Thursday, March 26, 2015

ප්‍රශ්නය ශ්‍රී ලංකා මාතා ද?

දෙමල භාෂාවෙන් ජාතික ගීය ගැයීම මේ දිනවල පැන නැගී තිබෙන අලුත්ම විවාදයයි. ලංකාවේ ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව කියන විදිහට රටේ ජාතික ගීය ‘ශ‍්‍රී ලංකා මාතා’ය. එහෙත් දශක ගනනාවක් තිස්සේ මෙම ගීතයේ දමිල අනුවාදනයක් දෙමල ජනතාව බහුතරයක් ජීවත් වන ප‍්‍රදේශවල පාවිච්චි කරන ලදී. මෙම අනුවාදනය ඉවත් කිරීම පිලිබඳ ප‍්‍රශ්නය මුලින්ම මතු කරන ලද්දේ පසුගිය රාජපක්ෂ පාලන සමයේය. රාජපක්ෂ යෝජනා කලේ ජාතික ගී දෙකක් රටකට තිබිය නොහැකි බවත්, ඒ නිසා සිංහල භාෂාවෙන් පමනක් ජාතික ගීය ගායනා කල යුතු බවත්ය. මේ යෝජනාව සිංහල ජාතිවාදී කොටස් විසින් ඒ මොහොතේ මහත් අභිරුචියෙන් වැලඳ ගන්නා ලදී.

දැන් නැවත කලබලය ඇති වී තිබෙන්නේ දෙමල භාෂාවෙන් ජාතික ගීය ගැයීමට අවසර දෙමින් මෛත‍්‍රී - රනිල් ආන්ඩුව විසින් නිකුත් කල නියෝගයක් මත පදනම්වය. මේ කාරනය මත ධනේශ්වර දේශපාලකයින් භේද වී සිටී. ඩිලාන් පෙරේරා වැනි ඇතැමුන් මෙම යෝජනාවට පක්ෂව අදහස් දක්වමින් සිටින අතර දිනේශ් ගුනවර්ධන, සරත් වීරසේකර යනාදීහු එයට එරෙහිව පෙනී සිටිති. මෙම තීන්දුවට විරුද්ධ එක්තරා විදිහයක උද්ඝෝෂනයක් සිංහල ජාතිවාදී කොටස් විසින් දියත් කොට තිබේ.

ජාතික ගීය දෙමල භාෂාවෙන් ගායනා කිරීමට අවසර ඉල්ලීම දෙමල ජනතාවගේ ඉල්ලීමක් ද? මෙයට දිය හැකි සරල පිලිතුර ‘නැත’ යන්නයි. දෙමල ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අභිලාෂයන් ඊට වඩා බෙහෙවින් ගැඹුරුය. ඊට වඩා බෙහෙවින් දුර දිග විහිදෙන සුලුය. නිදහසින් පසු රට තුල ඇට වූ සිංහල කේන්ද්‍රීය රාජ්‍යයේ අත්තනෝමතිකත්වයට එරෙහි දීර්ඝ කාලීන අරගලයක් දෙමල සමාජය පැත්තෙන් ඇති වූ අතර දෙමල ජනයාගේ ජාතිකත්වය පිලිගැනීම සහ ඔවුන්ගේ දේශපාලන ස්වාධීනත්වය පිලිගැනීම එම අරගලයේ කේන්ද්‍රීය ඉල්ලීම වූයේය. ඒ අනුව මුලින් දෙමල බහුතර පලාත් සදහා කලාපීය ස්වයං පාලන තත්වයක් ඉල්ලා සිටිනු ලැබින. එම ඉල්ලීම සිංහල බහුතර ආන්ඩු විසින් දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කරනු ලැබූ තත්වයක් යටතේ සහ උතුරු නැගෙනහිර ඇති වූ සිවිල් විරෝධතා හමුදා බලය යොදා මැඞීම වේගවත් කරනු ලැබූ තත්වයක් යටතේ දෙමල ජාතිකවාදය වඩා සටන්කාමී මුහුනුවරක් ගත් අතර කලාපීය ස්වයං පාලනය සදහා වූ ඉල්ලීම ‘70 හා ‘80 දශක වන විට වෙනම රාජ්‍යයක් සදහා වූ ඉල්ලීම දක්වා වැඞී ගියේය.

2009 දී සිදු වූයේ ඉහත කී අරගලය මිලිටරි බලය යොදා පොඩිපට්ටම් කොට දැමීමකි. ඒ අනුව දෙමල සමාජය යටත් කරන ලදී. එම සමාජයේ දේශපාලන අභිලාෂයන් හා ප‍්‍රජාතාන්ත‍්‍රික ඉල්ලීම් බලහත්කාරයෙන් යටපත් කෙරින. සිංහල භාෂිත හමුදාවක් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල වාඩි ලා ගත් අතර එම ප‍්‍රදේශවල නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහවලට සීමිත ඉඩක් දෙන ලද්දේ හමුදා පාලනයේ රාමුව තුළය. මේ දෘඩ පාලනය තවමත් වෙනස් වී නොමැත. දෙමල සටන්කාමී සංවිධාන බලවත්ව තිබූ අවධියේ දෙමල ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය ඉල්ලීම් සම්බන්ධ යම් කේවල් කිරීමක් ජාතික දේශපාලනය තුල සිදුවිය. එම සටන්කාමී බලය අභිමුව යම් යම් දේශපාලන ප‍්‍රතිසංස්කරන ඇති කිරීමේ ‘තෙරපුමක් ’ කොළඹ සංස්ථාපිතය මත යෙදවින. 13 වන සංශෝධනය, දෙමල භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස පිලිගැනීම, බලය බෙදා හැරීම සම්බන්ධයෙන් චන්ද්‍රිකා ආන්ඩුව ඉදිරිපත් කල යෝජනා ආදිය එම තෙරපුමේ ප‍්‍රතිඵලයෝ වෙති. විශේෂයෙන්ම 2005 දී මහින්ද රාජපක්ෂ බලයට ඒමට පෙර ජාතික ප‍්‍රශ්නය විෂයෙහි මාතෘකාව භ‍්‍රමනය වූයේ ‘දේශපාලන විසඳුමේ ආකෘතිය කුමක්ද ’ යන ප‍්‍රශ්නය වටාය.

2009 යුද ජයග‍්‍රහනය සමග මෙකී බලතුලනය කැපී පෙනෙන වෙනසක් අත්පත් කරගෙන තිබේ. 2005 දී සාකච්ඡාව තිබ්බේ ‘බලය බෙදීමේ ආකෘතිය කුමක්ද’ යන්න පිලිබඳව නම් අද එම සාකච්ඡාව ‘දෙමල භාෂාවෙන් ජාතික ගීය ගැයීමට අවසර දිය යුතුද?’ යන්න දක්වා පල්ලම් බැස තිබේ. උග‍්‍ර සිංහල ජාතිවාදීහු එම සීමිත යෝජනාවට පවා විරුද්ධ වෙති. දකුනු ලංකාව තුළ වාර්ගික ස්වෝත්තමවාදී විඥානය අතිශය උච්ච තලයකට එසැවී තිබේ. මෙය 2005 න් පසු ඇති වූ දේශපාලන ක‍්‍රියාදාමයේ ප‍්‍රතිඵලයකි. දේශපාලන ප‍්‍රශ්නයක් මිලිටරි බලහත්කාරය යොදා පොඩිපට්ටම් කල පසු ‘සියල්ල හොදින් අවසාන විය’ යන සැනසිලිදායක අදහස දකුනු ලංකාව තුල තහවුරු කෙරින. සිංහල රනකාමී ජාතිකවාදයේ මෙම උච්ච ප‍්‍රකාරය සමග අභිමුඛ වීමට සිංහල ලිබරල්වාදීන් ද සූදානම් නැත. පසුගිය ජනාධිපතිවරනය කාලයේ සිංහල ලිබරල්වාදීන් හැසිරුනේ ජාතික ප‍්‍රශ්නය කියා එකක් නැති ගානටය. මේ මොහොතේ ඔවුන් සෙල්ලම් කරමින් ඉන්නේ ජාතික ගීය භාෂා දෙකකින් ගැයීම, ජාතික සමඟියේ සංකේතය ලෙස ජනාධිපතිවරයා ව්‍යවස්ථාව මගින් පිලිගැනීම වැනි සුරතල් යෝජනා වටාය.

එනම් දෙමල ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය දේශපාලන අභිලාෂයන් පිලිබඳ ප‍්‍රශ්නය සිංහල දේශපාලන සැකැස්මේ කිසිවෙක් විසින් බැරෑරුම්ව භාරගෙන නැත. මෙම අවාසිදායක බලතුලනය වෙනස් කල හැකි මාර්ගය කුමක්ද? ඒ සදඟා ස්වකීය දේශපාලන ඉල්ලීම් බරපතල ලෙස මතුකරන ප‍්‍රජාතාන්ත‍්‍රීය ව්‍යාපාරයක් දෙමල සමාජය තුලින් මතුවී ඒම අත්‍යවශ්‍යයය. දකුනු ලංකාව තුල රජයන උද්දච්ච මහජාතිවාදය වූ කලී දෙමල සමාජයේ කේවල් කිරීමේ බලය දුර්වල වීම තුලින් උද්ගත වූවකි. එම මහජාතිවාදී උද්දච්චකම දුර්වල කිරීමට නම් දෙමල සමාජය පැත්තෙන් බලගතු ප‍්‍රජාතාන්ත‍්‍රීය ව්‍යාපාරයක් මතු විය යුතුව තිබේ. එබඳු අරගලයක ප‍්‍රජාතාන්ත‍්‍රීය සන්ධාරයට සහයෝගය දීම සියලු වාමාංශිකයින්ගේ වගකීම වන්නේය.

5 comments:

  1. තමුසෙ(තමුන්නාන්සේ කෙටි කළා) මතුකරන්නේ හොඳ ප්‍රශ්නයක් 'ප්‍රශ්නය ශ්‍රී ලංකා මාතා ද' ?
    ශ්‍රී ලංකා මාතා ප්‍රශ්නයක් වුනේ කාටද ? සිංහලයන්ටද ? දෙමලටද (අපහාසයට නොවේ).. නැත්තම් තමුසෙටද

    ReplyDelete
    Replies
    1. Ummba nam gonekma thama ban issellama shinhala igana ganin booru anonymous.

      Delete
    2. Ummba nam gonekma thama ban issellama shinhala igana ganin booru anonymous.

      Delete
  2. දෙමළෙන් ජාතික ගීය ගැයීම කරළියට ගෙන එන්නේ දවස් 100 ගැන කතා කිරීම වලක්වන ජිමික් එකක් නිසා මිස සිංහල හෝ දෙමළ කවර ජන කොටසක් ගැන හෝ ආදරයෙන් නොවේ.

    ReplyDelete
  3. මේ කිසිවක් දෙමල මිනිසුන්ගේ ඉල්ලීම් නොවෙයි, දෙමල දේශපලනයයන් දන්නේ එකදෙයි එනම් ජාතිවාදය මගින් බලයේ සිටීමයි. ඔවුන් තම ජනතාවට ලබාදී ඇති පහසුකම් මොනවද ? ඇතිකරන්න උත්සහ ගත් රැකියා මොනවද ? නමුත් සියලු පහසුකම් තමාට ලබා ගත්තනේද ?

    මගේ නම් අදහස සිංහල සහ දෙමල දෙසපලන්යින් සැමදා කලේ තම ජනතාව රැවටීමයි, එහිදී දෙමල දෙසපලන්යයන් සිංහල දෙසපලන්යයනට වඩා අත්න්ත බව කිවයුතුය.

    අප වැනි ගෝත්‍රික රටවල් පාලනය කිරීමේදී පුර්ණ ප්‍රජටන්ට්‍රවාදය සුදුසු නොවන්නේ, බාහිර සිටින ඕනෑම කණ්ඩායමකට රටේ ප්‍රශ්න ඇතිකිරීමට උවමනා විට කලයුත්තේ රටේ සිටින සුළු කණ්ඩායමකට මුදල් පොම්පකර ජාතිවාදය අවිලවිමයි. මෙය සින්ගප්පුරුවෙත් මුලදී සිදුවූ අතර එය වලක්වන ලද්දේ ප්‍රජටන්ට්‍රවාදී බොහෝ අයිතිවාසිකම් වලට වට බද ජාතිවාදී ප්‍රශ්න මතුකර න පුද්ගලයනට දැඩි දඩුවම් දීම මගිනුයි.

    විනාඩි 2ට මදක් වැඩි මෙම වදවටහන බලන්න https://www.youtube.com/watch?v=87FQsNNCDN8

    ReplyDelete