Thursday, August 13, 2015

ඒ විසල් ඝන්ටාර නාදය



ලංකාවේ නාගරික මධ්‍යම පංතියට හුරුබුහුටි සුරතලෙක් මුන ගැසී තිබේ. මහාචාර්යවරුන්ගේ සිට නීතිඥවරුන් දක්වා, ව්‍යාපාරිකයන්ගේ සිට ‘සමාජ ජාල ක‍්‍රියාකාරීන් ’ දක්වා නොසිතූ විරූ පරාසයක පිරිසක් ජනතා විමුක්ති පෙරමුනට ඡන්දය දෙන්න යැයි ඉල්ලා පෙරට පැමින තිබේ.  මීට වසර කිහිපයකට පෙර, ජවිපෙට ඡන්දය දෙන්න යැයි ඉල්ලා සිටියහොත්, නිසැකවම උපහාසයෙන් සිනාවනු ඇති බොහෝ අය මෙවර තමුන් ජවිපෙට ඡන්දය දෙන බව ප‍්‍රකාශ කරති. නගරබද මධ්‍යම පංතික තීරු අතර පෙර නුවූ විරූ ජනප‍්‍රියත්වයක් මේ වනවිට ජවිපෙ වෙත ලැබී තිබෙන බව ඉතාමත් පැහැදිලිය.

ඒ විසල් ජවිපෙ පේ‍්‍රමය කුමක්ද?

‘ජවිපෙ බලවත් කල යුත්තේ ඇයි?’ යන්නට ප‍්‍රකටව ලැබෙන පිලිතුර වන්නේ ‘පාර්ලිමේන්තුව තුල ශක්තිමත් විපක්ෂයක භූමිකාව’ ජවිපෙ විසින් ඉටු කරනු ඇති බවයි. පත්වන ආන්ඩුව කුමක් වූවත් එහි සොරකම් ඇල්ලීමට ජවිපෙට පුලුවන්. ඒ අනුව නාගරික මධ්‍යම පංතිය විසින් ජවිපෙට පවරන්නට සූදානම් වන්නේ සොරකම් ඇල්ලීමේ භූමිකාවය. ජවිපෙ විපක්ෂයට සුදුසු බව පුන පුනා කීමේ විලෝමය කුමක්ද? ජවිපෙ ආන්ඩු බලයට නුසුදුසු බවයි.

මේ කරුන ඉතා කදිමට ප‍්‍රකාශ වී තිබුනේ සිනමා විචාරක චින්තන ධර්මදාස වෙතිනි. ඔහු මධ්‍යම පංතික රැඩිකල්වාදීන් සමූහයකගෙන් සමන්විත ‘අලූත් පරපුර’ සංවිධානය විසින් ජවිපෙට සහයෝගය දීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවට ද වාඩි වූවෙකි. මිල්ටන් ෆ‍්‍රීඞ්මාන් පන්නයේ ධනවාදයක් ලංකාවට අවශ්‍ය බවත්, ඊට ලංවිය හැකි තැනෙක සිටින්නේ එජාපය බවත් චින්තන තම බ්ලොග් අඩවියේ ලියා තිබුනේය. ෆ‍්‍රීඞ්මාන් පන්නයේ ධනවාදයක් පතන නාගරික මධ්‍යම පංතිකයාගේ ආශාව ජවිපෙ බඳු විපක්ෂයකි.

මෙහෙම චින්තන පරිවර්තනයක් නාගරික මධ්‍යම පංතික තීරු තුල හදිසියේ ඇති වී තිබෙන්නේ ඇයි? නාගරික කම්කරුවන් අතර කිසිදු පදනමක් ඉතිහාසයේ කිසිම දිනෙක නොවූ ජවිපෙ ඓතිහාසිකව පැන නැංගේ ග‍්‍රාමීය පහල පාංතික ජනයාගේ රැඩිකල් ව්‍යාපාරයක් වශයෙනි. ශ‍්‍රීලනිපය විසින් සාම්ප‍්‍රදායිකව නියෝජනය කල සිංහල ග‍්‍රාමීය ජනතාවාදයේ රැඩිකල් වාමාංශික රූපාකාරය ජවිපෙය.

මෙම ග‍්‍රාමීය නිර්ප‍්‍රභූ ව්‍යාපාරය ගැන ප‍්‍රසාදයක් ඉතිහාසයේ කවදාවත්  නාගරික මධ්‍යම පංතිය තුල පැවැතියේ නැත. ලංකාවේ විශ්ව විද්‍යාල වූ කලී නාගරික මධ්‍යම පංතිය සහ ජවිපෙ විසින් නියෝජනය කල දේශපාලනය අතර ප‍්‍රතිවිරෝධය මූර්තිමත් වන්නාවූ අවකාශයකි. ජවිපෙ විසින් මෙහෙයවනු ලැබෙන ශිෂ්‍ය සංගම්වලට සම්බන්ධ වන්නේ සරසවිවලට එන ගම්බද තරුන තරුනියන්ය. මෙම තරුන කොටස් අතින් නවකවදයට ලක්වීමට අකමැති නාගරික මධ්‍යම පංතික පවුල්වලින් එන තරුන තරුනියන් නවක වධ විරෝධී කුඩා කන්ඩායම් ලෙස විශ්ව විද්‍යාලවල පොදු ජීවිතයෙන් බැහැර වී සිටිති. සාමාන්‍යයෙන් මෙම නාගරික මධ්‍යම පංතිකයන්ට රැවුල් වවාගත්, රබර් සෙරෙප්පු දමාගත්, දාඩිය ගඳ ගහගෙන ඉන්න ‘ජෙප්පන්’ පෙන්නන්නට බැරිය. ජෙප්පන් ඔවුන්ට ‘ස්මාට්’ නැත.

එහෙත් දැන් සිදුවී ඇත්තේ කුමක්ද? දාඩිය ගඳ ගසන මූසල ජෙප්පන් සහ ස්මාට් මධ්‍යම පංතිකයන් අතර එක්වරම මේ ඇති වී තිබෙන සහවාසය කුමක්ද? නිර්ප‍්‍රභූ ව්‍යාපාරයක් පාර්ලිමේන්තුව තුල බලවත් විය යුතු යැයි කියන තරමට නාගරික මධ්‍යම  පංතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී වී තිබේද?

ඇත්තටම සිදුවී තිබෙන්නේ නාගරික මැද පංතියේ පරිකල්පනයට ගැලපෙන ලෙස ජවිපෙ තමාව කප්පාදු කරගැනීමය. එනම් ස්මාට් වීමය. මෙම ස්මාට්කරනයේ සංකේතය වූ කලී ‘අප පිනිසා එන මිනිසා’ නමින් එම පක්ෂය මුද්‍රනය කොට ඇති ප‍්‍රචාරක පෝස්ටරයයි. මේ පෝස්ටර්වල ජවිපෙ ඡන්ද අපේක්ෂකයෝ පිලිවෙලට ආචාරශීලීව දෑත් පහලට කොට බැඳගෙන, සිනාමුසු මුහුනින් වැදගත් ලෙස පෙනී සිටිති. මෙම පෝස්ටර් වෙලද දැන්වීම් සමාගමක් විසින් නිර්මානය කරන ලද්දක් බව මුල් බැල්මටම පෙනේ. වෙලද දැන්වීම් ආයතනයේ කැමරාකරුගේ බැල්මට අනුව ජවිපෙ සාමාජිකයින් පිලිවෙලකට පෙල ගැසී සිටින ආකාරය ජවිපෙ විෂයෙහි සිදුවන ස්මාට්කරනය සම්බන්ධ රමනීය රූපකයක් නොවන්නේද?

ප‍්‍රශ්නය මෙයයි. මෙම ස්මාට්කරනයේ ‘මිල’ කවරේද? ආර්ථික ප‍්‍රතිපත්ති පිලිබද සිදුකල අදහස් දැක්වීමක දී ඉතාම මෑතක ජවිපෙ නායක අනුර දිසානායක ස්වකීය මෘදු හඩින් අවධාරනාත්මකව පැවැසූයේ ‘සරදියෙල් පන්නයේ ආර්ථිකයකට’ ජවිපෙ ගමන් නොකරන බවයි. සරදියෙල් පන්නයේ ආර්ථිකය යනු කිම? ඇති එකාගෙන් ගෙන නැති එකාට බෙදාදෙන ආර්ථිකයකි. අතිශය චාම් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සුබසාධක රාජ්‍යය වුව එක්තරා විධිහක සරදියෙල් පන්නයේ ආර්ථිකයකි. එනම් ධනවතුන් මත බදු ගසා ඒ බදු ආදායමෙන් පහල පාංතිකයින් වෙත සුබසාධන සපයන ආර්ථිකයකි. ජවිපෙ ප‍්‍රතිඥා දී සිටින්නේ වියට්නාමයට හා වෙනත් අඩු මිලට ශ‍්‍රමය විකුනන රටවලට ගලා යන ගෝලීය ප‍්‍රාග්ධනය ලංකාවට ගෙන ඒමටය. එසේ නැතිව ප‍්‍රාග්ධනය විසින් සූරාකෑමට ලක්වන ශ‍්‍රමිකයන්ගේ පීඩනය සංවිධානය කිරීම සඳහා නොවේ. සිංහල ග‍්‍රාමීය ජනතාවාදයේ අතිශය රැඩිකල් රූපාකාරය ගෝලීය ධනවාදය සමග පෑහීමකට ගොස් තිබෙන්නේ එලෙසය.

ජවිපෙ නව ලිබරල් පද්ධතිය සමග වේගවත් සම්මුතියක් දිශාවට ගමන් කරමින් සිටින බව පැහැදිලිය. සමාජ සාධාරනත්වය හා නිර්ප‍්‍රභූ ජනකොටස්වල ඉල්ලීම් පිලිබඳ සටන් පාඨ වෙනුවට නාගරික මධ්‍යම පංතියට එකඟ විය හැකි වංචා දූෂන පිලිබඳ සටන් පාඨවලට සීමා වී ගැනීමෙන් පරාවර්තනය වන්නේ එකී සම්මුතියේ ප‍්‍රබලත්වයයි. සමහරවිට ජවිපෙ කේඩරය සිතනවා ඇත්තේ තමන්ට උවමනා විදිහට නාගරික මැද පංතිය පාවිච්චි වෙමින් තිබෙන බවයි. එහෙත් ඇත්තටම සිදුවී තිබෙන්නේ නාගරික මැද පංතියට උවමනා විදිහට ජවිපෙ වෙනස් වෙමින් තිබීමය. මෙය වාමාංශික රැඩිකල් පක්ෂයක සිට නව ලිබරල් කතිකාවේ මූලධර්ම සමග නොගැටෙන සම්මුතිකාමී පක්ෂයක් දක්වා වූ විතැන් වීමකි.

කෙසේ වුවද සිත්ගන්නා සුලු එක් නිරීක්ෂනයක් අවසන් වශයෙන් සටහන් කල යුතුය. දන්නා සියලු ශිල්ප යොදා කෙතරම් ස්මාට් වූවත් නාගරික මැද පංතිය ජවිපෙට දීමට සූදානම් විපක්ෂය මිස ආන්ඩු බලය නොවේ. මෙය බෙහෙවින් වැදගත් කරුනකි. ජවිපෙ නිර්ප්‍රභූ මූලයක් සහිත නායක කාරකාදීන් කෙතරම් ස්මාට් ලෙස පෙනී සිටින්නට දැගලුවත් වලවුව මුර කරන රාජකාරිය මිස වලවුවේ අයිතිය ඔවුන්ට දීමට නාගරික මධ්‍යම පංතියේ නෝනාවරු සහ මහත්වරු සූදානම් නැත. එනම් ජවිපෙ උපරිම වෙනසටත් ඉහලින් ඔවුන්ගේ පංති මානය පිහිටා තිබේ.

10 comments:

  1. Jvp is receiving dollars from U.S. embassy in Colombo ! In the name of socialism, they sacrifice their honesty to U.S. embassy . Wikileleaks has revealed it very recently!

    ReplyDelete
  2. ජවිපේ ඝන්ටාර නාදයක් නෙමෙයි

    අලියගෙ බෙල්ලෙ බැදපු සීනු නාදෙ...

    කුට්ට් ලැබෙනකොට් ස්මාට් වෙන්න ඕනෑ අපි නෙමෙයි සෝමවංස සහෝදර ආත තමයි එහෙම කියන්නෙ

    ධනපති පන්තිය භංග නොවේවා....!

    ReplyDelete
  3. ජවිපෙ මේ පාර දිනන්නේ තනියමය..... විපක්ෂයක් දෙන්න කැමති ජනතාවක් ඉන්නවානම් තවත් ටිකක් පරිස්සම් වෙන්න.... මොකද හැමවෙලාවෙම ඊළග අාන්ඩුව වෙන්නේ විපක්ෂය තමයි..... කුල මල අැදලා ගන්න කලින් මේ ගැනත් ටිකක් හිතන්න... කොහොමත් ඒජාප අාණ්ඩුව තිබ්බ ඒකට හපං වෙයි කියලා මිනිස්සු දන්නවා... ඒකයි අාණ්ඩුවක් හදන්න කලින් ඒක බය කරන ක්‍රමයක් ගැන ජනතාව හිතන්නේ...... වෙන කිසිම කාලයක ජනතාව මෙහෙම අාරක්ෂක ක්‍රම ගැන හිතුවේ නැහැ...... ජවිපෙ මේ පාර ගන්න බලය අනුව ලංකාවේ දේශපාලනයේ ගොඩක් දේවල් වෙනස් වේවි...

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඒජාප අාණ්ඩුව තිබ්බ ඒකට හපං වෙයි කියලා මිනිස්සු දන්නවා... ඒකයි අාණ්ඩුවක් හදන්න කලින් ඒක බය කරන ක්‍රමයක් ගැන ජනතාව හිතන්නේ//
      කතාව ඇත්තම ඇත්ත .එජාපය ගැන ජනතාවගේ අවිඥානයෙ තියන අදහස තමයි ඒ.

      Delete
  4. "අපි ජනතා විමුක්ති පෙරමුනෙන් අපට වෙළද දැන්වීමක් හදාගන්න ඕන . ඒ ගැන කතා කරගන ඇපොයින්ට්මන්ට් එකක් දාගන්න පුළුවන්ද?"

    මේ විදියට 1994 දි විතර කෝල් එක දුන්නනම් ඒ ආයතනයෙ අය බිරන්තට්ටු වෙනව තුන්ඩු කෑල්ලක්වත්ද කියල.
    නාගරික මැද පැන්තියට ගැලපෙන ජවිපෙ වෙනස හොදයි.

    ReplyDelete
    Replies
    1. මෑත කාලීන ලංකාවේ දේශපාලනික විඥානය ප්‍රදර්ශනය වුණ මාධ්‍යක් තමයි බ්ලොග්..... ඒක බුකිය වගේ සිල්ලරට දේවල් කතා වෙන තැනක් නෙමෙයි.... බුද්ධිමත් වේදිකාවක්.. මේ තුළ ගොඩනැගෙන්නා වූ සංවාදයන් සමාජයේ හරස්කඩක්.... ඒක තමයි බ්ලොග් වේදිකාවේ ලක්ෂණය.... මේ පෙන්නන ජවිපෙ රැල්ලත් ඒහෙම ඒකක්..... ඒ නිසා මේ වෙනස ඡන්දෙදි මනාවට දකින්නට හැකි වේවි....... කවුරු මොනවා කිව්වත් ලංකාව දැන් දේශපාලනික ව හරි මගක යනවා..... ඡන්දහිමියා දේශපාලනික විඥානයක් අැති සත්වයෙක් වේගන ඒනවා... ඒ නිසා දැන් අර පරණ දේශපාලනය කරපු අෑයෝ ඒක දැනගත යුතුයි

      Delete
    2. දේශපාලනික විඥානය බ්ලොග් වල ? පිස්සුද ? අර මාතලන් වගේ නුගත් මෝඩයෝ නේ බ්ලොග් වල දේශපාලනේ කතාකරන්න ගිහින් නාගන්නේ!!! දැන් රට විවුර්තයි. ඕනෙම කෙනෙකුට දේශපාලනේ කතා කරන්න පුළුවන් මහින්දගේ කාලේ වගේ සුදු වෑන් එන්නේ නෑ. තවදුරටත් ෆේස්බුක් බ්ලොග් වගේ සෝෂල් මීඩියා වලින් කරන දේශපාලනේ වලංගු නෑ. ජනාධිපතිවරනේදී ෆේස්බුක් එකේ බලය පෙනුනේ වෙන මාධ්‍ය නොතිබුන නිසා. රට වෙනස් කරන්න තිවුන කතිකාව ෆේස්බුක් ඔස්ස්සේ ගියේ අනික් මාධ්‍ය වහල රැස්වීමක්වත් තියන්න නොදුන් නිසා. එකෙන් සමහර ඇය වැරදි අවබෝධයක් ගත්ත ෆේස්බුක් වගේ සෝෂල් මීඩියා වලින් ආණ්ඩු පෙරන්න පුළුවන් කියල!!! දැන් රට විවුර්තයි ෆේස්බුක් සහ බ්ලොග් දේශපාලනේ කාලේ ඉවරයි.

      Delete
  5. අප කාටත් 'මිලක්' තිබෙනවා. ඔබ කියන්නේ ඒ මිල නැත්තේ කාට කියාද? ඔවුන් ඉල්ලන්නේ විපක්ෂය. ඒකෙන් ගම්‍ය වන අදහසට වෙන් වෙන් වශයෙන් අර්ථකතන දෙන්න පුළුවන්. ඔබ එහෙම අර්ථකතනයක් දෙනකොට තවත් කෙනෙකුට කියන්නට පුළුවන් , කුමන ආණ්ඩුවක් ආවත් එය මෙල්ල කරගන්නට අවශ්‍ය ශක්තිය සහ දැක්ම තිබෙන්නේ ජේ .වී. පි එකටයි, ඒ නිසා ඔවුන් විපක්ෂයට සුදුසුයි කියලයි. කලින් හැම වතාවකදීම දැනට ඉන්න ප්‍රධාන පක්ෂ දෙකම බලය ලැබුණු පසුව දැලි පිහිය ගත්ත හනුමන්තා සේ හැසිරුනා. ඒ තමයි අපේ දේශපාලන අතීතය. විපක්ෂය ශක්තිමත් නොවන හැම කාලෙකදිම උනේ රට බල්ලට ගියපු එක. ඒ තමයි අපේ මෑත දේශපාලන අතීතය. දැන් ඉන්න ප්‍රධාන පක්ෂ දෙකට අමතරව විපක්ෂයක් විදියට විස්වාස කරන්නට යමක් තියෙන්නේ කාටද?

    ඔබ නිකමට හිතලා බලන්න, වටිනාම තැනක ආරක්ෂකයා විදියට ගන්නේ ස්වාමියාට වඩාත්ම විස්වාසවන්ත එකා නෙවෙයිද? අස්සයා මිලියන ගණනක් වටිනවා නම්, ඉස්තාලයේ මුරකරුවා නේද වැඩියෙන්ම වගකීම දරන්නේ?

    මම නිරීක්ෂණය කරන දේවල් මිසක් , කාගේවත් කීමකට දෙයක් විස්වාස කරන්නේ නැහැ. මේ දේශපාලනික ප්‍රවාහය තිබෙන්නේ යහපත් පැත්තට. නමුත් කෙස් ගහෙන් මිස් වෙන්නත් ඉඩ තියෙනවා. එදාට අපිට මොකට චන්ද අයිතිය ලැබුනද කියල සුසුම්ලන්න සිද්ද වෙන්නත් ඉඩ තියෙනවා.

    වැඩි බලයක් ලැබුණු විට, වැඩි යමක් කලොත්.... JVP ගොඩ. කොහොමත් කවදාවත් වාහනයක් පදවපු නැති කෙනෙක්ගේ තමයි පිරිසිඳුම රියදුරු බලපත්‍රය තියෙන්නෙත්.. අවස්තාව නොදී අපි කොහොමද කියන්නේ කරන්න බැහැ කියල. පුහුණු සේවකයන්ම ගන්න හිතන් ඉන්නවා නම්, කවුද නුපුහුණු සේවයකින්ට අවස්තාව දෙන්නේ?

    මැටි කතා කියල ප්‍රබුද්ධ කතාව චොර කළා නම් සමාවෙන්න

    ReplyDelete
  6. ජ.වි.පෙ. හෘද(ය) සාක්ෂියේ කතිර කතා

    http://nokieekatha.blogspot.com/2015/08/blog-post_13.html

    ReplyDelete
  7. විජේවීරව නිදහස් කරලා ජේආර් බලාපොරොත්තු වුන දේ වෙන්න අවුරුදු 37ක් ගිහින් තියෙනවා.

    ReplyDelete