Thursday, February 5, 2015

අදහසක් නැති සමාජයක නිදහස

සෑම පෙබරවාරි මාසයකම සැමරෙන ‘නිදහස් දිනය’ ඉංග‍්‍රීසියෙන් නම් කොට ඇත්තේ Independence Day නමිනි. Independence යන වචනයේ සිංහල අර්ථය ‘ස්වාධීනත්වය’ යන්නයි. එම යෙදුම සිංහලට හැරවීමේ දී ‘ස්වාධීනත්ව දිනය’ නොවී ‘නිදහස් දිනය’ වූයේ කෙසේද යන්න සොයා බැලීමට වටිනා සිත්ගන්නා සුලූ සිදුවීමකි. ජාතික නිදහස් දිනය ආශ‍්‍රිතව සාමාන්‍යයෙන් අනුගමනය කෙරෙන චාරිත‍්‍ර වාරිත‍්‍ර ප‍්‍රමානයක් තිබේ. පසුගිය 04 වැනි දා පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගනයේ දී එම චාරිත‍්‍ර පෙල එලෙසම අනුගමනය කරන ලදී. ‘නිදහස’ ගැන, ‘නිදහසේ අභිමානය’ ගැන රූපවාහිනී වැඩසටහන්වල විවිධ දෑ වර නගන ලදී.

නිදහස යන්න අපට ප‍්‍රවේශ දෙකකින් අර්ථ ගැන්විය හැක. 1948 වූ කලී බ‍්‍රිතාන්‍යය අධිරාජ්‍යය වෙත තිබූ දේශපාලන බලයෙන් ලංකාව යම් විදිහක දේශපාලන ස්වාධීනත්වයක් අත්කරගත් සංසිද්ධියකි. අප ප‍්‍රශ්නය දෙස බලන්නේ රාජ්‍යයේ දෘෂ්ටිකෝනයෙන් නම් 1948 දී ලංකා රාජ්‍යය බ‍්‍රිතාන්‍යය අධිරාජ්‍යයෙන් ස්වාධීනත්වය ලැබීය. එය ‘නිදහසට’ අර්ථයක් දිය හැකි එක් ආකාරයකි.

නිදහසට දිය හැකි අනිත් අර්ථය නම් පුරවැසියන්ගේ නිදහස පිිලිබඳ දෘෂ්ටි ආස්ථානයයි. සාදෘශ්‍යයක් ලෙස මෙහිදී අපට දියුනු ධනපති රටවල නිදහස යන්නට ලැබී තිබෙන අර්ථය සලකා බැලීමට පුලූවන. නූතන බටහිර ජාතීන් බොහොමයක් නිර්මානය වන්නේ වැඩවසම් රාජාන්ඩුවාදයට එරෙහිව කරන ලද අරගල හා විප්ලව තුලිනි. මෙකී විප්ලව එම සමාජ තුලින් පැන නැඟි ඒවාය. රාජාන්ඩු විසින් පොදුජන සමාජයට අහිමි කොට තිබූ නිදහස දිනාගැනීම සඳහා පරම්පරා ගනනක් තිස්සේ දිවෙන අරගලයක මෙකී ජාතීන් නියුක්ත වූහ. එම සටන් තුලින් ගොඩනැගුනු ශක්තිමත් ප‍්‍රජාතාන්ත‍්‍රික සම්ප‍්‍රදායක් මේ නිසා එම සමාජවල පවතී.. මේ නිසා බටහිර සමාජ බොහොමයක් තුල නිදහස යන්නට ‘ප‍්‍රජාපීඩක අධිකාරියෙන් පුරවැසියා නිදහස් වීම’ යන අර්ථය පවතී.

ප‍්‍රංශයේ ජාතික ගීය ඉහත අර්ථය සංකේතවත් කරන ප‍්‍රකාශනයක් ලෙස සැලකිය හැක. ප‍්‍රංශ ජාතික ගීය ( මෙය La Marseillaise නමින් හැඳින්වේ )   ලෙස භාවිතාවට නැගෙන්නේ ප‍්‍රංශ විප්ලව සමයේ රාජාන්ඩුවාදීන්ට එරෙහිව විප්ලවවාදීන් විසින් ගායනා කළ යුද ගීතයකි. දුෂ්ට රාජකීය තන්ත‍්‍රයෙන් ස්වකීය නිදහස දිනාගැනීම සඳහා යුද වදින ලෙස එම ගීතය පොදුජනයාට ආයාචනා කරයි. නූතන ප‍්‍රංශය විප්ලවයකින් උපන් ජාතියකි. මිනිස් නිදහස හා ප‍්‍රජාතාන්ත‍්‍රික සම්ප‍්‍රදායන් එබඳු රටක පොදුජන සවිඥානය සමග ඓන්ද්‍රීය ලෙස සම්බන්ධ වී තිබේ. මේ නිසා එවැනි සමාජයක් තුල ‘නිදහස’ යනු හෘද සාක්ෂියේ නිදහස, ප‍්‍රකාශනයේ නිදහස ආදී නිදහසේ බහුවිධ ස්වභාවයන් අන්තර්ගත කරගත් ගැඹුරු සංකල්පනයකි. ස්වකීය නිදහස සහ අයිතිවාසිකම් පිලිබඳ ගැඹුරු හැඟීමක් පොදුජන සමාජය තුල මුල් බැස ගෙන තිබේ.

නිදහස පිලිබඳ මෙම අර්ථය ලංකාව තුල නැත. මෙයට ප‍්‍රධානතම හේතුව වන්නේ ලංකාව බඳු රටවල ප‍්‍රජාතාන්ත‍්‍රික විප්ලවයක් සිදු නොවීමයි. ලංකාවේ පැරනි ධනපති නායකයෝ යටත් විජිත ස්වාමිවරුන් වෙත දාසකම් කල දීනයෝ පිරිසක් වූහ. ඞී.එස්.සේනානායක බඳු සාම්ප‍්‍රදායික ප‍්‍රභූන්ට අධිරාජ්‍යයෙන් නිදහස් වීම යන සරල අර්ථයෙන් වත් නිදහස පිලිබඳ අදහසක් තිබුනේ නැත. ඒ යුගයේ ජාතික නිදහස පිලිබඳ සටන් පාඨය ඉදිරිපත් කළේ සමසමාජ පක්ෂයයි. යටත්විජිත ආන්ඩුව යටතේ දේශපාලන තන්ත‍්‍රය හා පොදුජන සමාජය අතර තිබුනේ ස්වාමි-යටත් වැසි සම්බන්ධයකි. 1948 දී සිදුවූයේ මෙම ස්වාමි - යටත් වැසි සම්බන්ධය දේශීයකරනය වීමකි. නූතන ප‍්‍රංශය විප්ලවයකින් උපන් ජාතියක් නම් නූතන ලංකාව යටත් විජිත ස්වාමිවරු සහ ඔවුන්ගේ ස්වදේශික බත්බැලයන් අතර ඇති වූ ඞීල් එකකින් උපන් ජාතියකි.

ඒ අනුව පොදුජන සහභාගීත්වය තිබූ නිදහස් අරගලයක් ලංකාවේ නොවීය. නිදහස පිලිබඳ තිබූ සීමිත කතිකාව පවා සීමා වී තිබුනේ අධිරාජ්‍යයෙන් ලංකා රාජ්‍යය ස්වාධීනත්වය ලබාගැනීම යන්න මත මිස පොදුජනයා ‘නිදහස’ සාක්ෂාත් කරගැනීම පිලිබඳ ප‍්‍රශ්නය මත නොවේ. බටහිර රටවල මහත් කැපකිරීම් තුලින් දිනාගත් ප‍්‍රජාතාන්ත‍්‍රික ආයතන විශේෂ ලංකා සමාජය තුල හුදු ආනයනය කරන ලද සැරසිලි බවට පත්වී තිබෙන්නේ ඒ අනුවය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රජාතාන්ත‍්‍රික සම්ප‍්‍රදායන්ගෙන් තොර දේශපාලන සමාජයක් සහ ධනවාදී ආර්ථිකයක් තිබෙන රටක් ලෙස ලංකාව ස්වකීය පරිනාමය අත්පත් කරගෙන ඇත. තමන්ගේ නවීන රූපවාහිනී යන්ත‍්‍රවලින් මෛත‍්‍රීපාල සිරිසේන / මහින්ද රාජපක්ෂ ආදීහු පන්සල් යන හැටි, මල් පූජා කරන හැටි දැක බලා ඊට සාධුකාර දෙන ජනසමාජයක් ශේෂ වී තිබෙන්නේ ඒ අනුවය. එබඳු ජනසමාජයක් තුළ ස්වකීය අයිතිවාසිකම් හෝ දේශපාලන නිදහස පිලිබඳ තිබෙන්නේ දුර්වල හැඟීමකි.

තතු එසේ වූ විට එබඳු සමාජයක් තුල නිදහස හුදු රූපික දෙයක් බවට පත්වන්නේය. ඒ අනුව අපට දැකගැනීමට ලැබෙන්නේ වසරකට වරක් සිදු වන හුදු වතාවත් පෙලකි. කිසිම අදහසක් නැතිව යාන්ත‍්‍රිකව එම වතාවත් නැවත නැවත අනුගමනය කරනු ලැබේ. ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් හා මිනිස් නිදහස පිලිබඳ සංරචකයෙන් වියුක්ත ‘නිදහස’ වූ කලී අර්ථ ශුන්‍ය සංකල්ප මාත‍්‍රයකි. ඒ අනුව පෙබරවාරි 04 වැනි දා සිදුවන්නේ වාර්ෂික චාරිත‍්‍රයක් කිසිදු හැඟීමකින් තොරව ඉෂ්ට කිරීමකි. ‘ජාතික නිදහස් දිනය’ ලෙස ගාම්භීර නමක් දී තිබෙන්නේ එලෙස යාන්ත‍්‍රිකව ඉටු කෙරෙන වාර්ෂික චාරිත‍්‍රයකටය.








3 comments:

  1. මේ සමාජය පිළිබඳ අසුබවාදී වීම සම්පූර්ණයෙන් ම සාධාරණ නැති බව ජනවාර් 08දා සිදු වූ විප්ලවයෙන් පෙනේ. ජනතාව නැවත වතාවක් ප්‍රජාතන්ත්‍රවාදය හා සැබෑ නිදහස ගැන බලාපොරොත්තුවක් අවදි කර තිබේ. මෙම බලාපොරොත්තුවේ පහන දැල්වුණේ රාජාණ්ඩුවාදීන් පිරිසක් විසින් පතුරවමින් සිටි අඳුරට එරෙහිව වීම ඉතා වැදගත් ය.

    මෙම සංදර්භය තුළ අප විසින් කළ යුතුව තිබෙන්නේ ඒ පුංචි පහන් සිළ මහා එළියක් කිරීමට උත්සාහ කිරීම මිස ජනතාව බූරුවෝ ය කියන අසුබවාදී අදහස පැතිරවීම නො වේ.

    මෛත්‍රීපාල සිරිසේන යනු මහින්ද රාජපක්ෂ වැනි ම නායකයකු යයි කිව නො හැකි ය. ඔහු විසින් දැනටත් නායකත්වය තුළ යම් වෙනස්කම් සලකුණු කර ති‍බෙන බව දැකීමට අපි අවංක විය යුතු ය. අනෙක් පැත්තෙන් අපි ඔහුගෙන් පරමාදර්ශී ලක්ෂණ බලාපොරොත්තු විය යුතු නැත.

    නායකයන් බිහි වන්නේ ජනතාව නායකත්වය පිළිබඳ කරන සංවාදය ඔස්සේ මිස උත්තරා‍රෝපණයෙන් නො වේ.

    ඔබ‍ගේ ලේඛනයේ ඇති අදහස් සමග එකඟ වෙමි. එහෙත්, මා සිතන පරිදි නම්, අපි අප ලියන දෙයින් ජනතාවට බලපෑමක් කරන්නට නම්, අප ඔවුන් සමග සිටිය යුතු ය. නැතිව, 'තොපි වගේ නෙමෙයි අපි - අපි දන්න අය' වැනි ටෝන් එකක් පාවිච්චි කිරීම හොඳ නැත.

    ජනතාවට කියා දිය යුතු ය. උගැන්විය යුතු ය. එහෙම නැතිව ඔවුන්ගේ නො දන්නාකමට සිනා වීමෙන් හෝ අපහාස කිරීමෙන් අප ගැලවිය යුතු ය.

    මම නම් කියන්නේ ලියන අප වැදගත් නැති බවයි. වැදගත් වන්නේ කියවන මිනිසා තුළ ඇති වන ඵලයයි.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      පෙබරවාරි 08 විප්ලවයක් සිදුවූවා ද නැද්ද කියන විවාදය අපි අනාගතයට තබමු. මා තවමත් දරන අදහස සිදුවූයේ හුදු මුහුනු මාරුවක් බවත්, මේ දිනවල අප අත්විදින සාපේක්ෂ 'නිදහස' ඕනෑම අනුයාත ආන්ඩු මාරු දෙකක් සහ අන්තර් මැතිවරන කාලයක් තුල දක්නට ලැබෙන ලිහිල් වතාවරනයක් වන බවත්ය. එය අනාගතය විසින් විනිශ්චය කරාවි. මම වැරදි නම් මම ඒක එවිට පිලිගැනීමට සූදානම්.

      ජනතාවට 'සිනාවිය' යුතු නැති බව මම ද පිලිගනිමි. මා උත්සාහ කලේ අපගේ සමාජයේ පොදුජන මනෝභාවය තුල තිබෙන සීමාවක් විවේචනය කිරීමටය. එය කරන්නේ ජනතාවට සිනහ වීමේ අර්ථයෙන් නොව ජනතාව සමග එකතු වී එම සීමාව ජයගැනීමේ සාමූහික අරගලයක ඓන්ද්‍රීය කොටසක් විදිහටය. මෙහි 'තොපි අපි වගේ නෙමෙයි - අපි තමයි දන්න අය' වර්ගයේ ටෝන් එකක් පවතී නම් ඒ ගැන නැවත කල්පනා කර බලන්නෙමි. පෙන්වා දීම ගැන ස්තුතියි.

      Delete
  2. රාමට තියෙන ගැටළුව පෙබරවාරි 4 වෙනිද සමරන නිදහස මිනිස්සුන්ගෙ ඇඟට දැනෙන දෙයක් නොවීම නම් එහෙම දැනෙන නිදහසක් තියෙන දිනයක් සැමරීම ගැන රාම මොකද කියන්නෙ. ඕනෙම නම් ඒ නිදහස් අරගලයෙදි භාවිතා වෙච්ච 'මේ සිංහළ අපගෙ රටයි' සිංදුව ජාතික ගීතය බවටත් පත් කර ගන්න පුළුවං. දැං කොහොමද රාමට සනීපද?

    ReplyDelete