Tuesday, September 2, 2014

ඒකමානීය අනගාරික ධර්මපාල

පාලිත සිල්වා අනගාරික ධර්මපාල ලෙස 
ගුනදාස අමරසේකර විසින් රචිත ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?’ කෘතියේ තෙවැනි මුද්‍රනය පසුගිය අගෝස්තු 20 වන දා මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනේදී එලිදැක්වින. මේ අවස්ථාව සදහා විමල් වීරවංශ, චම්පික රනවක ආදී දේශපාලකයින් පිරිසක් සම්බන්ධ වී සිටියහ. ලංකාවේ රාජ්‍යය ධර්මපාලගේ චින්තනය මත පදනම්ව ගොඩනැගිය යුතුව තිබූ බවත්, එසේ සිදුනොවීම බලවත් අභාග්‍යයක් බවත් එම සභාව අමතා ඇමැති විමල් වීරවංශ ප්‍රකාශ කොට තිබුනි. 2013 සැප්තැම්බර් මස 18 වන දා මාධ්‍ය හමුවක් කැදවමින් බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ‘අනගාරික ධර්මපාලලා ලක්ෂයක් ඉදිරි කාලයේ තමා විසින් බිහි කරන බව’ ප්‍රකාශ කලේය. එම සංවිධානයේ නායකයෙක් වූ කිරම විමලජෝති භික්ෂුවගේ මූල්‍ය දායකත්වයෙන් ‘අනගාරික ධර්මපාල’ නමින් සිනමා පටයක් ද මේ වන විට නිෂ්පාදනය වී ඇත.

සිංහල සමාජයේ එදිනෙදා ජන විඥානය තුල අනගාරික ධර්මපාල ස්ථානගත වන්නේ ජාතික වීරයෙක් වශයෙනි. සිංහල ජාතිකවාදී දහරාව තුල සිටින විවිධ වර්ග වල ජාතිකවාදියෝ - ඥානසාරගේ සිට ගුනදාස අමරසේකර දක්වා - ධර්මපාල සංකේතයක් ලෙස සලකන බව පෙනේ. පාසල් වල ලමුන්ට අනගාරික ධර්මපාල ජාතික වීරයෙක් යැයි ඉගැන්වේ. මේ නිසා ධර්මපාල චරිතයට ලැබී තිබෙන්නේ හෙජමොනික අගයකි. ඔහුගේ ජාතික වීරත්වය ප්‍රශ්න කල නොහැකි ඉතාම ස්වභාවික දෙයක් ලෙස සාමාන්‍ය ජන විඥානය තුල තහවුරු වී තිබේ.

අනගාරික ධර්මපාල යනු මෙරට යටත් විජිත විරෝධී බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ ප්‍රබල චරිතයකි. බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය ප්‍රධාන දේශපාලන උපකරනයක් ලෙස ක්‍රිස්තියානිකරනය උපයෝගී කරගත්තේය. ලංකාවේ සාම්ප්‍රදායික ස්වදේශික ආගම්  මැඩ, ක්‍රිස්තියානි ධර්මය ප්‍රචලිත කිරීම සදහා බ්‍රිතාන්‍ය යටත් විජිත රජය ප්‍රකටව උත්සාහ ගත් අතර බෞද්ධ පුනරුද ව්‍යාපාරය යනු එම ආධිපත්‍යයට එරෙහිව පැන නැගි කැරැල්ලකි. ලංකාව තුල කවදාවත් දේශපාලනමය වශයෙන් ප්‍රබල යටත්විජිත විරෝධී ජාතික විමුක්ති ව්‍යාපාරයක් හටගත්තේ නැත. ඒ වෙනුවට අපට දක්නට ලැබෙන්නේ ආගමික හා සංස්කෘතික මුහුනුවරක් රැගත් ප්‍රතිවිරෝධය පෑමේ ව්‍යාපාරය. දේශපාලන-ආර්ථික මාතෘකා ගැන ප්‍රශ්න ධර්මපාල විසින් මතු කරන්නට යෙදුනි. උදාහරනයක් ලෙස බටහිර සංස්කෘතිය පසුපස නොයා ස්වදේශීය කර්මාන්ත දියුනු කරන මෙන් ධර්මපාල ස්වදේශීය ධනවතුන්ගෙන් ඉල්ලා සිටියේය. ජපානය හා ජරමනිය එහිදී ආදර්ශයට ගන්නා ලෙස ඔහු යෝජනා කලේය. එහෙත් මේ පදනම් මත දේශපාලන ව්‍යාපාරයක් බිහිකිරීමට ධර්මපාල අසමත් වූයේය. අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනය සමග දැඩිව බැදී සිටි සිංහල මහ ධනපති පංතිය ධර්මපාලගේ යෝජනාව ගැන සැලැකිල්ලක් නොදැක්වීය.

යටත්විජිතවාදය විසින් ස්වදේශීය ජනයා මත අභ්‍යාස කල බලාධිපත්‍යයට එරෙහි වීමේ ප්‍රමානයට ධර්මපාලගේ ව්‍යාපෘතිය තුල යම් විමුක්තිකාමී සංරචකයක් තිබූ බව කිව හැක. එහෙත් ඉන්දියාව වැනි රටක යටත් විජිත විරෝධී ධනේශ්වර ජාතිකවාදය වර්ධනය වූ ආකාරය සලකන විට ලංකාවේ ධර්මපාල ව්‍යාපාතීය වැන්නක් ස්ථානගත වන්නේ ඉතාම දුර්වල වූත් සීමාකාරී වූත් උත්සාහයක් ලෙසය. යටත්විජිතවාදයට විරුද්ධ වෙද්දී ධර්මපාල සිය පදනම ලෙස ගත්තේ ‘සිංහල බෞද්ධ’ වාර්ගිකත්වයයි. යටත්විජිතවාදය හරහා පැමිනි ධනවාදය විසිරී තිබුනු විවිධ රාජධානි ඒකාබද්ධ කොට ඉන්දියාව නමින් රාජ්‍යයක් ගොඩනැගු‍වේ යම් සේද එලෙසම ලංකාව නමින් රාජ්‍යයක්ද ගොඩනගා තිබුනි. ඉන්දියාවේ ජාතික ව්‍යාපාරය සිය පදනම ලෙස ගන්නේ ඉන්දියානුභාවයයි. නේරු-ගාන්ධිගේ ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරය ඒ අනුව පදනමින් පුලුල් වූවකි. එය බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයට විරුද්ධ වූයේ හින්දු ස්වෝත්තමවාදී පදනමක් හිද සෙසු වාර්ගික ප්‍රජාවන් බැහැර කරන පදනමක් මත සිටිමින් නොවේ.

එහෙත් ධර්මපාලගේ ව්‍යාපාතීයේ සීමාව සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය විසින් සලකුනු කොට තිබුනේය. ඔහුගේ මූලිකත්වයෙන් පල වූ සිංහල බෞද්ධයා පුවත්පත සෙසු වාර්ගිකයින් හැදින්වූයේ හම්බයා,දෙමළා,මරක්කලයා ආදී ගර්හිත යෙදුම් වලිනි. “ හම්බයන් මුස්ලිම්වරුන් කුලී වැඩ කොට සුලු මුදලක් උපයා වෙලදාම් කොට ධනවත් වී සිටිති. හම්බ යෝනකාදීන්ට හසුවී බොහෝ දෙනා අනාථ වෙති. සිංහලයින් එකතු වී සමාගම් පිහිටුවා වෙලදාම් කල යුතු’’ යැයි කී එම පුවත්පත මුස්ලිම් කඩ වර්ජනය කරන මෙන් මහජනයාගෙන් ඉල්ලා සිටියේය. යුරෝපයේ යුදෙව්වන් ෂයිලොකියානු ක්‍රම වලින් පොහොසත් වූයේ යම් සේද දකුනු ඉන්දියාවේ සිට පැමිනි මුස්ලිම්වරු මෙරට වෙලදාම අල්ලාගෙන සිටින බව ධර්මපාල ලිවීය.

අනගාරික ධර්මපාලගේ මේ පටු ස්වෝත්තමවාදී දැක්ම වර්තමානයේ ප්‍රධාන දහරාවේ කිසිදු තැනෙක සාකච්ඡාවට ලක්වන්නේ නැත. පාසල් වල ධර්මපාල යටත්විජිත විරෝධී ජාතික වීරයෙක් ලෙස දරුවන්ට උගන්වද්දී ඒ යටත්විජිත විරෝධයේ සීමාව කුමක්දැයි සාකච්ඡා කෙරෙන්නේ නැත. එහි ප්‍රතිඵලය නම් ධර්මපාල නම් ‘යුග පුරුෂයා’ ගැන අවිවේචනාත්මක ප්‍රතිරූපයක් නිර්මානය වී තිබීමයි. කොහොමත් ලංකාව වැනි පසුගාමී සමාජ වල ‘යුග පුරුෂයන්’ ගැන තිබෙන්නේ අන්ධ ආගමික ස්වභාවයේ සාකච්ඡාවකි. ඒවාවලදී ඔවුන්ගේ ශක්‍යතා උත්කර්ෂයට නංවන අතර සීමාවන් ඔවුන් ජීවත් වී සිටි කාලයේ සන්දර්භය තුල බහා වටහා ගැනීමට උත්සාහ කරන්නේ නැත. මෙම දුර්ගුනය අඩු වැඩි වශයෙන් ‘වමේ ව්‍යාපාරයේ වීරයින්’ ගැන කථා කරද්දිත් දැකගැනීමට පුලුවන.


ධර්මපාල ගැන එවැනි පුලුල් සාකච්ඡාවක් සමාජගත නොවීමේ ප්‍රතිඵලය නම් අසහාය ජාතික වීරයා ගැන ප්‍රතිරූපය දිගින් දිගටම ජනමනස තුල නඩත්තු වීමයි. එම ඒකමානීය ප්‍රතිරූපය ඥානසාරලාගේ සිට වීරවංශලා දක්වා සියලු ආකාර වල තක්කඩීන්ට කදිම ඉල්ලමක් වී තිබේ. 

5 comments:

  1. ///පාසල් වල ලමුන්ට අනගාරික ධර්මපාල ජාතික වීරයෙක් යැයි ඉගැන්වේ. මේ නිසා ධර්මපාල චරිතයට ලැබී තිබෙන්නේ හෙජමොනික අගයකි. ඔහුගේ ජාතික වීරත්වය ප්‍රශ්න කල නොහැකි ඉතාම ස්වභාවික දෙයක් ලෙස සාමාන්‍ය ජන විඥානය තුල තහවුරු වී තිබේ. ///

    මේ කථාවට නම් හිත ගියා...ඔතැන පාසල් ලමුන් කියන තැනට ජෙවීපී කාරයන්, අන්ත ලිබරල්වාදීන්, මාක්ස්වාදීන් කියන ඕනෑම කුලකයක් ආදේශ කරලා විජෙවීර, ඇඩ්ම්ස්, මාක්ස් වචන අනගාරික ධර්ම පාල කියන තැනට දැම්ම අදහස වඩා පලල්

    කොටින්ම කියතොටො ගිරව් වගේ තමන්ට උගන්වනදේ පමන්ක් ඇගට දා ගත්ත ලංකාවෙ බහුතරයකට ඕක අදාලයි..නිදහස් චින්තනය දන්නේ නැති ඕනෑම කට්ටිට්යකට අදාලයි....

    ReplyDelete
  2. ධර්මපාලගේ ව්‍යාපාරය ජාතික විමුක්ති අරගලයක් ලෙස ගොඩ නොගැන්නේ ම එහි වූ ජාතිවාදි සොබාවයි. ඒ යුගයේ සිටි දේශපාලන නායකයන් ද්ර්මපාල ගණන් නොගන්නටත් හේතුව ව්යම විය හැකියි.

    ReplyDelete
  3. අනගාරික ධර්මපාල කොලඹ උසස් සහ ධනවත් ප්‍රභූ පවුලක සාමාජිකයෙකි. එම නිසා බටහිරට ලැදි කොලඹ උසස් සමාජය තුල ගැවසී එම සමාජයේ අඩුපාඩු දැකීමට ඔහුට හැකි විය​. ඔහු අතිථී භීතිකාව (xenophobia ) හෙවත් විදේශිකයින්ට බිය සහ නුරුස්නා බව නිසා හෝ හීනතාමාන සංකීර්ණය නිසා හුදු බටහිර විරෝධියෙකු නොවුයේය​. ඔහු බටහිර ශිෂ්ටාචාරයේ උසස් සහ දියුණු අංගයන් අධ්‍යනය කලේය​. බටහිර ශිෂ්ටාචාරයේ දියුණුව රඳා පවතින අධ්‍යාපනික , තාක්‍ෂණික සහ සමාජ විනය ලංකාවේ ඇති කල යුතු බව විශ්වාස කලේය​. විදේශයන් වෙත ගොස් කර්මාන්ත ඉගෙන ගැනීමට ඔහු තම වියදමින් ශිෂ්‍යත්ව පවා දුන්නේය. අනගාරික ධර්මපාලතුමා විරුද්ධ වූයේත් විවේචනය කලේත් බටහිර සංස්කෘතියේ දියුණු හරය වෙනුවට එහි පහළ ස්ථර වල ඇති කුණු කසළ වැළඳ ගැනීමෙන් සිය ජාතික අනන්‍යතාව ක්‍ෂය කර ගැනීම පිලිබඳවය​.

    අනගාරික ධර්මපාලතුමා ජාතිවාදියෙක් ද ? ඔහු ලියූ ඇතැම් කවි සහ ලිපි මගින් අන්‍ය ජාතිකයන් විවේචනය කල බව ඇතැමෙකු පවසති. ඔහුගේ බස අද කාලයට සාපේක්‍ෂව කර්කශ වූවද එම කාලයේ අධ්‍යාපනයෙන් අඩු ග්‍රාමීය ජනතාව ආමන්ත්‍රනය කිරීමේදී යොදා ගත් සාමාන්‍ය විවහාරයකි. අධ්‍යාපනයෙන් සහ සමාජ මට්ටමින් අඩු ජනතාවට ආමන්ත්‍රනය කිරීම සඳහා ඔහු සරල ග්‍රාම්‍ය භාෂාවක් යොදාගත්තේය​. නමුත් අනගාරික ධර්මපාල ජාතීන් අතර විස පැතිරූ ස්වාර්ථය සඳහා ජාතීන් අතර විරසක ඇති කල නායකයෙකු නොවීය​. ඇතැම් අවස්ථා වලදී දමිළ සහ මුස්ලිම් ජන වර්ගයන් තුල පොදුවේ තිබෙන ඇතැම් දියුණු ලක්‍ෂණ සිංහලයන් විසින් අනුගමනය කල යුතු බව ලිවීය​. රැකියා කර්මාන්තයේ නොයෙදෙන යන්තම් ජීවත් වීම සඳහා කය සොලවන , අනාගතයක් මෙන්ම දුවා දරුවන් ගැන නොසිතන නූගත්කමේ ගැලී සිට මත් පැන් පානයේ යෙදෙන පුද්ගලයන් ඔහුගේ නිර්දය විවේචනයට ලක් විය​.

    ඔහු සිංහල පමණයි යන පටු අදූරදර්ශී ආත්මාර්ථකාමී සටන් පාඨය බැහැර කලේය​. එමගින් සිංහල දරුවන් සදාකාලික ග්‍රාම්‍ය නූගත්වයේ සහ​ බාහිර ලෝකයට විවෘත විය නොහැකි කොදෙව් මානසිකත්වයේ සිරකරුවන් වන බව පසක් කලේය​. ස්ව භාෂාව ප්‍රගුණ කොට විදේශ භාෂාද ඉගෙන ගත යුතු බව අනගාරික ධර්මපාලතුමා පෙන්වා දුන්නේය​. දියුණු සමෘධිමත් තාක්‍ෂණයෙන් උසස් ආධ්‍යාත්මික ස්වයං විනයක් සහිත සමාජයක් පවතින ලංකාවක් පිලිඳව ඔහු සිහින දුටුවේය​.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නට උත්සහ කරන කරුණු, කොහොම නමුත් ඔහුගෙ චරිතය තුල හෝ ක්රියාකාරිත්වය තුල කොහොමටවත් කැපිල පෙනුනෙ නැහැ. ඔබ කියන විධිහට එහෙම ධනාත්මක චින්තනයක් තිබුනම්, අද ලංකාව තුල පටු ආගමික සහ ජාතිවාදි චින්තනයක් වැපිරිලා තියෙන්නෙ කොහෙමද ? දෙවනුව, ධර්මපාල පසුපස සමාජය විසින් පෙලගස්සපු චරිත දිහා බලන්න. ගංගොඩවිල සෝම, ගුනදාස අමරසේකර, නලින්ද සිල්ව, ඒ විතරක් නෙමෙයි ගලගොඩඅත්තෙ ඥාණසාරත් ධර්මපාලගෙ හෙවනැල්ලෙ ඉන්නෙ.

      Delete