Friday, March 13, 2015

සීගිරියේ කුරුටු ගීත ලස්සනද ?

ඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරනයේ මතය අනුව සින්නතම්බි උදය ශ‍්‍රී නමැති තරුනිය සිදු කොට තිබෙන්නේ වසර දෙකක කාලයකට සිරගත කල යුතු අපරාධයකි. ඇය කල වරද සීගිරිය බැලීමට ආ අවස්ථාවක කැටපත් පවුරේ තම නම කුරුටු ගෑමය. මඩකලපුව ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කම්කරු ස්ත‍්‍රියක වන මෙම දෙමල ජාතික තරුනිය සිරගත කිරීමේ නියෝගයක් ලබාදීම හරහා දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරනය නීතිය අකුරට ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමා තුල තිබෙන ‘කැපවීම’ විදහා දක්වා තිබේ.

මෙම දඩුවම ඇය සිදු කල ‘වරද’ හා සසදන විට කිසිසේත්ම සමානුපාතික නොවන බව පැහැදිලිය. මෙම තරුනිය අදාල කුරුටු ගෑම සිදු කොට තිබෙන්නේ චේතාන්විතව කැටපත් පවුර විනාශ කිරීමේ අදහසකින් නොව අනවබෝධය නිසා බව අදාල පුවත විස්තරාත්මක විමසා බලන විට පෙනී යන්නේය. තරුනියගේ මව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටි දෙයක් වූයේ තමුන් ‘සිංහල නොදන්නා නිසා මේ අවනඩුව කියා ගැනීමේ විදිහක් නැති බවත් ’ දියනිය නිදහස් කරගැනීමට උදවු කරන ලෙසත්ය. මෙම සුලු ජාතික නිර්ප‍්‍රභූ තරුනියට ඇතැම් විට ස්වකීය නිදහසට කරුනු දැක්වීම වෙනුවෙන් ඉහල මිලකට මිල දී ගත හැකි දක්ෂ නීතිඥවරයෙක්ගේ සේවය නොලැබෙන්නට ඇත. එවැන්නෙක් මිලදී ගැනීම සදහා එක්කෝ ඇයට අවබෝධයක් නොතිබෙන්නට ඇත. නැතිනම් ඒ සදහා මුදල් නොතිබෙන්නට ඇත.

මේ අනුව පින්තූරය ලැබෙන්නේ මේ විදිහට. එක් කෙලවරක දුගී, සුලු ජාතික, තරුන කම්කරු ගැහැනියක්. අනිත් අන්තයේ රාජ්‍ය බලයේ සමස්ත පරාක‍්‍රමය නියෝජනය කරන්නා වූ අධිකරනය. මෙම අධිකරන සැකැස්මේ එක් ලක්ෂනයක් වන්නේ එය ඉදිරියේ ඇතැම් මිනිසුන් ‘එනයින්ම අපරාධකරුවන්’ ලෙස ස්ථානගත වීමය. සාමාන්‍ය පිලිගැනීම අනුව විනිසුරුවරයා යනු ස්වාධීන පුද්ගලයෙකි. ඔහුට  ඕනෑම ප‍්‍රශ්නයක් දෙස විවෘත මනසකින් අපක්ෂපාතීව බැලීමට පුලුවන. නීතිය යුක්තිසහගතයි කියා ඒ සාමාන්‍ය මතය තුල කියැවෙන්නේ ඒ නිසාය.

එහෙත් කිසිදු නිරීක්ෂනයක් ‘ස්වාධීන’ නොවේ. නිරීක්ෂකයා තුළ පූර්ව නිගමන, පූර්ව සංකල්ප සහ හැගීම් යනාදිය පවතී. මේවා ‘නිරීක්ෂනයට’ බලපාන්නේය. ඒ අනුව කිසිදු නිරීක්ෂිතයක් අපක්ෂපාතී නැත. එය පාර්ශවිකය. පක්ෂපාතීය. මන්ද නිරීක්ෂකයා තුළ තිබෙන පූර්ව නිගමන සියයට සියයක් ඉවත් කොට නිරීක්ෂනයක් ලබාගත නොහැකි නිසාය.

මෙය සමාජ බල ව්‍යුහයක් ලෙස අධිකරන සම්බන්ධයෙන් ද පොදු තත්වයකි. ප‍්‍රභූවාදී බල ව්‍යුහයක් වන අධිකරනය විසින් එහිම අභ්‍යන්තර වටිනාකම් සහ ආකල්ප පද්ධතියක් ප‍්‍රතිනිෂ්පාදනය කරයි. විනිශ්යකාරවරුන්ගේ දෘෂ්ටිය මේ වටිනාකම් පද්ධතිය විසින් ශික්ෂනය කරනු ලැබූවකි. මෙකී වටිනාකම් මත ප‍්‍රභූවාදය, පුරුෂෝත්තමවාදය, මහජාතිවාදය ආදී සමාජයේ අධිපති මතවාද ස්වකීය මුද්‍රාව තබා තිබේ. දෙමල ජාතික නල්ලරත්නම් සිංහරාසා ගේ මූලික අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ප‍්‍රතික්ෂේප කරන්නේ ඇයි? දෙමල ජාතික එල්ටීටීඊ සැකකරුවෙක් වූ ගනේශන් නිමලරුබන් වවුනියාව බන්ධනාගාරයේ දී අමු අමුවේ මරා දමන ලද විට ‘ඔහු ත‍්‍රස්තවාදියෙක් බව තමා පෞද්ගලිකව දන්නා නිසා’ එම නඩුව විභාග කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරනය පවසන්නේ ඇයි? වාරියපොල තිලිනි අමල්කා නමැති තරුනිය තමාට අයුතු ලෙස විහිලු කළ තරුනයෙක්ට පහර දුන් අවස්ථාවේ ඇය අධිකරනය ඉදිරියට පැමිනවූ විට ඇයට මානසික ආබාධයක් තිබේ දැයි පරීක්ෂා කර බැලීම සදහා ඇයව වෛද්‍යවරයෙක් ඉදිරියට අධිකරනය විසින් යොමු කරන්නේ ඇයි? මේ ජාතිවාදය, පුරුෂෝත්තමවාදය ආදී පූර්ව දෘෂ්ටීන් විසින් ‘නිරීක්ෂිතයේ ස්වභාවය’ නිර්නය කරනු ලැබූ අවස්ථාවන් සම්බන්ධ ප‍්‍රකට උදාහරනය.

නිර්ප‍්‍රභූ ගැහැනුන් සහ පිරිමින් සම්බන්ධයෙන් අධිකරන පද්ධතිය තුල පවතින ආකල්පය මේ අනුව පූර්ව නිගමන සහ ආකෘතීන්ගෙන් ස්වාධීන වූවක් නොවේ. වාර්ගික දේශපාලනය සම්බන්ධ ප‍්‍රශ්නවලදී දෙමල ජාතිකයින් එනයින්ම ත‍්‍රස්තවාදීන් වීමේ අවදානමක පසු වෙති. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සම්බන්ධ නඩුවලදීද මෙය ප‍්‍රකටව දැකිය හැක. විශ්ව විද්‍යාල පරිපාලනය හොබවන ‘මහත්වරුන්ගේ’ නිරවද්‍යතාව සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ ‘නොහික්මුනුකම’ පිළිබ`ද පූර්ව සංකල්ප අධිකරන ධූරාවලිය තුළ පවතී. සමාජයේ පහල පාන්තික තීරු වලට අයත් ජනයා ‘අපරාධකරුවන්’ ලෙස නිර්වචනය වීමේ සම්භාවිතාව අධිකය. සමාජයේ බලවත් සහ ‘වැදගත් ’ පිරිස් කෙරෙහි නීතිය දක්වන ප‍්‍රවේශය සහ සමාජයේ අද්දරට තල්ලු වී සිටින ජනයා කෙරෙහි එය දක්වන ප‍්‍රවේශය අතර වන මෙම වෙනස ප‍්‍රායෝගික ව්‍යවහාරයේ දී පැහැදිලිවම දැකගත හැක්කකි. ‘නීතිය ඉදිරියේ සමානතාවය’ ගැන නීතිපොත් වල ලියා තිබුනත් යථාර්ථයේ දී නීතියේ බැල්ම පූර්ව නිගමන මගින් නිර්නය කරනු ලබන්නේ වේ.

සින්නතම්බි උදය ශ‍්‍රී ට මුහුන දීමට සිදුවී තිබෙන්නේ ද නීතියේ තිබෙන මෙම පාර්ශවිකත්වය පිළිබද යථාර්ථයටය. නිර්ප‍්‍රභූ පිරිමින් සහ ගැහැණුන් ඉදිරියේ ‘තග’ දැමීමට අධිකරනය මැලි වන්නේ නැත. නොදැනුවත්කම නිසා කොන්ඩා කටුවකින් සීගිරි බිත්තියේ සිය නම ලියූ වරදට මෙම තරුනිය වසර දෙකකට සිරගත කිරීම පැහැදිලිවම ‘තගකි’. සිය ඊනියා මහේශාඛ්‍ය බව නිර්ප‍්‍රභූ ගැහැනියක ඉදිරියේ අවධාරනය කිරීමකි. නීතිය නමැති බල ව්‍යුහයේ මහේශාඛ්‍යභාවය ඉදිරියේ සාමාන්‍ය ජනයා අසාධාරනයට, සමච්චලයට, අවමානයට හා බැහැර කිරීමට ලක්වීම දෛනිකව සිදුවන සුලභ අත්දැකීමකි. සින්නතම්බි උදය ශ‍්‍රී ගේ ප‍්‍රශ්නය ඒ නිසා ගත යුත්තේ ඇගේ මවට විදින්නට වී තිබෙන වේදනාව පිළිබද හුදු මානුෂීය ප‍්‍රශ්නයක් ලෙස නොව අධිකරනය නම් වූ සමාජ බල ව්‍යුහය සංවිධානය වී තිබෙන ස්වභාවය පිලිබද දේශපාලන ප‍්‍රශ්නයක් ලෙසය.  

17 comments:

  1. කියන්න කොපමන දේ තිබුනත් ලියන්න එන්නේ නැත්තේ කෙරිල තියෙන්නේ නීතිය නිසයි......පව්, නොදන්නා කම නිසාම අමාරුවේ වැටිච්චි කෙල්ලක්​......නීතියේ මුර දේවතාවගේ ඇස් අන්දයිනේ.....

    ReplyDelete
    Replies
    1. ලණු තුනක් උඩින් පැනල ,දෙමළෙන් තිබුන අවවාදෙ නොතකල ,ආරක්ෂකයන්ගෙ ඇස් වහල මේකකළේ නොදන්නකමටද

      Delete
    2. කියලා වැඩක් නෑ රාමචන්ද්‍ර ලොක්කගේත් මොළේ මඤ්ඤං

      Delete
  2. පසු ගිය කාලයේ මුස්ලිම් තරුණියක විසින් මේ වරදම සිදුකල අවස්ථාවේ මුස්ලිම් ඇමතිවරයෙකුගේ ඉල්ලීම මත ඇය නිදහස් කරන ලදී. දැන් ඉල්ලීමක් කරන්නේ ඇමතිවරයෙකුගේ බලපුලුවන්කාරකම නොව දුප්පත් මවකගේ සෙනෙහසයි මානුසික නීතිය යටතේ මේ දෙකෙන් කොයිකද වඩා උසස් ..?

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් තරුණියත් කැටපත් පවුරෙ දෙමළ අකුරු ලිව්වෙ ලණු තුනක් උඩින් පැනල. එතනදි ඇය නිදහස් වුනා. දෙමළ මුස්ලිම් කියල වැරදිකාරයො නිදහස් කරන්න ගියොත් රටට නීතියක ඕන වෙන්නෙ නැහැ.
      දුප්පත් මවකගෙ සෙනෙහසයි මානුසික නීතියයි කියල තේරුමක් නැති කතා කියන්න එපා. මේ විනාශය ගැනහෝ මේ ස්ථානය ගැන හෝ ඔබට වැටහීමක් නැතිව ඇති.
      සියවස් ගනනක් පැරනි ලෝක උරුමයක් වන මේ ස්ථානය විනාශ කිරීම සමාන කළ හැක්කේ අයි එස් ත්‍රස්තයන් ඉරාකයේ මොසුල් නුවර කරන විනාශයන්ටයි. අයි එස් කාරයොත් දුප්පත් අම්මලගෙ දරුවො වෙන්න ඇති. උන්ටත් මානුසික නීතියෙන් සමාව දෙමු. මාර තර්ක

      Delete
  3. නොදන්න කමක් වෙන්නෙ කොහොමද ලණු තුනකින් රිංගල පුරා වස්තු විනාශ කරපු එක. මේක කරල අහුවුන හතරදෙනාම දෙමළ හෝ මුස්ලිම්. සැකයක් නැද්ද
    භාෂා තුනෙන්ම තහනම් කරල තියෙද්දි ලණු තුනකින් රිංගල මේ හානිය කළේ නොදැන නොවෙයි දුෂ්ට චේතනාවෙන්
    මෙයා දෙමළ නිසා හෝ කාන්තාවක් නිසා සමාව දිය යුතු යැයි තර්ක කරන්නේනම් දෙමළ කාන්තාවන්ට අපරාධ කිරීමට බලපත්‍රයක් දිය යුතුයි. එය පාර්ලිමේන්තු පනතකින් කළ පසු කාටවත් කතා කරන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. දෙමල හෝ මුස්ලිම්? දෙමල හෝ මුස්ලිම් කලාම පමනද හානිය​? රාජ්‍ය දේපල වලට කලාම පමනද හානිය​? පෞද්ගලික දේපලපල වලට කලා නම් ඒක හානියක් නැද්ද​? ඒවට කලා නම් වස්තු විනාශයක් නැද්ද​? ඒකත් සංවිධානාත්මකව​. අමු අමුවේ නීතිය උල්ලංගනය කරමින් කල​ ෆැෂන් බග් ප්‍රහාරකයන්ට මොනවද දුන්නු දන්ඩුවම​? සී සී කැමැරාව ඉදිරිපිට සාක්‍ෂි සහිතව අත් අඩංගුවට ගත් අට දෙනාව පසුදාම නිදොස් කොට නිදහස් කරා? එතන දුෂ්ඪ චේතනාවක් තිබුනේ නැතිවද​? වැරදීමකින්ද ඕක සිදුවුනේ. නෝ ලිමිට් එක ගිනිබත් කරා, කෝ එතන නීතිය කෙරුනේ? අවුරුදු දෙකක් තියා මාසයක් වත් හිරේ හිටියද එකෙක්වත්? ඔය කියන බලපත්‍රය ඕක කරපු උන්ට දීලද තිබුනේ එහෙනම්? නැත්නම් බාෂා තුනෙන්ම බෝඩ් ගහල නැති හින්දා නොදැනුවත්ව කලාද​? චේතනාවෙන් හෝ නැතිව කරපු වරදකට සීගිරි කාරනයේ දී දන්ඩුවම් දුන්නා. ඒක හරි, පිලිගන්න ඕනේ, රටේ පවතින නීතිය ඒකනම් ඒක​ ක්‍රියාත්මක කිරීම ගැන තර්කයක් නෑ, ඒත් ඒ නීතිය සැමෝටම එකසේ බලපැවැත්වෙනවද​ කියන එකයි ප්‍රශ්නේ?

      Delete
    2. ඔබ කතා කරන්නෙ වෙන කන්නාඩියක් දාගෙන. එහෙම බලනකොට ඔබ මේ කාන්තාව වෙනුවෙන් පෙනී සිටින්නෙ සුළුජාතික ජාතිවාදී ස්ථාවරයක ඉදන්. පැෂන් බග් සිද්ධියයි මේකයි සමාන නෑ. පැෂන් බග් එකේ පෞද්ගලික දේපොළ. ඒක වැරදියි. රාජ්‍ය දේපොළ කියන්නෙ මහජන මුදල් .ඒක වඩා වැරදි ඒ නිසයි.
      මෙතන මේ දෙකම නොවෙයි. පුරාවස්තු . ඒව අයිති ලෝකයටමයි. පුරාවස්තුවක් විනාශකළාම ඒක යළි ගොඩනගන්න බැහැ. ඒව අයිති අනාගත පරම්පරාවලට. ඒ නිසා මේ කළ අපරාධයට දෙන්න දඩුවමක් හිතාගන්න බැහැ.

      මේ කාන්තාව අවුරුදු 18 ට වැඩි කෙනෙක්. ලණු තුනක් පැනගෙන භාෂා තුනෙන්ම තිබුන අවවාදෙ නොතකා ආවෙ කොටි කාන්තාවක් වගෙ.

      දෙමළ මුස්ලිම් අය විතරක් කළාම වැරදියි කියල කොහෙවත් කියල නෑ. ඔබ කොමෙන්ට් එක කියවල නෑ. මෙහිදී දෙමළ සම්බන්ධයක් තියන පුරාවස්තුවක් විනාශවුනානම් ඩයස්පෝරාව ලෝකෙ පුරාම යකා නටනවා.

      Delete
    3. සමාන නොවෙන්නේ කොහොමද​? වැරද්ද කවුරු කලත් වැරදියි, කාට කලත් වැරදියි. මෙතන ජාතිය ආදාල නෑ. ඒ වගේම ලෝක උරුමේ පෞද්ගලික උරුමේ කියල වෙනසකුත් නෑ. වරදේ අඩු වැඩියකුත් නෑ. අපට කන්නාඩියක් ඕන නෑ ඕව දිහා බලන්න.නිර්වරන ඇස්වලින් බැලුවාම හොඳොටෝම පෙනෙනවා මෙතන තර්කය කෙල්ලට දීපු දඬුවම ගැන නොව​, නීතිය සමාන නැති එක ගැනයි. ඔය ගලට කෙරිලා ඇති හානිය ගැන දුක ඇතිවෙලා තියෙන්නේ ගලට ඇති ආදරේට නෙවෙයි. ඔය දිහා ඔය කියන පාට කන්නාඩියෙන් බලපු නිසයි.

      Delete
    4. ලෝක උරුමයයි පෞද්ගලික උරුමයයි අතර ලොකු වෙනසක් තිබෙනවා. සීගිරිය කියන්නෙ අනාගත පරම්පරාවෙ උරුමයක්. ඔබට මෙය ගලක් වුනත් බහුතරයකට ගලක් නොවෙයි.
      මම ඔබ මෙන් පාට කණ්නාඩි දාගෙන බලන්නෙ නැහැ. මම උපතින් බෞද්ධයෙක්. ඒත් තලේබාන් උන්මත්තකයන් බාමියන් බුදුපිළිම විනාශ කළ වෙලාවෙත් අයි එස් අයි එස් උන්මත්තකයන් ඇසිරියානු පුරාවස්තු විනාශ කළ වෙලාවෙත් මට ඇතිවුනේ එකම කනස්සල්ල.
      මම බෞද්ධයෙක් ලෙස මේ ප්‍රශ්නෙ බැලුවානම් මට වැඩි කණගාටුවක් එන්නෙ බාමියන් ප්‍රශ්නෙට.
      වැරැද්ද කාට කවුරු කළත් සමාන වෙන්නෙ කොහොමද පැෂන් බග් රෙදි කඩෙයි ලෝක උරුමෙයි සමානද
      ඔබට සීගිරිය පෙනෙන්නෙ පිළිමයක් විදියටද .ඔබ නම් නොම්මර එකේ පාට කණ්නාඩිවලින් බලන අන්තවාදියෙක් බව පේනවා. රෙදි කඩෙයි සීගිරියයි සමාන කළ එකෙන්ම.

      Delete
    5. මට ඔබ කවුද කියා අනුමාන කළ හැකියි. පුරාවස්තු ගැන ඔබලාට තිබෙන ත්‍රස්තවාදී ආකල්පය ලොවම දන්නවා. ම්ලේච්ඡයන්ට ගල් විදියටත් ශිෂ්ට ලෝකයට මිළ කළ නොහැකි පුරාවස්තු ලෙසත් එකම දෙය පෙනෙන එක අපූරුයි.
      රෙදිකඩේට ගහපු එක වැරදියි. ජීවිතේ කියන්නෙ බිස්නස් එකක් නොවෙයි. රෙදි කඩේට ගහපු එක සිවිල් වරදක්. පුරාවස්තු විනාශ කිරීම මුළු ලෝකයටම එරෙහිව කළ වරදක්.
      පාට කණ්ණාඩි දමාගෙන ඉන්නෙ ආගමික අන්තවාදීන්. අපි ආගම් අදහන අය නොවෙයි.

      Delete
    6. පෞද්ගලික උරුමයයි, ලෝක උරුමයයි සමාන නැති බව ඇත්ත, ලෝක උරුමයට හානි කරපු එකට දන්ඩුවම් දීපු එකේ වරදක් දකින මතයේ නෙවෙයි මම ඉන්නේ. ලෝක උරුම හානියට දන්ඩුවම් දීපු ඒ නීතියම පෞද්ගලික උරුම විනාශ කරපු අයව නිදැල්ලේ ඇරිය එකයි තර්කේ. සීගිරිය අනාගත පරම්පරාවේ උරුමය වගේම පෞද්ගලික දේපල ඒ ආදාල පරම්පාරාවේ උරුමයයි. රටේ බලපැවැත්වෙන්නේ සාධාරන නීතියක් නම් ඒ උරුමක්කාරයන්ට කල සාධාරනය නම් මොනවද​? නීතියකට දෙවිදියකට කටයුතු කරන්න පුළුවන්ද? උන්මන්තකව හැසිරුනේ තලීබාන්, අයි එස් එස් පමනද​? ඇයි පසුගිය කාලයේ අප රටේද පිරිසක් උන්මන්තව හැසිරුනේ නැද්ද​? ඔය බාමියන් ප්‍රතිමාව විනාශ කරපු එක හෝ අයි එස් එස් පුරා වස්තු විනාශ කරපු එක විකෘර්ති මනසකින් අනුමත කරන කෙනෙකුත් නෙවෙයි මම​. වැරැද්ද කවුරු කලත් වැරැද්දක් හැටියට දකින කෙනෙකි මම. මගේ ඔළුවේ ඒ වගේ බහුබූතත් නෑ. ඔබ මා කවුරුන් ලෙස අනුමාන කලත් මට කාරි නෑ, මධ්‍යස්ත මතධාරී ලෙස පෙනී සිටින ඔබෙන් මධ්‍යස්ත මතයක් පිළිඹිඹු වෙන්නේ නැති බව නම් ඇත්ත​..

      Delete
    7. අන්තිම කොමෙන්ට් දෙක දැම්මට මට ඒව පස්සෙ ඩිලීට් කරන්නත් හිතුනා. සැර වැඩිද කියල හිතුන නිසා. ඩිලීට් කරන එකෙන් සංවාදයට වෙන හානිය වැඩි නිසා නිකම් හිටිය. . සැර වැඩි වුනා නම් සොරි හොඳේ
      ඔබ කියන කතාවට මම එකඟයි
      උන්මත්තකයන් ලෙස බොදුබල සේනා වගෙ අය හැසිරුනා. ඔවුන් පුරාවස්තුවලට හානි නොකළත් පුද්ගලික දේපොලවලට හානිකළා. ඒවට නීතිය ක්‍රියාත්මක වුනේ නෑ ඒක වැරදියි තමයි.

      Delete
    8. ඇඩ්මින් විසින් ඩිලීට් කරල තියෙන ඔබේ පෙර ප්‍රතිචාරය කොයි වගේ එකක්ද කියල මට අනුමාන කරන්න පුළුවන්, නමුත් ඔබේ අවසන් ප්‍රතිචාරය ඔබ මධ්‍යස්ත මතධාරියෙක්ම බව කියයි.......ඔබට ජය . ​...........................

      Delete
    9. ඇඩ්මින් නොවෙයි ඩිලීට් කළේ මායි.හොඳට බලන්න.This comment has been removed by the author.
      ඊට හේතුව ටයිපින් මිස්ටේක් එකක්. එකම කොමෙන්ටුව දෙවරක් දැම්මෙ ඒකයි.

      සැර වැඩියි කියල කිව්වෙ ඊටත් උඩ කොමෙන්ට් දෙක.
      ස්තුතියි. ඔබටත් ජය

      Delete
  4. ඔය ගෑනුලමයගේ අම්මා කියලා කියලා තියෙනවා දෙමල බාශාවෙන් දැනුවත් කිරීම් පුවරු සවිකරලා තිබුනේ නෑ කියලා නමුත් එක පැහැදිලිවම බොරුවක්.
    දෙමෙල්ලු මේ විදියට හැදුරෙනවානම් උන්ට මෛත්‍රී කිරීම මෝඩකමක්

    ReplyDelete