Saturday, December 27, 2014

මෛත්‍රීපාල යනු රැවුල මුඩු කල රාජපක්ෂය

2009 යුද්ධය නිමාවීමෙන් පසු රට තුල තහවුරු වූ හෙජමොනිය වූ කලී නව ලිබරල් ධනවාදය සහ සිංහල ස්වෝත්තමවාදය අතර ඇති වූ සන්ධානයයි. මහින්ද රාජපක්ෂ මෙම හෙජමොනික සැකැස්ම නඩත්තු කල අසහාය පාලකයා ලෙස ඉස්මතු වූයේය. සුලූ ජාතික ප‍්‍රජාවන්ගේ දේශපාලන ඉල්ලීම් ත‍්‍රස්තවාදයක් ලෙස අර්ථ දැක්වූ රාජපක්ෂ ජාතික ප‍්‍රශ්නය පිලිබඳ සංවාදය දේශපාලන සාකච්ඡාවේ මුල්ලකට විසි කොට දැම්මේය. 2009 ට පෙර ජාතික ප‍්‍රශ්නය ගැන සංවාදය භ‍්‍රමනය වූයේ බලය බෙදීමේ ආකෘතිය කුමක් විය යුතුද යන්න වටා නම් රාජපක්ෂ එය ජාතික ගීය දෙමල භාෂාවෙන් ගැයීම පවා ‘මහත් අපරාධයක්’ ලෙස සලකුනු වෙන තැනකට ගෙන ආවේය. දෙමල ජනතාවට ඉතිහාසයේ දී අසාධාරනයක් විය යන අදහස 2009 ට පෙර යුගයේ දකුනු ලංකාවේ ‘සාමාන්‍ය දැනුමේ’ කොටසක් ලෙස තිබුනා නම් රාජපක්ෂ ව්‍යාපෘතිය එම සාමාන්‍ය දැනුම අකා මකා දැමීය. දැන් එම සාමාන්‍ය දැනුම සංයුක්ත වන්නේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදය  ඕපපාතිකව බිහි වූ බවටත් දෙමල ජනයාට දෙමල වීම නිසා විශේෂ ප‍්‍රශ්නයක් නැති බවටත් වන සංකල්පනයෙනි.

සංස්කෘතික තලයේ සිංහල ජාතිකවාදය ජයග‍්‍රාහී වූ කැපී පෙනෙන ලක්ෂ්‍යයක් වන්නේ සදාචාරවාදය ලැබූ ජයග‍්‍රහනයයි. දුම්පානය සීමා කරන නීති, මතට තිත, ඉරිදා ටියුෂන් විරෝධය ආදිය හරහා ප‍්‍රකාශයට පත්වූයේ සිංහල බෞද්ධ සදාචාරවාදය ලැබූ ප‍්‍රගමනයයි. මෙම සදාචාරවාදී අලංකාරිකය පසුපස ආර්ථිකමය නව ලිබරල්කරනය සාර්ථක ලෙස සිය අඩු පඩු විදහා ගන්නට වන්නේය. අධ්‍යාපනය ඇතුලූ සමාජ අයිතීන් වෙලඳපොලකරනයට ලක් කිරීමේ සිට සමාජය ප‍්‍රාග්ධන සංසරනයට උචිත ලෙස ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කළ ‘ජාතික භෞතික සැලැස්්ම’ දක්වා මෙම නව ලිබරල්වාදී ආර්ථික චින්තනය විහිදෙන්නේය. මූලික වශයෙන් චීන ආධාර මත සිදු කල යටිතල පහසුකම් නැංවීමේ මෙගා ව්‍යාපෘති වූ කලී කාර්යක්ෂම ප‍්‍රාග්ධන සංසරනයට අවශ්‍ය කරන ලෙස සිදු කල භෞතික ප‍්‍රතිසංස්කරනයන්ය. ව්‍යාපාර වලට නිදහස දීම, ආයෝජන ගෙන්වා ගැනීම ආදිය ගැන මහත් උත්කර්ෂයෙන් කථා කෙරෙන්නට වූ අතර නිෂ්පාදනයේ ඵල බෙදී යාම පිළිබඳ සංවාදයකින් තොරව ද්‍රව්‍යමය ධනය වැඩි කිරීම මෙම උත්කර්ෂය පසුපස පැවැති තාර්කිකයයි. මෙම මොඩලය ‘අයවැය සහන දීම’ වැනි සරල සුබසාධන ක‍්‍රියාවල අයිසිංවලින් සරසා තිබෙන්නකි. සංවර්ධනය වූ කලී ගෝලීය ප‍්‍රාග්ධනයට පහසුකම් සැලසීම සඳහා ඉදිකෙරෙන අධිවේගී මාර්ග සහ ගුවන් තොටුපොලවල් සැදීමය යන්න මේ වනවිට පොදුජන ‘සාමාන්‍ය දැනුමේ’ කොටසකි. මෙම ඒකමානීය සංවර්ධනවාදය පශ්චාත් 2009 යුගයේ ශ‍්‍රී ලංකාව තුළ බිහි වූ හෙජමොනික සැකැස්මේ තවත් මානයකි.

ඉහත කී සියලූ ලක්ෂන ශක්තිමත් රාජ්‍යයක් නමැති ව්‍යුහය තුල සවිමත්ව පෙල ගස්වා තිබේ. ඒ අනුව රාජපක්ෂ රෙජිමය යනු හුදෙක් මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුල නොවේ. එම රෙජිමයේ දේශපාලන වැදගත්කම වූ කලී එය විසින් ලංකාව තුළ බිහි කල නව හෙජමොනික බල සැකැස්මයි.

මෙම සන්දර්භය තුල තබා වර්තමාන ජනාධිපතිවරන ආරෝව සලකා බැලූ විට අපට පෙනෙන්නේ කුමක්ද? රාජපක්ෂට එරෙහි විකල්ප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින මෛත‍්‍රීපාල සිරිසේන ‘අලූත් රටක්’ ගැන පොරොන්දුවක් රට ඉදිරියේ තබයි. එහෙත් හරයෙන් ගත් විට රාජපක්ෂ විසින් ගොඩනැගූ හෙජමොනිය අබිබවා යන ස්වභාවයක් මෛත‍්‍රීපාලගේ ව්‍යාපෘතිය විසින් ඉදිරිපත් කරයිද? ජනප‍්‍රියවාදී මැතිවරන වේදිකා වල මේ ගැන කථා නොවුනත් මේ මොහොතේ බැරෑරුම්ව සලකා බැලිය යුත්තේ මේ ප‍්‍රශ්නයයි. රාජපක්ෂ මෙන්ම මෛත‍්‍රීපාල ව්‍යාපෘතිය ද ස්වකීය සුජාතභාවය ලබා ගන්නේ සිංහල මහජාතිවාදී කතිකාව තුලිනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන එය නගන ඝෝෂාව 18 වන සංශෝධනය අහෝසි කිරීමට සීමාවූවකි. ජාතික ප‍්‍රශ්නය ගැන ඔහුගේ ව්‍යාපාරය නිශ්ශබ්දය. ජාතික පීඩනය කියා දෙයක් ගැන ඔහුගේ ව්‍යාපාරය කථාකරන්නේවත් නැත. රාජ්‍යයේ ඒකීයභාවය සහ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙන බවට වූ ආන්ඩුක‍්‍රම ප‍්‍රතිපාදනයන්ට ( මේ සංශෝධනය සඳහා තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වගන්ති වේ ) තමා අත නොතබන බවට හෙතෙම ප‍්‍රතිඥා දෙන්නේය. ජාත්‍යන්තර බලවේග වලින් රනවිරුවන් රැකගන්නා බවට ද ඔහු ශපථ කරයි.

ආර්ථික තලයේදී පවතින නව ලිබරල්වාදී ආර්ථික චින්තනය පිළිබඳ කිසිදු බැරෑරුම් විවේචනයක් ඔහුගේ ව්‍යාපාරය තුල නැත. මෙගා ව්‍යාපෘති සම්බන්ධ ඔහුට තිබෙන ප‍්‍රශ්නය ඒවායෙන් ගසාකෑම් සිදුවීම පමනි. අධ්‍යාපනය සමාජ අයිතියක සිට වෙලඳ භාන්ඩයක් දක්වා පිරිහෙලන ශිෂ්‍ය නය ක‍්‍රම ආදී යෝජනා ඔහු විවෘතව ඉදිරිපත් කරයි. පවතින ඒකමානීය සංවර්ධනවාදය රාජපක්ෂ පවුලේ ග‍්‍රහණයෙන් මුදවා ගැනීමය ඔහුගේ ප‍්‍රවේශය වන්නේ. මෙමගින් සිදුවිය හැකි උපරිම දෙය රාජපක්ෂ පවුලේ ගජමිතුරන් කවයක අත පවතින ආර්ථික බලය සාම්ප‍්‍රදායික ධනපති කණ්ඩායම් වෙත යලි මාරු වීමකි. දුම්පානය නතර කිරීම, සුරා සූදුවට වැට බැඳීම, අරක්කු මත්පැන් වලින් තොර රටක් හැදීම බඳු සදාචාරවාදී සටන්පාඨවලට ඔහුගේ ප‍්‍රතිපත්ති තුළ සුවිශේෂී වටිනාකමක් තිබේ.

මෛත‍්‍රීපාලගේ ව්‍යාපාරය සන්දර්භගත වී තිබෙන්නේ රාජපක්ෂ විසින් බිහිකල හෙජමොනික සැකැස්මේ  හතර මායිම තුලය. එය වෙනත් හැඩයකින් ප‍්‍රතිනිෂ්පාදනය කරනවාට වැඩි දෙයක් ඔහුගේ ව්‍යාපෘතිය විසින් අඩු තරමින් යෝජනා කරන්නේවත් නැත. මේ නිසා එලැඹෙන ජනවාරි 08 වන දා කවුරු දින්නත් මෙරට පීඩිත ජනකොටස් වලට අභිමුඛ වනු ඇත්තේ එකම හෙජමොනික බල සැකැස්මකි. පරන වතුර පරන බෝතලයෙන්ම බොනවාද? ඒවා අලූත් බෝතලයකින් බොනවාද? මේ ජනාධිපතිවරනය තුළ ප‍්‍රධාන දහරාව විසින් ඉදිරිපත් කොට තිබෙන තේරීමයි.