Friday, December 18, 2015

මහින්ද ජයසිංහගේ බිකිනි භීතිකාව සහ නලින්ද ජයතිස්සගේ හෝමොෆෝබියාව


මලිංගික අයිතිවාසිකම්වලට තමා ‘දැඩි ලෙස විරුද්ධ බව’ ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගිය දිනෙක ඬේලි නිවුස් පුවත්පත හා සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් ප‍්‍රකාශ කොට තිබුනි. ඔහුට අනුව සමලිංගිකත්වය අස්වාභාවික දෙයක් නිසා එයට පිලිගැනීමක් ලබාදිය නොහැක.

නලින්ද ජයතිස්සගේ මේ ප‍්‍රකාශය බෙහෙවින් සිත්ගන්නා සුලq එකක් වන්නේ එය මෙරට වාමාංශයේ එක් ප‍්‍රවනතාවයක් වන ජවිපෙ ප‍්‍රවනතාවයේ එක් වැදගත් පැතිකඩක් පරාවර්තනය කරන බැවිනි. ස්ත‍්‍රී හා පුරුෂ සමලිංගික - පාරලිංගික හා සංක‍්‍රාන්ති ලිංගික ජනතාවගේ විමුක්තිය (LGBT Liberation) පිලිබඳ කතිකාව සමකාලීන ලෝක දේශපාලනයේ සාකච්ඡාවට ගැනෙන වැදගත් ප‍්‍රශ්නයකි. එල්ජීබීටී ප‍්‍රජාවන් වූ කලී ඉතිහාසය තුල විශාල පීඩනයකට හා ආන්තිකකරනයකට ගොදුරු වූ ප‍්‍රජාවකි. විශේෂයෙන්ම ඒබ‍්‍රහමික ආගමික සම්ප‍්‍රදායන් විසින් මෙම වෙනස් ලිංගික නැඹුරුතා සලකන ලද්දේ පාපයක් හා අපරාධයක් ලෙසය.
මිනිස් ඉතිහාසය තුල පැවැති පුරුෂමූලිකත්වය තරම්ම මර්ධනකාරී වූත් බැහැරකිරීම්වාදී වූත් සංස්ථාවක් වන්නේ විෂම ලිංගික ඒකාධිකාරයයි. මෙන්න මේ ඒකාධිකාරය නිසා වෙනස් ලිංගික නැඹුරුවක් සහිත ප‍්‍රජාවන් ස්වකීය දෛනික ජීවිතයේ ඉතාම සාමාන්‍ය ක‍්‍රියාකාරකම්වල සිට ඔවුන්ගේ සමාජයීය පැවැත්ම දක්වා වූ බොහෝ ක්ෂේත‍්‍රවල දී තුච්ඡ ලෙස වෙනස් කොට සැලකීමට ලක්වූහ. දැනුත් ඔවුහු එබඳු පීඩාවකට ගොදුරු වී සිටිති.

මෙකී පීඩිත ප‍්‍රජාවන්ගේ විමුක්තිය පිලිබඳ ප‍්‍රශ්නය දේශපාලන සංවිධානාත්මකභාවයකින් යුක්තව මතු කිරීම ආරම්භ වූයේ ‘60 දශකයේ දීය. නව සමාජ ව්‍යාපාර ලෙස හැඳින්වෙන, නිල කොමියුනිස්ට් පක්ෂවල බල ක්ෂේත්‍රයන්ට පිටින් පැන නැගුනු විවිධ විමුක්ති අරගල අතර එක් අරගලයක් වූයේ එල්ජීබීටී ප‍්‍රජාවන්ගේ විමුක්තිය පිලිබඳ අරගලයයි. ස්ත‍්‍රී විමුක්තිය, යුධ විරෝධය හා පරිසර දේශපාලනය මෙලෙස වර්ධනය වූ වෙනත් දේශපාලන ප‍්‍රවනතාවයෝය.

මුල් කාලයේ එල්ජීබීටී ප්‍රජාවන්ගේ විමුක්තිය සම්බන්ධයෙන් ස්ථාපිත දේශපාලන සංස්ථාවන් තුල පැවැතියේ බැහැරකිරීම්වාදී ආකල්පයකි. යුරෝපයේ එවකට පැවැති විශාල වාමාංශික පක්ෂ තුල මෙම අරගලය සම්බන්ධයෙන් ගත යුතු ආස්ථානය පිලිබඳ විශාල වාද විවාද පැවැති අතර ආර්ථික ඌනිතවාදයක් තුල සිරගතව සිටි බොහෝ ස්ථාපිත පක්ෂ පංති අරගලය නොවන මෙබඳු සෙසු ආකාරවල අරගල කෙරෙහි දැක්වූයේ උදාසීන ආකල්පයකි.

කෙසේ වූවද ‘70-‘80 දශකවල මෙම තත්වයෙහි කැපී පෙනෙන විතැන් වීමක් හට ගනී. මේ කාලය වන විට එල්ජීබීටී විමුක්තිය පිලිබඳ ප‍්‍රශ්නය සුලුතර ප‍්‍රජාවක් විසින් මතුකරන ආන්තික ප‍්‍රශ්නයක තැනෙහි සිට ක‍්‍රමානුකූලව ප‍්‍රධාන දහරාවේ ප‍්‍රශ්නයක තත්වයට විතැන් වූයේය. එල්ජීබීටී අයිතිවාසිකම් ලෙස මෙය ලිබරල් අයිතිවාසිකම් කතිකාවතට ඇතුලූ වූ අතර මෙකී අරගලයන්ගේ ප‍්‍රතිඵල ලෙස වෙනස් ලිංගික නැඹුරුතා අපරාධකරනය කරනු ලැබූ ආචීර්නකල්පික නීති වෙනස් කරන තැනට ඇතැම් රාජ්‍යයන් තල්ලූ විය.
මෙම අරගලය මේ මොහොතේ ද සජීවීව පවතින අරගලයකි. නිදසුන් ලෙස සමලිංගික විවාහ සඳහා විෂමලිංගික විවාහ සඳහා තිබෙන පිලිගැනීම ඉල්ලා බොහෝ රටවල අරගල සක‍්‍රීයව පවතී. සමලිංගිකත්වය හා වෙනස් ලිංගික නැඹුරුතා අස්වාභාවික, පිලිකුල් කටයුතු දෙයක් ලෙස දකින ගතානුගතික දැක්ම හඳුන්වනු ලබන්නේ සමලිංගික භීතිකාව (Homophobia) ලෙසය. ලෝකයේ බොහෝ සමාජවල - විශේෂයෙන් බටහිර සමාජවල - හෝමෝෆෝබියානු අදහස් දරනු ලබන්නේ අන්ත දක්ෂිනාංශික දේශපාලන කන්ඩායම් විසිනි. ආගමික ගතානුගතිකවාදයෙන් මෙහෙයවෙනු ලැබෙන ප‍්‍රතිගාමී කොන්සර්වැටිව් දේශපාලන කල්ලි විසිනි එල්ජීබීටී අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැඩි ලෙස ස්වකීය විරෝධය දක්වනු ලබන්නේ.

ලෝකයේ සිදු වී තිබෙන මෙම විශාල පැරඩයිම වෙනස ගැන ලංකාවේ ජනතා විමුක්ති පෙරමුනට කිසිදු අදහසක් නැති බව නලින්ද ජයතිස්සගේ ප‍්‍රකාශය මගින් පෙන්නුම් කෙරේ. එම පක්ෂයේ හෝමෝෆෝබියාව වූ කලී හුදෙක් එම පක්ෂය ගිලී සිටින ආර්ථික ඌනිතවාදයක් පිලිබඳ ප‍්‍රශ්නයක් පමනක් නොවේ. එම ප‍්‍රශ්නයට අමතර තවත් සංස්කෘතික පැතිමානයක් ද තිබේ. ගම්බද දුගී තරුනයන්ගේ රැඩිකල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ ජනතා විමුක්ති පෙරමුනේ සංස්කෘතික තර්කනය දැඩි ලෙස ග‍්‍රාමීය සිංහල බෞද්ධ ප‍්‍රතිමානයන් විසින් පාලනය කරනු ලැබෙන්නකි. ඒකභාර්යා-ඒකපුරුෂ පවුල කෙරෙහි තිබෙන දැඩි පක්ෂපාතීත්වය, මත්පැන් සිගරට් පරිභෝජනය ආදී ‘සංකර’ පුරුදු ගැන තිබෙන බැහැරකිරීම්වාදී ආකල්පය, නාගරික සංස්කෘතික ලක්ෂන ‘සුලු ධනේශ්වර ලක්ෂන’ ලෙස දැකීමේ නැඹුරුව සහ ඒ වෙනුවට ඊනියා ‘චාම් පැවැත්ම’ රොමෑන්තිකකරනයට ලක්කිරීමට තිබෙන යොමුව ආදී සියල්ල මෙකී ග‍්‍රාමීය සිංහල බෞද්ධ සංස්කෘතික ප‍්‍රතිමානයන්ගේ පරාවර්තනයන්ය.

හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර දේශපාලනයට පිවිසි කාලයේ සිදුවූ එක් සිදුවීමක් මෙහිදී සඳහන් කරනු වටී. ඇය රූප රාජිනී තරගයක දී නාන ඇඳුමක් හැඳීම පදනම් කොට ගෙන ඇතැම් පිරිස් ඇයට එරෙහි ද්වේශසහගත ව්‍යාපාරයක් දියත් කල අතර ඒ යුගයේ හිරු රූපවාහිනියේ එක්තරා දේශපාලන සංවාදයක දී සරත් මනමේන්ද්‍ර ඇගේ එබඳු ඡායාරූපයක් පෙන්වමින් එය දෝශ දර්ශනයට ලක්කලේය. එම අවස්ථාවේ සරත් මනමේන්ද්‍රට යාබදව වාඩි වී සිටි ජවිපෙ නියෝජිත මහින්ද ජයසිංහ ද මනමේන්ද්‍රට එකතු වෙමින් හිරුනිකාගේ නාන ඇඳුම කෙරෙහි විවේචනාත්මක වූයේය. සුනිලා අබේසේකර ජවිපෙ ක‍්‍රියාකාරිනයක වී සිටි යුගයේ ඇය විසින් නාන ඇඳුමක් හැඳීම පක්ෂ උප සංස්කෘතිය තුල ‘ආන්දෝලනයට’ තුඩු දුන් අයුරු ගැන සඳහනක් ජවිපෙ හිටපු ලේකම්වරයෙක් වන ලයනල් බෝපගේ විසින් ඇය මියගිය ඉක්බිති ලියන ලද උපහාර ලිපියක දැක්වේ. ජවිපෙ සංස්කෘතික ජීවිතය පිලිබද අදහසක් ඇති ඕනෑම අයෙක්ට මෙම මනෝභාවය ඉතා හුරුපුරුදුය.

මහින්ද ජයසිංහගේ ‘බිකිනි භීතිකාව’ මෙන්ම නලින්දගේ සමලිංගික භීතිකාව ද පැන නගින්නේ එකම මූලයකිනි. එය ජවිපෙ සම්ප‍්‍රදායේ සංස්කෘතික ලෝක දැක්ම පැනනගින ග‍්‍රාමීය සිංහල බෞද්ධ සදාචාර ප‍්‍රමිතීන් තුලින් ව්‍යුත්පන්න වූවකි. වෙනස් ලිංගික නැඹුරුතා පිලිගත නොහැක්කේ ඒවා ‘අස්වාභාවික’ නිසා යැයි නලින්ද කියන්නේ නම් ඔහුට කිව යුත්තේ සියලූ මිනිසුන්ට සමාන අවස්ථා තිබිය යුතු බවට වූ සමාජවාදී සංකල්පයේ සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මිනිස් නිදහස ආදී සියලූ වටිනාකම් ‘ස්වභාවික’ ඒවා නොව ශිෂ්ටාචාරය විසින් සාක්ෂත් කරගත් සමාජයීය ජයග‍්‍රහනයන් බවයි. ජවිපෙ පසුගිය කාලයේ ඉදිරිපත් කල අදහසක් වූයේ තම පක්ෂය පෙනී සිටින්නේ 'නවීන සමාජවාදය' වෙනුවෙන් බවයි. සැබැවින්ම නවීන සමාජවාදී ව්‍යාපාරයක් වීමට නම් ජවිපෙ කල යුත්තේ පසුගිය මැතිවරන කාලයේ සිදුකලා මෙන් ලංකා වානිජ මන්ඩලයේ තක්කඩීන් සමග සුරතල් වීම නොව තමාට ජානමය වශයෙන් උරුම වී තිබෙන ඉහත කී ඌනිත පටු ලෝක දැක්මෙන් මිදී ගැනීමය.

Monday, December 14, 2015

මානව හිමිකම් කොමිසම සහ ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලයේ නව මං පෙත්

සස් ජාතික ගනකාධිකරන ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන්ට පසුගිය දිනෙක එල්ල වූ මිලෙච්ඡ පොලිස් ප‍්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව ස්වකීය විමර්ශන වාර්තාව එලි දක්වා තිබේ. අදාල පහරදීම නිසා සිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී තිබෙන බව එහිදී නිගමනය කොට තිබෙන කොමිසම එම සිසුන්ට වන්දි ගෙවන ලෙස පොලිසියට නියම කොට ඇත. එසේම අදාල පහර දීම්වලට වගකිව යුතු නිලධාරීන්ට එරෙහි විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ද නියෝග කොට තිබේ.

මානව හිමිකම් කොමිසමේ මෙම තීන්දුව වැදගත් එකක් වන්නේ එම කොමිසමේ භූමිකාව පිලිබඳ අලුත් එලැඹුමක් එමගින් පෙන්නුම් කරන නිසාය. මෙම පොලිස් පහරදීම විශාල කම්පනයක් රට තුල ඇති කලේය. ඒ පිලිබඳ විමර්ශන කටයුතු ඇරඹීමට කොමිසම තීරනය කොට තිබුනේ ඒ ගැන නිල පැමිනිල්ලක් ඉදිරිපත් වීමටත් පෙරය. වර්තමාන මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්ව සංයුතිය තුල මානව අයිතිවාසිකම් ප‍්‍රශ්න සම්බන්ධයෙන් ප‍්‍රගතිශීලී ඉතිහාසයක් පෙන්නුම් කල සාමාජික නියෝජනයක් පවතී. මෙම පිරිස්වල ආත්මමූලික බලපෑම මෙබඳු කඩිනම් විමර්ශනයක් සඳහා කොමිසම තල්ලු කල ප‍්‍රබල සාධකයක් වූවා විය හැක.

1996 දී පිහිටවූ මානව හිමිකම් කොමිසම සතු බලතල සීමාසහිතය. පසුගිය කාලයේ එම සීමාසහිත බල ක්ෂේත‍්‍රය පවා එම ආයතනය විසින් උපයෝගී කරගනු නොලැබීය. විශේෂයෙන්ම රාජපක්ෂ පාලන යුගයේ මෙම තත්වය වඩාත් නරක අතට පිරිහී තිබුනි. මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ වරෙක ප‍්‍රකාශ කොට තිබුනේ තමා සැමියාගේ අතුරුදහන්වීම පිලිබඳ විමර්ශන ගැන තමා මානව හිමිකම් කොමිසමෙන් නිරන්තර විමසීම් සිදුකරන විට ‘වැඩ කරන විදිහ අපි දන්නවා - අපට කියල දෙන්න එන්න එපා’ වර්ගයේ පිලිතුරක් තමන්ට ලැබුනු බවයි. මේ ප‍්‍රතිචාරය මෙම ආයතනය පිරිහී තිබූ ප‍්‍රමානය හකුලූවා දක්වන සංකේතයක් වැන්න. විශ්ව විද්‍යාල සිසුන්ට කල පහරදීම සම්බන්ධයෙන් කොමිසම පසුගිය දා කල විමර්ශනය ස්වකීය බල ක්ෂේත‍්‍රය සක‍්‍රීයව උපයෝජනය කරගැනීමට කොමිසමේ නව සාමාජිකත්වය දක්වන උනන්දුව පිලිබඳ ප‍්‍රශංසනීය උදාහරනයකි.

එම එලැඹුම අගය කරන අතර ඉන් නොනැවතී ප‍්‍රශ්නය වඩාත් බැරෑරුම් මානයක් තුල වර නැගීම අවශ්‍ය වේ. මිනිස් අයිතිවාසිකම් පිලිබඳ ලිබරල් සංකල්පනයේ පදනම රාජ්‍යයේ අත්තනෝමතිකත්වයෙන් පුද්ගලයින්ගේ අයිතීන් ආරක්ෂා කරගැනීමය. ඒ අනුව වර්ධනය වූ මූලික අයිතිවාසිකම් නීතිය සලකනු ලබන්නේ රාජ්‍යය විසින් පුද්ගලයින්ගේ අයිතිවාසිකම් කඩවීම පිලිබඳ ක්ෂේත‍්‍රයයි. එහෙත් ප‍්‍රශ්නය නම් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ රාජ්‍යය විසින් පමනක් නොවීමයි.

පසුගිය දිනෙක කටුනායක නිදහස් වෙලඳ කලාපයේ දී තමා ලද අත්දැකීමක් පිලිබඳ ආචාර්ය සුමනසිරි ලියනගේ ෆේස්බුක් සටහනක් යොදා තිබුනි. ලෝකයේ ප‍්‍රධාන පෙලේ සන්නාමයන් වෙනුවෙන් ඇගලුම් නිපදවන ‘ස්මාර්ට් ෂර්ට්’ නම් වූ කර්මාන්තශාලාවක් ගැනය ඒ සටහන. මෙම කම්හලේ කම්කරුවන් වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට උත්සාහ කොට ඇති අතර පාලනාධිකාරිය විවිධ හේතු දක්වමින් ඒ සඳහා මූලිකත්වය ගත් කම්කරුවන් නම දෙනෙක් සේවයෙන් පහකොට තිබේ. තවද පොලිසියේ හා ප‍්‍රාදේශීය චන්ඩින්ගේ ආධාර සහිතව වෘත්තීය සමිතිගත වීමට උත්සාහ කරන කම්කරුවන් පාලනාධිකාරිය විසින් බිය ගන්වමින් සිටී. දැන් මෙතැන කම්කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලබන්නේ රජය නොව පුද්ගලික සමාගමක් විසිනි. එහෙත් මූලික අයිතිවාසිකම් නීතිය අනුව කොම්පැනියකට විරුද්ධව මානව හිමිකම් නඩු පැවරිය නොහැක. රජය විසින් අයිතිවාසිකම් කඩකිරීම් වැලැක්වීමට ප‍්‍රතිපාදන තිබුනත් පුද්ගලික සමාගම් විසින් එය කරන විට ඒ සඳහා මූලික අයිතිවාසිකම් නීතියේ ප‍්‍රතිකර්ම නොමැත.

රජය යනු බලය සංකේන්ද්‍රගත වී තිබෙන ආයතනයකි. එම ආයතනයෙන් අයිතිවාසිකම් ආරක්ෂා කරගත යුත්තේ එලෙස අධික ලෙස සංකේන්ද්‍රගතව තිබෙන බලය මහජනයාට එරෙහිව යෙදෙවිය හැකි බැවිනි. සමකාලීන ධනවාදය තුල සමාගම් වූ කලී රජය තරම්ම බලගතු ආයතනයෝය. අති මහත් බලයක් ආර්ථික තලය තුල මෙකී සමාගම් තුල සංකේන්ද්‍රනය වී තිබේ. දේශපාලන ප‍්‍රභූ තන්ත‍්‍රයක් පමනක් නොව ආර්ථික ප‍්‍රභූ තන්ත‍්‍රයක් ද ඒ අනුව පවතී. සංකේන්ද්‍රනය වූ දේශපාලන බලය මානව හිමිකම් කඩ කරන විට ඊට එරෙහිව පවතින සම්මතයන් සංකේන්ද්‍රනය වූ ආර්ථික බලය විසින් මානව හිමිකම් කඩ කරන විට නොපවතින්නේ ඇයි? ස්වකීය වෘත්තීය අයිතිවාසිකම් කඩ වීමට එරෙහිව එකී අයිතීන් කඩන ස්මාර්ට් ෂර්ට්ස් හිමිකාරීත්වයට එරෙහි මානව අයිතිවාසිකම් නඩු පැවරීමේ අයිතිය කම්කරුවන්ට තිබිය යුතු නොවේද? මූලික අයිතිවාසිකම් නීතිය පුද්ගලික අංශයද ආවරනය කල යුතු බවට වූ සටන්පාඨය මේ මොහොතේ ඉදිරිපත් කල හැකි රැඩිකල් ප‍්‍රජාතාන්ත‍්‍රීය ඉල්ලීමකි.

මානව හිමිකම් කොමිසම වැනි ආයතන ගැන ඉදිරිපත් විය හැකි ග‍්‍රාම්‍ය වාමාංශික කියැවීමක් නම් මේවා ධනපති ආයතන නිසා මේවායෙන් සත පහක වැඩක් නැත යන්නය. ඒ අනුව ශිෂ්‍ය උද්ඝෝෂනයට අදාලව එම කොමිසම දුන් තීන්දුව අවශ්‍ය නම් ‘ජනතා විරෝධය උරා ගැනීමට ඇටවූ ධනපති උප්පරවැට්ටියක්’ කියා ද කිව හැක. මෙබදු අදහසක තිබෙන දුර්වලතාවය වනුයේ උපරි ව්‍යුහයේ සාපේක්ෂ ස්වාධීනත්වය පිලිබඳ වැදගත් සංකල්පය එය විසින් ග‍්‍රහනය කොට ගෙන නොතිබීමයි. දේශපාලන-නෛතික තලය සමාජයේ උපරි ව්‍යුහයට අයත්වූවක් වන අතර අවසාන විග‍්‍රහයේ දී ඒවායේ හැඩය නිර්නය වීමට ආර්ථික තලය බලපෑම් සහගත වූවත් මෙම තල තුල ඒවායේම වූ පැවැත්මක් හා තර්කනයක් පවතී. වාමාංශය කල යුත්තේ එකී තර්කනය තුල පවතින ප‍්‍රතිවිරෝධතා හඳුනාගෙන ඒවා රැඩිකල්කරනය කිරීම සඳහා මැදිහත්වීම් කිරීමය.

මානව හිමිකම් කොමිසම විසින් පෙන්නුම් කොට තිබෙන ප‍්‍රජාතාන්ත‍්‍රීය විභවය ලිබරල් සීමාව ඉක්මවා යන පරිමානයට පුලුල් කිරීමට ක‍්‍රියාමාර්ග තේරීම මෙකී ආයතන හුදු ධනපති උපක‍්‍රම ලෙස හෙලාදැකීමට වඩා බෙහෙවින් විප්ලවීය වනුයේ ඒ අර්ථයෙනි. සමකාලීන පංති අරගලය රාජ්‍යයෙන් පිටත මෙන්ම රාජ්‍යය තුල ද පවතින්නක් බවත්, රාජ්‍යය තුල තිබෙන ප‍්‍රතිවිරෝධය තුල විප්ලවවාදීන් දේශපාලනය කල යුතු බවත් වාමගාමී චින්තකයෙක් වූ නිකොස් පුලන්සාස් කියන විට ඔහු අදහස් කරන්නේ මෙන්න මේ වර්ගයේ පුලුල් නිර්මානශීලී ප‍්‍රවේශයකි.

Friday, November 6, 2015

ගාමිනී වියන්ගොඩගේ අදිසි හස්තය


උසස් ජාතික ගනකාධිකරන ඩිප්ලෝමා සිසුන්ගේ උපාධි සමතාවය පිලිබද ප්‍රශ්නය මත ඇති වූ ශිෂ්‍ය උද්ඝෝෂනයට පසුගිය දා ආන්ඩුව එල්ල කල මෘග පොලිස් ප‍්‍රහාරය මේ වනවිට විශාල සමාජ අප‍්‍රසාදයක් ජනනය කොට තිබේ. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට අනුව මේ උද්ඝෝෂනය ‘දේශපාලන කුපිත කිරීමක’ ප‍්‍රතිඵලයකි. මීට සති කිහිපයකට පෙර හම්බන්තොට බඳගිරිය ගම්වාසීන් පානීය ජල අයිතිය ඉල්ලා කල උද්ඝෝෂනයද මෙලෙසම විසුරුවා හරිනු ලැබූ අතර එම අවස්ථාවේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස කීවේ ඒ පසුපසත් ‘දේශපාලන බලවේගයක්’ තිබූ බවයි.

උද්ඝෝෂන පසුපස තිබෙන දේශපාලන හස්ත ඉව කරන ප්‍රේමදාසලාගේ හා කිරිඇල්ලලාගේ මෙම පෝලිමට අලුතින්ම එකතු වී සිටින චරිතය ප‍්‍රකට සාහිත්‍යවේදී ගාමිනී වියන්ගොඩ මහතාය. බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ඔහු කියා තිබුනේ පොලිස් ප්‍රහාරය තමා හෙලා දකින නමුත් මෙම ශිෂ්‍ය උද්ඝෝෂන පසුපස තිබෙන ‘අදිසි දේශපාලන බලවේගය’ ගැන සැලකිලිමත් විය යුතු බවයි.

අවශ්‍ය නම් මේ ප‍්‍රකාශය පදනම් කොට ගෙන වියන්ගොඩ දඩු කඳේ ගැසිය හැක. එහෙත් වැදගත් වන්නේ එය නොව මේ වර්ගයේ ප‍්‍රකාශයක් කිරීමට ඔහුට සිදුවී තිබෙන්නේ ඇයිද යන්න විචාරාත්මකව පැහැදිලි කරගැනීමයි.

ගාමිනී වියන්ගොඩගේ මේ ප‍්‍රකාශය හුදෙක් වියන්ගොඩගේ ප‍්‍රශ්නයක් ලෙස නොව ඔහු විසින් නියෝජනය කරන එක්තරා දේශපාලන ප‍්‍රවාහයක් මේ වනවිට මුහුන දී සිටින උභතෝකෝටිකයක ප‍්‍රකාශනයක් ලෙස දැකිය යුතුය. වියන්ගොඩ රාජපක්ෂ පාලනයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී භාවිතාවට එරෙහිව නිර්භීතව පෙනී සිටි ප‍්‍රකාශකයින් කිහිප දෙනාගෙන් එක්කෙනෙකි. එම පාලනයේ අධිකාරිවාදී-ජාතිවාදී සැකැස්ම ඔහු තදබල ලෙස විවේචනය කලේය. ජනවාරි 08 වන දා මෛත‍්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමේ ව්‍යාපාරයේ කැපී පෙනෙන භූමිකාවකට ඔහු උර දුන්නේය. ගාමිනී වියන්ගොඩ හා එවැනි තවත් අය මෙම ව්‍යාපාරයට සම්බන්ධ වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස්කමක් රට තුල ඇති කිරීමේ අභිලාෂයෙනි. මාදුලූවාවේ සෝභිත හිමි වටා සංවිධානය වූ ‘සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය’ සමග සම්බන්ධ විවිධ කොටස් ද අයිති වන්නේ මේ කුලකයටය. එනම් ඔවුන් රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධ වූයේ ඔවුන් හුදු එක්සත් ජාතික පාක්ෂිකයින් වූ නිසා නොවේ. ප‍්‍රජාතාන්ත‍්‍රීය වටිනාකම් පිලිබද යම් අවංක ආධ්‍යාෂයක් මතින් පොලඹවනු ලැබය ඔවුන් එම ව්‍යාපාරය හා සම්බන්ධ වූයේ.

ජනවාරි 08 වන දා ජයග‍්‍රහනය කල ව්‍යාපෘතිය ගත් විට එය තුල අන්තර්ගත එක් ප‍්‍රතිවිරෝධයක් දැන් අපට හඳුනාගැනීමට පුලූවන. එනම් ‘එක්සත් ජාතික පාක්ෂිකයන්’ සහ ‘එජාප නොවන රාජපක්ෂ විරෝධීන්’ අතර ප‍්‍රතිවිරෝධයයි. මේ දෙගොල්ලම රාජපක්ෂ විරෝධීන් වූවද ඔවුන් රාජපක්ෂ විරෝධීන් වූ පදනම් එකිනෙකින් වෙනස්ය.

දක්ෂිනාංශික එජාපය තමා විසින් ජනවාරි 08 වන දා පෙනී සිටි වටිනාකම් අමු අමුවේ උල්ලංඝනය කිරීම දැන් පටන් ගෙන තිබේ. විරෝධතාවලට පොලිසිය පහරදීම මහජන උද්ඝෝෂන සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ප‍්‍රතිපත්තිය පිලිබඳ ව්‍යුහාත්මක ප‍්‍රශ්නයකි. මහජන උද්ඝෝෂන ඇති වූ විට ඒවා ‘නීතිය හා සාමය’ පිලිබඳ ප‍්‍රශ්නයක් ලෙස ලඝු කොට , ඒවාට පහර දී , ඒ පසුපස දේශපාලන බලවේග ඇතැයි කීම අද ඊයේ පටන් ගත් දෙයක් නොවේ. රාජපක්ෂ පාලනය මේ තර්කය ඇති තරම් පාවිච්චි කලේය. කටුනායක කම්කරුවන් කල උද්ඝෝෂනය පසුපස තිබෙන්නේ ජේවීපී උසිගැන්වීමක් යැයි රාජපක්ෂ පාලනය එදා ප්‍රකාශ කලේය. රතුපස්වල උද්ඝෝෂනය ද දේශපාලන බලවේගයක ක්‍රියාවකැයි ප්‍රකාශ කෙරින. මුල්ලිවයික්කාල් දිනය සැමරීම සදහා යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සිදුකල අනුස්මරන උත්සවයක් සාහසික ලෙස මර්දනය කොට රජය ප්‍රකාශ කලේ ඒ පසුපස එල්ටීටීඊ සංවිධානය සිටින බවයි. ඒ කාලයේ ශිෂ්‍ය උද්ඝෝෂන පමනක් නොව ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය පසුපස ද ජනතා විමුක්ති‍ පෙරමුන / පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉන්නා බව රජය තරයේ කියා සිටියේය.

'අදිසි හස්තය' පිලිබද මේ තර්කය පාලකයින් විසින් පාවිච්චි කරන්නේ මහජන උද්ඝෝෂන විසින් මතු කරන දේශපාලන ප‍්‍රශ්නය යට ගසා වෙනත් එල්ලයක් වෙත ප‍්‍රශ්නය හැරවීමටය. ඒ තුලින් තමා කරන මර්දනය සාධාරනීකරනය කරගැනීමටය. මෙහිදී උද්ඝෝෂනය විසින් මතු කරන ප්‍රශ්නය යට වී 'අදිසි බලවේගය' සම්බන්ධ සාකච්ඡාව කරලියට පිවිසේ. දේශපාලන ප්‍රශ්නය ආමන්ත්‍රනය කරනවාට වඩා අදිසි බලවේගයට බැට දීම පාලකයින්ගේ පැත්තෙන් ගත් කල පහසු කටයුත්තකි.

ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලකයින් විසින් පාවිච්චි කරන මේ කුප‍්‍රකට තර්කය ගාමිනී වියන්ගොඩ වැනි කෙනෙක්ට ප‍්‍රතිරාවය කිරීමට සිදුවී තිබෙන්නේ ඇයි? මේ මොහොතේ දකුනු ලංකාවේ දේශපාලනයේ පවතින සංකීර්නතාවය ඒ සඳහා බලපා තිබේ. පරාජය ලැබූ රාජපක්ෂ ප‍්‍රමුඛ ජාතිවාදී නඩය නැවත බලය අල්ලා ගැනීම සඳහා මාන බලමින් සිටී. පවතින ආන්ඩුව අප‍්‍රසාදයට පත් වන තරමට රාජපක්ෂ පිල බලවත් වීමට ඉඩ තිබේ. ‘රාජපක්ෂ (ජාතිවාදය)  බලයෙන් ඈත් කොට තැබීමට නම් ආන්ඩුව ආරක්ෂා කල යුතුය’ යන ආස්ථානය වෙත එම නිසා ඇතැම් රාජපක්ෂ විරෝධී-එජාප නොවන ඇතැම් කොටස් තල්ලූ වී ගන්නා බව පෙනෙන්නට තිබේ.

ශිෂ්‍ය උද්ඝෝෂනයට කල පහරදීම නිසා සමාජය තුල ඇති වූ විරෝධය ද සංවිධානය කිරීමේ ව්‍යායාමයක රාජපක්ෂ කදවුර පසුගිය දවස්වල නිරත විය. මේ නිසා රාජපක්ෂ විරෝධී ඇතැමෙක් පහරදීම හෙලා දකින ගමන් ආන්ඩුව ආරක්ෂා කිරීම ද කල යුතු යැයි සිතයි. එය කල හැකි එක් ආකාරයක් වන්නේ පහරදීමේ ‘සැර’ බාල කිරීමයි. මෙම උද්ඝෝෂන අව්‍යාජ ඒවා නොව යම් දේශපාලන කුමන්ත‍්‍රනයක ප‍්‍රතිඵලයක් යැයි කීම එලෙස සැර තනුක කල හැකි එක් ප‍්‍රවේශයකි.

එහෙත් එහෙම කල විට සිදුවන අලකලංචිය නම් ජනවාරි 08 වනදා තමා පෙනී සිටි වටිනාකම්වලට පිටුපා සිටගැනීමේ ඉරනමට තෙමේම ලක්වීමයි. රාජපක්ෂ යුගයේ උද්ඝෝෂනවලට පහර දෙන විට ගාමිනී වියන්ගොඩ වැනි අය නිවැරදි ලෙස මතුකලේ විරෝධය පෑමේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිය පිලිබඳ ප‍්‍රශ්නයයි. ඒ කාලයේ උද්ඝෝෂන පසුපස සිටි ‘බිල්ලන්’ ගැන කථාකලේ රාජපක්ෂ ක්ෂමාලාපකයින්ය. උත්ප්‍රාසාත්මක ලෙස එදා එස්.බී.දිසානායක කියූ දේ අද කියන්නේ ගාමිනී වියන්ගොඩය ! යහපාලන ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හැසිරීම් නිර්දය ලෙස විවේචනය කලහොත් එහි වාසිය රාජපක්ෂට යාමට ඉඩ තිබෙන නිසා රාජපක්ෂ බලවත් වීම වැලැක්වීමට යහපාලන ආන්ඩුව ආරක්ෂා කල යුතු යැයි මේ අය කල්පනා කරනවා විය හැක. එහෙත් උභතෝකෝටිකය නම් යහපාලන ආන්ඩුවත් මහජනයාගේ - විශේෂයෙන් නිර්ප‍්‍රභූ කන්ඩායම්වල - උද්ඝෝෂන සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය රාජපක්ෂගේ ප‍්‍රතිචාරයට වඩා වෙනස් එකක් නොවීමයි!

රාජපක්ෂ විරෝධී-එජාප නොවන කොටස් තේරුම් ගත යුත්තේ රාජපක්ෂට විරුද්ධව ආන්ඩුව අවිවේචනාත්මකව ආරක්ෂා කිරීමට යාමෙන් අවසානයේ බලවත් වන්නේ රාජපක්ෂම බවයි. ආන්ඩුවට එරෙහි බලවත් විපක්ෂයක් නොමැති තත්වයක් තුල ආන්ඩුවේ මෙබඳු ක‍්‍රියාකාරකම්වලට එරෙහි විරෝධය සංවිධානය වන්නේ රාජපක්ෂ කඳවුර වටේය. දක්ෂිනාංශික ප‍්‍රභූවාදී එජාපයෙන් ඉදිරියේදීත් මීට වඩා වෙනස් හැසිරීමක් අපේක්ෂා කල නොහැක. ඊට එරෙහි සමාජ මතය සංවිධානය කිරීම සඳහා ප‍්‍රජාතාන්ත‍්‍රීය හා වාමාංශික බලවේගවලින් සමන්විත පුලූල් විකල්ප පරිමන්ඩලයක් මින් ඔබ්බට ඇවැසිය. එවැනි පරිමන්ඩලයක් ගොඩ නොනැගෙන්නේ නම් යහපාලන ආන්ඩුවට එරෙහි විසම්මුතිය රාජපක්ෂ කදවුර විසින් සාර්ථක ලෙස සංවිධානය කිරීමට නියමිතය.සමාජය ප‍්‍රජාතාන්ත‍්‍රීකරනය කිරීම සඳහා වූ අරගලය මෙතැනින් ඉදිරියට ගෙන යාමට නම් යට කී ආකාරයේ විකල්ප අවකාශයක අවශ්‍යතාව නොවැලැක්විය හැකි ලෙස මතු වී තිබේ. ආන්ඩුව අනවශ්‍ය ලෙස ආරක්ෂා කිරීමට යාමෙන් පරාජය වන්නේ රාජපක්ෂ නොව තමාම පෙනී සිටි වටිනාකම් හා පුරුෂාර්ථයන් බව ගාමිනී වියන්ගොඩ (ලා) වටහා ගැනීම වැදගත් වන්නේය.  

Monday, November 2, 2015

කම්කරු නීතිය 'අනම්‍ය' කාටද?


ලංකාවේ වෘත්තීය සමිති කිහිපයක මූලිකත්වයෙන් පසුගිය ඔක්තෝබර් (26) දින කොලඹ එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා කාර්යාලය ඉදිරියේ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කොට තිබුනේය. මෙම උද්ඝෝෂනයේ අරමුන වූයේ යෝජිත කම්කරු නීති ප‍්‍රතිසංස්කරනවලට විරෝධය පල කිරීම සහ එකී විරෝධය ප‍්‍රකාශ කරමින් සංදේශයක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ලංකා නියෝජිතයා වෙත භාර දීමය.

ලංකාවේ කම්කරු නීති බෙහෙවින් ‘අනම්‍යයය’ යන්න කාලාන්තරයක් තිස්සේ එල්ල වී තිබෙන චෝදනාවකි. මේ චෝදනාව ඉදිරිපත් කරන්නේ ප‍්‍රාග්ධන හිමියන් සහ ව්‍යාපාර අයිතිකරුවන්ය. මෙන්න මේ අනම්‍ය කම්කරු නීති නිසා ශ‍්‍රම වෙලඳපොලේ ‘නම්‍යශීලීභාවය’ නැති වී තිබෙන බවට ඔවුහු චෝදනා නගති. විදේශ ආයෝජන ආකර්ෂනය කරගැනීමටත් දේශීය ව්‍යාපාර ප‍්‍රසාරනය කිරීමටත් මේ කම්කරු නීති බාධාවක් තිබේ යන්න ඒ අනුසාරයෙන් නැගී එන තර්කයයි. ලංකාවේ හාම්පුතුන්ගේ සම්මේලනය දීර්ඝ කාලයක් තිස්සේ ආක‍්‍රමනශීලී ලෙස මේ අදහස ප‍්‍රවර්ධනය කරමින් සිටී.

පසුගිය දශක කීපයක ඉතිහාසය සලකා බලන විට අපට පෙනී යන්නේ කම්කරු නීතිවල දැඩිබව ගැන හාම්පුතුන්ගේ පැත්තෙන් එන මේ සංකල්පනය විශාල වශයෙන් භාරගන්නා තැනකට ආන්ඩු ගමන් කර තිබෙන ආකාරයයි. මේ අනුව කම්කරු නීති ප‍්‍රතිසංස්කරන ගැන කථා කරනවිට ආන්ඩු පැත්තෙන් ඉදිරිපත් වන්නේ ද ශ‍්‍රම වෙලදපොල නම්‍යශීලී කිරීමේ අවශ්‍යතාවයයි. 2001 දී බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජය මෙම අදහස දැඩි ලෙස මතු කළ අතර සේවය අත්හිටුවනු ලබන සේවකයෙක් සඳහා ලැබිය යුතු වන්දිය තීරනය කිරීමේ අභිමතය කම්කරු කොමසාරිස්වරයාට ලබාදුන් 1971 සේවකයින්ගේ සේවය අවසන් කිරීමේ පනතට ඉදිරිපත් කල සංශෝධනයක් මගින් වන්දි සඳහා උපරිම සීමාවක් පැනවීම ( වන්දි සූත‍්‍රය ) ආදී ප‍්‍රතිසංස්කරන වෙත එම රජය යොමු වූයේය.

2005 දී බලයට පත් මහින්ද රාජපක්ෂ රජය ද ශ‍්‍රම වෙලඳපොල නම්‍යශීලී කිරීම ගැන මෙම ව්‍යාජෝක්තිය ඉදිරියට ගෙන ගියේය. 2006-2016 දස අවුරුදු සංවර්ධන සැලැස්ම ව්‍යාපාරවල වර්ධනය සඳහා කම්කරු නීති ලිහිල් කිරීමේ අවශ්‍යතාව පැහැදිලිව ප‍්‍රකාශ කොට සිටියේය. කම්කරු දෙපාර්තමේන්තුව හා රජය නීති ප‍්‍රතිසංස්කරනවලදී ඒ අනුව සලකා බලනු ලැබූයේ ප‍්‍රාග්ධනයේ ප‍්‍රසාරනයට බාධාවක් වී තිබෙන කම්කරු නීති ලිහිල් කිරීමේ පැත්තයි. කෙසේ වූවද මෙම ප‍්‍රතිසංස්කරන යෝජනා ‘යෝජනා මට්ටමෙන් ’ එහාට ගෙන ගොස් ප‍්‍රායෝගිකකරනය කරගැනීමට රාජපක්ෂ රජය අසමත් විය. දැන් නව යහපාලන රජය රාජපක්ෂ නතර කල තැනින් බැටන් පොල්ල සියතට ගෙන තිබේ.

ලංකාවේ දැනට පවතින කම්කරු නීති රාමුව 1950-1977 කාලය තුල එවකට පැවැති දේශපාලන බලවේගවල බලතුලනයේ ප‍්‍රතිඵල ලෙස සකස් වුවකි. ලංකාව යනු දකුනු ආසියාවේ බලවත්ම වෘත්තීය සමිති ව්‍යාපාරයක් හා වාමාංශික කම්කරු ව්‍යාපාරයක් තිබූ රටකි. සංවිධිත කම්කරු පංතිය ඒ කාලයේ අභ්‍යාස කල ප‍්‍රබල කේවල් කිරීමේ බලය හේතුකොට ගෙන ප‍්‍රාග්ධනය හා ශ‍්‍රමය අතර තිබෙන බල සම්බන්ධතාවය තුල සැලකිය යුතු සහන හා ආරක්ෂනයන් ප‍්‍රමානයක් දිනාගැනිමට කම්කරු පංතිය සමත්විය. උපරිම වැඩ දිනය, සේවයෙන් ඉවත් කිරීමට ව්‍යාපාර හිමිකරුට තිබෙන අභිමතය නියාමනය කිරීම, අවම වැටුප් නියම කල හැකි පඩි පාලක සභා, රාත‍්‍රී කාලයේ වැඩ ගැනීම පිලිබඳ නීති, රැකියා සුරක්ෂිතතාවය ආදී කම්කරුවන්ගේ පැත්තෙන් ප‍්‍රතිිලාභසහගත ජයග‍්‍රහන ගනනාවක් ඒ අනුව මෙම නීති පද්ධතිය තුල පිලිගැනීමට ලක්වී තිබේ.

ප‍්‍රාග්ධන හිමියන් සහ ඔවුන්ගේ න්‍යායික කේවට්ටයන් ලංකාවේ කම්කරු නීතිය ‘දැඩියි’ කියා කියද්දී ඔවුන්ට එය දැඩි එකක් ලෙස පෙනෙන්නේ ප‍්‍රාග්ධනයේ දෘෂ්ටිකෝනයෙන් ප‍්‍රශ්නය දිහා බලන නිසාය. උදාහරනයක් ලෙස 1971 සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ පනත යටතේ විනයානුකූල හේතුවක් මත නොවේ නම් කැමති විදිහකට සේවකයින් සේවයෙන් පහ කිරීමේ හැකියාව ව්‍යාපාර හිමිකරුවන්ට නැත. එසේ කරන්නේ නම් ඒ සඳහා කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතියක් අවශ්‍ය කෙරේ. මෙය කම්කරුවාගේ පැත්තෙන් ආරක්ෂිත ප‍්‍රතිපාදනයකි. එහෙත් ප‍්‍රාග්ධන හිමියාගේ පැත්තෙන් ගත්විට ඔහුගේ නිදහස සහ කම්කරුවා විෂයෙහි ඔහුට තිබෙන ආධිපත්‍යය සීමා කරන්නකි. මෙම නීතිය ‘දැඩි’ වන්නේ ප‍්‍රාග්ධන හිමියාටය. ශ‍්‍රමිකයාට එම නීතිය ඔහුගේ ‘සේවා සුරක්ෂිතතාවය තහවුරු කිරීමකි’.

වෙනත් වචනවලින් කියනවා නම් ලංකාව නව ලිබරල්වාදයේ යුගයට ඇතුලූ වී තිබුනත් ලංකාවේ ශ‍්‍රම වෙලදපොල නියාමනය කරන නීතිය මූලික වශයෙන් අයත් වන්නේ කම්කරුවාගේ කේවල් කිරීමේ බලය ප‍්‍රබල තැනෙක තිබූ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සුබසාධන යුගයටය. මෙන්න මේ සුබසාධන රාමුව පහර දී සුනු විසුනු කර දැමීම ප‍්‍රාග්ධනයේ වැඩිදුර ප‍්‍රසාරනය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබේ. නව යහපාලන ආන්ඩුව විසින් පෙරට ගනිමින් සිටින්නේ එම සුබසාධන රාමුව කඩා බිඳ දමා ප‍්‍රාග්ධනය සඳහා හෝල්සේල් මාර්ගය විවෘත කරන එම ආක‍්‍රමනශීලී ව්‍යාපෘතියයි.

ලංකාවේ කම්කරු ව්‍යාපාරය අද වනවිට සිටින්නේ අතිශය දුර්වල අඩියකය. ශ‍්‍රමික පංතියේ ජනයා අද වැඩි වශයෙන් ගොනු වී සිටින්නේ අසංවිධිත ආර්ථිකය තුලය. මේ කම්කරුවන්ට සංවිධිත ක්ෂේත‍්‍රයේ ශ‍්‍රමිකයන්ට තිබෙන අවම නීතිමය රැුකවරනය හෝ නැත. සංවිධිත ක්ෂේත‍්‍රයේ කම්කරුවන්ගේ සංවිධාන මට්ටම ද බෙහෙවින් දුර්වලය. ‘80 ජූලි වර්ජනය පරාජය වූවාට පසු නැවත ඒ මට්ටමෙන් හිස ඔසවන්නට වෘත්තීය සමිති ව්‍යාපාරය සමත් වී නැත. කම්කරු හිතවාදී අවම නීතිවලට එරෙහි මහා පරිමාන ප‍්‍රහාරයකට ප‍්‍රාග්ධනය සැරසෙන්නේ දේශපාලන බලතුලනය මෙලෙස වැඩ කරන ජනකොටස්වලට අවාසිදායක විදිහට වෙනස් වී තිබෙන මොහොතක, එම වෙනස් වීමේ වාසිය ද අරගනිමින්ය.

තර්ජනය බලවත් වත්ම සංවිධානය ඊට ප‍්‍රතිචාරීව නොසිතූ විරූ ලෙස බලවත් වීම ඇතැම් විට සිදුවිය හැක. 2011 දී විශ‍්‍රාම වැටුප් පනත ගෙන ආ වෙලාවේ විධිමත්ව සංවිධානය වී නොසිටි නිදහස් වෙලද කලාපයේ ශ‍්‍රමිකයන් සාංසිද්ධිකව සංවිධානාත්මක ලෙස වීදි බැසීම ඒ සම්බන්ධ කදිම උදාහරනයකි. ඒ අනුව ගත්විට පසුගිය සඳුදා උද්ඝෝෂනයට අති විශාල කම්කරුවන් පිරිසක් සහභාගී නොවූ බව සැබැවි. එහෙත් නීති ප‍්‍රතිසංස්කරන ගෙන ඒමටත් පෙර ඒ ගැන සංවේදී පුරෝගාමී කොටස් ශ‍්‍රමිකයින් අතර සිටින බවට මෙම උද්ඝෝෂනය විසින් ලබාදෙන සංඥාව ගුනාත්මකව බෙහෙවින් ප‍්‍රබල එකකි.

Saturday, October 24, 2015

වික්‍රමබාහු සහ ලිංගික ශ්‍රමිකයෝ


ලිංගික ශ‍්‍රමය අපරාධහරනය කරන ලෙස ඉල්ලා මේ වනවිට සුලූවෙන් නමුත් පටන් ගෙන තිබෙන ව්‍යාපාරය බෙහෙවින් සාධනීය එලැඹුමකි. 'ලිංගික ශ‍්‍රමිකයින්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කේන්ද්‍රය' නමැති සංවිධානය පසුගිය දිනෙක මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම ඉල්ලීම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත්කලේය. මෙම මාධ්‍ය හමුවට ලිංගික ශ‍්‍රමික කාන්තාවන් කිහිප දෙනෙක් සහභාගී වී සිටි අතර තම වෘත්තීය ජීවිතය තුල මුහුන දෙන්නට සිදුවන ගැහැට පිලිබඳ ප‍්‍රබල විස්තරයක් ඔවුහු ඉදිරිපත් කලහ. මෙම අවස්ථාවට නීතිඥවරුන් කිහිප දෙනෙක් සමග නවසමසමාජ පක්ෂයේ නායක වික‍්‍රමබාහු කරුනාරත්න ද සහභාගී විය.

ලිංගික ශ‍්‍රමය පිලිබඳ විවාදය විවිධ මානයන්ගෙන් සමන්විත වූවකි. ලංකාව තුල ගනිකා නිවාස පවත්වාගෙන යාම නීතියෙන් තහනම් වන අතර ලිංගික ශ‍්‍රමිකයන් ගැන මහා සමාජය තුල තිබෙන්නේ බැහැර කිරීම්වාදී ආකල්පයකි. මෙම කුහක බැහැර කිරීම්වාදී ආකල්පය කාන්තාව ගැන තිබෙන පුරුෂොත්තමවාදී නිර්වචනය තුලින් ගලාගෙන එන්නකි. ‘එක් පුරුෂයෙක් පමනක් පතන කීකරු කාන්තාව’ ( = ගෙදර බුදුන් අම්මා ) පිලිබඳ සංකල්පනයේ ප‍්‍රතිවාදය ‘සල්ලි දෙනවා නම්  ඕනෑම පිරිමියෙක්ට රෙද්ද උස්සන අශ්ලීල ගැහැනිය’ පිලිබද සංකල්පනයයි. මතුපිටින් ප‍්‍රතිවිරුද්ධ යැයි පෙනුනත් මේ සංකල්පනා දෙකම පැන නගින්නේ එකම පුරුෂෝත්තමවාදී මූලයකිනි. එනම් මේ සංකල්පනයන් දෙකම ගැහැනිය මේ ආකාර විය යුතුයි යනුවෙන් කෙරුනු පුරුෂවාදී ආකෘතිගත කිරීම්ය. ඉහත පලමු ආකෘතියට ආශා කරන ඒ වෙනුවෙන් සමාජය ඉදිරියේ පෙනී සිටින සමකාලීන බොහෝ ලාංකීය පිරිමි දෙවැනි ආකෘතියට ද රහසේ ආශා කරති.

ලිංගික ශ‍්‍රමයේ දී සිදුවන්නේ ලිංගිකත්වය වෙලඳ භාන්ඩකරනය වීමකි. එනම් එය හුවමාරු භාන්ඩයක ස්වරූපය ගැනීමකි. කම්කරුවාගේ ශ‍්‍රමය ධනවාදය තුල දී යටත් වන තර්කනයට මෙහිදී ලිංගික ශ‍්‍රමය ද යටත් වේ. ආර්ථික හා දාර්ශනික අත්පිටපත් (1844) හිදී මාක්ස් සටහන් කල පරිදි ‘‘ගනිකා වෘත්තිය වූ කලී කම්කරුවා විෂයෙහි සිදුවන විශ්වීය සූරාකෑම් එක්තරා නිශ්චිත ප‍්‍රකාශනයක් පමනි’’. පුද්ගලයෙක්ගේ ස්වකීයත්වය සමග තදින් බැඳී තිබෙන ශ‍්‍රමය වැටුප් ශ‍්‍රම සම්බන්ධයකට ඇතුලූ වූ කම්කරුවෙක් විෂයෙහි ඔහුට අහිමි වී ගොස් ඔහු පරාරෝපනය වන්නේ යම් සේද ගැහැනියකගේ ස්වකීයත්වය සමග අත්‍යන්තයෙන් බැඳී තිබෙන ලිංගිකත්වය ලිංගික ශ‍්‍රම සම්බන්ධයක දී ඇයට අහිමි වී යයි. එනම් පරාරෝපිත තත්වයකට ඇය ගොදුරු වේ. වැටුප් ශ‍්‍රම සම්බන්ධයක් තුල කම්කරුවා සූරාකෑමට ලක් වේ. ලිංගික ශ‍්‍රමිකයා සිය සේවය සපයන්නේ අතරමැදි ප‍්‍රාග්ධන හිමියෙක් හරහා නම් ( ගනිකා නිවාස ආදිය ) ඇය ද එහිදී ආර්ථිකමය වශයෙන් සූරාකෑමට ගොදුරු වේ.

ගනිකා වෘත්තිය තහනම් කොට තිබීම නිසා ලිංගික ශ‍්‍රමිකයන්ගේ ජීවන කොන්දේසි සම්බන්ධයෙන් පැන නැගී තිබෙන්නේ ඉතාම නරක තත්වයකි. වෙනත් ශ‍්‍රමිකයෙක්ට නීතිය ඉදිරියේ තිබෙන අවම රැකවරනය ලිංගික ශ‍්‍රමිකයින්ට නොමැත. මේ නිසා අයිතිවාසිකම් විරහිත විෂයක් බවට ලිංගික ශ‍්‍රමිකයන් පත් කරනු ලැබ තිබේ. මෙය නීති විරෝධී වෘත්තියක් නිසා තමන්ගේ සේවා තත්වයන් හෝ සේවා කොන්දේසි සම්බන්ධයෙන් කේවල් කිරීමේ හැකියාවක් ලිංගික ශ‍්‍රමිකයාට නැත. මේ නිසා වෘත්තිය තුල දී මුහුන පාන්නට සිදුවන බලහත්කාරකම්, ප‍්‍රචන්ඩ ක‍්‍රියා, වංචා කිරීම්, මුදල් නොගෙවීම්, සෞඛ්‍ය ආරක්ෂාව කඩවීම් ආදිය සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රතිකර්මයකට ලිංගික ශ‍්‍රමිකයින්ට ප‍්‍රවේශයක් නොමැත.

ලිංගික ශ‍්‍රමිකයන් සංවිධානය වීම වැදගත් වන්නේ ඒ නිසාය. ලිංගික ශ‍්‍රමිකයන් දේශපාලනමය වශයෙන් සංවිධානය කල යුතුද යන ප‍්‍රශ්නය ගැන ලෝක පරිමානව වාමාංශික කොටස් අතර තියුනු විවාදයක් පවතී. ගනිකා වෘත්තීය කාන්තාවන්ට එරෙහි ප‍්‍රචන්ඩත්වයේ ආකාරයක් ලෙස දකින ඇතැම් වාමාංශික හා ස්ත‍්‍රීවාදී කොටස් ලිංගික ශ‍්‍රමිකයන් දකින්නේ ‘සංවිධානය කල යුතු පිරිසක්’ ලෙස නොව ‘මුදවා ගත යුතු’ වින්දිතයන් පිරිසක් ලෙසය. ප‍්‍රකට ස්ත‍්‍රීවාදිනියක වූ කැතරින් මැක්කිනොන් ලිංගික ශ‍්‍රමිකයන් විෂයෙහි ‘ගනිකාව’ නමැති වචනය යෙදීම ප‍්‍රතික්ෂේප කල අතර ඇය පාවිච්චි කලේ ‘ගනිකකාරනයට ලක්වූ පුද්ගලයා’ ( Prostituted Person) නම් යෙදුමයි. එනම් පීඩාකාරී සමාජ කොන්දේසි විසින් කාන්තාවක ගනිකාවක් බවට පත්කරන බවයි.

ලිංගික ශ‍්‍රමයේ අන්තර්ගත එම මානය පිලිගත යුත්තක් වූවත් එය ලිංගික ශ‍්‍රමිකයන් සංවිධානය කිරීම සමග පටලවා ගත යුතු නොවේ. නිදසුනක් ලෙස කම්කරුවන් වැඩි වැටුප්, නිවාඩු,අවම වැටුප් ආදී ස්වකීය සේවා කොන්දේසි වෙනුවෙන් අරගල කිරීම සම්බන්ධයෙන් අපට කිව හැක්කේ කුමක්ද? වැටුප් ක‍්‍රමය ( ශ‍්‍රම ශක්තිය හුවමාරු භාණ්ඩයක් වීම) සමස්තයක් ලෙස අප නොපිලිගන්නා නිසා ඒ වැටුප් ක‍්‍රමයේ රාමුව තුල සිදුවන සේවා කොන්දේසි සම්බන්ධ අරගලවලට අපට සහයෝගය දැක්විය නොහැකි යැයි කිව හැකිද? වැටුප් ක‍්‍රමය අතික‍්‍රමනය කිරීමේ දිගුකාලීන ඉදිරි දර්ශනය වැටුප් ක‍්‍රමයේ රාමුව තුල ඇතිවෙන දෛනික අරගලවලින් වියුක්ත වූවක් නොව ඒ හා සම්බන්ධ වී තිබෙන්නකි.

ලිංගික ශ‍්‍රමයේ තිබෙන පරාරෝපිත, පීඩාකාරී ස්වභාවය පිලිගන්නා ගමන්, එයට තුඩු දී තිබෙන සමාජ තත්වයන් ගැන විවේචනාත්මක වන ගමන් ස්වකීය ජීවන තත්වයන් වෙනුවෙන් ලිංගික ශ‍්‍රමිකයන් කරන අරගලය අප සාදරයෙන් පිලිගත යුතුව තිබේ. ලිංගික ශ‍්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ව්‍යාපාර සමකාලීන ලෝකයේ පුලූල්ව පැතිරෙමින් පවතී. උදාහරනයක් ලෙස බ‍්‍රිතාන්‍යය මූලික කරගෙන ක‍්‍රියාත්මක වන ලිංගික ශ‍්‍රමිකයින්ගේ ජාත්‍යන්තර සංගමය නම් වෘත්තීය සමිතිය මේ වනවිට බ‍්‍රිතාන්‍යයේ ප‍්‍රධාන වෘත්තීය සමිති සංවිධානයක ( GMB - Britain's General Union ) සාමාජිකත්වය දරයි. ලිංගික ශ‍්‍රමිකයන්ට ස්වයං ආරක්ෂක විධික‍්‍රම ඉගැන්වීම, නීති උපදෙස් ලබාදීම, වෘත්තීය හැර යාමට කැමති අයට උපදේශන ලබාදීම ආදී ක‍්‍රියාකාරකම් එම සංගමය විසින් සිදුකරන අතර ලිංගික ශ‍්‍රමය අපරාධහරනය කිරීම සහ වෙනත් අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් සටන් වැද සිටී. මේ එක් උදාහරනයක් පමනි.

මෙබඳු පසුබිමක් තුල ලංකාවේ ලිංගික ශ‍්‍රමිකයන්ගේ සංවිධාන එලැඹුම සමකාලීන ලාංකීය සමාජයේ වැදගත් ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලයක බිජුවට දරා සිටී. ඔවුන්ගේ මාධ්‍ය හමුවට වික‍්‍රමබාහු කරුනාරත්න වාඩි වීම සමාජයේ සෙසු ඉදිරිගාමී  හා වාමගාමී කොටස් ගතයුතු මග සංඥා කරන පුරෝගාමී ක‍්‍රියාවකි.




Friday, October 9, 2015

කොටදෙනියාවේ කොන්ඩයා අපේ කාලයේ වීරයෙකි

දුනේෂ් ප්‍රියශාන්ත 
සේයා නම් වූ කොටදෙනියාවේ කුඩා දැරිය දූෂනය කොට ඝාතනය කලේ ‘කොන්ඩයා’ නොව ඔහුගේ සහෝදරයා යැයි දැන් කියනු ලැබේ. මීට සතියකට පෙර පොලිසිය හා මාධ්‍යවලට අනුව එම ඝාතනය කලේ කොන්ඩයාය. කොන්ඩයා එම ඝාතනය කල ආකාරය පියවරෙන් පියවර විස්තර කරන තොරතුරු පොලිසිය විසින් මාධ්‍ය වෙත ලබා දී තිබූ අතර මාධ්‍ය ද පොල් ගෙඩි අකුරෙන් එය එලෙසම වාර්තා කලේය. ඊටත් සතියකට පෙර අදාල ඝාතනය සිදු කරනු ලැබුවා යැයි කීවේ 'නිල් චිත‍්‍රපටවලින් තම පුද්ගලික පරිගනකය පුරවාගත් පාසල් ශිෂ්‍යයාය'. මෙය ද පොලිසිය විසින් දුන් තොරතුරු මත මාධ්‍ය විසින් ප්‍රබන්ධගත කරනු ලැබූ කල්පිතයකි. දැන් කුඩා දැරියගේ පියාගේ ඩීඑන්ඒ පරීක්ෂනයක් රහස් පොලිසිය විසින් ඉල්ලා තිබේ.

සතියෙන් සතිය ඒ අනුව ‘ඝාතකයෝ’ මතු වෙති. එලෙස මතුවන ඝාතකයින් ගැන මාධ්‍යවේදියෝ සිය පත්තරවල පිටු ගනන් පුරවති.

දැන් මේ විගඩම පසුපස තිබෙන, කිසිවෙක් කථා නොකරන සැබෑ ඛේදවාචකය කුමක්ද? සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවාට අත්අඩංගුවේ දී පොලීසිය විසින් දරුනු වධ හිංසා පැමිනවූ බව නිදහස් වූ ඉක්බිති එම සිසුවා ප‍්‍රකාශයක් කලේය. ඔහුත් සමග සිරභාරයට පත්වූ එක් දරු පියා ද එයම ප‍්‍රකාශ කලේය. ඔහුට අනුව පොලිසිය ඔහුව බාල්කයක එල්ලා වරද පිලිගන්නා ලෙස බලකරමින් ඔහුට පහර දී තිබේ. පාසල් ශිෂ්‍යයාව නිරුවත් කොට ඔහුගේ ඡායාරූප ද ගෙන තිබේ. ඔහුගේ බාල විය නොතකා ඔහුටත් දරුනු ලෙස පහර දී වධ හිංසා කොට තිබේ. ‘කොන්ඩයා’ නමින් හඳුන්වන පුද්ගලයාගේ ඊනියා පාපොච්චාරනය ද පොලිසිය ලබාගත් ආකාරය ගැන දැන් සැකයක් තිබිය නොහැක. පොලිසිය විසින් වරද පිලිගන්නා තුරු ඔහුට ද බරපතල ලෙස වධහිංසා පමුනුවා ඇති බව කීමට අමුතු ඥානයක් අවශ්‍ය නොවේ.

ප‍්‍රශ්නය මෙයයි. අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්ගෙන් ‘තොරතුරු දැනගැනීමට’ යැයි කියා ඔහුට වධහිංසා පැමිනවීමට පොලිසියට පුලූවන්කම තිබේද? තල දෙකක දී මෙය සම්පූර්න වරදක් වන්නේය. එක් අතෙකින් මෙලෙස වධහිංසා පැමිනවීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. ලංකාවේ ආන්ඩුවත් පාර්ශවයක් වන වධහිංසා වැලැක්වීමේ ජාත්‍යන්තර සම්මුතිය මෙලෙස වධහිංසා කිරීම් මානව හිමිකම් කඩකිරීමක් ලෙස පිලිගනී. ලංකාවේ ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුව ද වධහිංසා සහ කෲර අමානුෂික හා අවමන්සහගත ලෙස කෙරෙන සැලකීම් මානව හිමිකම් කඩකිරීමකි. අනෙක් අතට ලංකාවේ නීතිය අනුව තොරතුරු දැනගැනීමේ පරමාර්ථයෙන් සැකකරුවෙක්ට වධහිංසා පැමිනවීම ‘අපරාධ වරදකි’. 1994 අංක 6 දරන පනත අනුව එලෙස වධහිංසා පැමිනවීම සාපරාධී වරදක් ලෙස නම් කොට තිබේ.

එහෙත්, මේ සියලූ සම්මතයන් නොතකා, ලංකාවේ පොලිසිය සැකකරුවන් වධබන්ධනයට ලක්කිරීම නොකඩවා සිදුකරයි. කොටකදෙනියාවේ සිද්ධිය හා තවත් එවැනි සිද්ධි කිහිපයක් මගින් මෙලෙස සැකකරුවන් වධබන්ධනයට ලක්කිරීම ‘ප‍්‍රවෘත්ති’ බවට පත්වූ බව සැබැවි. යථාර්ථය නම්, ප‍්‍රවෘත්ති බවට පත්වූවත් නැතත්, අත්අඩංගුවේ පසුවන පුද්ගලයින්ට වධදීම ආයතනගත ව්‍යවහාරයක් වශයෙන් ලංකාවේ පොලිසිය භාවිතා කරන බවයි. එනම් වධදීම ‘ව්‍යතිරේඛයක්’ නොව ලංකාවේ පොලිසියේ ව්‍යවහාරය තුල තිබෙන ‘අනිවාර්යය භාවිතාවකි’. එය පොලිසිය නම් වූ ආයතනය සමග ඓන්ද්‍රීයව සම්බන්ධ වී තිබෙන ව්‍යුහාත්මක විධික‍්‍රමයකි. වෙනත් වචනවලින් කියනවා නම් අපරාධ සැකකරුවන්ට වධ දීම පොලිසිය විසින් ‘සාමාන්‍යයෙන්’ සිදුකරන දෙයයි. එසේ සිදු නොකරන්නේ නම් ඒ ව්‍යතිරේඛයකි.

මෙබඳු වධබන්ධන පැමිනවීමේ සිදුවීම් දුර්ලභ වශයෙන් ප‍්‍රසිද්ධ වූ පසු පොලිසිය ගන්නා ක‍්‍රියාමාර්ගයක් තිබේ. එනම් ‘අභ්‍යන්තර පරීක්ෂනයක් පවත්වා’ වැරදිකරුවන් සිටී නම් දඩුවම් දෙන බව ප‍්‍රකාශ කිරීමයි. 17 හැවිරිදි පාසල් සිසුවාට වධ දුන් බවට චෝදනා එල්ල වූ කල්හි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක තෙමේ කියා සිටියේ පොලිසිය අභ්‍යන්තර පරීක්ෂනයක් කොට, වධදීමක් සිදුවී තබේ යැයි හෙලිවේ නම් අදාල පොලිස් නිලධාරීන්ට දඩුවම් දෙන බවයි.

පොලිසියේ මේ නිල ප‍්‍රකාශය එම ආයතනයේ තක්කඩිකම සහ නීචත්වය පිලිබද සම්භාව්‍ය නිදර්ශනයකි. 2003 එක්සත් ජනපදය විසින් ඉරාකය ආක‍්‍රමනය කොට, ඊනියා ‘ත‍්‍රස්තවාදී‘ සැකකරුවන් රඳවා ගැනීම සඳහා විවිධ වධ කඳවුරු ඉරාකය තුලත් ඉන් පිටතත් ඉදි කරනු ලැබීය. කියුබාවේ ග්වන්තනමෝ බේ වධ කඳවුර සහ ඉරාකයේ අබු ග‍්‍රයිබ් වධකඳවුර මේ සම්බන්ධ කුප‍්‍රකට උදාහරනයෝය. මේ වධ කඳවුරු තුල රැදවියන්ට එරෙහිව ලිංගික හිංසාද ඇතුලත් ඉතාම දරුනු වධහිංසා පමුනුවන ලදී. එක්සත් ජනපදයේ මෙම භාවිතාව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා ක‍්‍රියාකාරීන් විසින් හෙලිදරවු කරනු ලැබූ විට ඒ සම්බන්ධයෙන් ඇමරිකානු රජයේ නිල ප‍්‍රතිචාරය වූයේ මේවා එක් එක් නිලධාරීන් විසින් අනුගමනය කල හුදෙකලා ප‍්‍රතිපත්ති මිස ඇමරිකානු රජයේ නිල ප‍්‍රතිපත්තිය නොවන බවයි. මේ බව හුවා දැක්වීම සඳහා ඇතැම් පහල නිලධාරීන්ට එරෙහි විනය ක‍්‍රියාමාර්ග ද ඇමරිකානු රජය විසින් ගනු ලැබීය.

එහෙත් පසුව හෙලිවූ තොරතුරු මගින් සනාථ වූයේ මෙකී වධහිංසක ක‍්‍රමවේද යොදාගැනීමට අන දුන්නේ ඇමරිකානු ආරක්ෂක ලේකම් ඩොනල්ඞ් රම්ස්ෆෙල්ඞ් බවයි. එනම් වධහිංසක ක‍්‍රියා වූ කලී තනි තනි ඇමරිකානු සොල්දාදුවන්ගේ හුදෙකලා සිතුවිලි නිසා ඇතිවූ අහඹු සිදුවීම් නොව නොව යුද්ධයේ දී ඇමරිකාව අනුගමනය කල මිලිටරි ප‍්‍රතිපත්තියේ අවියෝජනීය අංගයකි.

ලංකාවේ පොලිස් මෘගත්වය ගැන කීමට තිබෙන්නේ ද එයයි. 17 හැවිරිදි පාසල් සිසුවා හෝ කොන්ඩයා යනු පොලිස් වධහිංසාවට ලක්වූ එකම දෙදෙනා නොවෙත්. සැකකරුවන්ට වධදීම පොලිසිය ස්වකීය දෛනික චර්යාවේ කොටසක් ලෙස පවත්වාගෙන යනු ලබන භාවිතාවකි. මෙලෙස වධයට භාජනය කරනුයේ සමාජයේ හඩක් නැති නිර්ප‍්‍රභූ මිනිසුන්වය. ඒ අයට වධදීමට එරෙහි වීමට හෝ වධදීමට එරෙහිව නඩු කීමට ශක්තියක් නැත. මෙබඳු නිර්ප‍්‍රභූ මිනිසුන් දහස් ගනනක් බාල්කවල එල්ලා පහර කෑම, ගුද මාර්ගයට මිරිස් කුඩු ඇතුලූ කිරීම ආදී තිරශ්චීන වධහිංසාවල ගොදුරු බවට නිතිපතා පත්වෙති.

ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලයේ කොටසක් නම් මෙම පොලිස් මෘගත්වය දන ගැස්සවීමයි. පොලිසිය මහජනයාට වගකියන ආයතන විශේෂයක් බවට පත්කිරීමයි. පොලිසියේ දස වධයට ලක්ව නොකල වරදකට ‘පාපොච්චාරනය’ කල ‘කොන්ඩයා’ නම් වූ මන්ද මානසික තත්වයකින් පෙලෙනවා යැයි කියන යෞවනයාගේ ඉරනම හෘද සාක්ෂියක් තිබෙන සෑම හදවතක්ම ස්පර්ශ කිරීමෙහිලා සමර්ථ විය යුතු බරපතල ඛේදවාචකයකි. දුනේශ් ප්‍රියශාන්ත හෙවත් කොන්ඩයාගේ දඩබ්බර බැල්ම අයුක්තිය ඉදිරියේ නිෂ්ක‍්‍රීයව සිටින සමකාලීන ලාංකීය පුරවැසි සමාජයේ ගොලූවතට එල්ල කෙරෙන බරපතල අභියෝගයකි.

Saturday, October 3, 2015

ජිනීවා යෝජනා සහ විරෝධය සංවිධානය වන තැන



‘‘පාවා දීමට එරෙහිව රට ඉල්ලන මහ පොලොවේ විපක්ෂය බිහි කෙරේ’’

මේ ලංකාවේ යුද අපරාධ ප්‍රශ්නය ගැන ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ස්වකීය අදහස ප‍්‍රකාශ කිරීම පිනිස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සුලු පක්ෂ සමූහයක් විසින් පසුගිය දිනෙක නාරාහේන්පිට අභයාරාමයේ දී කැඳවූ මාධ්‍ය සාකච්ඡාව වාර්තා කිරීම සඳහා ලංකා සී නිවුස් වෙබ් අඩවිය යොදාගෙන තිබූ මාතෘකාවයි. විමල් වීරවංශ, බන්දුල ගුනවර්ධන, දිනේශ් ගුනවර්ධන, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල ඇතුලු පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියේය.

මාධ්‍ය හමුවේ තර්කය සරලය. යුද අපරාධ පිලිබඳ විමර්ශනයක් සඳහා එකඟ වීම තුලින් ආන්ඩුව ‘රට පාවා දී තිබේ’. ඇති වී තිබෙන හවුල් ආන්ඩුව නිසා මීට එරෙහි විරෝධය පාර්ලිමේන්තුව තුල හොඳින්ම නියෝජනය වන්නේ නැත. එම නිසා ‘රට ඉල්ලන’ විපක්ෂය මහපොලොවේ - එනම් පාර්ලිමේන්තුවෙන් පිටත බිහි කල යුතුව තිබේ. විමල් වීරවංශගේ හඩින් මේ පිටවන්නේ මහින්ද රාජපක්ෂගේ වචන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නාරාහේන්පිට අභයාරාමයෙන් මේ ඇසෙන්නේ අන් කිසිවක් නොව තුවාල ලැබ තිබෙන සිංහල ස්වෝත්තමවාදයේ උඩු බිරුම් හඩයි. සිංහල ජාතිකවාදීන්ට මේ වනවිට ආන්ඩු බලය අහිමි වී තිබේ. රනිල් වික‍්‍රමසිංහගේ මූලිකත්වයෙන් යුක්ත දක්ෂිනාංශික ආන්ඩුව සමාජය සංවිධානය කරන්නට උත්සාහ කරන්නේ සිංහල ජාතිකවාදයේ රේඛා අනුව නොවේ. ‘යහපාලනය’ පිලිබඳ අලංකාරිකය මෙතෙක් කල් භාවිතා කරමින් සිටි එය ඉදිරියේ දී සංවර්ධනවාදයේ තර්කනය තුල සමාජය ඇතුලේ හෙජමොනික බලයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරනු ඇතැයි සිතීමට පුලූවන. සරලව කියනවා නම් රනිල් වික‍්‍රමසිංහ රට ඉදිරියේ පෙනී ඉන්නේ ‘දෙමලාගෙන් රට බේරාගත් ජාතික වීරයා’ ලෙස නොව ‘ජාත්‍යන්තර ප‍්‍රජාව ( = ගෝලීය ප‍්‍රාග්ධනය ) සමඟ ගනුදෙනු කල හැකි රාජ්‍ය තාන්ත‍්‍රිකයා’ ලෙසය.

ගෝලීය ප‍්‍රාග්ධනය සමග - විශේෂයෙන්ම බලවත් බටහිර ජාතීන් සමග සුමට සම්මුතියක් ඇති කරගැනීමට නම් ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වඩා මෘදු ආකල්පයක් දැක්වීමට රනිල් වික‍්‍රමසිංහට බලකෙරී තිබේ. ජනවර්ග අතර ප‍්‍රතිසන්ධානයක් ඇතිකල යුතු යැයි ගෝලීය ධනවාදය ඉල්ලා සිටී. මූලික වශයෙන් මේ ඉල්ලීම මතු වන්නේ රට තුල කාර්මික සාමය පවත්වා ගැනීමේ අභිප‍්‍රාය මතය. දෙමල ජනතාව වෙත යම් යම් සහන ප‍්‍රමානයක් පිරිනමන්නේ නැතිව කාර්මික සාමය දිගුකාලීනව පවත්වා ගත නොහැක යන්න මේ යෝජනාව පසුපස තිබෙන තාර්කිකයයි. යුද අපරාධ හා බලය බෙදීම වැනි ප‍්‍රශ්න සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව වඩා ලිබරල් ආකල්පයක් දක්වන්නේ ප‍්‍රධාන වශයෙන් මෙන්න මේ පසුබිම හේතුකොට ගෙනය. අනෙක් අතට ‘ජාතික විමුක්තිය’ වෙනුවට ‘ප‍්‍රතිසන්ධානය’ භාරගන්නා ලෙසට දෙමල සමාජයටත් මේ වර්ගයේම තෙරපුමක් ගෝලීය බලවතුන් වෙතින් එල්ල වී තිබේ.

මෙය එක්තරා විදිහකට 2002-2005 සටන් විරාම ගිවිසුම් කාලයේ තිබූ තත්වයෙහි ක්ෂුද්‍ර ප‍්‍රතිරූපනයකි. එදා සහ අද අතර ප‍්‍රධානතම වෙනස වඩා සටන්කාමී හා දෙමල ජාතික සන්ධානයේ ප‍්‍රභූ නායකත්වයට වඩා රැඩිකල් එල්ටීටීඊ සංවිධානය එවකට දෙමල සමාජයේ දේශපාලන ප‍්‍රකාශකයා ලෙස ක‍්‍රියා කිරීමය. කොලඹ සංස්ථාපිතය - ගෝලීය ධනවාදය හා දෙමල දේශපාලනය යන සාධක ත‍්‍රිත්වයේ බලතුලනය මත එම යුගයේ ද බලය බෙදීම / උතුර නැගෙනහිර පලාත්වල ස්වයං පාලන අධිකාරියක් පිහිටුවීම / සුනාමි සහන මන්ඩලය ඇති කිරීම ආදී යෝජනා ඉදිරිපත් වූයේය.

එවකට මෙකී යෝජනාවලට එරෙහිව දකුනු ලංකාව තුල සිංහල ජාතිකවාදය සංවිධානය කරනු ලැබූයේ ජනතා විමුක්ති පෙරමුන හා ජාතික හෙල උරුමය විසිනි. මෙම කන්ඩායම් ශ‍්‍රීලනිපයේ ජාතිකවාදී කොටස් සමග එකතු වී සිදුකල උද්ඝෝෂනයේ ප‍්‍රතිඵල ලෙස 2002-2004 එජාප ආන්ඩුව බිඳ වැටුනි. සිංහල ජාතිකවාදය ආන්ඩුවේ නිල මතවාදය බවට පත්කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත්විය.

ඉදිරියේ දී උද්ගත විය හැකි එක් සම්භාවිතාවයක් වටහා ගැනීමට මෙම අතීත අත්දැකීම බෙහෙවින් ප‍්‍රයෝජනවත්ය. දැනට පාර්ලිමේන්තුව තුල තිබෙන්නේ දුර්වල විපක්ෂයකි. මෙහි නොවැලැක්විය හැකි ප‍්‍රතිඵලය වන්නේ ආන්ඩුවට එරෙහි විසම්මුතිය මහින්ද රාජපක්ෂ විසින් සංකේතවත් කෙරෙන සිංහල ජාතිකවාදී කඳවුර තුල සංවිධානය වීමේ ඉඩක් නිර්මානය වීමයි. යුද අපරාධ පරීක්ෂන, බලය බෙදීමේ යෝජනා ආදී ඉදිරිපත් විය හැකි ප‍්‍රවනතා ඉදිරියේ සිංහල සමාජය ස්වොත්තමවාදී අක්ෂයක් ඔස්සේ බලමුලු ගැන්වීමට මෙම කන්ඩායම් මුලු ශක්තිය යොදා ක‍්‍රියා කරනු ඇත. මහින්ද රාජපක්ෂ ‘තිරය පසුපසට’ වී සිටින්නේ නිසි අවස්ථාව එලැඹෙන තුරු බව පැහැදිලිය.

දැන් මෙම තත්වයට වාමාංශික හා ප‍්‍රගතිශීලී පිරිස් මුහුන දිය යුත්තේ කෙසේද? දකුනු ලංකාවේ වාමාංශයට මුහුන දීමට සිදුවී තිබෙන ප‍්‍රබලතම අභියෝගය නම් දක්ෂිනාංශික රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව සහ විපක්ෂයට විසි වී සිටින සිංහල ස්වෝත්තමවාදය යන පෙරමුනු දෙකටම එරෙහි අරගලයක යෙදෙන්නට සිදුවී තිබීමයි. මෙය ඉතා සංකීර්න තත්වයක් බව නොකිවමනාය.

මෙතැනදී දකුනේ ප්‍රගතිශීලීන් හා වාමාංශය ඉදිරියේ තිබෙන ඉදිරි මාර්ගය වූ කලී සිංහල ජාතිවාදයට විරුද්ධව දෙමල ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම්වලට පක්ෂ සක‍්‍රීය ආස්ථානයක් ගන්නා ගමන් සමාජ-ආර්ථික ඉල්ලීම් වටා සමාජය සංවිධානය කිරීමය. අධ්‍යාපනය, සෞඛ්‍ය. වැටුප් ප‍්‍රශ්න, වෘත්තීය සමිති අයිතිවාසිකම්, උතුරුමැද පලාතේ වකුගඩු රෝගය ආදී ප‍්‍රශ්න මග හැර යා නොහැකි ලෙස ජාතික දේශපාලන මාතෘකා බවට පත්කිරීමයි. එනම් විරෝධය සහ විසම්මුතිය සිංහල ජාතිකවාදී කඳවුර තුල සංවිධානය වීමට ඉඩ නොදී වෙනත් අක්ෂයක් ඔස්සේ එය රැඩිකල් ලෙස සංවිධානය කිරීමයි. විසම්මුතිය එලෙස විකල්ප අක්ෂයක් වටා සංවිධානය නොවේ නම් බොහෝ විට සිදුවිය හැකි දෙය නම් 2002-2005 ඉතිහාසය නැවත වතාවක් ප‍්‍රතිනිර්මානය වීමකි.  

Thursday, September 24, 2015

යථාර්ථය හයිබ්‍රිඩ් නම් විකල්පය කුමක්ද?

යුක්තිය ජීවමාන ඉල්ලීමකි 
යුද අපරාධ චෝදනා  සහ ලංකාවේ සිවිල් යුද්ධය අවසාන කාලයේ සිදුවූ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධ ප්‍රශ්නය ඉදිරියේ කල යුත්තේ කුමක්ද? දැනට මේ ගැන එකිනෙකට වෙනස් ඉදිරි දර්ශන හතරක් ඉදිරිපත් වී තිබේ. ඒවා මෙසේය -

අ) යුද්ධය අවසාන කාලයේ යම් යම් සිදුවීම් හටගත්තා විය හැක. ඒවා දේශීය අධිකරන මගින් විමර්ශනය කල යුතුය. ජාත්‍යන්තර ක්‍රියාවලියක් ඒ සදහා අවශ්‍ය නැත.

ආ) දේශීය අධිකරනය ගැන විශ්වාසය තැබිය නොහැක. එම නිසා ජාත්‍යන්තර යාන්ත‍්‍රනයක් අවශ්‍ය කෙරේ.

ඇ)  යුද අපරාධ සිදුවී නැති නිසා කිසිදු විමර්ශනයක් අවශ්‍ය නැත. එම නිසා දේශීය හෝ ජාත්‍යන්තර විමර්ශනයක අවශ්‍යතාව පැන නොනගී

ඈ)  විදේශීය නෛතික විශේෂඥයින් ද ඇතුලත් දේශීය-විදේශීය හයිබ‍්‍රිඞ් යාන්ත‍්‍රනයක් මගින් යුද අපරාධ චෝදනා විමර්ශනය කල යුතුය.

මෙම විවිධ ආස්ථාන දරන බලවේග අපට මෙසේ පෙලගැස්විය හැක. ඉහත මුලින් කී මතය මේ මොහොතේ ආන්ඩුවේ නිල ස්ථාවරයයි. ජනතා විමුක්ති පෙරමුන ද දරන්නේ ඒ හා සමාන මතයකි. දෙවන ඉල්ලීම මූලික වශයෙන් මතු වී එන්නේ දෙමල සමාජය තුලිනි. යුද්ධය අවසාන කාලයේ විශාල සංහාරයකට තම සමාජය මුහුන දුන් බවට සාමූහික සම්මුතියක් දෙමල සමාජය තුල පවතී. ඊට යුක්තිය ඉටුවිය යුතුය යන්න මේ මොහොතේ දෙමල දේශපාලන සමාජය විසින් මතු කරනු ලබන ප‍්‍රධානතම ඉල්ලීමකි. ඉහත තෙවැනි අදහස සිංහල ජාතිකවාදීන්ගේ ආස්ථානයයි. සිවුවැනි ඉදිරි දර්ශනය මීට දින කිහිපයකට පෙර ලංකාව පිලිබද යුද අපරාධ වාර්තාව එලිදැක්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපත් කරන යෝජනාවයි. මෙය මුලින් කී ඉදිරි දර්ශන දෙක අතර යම් තුලනයක් ඇති කිරීමට ගත් උත්සාහයක් ලෙස හදුනාගත හැක.

හයිබ්‍රිඩ් අධිකරනයකට විරුද්ධ වන අය ඒ සදහා මූලික තර්ක දෙකක් මත පදනම් වී ගනිති. එවැන්නක් 1. ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කරයි හා 2. හයිබ‍්‍රිඞ් අධිකරනයක් යෝජනා කරන බලවේග ( එනම් මූලික වශයෙන් බටහිර රටවල් )  එය කරන්නේ සද්භාවීව නොවේ යන්න එකී තර්කයෝය.

මේ තර්ක විචාරයට ලක්කල හැක්කේ කෙසේද? 2009 දී අවසාන වූ ලංකාවේ සිවිල් යුද්ධය කෙලවර වූයේ එවකට තිබූ ආන්ඩුව ප‍්‍රකාශයට පත්කල පරිදි ‘මානුෂීය මෙහෙයුමක් ’ ලෙස නොව මහා සංහාරයක් ලෙසය. සිංහල සමාජය කෙතරම් ඇස් වසාගන්නට උත්සාහ කලත් යථාර්ථය මෙයයි. රාජ්‍ය බලය යොදා මේ සත්‍යය ලංකාව තුල යටපත් කල හැකි වූවත් තවදුරටත් අප ජීවත් වන්නේ දූපත් යථාර්ථයක නොව ගෝලීය යථාර්ථයක වන නිසා වඩා පුලුල් තලයක දී මෙම ප‍්‍රශ්නය නැවත නැවත මතුව ඒම නතර කල නොහැක.

යුද්ධය දෙමල සමාජය මත මහත් විනාශයක් ඇති කලේය. අවම වශයෙන් යුද්ධයේ අවසාන සති කිහිපය තුල දෙමල සිවිල් වැසියන් 40 000 ට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බවට දැනට චෝදනා නැගී තිබේ. යුද මුක්ත කලාපවලට ශෙල් බෝම්බ දැමීමේ සිට යටත් වූ දෙමල ජාතිකයින් නීති විරෝධීව අතුරුදහන් කිරීම, වධහිංසා පැමිනවීම ආදිය දක්වා පුලුල් පරාසයක චෝදනා ලංකාවේ රජයට එරෙහිව එල්ල වී තිබේ. එල්ටීටීඊ සංවිධානයටත් මේ විදිහේම චෝදනා නැගී තිබෙන නමුත් එල්ටීටීඊය භෞතිකයක් ලෙස නොපවතින පසුබිමක් තුල යුද අපරාධ චෝදනාවන්ගේ සෘජු එල්ලය බවට පත්වන්නේ ලංකාවේ රජයයි.  

පසුගිය කාලයේ ලංකාවේ යුද අපරාධ පිලිබද සාධාරන විමර්ශනයක් පැවැත්විය යුතුය යන අදහස මතුකල ජාත්‍යන්තර ප‍්‍රජාවේ කන්ඩායම් අපට කොටස් දෙකකට වර්ග කල හැක.

1. බටහිර බලවත් රටවල ආන්ඩු - මේ ආන්ඩුවල සද්භාවීත්වය ගැන මතු වන ප‍්‍රශ්නය මුලුමනින්ම නිවැරදිය. ඒ ආන්ඩු මෙම ප‍්‍රශ්නය චීන හිතවාදී රාජපක්ෂ රජය අපහසුතාවයට පත්කිරීම සදහා දඩමීමා කරගත් බවට නැගෙන චෝදනාවේ ඇත්තක් තිබේ. රාජපක්ෂ නැති පසුබිමක් තුල යුද අපරාධ විමර්ශනය තනුක කිරීමට එක්සත් ජනපදය ගන්නා උත්සාහය විසින් තවදුරටත් මේ අදහස ශක්තිමත් කරයි.

2. බටහිර ( හා වෙනත්  රටවල ) ආන්ඩුවලින් පිටත පුරවැසි සමාජය - එනම් විදේශීය රටවල වාමගාමී, ප‍්‍රජාතාන්ත‍්‍රීය හා ප‍්‍රගතශීලී කන්ඩායම් ද ඇතුලු පුලුල් ස්ථරයක් ලංකාවේ යුද අපරාධවලට විරෝධය පලකලේය.ඒ අනුව ලංකාවේ මානව හිමිකම් තත්වය ගැන විදෙස් රටවලින් එන විරෝධය හුදු අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රනයක් ලෙස දැකීම ලිංමැඩි චින්තනයේ ප‍්‍රතිඵලයකි. ‘ජාත්‍යන්තර ප‍්‍රජාව’ යනු ප‍්‍රතිවිරෝධයන්ගෙන් තොර සමජාතීය ප‍්‍රපංචයක් නොවේ.උදාහරනයක් ලෙස ලංකාවේ යුද අපරාධ පිලිබද ප‍්‍රශ්නය මතුකල අය අතර අධිරාජ්‍ය විරෝධීන් ලෙස ලොව ප‍්‍රචලිත බොහෝ පුද්ගලයින් සිටී. අරුන්දතී රෝයි, නොම්චොම්ස්කි, ජෙරමි කෝබින් ආදීහු ඊට උදාහරනයෝය.

ලංකාවේ ජාතික රාජ්‍යය සීමාව තුල දෙමල ජනතාව අසාධාරනයට හා පෑගීමට ලක්වී සිටිති. තම ජනයාට එරෙහි සංහාරයක් ලෙස ඔවුන් දකින යුද්ධය ලංකාවේ රාජ්‍යය විසින් ‘ජයග‍්‍රහනයක්’ ලෙස සලකා වාර්ෂිකව සමරනු ලැබේ. දැන් එබදු රාජ්‍යයක කොටස් වන පොලිසිය, උසාවිය ඇතුලු ආයතන යුද්ධයේ දී රාජ්‍යය විසින් කල යුද අපරාධ ගැන සාධාරන පරීක්ෂනයක් සිදුකරනු ඇතැයි කිව හැක්කේ ස්වෝත්තමවාදී නරුමයෙක්ටම පමනි. දෙමල සමාජය ‘ජාත්‍යන්තර පරීක්ෂනයක් ’ ඉල්ලා සිටින්නේ අහේතුකව නොවේ. සරලවම ඔවුන්ට ලංකා රාජ්‍යයේ නීතිමය තන්ත‍්‍රය විශ්වාස නැත. රාජ්‍යය විසින් කල අපරාධ රාජ්‍යය විසින් සාධාරන ලෙස විනිශ්චය කොට වැරදිකරුවන් හදුනා ගනු ඇද්ද? එය එසේ නොවේ යැයි විශ්වාස කිරීම ‘ස්වෛරීභාවයට’ පටහැනි විය හැකි වූවත් යථාර්ථයට අනුකූලය.

ඒ අනුව ‘දේශීය යාන්ත‍්‍රනයකින් සිදුකෙරෙන අපක්ෂපාතී පරීක්ෂනයක්’ ගැන කථා කරන සියල්ලෝ කරන්නේ සවිඥානික වංචාවකි. එවැන්නක් ඇත්තටම තිබිය නොහැක. සත්‍යය හෙලිදරවු වීම අවංකව අපේක්ෂා කරන යමෙක් වේද ඒ සදහා තිබෙන වඩාත්ම ප‍්‍රායෝගික හා යථාර්ථවාදී විකල්පය ජාත්‍යන්තර සහභාගීත්වය මගින් තුලනය වූ සම්මිශ‍්‍රිත විමර්ශන යාන්ත‍්‍රනයකි යන්න පැහැදිලිය. මෙය පරමාදර්ශී විකල්පයක් නොවිය හැක. එහෙත් යුක්තිය පිලිබද දෙමල සමාජය වෙතින් ඉදිරිපත් වන ප‍්‍රජාතාන්ත‍්‍රීය ඉල්ලීම බැරෑරුම් ලෙස සලකන කිසිවෙක්ට මේ මොහොතේ මෙම විකල්පය මග හැර යා නොහැක.

Saturday, September 19, 2015

මේ ජෙරමි කෝබින් මොහොතයි

ජෙරමි කෝබින් - බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ
ඉතිහාසයේ වඩාත්ම වාමවාදී නායකයා
ජෙරමි කෝබින් අති විශාල බහුතර ඡන්දයකින් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායකත්වයට  පසුගිය සැප්තැම්බර් 12 වන දා තේරී පත්විය. එදින ප්‍රකාශයට පත් කල නායකවරන ප්‍රතිඵල අනුව ප‍්‍රකාශිත ඡන්දවලින් සියයට 59 ක් ජෙරමි කෝබින් විසින් දිනාගෙන තිබූ අතර ඔහුගේ ආසන්නතම ප‍්‍රතිවාදියා වූ ඇන්ඩි බර්න්හැම් වෙත ලැබී තිබූ ඡන්ද ප‍්‍රතිශතය සියයට 19 කි. වාමාංශික අදහස් දරන කෝබින් පක්ෂ නායකයා බවට පත්වූවොත් කම්කරු පක්ෂයට කවදාවත් මැතිවරනයක් ජයගත නොහැකි වනු ඇතැයි දිගින් දිගටම පැවැසූ, නායකවරනයට ඉදිරිපත්ව සිටි වඩාත්ම දක්ෂිනාංශික අපේක්ෂිකාව වූ ලිස් කෙන්ඩල්ට ලැබී තිබුනේ යම්තම් ඡන්ද සියයට 4 කි.

කෝබින් කම්කරු පක්ෂ නායකත්වයට පත්වීම එම පක්ෂයේ ශ්‍රේනීන් විශාල වශයෙන් වමට නැඹුරු වීමක් පෙන්නුම් කරයි. මෙම ඡන්දය සඳහා ලක්ෂ හතරකට ආසන්න ඡන්දදායකයින් සංඛ්‍යාවක් සහභාගී වූහ. කෝබින් දීර්ඝ කාලයක් තිස්සේ කම්කරු පක්ෂයේ වාමාංශය නියෝජනය කල මන්ත‍්‍රීවරයෙකි. නව ලිබරල්වාදයේ ප‍්‍රබල විවේචකයෙක් වූ ඔහු 2008 ආර්ථික අර්බුදයෙන් පසු බ‍්‍රිතාන්‍යය තුල ක‍්‍රියාත්මක වන්නට පටන් ගත් කප්පාදු පිලිවෙත් වල අශමනීය විරුද්ධකරුවෙක් වූයේය. නිදහස් සෞඛ්‍ය සේවාව කප්පාදු කිරීම, පෞද්ගලිකකරනය, විශ්ව විද්‍යාලවලින් ගාස්තු අයකිරීම ඇතුලූ පැරනි සුබසාධක රාජ්‍යයේ ඉතුරු බිතුරුවලට ද පහර දුන් නව ලිබරල් ප‍්‍රතිපත්ති ඔහු අතින් විවේචනයට ලක්වූයේය. අනෙත් අතට ඉරාක යුද්ධය, සිරියාවට අත පෙවීම ආදී අධිරාජ්‍යවාදී පිලිවෙත් ගැන ද ඔහු ප‍්‍රසිද්ධ විවේචන මතු කලේය. අධිරාජ්‍යවාදී යුද්ධවලට එරෙහිව න්‍යෂ්ඨික අවිහරනය හා සාමය ආදී වටිනාකම් වෙනුවෙන් ඔහු පෙනී සිටියේය. බ‍්‍රිතාන්‍යයේ පහල පාන්තික ජනයා, වෘත්තීය සමිති හා තරුනයන් අතරින් කෝබින්ට ලැබෙන විශාල ප‍්‍රතිචාරය ඔහු පෙනී සිටින දැඩි කප්පාදු විරෝධී ( Anti Austerity ) ආස්ථානය ලැබූ ප‍්‍රතිචාරයකි.

ස්පාඤ්ඤයේ වාමාංශික පොඩෙමොස් පක්ෂය විසින් කැදවූ
කප්පාදු පිලිවෙත් විරෝධී රැලියක අවස්ථාවක්
පුලූල් අර්ථයෙන් ගත්විට කෝබින්ගේ ව්‍යාපාරය නව ලිබරල්වාදය විසින් ඇතිකල සමාජ සමතුලිතයට එරෙහි රැඩිකල් ප‍්‍රතික‍්‍රියාවක් නියෝජනය කරයි. මෙම ප‍්‍රතික‍්‍රියාව මතු වී තිබෙන්නේ කප්පාදු පිලිවෙත්වලට එරෙහි ජනප‍්‍රිය වාමාංශික විරෝධතාවයක මුහුනුවරිනි. ලෝකය ‘වාමාංශික පුනරුදයක’ යුගයකට ඇතුලූ වී ඇත. ග‍්‍රීසිය, ස්පාඤ්ඤය ඇතුලූ යුරෝපීය රටවල් ගනනාවක නව ලිබරල් කප්පාදු පිලිවෙත්වලට එරෙහි රැඩිකල් දේශපාලනය බලවත් වී තිබේ. නව ලිබරල් සමතුලිතයට එරෙහි මෙම වාමාංශික කැරැල්ලේ බ‍්‍රිතාන්‍ය ප‍්‍රකාශනය කෝබින්ගේ ජයග‍්‍රහනයයි.    

කෝබින් නැගීමත් සමග බ‍්‍රිතාන්‍ය දේශපාලනයේ නිල සංස්ථාපිතය මහත් කැලඹීමකට ලක්වී ඇත. මේ වනවිට පෙරමුනු දෙකකින් කෝබින්ට එරෙහිව යුද ප‍්‍රකාශ වී තිබේ. එක් පෙරමුනක් වන්නේ කම්කරු පක්ෂයේ දක්ෂිනාංශයයි. වෘත්තීය සමිති මත පදනම් වූ ප‍්‍රතිසංස්කරනවාදී වාම පක්ෂයක් ලෙස 20 වන සියවස මුල බිහිවු කම්කරු පක්ෂය සාම්ප‍්‍රදායිකව ස්ථානගත වී තිබුනේ ධනවාදයට හිතෛශී නායකත්වයක් තිබෙන, එහෙත් ප‍්‍රබල කම්කරු පාන්තික පදනමක් සහිත පක්ෂයක් ලෙසය. මේ පක්ෂය තුල සෑම යුගයකම වාමාංශික පාර්ශවයක් ද ක‍්‍රියාත්මක වූයේය. එම වාමාංශය පක්ෂය වඩ වඩාත් වමට තල්ලූ විය යුතු යැයි ඉල්ලා සිටියේය. කම්කරු පක්ෂයේ ඉතිහාසය ගත් විට දක්ෂිනාංශික හා වාමාංශික කොටස් අතර මෙම ප‍්‍රතිවිරෝධය පැහැදිලිවම නිරීක්ෂනය කිරීමට පුලූවන.

1980 දශකයේ දී සිදුවූයේ කම්කරු පක්ෂයේ වාමාංශය තීරනාත්මක ලෙස පරාජය කොට දක්ෂිනාංශය ජය ලැබීමයි. ‘80 දශකය අග එම පක්ෂය තුල ප‍්‍රවේශවාදීව වැඩ කරමින් සිටි මාක්ස්වාදී කොටස් දක්ෂිනාංශික නායකත්වය විසින් සමූහ වශයෙන් නෙරපා දමනු ලැබූ අතර ‘මිලිටන්ට් කන්ඩායම’ නෙරපා දැමීම ඒ අතරින් ප‍්‍රමුඛය. 1990 දශකයේ මුල ටෝනි බ්ලෙයාර් පක්ෂ නායකයා වීමත් සමග කම්කරු පක්ෂ දක්ෂිනාංශයේ මෙම ජයග‍්‍රහනය කූටප‍්‍රාප්තියට ලගාවේ. එතැන් සිට කම්කරු පක්ෂය හා දක්ෂිනාංශික කොන්සර්වේටිව් පක්ෂය අතර මූලධාර්මික වෙනසක් නොවී. බ්ලෙයාර් විසින් කම්කරු පක්ෂය නව ලිබරල් මූලධර්මවාදයට අනුගත කරන ලදී.

කෝබින්ගේ දේශපාලනය වූ කලී ටෝනි බ්ලෙයාර් විසින් ඇතිකල මෙන්න මේ දක්ෂිනාංශිකකරනයේ සම්පූර්න ප‍්‍රතිවාදයයි. කෝබින් ජයග‍්‍රහනය කලේ ඔහුගේ ජය වැලැක්වීම සඳහා පක්ෂයේ දක්ෂිනාංශික නිලධාරී තන්ත‍්‍රය දැරූ සියලූ උත්සාහයන් මධ්‍යයේය. දැන් කෝබින්ගේ ජය ආපසු හැරවීම සඳහා දක්ෂිනාංශය විවිධ උපමාරු යොදමින් සිටී. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කන්ඩායමේ අති බහුතරය අයත් වන්නේ පක්ෂයේ දක්ෂිනාංශයටය. ප‍්‍රමුඛ පෙලේ මන්ත‍්‍රීවරුන් ගනනාවක් දැනටමත් කෝබින්ගේ ජයග‍්‍රහනය අවප‍්‍රමානය කරමින් ප‍්‍රකාශ නිකුත් කොට ඇත. කෝබින්ව පෙරලා දැමීම සඳහා ඔවුන් ඉදිරියේ දී උපරිම වෙර යොදා ක‍්‍රියා කරනු ඇත.

කෝබින්ට එරෙහිව යුද ප‍්‍රකාශ කොට තිබෙන අනෙක් පෙරමුන පක්ෂයෙන් පිටත දක්ෂිනාංශයයි. මෙම ප‍්‍රහාරය දක්ෂිනාංශික ජාතිකවාදී ප‍්‍රහාරයක් ලෙසටය දැනට මතු වී තිබෙන්නේ. කෝබින් පක්ෂ නායකත්වයට පත්වූ විගස ප‍්‍රකාශයක් නිකුත් කරමින් කොන්සර්වැටිව් පක්ෂ නායක ඬේවිඞ් කැමරන් ප‍්‍රකාශ කලේ කෝබින් ‘ජාතික ආරක්ෂාවට තර්ජනයක් ’ බවයි. න්‍යෂ්ඨික අවිහරනය හා බ‍්‍රිතාන්‍ය රජයේ අධිරාජ්‍යවාදී ප‍්‍රයානයන් පිලිබඳ කෝබින්ගේ විරුද්ධත්වයයි කැමරන් විසින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස අර්ථ දක්වනු ලැබුවේ. කෝබින් පහල පාන්තික ජනතාවන් කප්පාදු පිලිවෙත්වලට දක්වන විරෝධය දේශපාලනිකව සංවිධානය කිරීමට උත්සාහ කරද්දී පාලක කොන්සර්වැටිව් පක්ෂය එයට මුහුන දෙන්නට උත්සාහ කරන්නේ ‘බි‍්‍රතාන්‍ය ජාතිය’ නමැති කතිකාව වටා සමාජය සංවිධානය කරමින්ය. කැමරන්ට සමගාමීව දක්ෂිනාංශික ජනමාධ්‍යද කෝබින්ට එරෙහි දැඩි ප‍්‍රහාරයක් මේ වනවිට පටන් ගෙන තිබේ.

දක්ෂිනාංශයේ මෙම ප‍්‍රතිරෝධය ජයගැනීමට නම් කම්කරු පක්ෂය සැබෑ සමාජ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීම හැර අන් විකල්පයක් කෝබින් ඉදිරියේ නැත. එනම් පක්ෂයේ නිල සංස්ථාපිතයෙන් බැහැරට ගොස් ඔහුට ඡුන්දය දුන් බිම් මට්ටමේ ජනයා සංවිධානය කිරීම හා එම සංවිධාන ශක්තිය මත පදනම් වී වඩා සටන්කාමී ක‍්‍රියාමාර්ග වෙත යොමුවෙමින් පක්ෂයෙන් පිටත මහජනයා සිය ප‍්‍රතිපත්ති වෙත දිනාගැනීම දක්ෂිනාංශය දක්වන ප්‍රතිරෝධය අබිබවනය කරනු වස් කෝබින් ඉදිරියේ තිබෙන එකම විකල්පයයි. එම විකල්පය බලවත් වේ නම් අපට ඉදිරි වසර කිහිපය තුල බ‍්‍රිතාන්‍යයේ දී දැකගත හැකි වනු ඇත්තේ පංති අරගලයේ උද්වේගකර අලුත් අවධියකි.





Thursday, September 10, 2015

සම්බන්ධන් නැතිව - සම්බන්ධන් එක්ක


ඔහු - මට ඔයාගේ හීන ගැන දැනගන්න  ඕනෙ උනේ නැහැ. 
         ඒ හීන මගේ හීනවලට හරස් වෙයි කියලා මං හිතුවා.

ඇය - ඔයා මං දිහා බලයි කියලා 
          මං ඇස් රිදෙනකල් ඔයා දිහා බලන් හිටියා.

( 'ඔබ නැතිව ඔබ එක්ක' චිත්‍රපටයේ එන දෙබසක් )
***
ඒ. අමිර්තලිංගම්ගෙන් පසු ඉතිහාසයේ පලමු වතාවට දෙමල දේශපාලන නායකයෙක් ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට පත්වී තිබේ. දෙමල ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් එම පදවියට පත්වීම සිංහල සමාජය තුල ඇති කොට තිබෙන්නේ මිශ‍්‍ර ප‍්‍රතිචාරයකි. උග‍්‍ර සිංහල ජාතිවාදීන් මෙම පත්වීම සම්බන්ධයෙන්, ස්වකීය හුරුපුරුදු ස්වෝත්තමවාදී ආස්ථානයන් මත පදනම්ව විරෝධය පල කරද්දී සැලකිය යුතු පිරිසක් මෙය අගය කරමින් කථා කරනු ද දැකගත හැක. සිංහල ස්වෝත්තමවාදීන්ගේ හඩ මීට කලෙකට පෙර තිබුනාට වඩා ප‍්‍රබලත්වයෙන් අඩු වී ඇත. මහින්ද රාජපක්ෂගේ ඇද වැටීමෙන් ඉක්බිති පාලන තන්ත‍්‍රයේ නිල මතවාදය ලෙස එතෙක් සිංහල ස්වෝත්තමවාදයට හිමිව තිබූ තැන එක්කෝ අහිමි වී තිබේ. නැතිනම් දුර්වල වී තිබේ. පාලන තන්ත‍්‍රයේ නිල මතවාදය මෙලෙස වෙනස්වීම දෛනික මහජන පරිකල්පනයට ද බලපා ඇත. සම්බන්ධන් විපක්ෂ නායක වීම ‘හොද දෙයක් ’ ලෙස දකින මතවාදය සිංහල සමාජය තුල යම් බලයක් අත් කරගෙන තිබෙන්නේ ඒ අනුවය.

සම්බන්ධන්ගේ මෙම පත්වීම හොඳක් ලෙස දකින බොහෝ ‘සිංහල මධ්‍යස්ථවාදීන් ’ එසේ කරන්නේ කවර පදනමක් මතද? සම්බන්ධන් විපක්ෂ නායක වීම නිසා රටේම ප‍්‍රශ්න වෙනුවෙන් ඔහුට පෙනී සිටීමට සිදුවන බවත්, එම නිසා බෙදුම්වාදී අදහස්වලින් ඈත් වීමට ඔහුට සිදුවනු ඇති බවත් සමහරු කියති. තවත් ඇතැමුන්ට අනුව ප‍්‍රතිසන්ධානය පැත්තෙන් ගත්කල විපක්ෂ නායකකම දෙමල ජාතික සන්ධානයට දීම යහපත් පියවරකි. දෙමල ජනතාවට සාධාරනය ඉටු කිරීමකි.

‘ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම - සංජානනයන් සහ විසඳුම් ’ ( Ethnic Conflict in Sri Lanka - Perceptions and Solutions ) යන මැයෙන් ආචාර්ය නිවුටන් ගුනසිංහ 1984 දී ලියනු ලැබූ රචනය ලංකාවේ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් විවිධ සමාජ කන්ඩායම් වෙතින් එවකට ඉදිරිපත් වී තිබූ වෙනස් ප‍්‍රවේශයන් පිලිබඳ දීප්තිමත් විශ්ලේෂනයකි. මෙම රචනයේ දී ඔහු එබඳු ප‍්‍රවේශයන් හතරක් හඳුනාගනී. ඉන් එක් ප‍්‍රවේශයක් ඔහු නම් කරන්නේ ‘වැදගත් වන්නේ පුද්ගලයින් මිස ජනවර්ගය නොවේ නම් වූ ඉදිරිදර්ශනය’ ලෙසටය. ඔහුට අනුව මෙම ඉදිරි දැක්ම ඉදිරිපත් කරන අය ලංකාව බහුවාර්ගික-බහුආගමික රටක් ලෙස පිලිගනී. අධ්‍යාපනය, රැකියා ආදී ක්ෂේත‍්‍රවල ජනවර්ග වෙනසක් නොමැතිව සෑම දෙනාටම සමානත්වය තිබිය යුතු බව මොවුහු කියති. එහෙත් දිවයිනේ යම් යම් ප‍්‍රදේශ සාම්ප‍්‍රදායික සිංහල / දෙමල ප‍්‍රදේශ ලෙස හඳුනාගන්නවාට ඔවුහු විරුද්ධය. එම නිසා බලය බෙදීමක් සඳහා දෙමල සමාජය පැත්තෙන් ඉදිරිපත් වන ඉල්ලීමට ද ඔවුහු විරුද්ධ වෙති.

මෙම ඉදිරි දර්ශනය සිංහල සමාජයේ විවිධ පංති කන්ඩායම් අතර විහිදී ගිය එකක් යැයි ගුනසිංහ කියයි. ධනපති පංතියේ ඇතැම් කොටස්, බටහිරකරනය වූ දැක්මකින් යුතු විධායක නිලධාරීන්, මෙම නිලධාරීන්ට හාත්පසින් වෙනස් සමාජ පසුබිමකින් පැමිනෙන නාගරිකත්වයට නැඹුරු චින්තනයකින් යුක්ත උගත් තරුන භික්ෂූන් ආදීන් වෙතින් මෙම ඉදිරි දර්ශනය ප‍්‍රකාශිතය. වාර්ගික ආතතිය උග‍්‍ර අවස්ථාවල ‘ජාතිය බේරාගැනීමේ’  ආන්තික ඉදිරි දැක්මක් වෙත තල්ලූ වීමේ සම්භාවිතාවයකින් යුක්ත වූවත් නාගරික පහල මැද පංතික කොටස්වල පුලුල් ස්ථරයක් තුළ ද මෙම ඉදිරි දැක්ම ප‍්‍රකාශ විය හැක. එසේම වාර්ගික ගැටුම් සහිත කලාපයෙන් බැහැරව ජීවත්වන ගොවි ජනයාගෙන් සැලකිය යුතු කොටසක් ද ඇතැම් විට මෙම ඉදිරි දර්ශනය හා එකඟ වීමට පුලූවන් බවට ගුනසිංහ අදහස් දක්වයි.

විවෘත දෙමල විරෝධී ආස්ථානයන් හා සසඳන විට මෙම ‘මධ්‍යස්ථවාදී’ ප‍්‍රවේශය යහපත් බවට සැකයක් නැත. එහෙත් ජාතික ප‍්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් එය ද බෙහෙවින් සීමාසහිත ඉදිරි දර්ශනයකි.

මේ දිනවල තිරගත වන ප‍්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතිව ඔබ එක්ක’ චිත‍්‍රපටයේ කථා තේමාව මෙම 'මධ්‍යස්ථවාදී' ඉදිරි දර්ශනයේ සීමාව වටහා ගැනීම සඳහා කදිම සාදෘශ්‍යයක් ලෙස යොදාගත හැක. මෙම චිත‍්‍රපටයේ එන දෙමල තරුනිය තම සැමියා හිටපු හමුදා සොල්දාදුවෙක් බව නොදන්නීය. ඇය ‘සිංහල හමුදාවට’ වෛර කරන්නියකි. ඒ ඇගේ බාල සහෝදරයින් දෙදෙනා හමුදාව විසින් මරා දමනු ලැබූ නිසාය. තම සැමියා හිටපු සොල්දාදුවෙක් බව අහඹුවකින් දැන ගන්නා ඇය ක්ෂතිමය තත්වයකට ගොදුරු වන්නීය.

මේ ගැන මහත් කනගාටු වන සැමියා ඇයට හොඳින් සත්කාර කරයි. ඇය සුවපත් කරගැනීම සඳහා අවංකව මහන්සි වේ. ඇයව ඉන්දියාවට ගෙන ගොස් සාරි අරන් දෙන බවටත්, ඇය කැමති චිත‍්‍රපට සියල්ල ඇය හා නරඹන බවටත් ප‍්‍රතිඥා දේ.

සැමියාගේ මේ සියලු ‘යහපත් ’ සැලැකීම් මානසික අවපීඩනයකට ලක්ව සිටින භාර්යාව යහපත් සිතින් ඉවසයි. එහෙත් ඇගේ සැබෑ ප‍්‍රශ්නය තිබෙන්නේ වෙන තැනකය. එය සිංහල හමුදාව වෙතින් ඇයට වූ අසාධාරනය හා සම්බන්ධ ආත්මීය ප‍්‍රශ්නයකි. සැමියා ආදරයෙන් සත්කාර කරන්නේ මේ ආත්මීය ප‍්‍රශ්නයෙන් පෙලෙන සැබෑ අනෙකාට නොව තමා විසින් පරිකල්පිත අනෙකෙක්ටය. ඇගේ සැබෑ ප‍්‍රශ්නය තිබෙන්නේ ඒ පරිකල්පිතයට ඔබ්බේය.

ලංකාවේ දෙමල ජනතාවගේ සැබෑ ප‍්‍රශ්නය තිබෙන්නේ ද සිංහල ‘මධ්‍යස්ථවාදීන්’ ගේ පරිකල්පන ක්ෂිතිජයට ඔබ්බෙනි. සම්බන්ධන්ට විපක්ෂ නායකකම දීම මෙම පිරිස්වලට දෙමල ජනයාට පිදෙන ‘මහා ලොකු ප‍්‍රදානයක් ’ වූවාට දෙමල සමාජය පැත්තෙන් එය එසේ නොවේ. එම ජනයාගේ අරගලය පවතින්නේ ස්වකීය ජාතිකත්වයට අවශ්‍ය පිලිගැනීම ලබාගැනීම සඳහාය. එය ජාතියක් ලෙස පරිපූර්නව ප‍්‍රකාශ වී ගැනීම සඳහා ඉතිහාසයක් පුරා සිදුකල, දැනටත් සිදු ‍කෙරෙන අරගලයකි. ෆෙඩරල් ඉල්ලීම, යුද අපරාධ සඳහා යුක්තිය ඉල්ලා සිටීම ආදී යෝජනා ස්ථානගත වන්නේ ස්වකීය ජාතික විමුක්තිය සඳහා දෙමල ජනතාව කරන එම ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලයේ කොටස් ලෙසය.

මෙම සැබෑ දේශපාලන ප‍්‍රශ්නය ආමන්ත‍්‍රනය නොකොට විපක්ෂ නායකකම සම්බන්ධන්ට දී ජාතික ප‍්‍රතිසන්ධානය ඇතිකරගැනීමට යමෙක් කල්පනා කරන්නේ නම් එම කල්පනාව ගනුදෙනු කරන්නේ සැබෑ දෙමල සමාජය සමග නොව එය විසින් පරිකල්පිත, සිතින් මවාගත් දෙමල සමාජයක් සමගය. සිංහල 'මධ්‍යස්ථවාදීන්' අභිමුඛ වන්නේ තමා විසින් පරිකල්පනය කරගත් 'දෙමලාගේ ප්‍රශ්නයක් ' සමගය. මෙම පරිකල්පනයෙන් ඔබ්බට ගොස් දෙමලාගේ සැබෑ ප්‍රශ්නය සමග අභිමුඛ වීම සිංහල මධ්‍යස්ථවාදියාට වුව ක්ෂතිමය අත්දැකීමක් වීමට ඉඩ තිබේ. මන්ද එහිදී ඔහු හෝ ඇය ස්වභාවිකත්වයන් ලෙස ගෙන තිබෙන බොහෝ පූර්ව නිගමන අභියෝගයට ලක්වීමට නියමිත බැවිනි.  

Sunday, August 30, 2015

එස්.බී පාර්ලිමේන්තුවට ගෙන රාජපක්ෂවාදය පැරදවීම?


‘මෛත‍්‍රී පාලනය’ පිලිබඳ අලංකාරිකය සහ මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය දවස්වල ශ‍්‍රීලනිපය තුල කටයුතු කල ආකාරය ගලපන්නේ කෙසේද? රාජපක්ෂ පාලනයට එරෙහිව විපක්ෂයේ පක්ෂවල පොදු අපේක්ෂක ලෙස මෛත‍්‍රීපාල සිරිසේන ඉදිරිපත් වූ විට ඔහුගේ පාර්ශවය වෙනුවෙන් කරුනු ඉදිරිපත් කල බොහෝ දෙනා මෛත‍්‍රීපාලගේ සාමකාමී ශාන්ත දාන්ත විලාශය රාජපක්ෂ විසින් නියෝජනය කල පලිගැනීමේ හා ද්වේශයේ සංස්කෘතියට එරෙහි විකල්පය ලෙස ඉදිරිපත් කලහ. රාජපක්ෂ යටතේ ශ‍්‍රීලනිපය ඔහුගේ බූදලයක් බවට පත්වී තිබුනි. එම පක්ෂය තුල කිසිදු අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නොවී. රාජපක්ෂගේ වචනය කුමක්ද එය ශ‍්‍රීලනිප ප‍්‍රතිපත්තිය බවට පත්වී තිබුනි. ඒ අනුව රාජපක්ෂ යටතේ ශ‍්‍රීලනිපය වූ කලී රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ඔහු අනුගමනය කල සාර්ව ප‍්‍රවේශයේ ක්ෂුද්‍ර ප‍්‍රතිබිම්බයක් සේ විය.

දැන් ශ‍්‍රීලනිපයේ සභාපති ලෙස මෛත‍්‍රීපාල කටයුතු කරමින් සිටින්නේ කෙසේද? ශී‍්‍රලනිප බහුතර සාමාජිකත්වයේ කැමැත්තට පිටින් ඔහු එම පක්ෂය හයිජැක් කොට තිබේ යන්න පැහැදිලිය. මෙම හයිජැක්කරනය ප‍්‍රකටව පෙනී ගියේ මෙවර මහ මැතිවරනයෙන් ශ‍්‍රීලනිපය ලබාගත් මන්ත‍්‍රීධූරවලට අදාල ජාතික ලැයිස්තුව පත්කිරීමේ දීය. මහජනයා විසින් ප‍්‍රතික්ෂේප කල, එහෙත් තමාට හිතවත් එස්.බී. දිසානායක, විජයමුනි සොයිසා ආදීන් ඔහු ජාතික ලැයිස්තුවේ මාර්ගයෙන් පාර්ලිමේන්තුවට ඇතුලත් කර ගත්තේය. දැන් එම පක්ෂයේ සාමාජිකත්වයේ කැමැත්තට පිටින් යමින් ජාතික ආන්ඩුවකට එම පක්ෂය බලහත්කාරයෙන් ඇතුලු කරවීම සඳහා ඔහු ක‍්‍රියාමාර්ග තෝරමින් සිටී.

යමෙක් මෙහිදී මෙසේ ඇසීමට පුලූවන. ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම්වලට පටහැනිව වුව මෛත‍්‍රීපාල මේ කරන දේ හොඳ දෙයක් නොවේද? ඔහු මේ කරන්නේ මහත් ප‍්‍රතිගාමී උග‍්‍ර ජාතිවාදී අක්ෂයක් සමාජයට යෝජනා කරන රාජපක්ෂවාදය දුර්වල කිරීම නොවේද?

මෙහිදී අපි දේශපාලනය සම්බන්ධ මූලික ආචාර ධාර්මික ප‍්‍රශ්නයක් වෙත එලැඹෙමු. ‘යහපත්’ යැයි යමෙක් සිතන අරමුනු ඉෂ්ට කරගැනීම වෙනුවෙන් ‘යහපත් නොවූ ’ ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීම සාධාරනීකරනය කල හැකිද? එනම් අන්තය විසින් එනයින්ම ක‍්‍රියාමාර්ගය සාධාරනීකරනය කරනු ලබයි ද?

මෙය දේශපාලන ඉතිහාසයේ ඇති තරම් වාද විවාදවලට ලක්වූ ප‍්‍රශ්නයකි. ‘යහපත් ’ යැයි කියන අරමුනු වෙනුවෙන් එම යහපත් අරමුනුවලට සපුරා පටහැනි විවිධ ක‍්‍රමෝපායන් පාවිච්චි කිරීම ඉතිහාසය තුල ඇති තරම් සිදුවී ඇත. 1917 දී විප්ලවයක් මගින් බලයට ආ රුසියානු බොල්ෂෙවික් පක්ෂය එම විප්ලවයට පසුව පැවැත්වූ මැතිවරනයකින් පිහිටුවනු ලැබූ ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හැරියේය. ඒ එම ව්‍යවස්ථාදායක සභාවේ බහුතර බලය සෝවියට් ක‍්‍රමයට විරුද්ධ සමාජවාදී විප්ලවවාදී පක්ෂය විසින් දිනාගත් නිසාය.

මෙම ක‍්‍රියාමාර්ගය එවකට විප්ලවයේ සතුරන් අතින් පමනක් නොව විප්ලවයට සපුරා  මිතුරු ආස්ථානයක් ගත් රෝසා ලක්සම්බර්ග් වැනි වාමාංශිකයින් අතින්ද විවේචනයට ලක්විය. ඇත්තටම බොල්ෂෙවික් පක්ෂය එම ක‍්‍රියාමාර්ගය ගත්තේ විප්ලවයේ ආරක්ෂාව උදෙසාය. එනම් ඔවුන් ‘යහපත් අරමුනක් ’ මත ක‍්‍රියා කලෝය. බලය ගන්නා විට තනි පක්ෂයක් ආධිපත්‍යය දරන දේශපාලන ක‍්‍රමයක් රුසියාවේ පිහිටුවීමට බොල්ෂෙවික්වරු කිසිවිටෙකත් නොසිතූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ සෝවියට් සභා මත පදනම් වූ නව පන්නයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගොඩනැගීමයි. මෙන්ෂෙවික්වරුන් ඇතුලූ සෙසු කම්කරු පක්ෂ එම සෝවියට් සභා තුල වැඩ කරන සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රයක් ඔවුහු අපේක්ෂා කලහ. එහෙත් බොල්ෂෙවික්වරුන්ට විරුද්ධ ආස්ථානයක සිට මෙන්ෂෙවික්වරුන් ඇතුලූ විරුද්ධ පාක්ෂික කොටස් ක‍්‍රියා කල නිසා එම පක්ෂ තහනම් කිරීමට බොල්ෂෙවික් පක්ෂය යොමුවිය. මෙතැන දීද ඔවුන් ක‍්‍රියාත්මක වූයේ ‘යහපත් අරමුනක්’ මතය.

එනම් ‘සෝවියට් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීම’ සඳහා එම සෝවියට් ප‍්‍රජාතන්ත‍්‍රවාදයටම පටහැනි ක‍්‍රියාමාර්ග වෙත යොමු වීමට බොල්ෂෙවික් පක්ෂයට සිදුවිය. මෙබඳු ක‍්‍රියාමාර්ග රාශියක අවසාන ප‍්‍රතිඵලය වූයේ විසම්මුතිය අත් හිටවූ සමස්තතාවාදී සමාජයක් බවට ක‍්‍රමානුකූලව රුසියාව පරිවර්තනය වීමයි. එය ලෙනින් හෝ ට්‍රොට්ස්කි බඳු විප්ලවයේ මුල්කාලීන නායකයින් සිහිනෙනුදු අපේක්ෂා කල තත්වයක් නොවේ. එහෙත් යම් පරමාදර්ශයක් ලගාකරගැනීම සඳහා එම පරමාදර්ශයට පටහැනි ක‍්‍රියාමාර්ග ගැනීම කෙලවර වූයේ ලගා කරගැනීමට අපේක්ෂා කල පරමාදර්ශය තවත් දුරස් වීමෙනි.

ශ‍්‍රීලනිපය තුල මෛත‍්‍රීපාල ක‍්‍රියාකරන විදිහ හා බොල්ෂෙවික් විප්ලවය සමපාත කිරීමට මාගේ පරමාර්ථය නොවේ. එහෙත් මෛත‍්‍රීපාලගේ හැසිරීම විසින් මතු කරන දේශපාලන-ආචාරධාර්මික ප‍්‍රශ්නය බැරෑරුම් ලෙස සාකච්ඡාවට ලක්විය යුත්තකි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය / සමාජවාදය ආදිය හුදු බලය ලබාගැනීම සඳහා තිබෙන උපකරන පමනද? එසේ නැතිනම් ඒවා යම් කිසි වටිනාකම් සමූහයක් අන්තර්ගත කරගත් පරමාදර්ශයන්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීමට යැයි කියා සපුරා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ග අනුගමනය කල හැකිද?

එක්සත් ජනපද ආන්ඩුව අදත් ඇෆ්ඝනිස්ථානයේ හා පකිස්ථානයේ දුර්ග මතට ඩ්‍රෝන් ප‍්‍රහාර අත් හරිමින් සමූහ වශයෙන් කුඩා ලමුන් ද ඇතුලත් මිනිසුන් ඝාතනය කරමින් සිටින්නේ ඒ රටවල ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීමටය’. එඞ්වඞ් ස්නෝව්ඩන් හෙලිදරවු කල ආකාරයට පුරවැසියන්ගේ අතිශය පෞද්ගලික තොරතුරු පවා අධීක්ෂනය කරන දැවැන්ත චර පුරුෂ ජාලයක් එරට රජය විසින් නඩත්තු කරමින් සිටින්නේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඇමරිකාව’ බාහිර සතුරන්ගෙන් ආරක්ෂා කරනු පිනිසය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා උල්ලංඝනය කෙරෙන්නේ ප‍්‍රජාතාන්ත‍්‍රීය වටිනාකම්ය. ප‍්‍රජාතාන්ත‍්‍රීය වටිනාකම් උල්ලංඝනය කරන පලමු මොහොතේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුරස් වේ. එබඳු ක‍්‍රියාමාර්ගයක් තුලින් සිදුවන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති වීම නොව එය වඩාත් දුරස්ථ යථාර්ථයක් ලෙස ඉවතට විසිවී යෑමය.

අවශ්‍ය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය / සමාජවාදය විසින් යෝජිත වටිනාකම් ජයග‍්‍රහනය කරවීම සඳහා වූ සම්මුති විරහිත අරගලයකි. මේ අරගලයේ දී එකී වටිනාකම් උල්ලංඝනය කිරීම කවර තත්වයක් යටතේ හෝ සාධාරනීකරනය කල නොහැක. කෙතරම් අසීරු වුව, කෙතරම් දුෂ්කර වුව මෙම ආස්ථානය මත තරයේ නොපිහිටන්නේ නම් අප අපේක්ෂා කරන යහපත් ප‍්‍රතිඵලය ඇති කරගැනීම කිසිවිටෙක සැබෑවක් බවට පත් වන්නේ නැත.

Thursday, August 20, 2015

දේශයේ හෘද සාක්ෂිය මේ තරම් චපලද?

ශ්‍රීලනිප කවන්ධයට ජවිපෙ හිස එක්වීම
සියල්ලෝ මොහොතකට වික්ෂිප්ත වූයේ ඔවුන් ලද අනපේක්ෂිත පසුබෑම හමුවේය. පසුගිය දා නිමාව දුටු මහ මැතිවරනයේ දී එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර කරට කර තරගයක් පවතිනු ඇති බවත්, එජාපයට සාපේක්ෂව වාසිදායක තත්වයක් පවතින බවත් මැතිවරනයට පෙර බොහෝ අය නිවැරදිව පැවසූහ. එය එසේම සිදුවිය. ඊට සමගාමීව බොහෝ අය විශ්වාස කලේ ජනතා විමුක්ති පෙරමුනේ කැපි පෙනෙන වර්ධනයක් මැතිවරනය තුල සිදුවනු ඇති බවයි. අති විශාල ප‍්‍රචාරක ව්‍යාපාරයක් ජවිපෙ විසින් දියත් කරනු ලැබ තිබු අතර ආසන 15 ත් 20 ත් අතර සංඛ්‍යාවක් තමුන් දිනාගන්නෙම් යැයි ඇතැම් ජවිපෙ හිතවාදීහු මැතිවරන කාලය තුල අනාවැකි ද පල කලෝය. බීබීසී සිංහල සේවය පූර්ව මැතිවරන සමය තුල විශේෂ ප‍්‍රවෘත්තියක් පල කරමින් කියා සිටියේ ජවිපෙ වෙත විශාල රැල්ලක් දැකගත හැකි බවයි.

එහෙත් ඒ කිසිවක් සිදු නොවීය. මැතිවරන ප‍්‍රතිඵල එන විට ජවිපෙ ආසන සංඛ්‍යාව 3 සිට 6 දක්වා වැඩි වී තිබූ බව සැබැවි. එහෙත් ඒ වැඩිවීම සහ ‘ජවිපෙට තිබූ රැල්ල’ පිළිබඳ ජනප‍්‍රිය සංකල්පනය අතර වූයේ අදහා ගත නොහැකි තරම් පරතරයකි.

එසේ වූයේ ඇයි? රටේ ප‍්‍රමුඛතම ඇඞ්වර්ටයිසිං සමාගම්වල සහය ද ලැබ නංවනු ලැබූ ඒ විසල් සීනු නාදය සමාජයට නෑසී ගියේ ඇයි? මෙය විකල්ප දේශපාලනයක් ගැන විශ්වාස කරන සියලූ දෙනා විසින් බරපතල ලෙස සාකච්ඡාවට ගත යුතු ප‍්‍රශ්නයකි.

මෙවර මැතිවරන ප‍්‍රතිඵල දෙස බලන විට පැහැදිලිව පෙනී යන කරුන නම් ගම්බද ප‍්‍රදේශවල ජවිපෙ වෙත ලැබී තිබූ ප‍්‍රතිචාරය සාපේක්ෂව අඩු එකක් බවයි. නගරබද ඡන්දදායක කොට්ටාශවල ජවිපෙට යම් ප‍්‍රතිචාරයක් ලැබී තිබුනි. ජනප‍්‍රිය ‘ජවිපෙ රැල්ල’  නාගරික අතරමැදි පංති කොටස් අතර දැකගත හැකි වූ ප‍්‍රවනතාවයක් මිස ගම්බදව දැකගත හැකිවූවක් නොවීය.

ජවිපෙ අවසන් වතාවට තනි පක්ෂයක් ලෙස මහ මැතිවරනයකට තරග කලේ 2001 දීය. එවර එම පක්ෂය ආසන 16 ක් දිනාගත්තේය. මෙම ආසන 16 වූ කලී 1994 සිට තනි පක්ෂයක් ලෙස ඔවුන් කල වෙහෙසකර ව්‍යායාමයක ප‍්‍රතිඵලයයි. එම මැතිවරනය වන තෙක්ම ජවිපෙ ඉදිරිපත් කල සටන් පාඨය වූයේ ‘උනුත් එකයි - මුනුත් එකයි ’ නමැති ජනප‍්‍රියවාදී වාම සටන් පාඨයයි.

ඉහත යුගයේ මැතිවරන ප‍්‍රතිඵල යමෙක් නිරීක්ෂනය කරන්නේ නම් ප‍්‍රකටව පෙනී යන කරුන වන්නේ ගම්බද ප‍්‍රදේශවල ජවිපෙ යම් බලයක් ගොඩනගාගෙන තිබුනු ආකාරයයි. ඓතිහාසිකව ජවිපෙ පදනම් වූයේ දිවයිනේ සිංහල ප‍්‍රදේශවල ග‍්‍රාමීය දිලිඳු හා නිර්ප‍්‍රභූ ජන කොටස් මතය. එය ග‍්‍රාමීය නිර්ප‍්‍රභූ ජනකොටස්වල රැඩිකල් ව්‍යාපාරයක් විය. ඒ අර්ථයෙන් ශ‍්‍රීලනිපය සහ ජවිපෙ අතර ඇත්තේ එක්තරා විදිහක ලේ ඥාතීත්වයකි. බන්ඩාරනායකවාදය විසින් කරනු ලැබූ ආමන්ත‍්‍රනය මත පිබිදී ආ මුල් කාලීන ශ‍්‍රීලනිප ජනතාවාදය ( populism) ගම්බද ජනකොටස්වල - විශේෂයෙන් ග‍්‍රාමීය සුලූ ධනේශ්වර කොටස්වල දේශපාලන අභිලාෂයන් කැටි කොට ගත් දේශපාලන උද්ගතයක් විය.

මෙම ජනතාවන්ගේ ඉල්ලීම් සහ රටේ ඌන ධනේශ්වර සංවර්ධනය අතර ප‍්‍රතිවිරෝධතාවය මතු වූ විට එම සීමාවට  එරෙහිව මතු වූ රැඩිකල් ප‍්‍රතිචාරය ලෙස ජවිපෙ හඳුනාගත හැක. ‘ජවිපෙ සමන්විත වන්නේ ‘56 දරුවන්ගෙනි’ යනුවෙන් ගුනදාස අමරසේකර කරන ප‍්‍රකාශය නිවැරදිය. අමරසේකර නිතර කියා සිටි දෙයක් නම් බන්ඩාරනායකගේ මරනයෙන් පසු ශ්‍රීලනිපයට එහි හිස අහිමි වූ බවත්, දැන් එය හිස අහිමි කවවන්ධයක් බවත්, එම කවන්ධයට හිසක් සවි කල යුතු බවත්ය. එම 'හිස' ලෙස ඔහු කාලාන්තරයක් තිස්සේ දැක්කේ ජනතා විමුක්ති පෙරමුනයි. මේ ගැන විවරනය කරමින් ඔහු 'ලංකාවේ අනාගතය භාරගන්නේ ග්‍රාමීය උගත් තරුන පරපුරයි' යන හිසින් දේශපාලන රචනයක් පවා ලිවීය. එනම් ඓතිහාසික තලයක තබා විමසන විට ශ‍්‍රීලනිපය හා ජවිපෙ හඳුනාගත හැක්කේ එකම දේශපාලන ප‍්‍රකාශනයක, එනම් සිංහල ගම්බද ජනතාවාදයේ ගතානුගතික හා රැඩිකල් වශයෙන් වූ ශාඛාවන් දෙකක් වශයෙනි.

2001 වන විට ජවිපෙ මෙන්න මේ ගම්බද සමාජ තීරු අතර මැතිවරනමය වශයෙන් යම් සාර්ථකත්වයක් සනිටුහන් කොට තිබුනේය. විශේෂයෙන්ම විවෘත ආර්ථිකය වැලඳ ගැනීමත් සමග ශ‍්‍රීලනිපයේ තිබූ මුල්කාලීන ජනතාවාදී හැඩය දුර්වර්න වී තිබූ තතු යටතේ ජවිපෙ රැඩිකල්වාදයට යම් අවකාශයක් ඒ කාලය තුල විවර වී තිබුනි. ස්වාධීන පක්ෂයක් ලෙස ජවිපෙ 1994-2001 කාලය තුල ලැබූ ප‍්‍රගමනය පසුපස තිබූ ප‍්‍රධානතම සාධකයක් වූයේ ‘උනුත් එකයි - මුනුත් එකයි ’ ලෙස එය විසින් කල උද්ඝෝෂනයට ගම්බද ප‍්‍රදේශ තුල ලැබුනු ප‍්‍රතිචාරයයි.

එහෙත් 2002 න් පසු ජවිපෙ තීරනාත්මක හැරවුමක් ගනී. මැතිවරන සාර්ථකත්වයෙන් ගිනි කන වැටී සිටි ජවිපෙ මේ යුගයේ ජනප‍්‍රිය බලය ගොඩනගා ගැනීමට තැත් කරන්නේ සිංහල ස්වෝත්තමවාදය සමග අනන්‍ය වීමෙනි. ඒ සදහා ඊට ඉඩකඩ සපයනු ලැබූයේ 2002 දී රනිල් වික්‍රමසිංහ ආන්ඩුව හා දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය අතර අත්සන් තැබුනු සටන් විරාම ගිවිසුමයි. ඒ වන විට රටේ සැලකිය යුතු ප්‍රදේශයක තත්වාකාර රාජ්‍යයක් පවත්වාගෙන යමින්, ප‍්‍රබල තැනකට ලගාවෙමින් තිබූ දෙමල ජනතාවගේ විමුක්ති අරගලයට එරෙහිව දකුනු ලංකාව තුල සිංහල ස්වෝත්තමවාදය සංවිධානය කිරීමේ ව්‍යාපෘතියට පුරෝගාමී වූයේ ජවිපෙය. කොටි පැරදවීමට නම් ‘දේශපේ‍්‍රමී ශ‍්‍රීලනිපය’ සමග හවුලකට යා යුතු යැයි ජවිපෙ උද්ඝෝෂනය කල අතර එම උද්ඝෝෂනයේ අවසාන ප‍්‍රතිඵලය වූ කලී මහින්ද චින්තනයයි. අමරසේකරගේ අර්ථයෙන් 2004 දී කවන්ධය සහ හිස ඒකාබද්ධ විය.

කෙසේ වූවද මෙම ඒකාබද්ධවීමේ ක්‍රියාදාමය අවසාන වූයේ කවන්ධය විසින් හිස ගිලගැනීමෙනි. පශ්චාත් 2005 යුගය තුල ශ‍්‍රීලනිපය උග‍්‍ර සිංහල ජාතිකවාදී පක්ෂයක් ලෙස ජනප‍්‍රිය වන්නට විය. ඒ සදහා අවශ්‍ය න්‍යායික නූල් සූත්තර සහ ආවරන සියල්ල සපයනු ලැබූයේ ශ්‍රීලනිප කවන්ධයට අලුත එකතු වූ ජවිපෙ හිස විසිනි. රට ‍පාවාදීම, බටහිර ආක්‍රමනය, එන්ජීඕ පිල්ලි, සුදු කොටි, යලි යටත්විජිතකරනය ආදී විවිධ න්‍යායික සංකල්ප ඒ අනුව සූත්‍රගත කරන ලදී. මේ සංකල්පද ගෙන ශ්‍රීලනිපය ප්‍රබල ජාතිකවාදී පක්ෂයක්‍ ලෙස වැඩෙද්දී එය සෘජුවම බලපෑවේ ජවිපෙටය. ශ්‍රීලනිව නැගීම අභිමුව ජවිපෙ රැඩිකල්වාදය විසින් ගොඩනගා ගෙන තිබූ ගම්බද ජන සහයෝගය සීඝ‍්‍රයෙන් හැකිලී යාම පටන් ගත්තේය. ශ‍්‍රීලනිපය අති සාර්ථකව ජවිපෙ ඡන්ද බැංකුව ආක‍්‍රමනය කලේය. මෙම ආක‍්‍රමනය වඩාත් බලගතු වූයේ ග‍්‍රාමීය ජනයා ඉලක්ක කරගත් යම් යම් සුබසාධන වැඩසටහන් මහින්ද රාජපක්ෂ රජය විසින් අනුගමනය කිරීමත් සමගය. ගම්බදව ජාතිකවාදය හා සංවර්ධනවාදය වේශයෙන් ආ මේ ද්විත්ව ප‍්‍රහාරය ජවිපෙට ඔරොත්තු දීගත හැක්කක් නොවී. ජවිපෙ විසින්ම ඔසවා තැබූ මහින්ද චින්තනය ජවිපෙට එරෙහි මාරාන්තික තර්ජනයක් වූයේ ඒ අනුවය.

මෙවර මැතිවරන ප‍්‍රතිඵලය මගින් පෙන්වන්නේ අන් කිසිවක් නොව ශ‍්‍රීලනිපය නිසා අහිමි වූ ජවිපෙ ග‍්‍රාමීය ඡන්ද පදනම ආපසු ජවිපෙ වෙත ඇදී ඇවිත් නොමැති බවයි. එය එක්කෝ ශ්‍රීලනිපය තුලම රැදී තිබේ. නැතිනම් එජාපය වෙත ගොස් තිබේ. එය අන් කාගේවත් වරද නොව ජවිපෙ විසින්ම අනුගමනය කල ජාතිකවාදී හා සභාගවාදී ප‍්‍රතිපත්තිවල තර්කානුකූල ප‍්‍රතිඵලයයි. ජවිපෙ මේ තිත්ත ලෙස අනුභව කරමින් සිටින්නේ තමා විසින්ම කලෙක වපුල බිජුවට වල අස්වැන්නය. විසල් සීනු නාදය එතරම් විසල් නොවීමේ හේතුව තිබෙන්නේ විසල් සීනු නාදය තුලම බව තේරුම් ගැනීම ජවිපෙට මෙන්ම මෙරට විකල්ප දේශපාලනයක් ගැන උනන්දු වන සෑම දෙනාටම අතිශය වැදගත් පාඩමක් වනු ඇත්තේය.

Thursday, August 13, 2015

ඒ විසල් ඝන්ටාර නාදය



ලංකාවේ නාගරික මධ්‍යම පංතියට හුරුබුහුටි සුරතලෙක් මුන ගැසී තිබේ. මහාචාර්යවරුන්ගේ සිට නීතිඥවරුන් දක්වා, ව්‍යාපාරිකයන්ගේ සිට ‘සමාජ ජාල ක‍්‍රියාකාරීන් ’ දක්වා නොසිතූ විරූ පරාසයක පිරිසක් ජනතා විමුක්ති පෙරමුනට ඡන්දය දෙන්න යැයි ඉල්ලා පෙරට පැමින තිබේ.  මීට වසර කිහිපයකට පෙර, ජවිපෙට ඡන්දය දෙන්න යැයි ඉල්ලා සිටියහොත්, නිසැකවම උපහාසයෙන් සිනාවනු ඇති බොහෝ අය මෙවර තමුන් ජවිපෙට ඡන්දය දෙන බව ප‍්‍රකාශ කරති. නගරබද මධ්‍යම පංතික තීරු අතර පෙර නුවූ විරූ ජනප‍්‍රියත්වයක් මේ වනවිට ජවිපෙ වෙත ලැබී තිබෙන බව ඉතාමත් පැහැදිලිය.

ඒ විසල් ජවිපෙ පේ‍්‍රමය කුමක්ද?

‘ජවිපෙ බලවත් කල යුත්තේ ඇයි?’ යන්නට ප‍්‍රකටව ලැබෙන පිලිතුර වන්නේ ‘පාර්ලිමේන්තුව තුල ශක්තිමත් විපක්ෂයක භූමිකාව’ ජවිපෙ විසින් ඉටු කරනු ඇති බවයි. පත්වන ආන්ඩුව කුමක් වූවත් එහි සොරකම් ඇල්ලීමට ජවිපෙට පුලුවන්. ඒ අනුව නාගරික මධ්‍යම පංතිය විසින් ජවිපෙට පවරන්නට සූදානම් වන්නේ සොරකම් ඇල්ලීමේ භූමිකාවය. ජවිපෙ විපක්ෂයට සුදුසු බව පුන පුනා කීමේ විලෝමය කුමක්ද? ජවිපෙ ආන්ඩු බලයට නුසුදුසු බවයි.

මේ කරුන ඉතා කදිමට ප‍්‍රකාශ වී තිබුනේ සිනමා විචාරක චින්තන ධර්මදාස වෙතිනි. ඔහු මධ්‍යම පංතික රැඩිකල්වාදීන් සමූහයකගෙන් සමන්විත ‘අලූත් පරපුර’ සංවිධානය විසින් ජවිපෙට සහයෝගය දීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවට ද වාඩි වූවෙකි. මිල්ටන් ෆ‍්‍රීඞ්මාන් පන්නයේ ධනවාදයක් ලංකාවට අවශ්‍ය බවත්, ඊට ලංවිය හැකි තැනෙක සිටින්නේ එජාපය බවත් චින්තන තම බ්ලොග් අඩවියේ ලියා තිබුනේය. ෆ‍්‍රීඞ්මාන් පන්නයේ ධනවාදයක් පතන නාගරික මධ්‍යම පංතිකයාගේ ආශාව ජවිපෙ බඳු විපක්ෂයකි.

මෙහෙම චින්තන පරිවර්තනයක් නාගරික මධ්‍යම පංතික තීරු තුල හදිසියේ ඇති වී තිබෙන්නේ ඇයි? නාගරික කම්කරුවන් අතර කිසිදු පදනමක් ඉතිහාසයේ කිසිම දිනෙක නොවූ ජවිපෙ ඓතිහාසිකව පැන නැංගේ ග‍්‍රාමීය පහල පාංතික ජනයාගේ රැඩිකල් ව්‍යාපාරයක් වශයෙනි. ශ‍්‍රීලනිපය විසින් සාම්ප‍්‍රදායිකව නියෝජනය කල සිංහල ග‍්‍රාමීය ජනතාවාදයේ රැඩිකල් වාමාංශික රූපාකාරය ජවිපෙය.

මෙම ග‍්‍රාමීය නිර්ප‍්‍රභූ ව්‍යාපාරය ගැන ප‍්‍රසාදයක් ඉතිහාසයේ කවදාවත්  නාගරික මධ්‍යම පංතිය තුල පැවැතියේ නැත. ලංකාවේ විශ්ව විද්‍යාල වූ කලී නාගරික මධ්‍යම පංතිය සහ ජවිපෙ විසින් නියෝජනය කල දේශපාලනය අතර ප‍්‍රතිවිරෝධය මූර්තිමත් වන්නාවූ අවකාශයකි. ජවිපෙ විසින් මෙහෙයවනු ලැබෙන ශිෂ්‍ය සංගම්වලට සම්බන්ධ වන්නේ සරසවිවලට එන ගම්බද තරුන තරුනියන්ය. මෙම තරුන කොටස් අතින් නවකවදයට ලක්වීමට අකමැති නාගරික මධ්‍යම පංතික පවුල්වලින් එන තරුන තරුනියන් නවක වධ විරෝධී කුඩා කන්ඩායම් ලෙස විශ්ව විද්‍යාලවල පොදු ජීවිතයෙන් බැහැර වී සිටිති. සාමාන්‍යයෙන් මෙම නාගරික මධ්‍යම පංතිකයන්ට රැවුල් වවාගත්, රබර් සෙරෙප්පු දමාගත්, දාඩිය ගඳ ගහගෙන ඉන්න ‘ජෙප්පන්’ පෙන්නන්නට බැරිය. ජෙප්පන් ඔවුන්ට ‘ස්මාට්’ නැත.

එහෙත් දැන් සිදුවී ඇත්තේ කුමක්ද? දාඩිය ගඳ ගසන මූසල ජෙප්පන් සහ ස්මාට් මධ්‍යම පංතිකයන් අතර එක්වරම මේ ඇති වී තිබෙන සහවාසය කුමක්ද? නිර්ප‍්‍රභූ ව්‍යාපාරයක් පාර්ලිමේන්තුව තුල බලවත් විය යුතු යැයි කියන තරමට නාගරික මධ්‍යම  පංතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී වී තිබේද?

ඇත්තටම සිදුවී තිබෙන්නේ නාගරික මැද පංතියේ පරිකල්පනයට ගැලපෙන ලෙස ජවිපෙ තමාව කප්පාදු කරගැනීමය. එනම් ස්මාට් වීමය. මෙම ස්මාට්කරනයේ සංකේතය වූ කලී ‘අප පිනිසා එන මිනිසා’ නමින් එම පක්ෂය මුද්‍රනය කොට ඇති ප‍්‍රචාරක පෝස්ටරයයි. මේ පෝස්ටර්වල ජවිපෙ ඡන්ද අපේක්ෂකයෝ පිලිවෙලට ආචාරශීලීව දෑත් පහලට කොට බැඳගෙන, සිනාමුසු මුහුනින් වැදගත් ලෙස පෙනී සිටිති. මෙම පෝස්ටර් වෙලද දැන්වීම් සමාගමක් විසින් නිර්මානය කරන ලද්දක් බව මුල් බැල්මටම පෙනේ. වෙලද දැන්වීම් ආයතනයේ කැමරාකරුගේ බැල්මට අනුව ජවිපෙ සාමාජිකයින් පිලිවෙලකට පෙල ගැසී සිටින ආකාරය ජවිපෙ විෂයෙහි සිදුවන ස්මාට්කරනය සම්බන්ධ රමනීය රූපකයක් නොවන්නේද?

ප‍්‍රශ්නය මෙයයි. මෙම ස්මාට්කරනයේ ‘මිල’ කවරේද? ආර්ථික ප‍්‍රතිපත්ති පිලිබද සිදුකල අදහස් දැක්වීමක දී ඉතාම මෑතක ජවිපෙ නායක අනුර දිසානායක ස්වකීය මෘදු හඩින් අවධාරනාත්මකව පැවැසූයේ ‘සරදියෙල් පන්නයේ ආර්ථිකයකට’ ජවිපෙ ගමන් නොකරන බවයි. සරදියෙල් පන්නයේ ආර්ථිකය යනු කිම? ඇති එකාගෙන් ගෙන නැති එකාට බෙදාදෙන ආර්ථිකයකි. අතිශය චාම් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සුබසාධක රාජ්‍යය වුව එක්තරා විධිහක සරදියෙල් පන්නයේ ආර්ථිකයකි. එනම් ධනවතුන් මත බදු ගසා ඒ බදු ආදායමෙන් පහල පාංතිකයින් වෙත සුබසාධන සපයන ආර්ථිකයකි. ජවිපෙ ප‍්‍රතිඥා දී සිටින්නේ වියට්නාමයට හා වෙනත් අඩු මිලට ශ‍්‍රමය විකුනන රටවලට ගලා යන ගෝලීය ප‍්‍රාග්ධනය ලංකාවට ගෙන ඒමටය. එසේ නැතිව ප‍්‍රාග්ධනය විසින් සූරාකෑමට ලක්වන ශ‍්‍රමිකයන්ගේ පීඩනය සංවිධානය කිරීම සඳහා නොවේ. සිංහල ග‍්‍රාමීය ජනතාවාදයේ අතිශය රැඩිකල් රූපාකාරය ගෝලීය ධනවාදය සමග පෑහීමකට ගොස් තිබෙන්නේ එලෙසය.

ජවිපෙ නව ලිබරල් පද්ධතිය සමග වේගවත් සම්මුතියක් දිශාවට ගමන් කරමින් සිටින බව පැහැදිලිය. සමාජ සාධාරනත්වය හා නිර්ප‍්‍රභූ ජනකොටස්වල ඉල්ලීම් පිලිබඳ සටන් පාඨ වෙනුවට නාගරික මධ්‍යම පංතියට එකඟ විය හැකි වංචා දූෂන පිලිබඳ සටන් පාඨවලට සීමා වී ගැනීමෙන් පරාවර්තනය වන්නේ එකී සම්මුතියේ ප‍්‍රබලත්වයයි. සමහරවිට ජවිපෙ කේඩරය සිතනවා ඇත්තේ තමන්ට උවමනා විදිහට නාගරික මැද පංතිය පාවිච්චි වෙමින් තිබෙන බවයි. එහෙත් ඇත්තටම සිදුවී තිබෙන්නේ නාගරික මැද පංතියට උවමනා විදිහට ජවිපෙ වෙනස් වෙමින් තිබීමය. මෙය වාමාංශික රැඩිකල් පක්ෂයක සිට නව ලිබරල් කතිකාවේ මූලධර්ම සමග නොගැටෙන සම්මුතිකාමී පක්ෂයක් දක්වා වූ විතැන් වීමකි.

කෙසේ වුවද සිත්ගන්නා සුලු එක් නිරීක්ෂනයක් අවසන් වශයෙන් සටහන් කල යුතුය. දන්නා සියලු ශිල්ප යොදා කෙතරම් ස්මාට් වූවත් නාගරික මැද පංතිය ජවිපෙට දීමට සූදානම් විපක්ෂය මිස ආන්ඩු බලය නොවේ. මෙය බෙහෙවින් වැදගත් කරුනකි. ජවිපෙ නිර්ප්‍රභූ මූලයක් සහිත නායක කාරකාදීන් කෙතරම් ස්මාට් ලෙස පෙනී සිටින්නට දැගලුවත් වලවුව මුර කරන රාජකාරිය මිස වලවුවේ අයිතිය ඔවුන්ට දීමට නාගරික මධ්‍යම පංතියේ නෝනාවරු සහ මහත්වරු සූදානම් නැත. එනම් ජවිපෙ උපරිම වෙනසටත් ඉහලින් ඔවුන්ගේ පංති මානය පිහිටා තිබේ.

Sunday, August 9, 2015

ජයම්පති වික්‍රමරත්නගේ එක්සත් ජාතික පක්ෂකරනය

චාර්ය ජයම්පති වික‍්‍රමරත්න එලැඹෙන මහ මැතිවරනයේ දී එජාප මන්ත‍්‍රීධූර අපේක්ෂකයෙක් ලෙස නම් කොට තිබේ. හෙතෙම ලංකා සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප‍්‍රකට සාමාජිකයෙකි. ආචාර්ය වික‍්‍රමරත්න සමග ලසසප හා කොමියුනිස්ට් පක්ෂවල විකල්ප කන්ඩායම් ද එජාපයට මැතිවරනයේ දී සහයෝගය දීමට තීන්දු කොට ඇත. මෙම විකල්ප කන්ඩායම් බිහිවූයේ මෙම පක්ෂ පසුගිය ජනාධිපතිවරනයේ දී මහින්ද රාජපක්ෂට සහය දීමට ගත් තීන්දුවට විරුද්ධවය. තම පක්ෂ කාලයක් තිස්සේ අනුගමනය කල රාජපක්ෂවාදී ප්‍රතිපත්තියට එරෙහිව කැරලි ගැසූ සමසමාජ-කොමියුනිස්ට් විකල්ප කන්ඩායම් ‘වමේ කේන්ද්‍රය’ නමින් විවිධ වැඩසටහන් හා සම්මන්ත‍්‍රන ද පසුගිය කාලයේ සංවිධානය කලේය.

මේ අතර ප්‍රකට මාධ්‍යවේදී ගුනසිරි සිල්වා පසුගිය දිනෙක ‘අවිචාර සමය’ නමින් කෘතියක් එලිදැක්වීය. මෙම කෘතිය සමන්විතව තිබෙන්නේ රාජපක්ෂ පාලන සමය තුළ ඔහු විසින් එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වන ‘සියරට’ පුවත්පතට ලියනු ලැබූ කතුවැකි සමූහයකිනි. ගුනසිරි සිල්වා එක්තරා යුගයක ප‍්‍රකටව සිටියේ වාමාංශික සිනමා විචාරකයෙක් ලෙසයි. බී.ඒ. සිරිවර්ධනගේ කර්තෘත්වය යටතේ කොමියුනිස්ට් පක්ෂයේ ‘ඇත්ත’ පුවත්පත පලවන යුගයේ එම පුවත්පතට සිනමා විචාර සැපයූ ප‍්‍රමුඛ විචාරකයා වූයේ ගුනසිරිය. පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ගුනසිරි කියා තිබ‍ුනේ 'ලිබරල් රනිල්' සාපේක්ෂව ඉදිරිගාමී නායකයෙක් බවයි.

අප දැන් දැන් දකින මේ ප්‍රවනතාව, එනම් වාමාංශික කොටස් එජාපය සමග සන්ධානගත වීම තරමක අලුත් ප‍්‍රවනතාවයක් යැයි කිව හැක. සාම්ප‍්‍රදායිකව අප දුටුවේ වාමාංශිකයින් ලෙස තමුන්ව හදුන්වා ගන්නා පිරිස් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීමය. එහෙත් දැන්, බහුලව පෙනෙන්නේ එහි ප්‍රතිවිරුද්ධ පැත්තට සිදුවීම් පෙල ගැසෙන ආකාරයයි. එජාපය වූ කලී මෙරට ප‍්‍රභූ පංතිය නියෝජනය කරන දක්ෂිනාංශික පක්ෂයකි යන සංකල්පනය සාම්ප‍්‍රදායිකව වාමාංශිකයින්ගේ ‘සාමාන්‍ය දැනුම’ තුල තිබූ සංකල්පනයකි. ගුනසිරි සිල්වා වැනි කෙනෙක් එජාපය ගැන එකල දැරූ ආකල්පය වටහා ගැනීමට ඔහුම ලියා ඇති 'පිහාටු පෑනේ කතාව' නම් වූ ඔහුගේ ස්වයං චරිතාපදානය කියැවීම ප්‍රමානවත්වය. එලෙස එජාපය ස්වකීය පරම සතුරා ලෙස සැලකූ වාමාංශිකයින් පවා මෙලෙස එජාපය සමග හරි හරියට කාන්ඩගත සිත්ගන්නා සුලු නිරීක්ෂනයකි.

මෙබදු කාන්ඩ ගැසීමකට බලපෑ පසුබිම කුමක්ද? රාජපක්ෂ යටතේ අප දුටුවේ ශ‍්‍රීලනිපය වේගයෙන් ජාතිවාදීකරනය වීමකි. එම ජාතිවාදීකරනයට සමගාමීව විශාල අධිකාරිවාදයක් එම පක්ෂ පාලනය වටා ඒකරාශී විය. අද එජාපයට, විශේෂයෙන්ම එහි රනිල් වික‍්‍රමසිංහ නායකත්වයට, සහයෝගය දෙන බොහෝ වාමගාමී කොටස් ඒ කෙරෙහි යොමුවීමට බලපෑ එක් හේතුවක් වන්නේ මෙන්න මේ ජාතිවාදය පිලිබද ප‍්‍රශ්නයයි. ඔවුන් තමන්ගේ ආස්ථානයන් සාධාරනීකරනය කරගන්නේ ද ජාතිවාදය නමැති සාධකය හුවා දැක්වීම මගිනි. ජාතිවාදී මහින්දට වඩා එහෙම නොවන රනිල් හොදයි. තර්කය එන්නේ ඒ විදිහටය.

ප‍්‍රශ්නය මෙයයි. ‘වමේ කේන්ද්‍රයට’ හෝ තමන් ‘වාමාංශික’ ලෙස හදුන්වගන්නා කවරෙක්ට, තමා වාමාංශික යැයි කියා ගන්නා ගමන් මේ වර්ගයේ ආස්ථානයන්ට එලැඹිය හැක්කේද? ඉහත කී 'ජාතිවාදී මහින්දට එරෙහිව එහෙම නැති/ එය අඩු රනිල්' තර්කයේ දෝෂය නම් රනිල්ව හෝ මහින්දව ඔවුන් ක්‍රියාත්මක වෙන සමස්තය තුල තබා සංයුක්තව කියවාගන්නේ නැතිව, තමා ඔවුන් තුල දකින්නට කැමති ලක්ෂනයක් වියුක්ත කොට ගෙන, එය උත්කර්ෂයට නගාලීමයි.

මෙන්න මෙතැනදී ‘වාමාංශය’ යනු කුමක්ද යන අතිශය මූලධාර්මික ප‍්‍රශ්නය නැවතත් වර නැගීමට අපට සිදුවේ. ඓතිහාසිකව වාමාංශික ලෙස හදුන්වනු ලැබූයේ සමාජ සාධාරනත්වය වෙනුවෙන් සහ වඩා සමානාත්මතාවාදී  ( Egalitarian )  සමාජයක් වෙනුවෙන් පෙනී සිටි දේශපාලන කන්ඩායම්ය. ධනවාදය විසින් ඇති කරන අසමානතාවාදී සමාජ සම්බන්ධතා වාමාංශික කොටස් වෙතින් විවේචනයට ලක්විය. මෙම අසමානාත්මතාවාදී සමාජ ව්‍යුහයන්ට/ සමාජ සම්බන්ධතාවලට එරෙහිව අරගල කිරීම ඒ අනුව වාමාංශිකත්වයේ අනන්‍යතාවයයි. ස්ලැවෝයි ජිජැක්ගේ නාමකරනයක් නයට ගෙන කියන්නේ නම් සමාජයේ ‘ඇතුලත් කරගනු ලැබූවන් ’ (Included)   ගේ ආධිපත්‍යය යුක්ති යුක්ත කරන සංස්ථාවන්ට එරෙහිව ‘බැහැර කරනු ලැබූවන් ’  ( Excluded) ගේ විමුක්ති අභිලාෂයන් නියෝජනය කිරීම, එකී විමුක්ති අභිලාෂයන් සංවිධානය කිරීම වාමාංශයේ ඓතිහාසික කාර්යය වූයේය. වාමාංශය ‘වාමාංශය’ වන්නේ එය සතු මෙන්න මේ සුවිශේෂී අනන්‍යතාවය නිසාය.

විප්ලවවාදී සමාජවාදීන් වේවා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හෝ ප‍්‍රතිසංස්කරනවාදී සමාජවාදීන් හෝ වේවා, නව සමාජ ව්‍යාපාරවලට අයත් විවිධ ප‍්‍රවනතා හෝ වේවා - මේ සියල්ලෝ අඩු වැඩි වශයෙන් ඉහත කී අනන්‍යතාවය තුල ස්ථානගත වූවෝ වූහ.

ශ‍්‍රීලනිපය මෙන්ම එජාපයත් අප සමාජයේ පවතින අසමානාතාවාදී සමාජ සැකැස්ම පවත්වාගෙන යන බල ව්‍යුහයන්ය. එනම් ‘ඇතුලත් කරගනු ලැබූවන්’ ගේ දේශපාලන අභිලාෂයන් මෙකී පක්ෂ විසින් නියෝජනය කරයි.

අප සලකා බලන එජාපය පිලිබද නිශ්චිත උදාහරනය ගතහොත් එජාපය යනු ශ‍්‍රමයේ සංවිධානාත්මක බලයට එරෙහි ප‍්‍රාග්ධනයේ ප‍්‍රහාරය නියෝජනය කරන නව ලිබරල්වාදය ලංකාවට හදුන්වාදුන් පක්ෂයයි. එම ප්‍රහාරය සංවිධානය කල පක්ෂයයි. පසුගිය දිනෙක ‘සත්හඩ’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් එහි නායක රනිල් වික‍්‍රමසිංහ පවසා තිබුනේ 1981 අධ්‍යාපන ධවල පත‍්‍රිකාව ක‍්‍රියාත්මක වූයේ නම් අද තිබෙන අධ්‍යාපන ප‍්‍රශ්න බොහොමයක් විසදී තිබෙනු ඇති බවයි. අධ්‍යාපන ධවල පත‍්‍රිකාව වූ කලී අධ්‍යාපනය පෞද්ගලිකකරනය කිරීමට කැදවුම් කල , දහස් ගනන් ශිෂ්‍යයින් හා කම්කරුවන්ගේ විරෝධයට පාත‍්‍ර වූ ගර්හිත ලියැවිල්ලකි. මහජන විරෝධතා නිසා එවකට අධ්‍යාපන ඇමති වූ රනිල් වික්‍රමසිංහට එම ලියැවිල්ල හකුලා ගැනීමට සිදුවූ අතර එම ලියැවිල්ලේ අන්තර්ගතය වෙනුවෙන්, එනම් අධ්‍යාපනය පුද්ගලිකකරනය වෙනුවෙන්, හේ මේ මොහොතේ දීත් විවෘතව පෙනී සිටින්නේ එසේය.

එමතු නොව එජාපයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ගෝලීය ප‍්‍රාග්ධනයට සහන දෙන නිදහස් වෙලද කලාප පන්නයේ අධි ආර්ථික කලාපවලින් යුක්ත සංවර්ධන වැඩසටහනක් යෝජනා කරයි. කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදල්වල පාලනය පෞද්ගලික අංශයට පැවරීමේ යෝජනාවක් පවා එය විසින් ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කොට ඇත. ජයම්පති වික්‍රමරත්න එජාපයේ මේ සාර්ව ආර්ථික ප්‍රවේශය ගැන දරන අදහස කුමක්ද? කම්කරු නීති ලිහිල් කොට කම්කරුවන් සූරාකෑම සදහා පහසුකම් ප්‍රාග්ධනයට සපයා දෙන අධි ආර්ථික කලාප ඇතිකිරීම එජාපය තමන්ගේ මුඛ්‍ය ආර්ථික උපාය මාර්ගය ලෙස ඉදිරිපත් කොට තිබෙන සන්දර්භයක ඒ ගැන ගුනසිරි සිල්වාට කියන්නට තිබෙන්නේ කුමක්ද?

හුදෙක් රනිල් ජාතිවාදී නැහැ යන අදහස ඉදිරිපත් කිරීම තුල ඉහත කී කිසිවක් නිශේධනය වන්නේද? පවතින අධිපති සමාජ සම්බන්ධතා / ව්‍යුහයන් ප‍්‍රතිනිෂ්පාදනය කිරීමට එජාපය දක්වන පුරෝගාමී දක්ෂිනාංශික මැදිහත්වීම නමැති සමස්තය ජාතිවාදය පිලිබද එක් නිරීක්ෂනයක් මත අමතක කොට දැමිය හැකිද? අනාගතයේ දී එජාප අනුග‍්‍රහය මත ඇතිවන අධි ආර්ථික කලාප තුල ගෝලීය ප‍්‍රාග්ධනය විසින් වැටුප් ශ‍්‍රමිකයන් දුෂ්කර ශ‍්‍රම කොන්දේසි තුල සූරාකෑමට ලක්වෙන විට එජාපයෙන් පාර්ලිමේන්තු යන ජයම්පති වික‍්‍රමරත්න ගැනීමට බලාපොරොත්තු වෙන්නේ කාගේ පැත්තද?  තතු මෙසේ වනවිට වරප‍්‍රසාදලාභීත්වයට එරෙහිව නිර්වරප‍්‍රසාදිතයන් සංවිධානය කිරීමේ වාමාංශයේ ඓතිහාසික රැඩිකල් අර්ථයට සිදුවන්නේ කුමක්ද? එම සුවිශේෂී රැඩිකල් අර්ථය අත්හරින වමේ කේන්ද්‍රය තවදුරටත් ‘වමේ කේන්ද්‍රයක්’ යැයි කිව හැකිද? විවිධ හේතු හුවා දක්වමින් එජාපය හෝ ශ‍්‍රීලනිපය සමග කාන්ඩගත වන ‘වාමාංශිකයින්ගෙන් ’ අප ඇසිය යුතු මූලධාර්මික ප‍්‍රශ්න මේවාය.


Saturday, August 1, 2015

විජිත හේරත් සහ නොනවතින විප්ලවය

දෙමල ජාතික සන්ධානය ස්වකීය මැතිවරන ප‍්‍රකාශනය මගින් බලය බෙදීමේ දේශපාලන විසඳුමක අවශ්‍යතාව අවධාරනය කොට තිබේ. කලාපීය ස්වයං පාලනය සඳහා වූ මෙකී ඉල්ලීම සම්බන්ධව ප‍්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුනේ විජිත හේරත් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කොට තිබුනේ මෙම ඉල්ලීමට ජවිපෙ විරුද්ධ බවයි. ෆෙඩරල් ක‍්‍රමයක් ඇති කිරීම ‘රට බෙදීමේ දිශාවට යාමක් ’ බව ඔහු ‘දිවයින’ පුවත්පතට ප‍්‍රකාශ කොට තිබුනේය.

‘නිම නොවූ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් සමාජවාදී විප්ලවය විසින් පවරා ගත යුතුය’ යන්න ජවිපෙ න්‍යායික ස්ථාවරයකි. ඔවුන්ගේ පක්ෂ වැඩපිලිවෙල තුල මෙම ස්ථාවරය සටහන් වී තිබේ. පක්ෂ වැඩපිලිවෙලේ ලියැවී තිබුනත් මෙම වාක්‍යයෙන් කියැවෙන්නේ කුමක්දැයි ජවිපෙ සාමාජිකත්වය බැරෑරුම්ව කල්පනා කොට තිබේදැයි සැක සහිතය. මෙම උද්ධෘතය ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය තුල එන්නකි. පසුගාමී ධනේශ්වර සංවර්ධනයක් තිබෙන රටවල විප්ලවයේ ස්වරූපය ගැන ලියමින් ට්‍රොට්ස්කි මෙම සංකල්පනය වර්ධනය කලේය. අඩු දියුනු ධනවාදී රටවල තිබූ ප‍්‍රශ්නයක් වූයේ සංවර්ධිත ධනවාදී රටවල යම් මට්ටමකින් සාක්ෂාත් කොටගෙන තිබූ ප‍්‍රජාතාන්ත‍්‍රීය ජයග‍්‍රහන නොදියුනු ධනවාදී රටවල ප‍්‍රමානවත්ව ඉටු වී නොතිබීමය.

ට්‍රොට්ස්කිගේ යෝජනාව වූයේ මෙබඳු පසුගාමී රටවල ධනපති පංතිය කෙතරම් දුර්වල ද යත් බටහිර යුරෝපයේ රටවල ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවවලින් ඉටු කල කාර්යයන් හෝ ඉටු කිරීමට ඔවුන් අසමත් බවයි. ඒ අනුව එම කාර්යයන් සාක්ෂාත් කරගැනීම කම්කරු පංතිය තමා වෙත පවරා ගත යුතු බවයි. කම්කරු පංතිය එලෙස එම කර්තව්‍යයන් තමා වෙත පවරා ගනිමින් පටන් ගන්නා විප්ලවය ප‍්‍රජාතාන්ත‍්‍රීය ඉල්ලීම්වලට සීමා නොවී සමාජවාදී ඉල්ලීම් දක්වා නොනැවතී ගමන් කල යුතු බව නොනවතින විප්ලව න්‍යායේ අදහසකි.

ට්‍රොට්ස්කි මේ අදහස සංකල්පගත කලේ සියවසකටත් ඉහතදීය. විසි එක් වන සියවසේ ඌන සංවර්ධිත ධනේශ්වර සමාජයක් වන ලංකාවේ සිට දේශපාලනය කියවන අපට මේ සංකල්පනයේ තිබෙන අදාලත්වය කුමක්ද? ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු මට්ටමකින් ධනේශ්වරකරනය වී තිබුනත් එනයින්ම සමාජ - දේශපාලන තලයන් තුල ප‍්‍රජාතාන්ත‍්‍රීය පෙරලියක් ඇති වී නැත. නූතන පුරවැසියෙක් බිහිවී නොතිබීම, සුලූතර ජාතික කොටස්වල ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම්, කාන්තා නිදහස, මහජන නියෝජිත ආයතන පිලිබද දුර්වල අදහස, රාජ්‍යය ලෞකිකකරනය කිරීම ආදී ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනයක් ඇති විය යුතු පුලුල් කලාපයක් පවතී.

මෙම කර්තව්‍යයන් ඉටු කිරීමට යාමේ දී සමාජයේ ඇටුවම් බැස තිබෙන පසුගාමී ආකල්ප හා සංස්ථාවන් සමග හැප්පීමට සිදුවේ. එම නිසා මෙබඳු පරිවර්තනයක් ඇතිකිරීම සඳහා දැඩි දේශපාලන අධිෂ්ඨානයක් අවශ්‍යයය. 1956 දී සිංහල පමනක් රාජ්‍ය භාෂාව කිරීම පිලිබද ප‍්‍රශ්නය මතු වූ විට එන්.එම්.පෙරේරා කීවේ මෙම යෝජනාවට විරුද්ධ වීම නිසා තමාට යම් කලෙකට දේශපාලන වැලිකතරට යාමට වුව සිදුවනු ඇති බවත් එහෙත් ජාතීන්ගේ සමානත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඊට පවා තමා සූදානම් බවත්ය. මහජාතිවාදය මහෝඝයක් මෙන් නැගී එන පසුබිමක සමසමාජ පක්ෂය ඉසිලූ මෙම අධිෂ්ඨානශීලී ආස්ථානය ලංකා දේශපාලන ඉතිහාසයේ කීර්තිමත් ස්මරනයකි. සමාජයේ ගැඹුරු ප‍්‍රජාතාන්ත‍්‍රීය පරිවර්තනයක් සඳහා මෙන්න මේ විදිහේ බලවත් දේශපාලන අධිෂ්ඨානයක් ඇවැසිය.  

ලංකාවේ සාම්ප‍්‍රදායික ප‍්‍රභූ පක්ෂ තුල එබඳු දේශපාලන අධිෂ්ඨානයක් හෝ විභවයක් නොපවතී. තතු එසේ නම් මෙම ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලයේ වගකීම පවරා ගත යුතුව තිබෙන්නේ වාමාංශයයයි. ලංකාවේ දේශපාලන ඉතිහාසය තුල ඇත්තටම සිදුවූයේ ද එයයි. ලංකාවේ සර්වජන ඡන්ද බලය, ජාතික ස්වාධීනත්වය ආදිය වෙනුවෙන් සටන් කලේ සමසමාජ පක්ෂය මිස සාම්ප‍්‍රදායික ප‍්‍රභූ පංතිය නොවේ. ජාතීන්ගේ සමානත්මතාවය වෙනුවෙන් සමසමාජ පක්ෂය ස්වකීය මුල්කාලීන ඉතිහාසය තුල කීර්තිමත් අරගලයක් කල අතර කුල පීඩනයට එරෙහිව ද එබඳු ආස්ථානයක් එම පක්ෂය ගත්තේය. සමසමාජ පක්ෂයේ එකම සටන වූයේ කම්කරු පංතියට රාජ්‍ය බලය ලබාගැනීමේ සටන නොවේ. එම සමාජවාදී ඉල්ලීම සමග ප‍්‍රජාතාන්ත‍්‍රීය ඉල්ලීම් පුරුද්දන ලදී.

‘ධනේශ්වරය විසින් ඉටු නොකළ ප‍්‍රජාතාන්ත‍්‍රීය කර්තව්‍යයන් සමාජවාදී විප්ලවයේ කොටසකි’ යන්න බැරෑරුම්ව ගන්නේ නම් ඉන් අර්ථවත් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය රැඩිකල් වාමාංශය බරපතල ලෙස භාරගත යුතු අරගලයකි යන්නය. එනයින් පීඩනයෙන් නිදහස් වීමට සුලූතර ජාතික කොටස්වලට තිබෙන අයිතිය වෙනුවෙන්, කාන්තා නිදහස වෙනුවෙන්, ප‍්‍රජාතාන්ත‍්‍රීය සම්ප‍්‍රදායන් සමාජය තුල ශක්තිමත් කිරීම වෙනුවෙන්, රාජ්‍යය ලෞකිකකරනය කිරීම වෙනුවෙන්, එල්ජීබීටී ජනයාගේ අයිතීන් වෙනුවෙන් - පොදුවේ මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් වඩාත්ම පුරෝගාමීව අරගල කල යුත්තේ රැඩිකල් වාමාංශයයි. සමාජවාදී අරගලය යනු එම  සටන දේශපාලන-ආර්ථික තලය දක්වා දීර්ඝ කිරීමකි. ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලය සහ සමාජවාදය යනු, ඒ අනුව, අවධි දෙකක තිබෙන අවස්ථා දෙකක් නොව, එකම නොනවතින අරගලයක අඛන්ඩත්වයක් තුල පවතින්නකි.

ඒ අනුව පීඩිත දෙමල ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන් වෙනුවෙන් අන් කාටත් වඩා පුරෝගාමීව පෙනී සිටිය යුත්තේ රැඩිකල් වාමාංශයයි. ජාතික පීඩනයෙන් නිදහස්වීම සඳහා දෙමල ජනයාගේ පැත්තෙන් මතුවන අරගලය තුල ප‍්‍රජාතාන්ත‍්‍රීය සන්ධාරයක් ඇත. එම ඉල්ලීමේ ප‍්‍රජාතාන්ත‍්‍රීය සන්ධාරය වෙනුවෙන් පෙනී සිටීම රැඩිකල් වාමාංශයේ කාර්යයයි. එය සමාජයේ පොදු ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලයේ සංයුක්ත කොටසකි. ලංකාවේ සිංහල ධනපති පක්ෂ දෙක ඉතිහාසය තුල අඩු වැඩි වශයෙන් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් දැක්වූයේ මිත‍්‍රශීලී ආකල්පයක් නොවේ.  පීඩිත ජනතාවකගේ මූලික ප‍්‍රජාතාන්ත‍්‍රීය ඉල්ලීම්වලට පවා විරුද්ධ වන වාමාංශික පක්ෂයක් වේ නම් එයට උරුම විය යුත්තේ ඉතිහාසයේ කුනු කූඩය මිස අනෙකක් නොවේ.

Monday, July 27, 2015

ප්‍රාග්ධනයේ බලයට එරෙහි යුරෝ - ඇමරිකානු ප්‍රතික්‍රියාව

ජෙරමි කෝබින්ට සහයෝගය දීමෙන් වැලැකී සිටින ලෙස බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් එරට ලේබර් පක්ෂයේ සාමාජිකත්වයෙන් පසුගිය දා ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය.බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂ නායකත්වය සඳහා වූ ඡන්දය නොබෝ දිනෙකින් පැවැත්වීමට නියමිතය. මේ වනවිට ඊට අදාළ ඡන්ද ව්‍යාපාරය දියත් වී තිබේ. කෝබින් නායකත්වයට පත්වීම නිසා පක්ෂය නැවත සාම්ප්‍රදායික වාමාංශික පක්ෂයක් වී එය ‘80 දශකය වෙත ‘පසුබසිනු ’ ඇතැයි බ්ලෙයාර් ස්වකීය ප‍්‍රකාශයෙන් අනතුරු හඟවා සිටියේය.

ජෙරමි කෝබින් වූ කලී දීර්ඝ කාලයක් තිස්සේ ලේබර් පක්ෂයේ වාමාංශය නියෝජනය කරන්නෙකි. පසුගිය මහ මැතිවරනයෙන් ලේබර් පක්ෂය වාර්තාගත ලෙස කොන්සර්වැටිව් පක්ෂය ඉදිරියේ පරාජය වූ අතර පක්ෂ නායක එඞ්වඞ් මිලිබෑන්ඞ් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්විය. ඉන් පුරප්පාඩු වූ තනතුර උදෙසාය මෙම ඡන්දය පැවැත්වෙන්නේ. නායකත්ව අපේක්ෂකයින් සිවු දෙනෙක් මේ වනවිට ඒ සඳහා තරග වැද සිටී. කෝබින් තරගයට ඉදිරිපත් වී සිටින්නේ වාමවාදී අපේක්ෂකයෙක් ලෙසයි. ආර්ථික අර්බුදයට බ්‍රිතාන්‍යය ගොදුරු වීමත් සමග එරට ආන්ඩුව විසින් ක‍්‍රියාවේ යොදවා තිබෙන ‘කප්පාදු පිලිවෙත්’ වලට දැඩි විරෝධය පල කරන කෝබින් මේ වනවිට ලේබර් ආධාරකරුවන් අතර සීඝ‍්‍ර ජනප‍්‍රියත්වයක් අත්කරගනිමින් සිටී. ඔහු තැචර්වාදයේ සහ බ්ලෙයාර් විසින් හදුන්වාදුන් ‘නව ලේබර්වාදයේ‘ ( New Labour ) ප‍්‍රකට විවේචකයෙකි.

බ්‍රිතාන්‍යයේ ප‍්‍රධානතම වෘත්තීය සමිති සම්මේලනයක් වන ‘යුනයිට්’ සම්මේලනය ස්වකීය සහයෝගය කෝබින් වෙත මේ වනවිට පලකොට ඇත. පටන් ගැන්මේ දී කෝර්බින්ගේ අපේක්ෂකත්වය ‘විහිලුවක් ’ ලෙස ලේබර් පක්ෂයේ ඉහල මාලය විසින් ගනන් ගනු ලැබුවත් දැන් දැන් එම අපේක්ෂකත්වය ‘තර්ජනයක් ’ ලෙස එය විසින් සැලකිල්ලට ගෙන තිබෙන බවට සලකුනකි බ්ලෙයාර්ගේ ප‍්‍රකාශය.

ලේබර් පක්ෂය තුළ රැඩිකල් වාමාංශික අපේක්ෂකයෙක් සඳහා පුලුල් සහයෝගයක් ගොනු වෙමින් තිබීම පසුගිය වසර කිහිපය තුල යුරෝපය තුල හමා යමින් තිබෙන වාමගාමී රැුල්ලේ තවත් එක් අවස්ථාවකි. නව ලිබරල් කප්පාදු පිලිවෙත්වලට විරෝධය පල කරන ග‍්‍රීසියේ සිරීසා, ස්පාඤ්ඤයේ පොදෙමොස් ආදී වාමාංශික ජන ව්‍යාපාරවල නැගීම සමග එකට ගත්විට මෙම ප‍්‍රවනතාව වැදගත් දේශපාලන හැඟවුමක් ඉදිරිපත් කොට සිටී. එම හැඟවුම කවරේද?

1970 දශකයේ අග සිට ගෝලීය දේශපාලනය නිර්වචනය කරනු ලැබූයේ නව ලිබරල් ධනවාදයේ උද්ගතය විසිනි. නව ලිබරල්වාදය එතෙක් පැවැති සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සුබසාධක රාජ්‍යයට එරෙහි මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කලේය. ප‍්‍රාග්ධනයේ ප‍්‍රසාරනය සඳහා සුබසාධක රාජ්‍යය බාධාවක් වූ අතර එම බාධාව සාහසික ලෙස කඩා බිඳ දමන ලදී. එහි ප‍්‍රතිඵල ලෙස ගෝලීය පරිමානයෙන් විවිධ රටවල පහල පාංතික ජනයා එතෙක් දිනාගෙන තිබූ සමාජ අයිතීන් ප‍්‍රාග්ධනයේ ප‍්‍රහාරයට ගොදුරු වූයේය. වෘත්තීය සමිතිවලට පහර දෙන ලදී. ශ‍්‍රමයේ සංවිධානාත්මක කේවල් කිරීමේ බලය ඒ අනුව මැඩ පවත්වනු ලැබුනි. නව ලිබරල්වාදයේ ප්‍රවාහය එතකේ පැවැති සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නව ලිබරල් රාමුව තුල ප්‍රතිඅර්ථකථනයට භාජනය කලේය.එහි තාර්කික අවසානය යුරෝපයේ ප්‍රධාන පෙලේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ නව ලිබරල්කරනයට ගොදුරු වීමයි. බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය 1997 දී ටෝනි බ්ලෙයාර් යටතේ ‘නව ලේබර්වාදය’ වැලද ගැනීම සාම්ප්‍රදායික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල මෙම නව ලිබරල්කරනය සම්බන්ධ සම්භාව්‍ය උදාහරනයකි.

නව ලිබරල්වාදයේ මෙම විජයග‍්‍රාහී ගමන පටන් ගන්නේ 1973 දී චිලී දේශයෙනි. සැල්වදෝර් අයියන්දේගේ සමාජවාදී ආන්ඩුව පෙරලා දමා ඔගස්තෝ පිනෝශේ එක්සත් ජනපදය අනුබලය ලත් හමුදා කුමන්ත‍්‍රනයකින් බලය ගැනීමත් සමග නව ලිබරල් අත්හදා බැලීම පටන් ගත් අතර මෙම ප‍්‍රවාහය ලතින් ඇමරිකාවෙන් ඇරඹී, ‘80 දශකයේ දී තැචර්වාදය සහ රේගන්වාදය ලෙස බ‍්‍රිතාන්‍යයට හා ඇමරිකාවටත්, ‘90 දශකය වන විට මහාද්වීපික යුරෝපයටත් ගලා ආයේය. පහල පාන්තික ජනයාගේ සමාජ අයිතීන්ට පහර දෙන විට ඇති වන ප‍්‍රතිවිරෝධතා මැඩලීම සඳහා දේශපාලන අධිකාරීවාදයක් වර්ධනය කෙරින. මේ අනුව ‘80 දශකයට මෙහා ඉතිහාසය යනු පහල පාන්තික ජනකොටස්වල සමාජ හා ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන්ට එරෙහිව ප‍්‍රාග්ධනය පැත්තෙන් දියත් වූ නොනවතින ප‍්‍රහාරයක ඉතිහාසයයි. 2008 ගෝලීය ආර්ථික අර්බුදය ඇති වන තුරු නව ලිබරල්වාදයේ මෙම ප‍්‍රහාරය විජයග‍්‍රාහී ලෙස ඉදිරියට ඇදී ආයේය. පෞද්ගලිකකරනය, සමාජ සේවා වෙලඳපොලකරනය, ප‍්‍රාග්ධනයට අධිකතර ලෙස දෙන සහන සහ ආර්ථිකයෙන් රාජ්‍යය ඉවත්වීම යනාදී ලක්ෂනයන්ගෙන් මෙකී ප‍්‍රහාරය සංයුක්තය.

මේ වනවිට යුරෝපය තුල ඇති වී තිබෙන රැඩිකල් වාම සමාජ ප‍්‍රජාතාන්ත‍්‍රික රැල්ල නව ලිබරල්වාදයේ මෙම ප‍්‍රහාරයට එරෙහිව උද්ගත වී තිබෙන ප‍්‍රතිවිරෝධය පෑමක් ලෙස හඳුනාගත හැක. යුරෝපය තුල මෙම වාම ප්‍රවාහය විසින් මතු කොට තිබෙන ප්‍රධානතම තේමාව වනුයේ තම තමන්ගේ රටවල ආන්ඩුවල නව ලිබරල් කප්පාදු පිලිවෙත්වලට එරෙහි විරෝධයයි. ජෙරමි කෝබින් ලේබර් පක්ෂයේ තරුන ආධාරකරුවන් අතර ජනප්‍රිය වීමට එක් හේතුවක් වී තිබෙන්නේ කප්පාදු පිලිවෙත් කෙරෙහි කෝබින් දක්වන අශමනීය ප්‍රතිවිරෝධයයි.

ගෝලීය නව ලිබරල්වාදයට එරෙහි මෙම ‍ලෝක ව්‍යාප්ත ප‍්‍රතික‍්‍රියාවේ පලමු ගිනි පුපුරු මතු වූයේ ලතින් ඇමරිකානු රටවලිනි. වෙනිසුවේලාවේ චාවේස් බලයට ඒම, බොලිවියාවේ මොරාලේස්ගේ ආන්ඩුව පිහිටුවීම ආදී සිදුවීම් එහි ආරම්භක ලක්ෂ්‍යයයි. එක්සත් ජනපදයේ ඇති වූ වෝල් වීදිය අල්ලා ගැනීමේ ව්‍යාපාරය ද මෙම ප‍්‍රවාහයට අයත්ය. දැන් මෙම ප‍්‍රතිවිරෝධතා ප‍්‍රවාහය යුරෝපයට ද ඇතුලූ වී තිබේ. ප්‍රාග්ධනයට ඉහලින් සමාජය තැබීමේ අවශ්‍යතාවය වූ කලී මහාද්වීප භේදයෙන් තොරව මෙම සියලු ව්‍යාපාර විසින් බෙදාහදා ගනු ලැබෙන පොදු වටිනාකමයි. පොදු තේමාවයි.

මෙම වාම සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රැල්ල, එහි සියලූ සීමාවන් තිබියදීම, ගෝලීය වශයෙන් ප‍්‍රාග්ධනය සහ ශ‍්‍රමය අතර බලතුලනයේ තීරනාත්මක විතැන් වීමක් පිලිඹිබු කරයි. නව ලිබරල්වාදී පර්යායේ සමතුලිතය දෙදරීමකට ලක්වී තිබෙන අතර ප‍්‍රාග්ධනයේ අනවරත ප‍්‍රහාරයට එරෙහි සංවිධානාත්මක විරෝධය මෙම වාම ප‍්‍රවාහය තුල කැටී වී තිබේ. ප‍්‍රාග්ධනයේ ආධිපත්‍යයට එරෙහි මෙම ප‍්‍රතිවිරෝධය නව රැඩිකල් ප‍්‍රති-ධනවාදී දේශපාලන ව්‍යාපෘතියක් සඳහා වූ පුලුල් විභවයක් ගැබ් කොට ගත්තකි. ගෝලීය නව ලිබරල් හෙජමොනිය අභියෝගයට ලක්වෙමින් තිබේ. එම අභියෝගය පුලුල් ප‍්‍රති- ධනවාදී ව්‍යාපෘතියක් දක්වා වර්ධනය කිරීමට නම් පලමුව ගෝලීයව ඇතිවෙමින් තිබෙන මෙම වෙනස නිවැරදිව වටහාගෙන සිටිය යුතු වන්නේය.  

Wednesday, July 22, 2015

ක්ෂාමා සාවන්ත් සහ වාමාංශය පටන් ගත යුතු තැන

ක්ෂාමා සාවන්ත් එක්සත් ජනපදයේ සියැටල් නාගරික සභාවේ මන්ත‍්‍රීවරියකි. ඇය 2014 දී මෙම නාගරික සභාවට තේරී පත්වූයේ කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ ඇමරිකානු අංශය වන ‘සමාජවාදී විකල්පය’ සංවිධානය නියෝජනය කරමිනි. 1877 දී ඒ.ඩබ්.පයිපර් සියැටල් නාගරික සභාව තේරී පත්වුවාට පසු තමා සමාජවාදිනියක ලෙස හඳුන්වගන්නා අයෙක් මෙම ආයතනයට ඡන්දයෙන් තේරී පත්වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

සාවන්ත්ගේ ජයග‍්‍රහනය වැදගත් වන ආකාර දෙකකි. පලමුව එක්සත් ජනපදය වැනි රටක රැඩිකල් වාමාංශය අතිශයින් දුර්වලය. බලවත් ධනපති පක්ෂ දෙකක් විසින් මුදුනේ සිට යටට එරට දේශපාලන ආධිපත්‍යය හොබවයි. 20 වන සියවසේ මුල් කාර්තුවෙන් මෙහා එම රටේ ප‍්‍රබල වාමාංශික දේශපාලන සම්ප‍්‍රදායක පැවැත්ම හෝ නොවීය. සීතල යුද්ධ කාලයේ ඇති වූ ප‍්‍රචාර උඩ ‘සමාජවාදය’ යන වචනය කෙරෙහි ඇමරිකානු සාමාන්‍ය ජන විඥානය තුල තිබෙන්නේ එදිරිවාදී අදහසකි. එම තතු තුල සමාජවාදී ප‍්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින අයෙක් මැතිවරනයෙන් තේරී පත්වීම, ඉතාම සුලු දෙයක් යැයි පෙනී යා හැකි වුවද, එම සමාජයට සාපේක්ෂව එය ඉදිරි පියවරකි.

වැදගත්ම කරුණ දෙවැන්නයි. සාවන්ත් ජයගන්නේ නිකම් නොව බිම් මට්ටමෙන් ගෙන ගිය දීර්ඝකාලීන සමාජ අරගලයක ප‍්‍රතිඵලයක් ලෙසය. 2012 දී වෝල් වීදිය අල්ලා ගැනීමේ ව්‍යාපාරය පැන නැංග අවස්ථාවේ සියැටල් නගරයේ එම ව්‍යාපාරය සංවිධානය කලේ සාවන්ත් විසිනි. වෝල් වීදියේ අත්දැකීමෙන් ඉක්බිති සියැටල් කම්කරුවන්ගේ අවම වැටුප පැයට ඩොලර් 15 ක් කල යුතු බවට වූ ඉල්ලීම වටා මහජන ව්‍යාපාරයක් ඇයගේ පක්ෂය විසින් සංවිධානය කරයි. මෙම ව්‍යාපාරය ජනගත කිරීම සදහා වේදිකාවක් ලෙස ඇය යොදාගන්නේ සියැටල් නාගරික මැතිවරනයයි. ප‍්‍රධාන පක්ෂ දෙක ’මහා පරිමාන පොහොසතුන්ගේ පක්ෂ’ ලෙස හඳුන්වන ඇය අවම වැටුප වැඩි කිරීමේ ඉල්ලීම වටා ශ‍්‍රමික ජනයා මෙම පක්ෂවලින් ස්වාධීනව සංවිධානය වීමේ වැදගත්කම අවධාරනය කරන්නීය. වෘත්තීය සමිති, බිම් මට්ටමේ වෙනත් ප‍්‍රජා සංවිධාන මෙම ඉල්ලීමට සහයෝගය ලබාදෙන අතර විශාල ධනපති පක්ෂවල මැතිවරන ව්‍යාපාරයට වඩා බෙහෙවින් වෙනස්, ප‍්‍රජා මූලික මැතිවරන ව්‍යාපාරයක් මෙම බහුජන සංවිධානවල සහයෝගය සහිතව ඇය විසින් ක‍්‍රියාවට නංවන්නීය.

මෙම ව්‍යාපාරයේ ප‍්‍රතිඵල ලෙසය ක්ෂාමා සාවන්ත් සියැටල් නාගරික සභාවට තේරී පත්වන්නේ. සැලකිය යුතු ආන්දෝලනයකින් ඉක්බිති අවම වැටුප වැඩිකිරීම සඳහා වූ ඇයගේ යෝජනාව නාගරිකය තුල ජයගනී. මේ වනවිට මෙම ඉල්ලීම වෙනත් ප‍්‍රාන්තවලටත් පැතිරී ගොස් තිබේ. කම්කරුවන් ඇතුලු ශ‍්‍රමික කොටස් දේශපාලන වශයෙන් සක‍්‍රීය කිරීම සඳහා මේ ඉල්ලීම බලපා තිබෙන අතර සාවන්ත් මේ වනවිිට ස්ටාර්බක් හා ඇමසන් බඳු ප‍්‍රධාන පෙලේ සමාගම්වල කම්කරුවන් වෘත්තීය සමිතිගත කිරීම සඳහා ව්‍යාපාරයකට මුල පුරා තිබේ.

ප‍්‍රති- සමාජවාදී අදහස් තදබල ලෙස මුල්බැසගෙන තිබෙන සමාජයක සමාජවාදී අදහස් ජනප‍්‍රිය කිරීමේ මාධ්‍යයක් ලෙස නියෝජිත මැතිවරන පාවිච්චි කළ හැකි ආකාරය ගැන සමකාලීන උදාහරනයකි සාවන්ත්ගේ අත්දැකීම. අවම වැටුප වැඩි කිරීම සඳහා වූ ඉල්ලීම සමාජවාදී විකල්පය සංවිධානය විසින් ඉදිරියට දමන තුරු එය දේශපාලන සටන් පාඨයක් ලෙස මතුව තිබූ එකක් නොවේ. එහෙත් ශ‍්‍රමික ජනයාගේ පැත්තෙන් බලන විට එය අත්‍යවශ්‍ය ඉල්ලීමක් විය. මෙම ඉල්ලීම මතු වී ආ වේලේ සමාජයේ ඉහල පාංතික කොටස් එයට සිය විරෝධය පෑවේය. කම්කරුවන්ගේ වැටුප් වැඩිකලහොත් ‘ආර්ථිකය අක‍්‍රීය වනු ඇතැයි ’ ඒ විරෝධතාවලින් කියැවින. එහෙත් අනිත් අතට අවම වැටුප සඳහා බිම් මට්ටමෙන් ප‍්‍රබල ව්‍යාපාරයක් වර්ධනය විය. කම්කරුවන් හා තරුනයන් සක‍්‍රීයව එම ව්‍යාපාරය හා සම්බන්ධ විය. මේ පොදු ඉල්ලීම වටා ප‍්‍රජා මූලික ව්‍යාපාරයක් ඇති කිරීම සාවන්ත්ගේ ජයග‍්‍රහනයේ පදනම වූයෙය. එනම් හුදෙක් පක්ෂයක් විසින් මෙහෙයවනු ලැබෙන, උඩ සිට පහලට සංවිධානය වූ ව්‍යාපාරයකට වඩා පක්ෂයද කොටස්කරුවෙක් වූ පුලුල් ප‍්‍රජාතාන්ත‍්‍රීය බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීමට දැක්වූ සමත්කමයි. අවම වැටුප් පිළිබඳ ඉල්ලීම සාවන්ත්ගේ හෝ ඇගේ පක්ෂයේ ඉල්ලීමක් නොවී සමාජයේ පහල පාංතික කොටස්වල ඓන්ද්‍රීය ඉල්ලීමක් ලෙස වර්ධනය වූයේ එම ව්‍යාපාරයේ තිබූ මෙකී ප‍්‍රජාතාන්ත‍්‍රීය ගතිකත්වය නිසාය.

මේ ලංකාවේ මහ මැතිවරන කාලයයි. මේ මොහොතේ ලංකාවේ කම්කරු ව්‍යාපාරය ඉතිහාසයේ දුබලම අඩියට වැටී තිබේ. 1980 ජූලි වර්ජනයෙන් පසු වෘත්තීය සමිති ව්‍යාපාරය විශාල බිඳ වැටීමකට ලක්විය. වැටුප් ශ‍්‍රමිකයින්ගෙන් අති බහුතරය අඩු තරමේ වෘත්තීය සමිති තුල හෝ සංවිධානය වී නැත.  ‘40-‘70 දශකවල මෙරට දේශපාලනය තුල මහත් බලයක් අභ්‍යාස කල ශ‍්‍රමික ජනයා මත පදනම් වූ බහුජන වාමාංශික පක්ෂ ද අද නැත.

එහෙත් එබඳු දේශපාලනයක විභවය ඉතාමත් සක‍්‍රීයය. හැට ගණන්වලට සාපේක්ෂව වර්තමානය වනවිට ජනගහනයේ විශාල පිරිසක් වැටුප් ශ‍්‍රමිකයින් බවට පත්වී සිටී. ආර්ථික ලිබරල්කරනයත් සමග ශ‍්‍රමික පංතියේ ස්වභාවය වෙනස් වී තිබෙන අතර ඔවුන් මුහුන දෙන ප‍්‍රශ්නවල රූපාකාරයන් ද තීව‍්‍ර වී තිබේ. මේ වනවිට වතු කම්කරුවන් සිය වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එලැඹී සිටී. අවම වැටුප රු.2500 න් ඉහල දමන ලෙස වූ ඉල්ලීමක් පුද්ගලික අංශයේ ශ‍්‍රමිකයින්ගේ පැත්නෙත් කාලාන්තරයක් තිස්සේ ඉදිරිපත් වෙමින් ඇත.

එහෙත් මේ කිසිදු අභිලාෂයක් බල දේශපාලන තලය තුල සෘජුව නියෝජනය වන්නේ නැත.   ඕනෑම ප‍්‍රති- ධනවාදී දේශපාලනයක අත්‍යවශ්‍ය අංගයක් වන්නේ ප‍්‍රාග්ධනයේ පාර්ශවීය අනෙකා වන වැටුප් ශ‍්‍රමය දේශපාලනිකව සංවිධානය කිරීමයි. අපගේ වාමාංශික පක්ෂ නැවත පටන් ගත යුත්තේ මේ මූලික ලක්ෂ්‍යයෙනි. එබඳු වෑයමක දී ක්ෂාමා සාවන්ත්ගේ සාර්ථකත්වය වැනි අත්දැකීම්වලින් උකහාගත හැකි පාඩම් බොහෝය.