Monday, May 18, 2015

වෙල්ලමුල්ලිවෛක්කාල් සැමරුම මානුෂීයද? දේශපාලනිකද?

මැයි 19 වන දා ලංවීමත් සමග ‘අනුස්මරනය’ පිලිබඳ සංවාදය අලූත් වෙමින් තිබේ. රජයේ හමුදා විසින් එල්ටීටීඊ සංවිධානය සමූලඝාතනය කොට ජයග‍්‍රහනය ප‍්‍රකාශයට පත්කරනු ලැබු දිනය 2009 මැයි 19 වන දාය. එතැන් පටන් එම දිනය ‘විජයග‍්‍රහනයේ දිනය’ ලෙස ලංකා ආන්ඩුව විසින් උත්කර්ෂයෙන් වාර්ෂිකව සමරන ලදී. සිංහල ජනවාර්ගික සැකැස්මට මෙය විජයග‍්‍රහනයේ දිනයක් වන විට දෙමල ජනවාර්ගික සැකැස්ම එම දිනය භාරගත්තේ පරාජයේ සහ අවමානයේ දිනයක් වශයෙනි.

මෙම දිනය දෙමල ප‍්‍රජාවේ පැත්තෙන් ආකාර දෙකකින් ‘ශෝක දිනයක් ’ විය. එක් අතෙකින් සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී දහස් ගනනක් දෙමල ජනතාව මිය ගියහ. එය මෙම දිනය ශෝකී දිනයක් වන එක් අර්ථයක්. අනිත් අතට එම දිනය සිංහල මහජාතිවාදයට එරෙහිව ඇති වූ දෙමල ජාතික අරගලයේ තීරනාත්මක පරාජයක් සංකේතවත් කරන දිනයකි. මහජාතියේ පීඩනයට එරෙහිව ඇති වූ දෙමල ජාතික අරගලය අතිශය සංකීර්න ඉතිහාසයක් සහිත ක‍්‍රියාවලියකි. එය සංකීර්න අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතා, අවස්ථා හා ප‍්‍රවනතාවන්ගෙන් සමන්විත සංයුක්ත ක‍්‍රියාදාමයකි. එහි විවිධ අවධි විය. ඒ විවිධ අවදි තුල ඊට විවිධ සංවිධාන, පක්ෂ සහ බලවේග නායකත්වය සැපයීය. දෙමල ජාතිකවාදයේ වඩාත්ම රනකාමී ( එසේම වඩාත්ම ස්වෝත්තමවාදී ) ප‍්‍රකාශනය වූ එල්ටීටීඊය යුදමය ලෙස පරාජය වීම මෙම අරගලයේ තීරනාත්මක ලක්ෂ්‍යයයකි. දෙමල ජනතාවට එය අභිමුඛ වූයේ පරාජයේ මොහොතක් ලෙසය. එය සිංහල මහජාතිවාදය ඉදිරියේ දෙමල සමාජය එහෙම් පිටින්ම යටත්වීමකට ලක්වූ යුගයකට පාර කැපීය.

දැන් ප‍්‍රශ්නය මෙම දිනය අනුස්මරනය කිරීමට දෙමල සමාජයට අයිතිය තිබේද යන්නයි. රාජපපක්ෂ ආණ්ඩුව තිබූ කාලයේ මෙම දිනය අනුස්මරනය කිරීම තහනම් කටයුත්තක් ලෙස නම් කරන ලදී. එය අනුස්මරනයට දරන ලද සෑම උත්සාහයක්ම දරුනු මර්දනයක් කැඳවීය. යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ට පහරදීම, අත්අඩංගුවට ගැනීමේ සිට මිලිටරිය පාවිච්චි කොට මෙම දිනය අනුස්මරනය කිරීමට දරන පුංචිම උත්සාහය පවා චප්ප කොට දැමීම රාජපක්ෂ යටතේ සිදුවිය. දෙමල සමාජයේ එකී අනුස්මරනයන් මර්දනය කරනු ලැබුවේ සිංහල දකුන තුල රාජ්‍ය අනුග‍්‍රහයෙන් ‘විජයග‍්‍රහනයේ දිනය’ සමරන අතරතුරය.

සිරිසේන- වික‍්‍රමසිංහ ආන්ඩුව මෙම ප‍්‍රශ්නයට කෙලෙස ප‍්‍රතිචාර දක්වනු ඇද්ද යන්න බලා සිටීම සිත්ගන්නා සුලු කටයුත්තක් වනු ඇත. මැයි 4 වනදා දෙමල ජාතික සන්ධානයේ උතුරු පලාත් සභා මන්ත‍්‍රී තුරෙයිරාසා රවිකරන්ට මුලතිවු පොලිස් මූලස්ථානයට වාර්තා කරන මෙන් කැඳවුමක් පොලිසිය විසින් භාර දුන්නේය. ( මෙම පොලිස් කැඳවුමේ එක දෙමල වචනයක් නැත. එය ලියා තිබෙන්නේ සිංහලෙනි ) ඒ පසුගිය රජය සමයේ ඔහු සහභාගී වූ ‘මහ විරු දින’ සැමරුමක් ගැන ප‍්‍රකාශයක් පොලිසියට ලබාදෙන ලෙස දන්වමිනි. ඉදිරි දිනවල උතුරේ සිදුකෙරෙන අනුස්මරනයන්වලට මොන මට්ටමින් හමුදාව මැදිහත් වනු ඇද්දැයි තවමත් පැහැදිලි නැත. මෛත‍්‍රීපාල සිරිසේන බලයට ඒමේ දී තීරනාත්මක වූයේ උතුරු නැගෙනහිර දෙමල ජනතාවගේ ඡන්දයයි. මේ නිසා දෙමල සමාජය මත රාජපක්ෂ පන්නයේ විවෘත බලහත්කාරයක් යෙදවීමේ නෛසර්ගික අපහසුතාවයකට නව ආන්ඩුව මුහුන දී සිටී. ඒ කෙසේ වුව නව ආන්ඩුවේ හතර මායිම නිර්නය කරනු ලැබ ඇත්තේද සිංහල ජාතිකවාදය විසින් බව මෙහිදී අමතක නොකල යුතුය.

උතුරේ ‘කොටි සැමරුම්’ පිලිබඳ ද්වේශසහගත ප‍්‍රචාර සිංහල ජනමාධ්‍ය තුල සුලභව ප‍්‍රචාරය වෙමින් තිබෙන්නේ මේ වටපිටාව තුලය. දෙමල ජනතාවට එබඳු අනුස්මරනයක් කිරීමේ අයිතිය තිබේද යන්න මාතෘකාවක් වී තිබෙන්නේ ඒ අනුවය.

දෙමළ ජනතාවට ‘අනුස්මරනයේ අයිතිය’ තිබේ යැයි පිලිගන්නා දකුනේ ඇතැම් අය එය පිලිගන්නේ මානුෂික පදනමක් මතය. එනම් එය දෙමල සටන්කරුවන් සැමරීමක් නොව යුද්ධයෙන් මියගිය ඥාතීන්ව සැමරීමක් නිසා ඒ සඳහා ඉඩ දිය යුතුයි කියන පදනම මතය. මෙම අදහස කිසිදු අනුස්මරනයකට ඉඩක් නැති බව කියන සිංහල ස්වෝත්තමවාදී අදහස මෙන් නරක නැති නමුත් එහි සීමාවක් ඇත. අදාළ අනුස්මරනය මානුෂීය අනුස්මරනයක් නොව දේශපාලන අනුස්මරනයක් වන්නේ යැයි අපි සිතමු. එනම් දෙමල සමාජය තමුන් දේශපාලනිකව සැමරිය යුතු යැයි සිතන අය සැමරීම සඳහා එම දිනය යොදාගන්නේ යැයි සිතමු. ( ඇත්තටම ගතහොත් මැයි 19 උතුරේ අනුස්මරනවල මෙම මානයන් දෙකම අඩංගු වේ. එය එක් අතෙකින් මානුෂීය සැමරුමක් වෙද්දී අනිත් පැත්තෙන් එය දේශපාලන සැමරුමක්ද වේ ) එය එසේ නම් ඊට විරුද්ධ විය හැක්කේ කුමන පදනම මතද?

තමා අභිමත වීරයින් තෝරාගැනීමේ අයිතිය දෙමල ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතියේ නෛසර්ගික කොටසකි. දෙමල ජාතික අරගලය තුළ මිය ගිය සටන්කරුවන් ‘විරුවන් ’ ලෙස සලකා අනුස්මරනය කිරීම දෙමල සමාජයේ කැමැත්ත නම් එය එම සමාජයේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිවාසිකමකි. සිංහල බහුතර ආන්ඩු බලය යොදා එය යටපත් කිරීම පැහැදිලිවම බලහත්කාරී ක‍්‍රියාවකි. මේ නිසා ‘ඒ අය සමරන්නේ කොටි නෙමෙයි, මැරිච්ච අය. ඒ හන්දා සමරපු දෙන්’ කියා සුරතල් කථා කීමේ අවශ්‍යතාවයක් නැත. එල්ටීටීඊ සටන්කරුවන් ද ඇතුලූ තමා වීරයින් ලෙස පිලිගන්නා කවුරුන් හෝ අනුස්මරනය කිරීමේ දේශපාලන අයිතිය දෙමල ජනතාව සතුය. එම පිරිස් කල දේශපාලනයේ සීමා පවතී. ඒ සීමාවන් ගැන විවේචනය අඩු නැතිව ඉදිරිපත් කරන අතරම මැයි 19 දේශපාලනිකව සැමරීම සඳහා දෙමල ජනතාවට තිබෙන අයිතිය සිංහල ස්වෝත්තමවාදී ප‍්‍රහාරයන්ගෙන් ආරක්ෂා කිරීම දකුනේ ප‍්‍රගතිශීලීන් හා වාමාංශිකයින් ගේ කාර්යය වන්නේය.

( මෙම සටහන මැයි මස 17 දා ජනරල පුවත්පතේ පලවිය. මෙම සටහන ලිවීමෙන් පසු මුලතිවු අධිකරනයක් විසින් උතු‍රේ මැයි 19 සැමරුම් තහනම් කරමින් නියෝගයක් නිකුත් ‍කොට තිබුනේය. ආන්ඩුව විසින් කරන අනුස්මරන උත්සවයක් මාතර දී පැවැත්වෙන අතර මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් තවත් 'යුද ජය' සැමරුමක් කොලඹ දී පැවැත්වීමට නියමිතය ) 

5 comments:

  1. මේ යුද්ධය ආඩම්බරයෙන් සැමරිය යුතුයි. ඒකට හේතුව සිංහල දෙමළ මුස්ලිම් සියළු දෙනාට හිරිහැරයක් වූ සිංහල මුස්ලිම් ජනයා සමූලඝාතනය කිරීමේ දෙමළ නාසිවාදය පරාජය කළ දිනය නිසයි.දෙමළ නාසිවාදීන් හා සෙසු ජනයා එක පෙළට නොතැබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. දෙමළ නාසිවාදීන් හිට්ලර් මෙන් සෙසු ජනයා ගෑස් කාමරවලට නොයැව්වේ ඔවුන්ට එම තාක්ෂනය නොතිබූ නිසාය. දකුනේ වාමාංශිකයන්ට ගෙවීමට තිබෙන නිසා එම මුදල් සමූලඝාතනවලට නොයෙදුවා විය හැක.
      එහෙත් සිංහල හා මුස්ලිම්වරු උතුරින් හා නැගෙනහිරින් පලවා හැරියේ පැය 24නි. ගම්මාන කැතිගෑවේ වාර්ගික පදනමිනි.
      මේ ම්ලේච්ඡයන් වීරයන් ලෙස දෙමළ ජනයා විසින් තෝරාගන්නේ නම් දෙමළ ජනයාටත් නරක නාමයක් නේද

      Delete
    2. //මේ ම්ලේච්ඡයන් වීරයන් ලෙස දෙමළ ජනයා විසින් තෝරාගන්නේ නම් දෙමළ ජනයාටත් නරක නාමයක් නේද//
      ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  2. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17030-2015-05-18-21-58-48
    මහා කළු සිංහලයාගේ එකත් මේ ලිපියත් දෙකම එකම සිද්දිය දෙවිදියකට දැකීමකි. ඔබ සිටගන්නේ කුමන පැත්තේ ද මත යන්න මෙහිදී වඩාත් ඉදිරියට එයි. දෙමල ජාතිවාදීන් දෙමල අරගලය හයිජැක් කල ආකාරයටම සිංහල ජාතිවදින්ද සිංහල ජන විඥානය හයිජැක් කළහ.

    ReplyDelete
  3. Very good article
    A. Fernando

    ReplyDelete