Monday, July 6, 2015

ග්‍රීසියේ සිරීසා ආන්ඩුව සහ නිකොස් පුලන්සාස්ගේ මාක්ස්වාදය - 2

සිය අකල් මරනයට පෙර පුලන්සාස් විසින් රචිත අවසාන කෘතිය වූ 'රාජ්‍යය, බලය, සමාජවාදය' ( 1978 ) හිදී පුලන්සාස් තමන්ගේ න්‍යායන් පිරිපහදු කොට ඉදිරිපත් කලේය. මෙහි දී ඔහු රාජ්‍යය 'සමාජ සම්බන්ධතාවයක් ' ලෙස නිර්වචනය කරයි. එසේම රාජ්‍යයේ සාපේක්ෂ ස්වාධීනත්වය ගතික එකක් යැයි යෝජනා කරයි. රාජ්‍යය වූ කලී 'පංති අරගලය කැටි කොට දැක්වීමක්' නිසා රාජ්‍යයේ ස්වාධීනත්වය සෑම විටම තරගයට භාජනය වේ. එක් තනි පංතියක් කිසිදු විටෙක සම්පූර්න පාලනය උසුලන්නේ නැත. රාජ්‍යයට සෑම විටම අධිපති පංතීන්ගේ අභිලාෂයන් සැලකිල්ලට ගැනීමට සිදුවේ. රාජ්‍යයේ සාපේක්ෂ ස්වාධීනත්වය අරගලයේ තීව්‍රතාවට ප්‍රතිචාරීව විතැන් වීම් හා වෙනස්වීම්වලට ලක්වනු ඇත.

නිදසුනක් ලෙස කුවේලකිස් ග්‍රීක අර්බුදයේ සන්දර්භය තුල රාජ්‍යයේ මෙම සාපේක්ෂ ස්වාධීනත්වය පිලිබද අදහස වටහා ගත හැකි ආකාරය මෙසේ පැහැදිලි කරයි -

ග්‍රීසියේ රාජ්‍යය තුල තිබෙන ලක්ෂනයක් නම් මේ සාපේක්ෂ ස්වාධීනත්වය වෙනත් අවස්ථාවන්ට වඩා සාපේක්ෂව දුර්වල සහ සාපේක්ෂව සීමාසහිත වූවක් වීමයි. මෙහි හේතු සෙවීම සදහා ග්‍රීක ඉතිහාසයේ ගැඹුරට කිමිදීමට අපට සිදුවේ. ග්‍රීක රාජ්‍යය ජනප්‍රිය පංතීන් සමග, එනම් තමන්ගේම ජනතාව සමග, දශක ගනනාවක් තිස්සේ අඛන්ඩ යුද්ධයක නියැලී සිටියේය. විරුද්ධාභාසයක් ලෙස පෙනී යා හැකි නමුත් ග්‍රීක රාජ්‍යයේ මෙම දුර්වලතාවයේ මූලය නම් ග්‍රීසියේ ජනප්‍රිය පංතීන්ට රාජ්‍යය තුල ස්වකීය අභිලාෂයන් නියාමනය කිරීමට සහ ඒ සදහා ස්ථිර නියෝජන ආකෘති ඇති කරගැනීමක් වෙත ලගාවීමට එකී පංතීන් අසමර්ථ වීමයි9'.


ඒ නිසා ප්‍රශ්නය වූ කලී නියෝජනය සහ රාජ්‍යය තුල වන මෙහෙයවීමේ බලය පිලිබද ප්‍රශ්නයකි. රාජ්‍යය ප්‍රජාතාන්ත්‍රීකරනය කරමින් ස්වාධීන බිම් මට්ටමේ ව්‍යාපාරවල ආරක්ෂාව සදහා එය භාවිතා කල හැකි උපාය මාර්ගයක් පුලන්සාස් යෝජනා කලේය. මෙකී සමාජ ව්‍යාපාර ' රාජ්‍යයට පිටතින්, රාජ්‍යය තුල සහ රාජ්‍යය පරිවර්තනය කිරීම සදහා ක්‍රියාත්මක වනු ඇත10'

පුලන්සාස් මෙසේ ලියයි -

අප 'රාජ්‍යය සුනුවිසුනු කිරීම' පිලිබද කථා නොකලා වුවත් වාමාංශික යුරෝ කොමියුනිස්ට්වාදය රැඩිකල් පරිවර්තනයක අවශ්‍යතාවය පිලිබද ප්‍රශ්නය ගැන අතිශය සවිඥානිකය. රාජ්‍යයේ දෘෂ්ටිවාදී උපකරන පමනක් නොව එහි මර්දනකාරී උපකරන ද මෙම රැඩිකල් පරිවර්තනයට හසුවිය යුතුය. එතැනදී තීරනාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් එලැඹෙනු ඇත. එම හැරවුම් ලක්ෂ්‍යය සිවිල් යුද්ධයක් නොව රාජ්‍යයේ ඇතිවන නොනවතින අර්බුදයක් වනු ඇත11

ආර්ථිකය ගැන ඔහු මෙසේ කරුනු දක්වයි -

ආර්ථික උපකරනවල කොටස් එහෙම් පිටින්ම ගලවා දැමීමක් වෙත වෙනස්කම් ඉලක්කගත වීම කිසිදු මොහොතක දී සිදු නොවිය යුත්තකි. එබදු දිශානතියක් ආර්ථිකය අබ්බගාත කොට ධනපති පංතියට කඩාකප්පල්කාරී ක්‍රියා කිරී‍මට තිබෙන හැකියාව ඉහල නංවනු ඇත. සමාජවාදය සදහා වූ ප්‍රජාතාන්ත්‍රීය මග සදහා දීර්ඝ ක්‍රියාවලියක් අවශ්‍යයය. මේ මාර්ගයේ මුල් අවධිය බහුල වශයෙන් සමන්විත වනු ඇත්තේ  ඒකාධිකාරී ප්‍රාග්ධනයේ හෙජමොනිය අභියෝගයට ලක්කිරීම්වලිනි. එහෙත් එය නිෂ්පාදන සම්බන්ධතාවල න්‍යෂ්ඨිය තුල මහත් වේගයෙන් ක්ෂනික පෙරලියක් ඇති කිරීම වෙත ඉලක්කගත වීම නොහොබී. ඒකාධිකාර විරෝධී අවධිය තුල සිදුවන සෑම ඛන්ඩනයකදීම සහ ප්‍රහාරයකදීම ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සුමට ලෙස ගලාගෙන යනු ඇති බවට රාජ්‍යය වගබලා ගත යුතුය. එනම් ආර්ථිකය  එක්තරා ප්‍රමානයකට ධනවාදී එකක් ලෙස කාලාන්තරයක් තිස්සේ පවතිනු ඇත12.

සංවිධාන ක්‍රම පිලිබද ප්‍රශ්නය වෙත එන විට තනි පක්ෂ ක්‍රමයක තිබෙන අඩුපාඩු මගහරවා ගැනීම සම්බන්ධයෙන් පුලන්සාස් අතිශයින් උනන්දුසහගතය. ස්ටාලින්වාදී පාලන ආකෘතියට වෙනස්ව ප්‍රජාතාන්ත්‍රීය සමාජවාදයක් සදහා වූ අරගලයේ දී සමාජ ව්‍යාපාරවල වැදගත්කම කෙරෙහි හෙතෙම අවධානය යොමු කලේය.

පක්ෂය අසමසම මධ්‍යගතකරන සාධකය ලෙස සැලකීම, එම මධ්‍යගතකරනය මොනතරම් විචක්ෂන එකක් වුවත් හොදම විසදුම යැයි මම නොසිතමි. මා සිතන්නේ අපට වැඩි වැඩියෙන් ස්වාධීන සමාජ ව්‍යාපාර අවශ්‍ය බවයි. මෙම සමාජ ව්‍යාපාරවල සංවිධාන ආකෘතිය දේශපාලන පක්ෂයක සංවිධාන ආකෘතිය ගැනීම අවශ්‍ය නැහැ. ‍ගොඩනැගිය හැකි ඉතාම පරමාදර්ශී දේශපාලන පක්ෂයට වුව පිටතිනුයි ස්ත්‍රීවාදී ව්‍යාපාරය ස්ථානගත විය යුත්තේ. විප්ලවවාදී පක්ෂයක් කාන්තා ප්‍රශ්නය කෙරෙහි නිශ්චිත සංකල්පනයක් සහිත විය යුතු බව අවධාරනය කරන අතරේම කිව යුත්තේ ඉතාම පරමාදර්ශී පක්ෂයට වුව මේ වාගේ සමාජ ව්‍යාපාර මුලුමනින්ම අන්තර්ග්‍රහනය කරගත නොහැකි බවයි13

පුලන්සාස් සහ වාමාංශික යුරෝ කොමියුනිස්ට්වාදීන්ට අනුව ඉදිරි මග සංයුක්ත වන්නේ තම තමන්ගේ ප්‍රවේගය අනුව විවිධ තලවල ක්‍රියාත්මක වන බහුවිධ අරගල වල සංකීර්නයකිනි. මේ සෑම අරගලයක්ම තමාටම අනන්‍ය වූ සංවිධාන ආකෘතියක් නිර්මානය කිරීම හෝ සොයාගැනීම කරනු ඇත. මේ වූ කලී ලෙනින් ( හා ග්‍රාම්ස්චි ) විසින් න්‍යාගත කරන ලද මධ්‍යගත පෙරටුගාමී පක්ෂය පිලිබද අදහස ප්‍රකාශිතව ප්‍රතික්ෂේප කිරීමකි.

අප පැහැදිලිව මේ දේ කිව යුතුයි. සමාජවාදය වෙත සිදුවන සංක්‍රාන්තියේ දී පක්ෂවල බහුවිධතාව ගැන අප කථා කරනවා නම්, අප ඒ කථා කරන දෙය බැරෑරුම් ලෙස ගන්නවා නම්, ඔබට 'කේක් ගෙඩිය තනිවම ගෙන කටට දා ගත නොහැකි බව' ඉතාම පැහැදිලියි. ලෙනින්වාදී සම්ප්‍රදාය තුල ( ඇත්තටම තනි පක්ෂ ක්‍රමයක් පිලිබද සංකල්පනයක් ලෙනින් තුල තිබුනේ නැත ) පෙරටුගාමී පක්ෂය පිලිබද සංකල්පනය නිර්ධන පංති ආඥාදායකත්වය හා තනි පක්ෂ ක්‍රමය සමග වෙන් කල නොහැකි ලෙස සම්බන්ධ වී තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. පෙරටුගාමී පක්ෂය පිලිබද ලෙනින්වාදී අදහස නඩත්තු කරන අතර අප පක්ෂවල බහුවිධතාවය වෙනුවෙන්‍ පෙනී සිටිනවා යැයි කීම කල නොහැක්කකි. මන්ද පක්ෂය පිලිබද එබදු සංකල්පයක් එනයින්ම තනි පක්ෂ ක්‍රමයක අවශ්‍යතාවය අනුමිත කිරීම හෝ ඇතැම් වි‍ට ඉල්ලා සිටීම පවා සිදුකරන බැවිනි. මේ දෙකම එක්වර පවත්වාගත නොහැක14

පුලන්සාස්ට අනුව ලෙනින්ගේ 'කල යුත්තේ කුමක්ද?' කෘතියේ තිබෙන ප්‍රශ්නය නම් 'මධ්‍යගතකරනය සහ පිටතින් සිට කම්කරු පංතිය තුලට විඥානය ගෙන ඒම' පිලිබද අදහසයි. ස්වාධීන සමාජ ව්‍යාපාර පිලිබද ඔහුගේ යෝජනාව බොහෝ දේශපාලන ක්‍රියාකාරීන් තුල ආවේගාත්මක ප්‍රතිචාරයක් ජනිත කරනු ඇත. විවිධ ව්‍යාපාර එක්සත් කිරීමේ දී ඊට අදාල මෙයෙවීම 'පාලනය' අභ්‍යාස කෙරන්නේ කෙසේද යන මූලික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහු මෙසේ තර්ක කරයි.

පක්ෂය තුල ඇති විය යුතු වෙනස්කම, පක්ෂය තුල සිදුවිය යුතු පරිවර්තනය කුමක්ද? විවිධ ආකාරවල සමාජ ව්‍යාපාර තුල පක්ෂය අතරමං විය යුතු යැයි හෝ ඒවා සමග පක්ෂය තමාව පාස්සවා ගත යුතු යැයි මම නොසිතමි. කාඩර්වරුන්ගෙන් යුක්ත ව්‍යුහයක් ලෙස  පක්ෂයට බහුවිධ සමාජ හෝ ආර්ථික ව්‍යාපාර සාර්ථක ලෙස සම්බන්ධීකරනය කල හැකි යැයි කියා ද මා සිතන්නේ නැත. සෑම දේශපාලනික දෙයක්ම ප්‍රාථමික යැයි ද ඉතිරි සියල්ල ද්විතීක යැයි ද සලකන ලෙනින්වාදී මධ්‍යගතකරනයේ සාම්ප්‍රදායික ආකල්පය ද අප විසින් නැවත සලකා බලනු වටී. ස්ත්‍රීවාදී ව්‍යාපාරය, පරිසර ව්‍යාපාරය සහ වෙනත් වර්ගවල සමාජ ව්‍යාපාර අප තේරුම් ගත යුත්තේ කෙසේද? ශ්‍රමික පංති ව්‍යාපාරයට හෝ පක්ෂයට සාපේක්ෂව මේවා හුදෙක් ද්විතීක ගනයේ ව්‍යාපාර යැයි කිව නොහැක. ඒ අනුව බලන්නේ නම් අනිත් හැමදේම ද්විතීක වේ. ප්‍රාථමික සහ ද්විතීක සම්බන්ධතා පිලිබද මේ ප්‍රශ්නය ගැන අප නැවත කල්පනා කල  යුතුය15'

පුලන්සාස් ව්‍යාපාරයේ විභව ශක්තියට වඩා මැතිවරන උපාය මාර්ගය කෙරෙහි වැඩි අවධානයක් යොමු කල බව සහ කම්කරු පංතිය හා කොමියුනිස්ට් පක්ෂය වැනි ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහු පල කරන අදහස්වල අපැහැදිලි ස්වභාවය ගැන විවේචකයෝ අදහස් ඉදිරිපත් කොට තිබේ. කම්කරුවන්ගේ සැබෑ අරගල පිලිබද පුලන්සාස් දක්වන 'නිහැඩියාව' ද ඇතැම් විවේචකයින් ගේ අවධානයට පාත්‍ර වූවකි.

මාක්ස්ට අනුව 'රාජ්‍යය කම්කරුවන්ට ඉහලින් සහ කම්කරුවන්ට එරෙහිව ස්ථානගත වී සිටී'. රජය හා විප්ලවය හිදී බලය සහ ධනය සහිත අයට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නිශේධ කල හැකි ආකාරය ලෙනින් විසින් පෙන්වා දී තිබේ. ග්‍රීසියේ සිරීසා ආන්ඩුව මත පාලක පංතිය අතිමහත් පීඩනයක් ‍යොදන ආකාරය අප හොදාකාරව දනිමු. මූල්‍ය 'ට්‍රොයිකාව' සිරීසා ආන්ඩුවේ ගෙල මිරිකා දැමීමට වෑයම් කරන අතර මේ බලපෑම් ව්‍යාපාරය සමග සිරීසාවට තිබෙන සම්බන්ධතාවය කෙරෙහි ද බලපෑම් කොට තිබේ.


ජාත්‍යන්තර සමාජවාදී 'ඩයස්පෝරාව' තුල සිටින අප මේ ප්‍රශ්න වෙත ප්‍රවේශ වන්නේ 'පහල සිට' ඇති වන විප්ලවය පිලිබද ඉදිරි දර්ශනය මතය. 'කම්කරු පංතියේ විමුක්තිය වූ කලී කම්කරු පංතියේ ක්‍රියාවක්' යැයි මාක්ස් පවසන විට අප දෙගිඩියාවකින් තොරව එම අදහස සමග එකට සිටගෙන සිටින්නෙමු. 

පාද සටහන් -

9.    Kouvelakis, 2010
10.    Poulantzas, 1978
11.    Hall and Hunt, 1979
12.    Poulantzas, 1978
13.    Hall and Hunt, 1979
14.    Hall and Hunt, 1979
15.    Hall and Hunt, 1979

2 comments:

  1. ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරයට සිරිසාවෙන් ඉගෙන ගත හැකි පාඩම් බොහෝ ඇත.

    ReplyDelete
  2. මාක්ස්වාදය සමග අපට ඇති අරෝව අන් කිසිවක් නොව තනි පක්ෂ ක්‍රමයත් නිර්ධන පන්ති ආඥාදායකත්වය කියමින් අන්‍ය මත මර්ධනය කිරීමත්ය.
    ලෙනින්ට මීට වෙනස් ආස්ථානයක් තිබිණි කියා පිළිගත නොහැක.
    ඒකරාශී වීම භයානක ප්‍රාග්ධනය පමනක්ද
    බලය ඒකරාශී වීම භයානක නැද්ද
    ස්ටාලින් ආකෘති නොවේ සමාජවාදය සාර්ථක වූ සෑම රටකම බිහිවුනේ නිළධාරිවාදී අන්තනෝමතික ආන්ඩු නේද

    ReplyDelete