Saturday, April 12, 2014

ඒ පා පහර වැදුනේ කාටද?

මාතලේ කයිකාවල පදිංචි පස් හැවිරිදි නාමල් තරංග රනතුංග දරුවාට මාතලේ මූලික රෝහලේ වෛද්‍යවරයෙක් විසින් පයින් ගැසීම පිලිබද පුවත පසුගිය දිනවල පුවත් පත් රාශියක අවධානයට හසු වී තිබුනි. අප්‍රේල් 08 වන දා'දිවයින' පුවත්පතට අනුව මේ දරුවා වෛද්‍යවරයාගේ කාමරයේ හාඩ්බෝඩ් බිත්තියට හේත්තු වී ඇත. ඉන් කෝපයට පත්වී ඇති වෛද්‍යවරයා කාමරයෙන් එලියට පැමින දරුවාට පා පහර දී තිබේ.

මේ සිදුවීම අවශ්‍ය නම් මේ නිශ්චිත වෛද්‍යවරයාගේ පෞද්ගලික වරදක් ලෙස සලකා අමතක කිරීමට පුලුවන. එසේත් නැතිනම් පොදුවේ සියලු වෛද්‍යවරු මෙබදු නරුමයන් යැයි සාමාන්‍යකරනයක් වෙත එලැඹෙමින් වෛද්‍යවරුන් නමැති පුද්ගල කොට්ටාශයට බැන වැදී විනෝද විය හැක. කෙසේ වුවද යමෙක් එවැනි සරල ප්‍රතිචාරයක් දක්වා සෑහීමට පත් නොවීමට සිතන්නේ නම් උත්සාහ කල යුත්තේ මෙබදු සිදුවීම් පසුතලයේ තිබෙන සමාජ අර්බුදය කවරේදැයි වටහා ගැනීමටය.

ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රය සමාජය තුල ඔඩු දුවා ඇති සමාජ අසමානතාවයේ ප්‍රතිමූර්තියක් යැයි කිව හැක. 1977 නව ලිබරල් ධනවාදී යුගයට ලංකාව ඇතුලු වීමෙන් පසු පෞද්ගලික සෞඛ්‍ය සේවා රට තුල විහිදී යාම ආරම්භ විය. සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉන් පසු ඇතුලු වූයේ වෙලදපොලකරනයේ සංකීර්න ක්‍රියාවලියක් තුලටය. මුදල් වලට ප්‍රතිකාර දීම ව්‍යාප්ත වීමත් සමග සෞඛ්‍යය වෙලද භාන්ඩයක් බවට පත්වීම ඇරඹින. මෙහි ප්‍රතිඵල ලෙස සමාජයේ ධනවත් කන්ඩායම් වලට මුදල් ගෙවා පහසුවෙන් සෞඛ්‍ය සේවා සදහා ප්‍රවේශ වීමේ අවස්ථා හිමි වන්නට විය. වර්තමානයේ ධනවතුන් සදහා අධික මුදල් අය කරන වෙනම රෝහල් ලංකාව තුල නඩත්තු වේ. මේ රෝහල් තුල සැපයෙන සේවාව ගුනාත්මකව ඉහලය. උදාහරනයක් ලෙස ඇප‍ලෝ රෝහල වැනි ආරෝග්‍යශාලාවක් තුල වෛද්‍යවරුන්ගේ කාමර බිත්තිවලට ‍හේත්තු වන දුගී දරුවන් හෝ එම දරුවන්ට පා පහරවල් දෙන වෛද්‍යවරුන් හෝ නැත. රෝහලට ගෙවනු ලබන අධික මුදලට ප්‍රතිචාර ලෙස විනීත හා ආචාරශීලී සැලකීමක් පෙරලා රෝගීන්ට හිමි වේ.

කෙසේ වුවද සමාජයේ බහුතරයකට මෙබදු සුඛෝපභෝගී රෝහල් වලට ප්‍රවේශ වීමේ 'වාසනාව' නැත. එබදු රෝගීන්ට රජයේ වියදමින් රජයේ රෝහල් පද්ධතියක් පවත්වා ගෙන යනු ලැබේ. 2011 වර්ෂයේ රජය සෞඛ්‍ය සේවා සදහා කල වියදම දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.53 තරම් අඩු අගයකි. පොදුවේ මේ අගය සියයට 2 ට වඩා අඩු මට්ටමක රැදී තිබේ. රජයේ රෝහල් අධික රෝගී තදබදයකින් යුක්තය. ඖෂධ හිගයෙන් එම රෝහල් පීඩා විදී. බොහෝ පර්යේෂන බාහිරව මුදල් ගෙවා පුද්ගලික ආයතන වලින් සිදු කරගැනීමට රෝගීන්ට සිදුවේ. බහුජාතික සමාගම් මුදල් වීසි කරමින් වෛද්‍යවරුන්ව සිය වසගයට ගනිමින් සිටින අතර බොහෝ වෛද්‍යවරු තුන්ඩු ලියද්දී රෝගියාගේ රෝගයටත් වඩා සංවේදී වන්නේ බහුජාතික සමාගමේ ඒජන්තයා සමග තමාට තිබෙන ගනුදෙනුවටය.

සෞඛ්‍යය වෙලද භාන්ඩයක් වී තිබෙන තතු යටතේ රජයේ රෝහල් වලට එන්නේ මුදල් ගෙවා එම භාන්ඩය මිලට ගැනීමේ හැකියාවක් නැති 'පිං' රෝගීන්ය. පහසුකම් වල තිබෙන අඩුපාඩුකම් වලට අමතරව රජයේ රෝහල් තුල වෘත්තිකයන්ගේ දැනුම 'බලයක්' බවට පත්වීමේ අත්දැකීම මේ රෝගීන්ට විදින්නට සිදුවේ. සුඛෝපභෝගී පෞද්ගලික රෝහලක දක්නට ලැබෙන විනීත හා ආචාරශීලී සැලකිම නිර්ප්‍රභූ මිනිසුන්ගෙන් පිරී තිබෙන රජයේ රෝහල් වල දැකගත නොහැක. ප්‍රතිකාර ගැනීමට පැමිනියේ නොමිලේ නම් රැවුම් ගෙරවුම් බැන වැදීම් ඕනෑම එකකට මුහුන දීමට සූදානම් වී පැමිනිය යුතුය.

අප ජීවත් වන ධනවාදී සමාජයේ 'වැදගත්' සැලකීමක් ලබා ගැනීමට ඇවැසි නම් එය ලබා ගැනීමට තිබෙන එකම මග 'බලවතෙක්' බවට පත්වීමය .සමාජයේ බලය ධනය මත තීරනය වේ. පාරේ ට්‍රැෆික් හසුරුවන පොලිස් නිලධාරියෙක්ගේ සිට රෝහල් වල වෛද්‍යවරුන් දක්වා සියල්ලෝ තමා ඉදිරියේ සිටින මිනිසාට සලකන ආකාරය තීරනය කරන්නේ ඔහුගේ 'තත්වය' මතය. මේ නිසා සමාජය යනු ධනය පසුපස වියරුවෙන් මෙන් හඹා යන, ධනය අත්පත් කරගැනීම සදහා එකිනෙකා සමග මරා ගන්නා, අනෙකාට එරෙහිව ගේම් ගසන, අනෙකා සමග තරග වදින ස්වාර්ථකාමී මිනිසුන්ගේ එකතුවකි. ධනවාදී සමාජයේ අර්බුදය තිබෙන්නේ කොතැනද? එය තිබෙන්නේ 'ලාභ රේට්ටුව පහත වැටීමේ ප්‍රවනතාවය පිලිබද නියාමය' තුල පමනක් නොව ධනවාදී සමාජය තුල මිනිසා ගොදුරු වී තිබෙන මෙම පරිහානිය ද තුලය.

ඒ නිසා අපට මෙසේ ඇසිය හැක. ඒ පා පහර වැදුනේ කාටද? නාමල් තරංග රනතුංග කුඩා දරුවාට පමනද? රජයේ රෝහල් තුල ඇදවල් මදි නිසා ඇදවල් යට නිදන රෝගීන්? බෙහෙත් නැති නිසා පුද්ගලික ආයතන වලට ගොස් අතේ තිබෙන තුට්ටුව ඒ සදහා වියදම් කරන රෝගීන්? ඒ වියදම පියවා ගැනීම සදහා තමන්ගේ ජීවිතයේ ඉතිරි වී තිබෙන විවේකයත් කැප කරමින් වැඩ කරන්නට සිදුවී ඇති මිනිසුන්? බරපතල සැත්කම් වලට මුදල් සොයනු වස් බස් වල නැග සිගා කන මිනිසුන්? මේ සියල්ලෝ සමාජ අසමානතාවය නමැති පා ප්‍රහාරයේ ගොදුරු නොවේද? සුඛෝපභෝගී රෝහල් වල ආචාරශීලී සැලකිල්ලක් ලැබීමට තරම් වාසනාව නැති සමාජයේ බහුතරයට අමුතුවෙන් තවත් පා පහරවල් වැදිය යුතුද? සමාජ ක්‍රමය විසින් එල්ල කරන මේ පා පහරවල් ගැන කථා කරන්නට ඉදිරිපත් වන්නේ කවුද? සෞඛ්‍ය යනු සමාජ අයිතියක් ලෙස නොව වෙලද භාන්ඩයක් ලෙස සැලකෙන සමාජයක මෙබදු පා පහරවල් වැලැක්වීමේ හැකියාවක් තිබේද?





Wednesday, April 9, 2014

සමන්මලී සකලසූරිය (ලා) සහ ශ්‍යාමලී ලියනාරච්චි (ලා)

සමන්මලී සකලසූරිය මන්ත්‍රීවරිය
ස්නාහිර පලාත් සභාවට පසුගිය මැතිවරනයෙන් තේරී පත්වූ සමන්මලී සකලසූරිය නවක මන්ත්‍රීවරිය පසුගිය බදාදා දින ( අප්‍රේල් 02) දෙරන රූපවාහිනියේ විකාශය වූ No Politics නමැති වැඩසටහනට සහභාගී වූවාය. දේශපාලකයින් සහභාගී වන මේ වැඩසටහන තුල දේශපාලනය කථා නොකෙරේ. දේශපාලකයින්ගේ පෞද්ගලික වත ගොත, දෛනික ඕපාදූප වෙනුවෙන් වැඩසටහන වෙන්වී ඇත. මේ වැඩසටහනේදී සමන්මලී මන්ත්‍රීවරිය තම නිර්මානාත්මක ලේඛනය වැඩි දියුනු කරගැනීම සදහා තමා පාසල් කාලයේ සමීප මිතුරියන්ට මල් මල් ස්ටිකර් අලවා ලස්සන ලියුම් ලියූ හැටි ආදී සුරතල් ඕපාදූප පිලිබද දොඩමලු වූ අතර වැඩසටහන් නිවේදිකාව ඒ අත්දැකීම් විනෝදාත්මක විලාශයෙන් බෙදා හදා ගත්තාය. මෙවර මැතිවරනයෙන් බොහෝ තරුන තරුනියන් පලාත් සභාවට තේරී ඇති නිසා "අලුත් වැඩක් " කිරීමේ හැකියාව තිබෙන බව සමන්මලී මන්ත්‍රීවරිය එහිදී වැඩිදුරටත් පැවසුවාය.

ශ්‍යාමලී ලියනාරච්චි
කැලනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉගෙන ගත් සමන්මලී තරුන මන්ත්‍රීවරිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉහලින්ම මනාප ලබා ගත් අතර ඇය දේශපාලන පවුලකින් පැවත එන්නීය. සමන්මලී සකලසූරිය මෙලෙස ඡන්දය දිනා රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වන විට ශ්‍යාමලී ලියනාරච්චි පසුගිය මාර්තු 26 වන දා මහර මහේස්ත්‍රාත් අධිකරනයේ නියෝග මත බන්ධනාගාරගත කරනු ලැබුවාය. ඒ කැලනිය විශ්ව විද්‍යාලයේ තවත් සිසුවියන් පිරිසක් සමගය. වැලිකඩ බන්ධනාගාරයේ එක්ස් වාට්ටුවේ අපරාධ සැකකාරියන් සමූහයක් මැද ශ්‍යාමලීව රදවන ලදී. කැලනිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර පහසුකම් පිලිබද අර්බුදයක් මත පැවැත්වූ විරෝධතා පාගමනක් හේතුවෙන් 'මහජන පීඩාවක්" සිදුවූ බවට මහර පොලිසිය නඩු පවරා ඇති අතර ශ්‍යාමලී යනු එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම්වරියයි. ඇය බන්ධනාගාරගත කරන ලද්දේ එම නඩුව අතරවාරයේය. ඇප ලබාදීම සදහා නඩුව නැවත කැදවු අවස්ථාවේ ශිෂ්‍ය දේශපාලන කටයුතු වලට නායකත්වය දිම ගැන මහර උසාවියේ මහේස්ත්‍රාත්වරිය ශ්‍යාමලීට දැඩි ලෙස දොස් පැවරුවාය.

පලාත් සභාවට තේරී පත්වූ සමන්මලී සහ පාගමනක නායකත්වය දීම නිසා සිරගත වූ ශ්‍යාමලී අතර තිබෙන සමානකම කුමක්ද? මේ දෙදෙනා එකම සරසවියේ එකම පීඨයේ එකම වසරක ඉගෙන ගත් අය වෙති. ශ්‍යාමලී සරසවිය තුල සමන්මලීගේ වසරේ සමකාලීන සිසුවියකි. දෙදෙනාම දේශපාලනය කරති. සමන්මලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය කරන අතර ශ්‍යාමලී අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයේ ක්‍රියාකාරිනියකි. දෙදෙනාම ස්ත්‍රීන්ය. තරුනියන්ය.

 මේ දෙදෙනාගේ වෙනස කුමක්ද? වෙනස්කම් බොහෝය. සමන්මලීට තිබෙන ජනප්‍රිය ප්‍රභූ ප්‍රතිරූපය ශ්‍යාමලීට නැත. ඇය බන්ධනාගාරගත වීම ජනමාධ්‍ය වලට තවත් එක් සිදුවීමක් පමනි. දේශපාලනය කිරීම නිසා සමන්මලීට ලැබෙන්නේ සාදර පිලිගැනීමකි. දේශපාලනය කරන නිසා ඇයට ධනේශ්වර මාධ්‍ය වල රූපවාහිනී වැඩසටහන් වලට ආරාධනා ලැබේ. ඒ වෙනුවට ශ්‍යාමලීට ලැබෙන්නේ මොනවාද? අධිකරන නියෝගය. වරෙන්තුය. සිතාසිය. කදුලු ගෑස්ය. මහේස්ත්‍රාත්වරුන්ගේ ඇනුම් බැනුම්ය. වරෙන්තු කොල රැගෙන පොලිසිය ඇගේ නිවෙසට යයි. ඇය එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ බවට කැලෑ පත්තර ඇගේ ගම්මානයේ ඇල වේ. ඇගේ දේශපාලන ක්‍රියාකාරීත්වය නතර කිරීමට, ඇය පසුබැස්වීමට රාජ්‍යය සහ රාජ්‍යයේ මර්ධන උපකරන මුලු වැර යොදා ක්‍රියා කරමින් සිටී.
අත්අඩංගුවට පත් විශ්ව විද්‍යාල සිසුවියෝ පිරිසක්

මේ වෙනස කුමක් නිසාද? මේ වූ කලී ප්‍රභූ දේශපාලනය සහ නිර්ප්‍රභූ දේශපාලනය අතර තිබෙන වෙනසයි. සමන්මලී නියැලෙන්නේ ප්‍රභූ දේශපාලනයකය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යනු අධිපති ධනේශ්වර සමාජ රටාව ආරක්ෂා කරගැනීමට පිහිටුවන ලද ආයතන දෙකකි. මේ ප්‍රභූ පක්ෂ වල දේශපාලනය කිරීමට ඔබට සම්පූර්න නිදහස ඇත. එම ප්‍රභූ දේශපාලනයට තරුන තරුනියන් සම්බන්ධ වීම 'හොද දෙයකි'. එලෙස සම්බන්ධ වන තරුනයින්ට No Politics වැනි වැඩසටහන් වල සුන්දර ඕපාදූප බිනීමටත් සුරතල් ගීත ගායනා කිරීමටත් අවස්ථාව සපයනු ලැබේ.

ඔබ තෝරා ගන්නේ නිර්ප්‍රභූ දේශපාලනය නම්? එසේ නම් "තරුනයන්ට දේශපාලනය තුල ඉඩ දීම","දේශපාලනය තුල කාන්තා දායකත්වය වැඩි කිරීම" වැනි සුරංගනා කථා කිසිවක් අදාල නැත. අධිපති ධනේශ්වර දේශපාලනය වෙනුවට පීඩිත පංතියේ දේශපාලනය, නිර්ප්‍රභූ රැඩිකල් දේශපාලනය තෝරාගන්නා පලමු මොහොතේ සිට ඔබට මුන ගැසෙන්නේ මර්ධනයයි. එබදු දේශපාලනයක් තෝරා ගන්නා තරුනයන් හෝ වේවා ස්ත්‍රීන් හෝ වේවා - කිසිදු වෙනසකින් තොරව දුර්මුඛ කිරීමට හා පසුබැස්වීමට කටයුතු යොදනු ලැබේ. ශ්‍යාමලී ලියනාරච්චි උසාවියට ඉදිරිපත් කෙරෙන එක් අවස්ථාවක මහේස්ත්‍රාත්වරිය ඇයට බැන වදින්නේ ''ගැහැනු ලමයෙක් වෙලා ඔය විදිහට වැඩ කරන්න ලැජ්ජා නැද්ද?" යනුවෙනි. කවුරුත් මේ ප්‍රශ්නය සමන්මලී සකලසූරියගෙන් අසන්නේ නැත. ශ්‍යාමලී කර තිබෙන 'ලැජ්ජා විරහිත' ක්‍රියාව කවරක්ද? අධ්‍යාපන පෞද්ගලිකකරනයට එරෙහිව සටන් කිරීමය. ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් සිසුන් සංවිධානය කිරීමය. ඒ වෙනුවෙන් උද්ඝෝෂන කිරීමය. සමන්මලීගේ දේශපාලනය නම්බුකාර එකක් වී ශ්‍යාමලීගේ දේශපාලනය 'ලැජ්ජා විය යුතු දෙයක්' වන්නේ ඇයි? මේ වූ කලී සමාජයේ අධිපති ප්‍රභූ සැකැස්ම ප්‍රභූ දේශපාලනයට හා නිර්ප්‍රභූ දේශපාලනයට ප්‍රතිචාර දක්වන දෙබිඩි ආකාරයයි. මේ දෙබිඩිකම ඉදිරියේ දේශපාලනය කිරීමේ සමාන අයිතිය ගැන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා වල ලියා තිබෙන වාක්‍ය හුදු බොල් වචන කන්ඩ පමනි. මේ දෙබිඩිකම ප්‍රශ්න කිරීම යනු 'දේශපාලනය කිරීමේ සමාන නිදහස' ගැන ධනේශ්වර ප්‍රජාතාන්ත්‍රික මායාව ප්‍රශ්න කිරීමය. පංති සමාජයක් තුල 'සමාන අයිතීන්' කියා දෙයක් තිබෙන්නට විදිහක් නැත.