Monday, July 27, 2015

ප්‍රාග්ධනයේ බලයට එරෙහි යුරෝ - ඇමරිකානු ප්‍රතික්‍රියාව

ජෙරමි කෝබින්ට සහයෝගය දීමෙන් වැලැකී සිටින ලෙස බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් එරට ලේබර් පක්ෂයේ සාමාජිකත්වයෙන් පසුගිය දා ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය.බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂ නායකත්වය සඳහා වූ ඡන්දය නොබෝ දිනෙකින් පැවැත්වීමට නියමිතය. මේ වනවිට ඊට අදාළ ඡන්ද ව්‍යාපාරය දියත් වී තිබේ. කෝබින් නායකත්වයට පත්වීම නිසා පක්ෂය නැවත සාම්ප්‍රදායික වාමාංශික පක්ෂයක් වී එය ‘80 දශකය වෙත ‘පසුබසිනු ’ ඇතැයි බ්ලෙයාර් ස්වකීය ප‍්‍රකාශයෙන් අනතුරු හඟවා සිටියේය.

ජෙරමි කෝබින් වූ කලී දීර්ඝ කාලයක් තිස්සේ ලේබර් පක්ෂයේ වාමාංශය නියෝජනය කරන්නෙකි. පසුගිය මහ මැතිවරනයෙන් ලේබර් පක්ෂය වාර්තාගත ලෙස කොන්සර්වැටිව් පක්ෂය ඉදිරියේ පරාජය වූ අතර පක්ෂ නායක එඞ්වඞ් මිලිබෑන්ඞ් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්විය. ඉන් පුරප්පාඩු වූ තනතුර උදෙසාය මෙම ඡන්දය පැවැත්වෙන්නේ. නායකත්ව අපේක්ෂකයින් සිවු දෙනෙක් මේ වනවිට ඒ සඳහා තරග වැද සිටී. කෝබින් තරගයට ඉදිරිපත් වී සිටින්නේ වාමවාදී අපේක්ෂකයෙක් ලෙසයි. ආර්ථික අර්බුදයට බ්‍රිතාන්‍යය ගොදුරු වීමත් සමග එරට ආන්ඩුව විසින් ක‍්‍රියාවේ යොදවා තිබෙන ‘කප්පාදු පිලිවෙත්’ වලට දැඩි විරෝධය පල කරන කෝබින් මේ වනවිට ලේබර් ආධාරකරුවන් අතර සීඝ‍්‍ර ජනප‍්‍රියත්වයක් අත්කරගනිමින් සිටී. ඔහු තැචර්වාදයේ සහ බ්ලෙයාර් විසින් හදුන්වාදුන් ‘නව ලේබර්වාදයේ‘ ( New Labour ) ප‍්‍රකට විවේචකයෙකි.

බ්‍රිතාන්‍යයේ ප‍්‍රධානතම වෘත්තීය සමිති සම්මේලනයක් වන ‘යුනයිට්’ සම්මේලනය ස්වකීය සහයෝගය කෝබින් වෙත මේ වනවිට පලකොට ඇත. පටන් ගැන්මේ දී කෝර්බින්ගේ අපේක්ෂකත්වය ‘විහිලුවක් ’ ලෙස ලේබර් පක්ෂයේ ඉහල මාලය විසින් ගනන් ගනු ලැබුවත් දැන් දැන් එම අපේක්ෂකත්වය ‘තර්ජනයක් ’ ලෙස එය විසින් සැලකිල්ලට ගෙන තිබෙන බවට සලකුනකි බ්ලෙයාර්ගේ ප‍්‍රකාශය.

ලේබර් පක්ෂය තුළ රැඩිකල් වාමාංශික අපේක්ෂකයෙක් සඳහා පුලුල් සහයෝගයක් ගොනු වෙමින් තිබීම පසුගිය වසර කිහිපය තුල යුරෝපය තුල හමා යමින් තිබෙන වාමගාමී රැුල්ලේ තවත් එක් අවස්ථාවකි. නව ලිබරල් කප්පාදු පිලිවෙත්වලට විරෝධය පල කරන ග‍්‍රීසියේ සිරීසා, ස්පාඤ්ඤයේ පොදෙමොස් ආදී වාමාංශික ජන ව්‍යාපාරවල නැගීම සමග එකට ගත්විට මෙම ප‍්‍රවනතාව වැදගත් දේශපාලන හැඟවුමක් ඉදිරිපත් කොට සිටී. එම හැඟවුම කවරේද?

1970 දශකයේ අග සිට ගෝලීය දේශපාලනය නිර්වචනය කරනු ලැබූයේ නව ලිබරල් ධනවාදයේ උද්ගතය විසිනි. නව ලිබරල්වාදය එතෙක් පැවැති සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සුබසාධක රාජ්‍යයට එරෙහි මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කලේය. ප‍්‍රාග්ධනයේ ප‍්‍රසාරනය සඳහා සුබසාධක රාජ්‍යය බාධාවක් වූ අතර එම බාධාව සාහසික ලෙස කඩා බිඳ දමන ලදී. එහි ප‍්‍රතිඵල ලෙස ගෝලීය පරිමානයෙන් විවිධ රටවල පහල පාංතික ජනයා එතෙක් දිනාගෙන තිබූ සමාජ අයිතීන් ප‍්‍රාග්ධනයේ ප‍්‍රහාරයට ගොදුරු වූයේය. වෘත්තීය සමිතිවලට පහර දෙන ලදී. ශ‍්‍රමයේ සංවිධානාත්මක කේවල් කිරීමේ බලය ඒ අනුව මැඩ පවත්වනු ලැබුනි. නව ලිබරල්වාදයේ ප්‍රවාහය එතකේ පැවැති සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නව ලිබරල් රාමුව තුල ප්‍රතිඅර්ථකථනයට භාජනය කලේය.එහි තාර්කික අවසානය යුරෝපයේ ප්‍රධාන පෙලේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ නව ලිබරල්කරනයට ගොදුරු වීමයි. බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය 1997 දී ටෝනි බ්ලෙයාර් යටතේ ‘නව ලේබර්වාදය’ වැලද ගැනීම සාම්ප්‍රදායික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල මෙම නව ලිබරල්කරනය සම්බන්ධ සම්භාව්‍ය උදාහරනයකි.

නව ලිබරල්වාදයේ මෙම විජයග‍්‍රාහී ගමන පටන් ගන්නේ 1973 දී චිලී දේශයෙනි. සැල්වදෝර් අයියන්දේගේ සමාජවාදී ආන්ඩුව පෙරලා දමා ඔගස්තෝ පිනෝශේ එක්සත් ජනපදය අනුබලය ලත් හමුදා කුමන්ත‍්‍රනයකින් බලය ගැනීමත් සමග නව ලිබරල් අත්හදා බැලීම පටන් ගත් අතර මෙම ප‍්‍රවාහය ලතින් ඇමරිකාවෙන් ඇරඹී, ‘80 දශකයේ දී තැචර්වාදය සහ රේගන්වාදය ලෙස බ‍්‍රිතාන්‍යයට හා ඇමරිකාවටත්, ‘90 දශකය වන විට මහාද්වීපික යුරෝපයටත් ගලා ආයේය. පහල පාන්තික ජනයාගේ සමාජ අයිතීන්ට පහර දෙන විට ඇති වන ප‍්‍රතිවිරෝධතා මැඩලීම සඳහා දේශපාලන අධිකාරීවාදයක් වර්ධනය කෙරින. මේ අනුව ‘80 දශකයට මෙහා ඉතිහාසය යනු පහල පාන්තික ජනකොටස්වල සමාජ හා ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන්ට එරෙහිව ප‍්‍රාග්ධනය පැත්තෙන් දියත් වූ නොනවතින ප‍්‍රහාරයක ඉතිහාසයයි. 2008 ගෝලීය ආර්ථික අර්බුදය ඇති වන තුරු නව ලිබරල්වාදයේ මෙම ප‍්‍රහාරය විජයග‍්‍රාහී ලෙස ඉදිරියට ඇදී ආයේය. පෞද්ගලිකකරනය, සමාජ සේවා වෙලඳපොලකරනය, ප‍්‍රාග්ධනයට අධිකතර ලෙස දෙන සහන සහ ආර්ථිකයෙන් රාජ්‍යය ඉවත්වීම යනාදී ලක්ෂනයන්ගෙන් මෙකී ප‍්‍රහාරය සංයුක්තය.

මේ වනවිට යුරෝපය තුල ඇති වී තිබෙන රැඩිකල් වාම සමාජ ප‍්‍රජාතාන්ත‍්‍රික රැල්ල නව ලිබරල්වාදයේ මෙම ප‍්‍රහාරයට එරෙහිව උද්ගත වී තිබෙන ප‍්‍රතිවිරෝධය පෑමක් ලෙස හඳුනාගත හැක. යුරෝපය තුල මෙම වාම ප්‍රවාහය විසින් මතු කොට තිබෙන ප්‍රධානතම තේමාව වනුයේ තම තමන්ගේ රටවල ආන්ඩුවල නව ලිබරල් කප්පාදු පිලිවෙත්වලට එරෙහි විරෝධයයි. ජෙරමි කෝබින් ලේබර් පක්ෂයේ තරුන ආධාරකරුවන් අතර ජනප්‍රිය වීමට එක් හේතුවක් වී තිබෙන්නේ කප්පාදු පිලිවෙත් කෙරෙහි කෝබින් දක්වන අශමනීය ප්‍රතිවිරෝධයයි.

ගෝලීය නව ලිබරල්වාදයට එරෙහි මෙම ‍ලෝක ව්‍යාප්ත ප‍්‍රතික‍්‍රියාවේ පලමු ගිනි පුපුරු මතු වූයේ ලතින් ඇමරිකානු රටවලිනි. වෙනිසුවේලාවේ චාවේස් බලයට ඒම, බොලිවියාවේ මොරාලේස්ගේ ආන්ඩුව පිහිටුවීම ආදී සිදුවීම් එහි ආරම්භක ලක්ෂ්‍යයයි. එක්සත් ජනපදයේ ඇති වූ වෝල් වීදිය අල්ලා ගැනීමේ ව්‍යාපාරය ද මෙම ප‍්‍රවාහයට අයත්ය. දැන් මෙම ප‍්‍රතිවිරෝධතා ප‍්‍රවාහය යුරෝපයට ද ඇතුලූ වී තිබේ. ප්‍රාග්ධනයට ඉහලින් සමාජය තැබීමේ අවශ්‍යතාවය වූ කලී මහාද්වීප භේදයෙන් තොරව මෙම සියලු ව්‍යාපාර විසින් බෙදාහදා ගනු ලැබෙන පොදු වටිනාකමයි. පොදු තේමාවයි.

මෙම වාම සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රැල්ල, එහි සියලූ සීමාවන් තිබියදීම, ගෝලීය වශයෙන් ප‍්‍රාග්ධනය සහ ශ‍්‍රමය අතර බලතුලනයේ තීරනාත්මක විතැන් වීමක් පිලිඹිබු කරයි. නව ලිබරල්වාදී පර්යායේ සමතුලිතය දෙදරීමකට ලක්වී තිබෙන අතර ප‍්‍රාග්ධනයේ අනවරත ප‍්‍රහාරයට එරෙහි සංවිධානාත්මක විරෝධය මෙම වාම ප‍්‍රවාහය තුල කැටී වී තිබේ. ප‍්‍රාග්ධනයේ ආධිපත්‍යයට එරෙහි මෙම ප‍්‍රතිවිරෝධය නව රැඩිකල් ප‍්‍රති-ධනවාදී දේශපාලන ව්‍යාපෘතියක් සඳහා වූ පුලුල් විභවයක් ගැබ් කොට ගත්තකි. ගෝලීය නව ලිබරල් හෙජමොනිය අභියෝගයට ලක්වෙමින් තිබේ. එම අභියෝගය පුලුල් ප‍්‍රති- ධනවාදී ව්‍යාපෘතියක් දක්වා වර්ධනය කිරීමට නම් පලමුව ගෝලීයව ඇතිවෙමින් තිබෙන මෙම වෙනස නිවැරදිව වටහාගෙන සිටිය යුතු වන්නේය.  

2 comments:

  1. "තැචර්වාදයේ සහ බ්ලෙයාර් නව ලේබර්වාදයේ ' පොඩි පැහැදිලිකිරීමක් දෙන්න පුලුවඳ ? . ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. තැචර්වාදය කියන්නේ බ්‍රිතාන්‍යයට නව ලිබරල්වාදය ආව විදිහ. නව ලිබරල්වාදය කියන්නේ එතෙක් තිබුනු සුබසාධක ධනවාදයට විකල්පව ඉදිරිපත් වූ අලුත් ආකෘතිය. මාග්‍රට් තැචර් කොන්සර්වැටිව් පක්ෂයේ නායිකාව වූවාට පස්සේ සුබසාධක රාජ්‍යය දුර්වල කිරීම සදහා ප්‍රාග්ධනයට වැඩි නිදහසක් දීම සදහා ප්‍රතිපත්ති මෙහෙයවූවා. එතකොට බ්‍රිතාන්‍යයේ අනෙක් ප්‍රධාන පක්ෂය වන ලේබර් පක්ෂය හිටියේ පැරනි සුබසාධකවාදී ප්‍රතිපත්තිවලමයි. ඒක වෙනස් වුනේ 1990 ගනන්වල මද ටෝනි බ්ලොයාර් පක්ෂ නායකත්වයට ඒමත් සමග. ලේබර් පක්ෂය නව ලිබරල්වාදය තුලට අනුගත කරන්න බ්ලෙයාර් ක්‍රියා කලා. ඔහු තමන්ගේ ව්‍යාපෘතිය හැදින්වූයේ 'නව ලේබර්' කියලා. ඒ කියන්නේ පැරනි ලේබර්වාදයෙන් කැඩිය යුතුයි කියලා ඔහු යෝජනා කලා. එතැන් පටන් ලේබර් පක්ෂයත් කොන්සර්වැටිව් පක්ෂය වගේම නව ලිබරල්වාදය පිලිගත්ත රාමුවක් ඇතුලේ ක්‍රියාත්මක වෙනවා.

      Delete