Monday, February 2, 2015

නීතියේ 'ආධිපත්‍යය' පුපුරුවා හරිමු

සුගිය දිනවල අලූත්කඩේ උසාවි පරිශ‍්‍රය ආශ‍්‍රිතව සිදු වූ සිදුවීම් පෙළ නාටකීයය. නග්න රාජ්‍ය බලය යොදා අගවිනිසුරු ධූරයට පත් කළ මොහාන් පීරිස් ඊටත් වඩා නග්න ලෙස රාජ්‍ය බලය යොදා ධූරයෙන් පහ කරන ලදී. පාර්ලිමේන්තුව විසින් සම්මත කළ දෝෂාභියෝගයක් මගින් ධූරයෙන් පහ කොට සිටි ශිරානි බන්ඩාරනායක නැවත අගවිනිසුරු පුටුවේ වාඩි කරවන ලදී. මේ සියල්ල සිදුවූයේ ජනාධිපති මෛත‍්‍රීපාල විසින් ලියන ලද ලියුම් මත පදනම්වය.

මේ සිදුවීම් පෙල ‘නීතියේ ආධිපත්‍යයට’ සහ ‘යහපාලනයට’ මොන තරම් දුරට අනුකූල දැයි පැහැදිලි කල යුත්තේ මේ දිනවල එම සංකල්ප තොරොම්බල් කරමින් සිටින මහත්ම මහත්මීන්ය. අධිකරනවලට කෙරෙන පත්කිරීම්වල ඊනියා පටිපාටිය ගැන කිසිදු සැලකිල්ලක් මෙම ලියුම්කරු තුල නැත. එහෙත්  දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, හමුදාව විසින් උතුරේ අල්ලාගෙන සිටින ඉඩම් නිදහස් කිරීම, කුමාර් ගුනරත්නම්ට ලංකාවේ දේශපාලනය කිරීමට තිබෙන අයිතිය පිලිගැනීම වැනි ප‍්‍රශ්න මතු වූ විට ‘නිසි පටිපාටිය‘ හා ‘නීතිය’ නිවැරදි ලෙස අදාල විය යුතු යැයි නිදහසට කරුනු නහුතයක් ඉදිරිපත් කෙරෙන රටක එම නිදහසට කරුනු ඉදිරිපත් කරන අයවලුන් විසින්ම අගවිනිසුරු පටිපාටියෙන් බැහැරව එලවා දැමීම උත්ප‍්‍රාසාත්මකය.

ජනප‍්‍රිය අදහස අනුව මොහාන් පීරිස් එලවා දැමීම ‘අධිකරනය ස්වාධීන’ කිරීමේ සටනේ කොටසකි. ස්වාධීන අධිකරන කොමිෂම ස්ථාපිත කළ පසු එනම් අධිකරනයේ ඉහල විනිසුරුවරුන් පත්කිරීමට ජනාධිපති සතු බලතල කප්පාදු කල පසු අධිකරන ස්වාධීනත්වයේ ඉතිරි අර්ධයත් සම්පූර්න වනු ඇත.

අධිකරන ස්වාධීනත්වය ගැන මේ අධිපති සාකච්ඡාව ගොඩ නැගෙන්නේ ඉහල සිට පහලටය. එනම් විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ දෘෂ්ටිකෝනයෙනි. මෙතැන තිබෙන සාකච්ඡාව නම් විනිසුරුවරුන්ට ‘දේශපාලකයින්ගේ ඇඟිලි ගැසීම් වලින් තොරව’ කටයුතු කිරීමට තිබෙන නිදහස පිලිගැනීමයි.

එහෙත් ප‍්‍රශ්නය අපට තවත් දෘෂ්ටිකෝනයකින් සලකා බැලිය හැක. ලංකාවේ උසාවි පද්ධතිය යනු දැඩි ලෙස ධූරාවලිගත වූ පද්ධතියකි. මෙම ධූරාවලියේ ඉහල කොටස විනිසුරන්ගෙන් හා මහේස්ත‍්‍රාත්ලාගෙන් සංයුක්ත වී තිබේ. නීතිඥ සංගමය බඳු ප‍්‍රභූ ආයතන ද මෙම ධූරාවලියේ වරප‍්‍රසාද ලත් ස්ථානයක් උසුලන්නේය. එහි පහලම අඩිය නියෝජනය කරන්නේ ‘යුක්තිය පසිඳලවා ගැනීමට’ උසාවි එන පොදු ජනතාවය. උසාවියක දෛනික කටයුතු පිලිබඳ නිරීක්ෂනයක් කරන  ඕනෑම අයෙක්ට මෙම ධූරාවලිගත සම්බන්ධය ක‍්‍රියාවට නැගෙන ආකාරය දැකබලා ගැනීමට පුලුවන. උසාවි බංකු සහ සිරමැදිරි පිරී තිබෙන්නේ නිර්ප‍්‍රභූ පිරිමි සහ ගැහැනුන්ගෙන්ය. මේ අයට තමා ඉදිරියේ දිග හැරෙන ‘මහේශාක්‍ය ක‍්‍රියාවලිය’ තේරෙන්නේ නැත. ඒවා ඔවුන්ට තම තමන්ගේ අභිමතය පරිදි තෝරාදෙන සියල්ල දත් නීතිඥවරු සිටිති. දැනුම බලයක් වන අතර බලය ප‍්‍රකාශයට පත්වන්නේ මුදල් ලෙසය. පොදු ජනතාව නිර්දය ලෙස නීතිඥවරුන්ගේ සූරාකෑමට ලක්වෙති. මෙකී ක‍්‍රියාවලිය නියාමනය කෙරෙන පද්ධතියක් නැත. මුදල් හදල් යහමින් තිබේ නම් හොඳ නීතිඥවරු මිලදී ගත හැක. හොඳ නීතිඥවරු නැතිව නඩු දිනීම අපහසුය. එනම් මුදල් වැඩිපුර තිබේ නම් වැඩිපුර ‘යුක්තිය’. යුක්තිය ඒ අනුව විවෘත වෙලඳපොලේ කේවල් කොට මිලදී ගත හැකි වෙලඳ භාණ්ඩයකි.

වැඩවසම් යුගයේ රදලයෙක් පාරේ එන විට පොදු ජනයා කානු පල්ලට බැසිය යුත්තේ යම් සේද මහේස්ත‍්‍රාත්ලා පාරේ එන විට පොදු ජනයා දෙපසට වී ඔවුන්ට ඉඩ ලබා දිය යුතුය. උසාවි යාම යනු සාමාන්‍ය මිනිසෙක්ගේ පැත්තෙන් ගත් විට ඉතාම නරක ගනයේ රස්තියාදු වීමකට විෂය වීමකි. මේ රස්තියාදු වීම ගැන කථා කරන්නේ කවුද? අධිකරන නිලධාරීන්ගේ චන්ඩි පාට් ඔවුන් ඉවසා දරා ගත යුතුය. මහේස්ත‍්‍රාත්ලා ඉදිරියේ දෙකට තුනට නැමිය යුතුය. මහේස්ත‍්‍රාත්ලා සහ විනිශ්චයකාරවරු කියන  ඕනෑම දෙයක් අසාගෙන සිටිය යුතුය. ඔවුන් බැන වදිද්දී පවා ඔලූව පාත් කරගෙන සිටිය යුතුය. එනම් ධූරාවලියේ ඉහල සිටින්නවුන්ගේ උද්දච්ච සංස්කෘතිය පොදුජනයා විසින් විඳ දරාගත යුතුය.

ඉහත කී උද්දච්ච හැසිරීම ඒ ඒ මහේස්ත‍්‍රාත්ගේ / විනිසුරුගේ පුද්ගලිකත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් නොව අධිකරන ධූරාවලිය ගොඩනැගී තිබෙන ආකාරය පිළිබඳ ව්‍යුහමය ප‍්‍රශ්නයකි. මොහාන් පීරිස් ගේ සිට ශිරානි බන්ඩාරනායක දක්වා සියලූම දෙනා නිර්වචනය වන්නේ මෙම ව්‍යුහය තුළිනි. උසාවි ආශ‍්‍රිත ප‍්‍රභූවාදි සම්ප‍්‍රදායන් පවත්වාගෙන යන්නේම පොදු ජනයා එම ක‍්‍රියාවලිය තුළ ‘යටත් විෂයන් ’ ලෙස පවත්වා ගැනීමේ උවමනාව මතය. උසාවි ආශ‍්‍රිතව ගොඩනගා තිබෙන මෙම ප‍්‍රභූ - නිර්ප‍්‍රභූ සම්බන්ධය එනම් පීඩක - පීඩිත සම්බන්ධය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ගැඹුරු ප‍්‍රශ්නයකි.

ඒ අනුව අපට මෙසේ ඇසිය හැක. අධිකරනය නිදහස් කරගත යුත්තේ මොහාන් පීරිස්ගෙන් පමනද? උක්ත ප‍්‍රභූ - නිර්ප‍්‍රභූ බෙදීම මගින් නිර්වචනය වී තිබෙන ධූරාවලිගත ව්‍යුහය ගැන කිව හැක්කේ මොනවාද? ධනේශ්වර ස්වභාවයේ සූරාකෑමක සහ පූර්ව ධනේශ්වර පන්නයේ ප‍්‍රභූවාදයක අවලස්සන සම්මිශ‍්‍රනයකි අපගේ අධිකරන ව්‍යුහය. මොහාන් පීරිස්ට ගල් ගැසීමේ කිසිදු ගැටලූවක් නැත. එහෙත් එතැනින් නොනැවතී පොදු ජනතාව බැහැර කොට ගොඩනගා තිබෙන අධිකරන ව්‍යුහයේ සමස්ත තර්කනයටම ගල් ගැසිය යුතුය. ඬේවිඞ් විසින් ගොලායත් පෙරලා දැම්මේ යම් සේද පොදු ජනයා අඟුටුමිට්ටන් කොට ගොඩ නැගී තිබෙන මෙම ව්‍යාජ මහේශාඛ්‍ය පද්ධතිය එහි පදනමින්ම පෙරළා දැමිය යුතුය.

13 comments:

  1. මොහාන් පීරිස් මහතා නිසි ක්‍රමවේදයකට ඉවත් කළානම් හොඳ බව ඇත්තකි. ප්‍රබාකරන් ජීවග්‍රහයෙන් අල්ලාගෙන ඇවිත් නඩු අසා දඬුවම් නියම කළානම් හොඳය. එහෙත්......හොඳ සියලු දේම කළ නොහැකිය.
    මොහාන් පීරිස් එළැවීම සම්බන්ධයෙන් අගමැති රනිල්ගේ තර්කය ද පහසුවෙන් ඉවතදැමියහැකි එකක් නෙවෙයි නේද?

    මගේ අදහස් නම්, යුක්තිගරුක නොවන නීතියක් බලු වුනත් කමක් නැත.
    නීතිය අවශ්‍ය වන්නේ යුක්තිය ඉෂ්ට කරවා ගැනීමට පමණකි.
    නීතියේ ආධිපත්‍යය යන්න අර්ථවත් වන්නේත් ඒ නීති යුක්තගරුකනම් පමණකි.

    විධායකය ව්‍යවස්ථාදායකයට ඉහළින් නොතිබිය යුත්තේ ඒ නිසාය.

    ReplyDelete
    Replies
    1. ඉතිං යකෝ අපි එකනේ කර කර හිටියේ කුඩු කාරයින්ව, පාතාල මැරයින්ව, කප්පන් කාරයින්ව එහම ආයුද පෙන්නන්න එක්කන් ගිහින්. ඒ කියන්නේ නීතිගරුක වනවාට වඩා යුක්තිගරුක වීමෙන්. තොපි නේ ඒ දවස් වල මැරෙන්න හැදුවේ, කෝ නීතිය කියල. දැන් මොකෝ නිතිය එපාද ??

      සුදු වෑන් වාස්

      Delete
    2. විනිමය වංචාවක් පිලිබදව නඩුවක් ඇති රවී කරුනානායකව ආර්ථික කටයුතු ඇමති කලේ යුක්ති සහගතවද නීති සහගතවද කියල කියනවද?

      Delete
    3. මොහාන් පීරිස් එළැවීම සම්බන්ධයෙන් සරත් සිල්වාගේ තර්කය

      හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගේ කරුණු දැක්වීමක්

      අගවිනිසුරු ධුරයේ යළිත් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වැඩ භාර ගන්නවා. මේ පත් කිරීමේ ක්‍රමවේදය මොකක්ද?

      ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ලෙස කටයුතු කරද්දී එතුමියට විරුද්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරුවා. ඒ දෝෂාභියෝගය නීත්‍යනුකූලව ඉදිරිපත් කළ එකක්. දෝෂාභියෝගයකදී පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙන්නේ ස්ථාවර නියෝගයි. ස්ථාවර නියෝග අනුව තේරීම් කාරක සභාවක් පත් කරලා එතුමිය සමහර චෝදනාවලට වැරදිකරු වුණා. සමහර චෝදනාවලට නිවැරදිකරු වුණා.
      කාරක සභාවේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා එහිදී මෙය සම්මත වුණා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතය ජනාධිපතිට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය ඉවත් කෙරුණා. එයත් නීත්‍යනුකූලව සිදුවුණා. ඒ අනුව 2013 දී මොහාන් පීරිස් මහත්මයා අගවිනිසුරු ලෙස පත් වෙනවා.
      කොහොම වුණත් මේ දෝෂාභියෝගය විභාග වෙද්දී ශිරාණි බණ්ඩාරනායක මැතිනිය අභියාචනාධිකරණය හමුවේ නඩුවක් දානවා පාර්ලිමේන්තු කාරක සභාවේ ක්‍රියාකලාපය නීති විරෝධියි කියලා. ඔවුන් තේරීම් කාරක සභාවේ පිළිවෙත වැරදියි කියලා තීන්දුවක් දුන්නා. පාර්ලිමේන්තුව මෙය පිළිගත්තේ නැහැ. අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව නීතිපති අභියාචනයක් ගෙන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නැවත මෙය විභාගයට ගත්තා. එතනදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා පාර්ලිමේන්තුව හරි, අභියාචනාධිකරණයේ තීන්දුව වැරදියි කියලා. ඒ අභියෝගය එතනින් අවසානයි.

      පාර්ලිමේන්තුවේදී අගවිනිසුරුවරිය ඉවත් කිරීම සම්බන්ධයෙන් නීත්‍යනුකූලව යෝජනාවක් සම්මත වී නැහැ. ඒ අනුව ඇය අගවිනිසුරු ධුරයෙන් ඉවත් වුණාය කියලා කියන්න බැහැ නේද?

      දෝෂාභියෝග යෝජනාව පමණයි තිබුණේ කියන කාරණය එදත් විපක්ෂය පාර්ලිමේන්තුවේදී මතු කළානේ. එතනදී කථානායකතුමා මේ විරෝධතාව සම්බන්ධයෙන් තීන්දුවක් දුන්නා ඡන්ද විමසීමට ප්‍රථමයෙන්. කථානායකතුමා කිව්වේ පාර්ලිමේන්තුවට යෝජනාව ඉදිරිපත් වෙලා තියෙන ක්‍රමවේදය Mohan-perisනිවැරදියි කියලා. පාර්ලිමේන්තුවේ ක්‍රියාපිළිවෙතක් සම්බන්ධයෙන් අවසාන තීන්දුව ගන්නේ කථානාකතුමායි. එවැනි තත්ත්වයක් හමුවේ වර්තමාන ජනාධිපතිතුමා කියනවා මොහාන් පීරිස් මහත්මයාගේ පත්වීමත් හිටපු අගවිනිසුරුවරිය ඉවත් කිරීමත් අවලංගු හා බලශුන්‍යයි කියලා.
      ඇත්තටම මේ අවලංගු හා බලශුන්‍යයි කියන එක අධිකරණමය ප්‍රකාශනයක්. අපේ ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලයන් ගැන. ජනාධිපති ක්‍රියාත්මක කරන්නේ විධායක බලය පමණයි. අධිකරණය කළයුතු දේ කරන්න ජනාධිපතිට බලයක් නැහැ. අනෙක් කාරණය හිටපු ජනාධිපති තමයි අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් පත් කෙරුවේ. ඉතින් වත්මන් ජනාධිපතිට බැහැ අතීතයේ ජනාධිපතිවරයෙක් කරපු දෙයක් අවලංගු කරන්න. මෙහෙම කරන්න ගියොත් ඉදිරියට එන ජනාධිපතිවරුත් කලින් හිටපු ජනාධිපතිවරු කරපු දේවල් ඔක්කොම බොරු ඒවා බලශුන්‍යයයි කියලා කියන්න පුළුවන්. එතනදී විධායකයේ විශාල අස්ථාවරතාවක් ඇති වෙනවා.

      තව කියවන්න,

      ශිරාණි බණ්ඩාරනායක නැවත පත්වීම සහ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ගේ පත්වීම මෙන්ම ඔහුගේ නඩු තීන්දු නීත්‍යනුකූලද නැතිද?

      Delete
    4. මොහාන් පීරිස් එළැවීම සම්බන්ධයෙන් නලින් සිල්වා කියනදේ

      ආණ්ඩුව මොහාන් පීරිස් සම්බන්ධයෙන් තව තවත් අනාගනියි

      අගමැති පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ අයුරෙන් ජනාධිපතිවරයා මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස පත්කිරීම බලරහිත කර ශූන්‍ය කර ඇත. මෙයින් කියැවෙන්නේ මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස කර ඇති සියළු කාර්යයන් ශූන්‍ය වන බව ය, එනම් ඒ සියල්ල බලරහිත වන බව ය. අද ඇතැම් නීතිඥයන් මේ කරුණ ගැන බැරෑරුම් ලෙස සිතන බව පෙනෙන්නට ඇත.

      මෙය පහසුවෙන් ඉවත දැමිය හැකි කරුණක් නො වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට අනුව මොහාන් පීරිස් මහතා නීත්‍යානුකූල ව පත් වී ඇත. මේ සම්බන්ධයෙන් අගවිනිසුරු ගැන අගමැති ප්‍රකාශය යන මැයෙන් අපි කාලය වෙබ් අඩවියේ කරුණු දැක්වීමු. එහි දී අප කියා සිටියේ ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනෙන ලද බවත් එය 2013 ජනවාරි 10 හා 11 දිනවල විවාදයට යොමු වූ බවත් ය. එම විවාදය අවසානයේ දී ඡන්දය විමසීමට පෙර කථානායකතුමා පහත සඳහන් ප්‍රකාශය කළේ ය.

      “දැනට ඉදිරිපත් කර ඇති යෝජනාව හොඳින් අධ්‍යයනය කර බැලීමේ දී මෙම යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 107(3) ව්‍යවස්ථාව සහ 78(අ) ස්ථාවර නියෝගය යටතේ බව ඉතා පෑැහැදිලිව සඳහන් කොට ඇත.

      තවද, මෙම යෝජනාවෙන් බලාපොරොත්තු වන්නේ ඉහත සඳහන් වි’ෂමාචාර චෝදනා පිළිබඳ පරී්ක්‍ෂණය කොට එම චෝදනා එකක් හෝ වැඩි ගණනක් ඔප්පු වී ඇතැයි විශේෂ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබුවහොත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍ර විනිශ්චයකාර පදවියෙන් ගරු ආචාර්ය උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සඳහා යෝජනාවක් අතිගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යුතු යැයි සඳහන් වන බැවින් මෙම යෝජනාවේ පරමාර්ථය ඉතා පැහැදිලි වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 107(3) ව්‍යවස්ථාව ප්‍රකාර යෝජනාවක් ඉදිරිපත් කිරීමට අද දින න්‍යාය පත්‍රයේ අඩංගු කර ඇති යෝජනාව ප්‍රමාණවත් වන බව මම ප්‍රකාශ කරමි.

      එම නිසා අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 යෝජනාව දැන් ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කරමි.” (හැන්සාඩ් වාර්තාව)

      ඉතා පැහැදිලිව යෝජනාව පිළිබඳ යම් ප්‍රශ්නයක් මතුව තිබුණ ද කථානායකතුමා 2011 ජනවාරි 11 වැනි දින දෙන ලද තීන්දුව මගින් ඒ සියල්ල කිසිවකුට නැවත ප්‍රශ්න කිරීමට ඉඩ නොතබා පැහැදිලි කර ඇත. ඒබැවින් ඒ විවාදය පිළිබඳ ව තවත් ඊනියා නිවැරදි කිරීමක් අවශ්‍ය නො වේ. හැරත් කථානායකතුමාගේ තීන්දුව සියළු පාර්ලිමේන්තු මන්තී්‍රවරුන් පිළිගෙන ඡන්ද විමසීමට ද සහභාගි වී ඇත. කිසිවකු තථානායක තීන්දුවට විරුද්ධ වී නම් කළ යුතුව තිබුණේ ඒ බව ප්‍රකාශ කර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම ය. මෛත්‍රිපාල සිරිසේන මහතා ද රාජිත සේනාරත්න මහතා ද චමිපික රණවක මහතා ද යෝජනාවට පක්‍ෂව ඡන්දය දී ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා යෝජනාවට විරුද්ධව ඡන්දය දී ඇත.

      ඒ යෝජනාව සම්බන්ධයෙන් වරදක් සිදු වී යැයි ද ඒ නිවැරදි නොකර තිබිණි යැයි ද අපි තර්කය සඳහා උපකල්පනය කරමු. එවිට එය නිවැරදි කළ හැක්කේ කාහට ද? ශ්‍රෙෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුවේ අනුගමනය කරන ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් කිසිසේත් ම මැදිහත් වීමට නො හැකි ය. විධායකයට ද එසේ කළ නො හැකි ය. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය එකිනෙකින් ස්වාධීන ව කටයුතු කරයි. මෙයින් කියැවෙන්නේ අදාළ යෝජනාව සම්මත කිරීමේ දී පාර්ලිමේන්තුවෙන් යම් වරදක් සිදු වූ අවස්ථාවක පවා එය නිවැරදි කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව ය. ජනාධිපතිවරයාට එය නිවැරදි කිරීමට තබා එහි වරදක් සිදු වී ඇතැයි තීන්දු කිරීමට තීරණය කිරීමට නො හැකි ය.

      තව කියවන්න

      ආණ්ඩුව මොහාන් පීරිස් සම්බන්ධයෙන් තව තවත් අනාගනියි

      Delete
  2. As the above comment pointed out the yahapalana gang want the yahapalanaya selectively as they defined as just...otherwise its the same mob rule....govt suits for real idiots like this

    ReplyDelete
  3. වැඩවසම් යුගයේ රදලයෙක් පාරේ එන විට පොදු ජනයා කානු පල්ලට බැසිය යුත්තේ යම් සේද මහේස්ත‍්‍රාත්ලා පාරේ එන විට පොදු ජනයා දෙපසට වී ඔවුන්ට ඉඩ ලබා දිය යුතුය. උසාවි යාම යනු සාමාන්‍ය මිනිසෙක්ගේ පැත්තෙන් ගත් විට ඉතාම නරක ගනයේ රස්තියාදු වීමකට විෂය වීමකි. මේ රස්තියාදු වීම ගැන කථා කරන්නේ කවුද? අධිකරන නිලධාරීන්ගේ චන්ඩි පාට් ඔවුන් ඉවසා දරා ගත යුතුය. මහේස්ත‍්‍රාත්ලා ඉදිරියේ දෙකට තුනට නැමිය යුතුය. මහේස්ත‍්‍රාත්ලා සහ විනිශ්චයකාරවරු කියන ඕනෑම දෙයක් අසාගෙන සිටිය යුතුය. ඔවුන් බැන වදිද්දී පවා ඔලූව පාත් කරගෙන සිටිය යුතුය. එනම් ධූරාවලියේ ඉහල සිටින්නවුන්ගේ උද්දච්ච සංස්කෘතිය පොදුජනයා විසින් විඳ දරාගත යුතුය.//

    ලිපියට 100% ක් එකඟ නමුත් මෙම කොටස දැඩි ලෙස සිත් ගත් නිසයි උපුටා දැක්වූවේ.පාර්ලිමේන්තුව ශිරාණිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ විට මා දැඩි ලෙස සතුටු වුනේ පාර්ලිමේන්තුව තුලින් මහජන බලය ප්‍රදර්ශනය වන නිසයි.ඇත්තෙන්ම ශිරාණි වැඩවසම් පීඩනයද නියෝජනය කළා.
    ඕනෑම කෙනෙකුට පුළුවන් තමා වෙනුවෙන් පෙනී සිටින්න.එහෙම පෙනී සිටියොත් මක් වෙයිද නඩුකාරයගෙන් ඌට ගැලවීමක් නැතිවෙයි.එල්ලුම් ගහෙන් නැවතුනොත් වාසනාවක්.
    විධායක හා පරිපාලන ක්‍රියාවලින් වන අසාධාරනයන්ට එරෙහිව උසාවි යන්න පුළුවන්.අධිකරන ක්‍රියාවලින් වන පීඩාවන්ට මොකද කරන්නෙ
    සමහර නඩුකාරවරු බුලත්විට කෑව කියලත් මිනිස්සු හිරේ ඇරල තියනව.අනික නඩුකාරයො කරන වැරදි වලට දඩුවම් නෑ.
    නීතියෙ ආධිපත්‍ය,අධිකරණ ස්වාධීනත්වය කියන වචන වලට මුවා වෙලා වැඩවසම් ක්‍රමයක් වෙන නමකින් පවත්වාගෙන යනව.

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවද මචං මං අහන්ඩ අකමැතිම වචනෙ.. නීතියේ ආධිපත්‍යය

      Delete
  4. මන් හිතනවා මොහාන් පිරිස් වත් ඒ විධිහට එලෙව්ව එක හරි කියල. මොකද ඒකෙන් පෙන්වා දෙනවා දේශපාලකයන්ට කත් අදින විනිසුරණට ශිරාණි සහ මෝහන්ට අත්වන ඉරණම. අනික කරණය දියුණු ධනවාදයේ ස්වාධින විනිසුරුන් සිටීම අනිවාර්ය දෙයක්. නැත්නම් එය ධාන්වදයට අහිතකරයි. ඔබ කියන සූරා කෑමේ ප්‍රශ්නය එන්නේ ධනයෙන් අඩු කෙනෙක් නිතිය සොයා ගිය විටයි. ඔවුන්ට බ්මුදල් දී හොඳ නීතිඥයන් සොයා නඩුවකින් දිනන්න අමාරුයි. හොඳම උදාහරණය ඇමෙරිකාවේ දිළිඳු කළු ජාතිකයන්. යුරෝපයේ මේ තත්වය හැබැයි වෙනස්. රජයේ ආධාර තිබෙනවා දුප්පත් අය‍ට. ඔවේ කල යුත්තේ මෙයයි.//ඬේවිඞ් විසින් ගොලායත් පෙරලා දැම්මේ යම් සේද පොදු ජනයා අඟුටුමිට්ටන් කොට ගොඩ නැගී තිබෙන මෙම ව්‍යාජ මහේශාඛ්‍ය පද්ධතිය එහි පදනමින්ම පෙරළා දැමිය යුතුය.//

    ReplyDelete
  5. දැනුම බලයක් වන අතර බලය ප‍්‍රකාශයට පත්වන්නේ මුදල් ලෙසය. පොදු ජනතාව නිර්දය ලෙස නීතිඥවරුන්ගේ සූරාකෑමට ලක්වෙති. මෙකී ක‍්‍රියාවලිය නියාමනය කෙරෙන පද්ධතියක් නැත. මුදල් හදල් යහමින් තිබේ නම් හොඳ නීතිඥවරු මිලදී ගත හැක. හොඳ නීතිඥවරු නැතිව නඩු දිනීම අපහසුය. එනම් මුදල් වැඩිපුර තිබේ නම් වැඩිපුර ‘යුක්තිය’. යුක්තිය ඒ අනුව විවෘත වෙලඳපොලේ කේවල් කොට මිලදී ගත හැකි වෙලඳ භාණ්ඩයකි.
    ..සහතික ඇත්ත..

    ReplyDelete
  6. මට නං හිතෙන්නෙ මෙයාලට (කවුරු වුණත්) කරගන්ඩ ඕන දේ කරගන්ඩ නීතිය කොහෙන් හරි කරකෝල ගන්නව.. අනේ ඔය පොත්වල ලියල තියෙන නීති වගන්ති බදාගෙන මොකද්ද මේ කරන විකාරෙ..නීතියක් නං ඒක සරල වෙන්ඩ ඕන.. පොදු මහජනයාටත් තේරුම් යන්ඩ ඕන.. නීති බර ගාණක් හදාගෙන ඇති වැඩකුත් නෑ.. අනික මෙයාල එක නීතියකින් තව නීතියක වලංගු බාවය නැති කරනව.. හරිම විහිලුවක් මේක..

    ReplyDelete
  7. නීතිය, ධනේ බලේ තියෙන අය සල්ලි දීල අරං ඉවරයි. එයාල ආයෙ ඒක පොඩි මිනිහට දෙන්නෑ. මොකද එයාලගෙ පෙරේතකම (තණ්හාව) කවදාවත් ඉවරයක් වෙන් නැති නිසා.. එයාලව කවදාවත් තෘප්තිමත් කරන්ඩ බැරි නිසා.. ඒ පෘතග්ජන මිනිහගෙ හැටි.. මේ ලෝකෙ හැම සමාජ ව්‍යසනයකටම හේතුව ඔය තණ්හාවයි.. පංති අරගලයක් කියල දෙයක් තියෙනව ඇති.. ඒත් ඒක නෙමේ මේ හැම දේකටම මූලික හේතුව. මිනිසාගේ නොසංසිඳෙන තණ්හාවයි මේ හැම දේකටම හේතුව. පංති හැමදාම තියෙයි.. පීඩිත පංතිය, ධනේශ්වර පංතිය කියල. ඒත් එවයෙ අද ඉන්න සාමාජිකයො හෙට තව පංතියක ඉඳියි.. මොකද නැති මිනිහ කොහොමත් පීඩිත පංතිය ගන්නව (වාසියට). තියෙන මිනිහ ධනේශ්වර පංතිය ගන්නව (ඒකත් වාසියට). ඒව ඉබේම වෙන දේවල්. අද නැති මිනිහ කෑ බෙරිහන් දෙන මිනිහ ධනවතෙක් වුණ දවසක පංතිය පාවල දීල ධනේශ්වර පංතියට යයි.
    මම කියන්නෙ මේ හැම සමාජ ව්‍යසනයකට හේතුව.. මිනිසාගේ නොසංසිඳෙන තණ්හාවයි.. පීඩිත පංතියේ වෛරයයි.. මේ පංති දෙක හැම දාම ගැටෙනව..

    ReplyDelete
  8. ධනපති නිතිය ධනපතියාට මිස අපට කත් අදින්නේ නැත.

    ReplyDelete