Wednesday, July 22, 2015

ක්ෂාමා සාවන්ත් සහ වාමාංශය පටන් ගත යුතු තැන

ක්ෂාමා සාවන්ත් එක්සත් ජනපදයේ සියැටල් නාගරික සභාවේ මන්ත‍්‍රීවරියකි. ඇය 2014 දී මෙම නාගරික සභාවට තේරී පත්වූයේ කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ ඇමරිකානු අංශය වන ‘සමාජවාදී විකල්පය’ සංවිධානය නියෝජනය කරමිනි. 1877 දී ඒ.ඩබ්.පයිපර් සියැටල් නාගරික සභාව තේරී පත්වුවාට පසු තමා සමාජවාදිනියක ලෙස හඳුන්වගන්නා අයෙක් මෙම ආයතනයට ඡන්දයෙන් තේරී පත්වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

සාවන්ත්ගේ ජයග‍්‍රහනය වැදගත් වන ආකාර දෙකකි. පලමුව එක්සත් ජනපදය වැනි රටක රැඩිකල් වාමාංශය අතිශයින් දුර්වලය. බලවත් ධනපති පක්ෂ දෙකක් විසින් මුදුනේ සිට යටට එරට දේශපාලන ආධිපත්‍යය හොබවයි. 20 වන සියවසේ මුල් කාර්තුවෙන් මෙහා එම රටේ ප‍්‍රබල වාමාංශික දේශපාලන සම්ප‍්‍රදායක පැවැත්ම හෝ නොවීය. සීතල යුද්ධ කාලයේ ඇති වූ ප‍්‍රචාර උඩ ‘සමාජවාදය’ යන වචනය කෙරෙහි ඇමරිකානු සාමාන්‍ය ජන විඥානය තුල තිබෙන්නේ එදිරිවාදී අදහසකි. එම තතු තුල සමාජවාදී ප‍්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින අයෙක් මැතිවරනයෙන් තේරී පත්වීම, ඉතාම සුලු දෙයක් යැයි පෙනී යා හැකි වුවද, එම සමාජයට සාපේක්ෂව එය ඉදිරි පියවරකි.

වැදගත්ම කරුණ දෙවැන්නයි. සාවන්ත් ජයගන්නේ නිකම් නොව බිම් මට්ටමෙන් ගෙන ගිය දීර්ඝකාලීන සමාජ අරගලයක ප‍්‍රතිඵලයක් ලෙසය. 2012 දී වෝල් වීදිය අල්ලා ගැනීමේ ව්‍යාපාරය පැන නැංග අවස්ථාවේ සියැටල් නගරයේ එම ව්‍යාපාරය සංවිධානය කලේ සාවන්ත් විසිනි. වෝල් වීදියේ අත්දැකීමෙන් ඉක්බිති සියැටල් කම්කරුවන්ගේ අවම වැටුප පැයට ඩොලර් 15 ක් කල යුතු බවට වූ ඉල්ලීම වටා මහජන ව්‍යාපාරයක් ඇයගේ පක්ෂය විසින් සංවිධානය කරයි. මෙම ව්‍යාපාරය ජනගත කිරීම සදහා වේදිකාවක් ලෙස ඇය යොදාගන්නේ සියැටල් නාගරික මැතිවරනයයි. ප‍්‍රධාන පක්ෂ දෙක ’මහා පරිමාන පොහොසතුන්ගේ පක්ෂ’ ලෙස හඳුන්වන ඇය අවම වැටුප වැඩි කිරීමේ ඉල්ලීම වටා ශ‍්‍රමික ජනයා මෙම පක්ෂවලින් ස්වාධීනව සංවිධානය වීමේ වැදගත්කම අවධාරනය කරන්නීය. වෘත්තීය සමිති, බිම් මට්ටමේ වෙනත් ප‍්‍රජා සංවිධාන මෙම ඉල්ලීමට සහයෝගය ලබාදෙන අතර විශාල ධනපති පක්ෂවල මැතිවරන ව්‍යාපාරයට වඩා බෙහෙවින් වෙනස්, ප‍්‍රජා මූලික මැතිවරන ව්‍යාපාරයක් මෙම බහුජන සංවිධානවල සහයෝගය සහිතව ඇය විසින් ක‍්‍රියාවට නංවන්නීය.

මෙම ව්‍යාපාරයේ ප‍්‍රතිඵල ලෙසය ක්ෂාමා සාවන්ත් සියැටල් නාගරික සභාවට තේරී පත්වන්නේ. සැලකිය යුතු ආන්දෝලනයකින් ඉක්බිති අවම වැටුප වැඩිකිරීම සඳහා වූ ඇයගේ යෝජනාව නාගරිකය තුල ජයගනී. මේ වනවිට මෙම ඉල්ලීම වෙනත් ප‍්‍රාන්තවලටත් පැතිරී ගොස් තිබේ. කම්කරුවන් ඇතුලු ශ‍්‍රමික කොටස් දේශපාලන වශයෙන් සක‍්‍රීය කිරීම සඳහා මේ ඉල්ලීම බලපා තිබෙන අතර සාවන්ත් මේ වනවිිට ස්ටාර්බක් හා ඇමසන් බඳු ප‍්‍රධාන පෙලේ සමාගම්වල කම්කරුවන් වෘත්තීය සමිතිගත කිරීම සඳහා ව්‍යාපාරයකට මුල පුරා තිබේ.

ප‍්‍රති- සමාජවාදී අදහස් තදබල ලෙස මුල්බැසගෙන තිබෙන සමාජයක සමාජවාදී අදහස් ජනප‍්‍රිය කිරීමේ මාධ්‍යයක් ලෙස නියෝජිත මැතිවරන පාවිච්චි කළ හැකි ආකාරය ගැන සමකාලීන උදාහරනයකි සාවන්ත්ගේ අත්දැකීම. අවම වැටුප වැඩි කිරීම සඳහා වූ ඉල්ලීම සමාජවාදී විකල්පය සංවිධානය විසින් ඉදිරියට දමන තුරු එය දේශපාලන සටන් පාඨයක් ලෙස මතුව තිබූ එකක් නොවේ. එහෙත් ශ‍්‍රමික ජනයාගේ පැත්තෙන් බලන විට එය අත්‍යවශ්‍ය ඉල්ලීමක් විය. මෙම ඉල්ලීම මතු වී ආ වේලේ සමාජයේ ඉහල පාංතික කොටස් එයට සිය විරෝධය පෑවේය. කම්කරුවන්ගේ වැටුප් වැඩිකලහොත් ‘ආර්ථිකය අක‍්‍රීය වනු ඇතැයි ’ ඒ විරෝධතාවලින් කියැවින. එහෙත් අනිත් අතට අවම වැටුප සඳහා බිම් මට්ටමෙන් ප‍්‍රබල ව්‍යාපාරයක් වර්ධනය විය. කම්කරුවන් හා තරුනයන් සක‍්‍රීයව එම ව්‍යාපාරය හා සම්බන්ධ විය. මේ පොදු ඉල්ලීම වටා ප‍්‍රජා මූලික ව්‍යාපාරයක් ඇති කිරීම සාවන්ත්ගේ ජයග‍්‍රහනයේ පදනම වූයෙය. එනම් හුදෙක් පක්ෂයක් විසින් මෙහෙයවනු ලැබෙන, උඩ සිට පහලට සංවිධානය වූ ව්‍යාපාරයකට වඩා පක්ෂයද කොටස්කරුවෙක් වූ පුලුල් ප‍්‍රජාතාන්ත‍්‍රීය බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීමට දැක්වූ සමත්කමයි. අවම වැටුප් පිළිබඳ ඉල්ලීම සාවන්ත්ගේ හෝ ඇගේ පක්ෂයේ ඉල්ලීමක් නොවී සමාජයේ පහල පාංතික කොටස්වල ඓන්ද්‍රීය ඉල්ලීමක් ලෙස වර්ධනය වූයේ එම ව්‍යාපාරයේ තිබූ මෙකී ප‍්‍රජාතාන්ත‍්‍රීය ගතිකත්වය නිසාය.

මේ ලංකාවේ මහ මැතිවරන කාලයයි. මේ මොහොතේ ලංකාවේ කම්කරු ව්‍යාපාරය ඉතිහාසයේ දුබලම අඩියට වැටී තිබේ. 1980 ජූලි වර්ජනයෙන් පසු වෘත්තීය සමිති ව්‍යාපාරය විශාල බිඳ වැටීමකට ලක්විය. වැටුප් ශ‍්‍රමිකයින්ගෙන් අති බහුතරය අඩු තරමේ වෘත්තීය සමිති තුල හෝ සංවිධානය වී නැත.  ‘40-‘70 දශකවල මෙරට දේශපාලනය තුල මහත් බලයක් අභ්‍යාස කල ශ‍්‍රමික ජනයා මත පදනම් වූ බහුජන වාමාංශික පක්ෂ ද අද නැත.

එහෙත් එබඳු දේශපාලනයක විභවය ඉතාමත් සක‍්‍රීයය. හැට ගණන්වලට සාපේක්ෂව වර්තමානය වනවිට ජනගහනයේ විශාල පිරිසක් වැටුප් ශ‍්‍රමිකයින් බවට පත්වී සිටී. ආර්ථික ලිබරල්කරනයත් සමග ශ‍්‍රමික පංතියේ ස්වභාවය වෙනස් වී තිබෙන අතර ඔවුන් මුහුන දෙන ප‍්‍රශ්නවල රූපාකාරයන් ද තීව‍්‍ර වී තිබේ. මේ වනවිට වතු කම්කරුවන් සිය වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එලැඹී සිටී. අවම වැටුප රු.2500 න් ඉහල දමන ලෙස වූ ඉල්ලීමක් පුද්ගලික අංශයේ ශ‍්‍රමිකයින්ගේ පැත්නෙත් කාලාන්තරයක් තිස්සේ ඉදිරිපත් වෙමින් ඇත.

එහෙත් මේ කිසිදු අභිලාෂයක් බල දේශපාලන තලය තුල සෘජුව නියෝජනය වන්නේ නැත.   ඕනෑම ප‍්‍රති- ධනවාදී දේශපාලනයක අත්‍යවශ්‍ය අංගයක් වන්නේ ප‍්‍රාග්ධනයේ පාර්ශවීය අනෙකා වන වැටුප් ශ‍්‍රමය දේශපාලනිකව සංවිධානය කිරීමයි. අපගේ වාමාංශික පක්ෂ නැවත පටන් ගත යුත්තේ මේ මූලික ලක්ෂ්‍යයෙනි. එබඳු වෑයමක දී ක්ෂාමා සාවන්ත්ගේ සාර්ථකත්වය වැනි අත්දැකීම්වලින් උකහාගත හැකි පාඩම් බොහෝය.








5 comments:

  1. ආස්වාදයෙන් යුතුව කියවූ ලිපියකි...
    එහෙත් බිම් මට්ටමේදී අපට ඉතිරි වන්නේ මේ ආශ්වාදයම පමණි..
    මේ ලිපිය මේ මැතිවරණ සමයේම කවුරු කවුරුත් කියවනවානම් ඉතාම හොඳය..
    වතු කම්කරුවන්ගේ ජීවිත අඟලකින් හෝ වර්ධනය නොවී තිබීමෙන් අත්වූ "වාසිය" නම් ලංකාවේ කම්කරු පන්තිය යැයි පැහැදිලිව ඇඟිල්ල දික්කර පෙන්නාලිය හැකි පිරිසක් ඉතිරි වීමයි..
    ඇඟලුම් සේවිකාවන්ගේ තත්වය බෙහෙවින් සංකීර්ණ වී ඇත...

    "එහෙත් මේ කිසිදු අභිලාෂයක් බල දේශපාලන තලය තුල සෘජුව නියෝජනය වන්නේ නැත.."
    සහතික ඇත්ත - කාගේ කාගෙත් ඇස් ඇරේවා...

    ReplyDelete
  2. //එහෙත් මේ කිසිදු අභිලාෂයක් බල දේශපාලන තලය තුල සෘජුව නියෝජනය වන්නේ නැත..//
    අවම වශයෙන් පුවත් පතක හෝ සාකච්ඡා නොවෙන මාතෘකාවක් බවට පත්කරගෙන.
    ජයවේවා..!!

    ReplyDelete
  3. //එහෙත් මේ කිසිදු අභිලාෂයක් බල දේශපාලන තලය තුල සෘජුව නියෝජනය වන්නේ නැත..//
    අවම වශයෙන් පුවත් පතක හෝ සාකච්ඡා නොවෙන මාතෘකාවක් බවට පත්කරගෙන.
    ජයවේවා..!!

    ReplyDelete
  4. වතු කම්කරුවන් හැරෙන්නට අනෙකුත් කම්කරුවන්ගේ වැටුප් තත්වයන් බෙහෙවින් සංකීර්න වෙලා. දල වශයෙන් උදා - කුලී වැඩක් කරන කෙනෙක් / මේසන් බාස් කෙනෙක්ගේ දෛනික වැටුප 1000කට වැඩී. නමුත් බොහෝවිට රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවය කරන අයගේ වැටුප බොහෝ විට 500 ටත් අඩුයි.

    ReplyDelete