Thursday, February 12, 2015

ජෙයකුමාරී බාලේන්ද්‍රන්ගේ අභියෝගය

ජෙයකුමාරි බාලේන්ද්‍රන් නැවත වතාවක් බන්ධනාගාරගත කරන ලදී. ඒ කොලඹ මහේස්ත‍්‍රාත් අධිකරනයේ නියෝග මතය. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින ජෙයකුමාරි එලෙස අත්අඩංගුවට පත් වී මේ වනවිට දින 331 ක් ගත වී තිබේ. දින 331 ක් ගත වී තිබුනත් තවමත් ඇයට එරෙහි චෝදනාවක් අධිකරනය ඉදිරියේ ගොනු කොට නැත. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ එන කාලකන්නි ප‍්‍රතිපාදන උපයෝගී කොට ගෙන ජෙයකුමාරිව දැන් වසරකට ආසන්න කාලයක් රඳවා ගනු ලැබ තිබේ. මේ දින 331 පුරාම ත‍්‍රස්ත විමර්ශන ඒ්කකයේ නිලධාරීන් කරනු ලබන පැහැදිලි කිරීම වන්නේ ‘‘ විමර්ශන කටයුතු තවමත් සිදු කෙරෙමින් පවතින’’ බවයි.

ජෙයකුමාරි බාලේන්ද්‍රන් උතුරු ලංකාවේ සිදුවූ බලහත්කාරී අතුරුදහන් කිරීම් සම්බන්ධව ක‍්‍රියා කල ක‍්‍රියාකාරිනියකි. යුද්ධය අවසාන වූ පසු එල්ටීටීඊ සංවිධානය සමග සබඳතා තිබූ අයට භාරවෙන ලෙස ලංකා රජය නිවේදනය කල අතර ඒ අනුව ජෙයකුමාරිගේ පහලොස් හැවිරිදි පුත‍්‍රයා ආරක්ෂක හමුදාවලට භාර විය. එතැන් පටන් ඔහු ගැන තොරතුරක් නැත. සිය දරුවාගේ අතුරුදහන් කිරීමෙන් පසු ජෙයකුමාරි අතුරුදහන් කිරීම්වලට එරෙහි උද්ඝෝෂනවලට ක‍්‍රියාකාරීව සම්බන්ධ වන්නියක බවට පත්වූවාය. එම උද්ඝෝෂනවලට ඇගේ දොලොස් හැවිරිදි දියනිය විභූෂිකා ද සම්බන්ධ වූවාය. 2014 මාර්තුවේ දී ත‍්‍රස්තවාදියෙක්ට රැකවරන දීමේ චෝදනාව මත ජෙයකුමාරි අත්අඩංගුවට ගන්නා ලදී. එහෙත් ඒ සම්බන්ධව චෝදනාවක් වත් අධිකරනය ඉදිරියේ ගොනු කරගැනීමට තවමත් ආන්ඩුව අසමත්ව සිටී.

ජෙයකුමාරිව යලිත් වතාවක් රිමාන්ඞ්ගත කිරීමට සමගාමීව අතුරුදහන් වූ තම දරුවන් සඳහා යුක්තිය ඉල්ලා දෙමල ජාතික දෙමවුපිය සංවිධාන විසින් කැඳවූ විරෝධතා මාලාවක් පසුගිය සතියේ දී උතුරු ලංකාව සිසාරා පැතිරී ගියේය. යාපනය, වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිවු දිස්ත‍්‍රික්කවල මෙබඳු උද්ඝෝෂන පැවැති අතර ශිරානි බන්ඩාරනායකට, සරත් ෆොන්සේකාට ‘යුක්තිය’ ඉටු කල පරිදි තම ප‍්‍රශ්නයට සාධාරනය ඉටු කරන ලෙස එම දෙමාපියෝ ඉල්ලා සිටියහ. මේ අතර සිවිල් යුද්ධය අවසාන අදියරේ දී දෙමල ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු වූ බවට යෝජනාවක් උතුරු පලාත් සභාව විසින් පසුගිය සතියේ දී සම්මත කරගත්තේය. ජනාධිපතිවරනයේ දී රනිල් - මෛත‍්‍රී සන්ධානය සමඟ ඇතිකරගෙන තිබූ හවුල් ක‍්‍රියාමාර්ගයට පසු දෙමල ජාතික සන්ධානය ජාතික ප‍්‍රශ්නය තීරනාත්මක ලෙස මතු කල පලමු ක‍්‍රියාව වන්නේ මෙම යෝජනා සම්මතයයි. මේ පිලිබද ජනමාධ්‍ය වෙතින් ප‍්‍රශ්නයක් ඉදිරිපත් වූ විට කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක රාජිත සේනාරත්න පවසා තිබුනේ ජන සංහාරයක් සිදුවීය යන්න ‘පිලිගත නොහැකි අදහසක් ’ බවයි. සේනාරත්න වැඩිදුරටත් කියා තිබුනේ උතුරේ ජනඝාතනයක් සිදුවී නම් සිදුවූයේ එල්ටීටීඊය විසින් දෙමල ජනතාව මිනිස් පලිහක් ලෙස යොදාගත් නිසා බවයි. සේනාරත්න මිනිස් ඝාතන පිලිබද රාජපක්ෂ රජය ඉදිරිපත් කල ‘නිදහසට කරුන’ ඒ වචනවලින්ම ප‍්‍රතිරාවය කලේ එසේය.

ඉහත දැක්වූ සිදුවීම්වලින් එලැඹිය හැකි නිගමන දෙකකි. පලමුව, දෙමල ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම් පිලිබඳ ප‍්‍රශ්නය දෙමල සමාජය පැත්තෙන් බරපතල ලෙස මතු කිරීම ආරම්භ වී තිබේ. දේශපාලන සිරකරුවන් ගේ ප‍්‍රශ්නය, හමුදා පාලනය , හමුදාව උතුරේ ඉඩම් අත්පත් කරගෙන සිටීම සහ යුද අපරාධ වින්දිතයන්ට සාධාරනය ඉටු කරවා ගැනීම මෙම පුලූල් ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම් ප‍්‍රශ්නයේ විවිධ පැතිකඩ සංයුක්ත කරයි. දෙවනුව, රනිල් - මෛත‍්‍රී ආන්ඩුව මෙම ගැටලූවට ප‍්‍රතිචාර දක්වමින් සිටින්නේ අඩු වැඩි වශයෙන් රාජපක්ෂ රෙජිමය ඊට ප‍්‍රතිචාර දැක්වූ තර්කනය තුලම සිටිමිනි. කොලඹ සංස්ථාපිතය විසින් උතුරේ පවත්වා ගෙන යන හමුදා පාලනයේ වෙනසක් තවමත් සිදුවී නැත. උතුරේ හමුදා කඳවුරු අඩු කිරීමක් සිදු නොවන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන විසින් ප‍්‍රකාශයක් ද සිදුකොට තිබුනේය. මේ අනුව පැහැදිලිව පෙනී යන්නේ ඉහත කී කිසිදු ප‍්‍රජාතාන්ත‍්‍රීය ප‍්‍රශ්නයක දී ධනාත්මක ප‍්‍රවේශයක් තවමත් රනිල් - මෛත‍්‍රී ආන්ඩුව පැත්තෙන් පෙන්නුම් කොට නැති බවයි.

එනම් පශ්චාත් රාජපක්ෂ යහපාලන කතිකාවත ගොඩනැගී තිබෙන්නේ ජාතික ප‍්‍රශ්නය බහිෂ්කරනය කොට දමමිනි. දෙමල ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම් පිලිබද ප‍්‍රශ්නය ඉවත් කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය ගැන සිංහලවාදී කතිකාවක් මේ වන විට දේශපාලන වශයෙන් බලවත් වී තිබේ. උදාහරනයක් ලෙස ‘යහපාලනයේ නාමයෙන්’ අධිකරනයෙන් මොහාන් පීරිස්ව ඉවත් කරනු ලැබේ. එහෙත් එම අධිකරනය පොලිසිය සමග එක්ව ජෙයකුමාරිගේ අත්වලට මාංචු දමයි.

කෙතරම් බැහැර කරන්ට උත්සාහ කලත් දෙමල ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය ගැටලූව මග හැර යා නොහැකි භෞතික යථාර්ථයක් ලෙස පවතින්නකි. දශක තුනක සිවිල් යුද්ධයක් ජනනය කල මෙම ප‍්‍රශ්නය තවමත් දෛනික ජීවිතයේ යථාර්ථයක් ලෙස අපට මුන ගැසේ. මේ ප‍්‍රශ්නය බැහැර කොට ගොඩනගමින් තිබෙන වත්මන් සිංහලවාදී දේශපාලන කතිකාවේ අනාගත ප‍්‍රතිඵලය කෙබඳු ද? ස්වකීය ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම් අරභයා දෙමල සමාජය තුල වැඩෙන දේශපාලන උනන්දුවක් හා සක‍්‍රීයත්වයක් වර්ධනය වෙමින් පවතී. අද දින අතුරුදහන් වූවන්ගේ මවුපියන් විසින් කරන උද්ඝෝෂන ලෙස ප‍්‍රකාශයට පත්වන එය හෙට දින මහා පරිමාන විරෝධතා ව්‍යාපාර හා සිවිල් නීති කැඞීම් දක්වා වුව වැඞී යා හැක. එම ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලය මැඞීම සඳහා රාජ්‍යය අලූත් වටයකින් හමුදා බලය යොදාගනු ඇති අතර නීතිඥ සංගමයේ ලිබරල් මහත්වරුන්ට හදිසි නීතිය ඇතුලූ මර්දන නීති නව වටයකින් සම්මුඛ වනු ඇත. ජාතික ප‍්‍රශ්නය මග හැර ඉගිල්ලෙන්න දැගලිය හැක. එහෙත් එම ප‍්‍රශ්නය ඉගිල්ලෙන්න හදන ඔබගේ තටු කපා ඔබට ප‍්‍රතිචාර දක්වනු ඇත.



2 comments:

  1. කිසිම හේතුවක් නැතිව ජෙයකුමරි නැවත හිර කරන්නේ ඇයිද කියන එක ප්‍රශනයක්. අනිත් එක තමන්ගේ ඉන්න එකම දරුවා ගැන ඒ අම්මගේ හිතේ මොන වේදනාවක් ඇත්ද?

    ReplyDelete
  2. ඔය ගෑණිට ඕවෙලා තියෙන්නේ ජාති වාදෙ අවුස්සලා නැවත යුද්ධයක් ඇතිකරන්න පුතාව හිමීට රට යවලා බොරුවට කෑ ගහනවද කවුද දන්නෙ. සිංහල සමාජය තුල ඥානසාර හාමුදුරුවන්ට කෙරෙන විවේචන වගේ විවේචනයක් දෙමල සමාජය තුලත් මේ වගේ විෂබීජ වලට එරෙහිව ඇතිවිය යුතුයි එහෙම නොවෙන නිසයි මම මේ ලියන්නේ. මේ වගේ ජාතිවාදය ඇවිස්සන එවුන් නිසා අනාගතයේ තව පුත්තු ගොඩක් මැරෙන්න පුලුවන්. අනිත් අතට ත්‍රස්ත වාදී් වරපු සිංහල මුස්ලිම් අය ගැන මුන්ට ගානක් නෑ.

    ReplyDelete