය’ පිලිබද සංකල්පනයයි “ ගෙදර බුදුන් අම්මා නමින් මව් කෙනෙකු හැදින්වී “ එක් පුරැෂයෙක් පමණක් පතන කීකරැ කාන්තාව වැනි අදහසකින් අප දන්නා ලාංකීය සමාජය තුළ නම් නොයෙදේ. මවි පියන් තුළ දරැවන් කෙරෙහි මෙත්තා කරැණා මුදිතා උපේක්ෂා යන සිව්බඹ විහරණ ගුණදහම් තියෙන හෙයි්න් ‘‘ගෙදර බුදුන් ‘‘ යනුවෙන් අම්මාව හදුන්වනු ලබනවා. ඒ අර්ථයෙන් හැර වෙනත් අර්ථයකින් අම්මාව හදුන්වනවා නම් එ ‘‘ ගෙදර බුදුන් අම්මා‘‘ නොව අදාළ අර්ථකථනයට අනුව ‘‘ ගෙදර වට් එවර් අම්මා‘‘ විය හැත. රෙද්ද උස්සන්කේ එකෙකුටද කොපමණකට යන්න ‘‘ගෙදර බුදුන් වීමට‘‘ අම්මෙකුට අදාළ නැත. ඕනෑම පිරිමියෙක්ට රෙද්ද උස්සන අශ්ලීල ගැහැනියක් වුවද තම දරැවන් ඉදිරියේ ගෙදර බුදුන් කෙනෙක්මය. සුද්ධ සිංහලෙන් කියනවනම් ඕනෑම වේසගෑණියෙකුටත් ගෙදර බුදුන් වීමට හැක.

    ReplyDelete
  6. ඕකට තියෙන්නේ සිම්පල් ප්ලෑන් එකක්. බුද්ධාගම අදහන් නැති ගෑනුන්ට විතරක් ගනිකා වෘත්තියට අවසර දෙන්න පුලුවන්. ඒ කෙන් දෙමළාට ප්‍රශ්නෙකුත් නෑනෙ දෙමල කියන්නේ ආගමක් නෙමෙයි. ඩුබායි වලත්, මැලේසියාවෙත් එහෙමයි වෙන්නේ.

    ReplyDelete