Thursday, September 10, 2015

සම්බන්ධන් නැතිව - සම්බන්ධන් එක්ක


ඔහු - මට ඔයාගේ හීන ගැන දැනගන්න  ඕනෙ උනේ නැහැ. 
         ඒ හීන මගේ හීනවලට හරස් වෙයි කියලා මං හිතුවා.

ඇය - ඔයා මං දිහා බලයි කියලා 
          මං ඇස් රිදෙනකල් ඔයා දිහා බලන් හිටියා.

( 'ඔබ නැතිව ඔබ එක්ක' චිත්‍රපටයේ එන දෙබසක් )
***
ඒ. අමිර්තලිංගම්ගෙන් පසු ඉතිහාසයේ පලමු වතාවට දෙමල දේශපාලන නායකයෙක් ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට පත්වී තිබේ. දෙමල ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් එම පදවියට පත්වීම සිංහල සමාජය තුල ඇති කොට තිබෙන්නේ මිශ‍්‍ර ප‍්‍රතිචාරයකි. උග‍්‍ර සිංහල ජාතිවාදීන් මෙම පත්වීම සම්බන්ධයෙන්, ස්වකීය හුරුපුරුදු ස්වෝත්තමවාදී ආස්ථානයන් මත පදනම්ව විරෝධය පල කරද්දී සැලකිය යුතු පිරිසක් මෙය අගය කරමින් කථා කරනු ද දැකගත හැක. සිංහල ස්වෝත්තමවාදීන්ගේ හඩ මීට කලෙකට පෙර තිබුනාට වඩා ප‍්‍රබලත්වයෙන් අඩු වී ඇත. මහින්ද රාජපක්ෂගේ ඇද වැටීමෙන් ඉක්බිති පාලන තන්ත‍්‍රයේ නිල මතවාදය ලෙස එතෙක් සිංහල ස්වෝත්තමවාදයට හිමිව තිබූ තැන එක්කෝ අහිමි වී තිබේ. නැතිනම් දුර්වල වී තිබේ. පාලන තන්ත‍්‍රයේ නිල මතවාදය මෙලෙස වෙනස්වීම දෛනික මහජන පරිකල්පනයට ද බලපා ඇත. සම්බන්ධන් විපක්ෂ නායක වීම ‘හොද දෙයක් ’ ලෙස දකින මතවාදය සිංහල සමාජය තුල යම් බලයක් අත් කරගෙන තිබෙන්නේ ඒ අනුවය.

සම්බන්ධන්ගේ මෙම පත්වීම හොඳක් ලෙස දකින බොහෝ ‘සිංහල මධ්‍යස්ථවාදීන් ’ එසේ කරන්නේ කවර පදනමක් මතද? සම්බන්ධන් විපක්ෂ නායක වීම නිසා රටේම ප‍්‍රශ්න වෙනුවෙන් ඔහුට පෙනී සිටීමට සිදුවන බවත්, එම නිසා බෙදුම්වාදී අදහස්වලින් ඈත් වීමට ඔහුට සිදුවනු ඇති බවත් සමහරු කියති. තවත් ඇතැමුන්ට අනුව ප‍්‍රතිසන්ධානය පැත්තෙන් ගත්කල විපක්ෂ නායකකම දෙමල ජාතික සන්ධානයට දීම යහපත් පියවරකි. දෙමල ජනතාවට සාධාරනය ඉටු කිරීමකි.

‘ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම - සංජානනයන් සහ විසඳුම් ’ ( Ethnic Conflict in Sri Lanka - Perceptions and Solutions ) යන මැයෙන් ආචාර්ය නිවුටන් ගුනසිංහ 1984 දී ලියනු ලැබූ රචනය ලංකාවේ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් විවිධ සමාජ කන්ඩායම් වෙතින් එවකට ඉදිරිපත් වී තිබූ වෙනස් ප‍්‍රවේශයන් පිලිබඳ දීප්තිමත් විශ්ලේෂනයකි. මෙම රචනයේ දී ඔහු එබඳු ප‍්‍රවේශයන් හතරක් හඳුනාගනී. ඉන් එක් ප‍්‍රවේශයක් ඔහු නම් කරන්නේ ‘වැදගත් වන්නේ පුද්ගලයින් මිස ජනවර්ගය නොවේ නම් වූ ඉදිරිදර්ශනය’ ලෙසටය. ඔහුට අනුව මෙම ඉදිරි දැක්ම ඉදිරිපත් කරන අය ලංකාව බහුවාර්ගික-බහුආගමික රටක් ලෙස පිලිගනී. අධ්‍යාපනය, රැකියා ආදී ක්ෂේත‍්‍රවල ජනවර්ග වෙනසක් නොමැතිව සෑම දෙනාටම සමානත්වය තිබිය යුතු බව මොවුහු කියති. එහෙත් දිවයිනේ යම් යම් ප‍්‍රදේශ සාම්ප‍්‍රදායික සිංහල / දෙමල ප‍්‍රදේශ ලෙස හඳුනාගන්නවාට ඔවුහු විරුද්ධය. එම නිසා බලය බෙදීමක් සඳහා දෙමල සමාජය පැත්තෙන් ඉදිරිපත් වන ඉල්ලීමට ද ඔවුහු විරුද්ධ වෙති.

මෙම ඉදිරි දර්ශනය සිංහල සමාජයේ විවිධ පංති කන්ඩායම් අතර විහිදී ගිය එකක් යැයි ගුනසිංහ කියයි. ධනපති පංතියේ ඇතැම් කොටස්, බටහිරකරනය වූ දැක්මකින් යුතු විධායක නිලධාරීන්, මෙම නිලධාරීන්ට හාත්පසින් වෙනස් සමාජ පසුබිමකින් පැමිනෙන නාගරිකත්වයට නැඹුරු චින්තනයකින් යුක්ත උගත් තරුන භික්ෂූන් ආදීන් වෙතින් මෙම ඉදිරි දර්ශනය ප‍්‍රකාශිතය. වාර්ගික ආතතිය උග‍්‍ර අවස්ථාවල ‘ජාතිය බේරාගැනීමේ’  ආන්තික ඉදිරි දැක්මක් වෙත තල්ලූ වීමේ සම්භාවිතාවයකින් යුක්ත වූවත් නාගරික පහල මැද පංතික කොටස්වල පුලුල් ස්ථරයක් තුළ ද මෙම ඉදිරි දැක්ම ප‍්‍රකාශ විය හැක. එසේම වාර්ගික ගැටුම් සහිත කලාපයෙන් බැහැරව ජීවත්වන ගොවි ජනයාගෙන් සැලකිය යුතු කොටසක් ද ඇතැම් විට මෙම ඉදිරි දර්ශනය හා එකඟ වීමට පුලූවන් බවට ගුනසිංහ අදහස් දක්වයි.

විවෘත දෙමල විරෝධී ආස්ථානයන් හා සසඳන විට මෙම ‘මධ්‍යස්ථවාදී’ ප‍්‍රවේශය යහපත් බවට සැකයක් නැත. එහෙත් ජාතික ප‍්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් එය ද බෙහෙවින් සීමාසහිත ඉදිරි දර්ශනයකි.

මේ දිනවල තිරගත වන ප‍්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතිව ඔබ එක්ක’ චිත‍්‍රපටයේ කථා තේමාව මෙම 'මධ්‍යස්ථවාදී' ඉදිරි දර්ශනයේ සීමාව වටහා ගැනීම සඳහා කදිම සාදෘශ්‍යයක් ලෙස යොදාගත හැක. මෙම චිත‍්‍රපටයේ එන දෙමල තරුනිය තම සැමියා හිටපු හමුදා සොල්දාදුවෙක් බව නොදන්නීය. ඇය ‘සිංහල හමුදාවට’ වෛර කරන්නියකි. ඒ ඇගේ බාල සහෝදරයින් දෙදෙනා හමුදාව විසින් මරා දමනු ලැබූ නිසාය. තම සැමියා හිටපු සොල්දාදුවෙක් බව අහඹුවකින් දැන ගන්නා ඇය ක්ෂතිමය තත්වයකට ගොදුරු වන්නීය.

මේ ගැන මහත් කනගාටු වන සැමියා ඇයට හොඳින් සත්කාර කරයි. ඇය සුවපත් කරගැනීම සඳහා අවංකව මහන්සි වේ. ඇයව ඉන්දියාවට ගෙන ගොස් සාරි අරන් දෙන බවටත්, ඇය කැමති චිත‍්‍රපට සියල්ල ඇය හා නරඹන බවටත් ප‍්‍රතිඥා දේ.

සැමියාගේ මේ සියලු ‘යහපත් ’ සැලැකීම් මානසික අවපීඩනයකට ලක්ව සිටින භාර්යාව යහපත් සිතින් ඉවසයි. එහෙත් ඇගේ සැබෑ ප‍්‍රශ්නය තිබෙන්නේ වෙන තැනකය. එය සිංහල හමුදාව වෙතින් ඇයට වූ අසාධාරනය හා සම්බන්ධ ආත්මීය ප‍්‍රශ්නයකි. සැමියා ආදරයෙන් සත්කාර කරන්නේ මේ ආත්මීය ප‍්‍රශ්නයෙන් පෙලෙන සැබෑ අනෙකාට නොව තමා විසින් පරිකල්පිත අනෙකෙක්ටය. ඇගේ සැබෑ ප‍්‍රශ්නය තිබෙන්නේ ඒ පරිකල්පිතයට ඔබ්බේය.

ලංකාවේ දෙමල ජනතාවගේ සැබෑ ප‍්‍රශ්නය තිබෙන්නේ ද සිංහල ‘මධ්‍යස්ථවාදීන්’ ගේ පරිකල්පන ක්ෂිතිජයට ඔබ්බෙනි. සම්බන්ධන්ට විපක්ෂ නායකකම දීම මෙම පිරිස්වලට දෙමල ජනයාට පිදෙන ‘මහා ලොකු ප‍්‍රදානයක් ’ වූවාට දෙමල සමාජය පැත්තෙන් එය එසේ නොවේ. එම ජනයාගේ අරගලය පවතින්නේ ස්වකීය ජාතිකත්වයට අවශ්‍ය පිලිගැනීම ලබාගැනීම සඳහාය. එය ජාතියක් ලෙස පරිපූර්නව ප‍්‍රකාශ වී ගැනීම සඳහා ඉතිහාසයක් පුරා සිදුකල, දැනටත් සිදු ‍කෙරෙන අරගලයකි. ෆෙඩරල් ඉල්ලීම, යුද අපරාධ සඳහා යුක්තිය ඉල්ලා සිටීම ආදී යෝජනා ස්ථානගත වන්නේ ස්වකීය ජාතික විමුක්තිය සඳහා දෙමල ජනතාව කරන එම ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලයේ කොටස් ලෙසය.

මෙම සැබෑ දේශපාලන ප‍්‍රශ්නය ආමන්ත‍්‍රනය නොකොට විපක්ෂ නායකකම සම්බන්ධන්ට දී ජාතික ප‍්‍රතිසන්ධානය ඇතිකරගැනීමට යමෙක් කල්පනා කරන්නේ නම් එම කල්පනාව ගනුදෙනු කරන්නේ සැබෑ දෙමල සමාජය සමග නොව එය විසින් පරිකල්පිත, සිතින් මවාගත් දෙමල සමාජයක් සමගය. සිංහල 'මධ්‍යස්ථවාදීන්' අභිමුඛ වන්නේ තමා විසින් පරිකල්පනය කරගත් 'දෙමලාගේ ප්‍රශ්නයක් ' සමගය. මෙම පරිකල්පනයෙන් ඔබ්බට ගොස් දෙමලාගේ සැබෑ ප්‍රශ්නය සමග අභිමුඛ වීම සිංහල මධ්‍යස්ථවාදියාට වුව ක්ෂතිමය අත්දැකීමක් වීමට ඉඩ තිබේ. මන්ද එහිදී ඔහු හෝ ඇය ස්වභාවිකත්වයන් ලෙස ගෙන තිබෙන බොහෝ පූර්ව නිගමන අභියෝගයට ලක්වීමට නියමිත බැවිනි.  

5 comments:

  1. කාලෝචිත ලිපියක්... විපක්ෂනායකකමට නෙමෙයි අගමැතිකමට-ජනාධිපතිකමට වුනත් ශ්‍රී ලාංකිකයෙක් නම් ඔහු/ඇය කවුරු පත් වුනත් (ආගම-ජාතිය වැඩක් නැත) මම එකඟයි. හැබැයි රටේ තියෙනවයි කියන වාර්ගික අරුබුදය ගැන මගේ අදහස මෙහෙමයි.

    බහුවාර්ගික බහුආගමික ජන සංයුතියක් ඉන්න ලංකාව වගේ රටක එක් එක් ජන වර්ග-එක් එක් ආගමික කණ්ඩායම් ඉලක්ක කරමින් දෙනු ලබන සැමට පොදු නොවන ඒ නිසාම "අසාධාරණ"විසඳුම් කිසිසේත්ම රටේ සුභසිද්ධියට හේතු වන්නේ නෑ. එය තවත් ජනකොට්ඨාසයක හිත බිඳවිය හැකියි. දැනට නිහඬ වෙනත් පිරිසක් සක්‍රීය කිරීමක් විය හැකියි. හොඳම උදාහරණය 1956 සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමෙන් පසු ඇතිවුණු අහිතකර තත්වය. එය සිංහල නොවන සැමගේ හිත් බිඳවීමක් බවට පත්වුණා. පසුකාලීනව දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් විදිහට ඇතුල් කරන කොට එයින් විය යුතු හානිය බොහෝ සිදු වෙලා. එයින් මං අදහස් කරන්නෙ වාර්ගික පදනමින් කිසිදු ජාතියකට හෝ ආගමකට විශේෂත්වයක් ප්‍රමුඛත්වයක් නොදෙන තැනට රට පත් විය යුතු බවයි.

    සිංහල වේවා මුස්ලිම් වේවා දෙමළ වේවා අන් කිසිවෙක් වේවා පොදුවේ මිනිස්සුන්ට තියෙන්නෙ එකම ජීවන අරගලයක්. එය මුලතිව්වල ඉන්න දෙමළ මිනිහටත්-මඩකලපුවේ ඉන්න මුස්ලිම් මිනිහටත්-හම්බන්තොට ඉන්න සිංහල මිනිහටත් පොදුයි. විය යුත්තෙ රට කෑලි කඩන එකවත්-ක්‍රමිකව කෑලි කඩන තැනට පත් කරන එකවත් නෙමෙයි. මිනිස්සුන්ට නිදහසේ වැඩ ටික කරගන්න පුලුවන් වෙන විදිහට පරිපාලනය කාර්යක්ෂම වෙන්න ඕන. එය විමධ්‍යගත වෙන්න ඕන.

    නිදහසින් පසුව විය යුතුව තිබුණත්, අඩුම තවත් කාලයක් ගිහිල්ලා හරි ඉංග්‍රීසි භාෂාව අධ්‍යාපන මාධ්‍ය බවට සහ වැඩ කිරීමේ මාධ්‍යය බවට පත් කරන්න පුලුවන් නම් වාර්ගික ඒකාබද්ධතාව සහ ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම කියන කාරණයට ප්‍රබල පිටුබලයක් වෙනවා. ජාතිය ගොඩනැගීම කියන කාරණයේදී සිංප්පූරුව අනුගමනය කළ ක්‍රියා පිළිවෙත සාර්ථකයි. ඒ සඳහා ලංකාවෙනුත් ඔවුන් අත්දැකීම් ගත්තා. (http://www.sundaytimes.lk/070902/International/i516.html)

    අනෙක තමයි රටේ එක නීතියයි තිබිය යුත්තෙ. ඊට කිසිසේත්ම වාර්ගික හෝ ආගමික කොන් ගෑවිලා තියෙන්න බෑ. එය රටේ ජනාධිපතිවරයාගේ ඉඳන් මැති ඇමතිවරු-හාමුදුරුවරු-පූජකවරු ආදී සියලු පිරිස්වලටත් සියලු පුරවැසියන්ට පොදුවේ ක්‍රියාත්මක වන්නක් විය යුතුමයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙනුත් වෙනස් නොකෙරුවට, නීතියෙන් ගැලවෙන්න ජනාධිපතිවරයටවත් ඉඩක් නොලැබිය යුතුයි. තේසවලමේ-කන්ද උඩරට නීතිය-මුස්ලිම් නීතිය මේ වගේ ආගමික-වාර්ගික හෝ ප්‍රදේශවාදී ලෙස අපේ නීතියට එකතු වෙලා තිබෙන ඒවා සියල්ල අහෝසි කළ යුතුයි.

    ඒ අතරම, සිංහල-දෙමළ-මුස්ලිම් ආදී රටේ පුරවැසියන් වන සියලු දෙනාට රටේ කොතන වුනත් පදිංචි වෙන්න නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව තියෙන්න ඕන. (උතුරේ සිංහල සහ මුස්ලිම් මිනිස්සුන් පදිංචි වෙන්න හැදුවොත් දෙමළ දේශපාලනඥයො ගිනි තියාගන්න හදනවා. එය කිසිසේත්ම නොවි යුතුයි-නිජභූමි සංකල්ප බල්ලට ගියාවෙ. සිංහල-දෙමළ-මුස්ලිම් මේ රටේ කවුරුත් සංක්‍රමණය වෙලා ආපු අය. සංක්‍රමණය නූනත් ප්‍රශ්නයක් නෑ. ලියාපදිංචියෙන් හරි පරම්පරාවෙන් හරි රටේ පුරවැසියො නම් ඔවුන්ට පුරවැසි අයිතිවාසිකම් සියල්ල නොඅඩුව හිමි විය යුතුයි)

    මනෝ ගනේෂන් මහත්තයා පහු ගිය දවසෙ කියලා තිබුණා ආර්ථික සමෘද්ධිය උදා කිරීමෙන් පමණක් දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ කියලා. http://www.adaderana.lk/news.php?nid=32283 දැන්වත් ඔය බහුබූත මනෝ ලෝකෙන් දෙමළ දේශපාලනඥයන් මිදිය යුතුයි. විදේශගතව ඉන්න දෙමළ මිනිස්සුන්ගෙ මූල්‍ය සහයෝගයත් අරගෙන උතුරේ සංවර්ධනය ඇති කරන්න ඔවුන් අවධානය යොමු කළ යුතුයි.

    ReplyDelete
  2. මෙන්න මේ මේ කතාව මමත් දෙතුන් න් තැනක ලිව්වා.ලිව්වා. ඔබ වඩා වඩා හොඳින් එය ග්‍රහණය වන ආකාරයට .ලියා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්!

      Delete
  3. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/773-2015-09-13-21-58-20

    ReplyDelete
  4. සම්බන්ධන්ට විපක්ෂ නායක කම දීමට තීරණය කරන්න ඇත්තේ මෛත්‍රීපාල ජනාධිපති අපේක්ෂකයා කිරීමටත් පෙර.පසුගිය කාලයේ රනිල් මෛත්‍රී නායකත්වයෙන් ලංකාවේ සිදුවූ සියලු දේශපාලන සිදුවීම් ජිග්සෝ ප්‍රහේලිකාවක කොටස් වගෙයි. සම්බන්ධන් විපක්ෂ නායක වීමත් එක කොටසක්. නැතුව මෙය හුදකලා සිදුවීමක් නොවෙයි. එමනිසා දෙමලෙක් විපක්ෂනායක වීම සුදුසුද නැද්ද වගේ බොළඳ ප්‍රශ්ණ ගැන වාද කිරීම මඟින් වන්නේ මෙම කුමන්ත්‍රණය වසංවීමයි. ඒ නිසා මේ ගැන වාද කිරීම මෝඩ කමක්.
    මෙතන තියෙන ලොකුම අනතුර වෙන එකක්
    රනිල් තමන්ට අවශ්‍ය අරමුණු වෙනුවෙන් සිංහල මිනිස්සු ලක්ෂයක් මරන්න වුනත් පැකිලෙන්නේ නෑ. කොහොමත් රනිල්ගේ අත්වල සිංහල ලේ ගෑවිලා තියෙනවා. ඉදිරියේ නැවතත් සිංහල තරුණයන් මරා ටයර් දමා පුච්චන යුගයක් එයිද සැකයි.

    ReplyDelete