Saturday, September 13, 2014

ජාත්‍යන්තර සිනමා උලෙලේ පරස්පර විරෝධය

කොලඹ ජාත්‍යන්තර සිනමා උලෙල පසුගිය සතියේ නිමාව දුටුවේය. පේ‍්‍රක්ෂකයින්ගෙන් සිනමා ශාලා පිරී ඉතිරී ගොස් තිබීම උලෙල තුල පෙන්වූ සෑම චිත‍්‍රපයටකදීම පාහේ දක්නට ලැබුණු නිරීක්ෂනයකි. එය මහත් සාධනීය ලකුනක් බව නොකිවමනාය. ලංකාවේ සිනමාව පසුගිය වසර කිහිපයක කාලය තිස්සේ ගමන් කරමින් සිටින්නේ අපගමනයක් කරාය. සිනමාව ලෙස පසුගිය කාලය පුරා වර නැගුනේ රජ කථා සහ බන කථා සරල ලෙස චිත‍්‍රපටයට පෙරලීමයි. මේ බාල වෙලද සිනමාව සදහා මාධ්‍ය අනුග‍්‍රහය මෙන්ම රාජ්‍ය අනුග‍්‍රහය ද නොමදව හිමිව තිබුනි. පේ‍්‍රක්ෂකයින්ගේ දිගු පෝලිම් දක්නට ලැබුනේ එබදු කසිකබල් සිනමා පට පෙන්වන සිනමා ශාලා ඉදිරිපිටය.

ජාත්‍යන්තර සිනමා උලෙල තුල පෙන්වූ කිසිදු චිත‍්‍රපටයක් ලංකාව තුල පසුගිය කාලයේ ජනප‍්‍රිය වූ එම සරල වෙලද සිනමා කැටගරියට අයත් ඒවා නොවේ. එවැනි පසුබිමක් තුළ සිනමා උලෙල විශාල පේ‍්‍රක්ෂක සමූහයක් ආකර්ෂනය කරගැනීම සුවිශේෂීය. කෙසේ වුවද එම සාර්ථකත්වයේ සීමා ඇත. එහි තිබෙන ප‍්‍රබලතම සීමාව නම්, විශාල පේ‍්‍රක්ෂක සහභාගීත්වයක් අත්පත් කරගත් තතු යටතේ පවා, තවමත් සිනමා උලෙල පොදුජනයාගෙන් දුරස්ථ වූ අත්දැකීමක් වශයෙන් ස්ථානගත වී තිබීමයි.

ජාත්‍යන්තර සිනමා උලෙල නරඹන්නට පැමිනි පේ‍්‍රක්ෂකයින් සැලැකූ කල්හි ඔවුහු මූලික වශයෙන් සමාජයේ එක්තරා ස්ථරයක් නියෝජනය කරන්නෝ යැයි කිව හැක. පේ‍්‍රක්ෂකාගාරය සමන්විත වී තිබුනේ නාගරික හා අර්ධ නාගරික මැද පංතික සමාජ කොටස් වලින්ය. මෙම සංස්කෘතික අත්දැකීම සමාජයේ නිර්ප‍්‍රභූ ජනයා හට ආගන්තුක එකක් ලෙසය පැවැතියේ. මෙබදු සංස්කෘතික අත්දැකීමක් සමාජයේ බහුතරය සංයුක්ත කරන  වැඩ කරන ගැහැනුන්ට සහ පිරිමින්ට ගෝචර වන්නේ නැත. සමාජයේ බහුතරය එබදු සිනමා උලෙලක් තිබෙන බවවත් අඩු තරමින් දැන නොසිටින්නට ඇත.

එය සිනමා උලෙල සංවිධායකයින්ගේ ප‍්‍රශ්නයක් නොව අප ජීවත් වන සමාජයේ මූලික හැඩහුරුව සම්බන්ධ දේශපාලන ප‍්‍රශ්නයකි. කලාව තුළ අන්තර්ගත වන්නේ ඓතිහාසික මිනිස් නිර්මානශීලීත්වයයි. ප‍්‍රකෘතිය සමග වූ අනවරත අරගලයේ දී මිනිසා විසින් අත්පත් කරගත් සංස්කෘතික අත්දැකීම් හා සාක්ෂාත් කරගැනීම් කලාව තුල සංයුක්තය. ජීවිතය යනු හුදෙක් ආහාර ගැනීම, රමනය කිරීම හා නින්දට යාම නොවේ. මිනිසා සතුන්ගෙන් වෙනස් වන එක් තැනක් නම් සංස්කෘතික ජීවිතයයි. කලාව තුළින් ප‍්‍රකාශිත රස වින්දනාත්මක කලාපය අයත් වන්නේ එම සංස්කෘතික ජීවිතයටය.

සමාජයේ අති බහුතරය අද වන විට මෙම සංස්කෘතික ජීවිතයෙන් වියෝ කරනු ලැබ සිටිති. කොලඹ නගරය සලකන කල්හි දෛනිකව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රැකියා කරනු සදහා කොලඹ එති. ඉන් සැලැකිය යුතු පංගුවක් වැටුප් ශ‍්‍රමිකයෝ වෙති. සතියේ දින පහ හෝ ඊටත් වැඩි දින ගනනක් කය හා මනස වෙහෙසා වැඩකිරීම මත ජීවිතය රදා පවතින්නා වූ සාමාන්‍ය වැටුප් ශ‍්‍රමිකයෙක්ට සිනමා උලෙල සම්මුඛ වන්නේ කෙසේද? උදේ අටත් සවස පහත් අතර කාලය තුළ චිත‍්‍රපට බැලීමට යන්ට ඔහුට කාලයක් නැත. දවස පුරා වැඩ කරන ශ‍්‍රමිකයින්ට අඩු තරමින් රාත‍්‍රී හතේ දර්ශනයවත් වලංගු නැත. රාත‍්‍රී හත දර්ශනය බැලූවත් රෑ බෝ වී නිවෙස බලා යාමේ ප‍්‍රශ්න ඇත. ප‍්‍රවාහන ප‍්‍රශ්නය පසෙක තැබුවත්, ඊලග දිනයේ උදැසන යලි වැඩට යාම පිලිබද ප‍්‍රශ්නයක් පවතී. පවුලේ සාමාජිකයින්, හිතවතුන් සමග විවේකීව මෙබදු සංස්කෘතික අත්දැකීමක් ආස්වාදනය කිරීමේ විවේකය හා කාලය සමාජයේ බහුතරයක් වූ ශ‍්‍රමය වගුරුවන්නන් හට සහ සාමාන්‍ය වැටුප් ශ‍්‍රමිකයන් හට හිමි වී නැත.

ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය කවරාකාරද? බොහෝ විට එය වෙහෙස මහන්සි වී වැඩ කොට නිවෙස බලා ගිය විට රූපවාහිනිය තුල පෙන්වන බාල වෙලද ටෙලි නාට්‍යයක් නැරඹීමට සීමා වී තිබේ. ඔවුන්ගේ ලෝකය තුළ කලා කෘති ලෙස ස්ථානගත වන්නේ ‘මලී’ හෝ ‘ස්වප්නා’ පන්නයේ  ඕලාරික නිෂ්පාදිතයන්ය. සරල ගීත ඇසීමෙන් ඔබ්බට සංගීත රසාස්වාදනයක් ඔවුහු නොහදුනති. පවතින සමාජ රටාව තුළ බහුතර ජනයාට සැබැවින්ම හිමි වී තිබෙන්නේ සංස්කෘතික ජීවිතයකින් තොර සත්වමය පැවැත්මකි. ආහාර සොයාගැනීම සදහා වැඩ කිරීම, අනුභව කිරීම, වර්ගයා බෝ කිරීම සහ නිදා ගැනීමට එම ජීවිතය සීමා වී ඇත.

උසස් කලා කෘතීන් ආස්වාදය කිරීම සදහා යම් ශික්ෂණයක් හා කලාව පිලිබද යම් අවබෝධයක් අවශ්‍ය කෙරේ. එවැනි ශික්ෂනයක් ප‍්‍රගුන කිරීම සදහා ජීවිතයේ යම් නිදහස් කාලයක් තිබිය යුතුය. විවේකයක් තිබිය යුතුය. පැවැත්ම සදහා දවස පුරා වැඩ කිරීම ඉරනම බවට පත්වී තිබෙන කම්කරුවෙක්ට හෝ වැඩ කරන වෙනත්  මිනිසෙක්ට එබදු ශික්ෂනයක් ප‍්‍රගුන කරගැනීම සදහා ‘කාලයක්’ හෝ ’නිදහසක්’ හිමි වන්නේ නැත. ඒ අනුව ධනවාදී සමාජය තුළ කලාවට හා සංස්කෘතික ජීවිතයට පංතිමය අර්ථයක් තිබේ. වැටුප් ශ‍්‍රමිකයින්ට, ගොවීන්ට, ධීවරයින්ට කලාව හා සංස්කෘතික ජීවිතය අදාල නැත. එක් පැත්තකින් උසස් කලාව ආස්වාදය කිරීම සදහා වූ ශික්ෂනය පවතින සමාජ කොන්දේසි තුළ කවදාවත් ඔවුන්ට හිමි වන්නේ නැත. අනිත් අතින් කලාව ගැන යම් උනන්දුවක් තිබුනත් ඒ සදහා විවේකී වූත් නිදහස් වූත් කාලයක් ඔවුන්ට හිමි වී නැත. සිනමා උලෙල විසින් ඇති කළ ‘සංස්කෘතිය’ ගැන ආස්වාදයෙන් කථා කරද්දී එහි නිශේධනය - එනම් බහුජනතාවට එම සංස්කෘතික අත්දැකීම අහිමි වී තිබීම, එතුලම අන්තර්ගත වන බව මතක තබා ගත යුතු මනාය.  

 
 


No comments:

Post a Comment