Saturday, June 14, 2014

හයිඩ් පිටියද? ඉන්දීය තානාපති කාර්යාලයද?

ලංකාවේ අනාගත දේශපාලනය සම්බන්ධ ඉදිරි දර්ශන දෙකක් ඉදිරිපත් කරන දේශපාලන පෙලපාලි දෙකක් පසුගිය අගහරුවාදා ( ජූනි 10 ) දින කොළඹ නගරයේ පැවැත්වින. එක් පෙලපාලියක් නෙලූම් පොකුන පරිශ‍්‍රය අසලින් ආරම්භ වී හයිඞ් පිටිය වෙත පැමිනි අතර අනිත් පෙලපාලිය ගාලු පාර දිගේ පැමින ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අසලින් නතර විය. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය , වෘත්තීය සමිති සහ වෙනත් බහුජන සංවිධාන ගනනාවක් සමග එකතු වී සංවිධානය කරන ලද මුල් පෙලපාලිය නම් කොට තිබුනේ ‘නව ලිබරල් ධනවාදයට හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට එරෙහි සිසු ජන පෙලගැස්ම’ නමිනි. ජාතික නිදහස් පෙරමුන ඇතුලු ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරන ලද දෙවන පාගමන පවත්වන ලද්දේ ලංකාව තුල ඊලමක් නිර්මානය කල යුතු බවට තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් කරන ලද ප‍්‍රකාශයකට විරෝධය දැක්වීම සදහාය.

අවිශිබම විසින් පාගමන අවසානයේ රැලියක් හයිඞ් පිටියේ දී පවත්වන ලදී. එම රැලිය ඇමතූ සමාජයේ විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කරමින් පැමින සිටි කථිකයෝ තම තමන්ගේ ක්ෂේත‍්‍ර වල තිබෙන සමාජ ප‍්‍රශ්න ගෙන හැර දැක්වූහ. මහජන අධ්‍යාපනයට කෙරෙන මුදල් කප්පාදු කිරීමේ සිට සෞඛ්‍යය සේවාව පෞද්ගලිකකරනය වීම, කෘෂි යෙදවුම් වෙළදපොලකරනය වීම සහ ඒ හරහා ගොවීන් සූරාකෑමට ලක්වීම, අගනුවරින් පන්නා දැමීමට නියමිත නාගරික දිලින්දන්ගේ ප‍්‍රශ්නය, සමාගම් වල ලාභය වෙනුවෙන් පරිසරය විනාශ වීම ආදී ප‍්‍රශ්න රාශියක් මෙහිදී අවධාරනයට ලක් කෙරින. මේ ප‍්‍රශ්න වල මූලික වග උත්තරකරු ලෙස හදුනාගන්නා ලද්දේ රජය විසින් අනුගමනය කරමින් සිටින නව ලිබරල් සමාජ ආර්ථික ප‍්‍රතිපත්තියයි. මේ සමාජ ආර්ථික මොඩලය බලාත්මක කිරීමට යාමේදී ඊට එරෙහිව මතුවන විරෝධතා මර්දනය කරනු වස් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලන තන්ත‍්‍රයක් අටවා ගැනීමට සිදුවන ආකාරයත් රැලියේදී සාකච්ඡාවට ගන්නා ලදී.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී නතර වූ අනිත් පාගමන ජයලලිතා ජයරාම්ගේ අනුරුවක් ගිනි තබා ඒ වටා ගෝත‍්‍රික නැටුමක් රගදක්වා අවසාන වූයේය. ප‍්‍රශ්නය මෙයයි : ජයරාම් හැර වෙනත් පඹයෝ සිටිත්ද? ලංකාව තුල මෙතෙක් මහජන සේවාවන් ලෙස සැලැකූ දේවල් ඇතුලූ සියලූ දෑ වෙළදපොලකරනය වෙමින් තිබේ. සෑම දෙයකටම මිලක් නියම වෙමින් ඇත. එය සාමාන්‍ය මිනිසාගේ ජීවන බර වැඩි කොට ඇත. මේ ජීවන බර සමග ඔට්ටු වීමට වෙනදාටත් වඩා වැඩියෙන් වැඩ කිරීමට සාමාන්‍ය මිනිසාට බල කෙරී ඇත. එක් රැකියාවක් කරමින් සිටි අය අතුරු රැකියා කරති. අතිකාල සේවා සොයායති. මේ කාර්යබහුල කැඹිරීම තුළ සාමාන්‍ය මිනිසාට අහිමි වන්නේ විවේකය සහ ජීවන තෘප්තියයි. දෛනික ජීවිතය තුල පහල පාංතික ලාංකීය මිනිසා හෙම්බත් වී සිටී. මෙම පීඩාව ජනිත කරන සමාජ ආර්ථික මොඩලය පවත්වාගෙන යන්නේ කවුද? මහා සමාගම්, විශාල ව්‍යාපාරික ධනවතුන්ගේ වාසිය සදහා වූ මෙම සමාජ ආර්ථික මොඩලය පවත්වා ගෙන යන්නේ ශ‍්‍රීලනිපය හා එජාපය ප‍්‍රමුඛ දේශපාලන ප‍්‍රභූ තන්ත‍්‍රය විසිනි. ගිනි තබනවා නම් ගිනි තැබිය යුත්තේ මෙම සමස්ථ බල ව්‍යුහය නියෝජනය කරන පඹයෙකි.

එහෙත් ඒ වෙනුවට ජාතික නිදහස් පෙරමුන අපට කියන්නේ මොනවාද? එය සමාජයේ විරෝධය තමිල්නාඩුවේ දෙමල දේශපාලකයින්ට එරෙහිව සංවිධානය කරයි. මේ සිංහල ජාතිකවාදී කතිකාව අනුව සිංහල මිනිසාගේ සතුරා සිටින්නේ සිංහල සමාජය තුළ නොව සමාජයට පිටතින්ය. එම බාහිර දුෂ්ට සතුරා පරාජය කිරීම අපගේ මූලික කටයුත්ත ලෙස සැලැකිය යුතුය. ඒ සදහා අප සමාජය අභ්‍යන්තරයේ දැවෙන ගැටලූ ද්විතීක කළ යුතුය. ‘බඩට උඩින් රට තබමු‘ යනුවෙන් වර නගන ලද්දේ මේ ප‍්‍රවේශයයි.

මේ බාහිර සතුරා කවදාවත් පරාජය වී අවසන් වන කෙනෙක් නොවේ. සිංහල ජාතිකවාදයේ උත්කෘෂ්ටම ජයග‍්‍රහනය ලෙස සැලකිය හැකි ප‍්‍රභාකරන්ගේ මරනයෙන් පසුව වුව මෙම බාහිර සතුරාගේ පැවැත්ම අහෝසි නොවූ අතර සම්බන්ධන්, විග්නේශ්වරන්,ජයලලිතා, ගෝපි වැනි  ඕනෑම දෙමල නමකින් මේ රික්තකය නිරන්තරයෙන් පුරවනු ලැබේ. මේ අනුව සමාජයේ සාමාන්‍ය මිනිසාගේ විරෝධාකල්පය කවදාවත් පරාජය වී අවසන් නොවන ව්‍යාජ සතුරෙක්ට එරෙහිව දිගින් දිගටම සංවිධානය කරමින් සිටීම ජාතිවාදීන්ගේ කාර්යයයි. සිය ජීවිතයේ සැබෑ පීඩාවේ මූලය වන පවතින සමාජ ආර්ථික මොඩලයට විරුද්ධව ජනතාව සංවිධානය වීම වැලැක්වීමට නම් දිගින් දිගටම මෙබ`දු ව්‍යාජ සටන් නඩත්තු කිරීමට සිදුවේ.

ජූනි 10 වන දා එකම වේලාවක කොලඹ දී මුලූ දුන් පෙලපාලි දෙක ලංකාවේ අනාගත දේශපාලනය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් ඉදිරි දර්ශනයන් ඉදිරිපත් කරන්නේ ඒ අනුවය. එක් පෙලපාලියක් සමාජ ආර්ථික පසමිතුරුතා මත පවතින සමාජ ක‍්‍රමයට එරෙහිව සමාජය සංවිධානය කළ යුතු බවට යෝජනා කරද්දී අනෙක වාර්ගික පසමිතුරුතා මත සමාජය පෙලගැස්වීමට යෝජනා කරයි. ඒ පවතින සමාජ ක‍්‍රමය ප‍්‍රශ්න වීම වැලැක්වීම සදහාය. අප තෝරාගන්නේ නෙලූම් පොකුනේ සිට හයිඞ් පිටියට යන මාවතද? ගාලු පාර දිගේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට යන මාවතද? යන්න මත අපගේ සමාජයේ අනාගතය තීරනය වනු ඇත.  

4 comments:

  1. ලෝකයේ තියෙන සියළු ව්‍යාධීන්ට මුල නව ලිබරල් සමාජ ආර්ථික ප‍්‍රතිපත්තියයි. රාමාගේ මෑණියන් කොස් ඇට කෑ විට පට පට ගා පඩ යන්නේද නව ලිබරල් සමාජ ආර්ථික ප‍්‍රතිපත්තියේ වරද නිසා බව අපි මීට පෙර පෙන්වා දුනිමු. නව ලිබරල් සමාජ ආර්ථික ප‍්‍රතිපත්ති හඳුන්වා දීමට පෙර ලෝකයේ කිසිම ප්‍රශ්නයක් නොතිබුණු අතර රාමාගේ මෑණියන්ට කොස් ඇට සීයක් කෑවත් පඩ නොගියේය. ලෝකයේ ඔකොම ප්‍රශ්න පටන් ගත්තේ මේ කෙහෙල්මල් නව ලිබරල් සමාජ ආර්ථික ප‍්‍රතිපත්තිය නිසාය. එනිසා නව ලිබරල් සමාජ ආර්ථික ප‍්‍රතිපත්තිය තුරන් කිරීම අපේ ජීවිතයේ ඒකායන අරමුණ විය යුතුය.

    ReplyDelete
    Replies
    1. මං නම් හිතන්නේ ලෝකයේ තියෙන සියළු ව්‍යාධීන්ට මුල නව ලිබරල් සමාජ ආර්ථික ප‍්‍රතිපත්තියම නෙමෙයි. උදාහරණයක් විදියට ශිෂ්ට බසින් ලියා ඇති දේශපාලනමය ලියවිල්ලකට විවේචනයක් කරන විට 'ලේඛයාගේ මෑණියන්ට පඩ යාම' ගැන මතක්වෙන්නේ නම් එතන ඇත්තේ මානසික ව්‍යාධී හෝ මස්තිෂ්කය සම්බන්ද ඌනතා වේ. ඔබ කොතරම් විකුර්ති මිනිසේකද යන්න මොලයක් ඇත්නම් සිතා බලන්න. ධනවාදය ආරක්ෂා කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ඔබ වැන්නන් ගෙන් ධනවාදය බිහිකරන්නේ මොන තරමේ විකාර රෝගී ත්ත්වයන්දැයි හදුනා ගැනීමට උදාහරණ ගතහැක.

      Delete
    2. ඉහත පලමු කමෙන්ට්කරු කවුද කියා හදුනාගැනීම මට අසීරු නොවේ. කිසිම දෙයක් ගැන පැහැදිලි ස්ථාවරයක් නැති, අන්තර්ජාලය තුල ජෙකිල් සහ හයිඩ් සෙල්ලම කරමින් විනෝද වන මානසික අත දරුවෙක් වන ඔහු කියන දේවල් බැරෑරුම් ලෙස සැලකිය යුතු යැයි නොසිතමි.

      Delete