Monday, July 6, 2015

ග්‍රීසියේ සිරීසා ආන්ඩුව සහ නිකොස් පුලන්සාස්ගේ මාක්ස්වාදය - 1



ග්‍රීසියේ වාමාංශික සිරීසා ආන්ඩුවේ ( සිරීසා - රැඩිකල් වාමාංශයේ සන්ධානය)  න්‍යායික පදනම් කෙරෙහි ප්‍රබලතම බලපෑම ලෙස උපුටා දැක්වෙන්නේ නිකොස් පුලන්සාස්ය. විශේෂයෙන්ම සිරීසා සංවිධානයේ වාම පාර්ශවය ස්වකීය න්‍යායික අනුප්‍රානය ලබාගන්නේ මූලික වශයෙන් පුලන්සාස් වෙතිනි. ග්‍රීක ජාතික මාක්ස්වාදියෙක් වූ නිකොස් පුලන්සාස් (1936-1979) ලුවී අල්තුසර්ගේ ව්‍යුහවාදී මාක්ස්වාදී ගුරුකුලය නියෝජනය කලේය. පසුකාලීනව ඔහු යුරෝකොමියුනිස්ට්වාදයේ වාමාංශය නියෝජනය කල න්‍යායධරයෙක් ලෙස ක්‍රියාකලේය. 

වාමාංශික දේශපාලනය ගැන උනන්දු වන කිසිවෙක්ට ග්‍රීසියේ මේ මොහොතේ සිදුවෙමින් තිබෙන ක්‍රියාදාමය මග හැර යා නොහැක. 2015 ජනවාරියේ දී රැඩිකල් වාමාංශික පක්ෂවල එකමුතුවක් වන සිරීසා පක්ෂය ග්‍රීසියේ බලයට පත්වූ අතර සිරීසා ආන්ඩුව සහ යුරෝපීය බලවතුන් වන යුරෝපා සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපා මධ්‍යම බැංකුව යන ආයතන අතර එතැන් පටන් ඇතිවී තිබෙන්නේ ආතතිකාරී සම්බන්ධතාවයකි. සිරීසා දේශපාලනයේ ස්වභාවය වටහාගැනීමට නිකොස් පුලන්සාස් ගේ අදහස් පසුබිම සකසයි. සිංහලට පරිවර්තනය කොට මේ පල කෙරෙන්නේ The state,Power and Democratic road to Socialism - The ideas of Nicos Poulantzas හිසින් මාක් වින්ටර් විසින් රචිත ලිපියයි. මෙය rs21  සගරාවේ 2015 ජූනි කලාපයේ පල වූවකි.  

***
තන්ස්වල සිරීසා පක්ෂ මූලස්ථානය නිකොස් පුලන්සාස් ආයතනයට මොන තරම් සමීප දැයි ඇලෙක්සැන්ඩර් ක්ලැප් මෙසේ විස්තර කරයි -

සිරීසා පක්ෂ මූලස්ථානය පසුකොට එම මූලස්ථානය පිහිටි වීදිය ඔස්සේ පහලට යන විට නිකොස් පුලන්සාස් ආයතනය හමු වේ. මේ ආයතනය වූ කලී සිරීසා සංවිධානයේ බුද්ධි මන්ඩලයයි. පක්ෂයේ බුද්ධිමතුන් දෙසීයක් පමන එහි වැඩ කරයි. ඔවුන් බහුතරය ආර්ථික විද්‍යාඥයින්ය. 1997 සිට ඔවුහු සිය අදහස් මුවහත් කරමින් සිටිති. යුරෝපයේ මෙවැනි සංවිධාන ගනනාවකට අයත් වාමාංශිකයෝ සෑම සතියකම අදහස් දැක්වීම් සදහා නිකොස් පුලන්සාස් ආයතනය වෙත එති. ජර්මනියේ රෝසා ලක්සම්බර්ග් පදනමේ සිට ප්‍රංශයේ මාක්ස් අවකාශය දක්වා වූ සංවිධානවල බුද්ධිමත්හු මෙලෙස පැමිනෙති. නිකොස් පුලන්සාස් ග්‍රීසිය තුල ඇති වූ වාමාංශික අදහස්වල පුනර්ජීවනයට තීරනාත්මක ලෙස බල පෑ අයෙකි. ඔහු සිරීසා පක්ෂයේ බුද්ධිමය නැංගුරම වන්නේය. සිරීසාවේ වත්මන් නායකයින් කිහිප දෙනෙක් ඔහුව පෞද්ගලිකව දැන සිටි අය වෙති1.

පුලන්සාස්ගේ චින්තනය ජාත්‍යන්තර වාමාංශය මත මහත් අනුප්‍රානයක් ඇති කිරීමට සමත් වූවකි. ග්‍රීක මුදල් ඇමති යානිස් වැරෝෆකිස් සහ සිරීසාවේ වාම වේදිකාවේ ක්‍රියාධර ස්තැතිස් කුවේලකිස් මෑතක දී සිය අදහස් දැක්වීම්වලදී පුලන්සාස් උපුටා දැක්වූහ. කුවේලකිස් මෙසේ කියයි -

මා අයත් වන්නේ, මා ස්ථානගත වන්නේ මාක්ස්වාදී සම්ප්‍රදාය තුලය. රාජ්‍යය පිලිබද මාක්ස්වාදී සම්ප්‍රදාය තුල එන ප්‍රධානතම තේමාවක් නම් රාජ්‍යයේ 'සාපේක්ෂ ස්වාධීනත්වය' පිලිබද අදහසයි. මෙම සංකල්පය නිකොස් පුලන්සාස් විසින් සුප්‍රකට ලෙස විදාරනය කලේය. සාපේක්ෂ ස්වාධීනත්වය යන්නෙන් අදහස් වන්නේ පාලක පංතියේ විවිධ පාර්ශවවලින් සහ සමාජයේ පංති බලවේග අතර තුලනයෙන් යම් පරතරයක් පවත්වාගැනීමට රාජ්‍යයට තිබෙන හැකියාවයි. මෙම පංති බලවේගවල අවසානාත්මක ප්‍රතිවිපාකය සංයුක්ත කිරීමට රාජ්‍යය මැදිහත්වන අතර එහි දී පංති බලවේග හා පංති සම්බන්ධතා අතර තුලනය කැටි කොට දක්වන්නක් ලෙස රාජ්‍යය තමාවම සංයුක්ත කරගනී. මේ පුලන්සාස්ගේ ප්‍රකට අදහසකි
2.

 බ්‍රිතාන්‍යය වාමාංශයට අයත් අප රාජ්‍යය න්‍යායගත කිරීම සදහා දීර්ඝ කාලයක් තිස්සේ වෙහෙසී ඇත්තෙමු. කොමියුනිස්ට් සහ ප්‍රතිසංස්කරනවාදී සම්ප්‍රදායන්ට අයත් අය අප අතින් තියුනු ලෙස විවේචනයට ලක් විය. එහෙත් '70 දශකයේ දී විවාදයට ලක්වූ ප්‍රශ්න නැවත නැවතත් අපට ඉදිරියේ මතු වෙමින් තිබේ. රාජ්‍යය සහ සමාජ ක්‍රියාකාරීත්වය හෝ සමාජ ව්‍යාපාර අතර සම්බන්ධතාව කුමක්ද,ප්‍රතිසංස්කරන හා විප්ලවය අතර පරතරය පියවන්නේ කෙසේද, වෙනස්කම් ඇති කිරීම සදහා ප්‍රබල ව්‍යාපාර ඇති කරන්නේ කෙසේද ආදිය මේ ප්‍රශ්න අතර වේ.

පුලන්සාස්ගේ වැදගත්කම කුමක්ද? ද්විත්ව බලය පිලිබද සංකල්පය ඇතුලු ප්‍රතිසංස්කරනවාදයට එරෙහිව බටහිර යුරෝපීය කොමියුනිස්ට්වාදීන් විසින් ප්‍රත්‍යක්ෂයන් ලෙස ගත් සංකල්ප පුලන්සාස් මග හරී. ඒ වෙනුවට 'රාජ්‍යය තුල අරගලය' ඔහු යෝජනා කරයි. එනම් සමාජ ව්‍යාපාරවල සංවිධානාත්මක ඒකරාශී වීම සමග සංයෝග වූ මැතිවරන හරහා බලය අල්ලා ගැනීමේ උපාය මාර්ගයකි.  

පුලන්සාස්ගේ මේ අදහස වටහා ගැනීමට ඔහු මේ අදහස් ඉදිරිපත් කල සන්දර්භය ගැන විස්තරයක් සැපයීම වැදගත්ය. 1970 දශකයේ දී ප්‍රධාන පෙලේ යුරෝපීය රටවල වාම පක්ෂ ගනනාවක් බලය ලබාගැනීම පිලිබද සැබෑ ඉදිරි දැක්මක අවශ්‍යතාවය සමග අභිමුඛ විය. වාම පක්ෂ යනුවෙන් මා මෙහිදී අදහස් කරන්නේ ඉතාලිය, ප්‍රංශය ( සහ ඇතැම්විට ස්පාඤ්ඤය ) යන යුරෝපා රටවල කොමියුනිස්ට් පක්ෂයන්ය. බලය ලබාගැනීම සදහා 'සමාජවාදය වෙත වූ ප්‍රජාතාන්ත්‍රික මාර්ගය' නමැති ඉදිරි දර්ශනය ඔවුහු පිලිගත්හ. මේ යුරෝකොමියුනිස්ට්වාදය එහි සාර්ථකත්වයේ උපරිම තැන පසු වූ යුගයයි. යුරෝකොමියුනිස්ට්වාදයේ වාමාංශය නියෝජනය කල පුලන්සාස් රාජ්‍ය බලය පිලිබද ප්‍රබල න්‍යායක් ඉදිරිපත් කලේය.

'1976 සහ 1977 යන වර්ෂයන් වූ කලී ආපසු හැරී බලන විට යුරෝකොමියුනිස්ට්වාදී ව්‍යාපාරයේ සාර්ථකම අවධියයි. 1976 ජූනි මාසයේ දී ඉතාලි කොමියුනිස්ට් පක්ෂය මැතිවරණයේ දී කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්වූ අතර මුලු ඡන්දවලින් තුනෙන් එකක්ම තමා සතු කරගත්තේය. ඊලග අවුරුද්දේ එම පක්ෂය වසර තිස් ගනනකට පසු පලමු වතාවට ආන්ඩුවකට සහභාගී විය. ස්පාඤ්ඤයේ දී ඒකාධිපති ෆ්‍රැන්කෝගේ මරනය සහ ඔහු විසින් ගොඩනැගූ පද්ධතිය බිදී විසිරී යාම විසින් ස්පාඤ්ඤ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය අති මහත් ලෙස ප්‍රසාරනය වීම සදහා පසුබිම සැපයීය. කම්කරු කොමිෂන් තුල එම පක්ෂයට බලය හිමිවීමත් සමග එය කම්කරු පංතිය තුල වූ ප්‍රබලතම පක්ෂය ලෙස ඉස්මතු විය' 3

පුලුල් වාමාංශයට අයත් බොහෝ අය ස්ටාලින්වාදය සහ තනි පක්ෂ රාජ්‍යය ප්‍රතික්ෂේප කල අය වූහ. හංගේරියාවට හා චෙකොස්ලොවැකියාවට එරෙහිව සිදුවූ සෝවියට් ආක්‍රමනය පැහැදිලිවම පෙන්නුම් කලේ රුසියානු යුද ටැංකි විසින් සමාජවාදය ප්‍රදානය නොකරන බවයි. ඒ වෙනුවට සෝවියට් සංගමය ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ව්‍යාපාර පොඩිපට්ටම් කරන ලදී. එහෙත් බොහෝ දෙනා සෝවියට් සංගමය සැලකුවේ යම් ආකාරයක කම්කරු රාජ්‍යයක් ලෙසය. ඉන් ආ නිගමනය? ලෙනින්ගේ ' කල යුත්තේ කුමක්ද?' කෘතියෙන් ඔබ්බට ගොස් ධනවාදය යටතේ පවතින සීමාසහිත රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ආකෘති උපයෝගී කරගත හැකි උපාය මාර්ගයක් වෙත හැරීමට  වාමාංශයට සිදුවිය.

'( ලෙනින්වාදයේ ) නිශේධනීය පැතිකඩ නම් නිර්ධන පංති ආඥාදායකත්වය න්‍යාගත කිරීම හා එය ක්‍රියාවේ යෙදවීම පිලිබද සම්පූර්න ප්‍රශ්නය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මුලුමනින්ම සුනු විසුනු කර දැමීම වටා භ්‍රමනය වීමය. මධ්‍යගතකරනය පිලිබද නිශ්චිත හැගවුම් ඒ තුල වූ අතර වැඩකරන ජනතාවගෙන් පිටත සිට ඔවුන් වෙත විඥානය ගෙන එන පක්ෂය පිලිබද සංකල්පනය ද ඒ තුල විය. 'කල යුත්තේ කුමක්ද?' තුල එන ලෙනින්වාදයේ මෙම පැතිකඩ ගැන තවදුරටත් මා තුල විශ්වාසයක් නැත. පක්ෂය පිලිබද මෙම සංකල්පනය සෘජුව 'රාජ්‍ය- පක්ෂය' වෙත හා රාජ්‍යවාදය ( Statism) වෙත පාර කපන බව මම සිතමි' 4

රාජ්‍යය අතට ගෙන එය අනුභව කිරීම

ස්ටුවර්ට් හෝල් සහ ඇලන් හන්ට් සමග කරන සම්මුඛ සාකච්ඡාවක දී පුලන්සාස් රාජ්‍යය පිලිබද සිය මතය මෙසේ විස්තර කරයි.

අප රාජ්‍යය වටහා ගන්නේ එක්තරා විදිහක සංවෘත අවකාශයක් ලෙස නම් එය අබිබවනය කල හැක්කේ බාහිර ස්වරූපයක උපාය මාර්ගයකින්. ලෙනින්වාදී ප්‍රහාරාත්මක පන්නයේ උපාය මාර්ගය හෝ රාජ්‍යය වටලෑම පිලිබද ග්‍රාම්ස්චියානු අදහස එවැනි උපාය මාර්ගයන්ට නිදසුන්. මේ පසුබිම තුල රාජ්‍යය යනු බලවේගවල සම්බන්ධතා කැටි කරගනු ලැබූවක් ලෙස සිතන්නට මා උත්සාහ කලා5

පුලන්සාස් ද්විත්ව උපාය මාර්ගයක් යෝජනා කරයි. පදනම තුල සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් නිර්මානය කරන අතරේ ( එනම් 'ව්‍යාපාරය' ) නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම. කුවේලකිස් එම අදහස මෙසේ සාරාංශ කරයි - ' ඇතුලතින් සහ පිටතින්, ඉහලින් සහ පහලින් යන සියලු විධිවලින් රාජ්‍යය අත්පත් කරගත යුතුය' මේ අනුව අරගලය පැතිකඩ දෙකකින් සංයුක්තය. එය ' රාජ්‍යය තුල වන අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා තියුනු කරමින් රාජ්‍යයේ ගැඹුරු පරිවර්තනයන් ඇතිකිරීම' වෙනුවෙන් පෙනී සිටින අතර 'පදනමේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව ඇතිවන නව ව්‍යුහයන් විසින් ' එම ක්‍රියාවලියට බලය සපයනු ලැබේ.

'අප ප්‍රජාතාන්ත්‍රික සමාජවාදයක් වෙත වූ ප්‍රජාතාන්ත්‍රීය මාවතක් ගැන කථා කරන විට, පරිවර්තනය පිලිබද ආකෘතියක් පමනක් නොව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහසේ විවිධ මාදිලි ආරක්ෂා කරන ආකෘතියක් ද එබදු උපාය මාර්ගයක් විසින් ඉල්ලා සිටී. මීට සමගාමීව බිම් මට්ටමෙන් සෘජු ප්‍රජාතන්ත්‍රවාදය නිර්මානය කිරීම සමග මෙම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අති සමීප ලෙස බැදී තිබිය යුතුය'6

මේ අනුව පුලන්සාස් එක් අතෙකින් මැතිවරන සදහාත් අනෙක් අතින් සමාජ ව්‍යාපාර සදහාත් කැදවුම් කරයි -
'අප 'රාජ්‍යය සුනු විසුනු කිරීම' ගැන කථා නොකලත්, රාජ්‍යයේ දෘෂ්ටිවාදී උපකරනවල පමනක් නොව එහි මර්ධනකාරී උපකරනවල පවා  රැඩිකල් පරිවර්තනයක් ඇති කිරීමේ අවශ්‍යතාවය පිලිබද ප්‍රශ්නය පිලිබද යුරෝ කොමියුනිස්ට්වාදයේ වාමාංශය ඉතාමත් සවිඥානිකය'7

ඒ අනුව පටන් ගන්නේ කෙසේද? වාමාංශය රාජ්‍යය තුලට ඇතුලුවිය යුතුය. මේ සදහා මැතිවරන මූලෝපායක් අවශ්‍යයය. මැතිවරන බලය ලබාගත්තාට පසු රාජ්‍ය ව්‍යුහයන් ප්‍රජාතාන්ත්‍රීය කිරීම සදහා අවශ්‍ය බලය ඔවුන් සතුවේ.එතැන් සිට ' රාජ්‍යයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා තියුනු කරමින් සහ රාජ්‍යයේ ගැඹුරු පරිවර්තනයක් ඇති  කරමින්' අරගලය ක්‍රියා කරනු ඇත. 'බිම් මට්ටමේ ඇතිවන සෘජු ප්‍රජාතාන්ත්‍රීය ව්‍යුහයන්' ඉහත කී ක්‍රියාවලියට සහයෝගය ලබා දෙනු ඇත. පුලන්සාස්ට අනුව 'අරගලය' සෑම විටම ජනප්‍රිය ව්‍යාපාරවල සංවර්ධනය තුල, බිම්මට්ටමේ  ප්‍රජාතාන්ත්‍රීය ආයතන බහුල වශයෙන් බිහිවීම තුල සහ ස්වයං පාලිත කේන්ද්‍රයන් තුල ස්වකීය ප්‍රකාශනය අත්පත් කරගත යුතුය.  

පුලන්සාස්ගේ ප්‍රධාන න්‍යායන්
      
  •  රාජ්‍යය ( ද්විත්ව උපාය මාර්ගය )
  •  රාජ්‍යයේ සාපේක්ෂ ස්වාධීනත්වය
  •  රාජ්‍යය පංති අරගලයේ කැටි කොට දැක්වීමක් බවට වූ අදහස සහ ඒ සදහා අරගලයක් පවතින බව.

 රාජ්‍යයේ සාපේක්ෂ ස්වාධීනත්වය පිලිබද අදහස ඔහු මුලින්ම සංවර්ධනය කලේ දේශපාලන බලය සහ සමාජ පංති (1968) නම් වූ කෘතිය තුලදීය. ධනවාදයට සුමටව ක්‍රියාත්මක වීමට නම් තනි තනි ධනපතියාගේ අභිලාෂයන්ට ප්‍රතිරෝධය පෑ‍මේ හැකියාව රාජ්‍යය තුල තිබිය යුතුය. එනම් එක් එක් ධනපතියාගේ යහපත වෙනුවෙන් නොව ධනවාදයේ පොදු යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව රාජ්‍යය සතුව තිබිය යුතුය. ඒ අනුව ඇපල්, ගූගල්, ෆේස්බුක් ආදී එකිනෙකා සමග තරග කිරීමේ හා බෙදී සිටීමේ නැඹුරුතාවයක් දක්වන ආයතන වල අභිලාෂයන් සහ ඉල්ලීම්වලින් රාජ්‍යය 'සාපේක්ෂ ලෙස ස්වාධීන' වී සිටිය යුතුය.

 සාපේක්ෂ ස්වාධීනත්වය -
·         
  •   රාජ්‍යය පාලක පංතියේ විවිධ කන්ඩායම්වලින් සහ සමාජයේ පංති බලවේග අතර සමතුලිතයෙන් යම් පරතරයක් සහිතව ස්ථානගත වී තිබීමට පුලුවන
  •  ධනපති පංතිය තුල තිබෙන ගැටෙන සුලු අභිලාෂයන්ට ඒකාබද්ධ වීමට සහ දීර්ඝ කාලීන මූලෝපායන් සහ සන්ධාන - එනම් 'බල හවුල්' ගොඩනැගීමට අවශ්‍ය අවකාශය රාජ්‍යය විසින් නිර්මානය කරයි. ඒ අතර රාජ්‍යය ශ්‍රමික පංතිය තනි පුද්ගලයින් හෝ පුරවැසියන් ලෙස බෙදමින් එම පංතිය අසංවිධානාත්මක කරයි. මෙය 'හුදෙකලාභාවයේ ආචරනයයි'.

    ( මතු සම්බන්ධයි )

    පාද සටහන් -

1.    Clapp, 2015
2.    Kouvelakis, 2010
3.    Spencer, 1979
4.    Hall and Hunt, 1979
5.    Hall and Hunt, 1979
6.    Hall and Hunt, 1979
7.    Hall and Hunt, 1979
8.Kouvelakis, 2010

2 comments:

  1. හුඟක් වැදගත් ලිපියක්. මට ඉතා ඉක්මනින් Kouvelakis ගේ කතාවේ ඉතිරිය පරිවර්තනය කරන්න වෙනවා. අපි යුරෝපයේ ඉන්න සුවිශේෂී මොහොත මත.

    ReplyDelete
    Replies
    1. පුලුවන් තරම් මේ සිදුවීම් ගැන සිංහලෙන් දේවල් ලියන්න පුලුවන් නම් හොදයි. මේ වෙලාවේ ගෝලීය මට්ටමෙන් සිදුවෙන දේශපාලන වාද විවාදවලට ලංකාව බොහොම දුරයි.

      Delete