Tuesday, April 7, 2015

පටන් ගැන්මේ සිට පටන් ගන්නේ කෙසේද? - ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්ගේ  How to begin from the beginning රචනයෙන් උපුටා ගනු ලැබූ කොටසක සිංහල පරිවර්තනය පහත පලවේ. මෙම රචනය 2009 දී New Left Review සගරාවේ මැයි- ජූනි කලාපයේ පලවිය. රචනාව දීර්ඝ නිසා මෙය කොටස් දෙකකින් බ්ලොග් අඩවියේ පල කරනු ලැබේ. උපුටා ගැනීම් සදහා වූ පාද සටහන් දෙවැනි අර්ධයේ අග යොදා ඇත. 

***


සෝවියට් බලතල බෙදීමක්?
ලෙනින්ගේ සිට ස්ටාලින් දක්වා වූ යොමුව අත්‍යවශ්‍ය වූවක්ද? මේ සදහා තිබෙන හෙගෙලියානු උත්තරය අතීතයට බලපාන ලෙස ක්‍රියාත්මක වන අවශ්‍යතාවයක් ( Retroactive necessity) මතු කරනු ඇත. එම මග ගනු ලැබූ විට, එනම් ස්ටාලින් ජය ලැබූ විට, එය අත්‍යවශ්‍ය වූවකි. දයලෙක්තික ඉතිහාසඥයෙක්ගේ කාර්යය නම් යමක් එහි 'භවය තුල' ( in becoming ) තේරුම් ගැනීමයි. එනම් යම් අරගලයක් අවසාන විය හැකිව තිබූ විවිධ ආකාර ගැන අදහසක් ඇති වන විදිහට එහි සියලු විය හැකියාවන් සමග එය ඉදිරිපත් කිරීමය. 'ලෙනින්ගේ අවසාන සටන' ( Lenin's Last Struggle ) කෘතියේ දී මොෂෙ ලවීන් කරන්නේ ඒ දෙයයි. පලමුව ලවීන් සෝවියට් රාජ්‍යය සමන්විත වන්නා වූ ජාතික ඒකකවල පූර්න ස්වාධිපත්‍යය ගැන ලෙනින් කරනු ලැබූ අවධාරනය කෙරෙහි ස්වකීය අවධානය යොමු කරයි. 1922 සැප්තැම්බර් 22 දාතම දරන ලිපියක් මගින් දේශපාලන මන්ඩලය ආමන්ත්‍රනය කරන ස්ටාලින් ඉහත කී කරුන සම්බන්ධයෙන් 'ජාතික ලිබරල්වාදී' ආස්ථානයක් ගත්තේ යැයි ලෙනින්ට විවෘතව චෝදනා කරයි. ස්ටාලින් එවැනි චෝදනාවක් කිරීමේ අරුමයක් නැත. දෙවනුව ලෙනින් විසින් ඉදිරිපත් කල අරමුනු වල සරලබව කෙරෙහි ලවීන් සිය අවධානය යොමු කරයි. ඒ අරමුන සමාජවාදය නොව ඊට වඩා බෙහෙවින් චාම් ඒවාය. සංස්කෘතිය, සර්වජන සාක්ෂරතාව, කාර්යක්ෂමතාව, ශිල්පාධිපත්‍යය, සමූපකාර යනාදියය ඒ. මේවා නව ආර්ථික වැඩපිලිවෙලේ සන්දර්භය තුල ගොවීන්ට 'සංස්කෘතියක් සහිත වෙලෙදුන්' බවට පත්වීමෙහි ලා උපකාර කරනු ඇතැයි ලෙනින් කල්පනා කලේය. මේ වූ කලී පැහැදිලිවම 'තනි රටක සමාජවාදය' ට වඩා හාත්පසින්ම වෙනස් චිත්‍රයකි. අරමුනුවල සරලබව ඇතැම් විට විස්මයජනක ලෙස විවෘතය.  'සමාජවාදය ගොඩනැගීම' සදහා වූ සියලු උත්සාහයන් සමච්චලයට ලක්කරන ලෙනින් නැවත නැවතත් පක්ෂයේ අඩුලුහුඩුකම් පෙන්වා දෙමින් සෝවියට් ප්‍රතිපත්තියේ තිබෙන 'හදිසියෙන් සම්පාදනය කරගත්' ස්වභාවය මත සිය අවධාරනය රදවයි. ඔහු නැ‍පෝලියන්ගේ ' මුලින්ම කෝලාහලයට අවතීර්නය වන්න. පසුව වෙන්නේ මොනවා දැයි බලමු' නමැති උද්ධෘතය ගෙන හැර දැක්වීමේ ප්‍රමානයට එම අවධාරනය රැදවීය.
රාජ්‍යයේ නිලධරයට එරෙහිව ලෙනින් කල අවසන් සටන බෙහෙවින් ජනප්‍රියය. එහෙත් ලවීන් පෙන්වා දෙන පරිදි ලෙනින් ප්‍රජාතන්ත්‍රවාදය සහ පක්ෂ - රාජ්‍යයේ ආඥාදායකත්වයේ වක්‍රය සමතලා කරන්ට වෑයම් කරමින් සිටියේය. මෙය එතරම් ප්‍රචලිත වූ කරුනක් නොවේ. ඔහු එසේ කරන්ට වෑයම් කලේ මධ්‍යම පාලක කොමිසම නම් වූ නව පාලක ව්‍යුහය යෝජනා කිරීම මගින්ය. සෝවියට් පාලන තන්ත්‍රයේ ආඥාදායක ස්වභාවය සම්පූර්නයෙන්ම පිලිගන්නා ගමන් ඔහු විවිධ සංඝටකවල තුලනයක් මත එය රැදවීමට උත්සාහ කලේය. ' එකම කෘත්‍යය වෙනුවෙන් සේවය කල හැකි අන්‍යොන්‍ය ක්‍රියාකාරී පද්ධතියක් - මෙම සංසන්දනය ඉතා ලංවූ දෙයකට වැඩි දෙයක් නොවේ , ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක බලතල බෙදීම ලෙස ස්ථාපිත කිරීම'.ප්‍රසාරනය කරනු ලැබූ මධ්‍යම කාරක සභාවක් විසින් ප්‍රතිපත්තිවල පුලුල් සීමා මායිම් නිර්නය කරනු ඇති අතර සමස්ත පක්ෂය යාන්ත්‍රනය එය විසින් අධීක්ෂනය කරනු ඇත. ඒ තුල මධ්‍යම පාලක කොමිසම පහත කෘත්‍යය ඉටු කරනු ඇත.
' මධ්‍යම කාරක සභාවට සහ එමගින් පැන නගින විවිධ සංවිධාන ව්‍යුහ - එනම් දේශපාලන මන්ඩලය, ‍ලේකම් මන්ඩලය, ඔර්ගොබියුරෝව ආදී වූ ආයතනවල පාලකයක් ලෙස ක්‍රියා කිරීම. මෙම කොමිසමේ සෘජු සම්බන්ධීකරනය තිබෙන්නේ පක්ෂ සම්මේලනය සමගය .එනම් එය වග කියන්නේ පක්ෂ සම්මේලනයටය. දේශපාලන මන්ඩලයේ හෝ එහි පරිපාලන ව්‍යුහයේ හෝ මධ්‍යම කාරක සභාවේ මැදිහත්වීමකින් තොරව මෙම කොමිසමේ ස්වාධීනත්වය තහවරු කෙරෙනු ඇත' 1
පාලකයන්ව පාලනය කරන්නේ කවුද? සංවරන හා තුලන, බලතල බෙදීම, අන්‍යොන්‍ය පාලනය - මේ ඒ ප්‍රශ්නයට ලෙනින් දුන් දුෂ්කර උත්තරයයි. මධ්‍යම පාලන කොමිසමක් පිලිබද මේ අදහසේ එක්තරා විදිහක ස්වප්නමය, නියම ලෙස කියනවා නම් මායාරූපී ස්වභාවයක් පවතී. දේශපාලනිකකරනය වූ මධ්‍යම කාරක සභාව සහ එහි අවයව වල ක්‍රියාකාරීත්වය සංවරනය කිරීම සදහා හොදම ගුරුවරුන්ගෙන් හා තාක්ෂනඥයින්ගෙන් සමන්විත ස්වාධීන, අධ්‍යාපනික ස්වභාවයෙන් යුක්ත, 'අදේශපාලනික' මායිමකින් යුතු පාලන ව්‍යුහයක්. සරලවම කියනවා නම් පක්ෂයේ විධායකය නිසි මග තබා ගැනීම සදහා මධ්‍යස්ථ විශේෂඥයින් පිරිසක්. කෙසේ වුවද මේ සියල්ල රැදී පවතින්නේ පක්ෂ සම්මේලනයේ සැබෑ ස්වාධීනත්වය මතය. කන්ඩායම් ලෙස සංවිධානය වීම තහනම් කිරීම නිසා පක්ෂ සම්මේලනවල ස්වාධීනත්වය ඒ වනවිටත් තත්වාකාර වශයෙන් පලුදු වී තිබුනේය. කන්ඩායම් තහනම සම්මේලනය පාලනය කිරීමේ පහසු හැකියාවක් පක්ෂයේ ඉහල තන්ත්‍රයට ලබා දුන් අතර ස්වකීය විවේචකයින් 'කන්ඩායම්වාදීන්' ලෙස නම් කොට බැහැර කිරීමට ඒ තුල ඔවුහු අවස්ථාව ලබාගෙන තිබුනාහ. ලෙනින් වූ කලී දේශපාලන අරගලයේ පැතිරුනු ස්වභාවය ගැනත් ඒ තුල නිර්පාක්ෂික ආස්ථානයකට කිසිදු ඉඩක් නොමැති වීම ගැනත් මනා අවබෝධයක් තිබූ නායකයෙක් බව සිහියට නගා ගන්නා විට මධ්‍යස්ථ විශේෂඥයින් ගැන ලෙනින් තබන මේ විශ්වාසයේ ඇති අවිදග්ධබව කැපී පෙනෙන්නේය.
1922 දී රුසියානු සෝවියට් ෆෙඩරල් සමාජවාදී ජනරජයේ ආන්ඩුව යුක්‍රේන, බෙලරූස්, අසර්බයිජාන්, ආර්මේනියා හා ජෝර්ජියා සමුහාන්ඩුවලද ආන්ඩුව ලෙස ප්‍රකාශයට පත් කල යුතු බවට ස්ටාලින් 1922 දී යෝජනා කරයි. මේ යෝජනාව සුලං හැමීම ආරම්භ වි තිබූ දිශාව පැහැදිලිවම පෙන්නුම් කරන්නකි.
'මේ යෝජනාව රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අනුමත කලේ නම් එය ප්‍රසිද්ධ නොකරනු ලැබේ. ඒ වෙනුවට එම පනිවුඩය සමස්ත රුසියානු සෝවියට් සභා සම්මේනය කැදවීමට පෙර සමූහාන්ඩුවල මධ්‍යම කාරක සභාවන් වෙත සන්නිවේදනය කෙරෙන අතර ඒ හරහා සෝවියට් ආයතන, මධ්‍යම විධායක කමිටු හෝ අදාල සමූහාන්ඩුවල සම්මේලන වෙත ලැබෙන්නට සැලැස්වේ. සමස්ත රුසියානු සම්මේලනයේ දී අදාල සමූහාන්ඩුවල කැමැත්ත ලෙස එම යෝජනාව ප්‍රකාශයට පත්කෙරෙනු ඇත'2
මේ අනුව ඉහල අධිකාරියට සිය අභිලාෂය ගැටලුවකින් තොරව බිම් මට්ටම මත ආරෝපනය කිරීමට ඉඩ ලැබෙන පරිදි ඉහල අධිකාරිය සහ එහි බහුජන පදනම අතර අන්තර් ක්‍රියාකාරීත්වය මුලිනුපුටා දැම්මා පමනක් නොවේ. තුවාලය තවත් පාරමින් එහි ප්‍රතිවිරුද්ධය බලගන්වන ලදී. එනම් බහුජන පදනමේ අභිලාෂය මධ්‍යම කාරක සභාව විසින් තීරනය කොට , බහුජනයාගේ අභිලාෂය ලෙස ඉහල අධිකාරියේ අභිලාෂය ප්‍රකාශයට පත්කරනු ලබයි.
උපක්‍රම සහ ත්‍රස්තය
ලෙනින්ගේ අවසාන අරගල ගැන ලවීන් අවධානය යොමු කරන තවත් එක් පැතිකඩක් වන්නේ ඒ අරගල තුල දී විනීතභාවය සහ ශිෂ්ටසම්පන්නබව කෙරෙහි ලෙනින් දක්වන අනපේක්ෂිත අවධාරනයයි. සිදුවීම් දෙකක් නිසා ලෙනින් ගැඹුරින් කම්පාවට පත් වී සිටියේය. දේශපාලන විවාදයක් අතරතුර ජෝර්ජියාවේ මොස්කව් නියෝජිතයා වූ සර්ජෝ ඕඩ්ෂොනිකිඩ්සේ ජෝර්ජියානු මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක්ට ශාරීරීකව පහර දීම එක් සිද්ධියකි. අනිත් සිද්ධිය නම් ස්ටාලින් විසින් තෙමේම කෘප්ස්කායාට වාචිකව බැන වැදීමයි. ඔහු එසේ බැන වැදී තිබුනේ ස්ටාලින්ට එරෙහිව සන්ධානයක් ඇති කරගත යුතු යැයි යෝජනා කරමින් ලෙඩ ඇදේ සිටි ලෙනින් ට්‍රොට්ස්කි වෙත ලියනු ලැබූ ලිපියක් ට්‍රොට්ස්කිට ලබාදීමට කෘප්ස්කායා ක්‍රියා කල බව ස්ටාලින්ට ආරංචි වීම නිසාය. ස්වකීය සුප්‍රකට ඉල්ලීම ඉදිරියට දැමීමෙහිලා ලෙනින්ව පොලඹොවන ලද්දේ මේ පසුව කී සිද්ධියයි.
' ස්ටාලින් අති ගොරහැඩිය. මෙම අඩුපාඩුව කොමියුනිස්ට්වාදීන් වන අප අතර සහ අපේ වැඩවලදී විද දරා ගත හැකි වුවද ප්‍රධාන ලේකම් පදවිය සමග එය කොහෙත්ම නොගැලපෙයි. එම නිසා ස්ටාලින් එම ධූරයෙන් අස් කර දැමිමට ක්‍රමයක් ගැනත් ස්ටාලින් සහෝදරයාට වඩා හැම අතින්ම වෙනස්, එනම්, වඩාත් ඉවසිලිවත්, වඩාත් ලැදි, වඩාත් ආචාරශීලී සහ සහෝදරවරුන් වෙත වඩාත් සැලකිලි දක්වන චපල ගති ආදිය වඩාත් අඩු පුද්ගලයෙකු එම ධූරයට පත්කිරීම ගැනත් කල්පනා කරන ලෙස ද මා ඉල්ලා සිටින්නේ එබැවිනි' 3
මධ්‍යම පාලන කොමිසමක් ගැන ලෙනින්ගේ යෝජනා හා ශිෂ්ටසම්පන්න වීම ගැන ලෙනින් දක්වන අවධාරනය කිසිසේත්ම ලිබරල් මෘදු වීමක් ගම්‍ය නොකරයි. මේ කාලයේ දීම කාමනෙව්ට ලියන ලිපියක ඔහු මෙසේ ලියයි. ' නව ආර්ථික වැඩපිලිවෙල විසින් ත්‍රස්තය නිමා කොට තිබෙන බව සිතීම අත් වැරැද්දකි. අප නැවත ත්‍රස්තයේ පිහිට වෙත එලැඹී සිටිමු. ඒ ආර්ථික ත්‍රස්තයයි '. කෙසේ වුවද රාජ්‍ය උපකරනවල සහ චෙකා ආයතනය තුල සැලසුම් කරනු ලැබූ කප්පාදුවෙන් ඉක්බිති ත්‍රස්තය පිලිබද මේ සදහන සැබෑවකට වඩා හුදු තර්ජනයක් ලෙස ගත හැකිව තිබුනි. ලවීන් දක්වන පරිදි ලෙනින් ගේ අරමුන වූයේ ' නව ආර්ථික වැඩපිලිවෙල යටතේ ක්‍රියා කරන විට, රජය විසින් ව්‍යාපාරිකයින්ට අදාලව පනවා තිබෙන සීමාවන් ඉක්මවා කටයුතු කිරීමේ විභවය සහිත පුද්ගලයින්ට' ' උපක්‍රමශීලීව සහ විනීතව' මෙම අවසාන ආයුධයේ පැවැත්ම පිලිබද සිහි කැදවීමක් කිරීමය4. ලෙනින් මෙහිදී නිවැරදිය. ආඥාදායකත්වය යනු ( රාජ්‍ය ) බලයේ සංස්ථාපිත අතිරික්තයයි. මේ මට්ටමේ දී කිසිදු මධ්‍යස්ථතාවයක් තිබිය නොහැක. තීරනාත්මක ප්‍රශ්නය නම් කාගේ අතිරික්තය ද? යන්නයි. එය අපගේ නොවේ නම් එය ඔවුන්ගේ.
1923 දී ලියන ලද ඔහුගේ අවසාන ලියැවිල්ලක් වූ ' ස්වල්පයක් හොදයි. නමුදු වඩාත් හොදට ' හිදී ලෙනින් මධ්‍යම පාලන කොමිසමේ කාර්ය මාදිලිය ගැන ලියමින් මෙම ව්‍යුහය සමන්විත විය යුතු ලක්ෂන ගැන මෙසේ සදහන් කරයි.

'' ... යම් අර්ධ වශයෙන් හාස්‍යජනක ප්‍රයෝගයක්, කපටි උපායක්, යම් ප්‍රෝඩාවක් හෝ එවැනි යමක්. මෙවැනි යෝජනා බටහිර යුරෝපයේ සන්සුන් සහ සැලකිලිමත් ආයතනවලට ඉදිරිපත් කලහොත් එම අදහස් එම වැසියන් කම්පනයට පත්කරනු ඇති බවත් එකදු හෝ ශිෂ්ට නිලධාරියෙක් එබදු යෝජනාවක් විනෝදාත්මකව පිලි නොගනු ඇති බවත් අපි දනිමු. කෙසේ වුවද අප තවමත් ඒ තරම් නිලධාරිවාදී වී නැති බවත් අප අතර වන සාකච්ඡාවක දී මෙබදු අදහසක් හුදු සිනහවකට වඩා වැඩි යමක් ඇති නොකරන බවත් මම විශ්වාස කරමි.   

සත්තකින්ම සතුට සමග ප්‍රයෝජනවත්භාවය එක් නොකරන්නේ මන්ද? මුග්ධ කිසිවක්, හානිදායක කිසිවක්, අර්ධ මුග්ධ යම් කිසිවක්, අර්ධ හානිදායක ආදී යම් කිසිවක් හෙලිදරවු කිරීම පිනිස කිසියම් හාස්‍යජනක, නැතිනම්, අර්ධ හාස්‍යජනක උපායක් පාවිච්චි නොකරන්නේ මන්ද?...5 ''

මේ වූ කලී මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මන්ඩලය තුල සංකේන්ද්‍රනය වී තිබෙන 'බැරෑරැම්' විධායක බලය අශ්ලීල ලෙස දෙගුන කිරීමක් නොවේද? ප්‍රයෝග, සටකපට බුද්ධිය - අලංකාර සිහිනයක්. එහෙත් පැහැදිලිවම යුටෝපියාවක්. ලවීන් තර්ක කරන විදිහට ලෙනින්ගේ දුර්වලකම මෙයයි. ඔහු නිලධාරිකරනයේ ප්‍රශ්නය දුටුවේය. එහෙත් එහි බර සහ එහි සැබෑ මානය ඔහු අවතක්සේරු ක‍ලේය. ' ඔහුගේ සමාජ විශ්ලේෂනය පදනම් වී තිබුනේ පංතීන් තුනක් මතය. එනම් කම්කරුවන්, ගොවීන් සහ ධනපතීන් ලෙස. ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර ජනසතු කොට තිබූ රටක රාජ්‍ය උපකරන වෙනම සමාජ අවයවයක් ලෙස ඔහු සැලකිල්ලට ගත්තේ නැත6'

තම දේශපාලන බලය සදහා නිශ්චිත ස්වීය සමාජ පදනමක් නොමැති බව බොල්ෂෙවික්වරු ඉක්මනින්ම වටහා ගත්තෝය. ඔවුන් වෙත ලැබුනු සහයෝගයේ පදනම ලෙස පැවැති කම්කරු පංතියේ බොහෝ ක්‍රියාකාරී කොටස් සිවිල් යුද්ධය තුල මිය ගොස් සිටියෝය. ඒ අනුව ඔවුන් එක්තරා විදිහකට පාලනය කරමින් සිටියේ සමාජ නියෝජනය නොමැති වූ තලයක සිටය. කෙසේ වුවද සමාජය මත ස්වකීය අභිලාෂය බලාත්මක කරන ශුද්ධ දේශපාලන බලයක් ලෙස තමාව පරිකල්පනය කරගැනීමේ දී රාජ්‍ය නිලධාරී තන්‍ත්‍රය 'බලයේ සැබෑ සමාජ පදනම' බවට පත්වන ආකාරය ඔවුහු නොසලකා හැරියෝය. විශේෂයෙන් නිෂ්පාදන බලවේගවලට අයිතිකරුවෙක් නොසිටි තත්වයක් තුල ,එම බලවේගවල තත්වාකාර හිමිකරු ලෙස හෝ භාරකරු ලෙස රජය ක්‍රියා කල තත්වයක් තුල, නිලධරය බලයේ සැබෑ සමාජ පදනම බවට පත්විය.

'' සමාජ පදනමකින් තොර ශුද්ධ දේශපාලන බලය යනුවෙන් යමක් නොමැත.මර්ධනකාරී උපකරන හැර ආන්ඩුව යම් වෙනත් සමාජ පදනමක් සොයාගත යුතුය. සෝවියට් ආන්ඩුව සිර වී සිටි 'හිස් තැන' ඉතා ඉක්මනින් පිරවින. එසේ එය පිරෙනු බොල්ෂෙවික්වරු සමහර විට නොදකින්නට ඇත.සමහර විට ඔවුන්ට එය දැකීම අවශ්‍ය නොවන්නට ඇත7''

මෙම පදනම මධ්‍යම පාලක කොමිසමක් පිලිබද ලෙනින්ගේ ව්‍යාපෘතිය අවහිර කිරීමට හේතු වී යැයි විවාදාත්මක ලෙස යෝජනා කල හැක. ප්‍රති ආර්ථිකවාදී (Anti Economist) සහ ආර්ථික නිර්නයවාදී ( Economic Deterministic) නොවන ආකාරයකින් ලෙනින් දේශපාලනයේ තිබෙන ස්වතන්ත්‍රභාවය පිලිබද අවධාරනය කරන බව සැබැවි. එහෙත් ඔහුට මග හැරෙන තැනක් ද ඇත. බදියුගේ වචන වලින් කියනවා නම් ඔහුට මග හැරෙන තැන , ඕනෑම දේශපාලන බලවේගයක් යම් සමාජ බලවේගයක් හෝ පංතියක් නියෝජනය කරන්නේය යන්න නොව , එලෙස නියෝජනය කරන දේශපාලන බලවේගය සෘජු ලෙස නියෝජිතයාගේ මට්ටමට තෙමේම එසවී ගන්නේ කෙසේද සහ ඉක්බිති වෙනම සමාජ බලවේගයක් ලෙස සංයුක්ත  වී ගන්නේ කෙසේද යන්නය.  ස්ටාලින්ට එරෙහි ලෙනින්ගේ අවසාන අරගලය ඒ නිසා නියමාකාර ඛේදාන්තයක සියලු ප්‍රකට ලක්ෂන උසුලයි. එය හුදෙක් දුෂ්ටයාට එරෙහිව වීරයා සටන් කරන උද්වේගී නාට්‍යයක් නොවේ. එය වූ කලී තමා සටන් කරන්නේ තමාගෙන්ම පැවත එන්නෙක්ට විරුද්ධව බව තේරුම් ගන්නා , ඒත් අතීතයේ දී තමා ගනු ලැබූ වැරදි තීරන ඉරනම්සහගත ලෙස ඉදිරියට ගලා යාම ආපසු හැරවීමට තමා ප්‍රමාද බව වටහා ගත් වීරයෙක් පිලිබද ඛේදාන්තයකි.  


3 comments:

  1. ./////////// ස්ටාලින්ට එරෙහි ලෙනින්ගේ අවසාන අරගලය ඒ නිසා නියමාකාර ඛේදාන්තයක සියලු ප්‍රකට ලක්ෂන උසුලයි. එය හුදෙක් දුෂ්ටයාට එරෙහිව වීරයා සටන් කරන උද්වේගී නාට්‍යයක් නොවේ. එය වූ කලී තමා සටන් කරන්නේ තමාගෙන්ම පැවත එන්නෙක්ට විරුද්ධව බව තේරුම් ගන්නා , ඒත් අතීතයේ දී තමා ගනු ලැබූ වැරදි තීරන ඉරනම්සහගත ලෙස ඉදිරියට ගලා යාම ආපසු හැරවීමට තමා ප්‍රමාද බව වටහා ගත් වීරයෙක් පිලිබද ඛේදාන්තයකි. ////////////

    ඇත්ත.....මෙය ඉදිරියටත් එලෙසෙමයි.වඩ වඩාත් කියවියුත්තේ පුස්තකයේ යථාර්තය නොව භූමියේ යථාර්තය බව මගේ සිතුවිල්ලයි. එය වටහා නොගන්නා තෙක් අපි වේයෝ වෙමු. රාමා වේයෝ යන සත්වයා හඳුණනවා යැයි සිතමි.

    ReplyDelete
  2. ඉතින් අපට පාන්ද?

    ReplyDelete