Tuesday, November 25, 2014

ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන සහ නොපෙනෙන මුහුන

මරිකානු සිවිල් යුද්ධය සැලකෙන්නේ වහල් සේවය අහෝසි කිරීම පිලිබද මතභේදය නිසා ඇති වූ යුද්ධයක් වශයෙනි. එක්සත් ජනපදය තුල වහල් සේවය අහෝසි කිරීමේ තීරනය ගත් ඒබ‍්‍රහම් ලින්කන් ඒ අනුව වහල් සේවයට විරුද්ධව සටන් කල මහා මානවවාදියෙක් ලෙස සුලභව හැදින්වීමට ලක් වේ. වහල් සේවයට එරෙහිව උතුරු දිග ජනපද තුලින් පැන නැගුනු විරෝධය සදාචාරාත්මක වශයෙන් ‘‘උසස්’’ සංකල්පනාවක් ලෙස සැලකෙන්නේය. එහෙත් සැබැවින්ම ඇමරිකානු සිවිල් යුද්ධය යනු වහල් සේවයට පක්ෂ හා විපක්ෂ සංකල්පනා අතර සිදු වූ අදහස් අතර ගැටුමක් පමනක්ද? එය එසේ නොවේ. මෙම ගැටුමට පසුබිම් වූයේ කෘෂිකාර්මික දකුනු දිග ජනපද හා කාර්මික උතුරුදිග ජනපද අතර මෝරමින් ආ ප‍්‍රතිවිරෝධයයි. උතුරේ කාර්මික ප‍්‍රාග්ධනය ප‍්‍රසාරනය වීම සදහා ඉඩ සොයමින් සිටියේය. ප‍්‍රාග්ධනය ප‍්‍රසාරනය වීමට නම් නිදහස් වැටුප් ශ‍්‍රමිකයන් අවශ්‍යයය. වහලා ස්වාමියාට බැද දැමූ කෘෂිකාර්මික දකුනේ ආචීර්නකල්පික ආර්ථික ව්‍යුහය නිදහස් වැටුප් ශ‍්‍රමිකයන් සොයා ගැනීමෙහිලා බාධාවක් ලෙස පැවැතින. කාර්මික ප්‍රාග්ධනයට ස්වකීය ප්‍රසාරනය අත්පත් කරගැනීමට නම් පසුගාමී කෘෂිකාර්මික දකුනේ නිෂ්පාදන සම්බන්ධතා කඩා බිද දැමීම අනිවාර්යයක් ලෙස පැවතුනි. යුද්ධය පුපුරා ගිය පසුබිම එයයි. ඒ අනුව සිවිල් යුද්ධය  යනු හුදු 'අදහස්' අතර ගැටුමක් නොව සමාජ පංති වල ද්‍රව්‍යමය අවශ්‍යතා අතර ද ගැටුමකි. අදහස් ලෝකයට පසුතලය සපයන්නේ භෞතික ලෝකයේ සැබෑ ප‍්‍රතිවිරෝධයයි.

මෙම පූර්විකාව අවශ්‍ය වූයේ මේ දිනවල මෙරට ජනප‍්‍රිය දේශපාලන වේදිකාව ධ‍්‍රැවීකරනය වී තිබෙන ආකාරය පැහැදිලි කරගැනීමටය. ජනාධිපතිවරනය ඉලක්ක කරගෙන මේ වනවිට විවිධ බලවේග එකිනෙකාට එරෙහිව කදවුරු ගැසෙමින් සිටී. ‍මේවා එක්තරා ආකාරයක මල් වෙඩි සංදර්ශනයන්ය. අදහස් තලය තුළ මොවුන් ඉදිරිපත් කරන විවිධ ප‍්‍රකාශන පවතී. ආන්ඩු පක්ෂය පැත්තෙන් ගත් විට ඉදිරිපත් වන අදහස දේශපේ‍්‍රමයයි. මෙය උසස් සදාචාරාත්මක සංකල්පනාවක් ලෙස ඔවුහු ඉදිරිපත් කරති. රටට ආදරය කිරීම හොද දෙයකි. ඒ නිසා ඔබ සන්ධානයට ඡන්දය දෙන්න. අනිත් අතට විපක්ෂ කණ්ඩායම් කදවුරු ගැසී සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නමැති අදහස ඉදිරියට දමමිනි. යහපාලනය සහ ඒකාධිපතිවාදයට තිත තැබිය යුතු නම් ඔබ විපක්ෂයට ඡන්දය දෙන්න. මෙම අදහස් දෙකෙන් සදාචාරාත්මක වශයෙන් උසස් අදහස කවරේද යනුවෙන් මහජන මනස තුල තහවුරු වන අදහස ජය ලබනු ඇත.

ප‍්‍රශ්නය මෙයයි. මේ ප‍්‍රකාශිත සදාචාරාත්මක අදහස් පසු පස පවතින භෞතික යථාර්ථය කුමක්ද? මෙම දේශපාලන කාන්ඩ ගැසීම් දෙස බලන විට පැහැදිලිව පෙනෙන කාරනයක් වන්නේ ‘ප‍්‍රකාශිතය’ සහ ‘ප‍්‍රකාශකයා’ අතර පවතින පරතරයයි. උදාහරනයක් ලෙස ‘රටට ආදරය කිරීම’ නමැති අලංකාරිකය ගනිමු. මේ අලංකාරිකය සමාජයට යෝජනා කරන්නේ රාජපක්ෂ පවුල, එම පවුල් පාලනය යටතේ වරප‍්‍රසාද ලබන විවිධ දේශපාලන කන්ඩායම් සහ සමාජ කොටස්ය. රාජපක්ෂ පවුල සහ ඒ සමග වෙලී තිබෙන ගජමිතුරු කවය ආන්ඩු බලය තුලින් විශාල ද්‍රව්‍යමය වරප‍්‍රසාද සම්භාරයක් ඒකරාශී කරගෙන සිටී. රාජපක්ෂ ගජමිතුරන් ව්‍යාපාර ලෝකයේ අත්පත් කරගෙන තිබෙන බලයේ සිට විමල් වීරවංශගේ ලයිට් බිල දක්වා මෙකී වරප‍්‍රසාද පරාසය විහිදේ. මේ වරප‍්‍රසාද ආරක්ෂා කර ගැනීමටත්, ඒවා වඩ වඩාත් තහවුරු කර ගැනීමටත් ඔවුන්ට උවමනාය. ස්වකීය එකී වරප‍්‍රසාද තවදුරටත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් තමාට ඡන්දය දෙන මෙන් ඔවුන්ට සමාජයෙන් ඉල්ලා සිටිය නොහැක. ඒ සදහා වඩා දිලිසෙන අලංකාරිකයක් අවශ්‍ය වන අතර දේශපේ‍්‍රමය ලෙස ප‍්‍රකාශයට පත් වන්නේ එයයි.

විපක්ෂයේ පෙල ගැසීම ද එබදුය. ආර්ථික ක්ෂේත‍්‍රය තුල පසුගිය වසර කිහිපයක කාලය තුල සිදුවූ රාජපක්ෂකරනය හේතු කොට ගෙන සාම්ප‍්‍රදායික ධනපති හා ඉහළ මධ්‍යම පංතික කොටස් රාජපක්ෂ ආණ්ඩුව සමග යම් විරසකයක් ඇති කරගෙන සිටී. ඉන්ඩිපෙන්ඩන්ස් ආර්කේඩයට කැමති එහෙත් මහින්දට අකමැති කොලඹ කේන්ද්‍රීය ඉහල මැද පංතිය මේ මොහොතේ ප‍්‍රබල ආන්ඩු විරෝධී භූමිකාවක් රගදක්වයි. මහින්ද රාජපක්ෂ ඉංග‍්‍රීසි කථා කරන ආකාරය හාස්‍යයට ලක්කරන පුස්වෙඩිල්ල වැනි ප‍්‍රභූවාදී නාට්‍ය වලින් ප‍්‍රකාශයට පත්වන්නේ එකී මානසිකත්වයයි. රනිල් වික‍්‍රමසිංහ - චන්ද්‍රිකා කුමාරතුංග - සරත් ෆොන්සේකා යනාදීන්ගේ ක‍්‍රියාකාරීත්වය සදහා ඉන්ධන සපයන ගාමක බලවේගය වන්නේ මෙම සමාජ තීරුවේ අභිලාෂයන්ය. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවට රටට දුන් පොරොන්දුව අමු අමුවේ උල්ලංඝනය කල චන්ද්‍රිකා කුමාරතුංග දැන් නැවත විධායක ජනාධිපතිධූරයට එරෙහිව සටනට බැස තිබෙන්නේ ඇයි? විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට රනිල් වික‍්‍රමසිංහ පසුගිය කාලයේ යෝජනා කල විධායක අගමැතිධූරය අතර තිබෙන සංකල්පීය වෙනස කුමක්ද? මෛත්‍රීපාල සිරිසේනට තිබෙන සැබෑ ප්‍රශ්නය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගැටලුවද? රාජපක්ෂ පවුල තමාට නොදී තනිවම කෑම පිලිබද ප්‍රශ්නයද? ප‍්‍රකාශිතය සහ ප‍්‍රකාශකයා අතර පරතරය එබදුය.

මෙලෙස ආධිපත්‍යයධාරී ප‍්‍රභූ සමාජ කන්ඩායම් සදාචාරමය සටන් පාඨ ඉදිරියට දමන්නේ ඒ වටා නිර්ප‍්‍රභූ සමාජ කොටස් පෙල ගස්වා ගැනීම සදහාය. මේ කිසිවෙක් ප‍්‍රකාශ කරන දෙය සම්බන්ධයෙන් අවංක නොවෙති. ප‍්‍රකාශිත තලයේ වර නැගෙන අදහස් වල සැබෑව හදුනා ගැනීමට නම් ඒවා ප‍්‍රකාශ වන භෞතික පසුතලය හදුනාගත යුතුය. විවිධ සදාචාරාත්මක වැකි හා ප‍්‍රකාශ පසුපස තිබෙන පංති අභිලාෂ හදුනාගැනීමට අසමත් වන තාක් පීඩිත පංතියට සෑම දාම සිදුවන්නේ රැවටිල්ලට හා වංචාවට ගොදුරු වීමට බව ලෙනින් ලීවේ වසර සියයකට ඉහතදීය. එම ප‍්‍රකාශයේ හරය අදටත් අදාලය.



17 comments:

  1. Wonderful analysis!! More and more of this should be propagated to the society!!

    ReplyDelete
  2. මේක මෙහෙම බොහෝම සරළව පැහැදිලි කලාට ස්තූතියි.. සහතික ඇත්ත..

    ReplyDelete
  3. //////විවිධ සදාචාරාත්මක වැකි හා ප‍්‍රකාශ පසුපස තිබෙන පංති අභිලාෂ හදුනාගැනීමට අසමත් වන තාක් පීඩිත පංතියට සෑම දාම සිදුවන්නේ රැවටිල්ලට හා වංචාවට ගොදුරු වීමට බව ලෙනින් ලීවේ වසර සියයකට ඉහතදීය. එම ප‍්‍රකාශයේ හරය අදටත් අදාලය.////////

    පැහැදිලියි. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. ජනතාව මේ අවස්තාවේ කුමක් කල යුතුද? ගතයුතු තීරනය කුමක්ද? මා ඔබගේ ලිපියෙන් උපුටා දැක්වූ ඔබගේ පැහැදිලි කිරීම , තව දුරටත් ඉදිරියට රැගෙන කුමාර් ගුනරත්නම් වැනි අයෙක් ඡන්දයට ඉදිරිපත් වුවහොත් ...ඒ මතය තමයි හරි කියා ඒ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට ජනතාව පෙලඹුනොත්,,ඒ වාසිය ලැබෙන්නේ ඔබ මුලින් සඳහන් කල////මේ අලංකාරිකය සමාජයට යෝජනා කරන්නේ රාජපක්ෂ පවුල, එම පවුල් පාලනය යටතේ වරප‍්‍රසාද ලබන විවිධ දේශපාලන කන්ඩායම් සහ සමාජ කොටස්ය. රාජපක්ෂ පවුල සහ ඒ සමග වෙලී තිබෙන ගජමිතුරු කවය ආන්ඩු බලය තුලින් විශාල ද්‍ර/////// මේ කොටසටම නේද?

    ReplyDelete
    Replies
    1. ජනතාව මේ මොහොතේ පෙල ගැසිය යුත්තේ වාමාංශික විකල්පයක් වෙනුවෙනි. එය මේ ජනාධිපතිවරනයෙන් අවසන් වන්නක් නොව දිගුකාලීන ක්‍රියාවලියක කොටසක් විය යුතුය. රාජපක්ෂ ඇතුලු ගජමිතුරු කවයේ පාලනය සහ විපක්ෂ කන්ඩායම් ව පාලනය අතර ඇති වනවා නම් ඇති වීමට නියමිත ඉතා සුුලු ආකෘතික වෙනසක් පමනක් බව වටහා ගන්නේ නම් ඒ හොරු රැල වෙනුවට මේ හොරු රැල කියන සිතීමෙන් මිදි වඩා පුලුල් සිතීමක් වෙත යාමට අපට පුලුවන්කම ලැබෙනු ඇත.

      Delete
    2. රාමා......පවතින තත්වය Bandaranayaka family VS Ralapksa familyතත්වයෙන් හිතන්න එපා. එහෙම නැත්නම් සමාජවාදය Vs අමු විකෘති පවුල් පාලනය කියන තැනට යන්නෙත් නැතුව හිතුවොත් මේ අවස්ථාව ගැන පැහැදිලි කරලා දෙන්න.

      Delete
    3. 1994 දී, 2005 දී වෙන්නෙත් මේ දෙයෙහිම තරමක වෙනස් සංස්කරනයක් නේද? අඩු නපුර තේරීම කියන එක බංකොලොත් ඉදිරි දර්ශනයක් කියන්න ඊට වඩා උදාහරන අවශ්‍ය නැහැ මා සිතන විදිහට.

      Delete
    4. රාමා....අපි ඇති තරම් පාඩම් ඉගෙන ගෙන තියෙනවා. ඒක හරි. රාමා කියනවා නම් කොස් වරකා වෙච්ච සමාජය, වරකා වැල වුනාට පස්සේ අපි මේක පොලොස් කරමු කියලා ඒක ටිකක් අභග්‍යයි. රාමා මම තර්ක කරන්න යන්නේ නැහැ. ගස් වවලා මල් පූදලා පොලොස් හදන කොට , පොලොස් කියන්නේ මොනවද කියන සමාජය වැල වෙලා ඉවරයි. මම රාමාගේ න්‍යාය වරදක් දෙස දකින්නේ නැහැ. පොලොස්, කොස්, වෙන්නත්, කොස් වරකා වෙන්නත් කොස් ඇට පැලවෙන බිමක් ඉතිරිවෙලා තියෙන්න ඕන. කොස් වැවෙන භූමියේ ඩ්‍රැගන් ෆෘට් වවන්න ගියාම පසයි, පලදාවයි දෙකම අවුල්. ඩ්‍රැගන් ගියාම ජැක් ගේමු.

      Delete
    5. අභග්‍යයි නෙමේ අභව්‍යයි කියන්නයි ඕන වුනේ. රාමා..මම වචන දන්න එකෙක් නෙමේ... හැබැයි...සමාජය දන්න එකෙක් .

      Delete
    6. Aru - අපි මේ සංවාදය දිගටම තියා ගමු. නිවැරදි දේ මොකක්ද කියා තීරනය වෙන්නේ වචන වලින් නෙමෙයි ක්‍රියාවෙන්. ධනේශ්වර පොදු අපේක්ෂකයා ගැන ප්‍රගතිශීලී ලෙස හිතන අය තුල 'බලාපොරොත්තුවක්' ඇති වීම සදහා බලපාන පසුබිම ගැන මට හොද වැටහීමක් තිබෙනවා. ඒක අවංක අපේක්ෂාවක් බව සැබැවි. ඒත් මේ සංදර්ශනය පවතින ක්‍රමය මේ විදිහටම පවත්වා ගෙන යාම සදහා ( අවශ්‍ය නම් මතුපිට තලයේ කරන සුලු සුලු වෙනස්කම් එකක් දෙකක් සහිතව) කරන තවත් සංදර්ශනයක් පමනයි. 94 ට පෙර චන්ද්‍රිකා ගැන තිබුනු ප්‍රතිරූපය මතක් කරගන්න. 2005 ට පෙර පාද යාත්‍රා ගිය, කම්කරු ප්‍රඥප්තිය ගෙන ආ මහින්ද ගැන තිබුනු ප්‍රතිරූපය මතක් කරගන්න. මෛත්‍රීපාල සහ පිල සම්බන්ධවත් කීමට තිබෙන්නේ එපමනයි. සමාජයේ සැබෑ වෙනසක් ඇති කරගන්න පුලුවන් බිම් මට්ටමේ ජනතා ක්‍රියාකාරීත්වයක් ඇති කිරීම තුලින් පමනයි. ඒක මේ මොහොතේ දුර ඉලක්කයක්. හැබැයි දැන් සිට ඒ ඉලක්කයට වැඩ නොකොට, මෛත්‍රීපාල හෝ චන්ද්‍රිකා හෝ අපට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒ යැයි අපේක්ෂාවෙන් ඔවුන්ට කතිරය ගසනවා නම්, අපට නැවතත් සිදුවන්නේ ඉතිහාසයේ කල වරද ප්‍රතිනිර්මානය කරගැනීමටයි.

      Delete
  4. වාමාංශික විකල්පයක් ගොඩනැගීම හා මහින්ද රාජපක්ෂ දිනවීම යනු එකක් නොව දෙකක් බවට පත් කරන්නේ කෙසේ ද?

    විපක්ෂ පොදු අපේක්ෂකයකු දිනවීම යනු මහින්ද රාජපක්ෂ පාලනය වැනි ම එකක් ඉදිරියට ගෙන යාම නො වන බව තහවුරු කර ගැනීම සඳහා මේ වාමාංශික විකල්පය භාවිතා කරන්නට බැරි ද?

    සමාජ ප්‍රතිසංස්කරණ දිනා ගැනීම වෙනුවෙන් සටන් කිරීම හා වාමාංශික විකල්පය අතර සමානත්වය හෝ වෙනස පැහැදිලි කරන්න.

    ReplyDelete
    Replies
    1. සමාජ ප්‍රතිසංස්කරන දිනාගැනීම වාමාංශික විකල්පයක් සදහා වූ සටනේම කොටසකි. දේශපාලනය ප්‍රජාතාන්ත්‍රීය කිරීමේ අරගලය ආර්ථික හා සමාජ ජීවිතය ප්‍රජාතාන්ත්‍රීය කිරිමේ අරගලයෙන් වෙන් කල නොහැකි ලෙස බැදී තිබේ. විපක්ෂය ප්‍රමුඛ ධනේශ්වර කොටස් දැන් උත්සාහ කරමින් ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද සංවාදය පාවිච්චි කොට ප්‍රජාතන්ත්‍ර විරෝධී ආර්ථික-සමාජ ක්‍රමය තිරිහන් කොට පවත්වා ගෙන යාමටයි. ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීමේ සැබෑ උවමනාවක් හෝ හැකියාවක් මේ පිරිස් වලට නැත. මේ අයට ප්‍රජාතන්ත්‍රවාදය යනු තට්ටු මාරු ක්‍රමය පවත්වාගෙන යාම සදහා වන තවත් එක් සටන් පාඨයක් පමනි.

      Delete
    2. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය සාපේක්ෂ දෙයක්. සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදයත් එවැනි ම සාපේක්ෂ හෝ පරමාදර්ශී සංකල්පයක් වෙන්න පුළුවන්.

      මේ අයට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නැහැ කියන එක පිළි ගන්න බැහැ. එය ධනේශ්වර පංතියටත් අවශ්‍ය දෙයක්.

      රාජපක්ෂ පවුලේ ප්‍රජාතන්ත්‍ර විරෝධයට සාපේක්ෂ වෙනසක් මෛත්‍රීපාලගෙන් අපේක්ෂා කරන්න බැහැ කියන්න බැහැ. මෛත්‍රීපාලගෙන් සමාජවාදය ඉල්ලන්න තරම් අපි බොළඳ වෙන්නත් හොඳ නැහැ. රාජපක්ෂ පවුල් පාලනය වැනි පාලනයන්ට එරෙහිව ලෝකයේ සිදු කැරැලිවලින් යම් වෙනස්කම් සිදු වී තිබෙනවා. ඒවා ගැඹුරු සමාජ වෙනස්කම් බවට පත් කරන්නට අවශ්‍ය අන්දමින් සමාජ බලවේග පෙළ ගැසිලා නැහැ.

      අපි විප්ලවය වෙනුවෙන් සමාජ බලවේග දැනුවත් කිරීම හා මෙහෙයවීම කළ යුත්තේ පොදු ජනතාව සමග බද්ධ වෙමිනුයි. පොදු ජනතාවගෙන් විතැන් වෙමින් නොවෙයි.

      මෙතන තිබෙන්නේ සරළ ප්‍රශ්නයක්. මහින්දව තුන්වන වරටත් ජනාධිපති කරනවා ද? නැද්ද? එච්චරයි.

      මහින්දව තුන්වන වරට ජනාධිපති කළොත් එයින් ලංකාවේ සමාජවාදයට ඉවහල් වන දෙයක් වෙනවා ද?

      Delete
    3. පැරා,

      - මහින්දව පරාජය කල යුතුයි කියන එක ගැන විවාදයක් නැහැ. හැබැයි ප්‍රශ්නය මහින්දව පරාජය කරන එකට ලඝු කරන එක වැරදියි. දේශපාලන අධිකාරිවාදය කියන එක නව ලිබරල් ධනවාදී යුගයේ තිබෙන දේශපාලන ලක්ෂනයක්. ධනවාදයයි ප්‍රජාතන්ත්‍රවාදයයි අතර වර්තමාන යුගයේ තිබෙන්නේ අවුරුදු පනහකට එපිට දී තිබුනු සම්බන්ධය නෙමෙයි. දියුනු ධනවාදී රටවල පවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පසුගිය දශකයක දෙකක පමන කාලය තුල ප්‍රහාරයට ලක්වී තිබෙනවා. ( ස්නෝව්ඩන්, චෙල්සි මැනිංන් සහ ජුලියන් අසාන්ජ්ගේ හෙලිදරවු කිරීම් යනු ඒවායේ ප්‍රකාශන ) ඒ නිසා දේශපාලන අධිකාරිවාදය මේ යුගයේ ධනවාදය සමග බද්ධ වූ ලක්ෂනයක්.

      - රාජපක්ෂ විසින් කරන්නේ මෙම දේශපාලන අධිකාරිවාදයට පවුල්වාදී හැඩයක් ලබාදීම. හුදෙක් රාජපක්ෂව එලවූ පමනින් දේශපාලන අධිකාරිවාදය අවසාන වන්නේ නැහැ. පවතින නව ලිබරල් ක්‍රමය තිබෙන තාක් එය වෙනස් මුහුනුවරකින් හෝ යලි පැමිනෙනවා. උදාහරනයක් ලෙස නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සටන් කරන ශිෂ්‍යයන්ට මෛත්‍රී පාලනය යටතේ වෙනස් විදිහකට සැලකෙන්නේ නැහැ. ශිෂ්‍යයන්ව මර්දනය කරන්න අවශ්‍ය වෙන්නේ අධ්‍යාපනය වෙලද භාන්ඩයක් කිරීම කියන සමාජ ආර්ථික ප්‍රතිපත්තිය නිසා.

      - ඒ නිසා රටට අවශය දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය වගේම ආර්ථික සමාජ ජීවිතයේ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සදහා පීඩිත ජනතාව පෙලගස්වන විකල්ප දේශපාලන අභ්‍යාසයක්. ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ අරගලය සදහා සංවිධානය කල යුත්තේ ජනතාවයි. අඩු තරමින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන හෝ පසුගිය කාලය තුල කිසිම සටනක් නොකල මෛත්‍රීපාල / චන්ද්‍රිකා / රනිල් වැනි තක්කඩි ප්‍රභූ නායකයින් ලබා දෙන පොරොන්දු වලට සහයෝගය දී ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්න බැහැ. විකල්ප වාම දේශපාලනයක් අවශ්‍ය මේ අරමුන සදහා සමාජයේ පහල පාංතික ජනතාව පෙලගැස්වීම සදහා.සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ සටන ඔබ නිතර සදහන් කරන සමාජවාදී ජීවිතයක් සදහා අරගලයෙන් වෙන් කරන්න බැහැ. ධනේශ්වර පංතියේ කල්ලි ස්වකීය බල අරමුනු මත දෙපිල බෙදී සිටිනා මේ අවස්ථාවේ වාමාංශිකයින් හා ප්‍රගතශීලීන් කල යුත්තේ ඒ පිල් දෙකෙන් එකකට ආවැඩීම නොව ප්‍රශ්නයේ සැබෑ හරය ගැන ස්වාධීනව හිදිමින් සමාජය සවිඥානික කිරීමයි.

      Delete
    4. උඹලා ඔක්කෝම එකතු වෙලා අර සිරිතුංග ජයසූරියට රුපියල් 50,000 ක් හොයලා දියන්කෝ.. ඒ යකා.. සමාවෙන්න.. ඒ සහෝදරයා වැඩේ කරයිනේ.. එලට..

      Delete
    5. Para methanata awillath hondata nagena bawa penawa, Mr. Ramachandra itha pahadili
      lesa wiya yuththa gana adahas dakwaddi para kaatath notherena apabransayak kiyawana bawa penawa, anyway I am totally with what Mr. Ram so clearly says..

      Delete
  5. හරි මෝඩ විචාරයක්නෙ. කවුද මේක ලියපු බූරුවා? අපේ මාරයා අයියාට පුළුවන් මීට වඩා හොඳ විචාර ලියන්න. අපේ මාරයා අයියා තමයි පොර. මේක ලියපු එකා අමු මැට්ටෙක්.

    ReplyDelete
  6. මම නම් හිතන්නේ ඔක්කොම එකට හම්බෙන එක පැකේජ් එකක් හොයනවට වඩා මේ විදිය ලේසි වෙයි. මොකද වාමාංශික දේශපාලනයක් ළඟ පාඨක එයි කියල විස්වාස කරන්න බෑ,

    ReplyDelete