Saturday, September 13, 2014

පොදු අපේක්ෂක සංවාදය - ‘පොදු අපේක්ෂක ව්‍යාපාරයේ’ විමුක්ති දේශපාලන විභවය (නිර්මාල් රංජිත් දේවසිරි)

මෙම ලේඛකයා 'විමුක්ති දේශපාලනයට ෂෝට් කට් නැත' නමින් පසුගිය අගෝස්තු 10 ජනරල පුවත්පතට ලියන ලද සටහනට ප්‍රතිචාරයක් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් ලියනු ලැබ අගෝස්තු 17 වන දා එම පුවත්පතේ පල විය. එලැඹෙන ජනාධිපතිවරනයේදී මාදුලුවාවේ සෝභිත හිමිගේ මූලිකත්වයෙන් ගොඩනැගී ඇති පොදු අපේක්ෂක ව්‍යාපාරය ගැන වාමාංශය දැරිය යුතු ස්ථාවරය සංවාදයට වස්තු විෂය විය. නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයාගේ එම පිලිතුර සහ ඊට මෙම ලේඛකයා විසින් ලියන ලද ප්‍රති - පිලිතුර කොටස් දෙකක් ලෙස මෙම බ්ලොග් අඩවියේ පල කරමු. පලමුව පල වන්නේ ආචාර්ය නිර්මාල්ගේ ලිපියයි. සංවාදයට පාදක වූ ලේඛකයාගේ මුල් සටහන මෙතැනින් කියැවිය හැක.

***
                                                                               
මේ ලිපිය ලියැවෙන්නේ අගෝස්තු 10 වන දා ජනරළ පුවත්පතේ පළ වූ රාමචන්ද්‍ර සටහනට ප‍්‍රතිචාරයක් ලෙසටයි.

විශේෂයෙන්ම මා මේ විස්තරාත්මක ප‍්‍රතිචාරය දක්වන්නේ වර්තමානයේ සිටින තරුණ දේශපාලන ක‍්‍රියාධරයින් අතර ඉතා තියුණු නිරීක්ෂන ශක්තියක් සහ හෘදසාක්ෂ්‍යය සහිත ප‍්‍රවේශයක් ඇත්තෙක් ලෙස මා රාමචන්ද්‍ර හඳුනාගන්නා නිසාවෙන් ද වේ. රාමචන්ද්‍ර නිවැරදිව ප‍්‍රකාශ කරන ආකාරයට මම ඉදිරි ජනාධිපතිවරණයේ දී මාදුළුවාවේ සෝභිත හිමි විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සඳහා වූ ව්‍යාපාරයේ කි‍්‍රයාකාරී ලෙස නියැලී සිටිමි. කෙසේ වෙතත් මෙම ව්‍යාපාරය හුදෙක් මහින්ද රාජපක්ෂ ගේ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා වූවක් ලෙස ගැනීම මා මේ ව්‍යාපාරය තූළ හඳුනාගෙන ඇති ශක්‍යතාවය පැත්තෙන් ගතහොත් නම් පටු හඳුනා ගැනීමක් බව මගේ අදහසයි. ඒසේම මෙම ව්‍යාපාරය ‘‘විමුක්ති දේශපාලනයට ෂෝට් කට්’’ එකක් ලෙස හඳුනා ගැනීමද මා සිතන ආකාරයට වැරදි හඳුනා ගැනීමකි.
රාමචන්ද්‍ර කෙළින්ම නැතත් තරමක් වක‍්‍ර ලෙස යෝජනා කරන්නේ මගේ ප‍්‍රවේශය මා විසින්මත් දැඩි ලෙස විවේචනයට ලක් කරනු ලැබ ඇති ජවිපෙ සිංහල ජාතිකවාදය සමඟ උපායමාර්ගික සංධානයකට යාම වැන්නක් බවයි. මගේ අදහස වන්නේ මේ සංසන්දනය ද වැරදි බවයි. මේ තේමාව පිළිබඳ මගේ සමස්ත බුද්ධිමය මැදිහත්වීම විධිමත් ලෙස නිර්වචනය කරන්නේ නම් එය එක් කේන්ද්‍රීය උපන්‍යාසයක් පරීක්ෂාවට ලක් කිරීමක් ලෙස දැක්වීමට කැමැත්තෙමි.

ඒ උපන්‍යාසය මෙසේය:

‘මේ පොදු අපේක්ෂක ව්‍යාපාරයේ දේශපාලන අර්ථ සම්භාරය වාමාංශික දෘෂ්ටිකොණයකින් නිෂේධාත්මක ලෙස ප‍්‍රතික්ෂේප කරන පිරිස් කරන ඉදිරිපත්කිරීම්වල මූලික අඩුපාඩු හතරක්් ඇත.

ඒවා නම්:

1. දේශපාලනයේ හා දෘෂ්ටිවාදයේ දයලෙක්තික සම්බන්ධය හා/හෝ විසම්බන්ධය පිළිබද නිවැරදි තක්සේරුවක් නොමැති වීම; 2. විමුක්ති දේශපාලන ව්‍යාපාරවල ඉතිහාසයේ ඇතැම් සාර්ව ලක්ෂන සැලකිල්ලට නොගැනීම; මේ දෙවෙනි කාරණයට හේතු වී තිබෙන්නේ මෙම වාමාංශිකයින්ගේ දේශපාලන පරිකල්පනය මෙම විමුක්ති ව්‍යාපාරවල සංයුක්ත ඉතිහාසය පිළිබඳ පුළුල් ඓතිහාසික හැදැරීම් මත නොව මෙම විමුක්ති ව්‍යාපාර වල අවසාන ‘ජයග‍්‍රහණය’ ලැබූවන්(උදාහරණ ලෙස ලෙනින්* සීමිත උපායමාර්ගික ඉලක්ක මුල් කරගෙන මේ ව්‍යාපාර පිළිබඳ ඉදිරිපත් කරනු ලැබූ නිරීක්ෂන මත පදනම් වීමයි; 3. විසිවන ශතවර්ශයේ සමාජවාදී ව්‍යාපාරයේ ගැටලූ සහ අප ජීවත්වන අවධියේ සමාජවාදී න්‍යාය පත‍්‍රයක් ඉදිරිපත්කිරීමේ දී මුහුණදෙන සුවිෂේශී අභියෝග පිළිබද ප‍්‍රමාණවත් තක්සේරුවක් නොමැති වීම; 4. මෙම ‘පොදු අපේක්ෂක ව්‍යාපාරයේ ඇත්ත ගතිකයන් පිළිබද පුළුල් තක්සේරුවකට වඩා පළමු හා දෙවෙනි කරුණු මගින් (හෝ ඇතැම්විට වෙනත් උපක‍්‍රමික හා/හෝ පුද්ගල බද්ධ මගින්* සකස්කරන ලද පුර්ව විනිශ්චයන් මත පදනම්ව මේ පිළිබද නිගමනවලට එළඹීමයි.

කෙසේ වෙතත් මෙම ලිපිය තුළ මෙම උපන්‍යාසය සමස්තයක් ලෙස පරීක්ෂාවට ලක්කිරීමට අවස්ථාව නැත. එහිදී එහි ඇතැම් පාර්ශවවලට අමාන්ත‍්‍රණය කොට ඇත. ඒ මේ පිළිබද වැඩිදුර සාකච්ඡුාවක් මා රාවය පුවත්පතේ ගාමිණි වියන්ගොඩ සමග කරන ලද සංවාදයේ ද, සුමිත් චාමින්ද සහ තවත් අය සමග ෆේස්බුක් හී කරන ලද සංවාදයන්හී ද අඩංගු වේ.

එසේම මේ සංවාදයෙන් මට දැනට පෙනී ගොස් ඇති කාරණය වන්නේ මේ සංවාදයේ නිමක් දැකීම අපහසු බවයි. මක් නිසා ද සංවාදයේ නියැගෙන පාර්ශව දෙකටම තම ස්ථාවරය සාධාරණීකරණය කිරීමට සෑහෙන දුරට කරුණු තිබීමයි. මා මේ පිළිබඳව ඉදිරිපත් කරන කරුණු වලංගු කරුණු ලෙස සැලකීමට මගේ ප‍්‍රතිවාදී සම්භාෂකයින් මැලි වුවද ඔවුන් ඉදිරිපත් කරන බොහෝ කරුණු වලංගු ඒවා බව මට ද පෙනී ගොස් තිබේ. අවාසනාවකට මා මුහුණ දී ඇති ප‍්‍රශ්නය වන්නේ ඒ සියළු වලංගු කරුණු තිබියදීත් මේ ව්‍යාපාරයට මගේ මුළු ශාරීරික මෙන්ම බුද්ධිමය ශක්තිය පවා යෙදවීම සඳහා මගේ හිත හදා ගැනීමට මට ඇති කරුණු ප‍්‍රමාණය මගේ ප‍්‍රතිවාදී සම්භාෂකයින්ගේ කරුණුදැක්වීම්වලට වඩා මට ඒත්තු යන සුළු වීමයි. ඒ නිසා මේ ව්‍යායාමය නිෂ්ඵල එකක් යැයි මට ඒත්තු යන තුරු හෝ මේ ව්‍යාපාරය මුළුමනින්ම පරාජයට පත් වී විනාශවන තුරු එය අත් හැර දැමීමට දැනට නම් මගේ කැමැත්තක් නැත.

මේ ව්‍යාපාරයේ නියැලීමට මට තවත් හේතු දෙකක් ඇත. එකක් නම් රාමචන්ද්‍රත් මම ත් පොදුවේ අයත් වන, සහ සාමාන්‍යයෙන් ‘වාමාංශය’ යනුවෙන් හඳුන්වන දේශපාලන කතිකාමය අවකාශය තුළ සිටින සෑහෙන පිරිසක් දිනපතාම සහ වැඩි වැඩියෙන් මේ ව්‍යාපාරය වෙත ඇදී එම යි. අනෙක නම් රාමචන්ද්‍ර විසින් ‘ලිබරල් බුද්ධිමතුන්’ ලෙස හඳුන්වනු ලබන, එසේම ලංකාවේ සමාජය අභිමුවේ දැනට ඇති අර්බුදයේ ‘‘වාමාංශිකයින්’’ දකින අංග, ඔවුන්ට වඩා තරමක් වෙනස් පර්යාවලෝකයකින් වුව ද, බරපතල ගැටලූ ලෙස හඳුනාගනු ලබන සෑහෙන පිරිසක්, මෙතෙක් ඒ අය නියැලී සිටි දක්ෂිණාංශික ලිබරල්වාදී හා ජාතිකවාදී පර්යාවලෝකයෙන් තරමක් දුරට ගැලවී මේ ප‍්‍රශ්න දෙස සාර්ව දෘෂ්ටි කොණයකින් බැලීමේ නැඹුරුවක් ද සහිතව මේ ව්‍යාපාරය දෙසට ඇදී ඒමේ ප‍්‍රවණතාවයක් දැක්වීමයි. මගේ නිරීක්ෂනයන්ට අනුව මේ අය තුළ ඇතිවෙමින් තිබෙන චින්තන පෙරළිය රාමචන්ද්‍ර ඒ සඳහා භාවිත කරන ‘සමාජයේ ගරාවැටීම ගැන ප‍්‍රශ්නය සමාජ ක‍්‍රමය පිළිබඳ ප‍්‍රශ්නයක් ලෙස නොව හුදෙක් ආණ්ඩු ක‍්‍රමය පිළිබඳ ප‍්‍රශ්නයක් ලෙස’’ ගැනීමක් ලෙස සරළ කිරීමට නොහැක. ඒ අය තුළ වාමාංශිකයින්ට අවශ්‍ය තරමට මේ ප‍්‍රශ්න ධනවාදී පද්ධතිය සමග සම්බන්ධ කොට තේරුම් ගැනීමක් දක්නට නොලැබිය හැකි වුවද මේ අර්බුදයේ සාර්ව පැති ගැන වැඩෙන විඥානයක් මේ පිරිස් තුළ වර්ධනය වීම හඳුනා ගැනීමට පුළුවන.

මා හොඳින් දන්නා ආකාරයට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ විගස ලංකාවේ ඇති සකළවිධ ගැටලූ විසඳේ යැයි සිතන අය මේ පිරිස් අතර මට හමු නොවේ. නමුත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මේ සියලූ දෙනාම එක් තැනකට ගෙන ආ හැකි තේමාවකි. එහි වරදක් ඇත්තේ ද නැත. මක් නිසාද යත් විධායක ජනාධිපති ක‍්‍රමය මේ ක‍්‍රමය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මා සිතන ආකාරයට, රාමචන්ද්‍ර සිතනවාට වඩා, කේන්ද්‍රීය කාර්යභාරයක් ඉෂ්ටකරනු ලබන නිසාය. මා සිතන ආකාරයට රනිල් වික‍්‍රමසිංහ පවා විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමට ඒ තරම් උනන්දුවක් නොදක්වන්නේ ඒ නිසාය. වෙනත් ආකාරයකට කියනවානම් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වීම ලංකාවේ දැනට පවත්වා හෙජමොනික සමතුළිතතාවයට මරු පහරක් බව ඉතාම පැහැදිළිය. මේ හෙජමොනික සැකැස්මේ ඉතාම ප‍්‍රබල රැුකවලූන් දෙදෙනෙකු වන චම්පික රණවක හා විමල් වීරවංශ මේ පිළිබඳව දක්වන අදහස් පරීක්ෂාකර බැලීමෙන් මේ තත්වය හොඳින් පැහැදිළි වේ.

රාමචන්ද්‍ර සිතනවාට වඩා වෙනස් ලෙස මම මේ ව්‍යාපාරය තුළ පුළුල් විමුක්ති දෙශපාලනයක් සඳහා වූ විශාල විභවයක් දකිමි. මෙහි දී ලංකා සමසමාජ ව්‍යාපාරය බිහිවූ ආකාරය පිළිබද මගේ නිරීක්ෂණ සමහරක් ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි. සමසමාජ ව්‍යාපාරය පොදුජන ව්‍යාපාරයක් ලෙස සාර්ථක වූයේ ඇන්. ඇම්. කොල්වින්, ලෙස්ලි වැන්නන්ගේ මාක්ස්වාදී දැක්ම නිසාම (පමණක්) නොවේ. (ඇන්. ඇම්. ගේ මාක්ස්වාදී දැක්ම කොල්වින් හා ලෙස්ලි ට වඩා අඩු මට්ටමේ එකක් බව මෙහි දී ප‍්‍රකාශ කළ යුතුය.) ඒ වටා රොක් වූ විශාල බුද්ධිජීවී පිරිස ද නිසා වෙනි. මේ පිරිස අතර මාක්ස්වාදී ලෝක දැක්මට මුලූමනින්ම අනුගත නොවූ බෞද්ධ භික්ෂූන්, විවිධ මට්ටමේ ජාතිකවාදීන් මෙන්ම මාක්ස්වාදයේ එන ප‍්‍රචණ්ඩ විප්ලවය පිළිබඳ අදහස මුලූමනින්ම ප‍්‍රතික්ෂේප කළ ඊ. ඩබ්, අධිකාරම් වැනි පරම අවිහිංසාවාදීහුද වූහ.

කෙසේ වෙතත් මා මෙහිදී යෝජනා කරන ප‍්‍රවේශය ඉහත සඳහන් කළ ආකාරයට රාමචන්ද්‍ර වැනි වාමාංශිකයින්ට එතරම් ආකර්ශනශීලී වන්නක් නොවේ. මේ නිසා මේ පිළිබඳව ගොඩනැංවෙන විවාදය එක්තරා අර්ථයකින් විසිවන ශතවර්ශයේ මුල් වර්ශවල රුසියානු සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරය තුළ ඇති වූ ඊනියා ‘මෙන්ෂෙවික්-බොල්ෂෙවික් විවාදය’ වැන්නක් වනු ඇත. මෙම ලාංකීය විවාදය තුළ මා දරන ස්ථානය රුසියානු විවාදයේ ‘මෙන්ෂෙවික්’ ආස්ථානයට තරමක් සමපාත වන බව කිවහැක. ඇත්ත වශයෙන්ම රුසියානු විවාදය තුළ පවා දැන් මගේ වැඩි පක්ෂපාතිතවය තිබෙන්නේ ඊනියා මෙන්ෂෙවිකයින්ගේ ආස්ථානය වෙතටය.

ඇත්ත වශයෙන්ම විසිවන ශතවර්ෂයේ මුල්කාලය තුළ ලෙනින් වැන්නන් විසින් අනුදත් නිර්ධන පංති විප්ලවය පිළිබඳ අදහසට වැඩි සමාජ-දේශපාලන වලංගුතාවයක් පැවැති සංදර්භයට සාපේක්ෂව සලකා බැලූවොත් අද කොහොමත් ඒ බොල්ෂෙවික් මාවත හෝ ඊට සමාන්තර මාවතක් කෙරේ විශ්වාසය තැබීමට පදනමක් නැත.

මේ නිසා මගේ අදහස නම් වාමාංශිකයින් කළ යුත්තේ සෝභිත හිමිගේ ව්‍යාපාරය තුළ ඇති විමුක්තිවාදී විභවය පෝෂණය කිරීමට දායක වීම බවයි. මම එය වාමාංශිකයින්ගේ ඓතිහාසික කාර්යභාරය යැයි නොකියමි. මක්නිසාද යත් ඓතිහාසික කාර්යභාරයක් පිළිබඳව මා විශ්වාස නොකරන බැවිනි. ඒ වෙනුවට එය ආචාර ධාර්මික කාර්යභාරයක් ලෙස දැක්වීමට මම කැමැත්තෙමි. කෙසේ වෙතත් මේ ගැටලූවේ දී රාමචන්ද්‍ර අයත් චින්තන ධාරාවේ සිටින සුමිත් චාමින්ද වැන්නෙක් ඉතා දැඩි ලෙස කියා සිටින්නේ මෙම ව්‍යාපාරය තුළ කිසිඳු විමුක්ති දේශපාලන විභවයන් නැතිවා පමණක් නොව එය මූලික වශයෙන් සිංහල-බෞද්ධ වර්ගවාදී වන්නා වූ අධිපති හෙජමොනිය ප‍්‍රතිනිෂ්පාදනය කරන්නා වූ එකක්ද වන බවයි. සුමිත් චාමින්ද එහි දී අවධාරණය කරන්නේ මෙම ව්‍යාපාරය මුදුනේ සිටින මාදුළුවාවේ සොභිත හිමියන්ගේ බුද්ධිමය හා දේශපාලන චර්යාවේ ඇතැම් චරිත ලක්ෂණයි. ඒසේම ජූලි 24 රැස්වීමේ ආරම්භයේ දී පංසිල් ගැනීම වැනි සිද්ධීන් ද මෙය තහවුරු කෙරෙන කරුණු ලෙස දැක්වීමට පුලූවන. සුමිත් චාමින්ද මෙහි දී මාදුළුවාවේ සෝභිත හිමි සහ ගලගොඩඅත්තේ ඥානසාර අතර වෙනසක් නැතිය යන නිගමනයට පවා එළඹේ.

මා මෙම තර්කය පිළිගන්නේ නැත. මගේ විරෝධය න්‍යායාත්මක වශයෙන් පදනම් වී ඇත්තේ මූලික වශයෙන්ම කිසියම් සමාජ සැකැස්මක දෘෂ්ටිවාදීමය තලය හා දේශපාලනය අතර ඇති දයලෙක්තික සම්බන්ධය හා/හෝ විසම්බන්ධය මතයි. කිසියම් දෙන ලද සමාජ සැකැස්මක දෘෂ්ටිවාදය හා හෙජමොනික දේශපාලන සබඳතා පුනර්නිෂ්පාදනය වන යාන්ත‍්‍රණ වෙන වෙනම ආයතනගත වී පැවැතියත් සාමාන්‍යයෙන් හෙජමොනික සමතුළිතභාවයක් පවත්නා අවස්ථාවකදී ඒවා එකිනෙක අතර අනුරූපීතාවයක් දැකිය හැකිය. නමුත් මෙම හෙජමොනික සමතුළිතභාවය බිඳවැටීමේ එක් ප‍්‍රකාශමානවීමක් වන්නේ දෘෂ්ටිවාදීමය තලය හා දේශපාලනය අතර ඇති අනුරූපීතාවය අර්බුදයට යාමයි. උදාහරණ වශයෙන් ප‍්‍රංශ විප්ලවයේ දී මෙන්ම 1905-1917 අතර කාලයේ රුසියානු විප්ලවීය නැගිටීම්වල දී ද ඒ නැගිටීම්වලට සක‍්‍රීයව දායක වූ හා ඒවායේ ගාමක බලවේගය වූ පිරිස් ස්ථාපිත පාලක දෘෂ්ටිවාදයෙන් විනිර්මුක්ත වූවෝ නොවූහ. ප‍්‍රංශයේ කැරළි ගැසූ ගොවි ජනයා ලූවී රජුට විරුද්ධ නොවූවා මෙන්ම 1905 දී රුසියාවේ පූජක ගැපොන් පසුපස සාර් මාලිගාවට පෙළපාලි ගිය රුසියානු කම්කරුවෝ ගමන් කළේ ‘සාර් දිනේවා’ කියමිනි. නමුත් ඒවායේ විප්ලවීය විභවය පැවැතියේ ඒ අවස්ථාව වන විට පාලක දෘෂ්ටිවාදය සහ දේශපාලනය අතර අනුරූපීතාවය අර්බුදයට ගොස් තිබුණේය යන කාරණාව මතයි.

ලංකාවේ මේ මොහොතේ ද එවැනි අර්බුදකාරී තත්වයක් නිර්මාණය වි ඇත. එසේ වී ඇත්තේ හෙජමොනික සැකැස්මේ ඉහළ අරා සිටින පාලක ප‍්‍රභූ කණ්ඩායමේ ක‍්‍රියාකාරකම් අතර සහ සාමාන්‍ය නිර්ප‍්‍රභූ ජනයා ද ඇතුළුව මෙම පාලක ප‍්‍රභූ කණ්ඩායමට පිටින් සිටින පිරිස් අතර අභිලාෂ පිළිබද ගැටුමක් තියුණු මට්ටමකින් නිර්මාණය වී තිබීම නිසාවෙනි. මෙම අර්බුදයේ විවිධ දේශපාලන ප‍්‍රකාශන අතර මෙම ස්ථාපිත හෙජමොනික සබඳතා ව්‍යුහයම යලි ස්ථාපිත කර පවත්වාගෙන යාමට දැරෙන උපාමාරු ද දක්නට ලැබේ. හෙජමොනියේ සිංහල-බෞද්ධ අංගෝපාංග දේශපාලන වශයෙන් යලි ස්ථාපිත කොට එය පවත්වාගෙන යාමට බොදුබල සේනා, ජාතික හෙළ උරුමය සහ විමල් වීරවංශ වැනි කොටස් උත්සාහ කරයි. එහි ලිබරල්වාදී අංගෝපාංග යලි ස්ථාපිත කීරීම කෙරෙහි මූලික වශයෙන් යොමු වී එය පවත්වාගෙන යාම කෙරෙහි රනිල් වික‍්‍රමසිංහ වැනි අය නිරත වී සිටී. මා යෝජනා කරන්නේ සෝභිත හිමිගේ ව්‍යාපාරය හැසිරෙන්නේ මේ ව්‍යාපෘතීන් දෙකට වෙනස්ව බවයි. රාමචන්ද්‍ර නිවැරදිව හඳුනාගන්නා පරිදි ‘ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් ගැන ‘අවංක’ හැඟීමකින් යුක්ත මධ්‍යම පාංතික වෘත්තිකයන් හා බුද්ධිමතුන් කවයක් මෙම ව්‍යාපාරයට සහයෝගය දෙමින්’ සිටින්නේ මේ තත්වය නිසාය.
සිංහල-බෞද්ධ ජාතිකවාදී කඳවුර මෙම ව්‍යාපාරය මුළුමනින්ම සතුරු එකක් ලෙස සලකා ඊට පහර දීමට පටන් ගෙන තිබීමත්, රනිල් වික‍්‍රමසිංහ මේ ව්‍යාපාරය සමඟ ඉතා පරිස්සමෙන් ගණුදෙණුකරන ප‍්‍රවේශයක සිටීමත් මගින් පෙන්නුම් කෙරෙන්නේ මෙම තත්වයයි.

ඍජුව කෙසේ වෙතත් වක‍්‍රව රාමචන්ද්‍ර අපට යෝජනා කරන්නේ මෙම ව්‍යාපාරයේ සීමාව වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳ සටන්පාඨය බවයි. කවර ආකාරයකින්වත් එය එසේ වීමට ඉඩක් නැත. මේ ව්‍යාපාරය මගින් සක‍්‍රීය කිරීමේ විභවය සහිත දේශපාලන සංවාදය ඉතා පුළුල් එකක් බව මගේ තක්සේරුවයි. ඉතා පැහැදිළි ලෙසම ඒසේ කළ හැක්කේ කෙසේද යන්න 1 2 3 යනා දී වශයෙන් දැකවීමට මට නොහැකිය. ෆේස් බුක් සංවාදයේ දී සුමිත් චාමින්ද මගේන් ඉල්ලා සිටි එක් දෙයක් වූයේ මෙය සංයුක්ත ලෙස පෙන්නුම් කරන ලෙසයි. එය කිරීමට මා කණගාටුදායක ලෙස අසමත්ය. මට එය පෙන්නුම් කිරීමට ඇති එකම ක‍්‍රමය වන්නේ එය සිදු කර පෙන්වීම මගින්ම පමණි. මා ප‍්‍රයත්න දරන්නේ එයටයි.
එය එක්තරා ආකාරයකට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය සම්බන්ධව මගේ අත්දැකීම වැනිය. එම අරගලයේ ආරම්භක අදියරේ දී මගේ කිට්ටු දේශපාලන මිතුරන් මගේ මැදිහත්වීම නිෂ්ඵල ව්‍යායාමයක් ලෙස පෙන්වා දුනි. මෙහි දී මගේ කිට්ටු දේශපාලන මිත‍්‍රයෙක් වන අජිත් පැරකුම් ජයසිංහ විසින් ඉදිරිපත්කළ තියුණු විවේචනය පෙන්වා දීමට පුළුවන. මේ විවේචනය රළු හා පුද්ගල කේන්ද්‍රීය මඩ ගැසීමක ආකාරයෙන් ශී‍්‍ර ලංකා පෙරටුගාමී පක්ෂය සිය 3මාන වෙබ් අඩවිය මගින් සිදුකරන ලදි. නමුත් පසුව මේ දෙපිරිසටම එම අරගලයේ සාධනීය විභවයන් පිළිගැනීමට සිදුවිය.

කෙසේ වෙතත් මේ කිසිඳු කරුණු දැක්වීමක් රාමචන්ද්‍ර ගේ දැක්ම තුළ සිටින පිරිස්වලට එතරම් ඒත්තුයන සුළු ඒවා නොවේ. මගේ අදහස වන්නේ කලින් කී ෆේස්බුක් සංවාදයේ ක‍්‍රියාකාරී මැදිහත් කරුවෙකු වූ කුමාර දිසානායක කීවාක් මෙන් මේ ක‍්‍රියාමාර්ග දෙක සමාන්තර ලෙස ගමන් කිරීම අහිතකර දෙයක් නොවන බවයි. මා සිතන ආකාරයට සෝභිත හිමිගේ ව්‍යාපාරයට ඇතිවන ආකර්ශනය අභියෝගයක් ලෙස භාරගෙන තමන් අතර පෙරනොවූ විරූ ඒකාබද්ධතාවයක් ගොඩනංවා ගැනීමට ද රාමචන්ද්‍ර අයත් වාමාංශික කතිකාවට හැකියාවක් ඇති බවයි. ඒ කතිකාව සෝභිත හිමි කේන්ද්‍රකරගත් ව්‍යාපාරයට ද නිශේධාත්මක අභියෝගයක් නොව එහි විමුක්තිවාදී නැඹුරුව පෝෂණය කරන්නක් බවට පත්වීමට වැඩි ඉඩකඩක් වනු ඇත්තේ පළමුව කී කතිකාව එතරම් මහජන ආකර්ශනයට ලක්වන එකක් බවට පත්වීමට ඇති ඉඩකඩ සීමිත නිසාය.

- නිර්මාල් රංජිත් ‍දේවසිරි ( අගෝස්තු 17)

No comments:

Post a Comment