Wednesday, February 25, 2015

සහෝදර ජොන් බ්ලොමාගේ කොමියුනිස්ට් ප්‍රකාශනය නොහොත් අනුන්ගේ ලේ


ප‍්‍රංශ ලේඛිකා සිමොන් ද බෝවා විසින් රචිත ‘අනුන්ගේ ලේ’ නවකථාව ප‍්‍රකාශයට පත්වන්නේ 1945 දී, එනම් දෙවැනි ලෝක යුද්ධය අවසානයේදීය. මෙම නවකථාව විමුක්ති දේශපාලනය තුල මතු වන ආචාර ධාර්මික සංකීර්නතාව පිලිබඳ ප‍්‍රකාශනයක් ලෙස වර්තමානයට ද අතිශයින් අදාල වන්නකි. දේශපාලනයේ දී අනුන්ගේ ලේ සම්බන්ධව අපට තිබෙන වගකීම කුමක්ද? ස්වකීය අරමුනු ඉෂ්ට කරගැනීමේ ‘මාධ්‍යයක්’ වශයෙන් දේශපාලන ව්‍යාපාරයකට මිනිසුන් යොදාගැනීමට පුලූවන්ද? වියුක්ත සදාචාරවාදී ආස්ථානයක සිට පිලිතුරු දෙන්නේ නම් ඉහත ප‍්‍රශ්නයට නිසැක පිලිතුර ‘නැත’ යන්න විය හැක. එහෙත් ප‍්‍රශ්නය සහ පිලිතුර එතරම් සරල නැත.

සිමොන් ද බෝවාගේ වියමනෙහි ප‍්‍රධාන චරිතය වන ජොන් බ්ලොමා පූර්ව දෙවැනි ලෝක යුද ප‍්‍රංශයේ ජීවත් වූ ඉහල මධ්‍යම පංතික ව්‍යාපාරිකයෙක්ගේ පුත‍්‍රයෙකි. ස්වකීය සුඛෝපභෝගී වරප‍්‍රසාදිත ජීවිතය පිලිබඳ කලකිරීමෙන් යුක්තව ඔහු එම ජීවිතයෙන් කැඩෙන්ට තීරනය කරයි. ඒ අනුව ඔහු ප‍්‍රංශ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වන්නේය. තම වරප‍්‍රසාදිත මධ්‍යම පංතික නිවෙස අත්හැර, පියා සමග ගැටුමක් ද ඇති කරගෙන හෙතෙම කම්කරු පන්ති ප‍්‍රදේශයක කාමරයක් කුලියට ගෙන එහි පදිංචියට යයි. මධ්‍යම පංතිකයෙක් ලෙස ඔහු විමුක්ති දේශපාලනයට සම්බන්ධ වන්නේ ආචාරධාර්මික තැනකිනි. එනම් ඔහුව කම්කරු පංති දේශපාලනයට පොලඹවනු ලබන්නේ පෞද්ගලිකව ඔහු අත් විඳින පීඩනයක් නොව සමාජ අසාධාරනය පිලිබඳ ඔහු තූල ඇති වන ආචාරධාර්මික කෝපයයි.

බ්ලොමාගේ පෙලඹවීම උඩ ඔහුගේ මිත‍්‍රයෙක්ගේ සොහොයුරෙක් වන ජැක් ද පක්ෂයට සම්බන්ධ වන්නේය. වීදියක දී ඇති වූ ගැටුමක දී නව යොවුන් වියේ පසු වූ ජැක් මිය යයි. පක්ෂයට මෙම මරනය තවත් එක් ‘දිවි පිදීමකි’. එම මරනයට පසු පක්ෂය පෙර පරිදිම වැඩ කරගෙන යයි. මේ ගැන කලකිරෙන බ්ලොමා පක්ෂය හැර යන්නේය. කොමියුනිස්ට් පක්ෂය මිනිසුන්ට සලකන ආකාරය පිලිබඳ තමා තුල වූ හැඟීම පසුව ඔහු විචිත‍්‍ර උපමාවකින් පැහැදිලි කරයි. ඔහුට අනුව පක්ෂයට මිනිසුන් යනු චෙස් පෙතක ඉත්තන් සමූහයකි. පක්ෂයට වැදගත් කොහොම හරි තරඟය දිනන එකය. ඒ ඒ ‘ඉත්තන්’ ගේ අනන්‍ය වටිනාකමක් පක්ෂයට නැත.

කොමියුනිස්ට් පක්ෂය අත් හරින බ්ලොමා ඉක්බිති වෘත්තීය සමිති කටයුතු වල නිරත වෙන එක්තරා විදිහක අරාජකවාදියෙක් බවට පත් වන්නේය. මා පිලිබඳ තීරන ගත යුත්තේ මාය. එය අනෙකා සම්බන්ධව ද සත්‍යයකි. අනෙකාගේ ජීවිතය පිළිබඳ තීරන ගැනීමට මට අයිතියක් නොමැත. එනයින් අනෙකාගේ ලේ සම්බන්ධයෙන් මට තීරන ගත නොහැක. බ්ලොමා මෙහෙවෙන්නේ පුද්ගල ස්වඡන්දතාවය පිලිබඳ මෙම දාර්ශනික ආස්ථානයෙනි. කොමියුනිස්ට් පක්ෂය වෑයම් කරන්නේ දේශපාලන විඥානය කම්කරු පන්තියට ‘පිටින්’ එන්නත් කිරීමටය. වෘත්තීය සමිති වැඩ කරද්දී බ්ලොමා මේ අදහස එහෙම් පිටින්ම බැහැර කරන අතර කම්කරුවන් තුලට කිසිදු අදහසක් ‘බලෙන්’ ඒත්තු ගැන්විමට තමා ක‍්‍රියා නොකරන බව ඔහු දරන ආස්ථානයයි. හෙලන් නමැති තරුණියක හා හාද වන ඔහු එක්තරා විදිහක ස්වයං තෘප්ත ජීවිතයකට ඇතුලූ වන්නේය. මේ යුරෝපය තුල ෆැසිස්ට්වාදය නැගී එන යුගයයි. ජර්මනියේ දී හිට්ලර් බලය අල්ලා ගනී. ෆැසිස්ට් ආක‍්‍රමනයක තර්ජනය යුරෝපය වසා ගැනීම පටන් ගනී. බ්ලොමාගේ කොමියුනිස්ට් පක්ෂ හිතවතෙක් වන පෝල් බ්ලොමා මුන ගැසී ෆැසිස්ට් යුද අන්තරායට එරෙහි වැඩවර්ජනයකට කම්කරුවන් පෙලඹවීම සඳහා ඔහුගෙන් ආධාර ඉල්ලා සිටී. බ්ලොමා ඒ අදහස ප‍්‍රතික්ෂේප කරන්නේය. දේශපාලන වැඩවර්ජනය පිළිබඳ අදහස කම්කරුවන් තුලින්ම මතු වී ආවොත් විනා එය පිටින් සිට ‘එන්නත් කිරීමේ’ අදහස බ්ලොමාගේ දේශපාලන දර්ශනයට පටහැනිය.

කෙසේ වුවද දෙවැනි ලෝක යුද්ධයේ සම්ප‍්‍රාප්තිය බ්ලොමාගේ සාමකාමී වෘත්තීය සමිති ජීවිතය මත අකුනු පහරක් එල්ල කරයි. නාසි ජර්මනියේ ආක‍්‍රමනික හමුදා ප‍්‍රංශය ස්වකීය ග‍්‍රහනයට ගනී. ෆැසිස්ට්වාදයේ තිරිසන් ආත්මය ජීවමාන යථාර්ථයක් ලෙස ප‍්‍රංශ ජාතිකයා ඉදිරියේ පෙනී සිටින්නේය. ජර්මානු ආක‍්‍රමනය ඉදිරියේ ගත යුතු ස්ථාවරය මත ප‍්‍රංශය දෙකට බෙදුනේය. ප‍්‍රංශයේ ධනපති පංතියේ කොටසක් ජර්මානු ආක‍්‍රමනිකයා සමඟ හවුලකට යමින් නාසිවාදය සමඟ සන්ධානයක් ඇති කරගත්තේය. මීට සමගාමීව නාසි ආක‍්‍රමනයට එරෙහි ප‍්‍රතිවිරෝධය පෑමේ ව්‍යාපාරයක් ද ප‍්‍රංශය තුල පැන නැංගේය. මෙම ප‍්‍රතිවිරෝධතා ව්‍යාපාරයේ ඉතාම සටන්කාමී පාර්ශවය වූයේ කොමියුනිස්ට් පක්ෂයයි. යුද්ධය තීරනයක් ගැනීමේ අවස්ථාව බ්ලොමා ඉදිරියේ තැබීය. බ්ලොමා ප‍්‍රතිවිරෝධතා ව්‍යාපාරයේ සටන්කාමියෙක් ලෙස ඊට සම්බන්ධ වේ.

නාසි ආක‍්‍රමනිකයාට එරෙහි බෝම්බ පිපිරවීම් ඇතුලූ කඩාකප්පල් කිරීමේ කටයුතු සංවිධානය කිරීමට බ්ලොමා සක‍්‍රීයව සම්බන්ධ වන්නේය. මෙම ව්‍යාපාරයට ඔහු තුල වූ කැපවීම කොතෙක් ද යත් තමන්ගේ සම්බන්ධකම් පාවිච්චි කොට බ්ලොමාව යුද අන්තරාය නැති ප‍්‍රදේශයකට මාරු කිරීමට උත්සාහ කල නිසා සිය පෙම්වතිය වූ හෙලන් සමඟ වූ සම්බන්ධය ද බ්ලොමා බිඳ දමයි. ප‍්‍රංශයේ වාඩි ලා ගන්නා නාසිවාදීහු ප‍්‍රංශය තුල ද යුදෙව් සංහාරය අරඹති. මරා දැමීම සඳහා මහමඟදි යුදෙව්වන් පෙල ගස්වන අන්දම දැක කම්පනයට පත්වන තරුන හෙලන් පසුව බ්ලොමාගේ ව්‍යාපාරය සමග සම්බන්ධ විය යුතු යැයි තීරනය කරන්නීය. බෝම්බ පිපිරවීම් ඇතුලූ ප‍්‍රචන්ඩ ක‍්‍රියා වල බ්ලොමාගේ කන්ඩායම නියුතු වන්නේය. එක්තරා අවස්ථාවක ප‍්‍රසිද්ධ ස්ථාන වල බෝම්බ පිපිරවීම සහ ඒ නිසා ප‍්‍රංශ ජාතිකයින් මියයාම ගැන බ්ලොමාගේ මව ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නීය. ‘අපේම අයගේ ලේ හැලීම’ ඇය දකින්නේ වරදක් ලෙසය. බ්ලොමා ඊට දෙන්නේ සෘජු පිලිතුරකි. ඔහුට අනුව එලෙස ලේ හැලෙන එක හොඳය. මන්ද ඒ විදිහට ලේ හැලෙන විට තවදුරටත් නාසිවාදීන් සමඟ හාදකම් පැවැත්වීම ප‍්‍රංශ ප‍්‍රතිගාමීන්ට අසීරු වන නිසාය. කම්කරුවන් සිය දේශපාලන අරමුනු සඳහා ‘මාධ්‍යයක්’ කරගැනීමට අකමැති යැයි කියා ෆැසිස්ට් විරෝධී දේශපාලන වැඩවර්ජනයක් දියත්කිරීම ප‍්‍රතික්ෂේප කළ වෘත්තීය සමිති ක‍්‍රියාධරයා යුදමය සන්දර්භය පැමිනි විට ‘අනුන්ගේ ලේ හැලීම’ සම්බන්ධ ස්වකීය ආස්ථානය වෙනස් කරගෙන තිබෙන්නේ එසේය.

ප‍්‍රතිවිරෝධතා ව්‍යාපාරයේ කටයුතු අතර වෙඩි වැදී තුවාල ලැබ බ්ලොමාගේ පෙම්වතිය, හෙලන් මිය යන්නීය. ඇය අවසන් හුස්ම හෙලන අවස්ථාවේ බ්ලොමා ඇය හා කාමරයේ සිටී. ඇය අවසන් හුස්ම හෙලූ ඉක්බිති තීරනයක් ගැනීමට ඔහුට සිදුවන්නේය. හෙලන් මිය ගියේ ඇය සන්නද්ධ අරගලයට සම්බන්ධ වූ නිසාය. එම සන්නද්ධ අරගලය තුල තවදුරටත් නියැලෙනවාද? ඉන් ඉවත් වනවාද? ජොන් බ්ලොමාගේ තීරනය වන්නේ නැවත සටන් බිමට යාමය. තරුන කොමියුනිස්ට්වාදියෙක්ව සිටිය දී සිය මිතුරා ගේ මරනය නිසා ඇති වූ ආචාරධාර්මික කලකිරීම මත කොමියුනිස්ට් පක්ෂය හැර යන බ්ලොමා අවසානයේ සිය පෙම්වතිය මිය ගිය පසු ගන්නා තීරනය වන්නේ ව්‍යාපාරය හැරයාම වෙනුවට දිගටම සන්නද්ධ අරගලය තුළ රැඳී සිටීමය.

ස්වකීය අරමුනු මුදුන් පත් කරගැනීමේ ‘මාධ්‍යයක් ’ ලෙස සංවිධානය වූ දේශපාලන ක‍්‍රියාකාරීන් පිරිසක් බහුජනයාව දැකීම ආචාර ධාර්මික ද? සදාචාරය පිළිබද කාන්ටියානු දැක්ම සදාචාරය සම්බන්ධ වියුක්ත මූලධර්ම ඉදිරිපත් කරයි. ඒ අනුව ගොස් ඉහත ප‍්‍රශ්නයට ‘නැත’ කියා අපි පිලිතුරු දෙන්නෙමු නම්, නාසිවාදයට එරෙහි ප‍්‍රංශ ප‍්‍රතිවිරෝධතා ව්‍යාපාරය කළ යුතුව තිබුනේ කුමක්ද යන ප‍්‍රශ්නය අනිත් පැත්තට මතු කිරීමට සිදු වේ. විප්ලවවාදී පක්ෂය පිලිබඳ ලෙනින්වාදී අදහස තුල එක්තරා විදිහකට තිබෙන්නේ සංවිධානාත්මක වූ ක‍්‍රියාකාරීන් සමූහයක් විසින් පොදු සමාජය ‘මෙහෙයවීමකි’. ඒ අනුව චෙස් පෙත පිලිබඳ බ්ලොමාගේ රූපකය සාවද්‍යය නැත. එහෙත් එසේ කියා අප එම අදහස අත් හරින්නේ නම් අපට අභිමුඛ වන්නේ කුමක්ද? බ්ලොමාට අභිමුඛ වූයේ ජර්මානු නාසිවාදයයි. අපට අභිමුඛ වනු ඇත්තේ පීඩනය ආයතනගත වූ පවතින සමාජ පර්යාය නොවෙනස් ලෙස ගලාගෙන යාමේ ඉරනමයි.

වියුක්ත සදාචාරමය වටිනාකම් මත අපගේ ක‍්‍රියාවන්හි යුක්ති යුක්තභාවය විනිශ්චය කිරීමට සපුරා එරෙහි වූ සාංදෘෂ්ටිකවාදය යම් ක‍්‍රියාවක විනිශ්චය එය සිදුවන සන්දර්භය තුල වටහා ගත යුතු බවට යෝජනා කළේය. මිනිසුන් නිදහස්ය. එහෙත් නිදහස් මිනිසාගේ තීරන සෙසු මිනිසුන්ගේ පැවැත්ම සමග වෙලී තිබෙන නිසා එම නිදහස වගකීම්සහගත විය යුතුය. යම් ක‍්‍රියාවක ‘වගකීම් සහගතභාවය’ විනිශ්චය කල යුත්තේ අදාල ක‍්‍රියාව සිදු වූ සන්දර්භය අනුව මිස සදාචාරය පිළිබඳ යම් ‘උත්තරීතර’ වටිනාකමක් මත නොවේ. විප්ලවවාදී පක්ෂය පිළිබඳ ලෙනින්වාදී සංකල්පනයට තිබෙන ඓතිහාසික වලංගුතාවය වූ කලී එය විසින් නිශ්චිත ඓතිහාසික සන්දර්භයක් තූල ඉටු කරන භූමිකාවයි. ( සියවස් ගනන් පැරනි පංති ධූරාවලින් කඩා බිඳ දැමීමේ ඓතිහාසික ක‍්‍රියාව) එහෙත් එම ලෙනින්වාදී සංකල්පනය තුල බ්ලොමාගේ චෙස් පෙතෙහි යථාර්ථය ද ගැබ්ව පවතී. ලෙනින්වාදී පක්ෂය යනු විප්ලවය සඳහා උපයෝගී කරගැනීමට සිදුවන අත්‍යවශ්‍ය නපුරක්ද? එය තාවකාලික ද? චෙස් තරඟය හා චෙස් ඉත්තන් අතර ගනුදෙනුව විප්ලවයෙන් පසුවත් ක‍්‍රියාත්මක වන්නේ ද? එසේ නම් විප්ලවය විසින් ඇති කරන විමුක්තියට අර්ථයක් තිබේද? ‘අනුන්ගේ ලේ’ වියමන අප ඉදිරියේ එලෙස ප‍්‍රශ්න සමූහයක් තබයි.

No comments:

Post a Comment