Sunday, August 30, 2015

එස්.බී පාර්ලිමේන්තුවට ගෙන රාජපක්ෂවාදය පැරදවීම?


‘මෛත‍්‍රී පාලනය’ පිලිබඳ අලංකාරිකය සහ මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය දවස්වල ශ‍්‍රීලනිපය තුල කටයුතු කල ආකාරය ගලපන්නේ කෙසේද? රාජපක්ෂ පාලනයට එරෙහිව විපක්ෂයේ පක්ෂවල පොදු අපේක්ෂක ලෙස මෛත‍්‍රීපාල සිරිසේන ඉදිරිපත් වූ විට ඔහුගේ පාර්ශවය වෙනුවෙන් කරුනු ඉදිරිපත් කල බොහෝ දෙනා මෛත‍්‍රීපාලගේ සාමකාමී ශාන්ත දාන්ත විලාශය රාජපක්ෂ විසින් නියෝජනය කල පලිගැනීමේ හා ද්වේශයේ සංස්කෘතියට එරෙහි විකල්පය ලෙස ඉදිරිපත් කලහ. රාජපක්ෂ යටතේ ශ‍්‍රීලනිපය ඔහුගේ බූදලයක් බවට පත්වී තිබුනි. එම පක්ෂය තුල කිසිදු අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නොවී. රාජපක්ෂගේ වචනය කුමක්ද එය ශ‍්‍රීලනිප ප‍්‍රතිපත්තිය බවට පත්වී තිබුනි. ඒ අනුව රාජපක්ෂ යටතේ ශ‍්‍රීලනිපය වූ කලී රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ඔහු අනුගමනය කල සාර්ව ප‍්‍රවේශයේ ක්ෂුද්‍ර ප‍්‍රතිබිම්බයක් සේ විය.

දැන් ශ‍්‍රීලනිපයේ සභාපති ලෙස මෛත‍්‍රීපාල කටයුතු කරමින් සිටින්නේ කෙසේද? ශී‍්‍රලනිප බහුතර සාමාජිකත්වයේ කැමැත්තට පිටින් ඔහු එම පක්ෂය හයිජැක් කොට තිබේ යන්න පැහැදිලිය. මෙම හයිජැක්කරනය ප‍්‍රකටව පෙනී ගියේ මෙවර මහ මැතිවරනයෙන් ශ‍්‍රීලනිපය ලබාගත් මන්ත‍්‍රීධූරවලට අදාල ජාතික ලැයිස්තුව පත්කිරීමේ දීය. මහජනයා විසින් ප‍්‍රතික්ෂේප කල, එහෙත් තමාට හිතවත් එස්.බී. දිසානායක, විජයමුනි සොයිසා ආදීන් ඔහු ජාතික ලැයිස්තුවේ මාර්ගයෙන් පාර්ලිමේන්තුවට ඇතුලත් කර ගත්තේය. දැන් එම පක්ෂයේ සාමාජිකත්වයේ කැමැත්තට පිටින් යමින් ජාතික ආන්ඩුවකට එම පක්ෂය බලහත්කාරයෙන් ඇතුලු කරවීම සඳහා ඔහු ක‍්‍රියාමාර්ග තෝරමින් සිටී.

යමෙක් මෙහිදී මෙසේ ඇසීමට පුලූවන. ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම්වලට පටහැනිව වුව මෛත‍්‍රීපාල මේ කරන දේ හොඳ දෙයක් නොවේද? ඔහු මේ කරන්නේ මහත් ප‍්‍රතිගාමී උග‍්‍ර ජාතිවාදී අක්ෂයක් සමාජයට යෝජනා කරන රාජපක්ෂවාදය දුර්වල කිරීම නොවේද?

මෙහිදී අපි දේශපාලනය සම්බන්ධ මූලික ආචාර ධාර්මික ප‍්‍රශ්නයක් වෙත එලැඹෙමු. ‘යහපත්’ යැයි යමෙක් සිතන අරමුනු ඉෂ්ට කරගැනීම වෙනුවෙන් ‘යහපත් නොවූ ’ ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීම සාධාරනීකරනය කල හැකිද? එනම් අන්තය විසින් එනයින්ම ක‍්‍රියාමාර්ගය සාධාරනීකරනය කරනු ලබයි ද?

මෙය දේශපාලන ඉතිහාසයේ ඇති තරම් වාද විවාදවලට ලක්වූ ප‍්‍රශ්නයකි. ‘යහපත් ’ යැයි කියන අරමුනු වෙනුවෙන් එම යහපත් අරමුනුවලට සපුරා පටහැනි විවිධ ක‍්‍රමෝපායන් පාවිච්චි කිරීම ඉතිහාසය තුල ඇති තරම් සිදුවී ඇත. 1917 දී විප්ලවයක් මගින් බලයට ආ රුසියානු බොල්ෂෙවික් පක්ෂය එම විප්ලවයට පසුව පැවැත්වූ මැතිවරනයකින් පිහිටුවනු ලැබූ ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හැරියේය. ඒ එම ව්‍යවස්ථාදායක සභාවේ බහුතර බලය සෝවියට් ක‍්‍රමයට විරුද්ධ සමාජවාදී විප්ලවවාදී පක්ෂය විසින් දිනාගත් නිසාය.

මෙම ක‍්‍රියාමාර්ගය එවකට විප්ලවයේ සතුරන් අතින් පමනක් නොව විප්ලවයට සපුරා  මිතුරු ආස්ථානයක් ගත් රෝසා ලක්සම්බර්ග් වැනි වාමාංශිකයින් අතින්ද විවේචනයට ලක්විය. ඇත්තටම බොල්ෂෙවික් පක්ෂය එම ක‍්‍රියාමාර්ගය ගත්තේ විප්ලවයේ ආරක්ෂාව උදෙසාය. එනම් ඔවුන් ‘යහපත් අරමුනක් ’ මත ක‍්‍රියා කලෝය. බලය ගන්නා විට තනි පක්ෂයක් ආධිපත්‍යය දරන දේශපාලන ක‍්‍රමයක් රුසියාවේ පිහිටුවීමට බොල්ෂෙවික්වරු කිසිවිටෙකත් නොසිතූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ සෝවියට් සභා මත පදනම් වූ නව පන්නයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගොඩනැගීමයි. මෙන්ෂෙවික්වරුන් ඇතුලූ සෙසු කම්කරු පක්ෂ එම සෝවියට් සභා තුල වැඩ කරන සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රයක් ඔවුහු අපේක්ෂා කලහ. එහෙත් බොල්ෂෙවික්වරුන්ට විරුද්ධ ආස්ථානයක සිට මෙන්ෂෙවික්වරුන් ඇතුලූ විරුද්ධ පාක්ෂික කොටස් ක‍්‍රියා කල නිසා එම පක්ෂ තහනම් කිරීමට බොල්ෂෙවික් පක්ෂය යොමුවිය. මෙතැන දීද ඔවුන් ක‍්‍රියාත්මක වූයේ ‘යහපත් අරමුනක්’ මතය.

එනම් ‘සෝවියට් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීම’ සඳහා එම සෝවියට් ප‍්‍රජාතන්ත‍්‍රවාදයටම පටහැනි ක‍්‍රියාමාර්ග වෙත යොමු වීමට බොල්ෂෙවික් පක්ෂයට සිදුවිය. මෙබඳු ක‍්‍රියාමාර්ග රාශියක අවසාන ප‍්‍රතිඵලය වූයේ විසම්මුතිය අත් හිටවූ සමස්තතාවාදී සමාජයක් බවට ක‍්‍රමානුකූලව රුසියාව පරිවර්තනය වීමයි. එය ලෙනින් හෝ ට්‍රොට්ස්කි බඳු විප්ලවයේ මුල්කාලීන නායකයින් සිහිනෙනුදු අපේක්ෂා කල තත්වයක් නොවේ. එහෙත් යම් පරමාදර්ශයක් ලගාකරගැනීම සඳහා එම පරමාදර්ශයට පටහැනි ක‍්‍රියාමාර්ග ගැනීම කෙලවර වූයේ ලගා කරගැනීමට අපේක්ෂා කල පරමාදර්ශය තවත් දුරස් වීමෙනි.

ශ‍්‍රීලනිපය තුල මෛත‍්‍රීපාල ක‍්‍රියාකරන විදිහ හා බොල්ෂෙවික් විප්ලවය සමපාත කිරීමට මාගේ පරමාර්ථය නොවේ. එහෙත් මෛත‍්‍රීපාලගේ හැසිරීම විසින් මතු කරන දේශපාලන-ආචාරධාර්මික ප‍්‍රශ්නය බැරෑරුම් ලෙස සාකච්ඡාවට ලක්විය යුත්තකි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය / සමාජවාදය ආදිය හුදු බලය ලබාගැනීම සඳහා තිබෙන උපකරන පමනද? එසේ නැතිනම් ඒවා යම් කිසි වටිනාකම් සමූහයක් අන්තර්ගත කරගත් පරමාදර්ශයන්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීමට යැයි කියා සපුරා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ග අනුගමනය කල හැකිද?

එක්සත් ජනපද ආන්ඩුව අදත් ඇෆ්ඝනිස්ථානයේ හා පකිස්ථානයේ දුර්ග මතට ඩ්‍රෝන් ප‍්‍රහාර අත් හරිමින් සමූහ වශයෙන් කුඩා ලමුන් ද ඇතුලත් මිනිසුන් ඝාතනය කරමින් සිටින්නේ ඒ රටවල ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීමටය’. එඞ්වඞ් ස්නෝව්ඩන් හෙලිදරවු කල ආකාරයට පුරවැසියන්ගේ අතිශය පෞද්ගලික තොරතුරු පවා අධීක්ෂනය කරන දැවැන්ත චර පුරුෂ ජාලයක් එරට රජය විසින් නඩත්තු කරමින් සිටින්නේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඇමරිකාව’ බාහිර සතුරන්ගෙන් ආරක්ෂා කරනු පිනිසය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා උල්ලංඝනය කෙරෙන්නේ ප‍්‍රජාතාන්ත‍්‍රීය වටිනාකම්ය. ප‍්‍රජාතාන්ත‍්‍රීය වටිනාකම් උල්ලංඝනය කරන පලමු මොහොතේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුරස් වේ. එබඳු ක‍්‍රියාමාර්ගයක් තුලින් සිදුවන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති වීම නොව එය වඩාත් දුරස්ථ යථාර්ථයක් ලෙස ඉවතට විසිවී යෑමය.

අවශ්‍ය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය / සමාජවාදය විසින් යෝජිත වටිනාකම් ජයග‍්‍රහනය කරවීම සඳහා වූ සම්මුති විරහිත අරගලයකි. මේ අරගලයේ දී එකී වටිනාකම් උල්ලංඝනය කිරීම කවර තත්වයක් යටතේ හෝ සාධාරනීකරනය කල නොහැක. කෙතරම් අසීරු වුව, කෙතරම් දුෂ්කර වුව මෙම ආස්ථානය මත තරයේ නොපිහිටන්නේ නම් අප අපේක්ෂා කරන යහපත් ප‍්‍රතිඵලය ඇති කරගැනීම කිසිවිටෙක සැබෑවක් බවට පත් වන්නේ නැත.

1 comment:

  1. ප්‍රජාතන්ත්‍රවාදය නමැති මර උගුලේ සිරවූ විට කෙලවෙන කෙලවිල්ල පේනව නොවැ.....ඔය ප්‍රජාතන්ත්‍රවාදී කියල පෙන්නන උන් බොහොමයක් අමුම අමු ඒකාධිපතියෝ.......එකාධිපතියන්ගෙ ඒකාධිපතිත්වය අගේට පේනව. ඒත් ප්‍රජාතන්ත්‍රවාදී කඩතුරාවෙන් වහගත්තම කරන දේ පේන්න ටිකක් කල් යනව. එතකොට පෙරහැර ගිහිං.....

    ReplyDelete