Saturday, May 2, 2015

පරාධීන සමාජයක ස්වාධීන කොමිෂන්?

19 වන ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත විය. අවසානයේ සියල්ලෝ ඒ මල් වට්ටියට අත ගැසූහ. දකුනු ලංකාවේ ප‍්‍රධාන දහරාවේ දේශපාලනය තුල මේ වනවිට ආධිපත්‍යය උසුලන්නේ කඳවුරු ද්විත්වයකි. ඒ ලිබරල්වාදී කඳවුර සහ සිංහල ජාතිකවාදී කඳවුරයි. මේ විභේදනය සම්පූර්නයෙන්ම අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාරී එකක් නොවේ. එනම් ලිබරල් කඳවුර සිංහල ජාතිවාදයෙන් සම්පූර්නයෙන්ම මිදී නොමැති වන්නා සේම ජාතිවාදී කඳවුර තුලද ලිබරල්වාදයේ ඇතැම් අංග නියෝජනය වන්නේය. එසේ තිබිය දී මූලික වශයෙන් මේ විදිහේ අක්ෂයන් දෙකකට දකුනු ලංකාවේ ප‍්‍රධාන දහරාවේ දේශපාලනය බෙදී තිබේ යැයි කීම යුක්ති යුක්තය.

දැන් 19 වන සංශෝධනය ඉහත කී ලිබරල් කඳවුරේ ප‍්‍රධානතම ජයග‍්‍රහනයක් ලෙස ඉස්මත්තට පැමින ඇත. එය විශාල විපර්යාසයක් ලෙස එම කඳවුර නියෝජනය කරන අය විසින් හුවා දක්වනු ලැබේ. යම් දෙයක් ගැන අදහසක් ඇති කරගැනීමට නම් එම දෙය එය ඉදිරිපත් වී ඇති සැටියෙන්ම වටහා ගත යුතුය. කවර මිනුම් දන්ඩක් අනුව බැලූවත් කිව යුත්තේ 19 වන සංශෝධනය ඉතාමත් සීමිත දේශපාලන ප‍්‍රතිසංස්කරනයක් බවයි. මහින්ද රාජපක්ෂට එරෙහි මැතිවරන ව්‍යාපාරයේ දී ලිබරල් කඳවුර ඉදිරිපත් කල සටන් පාඨය වූයේ ‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම’ පිලිබඳ සටන් පාඨයයි.එනම් පාර්ලිමේන්තු ක‍්‍රමයක් මගින් ජනාධිපති ක‍්‍රමය විස්ථාපනය කිරීමක් ගැන කථා කෙරුනි. දැන් ඒ කථා කිසිවක් නැත. අවසානයේ සම්මත වී තිබෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය නම් වූ ව්‍යුහය තුළ ස්ථානගත වන කොමිෂන් සභා ස්ථාපිත කරන සංශෝධනයකි. එය ද අන්තර්ගතය අතින් ගත්තාම ස්ථානගත වන්නේ 17 වන සංශෝධනයටත් වඩා පිටුපස තැනකය.

19 වන සංශෝධනය තුල ‘මොනවාම හෝ දෙයක් නැතැයි’ මින් අදහස් වේද? එසේ කීමද අනෙත් අතට නිවැරදි නොවේ. මෙම සංශෝධනය මගින් 18 වන සංශෝධනය අත්හිටුවා තිබේ. විධායක ජනාධිපති ධූරයේ යම් බලතල ප‍්‍රමානයක් කප්පාදු කොට තිබේ. එනම් එහි යම්කිසි ප‍්‍රජාතාන්ත‍්‍රික අන්තර්ගතයක් ද නොපවතින්නේ නොවේ.

එහෙත් එම අන්තර්ගතය අතිශය සීමිතය. අතිශය දුර්වලය. මෙම සීමාකාරීත්වය ගැන අපිට පැති දෙකකින් කථා කල හැක. එක් පැත්තක් නම් ලිබරල් කතිකාවටම සාපේක්ෂව මෙම සංශෝධනය දෙස බැලීමයි. එම කඳවුරේ අය ඉදිරිපත් කල ප‍්‍රතිඥා, පොරොන්දුවලට සාපේක්ෂව බැලූවත් මෙම සංශෝධනය ‘පසුපසින් තිබෙන්නක් ’ බව පැහැදිලිය. තනි පුද්ගලයෙක් අත විශාල බලයක් කේන්ද්‍රගත වන ආන්ඩු ක‍්‍රමය වෙනුවට පුද්ගලයින් මන්ඩලයක් වෙත බලතල පැවරෙන ක‍්‍රමයක්. විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ක‍්‍රමය යන්නෙහි දේශපාලන හරය එයයි. අඩු තරමින් ඒ තාක් දුර යාමටවත් මෙම සංශෝධනය අසමත් වී තිබේ.

සංශෝධනයේ තිබෙන සීමාකාරීත්වය ගැන කථා කල හැකි අනිත් පැත්ත නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ ( ලිබරල් නොවන ) වඩා රැඩිකල් ආස්ථානයකින් එය දෙස බැලීමයි. 19 වන සංශෝධනය හෝ වෙනත් එවැනි  ඕනෑම ප‍්‍රතිසංස්කරනයක් ස්ථානගත වන්නේ ප‍්‍රභූ සමාජ පන්ති හා ස්ථරවල ආධිපත්‍යය පවතින රාමුවක් තුළය. පුලූල් අර්ථයෙන් ගත් විට රාජ්‍යය පවතින සමාජ රටාව ප‍්‍රතිනිෂ්පාදනය කිරීම සඳහා කටයුතු කරන දේශපාලන ව්‍යුහයකි. එය එනයින් ගත්විට අවසාන විග‍්‍රහයේ දී සමාජයේ බලවත් කන්ඩායම් හා ස්ථරවලට පක්ෂපාතී වන්නේය. මෙම පන්ති පක්ෂපාතීත්වය පොලිසිය, අධිකරනය, රාජ්‍ය සේවය ආදී  ඕනෑම රාජ්‍ය උපකරණයක ඇට මිදුලූ දක්වා කිඳා බැස තිබෙන්නකි. මෙම ආයතනවලට පත්කිරීම් කිරීම තනි පුද්ගලයෙක්ගේ ( ජනාධිපති ) සිට ඊනියා බුද්ධිමතුන්ගෙන් සමන්විත පර්ෂදයකට ( කොමිෂන් සභා ) විතැන් කලා කියලා මෙම ආයතනවල තිබෙන ප‍්‍රභූවාදී සැකැස්ම හෝ හැඩහුරුව වෙනස් වන්නේ නැත. උදාහරනයක් විදිහට කම්කරු අරගලයක දී පොලිසිය ක‍්‍රියා කරනු ඇත්තේ කෙසේද? එය විසින් ආරක්ෂා කරනු ඇත්තේ කාගේ උවමනාවන්ද? ජනාධිපති විසින් පොලිස්පති පත්කලත්, කොමිෂන් සභාවක් විසින් පොලිස්පති පත් කලත් වෙනසක් නැතිව එය විසින් ආරක්ෂා කරනු ඇත්තේ ප‍්‍රාග්ධනයේ උවමනාව මිස කම්කරුවන්ගේ උවමනාව නොවේ. ඒ නිසා ඉහල සිට රාජ්‍යය ප‍්‍රතිසංස්කරනය කිරීම සඳහා කරන  ඕනෑම ලිබරල් ප‍්‍රතිසංස්කරනයකට සීමාවක් තිබේ. එම සීමාව වු කලී ධනවාදයයි. පංති සමාජයයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන තිබෙන එක් ග‍්‍රාම්‍ය වාමාංශික කියැවීමක් වන්නේ එය ( ප‍්‍රජාතන්ත‍්‍රවාදය ) පීඩිත පංති රවටා තබාගැනීම සඳහා පාලක පන්තිය විසින් යොදාගන්නා ප‍්‍රයෝගයක් නිසා එහි ඇති ප‍්‍රයෝජනයක් නැත යන්නය. ඒ දැක්ම අනුව ග‍්‍රීසියේ පෞර රාජ්‍යවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු වහල් ක‍්‍රමය පවත්වාගෙන යාමේ දී වහල් හිමියන් විසින් පාවිච්චි කල හුදු උපායකට වැඩි දෙයක් නොවේ.

මෙම කියැවීම යම් දෙයක් එහි තිබෙන ප‍්‍රතිවිරෝධතා සහිතව සංයුක්තව අවබෝධ කරගැනීමේ නොහැකියාව නිසා මතු වී තිබෙන මතිභ‍්‍රමයකි. ග‍්‍රීක වහල් සමාජයේ හෝ වේවා නූතන ධනවාදී සමාජවල හෝ වේවා ඇතිවන  ඕනෑම ප‍්‍රජාතාන්ත‍්‍රික ක‍්‍රියාවලියකට පංතිමය සීමාවක් තිබේ. එය සත්‍යයකි. නමුත් ඉන් ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැඩක් නැත’ වැනි ගම්‍යයක් ඇති නොවේ. වාමාංශිකයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැකිය යුත්තේ ‘පුලූල් කරගත යුත්තක් ’ ලෙසය. එනම් ලිබරල් ප‍්‍රතිසංස්කරනවල සීමාව සෑම විටම වාමාංශිකයන්ගේ විවේචනයට ලක්විය යුතුය. ඒ ඒවායේ සීමිතව හෝ ගැබ් වී තිබෙන ප‍්‍රජාතාන්ත‍්‍රික අන්තර්ගතය ප‍්‍රතික්ෂේප කිරීමේ අර්ථයෙන් නොව එය ධනවාදයට ලගා නොවිය හැකි උස් ස්ථානයක් වෙත ඔසවා තැබීමේ අර්ථයෙනි. එනම් එය පුලූල් කිරීමේ අර්ථයෙනි.

මේ නිසා මෙබඳු ලිබරල් ප‍්‍රතිසංස්කරන අභිමුව වාමාංශිකයින් ගත යුත්තේ ලිබරල්වාදීන් මෙන් එන  ඕනෑම ලියැවිල්ලක් ප‍්‍රශ්න නොකොට ඊට අත්පුඩි ගැසීමේ හෝ ජාතිවාදීන් මෙන් එන  ඕනෑම ප‍්‍රතිසංස්කරනයකට කොන්දේසි විරහිතව විරුද්ධ වීමේ ප‍්‍රවේශයක් නොව ඊට වඩා විකල්ප ආස්ථානයකි. ලිබරල් ප‍්‍රතිසංස්කරනවල තිබෙන ප‍්‍රජාතාන්ත‍්‍රික අන්තර්ගතය ලිබරල්වාදයට දරා ගත නොහැකි තරමට පුලූල් කරමින් රැුඩිකල්කරනය කරන්නේ කෙසේද? වාමාංශයේ උපාය මාර්ගය යොමු විය යුත්තේ ඒ දිශාවටය.

1 comment:

  1. ලිපියේ අන්තර්ගය කෙසේ වෙතත් උපන් සිංහලයන් පරදවන ඔබේ සිංහල අකුරු කිරීම නම් නහයේ ඇඟිල්ල තබන්නට සලස්වයි.

    ReplyDelete