Saturday, September 19, 2015

මේ ජෙරමි කෝබින් මොහොතයි

ජෙරමි කෝබින් - බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ
ඉතිහාසයේ වඩාත්ම වාමවාදී නායකයා
ජෙරමි කෝබින් අති විශාල බහුතර ඡන්දයකින් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායකත්වයට  පසුගිය සැප්තැම්බර් 12 වන දා තේරී පත්විය. එදින ප්‍රකාශයට පත් කල නායකවරන ප්‍රතිඵල අනුව ප‍්‍රකාශිත ඡන්දවලින් සියයට 59 ක් ජෙරමි කෝබින් විසින් දිනාගෙන තිබූ අතර ඔහුගේ ආසන්නතම ප‍්‍රතිවාදියා වූ ඇන්ඩි බර්න්හැම් වෙත ලැබී තිබූ ඡන්ද ප‍්‍රතිශතය සියයට 19 කි. වාමාංශික අදහස් දරන කෝබින් පක්ෂ නායකයා බවට පත්වූවොත් කම්කරු පක්ෂයට කවදාවත් මැතිවරනයක් ජයගත නොහැකි වනු ඇතැයි දිගින් දිගටම පැවැසූ, නායකවරනයට ඉදිරිපත්ව සිටි වඩාත්ම දක්ෂිනාංශික අපේක්ෂිකාව වූ ලිස් කෙන්ඩල්ට ලැබී තිබුනේ යම්තම් ඡන්ද සියයට 4 කි.

කෝබින් කම්කරු පක්ෂ නායකත්වයට පත්වීම එම පක්ෂයේ ශ්‍රේනීන් විශාල වශයෙන් වමට නැඹුරු වීමක් පෙන්නුම් කරයි. මෙම ඡන්දය සඳහා ලක්ෂ හතරකට ආසන්න ඡන්දදායකයින් සංඛ්‍යාවක් සහභාගී වූහ. කෝබින් දීර්ඝ කාලයක් තිස්සේ කම්කරු පක්ෂයේ වාමාංශය නියෝජනය කල මන්ත‍්‍රීවරයෙකි. නව ලිබරල්වාදයේ ප‍්‍රබල විවේචකයෙක් වූ ඔහු 2008 ආර්ථික අර්බුදයෙන් පසු බ‍්‍රිතාන්‍යය තුල ක‍්‍රියාත්මක වන්නට පටන් ගත් කප්පාදු පිලිවෙත් වල අශමනීය විරුද්ධකරුවෙක් වූයේය. නිදහස් සෞඛ්‍ය සේවාව කප්පාදු කිරීම, පෞද්ගලිකකරනය, විශ්ව විද්‍යාලවලින් ගාස්තු අයකිරීම ඇතුලූ පැරනි සුබසාධක රාජ්‍යයේ ඉතුරු බිතුරුවලට ද පහර දුන් නව ලිබරල් ප‍්‍රතිපත්ති ඔහු අතින් විවේචනයට ලක්වූයේය. අනෙත් අතට ඉරාක යුද්ධය, සිරියාවට අත පෙවීම ආදී අධිරාජ්‍යවාදී පිලිවෙත් ගැන ද ඔහු ප‍්‍රසිද්ධ විවේචන මතු කලේය. අධිරාජ්‍යවාදී යුද්ධවලට එරෙහිව න්‍යෂ්ඨික අවිහරනය හා සාමය ආදී වටිනාකම් වෙනුවෙන් ඔහු පෙනී සිටියේය. බ‍්‍රිතාන්‍යයේ පහල පාන්තික ජනයා, වෘත්තීය සමිති හා තරුනයන් අතරින් කෝබින්ට ලැබෙන විශාල ප‍්‍රතිචාරය ඔහු පෙනී සිටින දැඩි කප්පාදු විරෝධී ( Anti Austerity ) ආස්ථානය ලැබූ ප‍්‍රතිචාරයකි.

ස්පාඤ්ඤයේ වාමාංශික පොඩෙමොස් පක්ෂය විසින් කැදවූ
කප්පාදු පිලිවෙත් විරෝධී රැලියක අවස්ථාවක්
පුලූල් අර්ථයෙන් ගත්විට කෝබින්ගේ ව්‍යාපාරය නව ලිබරල්වාදය විසින් ඇතිකල සමාජ සමතුලිතයට එරෙහි රැඩිකල් ප‍්‍රතික‍්‍රියාවක් නියෝජනය කරයි. මෙම ප‍්‍රතික‍්‍රියාව මතු වී තිබෙන්නේ කප්පාදු පිලිවෙත්වලට එරෙහි ජනප‍්‍රිය වාමාංශික විරෝධතාවයක මුහුනුවරිනි. ලෝකය ‘වාමාංශික පුනරුදයක’ යුගයකට ඇතුලූ වී ඇත. ග‍්‍රීසිය, ස්පාඤ්ඤය ඇතුලූ යුරෝපීය රටවල් ගනනාවක නව ලිබරල් කප්පාදු පිලිවෙත්වලට එරෙහි රැඩිකල් දේශපාලනය බලවත් වී තිබේ. නව ලිබරල් සමතුලිතයට එරෙහි මෙම වාමාංශික කැරැල්ලේ බ‍්‍රිතාන්‍ය ප‍්‍රකාශනය කෝබින්ගේ ජයග‍්‍රහනයයි.    

කෝබින් නැගීමත් සමග බ‍්‍රිතාන්‍ය දේශපාලනයේ නිල සංස්ථාපිතය මහත් කැලඹීමකට ලක්වී ඇත. මේ වනවිට පෙරමුනු දෙකකින් කෝබින්ට එරෙහිව යුද ප‍්‍රකාශ වී තිබේ. එක් පෙරමුනක් වන්නේ කම්කරු පක්ෂයේ දක්ෂිනාංශයයි. වෘත්තීය සමිති මත පදනම් වූ ප‍්‍රතිසංස්කරනවාදී වාම පක්ෂයක් ලෙස 20 වන සියවස මුල බිහිවු කම්කරු පක්ෂය සාම්ප‍්‍රදායිකව ස්ථානගත වී තිබුනේ ධනවාදයට හිතෛශී නායකත්වයක් තිබෙන, එහෙත් ප‍්‍රබල කම්කරු පාන්තික පදනමක් සහිත පක්ෂයක් ලෙසය. මේ පක්ෂය තුල සෑම යුගයකම වාමාංශික පාර්ශවයක් ද ක‍්‍රියාත්මක වූයේය. එම වාමාංශය පක්ෂය වඩ වඩාත් වමට තල්ලූ විය යුතු යැයි ඉල්ලා සිටියේය. කම්කරු පක්ෂයේ ඉතිහාසය ගත් විට දක්ෂිනාංශික හා වාමාංශික කොටස් අතර මෙම ප‍්‍රතිවිරෝධය පැහැදිලිවම නිරීක්ෂනය කිරීමට පුලූවන.

1980 දශකයේ දී සිදුවූයේ කම්කරු පක්ෂයේ වාමාංශය තීරනාත්මක ලෙස පරාජය කොට දක්ෂිනාංශය ජය ලැබීමයි. ‘80 දශකය අග එම පක්ෂය තුල ප‍්‍රවේශවාදීව වැඩ කරමින් සිටි මාක්ස්වාදී කොටස් දක්ෂිනාංශික නායකත්වය විසින් සමූහ වශයෙන් නෙරපා දමනු ලැබූ අතර ‘මිලිටන්ට් කන්ඩායම’ නෙරපා දැමීම ඒ අතරින් ප‍්‍රමුඛය. 1990 දශකයේ මුල ටෝනි බ්ලෙයාර් පක්ෂ නායකයා වීමත් සමග කම්කරු පක්ෂ දක්ෂිනාංශයේ මෙම ජයග‍්‍රහනය කූටප‍්‍රාප්තියට ලගාවේ. එතැන් සිට කම්කරු පක්ෂය හා දක්ෂිනාංශික කොන්සර්වේටිව් පක්ෂය අතර මූලධාර්මික වෙනසක් නොවී. බ්ලෙයාර් විසින් කම්කරු පක්ෂය නව ලිබරල් මූලධර්මවාදයට අනුගත කරන ලදී.

කෝබින්ගේ දේශපාලනය වූ කලී ටෝනි බ්ලෙයාර් විසින් ඇතිකල මෙන්න මේ දක්ෂිනාංශිකකරනයේ සම්පූර්න ප‍්‍රතිවාදයයි. කෝබින් ජයග‍්‍රහනය කලේ ඔහුගේ ජය වැලැක්වීම සඳහා පක්ෂයේ දක්ෂිනාංශික නිලධාරී තන්ත‍්‍රය දැරූ සියලූ උත්සාහයන් මධ්‍යයේය. දැන් කෝබින්ගේ ජය ආපසු හැරවීම සඳහා දක්ෂිනාංශය විවිධ උපමාරු යොදමින් සිටී. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කන්ඩායමේ අති බහුතරය අයත් වන්නේ පක්ෂයේ දක්ෂිනාංශයටය. ප‍්‍රමුඛ පෙලේ මන්ත‍්‍රීවරුන් ගනනාවක් දැනටමත් කෝබින්ගේ ජයග‍්‍රහනය අවප‍්‍රමානය කරමින් ප‍්‍රකාශ නිකුත් කොට ඇත. කෝබින්ව පෙරලා දැමීම සඳහා ඔවුන් ඉදිරියේ දී උපරිම වෙර යොදා ක‍්‍රියා කරනු ඇත.

කෝබින්ට එරෙහිව යුද ප‍්‍රකාශ කොට තිබෙන අනෙක් පෙරමුන පක්ෂයෙන් පිටත දක්ෂිනාංශයයි. මෙම ප‍්‍රහාරය දක්ෂිනාංශික ජාතිකවාදී ප‍්‍රහාරයක් ලෙසටය දැනට මතු වී තිබෙන්නේ. කෝබින් පක්ෂ නායකත්වයට පත්වූ විගස ප‍්‍රකාශයක් නිකුත් කරමින් කොන්සර්වැටිව් පක්ෂ නායක ඬේවිඞ් කැමරන් ප‍්‍රකාශ කලේ කෝබින් ‘ජාතික ආරක්ෂාවට තර්ජනයක් ’ බවයි. න්‍යෂ්ඨික අවිහරනය හා බ‍්‍රිතාන්‍ය රජයේ අධිරාජ්‍යවාදී ප‍්‍රයානයන් පිලිබඳ කෝබින්ගේ විරුද්ධත්වයයි කැමරන් විසින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස අර්ථ දක්වනු ලැබුවේ. කෝබින් පහල පාන්තික ජනතාවන් කප්පාදු පිලිවෙත්වලට දක්වන විරෝධය දේශපාලනිකව සංවිධානය කිරීමට උත්සාහ කරද්දී පාලක කොන්සර්වැටිව් පක්ෂය එයට මුහුන දෙන්නට උත්සාහ කරන්නේ ‘බි‍්‍රතාන්‍ය ජාතිය’ නමැති කතිකාව වටා සමාජය සංවිධානය කරමින්ය. කැමරන්ට සමගාමීව දක්ෂිනාංශික ජනමාධ්‍යද කෝබින්ට එරෙහි දැඩි ප‍්‍රහාරයක් මේ වනවිට පටන් ගෙන තිබේ.

දක්ෂිනාංශයේ මෙම ප‍්‍රතිරෝධය ජයගැනීමට නම් කම්කරු පක්ෂය සැබෑ සමාජ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීම හැර අන් විකල්පයක් කෝබින් ඉදිරියේ නැත. එනම් පක්ෂයේ නිල සංස්ථාපිතයෙන් බැහැරට ගොස් ඔහුට ඡුන්දය දුන් බිම් මට්ටමේ ජනයා සංවිධානය කිරීම හා එම සංවිධාන ශක්තිය මත පදනම් වී වඩා සටන්කාමී ක‍්‍රියාමාර්ග වෙත යොමුවෙමින් පක්ෂයෙන් පිටත මහජනයා සිය ප‍්‍රතිපත්ති වෙත දිනාගැනීම දක්ෂිනාංශය දක්වන ප්‍රතිරෝධය අබිබවනය කරනු වස් කෝබින් ඉදිරියේ තිබෙන එකම විකල්පයයි. එම විකල්පය බලවත් වේ නම් අපට ඉදිරි වසර කිහිපය තුල බ‍්‍රිතාන්‍යයේ දී දැකගත හැකි වනු ඇත්තේ පංති අරගලයේ උද්වේගකර අලුත් අවධියකි.





9 comments:

  1. කොබින් පිළිබද උදාහරණය අපට කියන්නේ කුමක්ද? මීට වසර කීපයකට පෙර ජෙරමි කෝබින් ටෝනි බ්ලෙයාර්ගේ නායකත්වයෙන් පැවැති කම්කරු පක්ෂයේ සාමාජිකයෙකි. 1982 සිට කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයෙකි. අද අපි ඔහු උත්කර්ෂයට නංවන්නේ ඔහු වාමාංශික ස්ථාවරයක සිට කම්කරු පක්ෂයේ නායකයා වූ නිසාවෙනි. අපි දැන් පසු ආවර්තීව (retrospectively) කොර්බින් කේන්ද්‍ර කරගෙන බ්‍රිතාන්‍ය කමිකරු පක්ෂයේ ඉතිහාසය නැවත ලියමු. මගේ ප්‍රශ්නය මෙයයි. ටෝනි බ්ලෙයාර්ගේ සමයේදී කම්කරු පක්ෂයේ වාමාංශික විවේචකයින් කොර්බින්ට මොනවා කියන්නට ඇත්ද? පසුගිය මැතිවරණයේ ලංකාවේ “කොර්බින්වාදී" මැදිහත්වීම තිබුණේ කොතැනද? කරුණාකර මා කීමට උත්සාහ කරන දේ පරිස්සමින් තේරුම්ගෙන පමණක් ප්‍රතිචාර දක්වන්නැයි ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. //පසුගිය මැතිවරණයේ ලංකාවේ “කොර්බින්වාදී" මැදිහත්වීම තිබුණේ කොතැනද?// පසුගිය මැතිවරණයේ ලනක්වේ කෝබින් පන්නයේ මැදිහත්වීමක් තිබුනේ නැති අතර එය කල හැකිව තිබු එකම පක්ෂය වන ජවිපෙ ලිබරල්වාදී වීමට යත්න දරන ලදී.

      Delete
    2. මම හිතන්නෙ ඔබට මගේ ප්‍රශ්නය තේරුණේ නැහැ වගේ. ටෝනි බ්ලෙයාර්ගේ කම්කරු ප්‍රශ්නය ගැන ඔබ කුමක් කියාවිද?

      Delete
    3. නැහැ මට ඉතා හොඳින් තේරුණා කියල මම හිතනවා. හැබැයි හැබැයි / ටෝනි බ්ලෙයාර්ගේ කම්කරු ප්‍රශ්නය ගැන// කියන්නේ කුමද කියල නම් තේරෙන්නේ නැහැ. මොකද ටෝනි කම්කරු නායකයෙක් නොවේ. ලේබර් පක්ෂය දක්ෂිනංශයට රැගෙන ගිය තැචර් වාදියෙක්. කොබින් ඇතුළු පිරිස තම ඔහුගේ ඒ ක්රියවට් විරුද්ධ වුනේ. එහිදී කොබින් නියෝජනය කල වම අති වාම වාදීන් ලෙස කොන් කරනු ලබුඅව. බොහෝ අය පක්ෂය හැර ගියා .

      Delete
  2. සමාවෙන්න ලින්ක් එක දැම්මට . මේ මම ලියපු එක. http://kolambagamaya.blogspot.co.uk/2015/09/blog-post_12.html
    මමත් හිතනවා ඉදිරියේදී කෝබින් ව සැහෙන්න ඉලක්ක කරයි කියල. ඊයේ විතරක් ඩේලි මේල් එකේ විරුද්ධ ලිපි ගණන අටක්. නමුත් යුරෝපයේ වාමාංශික රැල්ලක් එනවා. බ්‍රිතාන්‍යයේ මිට වඩා හොඳ සංවිධානයක් එයි සිරිසා වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලින්ක එකට. මේ ප්‍රවනතාව ගැන වැඩිපුර ලියා සිංහල පාඨකයින් දැනුවත් කරන්න ඔබ ඉටු කරන මෙහෙය ගැන බෙහෙවින් සතුටුයි.

      Delete
  3. \\බි‍්‍රතාන්‍ය ජාතිය’ නමැති කතිකාව වටා සමාජය සංවිධානය කරමින්ය.//
    ලංකාවේ මේකම මේ විදිහට උනා නම් මෙහෙම ලියයිද ???

    ReplyDelete
  4. කාලෙකින් බ්ලොග් එකක කමෙන්ට් කරන්නෙ. රාමාගේ ලිපියෙන් වර්තමාන ජාතිකවාදීන් ගතයුතු හොඳම සාරය වන්නේ නව ලිබරල් අන්තවාදය සහ මාක්සාගමික අන්තවාදය අතර සටනේදී තමන්ව ඉත්තකු ලෙස පාවිච්චි කරනු නොලැබීමට ජාතිකවාදීන් වගබලාගත යුතු බවයි.

    ReplyDelete
  5. කාලෙකින් බ්ලොග් එකක කමෙන්ට් කරන්නෙ. රාමාගේ ලිපියෙන් වර්තමාන ජාතිකවාදීන් ගතයුතු හොඳම සාරය වන්නේ නව ලිබරල් අන්තවාදය සහ මාක්සාගමික අන්තවාදය අතර සටනේදී තමන්ව ඉත්තකු ලෙස පාවිච්චි කරනු නොලැබීමට ජාතිකවාදීන් වගබලාගත යුතු බවයි.

    ReplyDelete