Saturday, August 1, 2015

විජිත හේරත් සහ නොනවතින විප්ලවය

දෙමල ජාතික සන්ධානය ස්වකීය මැතිවරන ප‍්‍රකාශනය මගින් බලය බෙදීමේ දේශපාලන විසඳුමක අවශ්‍යතාව අවධාරනය කොට තිබේ. කලාපීය ස්වයං පාලනය සඳහා වූ මෙකී ඉල්ලීම සම්බන්ධව ප‍්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුනේ විජිත හේරත් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කොට තිබුනේ මෙම ඉල්ලීමට ජවිපෙ විරුද්ධ බවයි. ෆෙඩරල් ක‍්‍රමයක් ඇති කිරීම ‘රට බෙදීමේ දිශාවට යාමක් ’ බව ඔහු ‘දිවයින’ පුවත්පතට ප‍්‍රකාශ කොට තිබුනේය.

‘නිම නොවූ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් සමාජවාදී විප්ලවය විසින් පවරා ගත යුතුය’ යන්න ජවිපෙ න්‍යායික ස්ථාවරයකි. ඔවුන්ගේ පක්ෂ වැඩපිලිවෙල තුල මෙම ස්ථාවරය සටහන් වී තිබේ. පක්ෂ වැඩපිලිවෙලේ ලියැවී තිබුනත් මෙම වාක්‍යයෙන් කියැවෙන්නේ කුමක්දැයි ජවිපෙ සාමාජිකත්වය බැරෑරුම්ව කල්පනා කොට තිබේදැයි සැක සහිතය. මෙම උද්ධෘතය ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය තුල එන්නකි. පසුගාමී ධනේශ්වර සංවර්ධනයක් තිබෙන රටවල විප්ලවයේ ස්වරූපය ගැන ලියමින් ට්‍රොට්ස්කි මෙම සංකල්පනය වර්ධනය කලේය. අඩු දියුනු ධනවාදී රටවල තිබූ ප‍්‍රශ්නයක් වූයේ සංවර්ධිත ධනවාදී රටවල යම් මට්ටමකින් සාක්ෂාත් කොටගෙන තිබූ ප‍්‍රජාතාන්ත‍්‍රීය ජයග‍්‍රහන නොදියුනු ධනවාදී රටවල ප‍්‍රමානවත්ව ඉටු වී නොතිබීමය.

ට්‍රොට්ස්කිගේ යෝජනාව වූයේ මෙබඳු පසුගාමී රටවල ධනපති පංතිය කෙතරම් දුර්වල ද යත් බටහිර යුරෝපයේ රටවල ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවවලින් ඉටු කල කාර්යයන් හෝ ඉටු කිරීමට ඔවුන් අසමත් බවයි. ඒ අනුව එම කාර්යයන් සාක්ෂාත් කරගැනීම කම්කරු පංතිය තමා වෙත පවරා ගත යුතු බවයි. කම්කරු පංතිය එලෙස එම කර්තව්‍යයන් තමා වෙත පවරා ගනිමින් පටන් ගන්නා විප්ලවය ප‍්‍රජාතාන්ත‍්‍රීය ඉල්ලීම්වලට සීමා නොවී සමාජවාදී ඉල්ලීම් දක්වා නොනැවතී ගමන් කල යුතු බව නොනවතින විප්ලව න්‍යායේ අදහසකි.

ට්‍රොට්ස්කි මේ අදහස සංකල්පගත කලේ සියවසකටත් ඉහතදීය. විසි එක් වන සියවසේ ඌන සංවර්ධිත ධනේශ්වර සමාජයක් වන ලංකාවේ සිට දේශපාලනය කියවන අපට මේ සංකල්පනයේ තිබෙන අදාලත්වය කුමක්ද? ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු මට්ටමකින් ධනේශ්වරකරනය වී තිබුනත් එනයින්ම සමාජ - දේශපාලන තලයන් තුල ප‍්‍රජාතාන්ත‍්‍රීය පෙරලියක් ඇති වී නැත. නූතන පුරවැසියෙක් බිහිවී නොතිබීම, සුලූතර ජාතික කොටස්වල ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම්, කාන්තා නිදහස, මහජන නියෝජිත ආයතන පිලිබද දුර්වල අදහස, රාජ්‍යය ලෞකිකකරනය කිරීම ආදී ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනයක් ඇති විය යුතු පුලුල් කලාපයක් පවතී.

මෙම කර්තව්‍යයන් ඉටු කිරීමට යාමේ දී සමාජයේ ඇටුවම් බැස තිබෙන පසුගාමී ආකල්ප හා සංස්ථාවන් සමග හැප්පීමට සිදුවේ. එම නිසා මෙබඳු පරිවර්තනයක් ඇතිකිරීම සඳහා දැඩි දේශපාලන අධිෂ්ඨානයක් අවශ්‍යයය. 1956 දී සිංහල පමනක් රාජ්‍ය භාෂාව කිරීම පිලිබද ප‍්‍රශ්නය මතු වූ විට එන්.එම්.පෙරේරා කීවේ මෙම යෝජනාවට විරුද්ධ වීම නිසා තමාට යම් කලෙකට දේශපාලන වැලිකතරට යාමට වුව සිදුවනු ඇති බවත් එහෙත් ජාතීන්ගේ සමානත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඊට පවා තමා සූදානම් බවත්ය. මහජාතිවාදය මහෝඝයක් මෙන් නැගී එන පසුබිමක සමසමාජ පක්ෂය ඉසිලූ මෙම අධිෂ්ඨානශීලී ආස්ථානය ලංකා දේශපාලන ඉතිහාසයේ කීර්තිමත් ස්මරනයකි. සමාජයේ ගැඹුරු ප‍්‍රජාතාන්ත‍්‍රීය පරිවර්තනයක් සඳහා මෙන්න මේ විදිහේ බලවත් දේශපාලන අධිෂ්ඨානයක් ඇවැසිය.  

ලංකාවේ සාම්ප‍්‍රදායික ප‍්‍රභූ පක්ෂ තුල එබඳු දේශපාලන අධිෂ්ඨානයක් හෝ විභවයක් නොපවතී. තතු එසේ නම් මෙම ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලයේ වගකීම පවරා ගත යුතුව තිබෙන්නේ වාමාංශයයයි. ලංකාවේ දේශපාලන ඉතිහාසය තුල ඇත්තටම සිදුවූයේ ද එයයි. ලංකාවේ සර්වජන ඡන්ද බලය, ජාතික ස්වාධීනත්වය ආදිය වෙනුවෙන් සටන් කලේ සමසමාජ පක්ෂය මිස සාම්ප‍්‍රදායික ප‍්‍රභූ පංතිය නොවේ. ජාතීන්ගේ සමානත්මතාවය වෙනුවෙන් සමසමාජ පක්ෂය ස්වකීය මුල්කාලීන ඉතිහාසය තුල කීර්තිමත් අරගලයක් කල අතර කුල පීඩනයට එරෙහිව ද එබඳු ආස්ථානයක් එම පක්ෂය ගත්තේය. සමසමාජ පක්ෂයේ එකම සටන වූයේ කම්කරු පංතියට රාජ්‍ය බලය ලබාගැනීමේ සටන නොවේ. එම සමාජවාදී ඉල්ලීම සමග ප‍්‍රජාතාන්ත‍්‍රීය ඉල්ලීම් පුරුද්දන ලදී.

‘ධනේශ්වරය විසින් ඉටු නොකළ ප‍්‍රජාතාන්ත‍්‍රීය කර්තව්‍යයන් සමාජවාදී විප්ලවයේ කොටසකි’ යන්න බැරෑරුම්ව ගන්නේ නම් ඉන් අර්ථවත් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය රැඩිකල් වාමාංශය බරපතල ලෙස භාරගත යුතු අරගලයකි යන්නය. එනයින් පීඩනයෙන් නිදහස් වීමට සුලූතර ජාතික කොටස්වලට තිබෙන අයිතිය වෙනුවෙන්, කාන්තා නිදහස වෙනුවෙන්, ප‍්‍රජාතාන්ත‍්‍රීය සම්ප‍්‍රදායන් සමාජය තුල ශක්තිමත් කිරීම වෙනුවෙන්, රාජ්‍යය ලෞකිකකරනය කිරීම වෙනුවෙන්, එල්ජීබීටී ජනයාගේ අයිතීන් වෙනුවෙන් - පොදුවේ මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් වඩාත්ම පුරෝගාමීව අරගල කල යුත්තේ රැඩිකල් වාමාංශයයි. සමාජවාදී අරගලය යනු එම  සටන දේශපාලන-ආර්ථික තලය දක්වා දීර්ඝ කිරීමකි. ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලය සහ සමාජවාදය යනු, ඒ අනුව, අවධි දෙකක තිබෙන අවස්ථා දෙකක් නොව, එකම නොනවතින අරගලයක අඛන්ඩත්වයක් තුල පවතින්නකි.

ඒ අනුව පීඩිත දෙමල ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන් වෙනුවෙන් අන් කාටත් වඩා පුරෝගාමීව පෙනී සිටිය යුත්තේ රැඩිකල් වාමාංශයයි. ජාතික පීඩනයෙන් නිදහස්වීම සඳහා දෙමල ජනයාගේ පැත්තෙන් මතුවන අරගලය තුල ප‍්‍රජාතාන්ත‍්‍රීය සන්ධාරයක් ඇත. එම ඉල්ලීමේ ප‍්‍රජාතාන්ත‍්‍රීය සන්ධාරය වෙනුවෙන් පෙනී සිටීම රැඩිකල් වාමාංශයේ කාර්යයයි. එය සමාජයේ පොදු ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලයේ සංයුක්ත කොටසකි. ලංකාවේ සිංහල ධනපති පක්ෂ දෙක ඉතිහාසය තුල අඩු වැඩි වශයෙන් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් දැක්වූයේ මිත‍්‍රශීලී ආකල්පයක් නොවේ.  පීඩිත ජනතාවකගේ මූලික ප‍්‍රජාතාන්ත‍්‍රීය ඉල්ලීම්වලට පවා විරුද්ධ වන වාමාංශික පක්ෂයක් වේ නම් එයට උරුම විය යුත්තේ ඉතිහාසයේ කුනු කූඩය මිස අනෙකක් නොවේ.

8 comments:

  1. //එනයින් පීඩනයෙන් නිදහස් වීමට සුලූතර ජාතික කොටස්වලට තිබෙන අයිතිය වෙනුවෙන්, කාන්තා නිදහස වෙනුවෙන්, ප‍්‍රජාතාන්ත‍්‍රීය සම්ප‍්‍රදායන් සමාජය තුල ශක්තිමත් කිරීම වෙනුවෙන්, රාජ්‍යය ලෞකිකකරනය කිරීම වෙනුවෙන්, එල්ජීබීටී ජනයාගේ අයිතීන් වෙනුවෙන් - පොදුවේ මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් වඩාත්ම පුරෝගාමීව අරගල කල යුත්තේ රැඩිකල් වාමාංශයයි.

    මෙම ලැයිස්තුවේ මුලින්ම සඳහන් කරුණ ( සුලූතර ජාතික කොටස්වලට තිබෙන අයිතිය) හැර අනෙක් සියලුම කාරනා වලින් සිදුවන්නේ පුද්ගලවාදය (ඒකීය පුද්ගලයා කියන එකා) බලවත් වීමයි එයින් අවසානයේ සමාජවාදයට කෙලවීම සිදුවේ.

    ReplyDelete
  2. ධනවාදය මේ මොහොතේ එක් එක් පුද්ගලයා ඉලක්ක කරගෙන ක්‍රියාත්මකවෙයි. ගෝලීය ධනවාදයේ පවතින සියලු අර්බුද මැද , එයට මිනිසුන් ඇලී ගැලී ආශක්තව සිටී. එසේනම් ධනවාදයට මිනිසුන්ගේ ආත්මීය බැඳීම , එනම් මේ මොහොතේ ධනේශ්වර දෘශ්ටිවාදයට අනන්‍ය වූ මිනිසුන් වාමාංශික දේශපලනයක් ගොඩනගා ගැනීමට , එකී දෘශ්ටිවාදය විචාරය කිරීම අත්‍යවශය වේ.

    "ධනේශ්වරය විසින් ඉටු නොකළ ප‍්‍රජාතාන්ත‍්‍රීය කර්තව්‍යයන් සමාජවාදී විප්ලවයේ කොටසකි".

    ඇත්ත.

    "දෘශ්ටිවාදය විචාරය කිරීම"

    මේ යුගයේ සමාජවාදී විප්ලවයට එකතුවියයුතු අනිවාර්ය දේශපාලනයකි.

    ReplyDelete
  3. අනේ ඔය මොනවාදයක් වත් නැ කුට්ටි ලැබෙනවනං......අපි නෙමෙයි කියන්නෙ උන්ගෙ මහ සහෝදරයමයි

    ReplyDelete
  4. මොනවද දන්නවද මේ කියන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්
    දෙමළ ජනතාව වෙනම ජාතියක් ලෙස පිළිගැනීම
    ස්වයං තීරන අයිතිය
    වෙන්වීමේ අයිතිය

    ReplyDelete
  5. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර කැමැත්ත හරියට මේ වගේ
    https://www.facebook.com/JB.sex.change

    ReplyDelete
  6. විජිත හේරත් ගේ ඒ කතාවට මටත් පුදුම හිතුන. සමාජවාදී සමාජයක් නිර්මාණය වන්නේ ධනවාදී සමාජය තුලින්ම බවත් මෙහිද අවධාරණය කල යුතුයි.

    ReplyDelete
  7. Replies
    1. ස්තුතියි අජිත්. විජිතගේ කථාවට පුදුම වෙන්න දෙයක් නැහැ නේද? ජවිපෙ සහ සිංහල ජාතිකවාදය අතර කිට්ටු ලේ ඥාතීත්වයක් එහි උපතේ සිටම තිබෙන නිසා.

      Delete