Saturday, June 7, 2014

රනිල් වික‍්‍රමසිංහ හෙවත් බොර දිය පොකුණේ ධීවරයා

මැදමුලනත් කොලඹත් එක්වන තැන
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ‘සටන් කරන’ අලුත්ම තාරකාව සිරිකොතින් බිහි වී සිටී. රනිල් වික‍්‍රමසිංහ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීම සඳහා මහින්ද රාජපක්ෂ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකගතාවයකට එලැඹ ඇතැයි පවසමින් රට පුරා යාම අරඹා ඇත. සිය රජයක් යටතේ අධ්‍යාපනයට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වෙන් කරන බවට ද හෙතෙම ප‍්‍රතිඥා ලබා දෙමින් සිටී. එක්තරා රැස්වීමක දී වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කර තිබුණේ කන්නංගර ප‍්‍රතිපත්ති වෙනුවට අධ්‍යාපනය සම්බන්ධයෙන් මැදමුලන ප‍්‍රතිපත්තියක් රාජපක්ෂ රජය විසින් අනුගමනය කරන බවයි.

දෛනික දේශපාලන වාද විවාද වලදී ’පිරිසිදු දේශපාලනයේ’ සංකේතයක් ලෙස රනිල් වික‍්‍රමසිංහ උදාරහන කරගන්නා පිරිස් සිටිති. මේ රනිල්වාදීන්ගේ තර්කය අනුව රනිල් වූ කලී බොරු කියා සමාජය නොමග නොයවන අවංක පුද්ගලයෙකි. ඔවුන්ට අනුව  2002 බලයට පැමිනි වික‍්‍රමසිංහට වසර දෙකකින් ගෙදර යන්නට සිදුවූයෙත් ඔහු සතු මේ බොරු නොකීමේ ‘අවංක ගුනය’ නිසාය. ඔවුන්ට අනුව බොරු කියා රට රවටන්නේ මහින්දය. රනිල් වික‍්‍රමසිංහ නමැති වැදගත් මහත්මයා ධනේශ්වර ශිෂ්ටත්වය නියෝජනය කරයි.

බොරු නොකියන රනිල් පිලිබද එම ප්‍රබන්ධමය ගොඩනැංවීම සහ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් දිව දීමට ඉදිරිපත් වී සිටින රනිල්ගේ භෞතික භූමිකාව අප වටහා ගත යුත්තේ කෙසේද? වික‍්‍රමසිංහ නිදහස් අධ්‍යාපනය ගැන කථා කරන වචනයක් පාසා හෙලිදරවු වන්නේ අන් කවරක්වත් නොව ශිෂ්ට යුරෝපා ඇඳුමට යටින් සැඟවී සිටින තක්කඩියාගේ සැබෑ ස්වභාවයයි. නිදහස් අධ්‍යාපනය යනු ලංකාවේ එක්තරා යුගයක දී සිදු වූ සමාජ ප‍්‍රතිසංස්කරනයකි. පශ්චාත් දෙවැනි ලෝක යුද ලෝකය කේන්සියානු ධනවාදයේ ලෝකය විය. සෝවියට් කඳවුරේ පැතිරීම ගැන තිබූ භීතිය, තම තමන්ගේ රටවල වැඩ කරන පංතීන් විසින් සිදුකළ අරගල යනාදියේ ප‍්‍රතිඵලයක් ලෙස ස්වකීය බලය පවත්වා ගනු වස් විවිධ සුබසාධනවාදී ප‍්‍රතිසංස්කරන ලොව පුරා පාලක පංතීහු මේ යුගයේදී හඳුන්වා දුන්හ. නිදහස් අධ්‍යාපනය යනු එවැනි එක් ප‍්‍රතිසංස්කරනයකි.

පොලිස් පහර කෑමට ලක්වූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්
කේන්සියානු යුගය බිඳ වැටී දැන් බොහෝ කල් ඉකුත් වී ඇත. මේ වූ කලී නව ලිබරල් ධනවාදයේ යුගයයි. රාජ්‍ය සුබසාධනවාදය විසින් ආවරනය කරගෙන තිබුනු කලාප වලට ප‍්‍රාග්ධනය කඩා වැදීම මේ යුගයේ ලක්ෂනයයි. මේ අනුව නව ලිබරල් ධනවාදය තුළ සියලූ දේ වෙලඳ භාන්ඩ බවට පත් කෙරේ. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සමාජ සුබසාධන ලෙස සැලකූ සේවා ද මෙම වෙලඳපොල තර්කනයටම යටත් වන අතර නව ලිබරල් ධනවාදී සංවර්ධන මොඩලය මෙබදු සේවා වෙලඳපොලකරනය කල යුතු බවටත් , රජය ඒවා සැපයීමේ වගකීමෙන් ක‍්‍රමයෙන් බැහැර විය යුතු බවටත් ඇනවුම් කරයි . මේ නිසා නිදහස් අධ්‍යාපන කප්පාදුව වූ කලී මැදමුලන මහින්දගේ සාටකය පිළිබඳ ප‍්‍රශ්නයක් නොව අප මේ ජීවත් වන සමාජ ක‍්‍රමය පිළිබඳ දේශපාලන ප‍්‍රශ්නයකි. ධනවාදයේ මේ යුගය තුළ අධ්‍යාපනය යනු වෙලද භාණ්ඩයක් මිස තවදුරටත් අයිතියක් නොවේ.

මේ නව ලිබරල් ධනවාදී ලෝකය තුළ රනිල් වික‍්‍රමසිංහ ස්ථානගත වන්නේ කොතැනද? 1981 දී අධ්‍යාපන ධවල පත‍්‍රිකාව නමැති අධ්‍යාපන පුද්ගලිකකරන යෝජනාවලිය ඉදිරිපත් කළ වික‍්‍රමසිංහ වනාහි ලංකාව තුළ නිදහස් අධ්‍යාපන කප්පාදුවේ පීතෘවරයාය. ඒ යුගයේ කැලනිය විශ්ව විද්‍යාල සිසුන්ගේ ඔලූ පැලීම පිනිස ගෝනවල සුනිල් ඇතුලූ මැරයින් මෙහෙයවන ලද්දේද වික‍්‍රමසිංහ විසිනි. වික‍්‍රමසිංහ අගමැතිධූරය දැරූ 2002-04 කාලයේදි සිය සංවර්ධන ඉදිරි දැක්ම ලෙස ඉදිරිපත් කල ‘යලි පුබුදමු ශ‍්‍රී ලංකා’ වැඩපිලිවෙල අධ්‍යාපන පෞද්ගලිකකරනය වෙනුවෙන් විවෘතව පෙනී සිටියේය. නිදහස් අධ්‍යාපන කප්පාදුව සම්බන්ධයෙන් මෙවැනි අපකීර්තිමත් වාර්තාවක් ඇති වික‍්‍රමසිංහ හදිසියේ ‘නිදහස් අධ්‍යාපනයේ ගැලවුම්කරු’ වීම පසුපස ඇති දේශපාලන රහස කවරේද?

මේ මොහොතේ රට පුරා ශිෂ්‍ය සටන් ඇවිලී යමින් තිබේ. අධ්‍යාපන අයිතිය පිළිබඳ සාකච්ඡාව මග හැර යා නොහැකි ලෙස මතු කිරීමට සටන්කාමී ශිෂ්‍ය සංවිධාන වලට මේ වන විට හැකියාව ලැබී තිබේ. ශිෂ්‍ය අරගල මේ තත්වයට එසැවුනේ එක් රැයෙන් අහම්බෙන් නොවේ. මේ පසුපස දහස් ගනන් සිසුන්ගේ ශ‍්‍රමය, කැපකිරීම් හා දහඩිය කැටි වී තිබේ. වික‍්‍රමසිංහ උත්සාහ කරන්නේ ශිෂ්‍ය අරගල විසින් ඇවිල වූ මේ ගින්නෙන් රසවත් සුරුට්ටුවක් පත්තු කරගැනීමටය. අධ්‍යාපන ක්පපාදුව ‘මැදමුලන ප‍්‍රශ්නයක්’ ලෙස අර්ථ දක්වමින් නිදහස් අධ්‍යාපනය ගැන හඩ තලන්නෙක් ලෙස වෙස් මාරු කරගැනීමට ඔහු කටයුතු කරන්නේ ඒ අනුවය. 2012 විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය අවස්ථාවේ රාවය පුවත්පතට සාකච්ඡාවක් දෙමින් එජාප ආර්ථික විශේෂඥ හර්ෂ ද සිල්වා කීවේ සියයට 6 ක යෝජනාව අප‍්‍රායෝගික බවයි. මේ ආර්ථිකය පිළිබඳ එජාපයේ සැබෑ දර්ශනයයි. ගෝලීය ධනවාදයේ සුවච දාසයෙක් වන දක්ෂිනාංශික එජාපයට රජයේ නව ලිබරල් ධනවාදී සංවර්ධන මොඩලය සමග අබ මල් රොනක මූලධාර්මික වෙනසක් ඇත්තේ නැත.

නිර්ප‍්‍රභූ සමාජ බලවේගයක් වන සරසවි සිසුන් විසින් ගොඩනගන සමාජ මතයක් ස්වකීය න්‍යාය පත‍්‍රය සඳහා කොල්ලකෑමට ධනපති විපක්ෂ නායකයා දරන උත්සාහය පලමු වටයේදීම හෙලිදරවු කළ යුතුව පවතී. එය සිදුකළ හැක්කේ අධ්‍යාපන අයිතිය ගැන ප‍්‍රශ්නය සමාජ මොඩලය පිළිබඳ ප‍්‍රශ්නයෙන් වෙන් කිරීමට ඉඩ නොදී අරගලය තුළ අඛන්ඩව පවත්වා ගෙන යාම තුළ පමනි.

2 comments:

  1. මෙම ලිපියේ සඳහන් සමහර බටහිර යුරෝපීය සමාජවාදී වදන් මට හරියාකාරව නොවැටහෙන්නේ වුවද එහි සඳහන් ශිෂ්‍ය උද්ගෝෂන සම්බන්ධයෙන් නම් මගේ මතය ප්‍රකාශ කල යුතුවම ඇත.
    (1)පාඨමාලා 'මුදලට අලෙවි' කිරීම-මෙය තනිකරම වර්තමන ප්‍රායෝගික තත්ත්වයන් විකෘහි කිරීමකි.මෙයින් අදහස් කරනුයේ මුදල් අයකර සරසවි තුල හෝ ඉන් පිටත වෙනත් අනුමත ආයාතන විසින් පවත්වන උපාධි හා වෘතීය පාඨමාලා එල්ලේ ඉදිරිපත් කරන චෝදනාවකි.
    පිළියම-
    රජය විසින් වහාම සරසවි තුල පවත්වන පාඨමාලාවල ගුනාත්මකභාවය හා රැකියා වෙළඳ පොලේ ඇති ඉල්ලුමත් සම්බන්ධයෙන් ඇගයීම් කල යුතුය.දැනට සරසවි වල කලා පීඨවල පැවැත්නා පාඨමාලා අවසන්වී එලියට පැමිනෙන දරුවන්ට රැකියා වෙලඳඔල විවෘතද යන්න සොයා බැලිය යුතුය.
    සිසුන් උද්ගෝෂන වලට යොමු වන්නේ ඔවුන් හදාරන උපාධි පාඨමාලාවලට රැකියා වෙළඳපොලේ ඇති සීමා සහිත බව නිසාය.එහෙයින් වඩාත්ම සුදුසු කාර්ය නම් සිසුන් සෑම දෙනාටම කවර හෝ 'උපාධියක්' දීම නොව ඔවුන්ගේ අනාගතය සුරක්ෂිතවන පරිදි උසස් අධ්‍යාපනය පිලිබඳ රජයේ ප්‍රතිපත්තිය සැකසීමත් සිසුන්ගේන් චින්තන රටාව වෙනස් කිරීමත්ය.
    සිසුන් මේ තත්වය අවබෝධ කරගත් විට ඔවුන් පාරවල් දිගෙ බෝඩ් අල්ලා ගෙන සිටීමට නොයනු ඇත.
    ගාස්තු අයකර පාඨමාලා පවැත්වීමට විරුද්ධ වන්නේ මන්ද? රජය තමන් සතු සිමීත සම්පත් භාවිතා කර කිසියම් පාඨමාලාවක් පවත්වන අතර , රජයේ වැය බර ලිහිල් කිරීමක් මෙසේ ගාස්තු අයකර පාඨමාලා පැවත්වීමෙන් සිදු නොවන්නේද?

    'සම-සෞඛ්‍ය' ගැටළුව
    'සම-සෞඛ්‍ය පාඨමාලාවල උද්ගතවී ඇති ගැටළුව. වසර 4, 3ට අඩු කල විට 'උපාධියක්' නොලැබෙන බවත් එහෙයින් රැකියාවේ 'උඩට' යාමට මං ඇහිරෙන බවත් ඔවුන්ගේ දුක් ගැනවිල්ලයි.මෙම පාඨමාලාවෙන් අදහස් කරනුයේ රජයේ රෝහල්වල (එනම් මුදල් ගෙවා පෞද්ගලීක රෝහල් කරා යෑමට නොහැකි ජනතාවගේ ප්‍රතිකාර සඳහාය )විවිධ රෝග නිධාන සෙවීමේ යන්ත සූත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය පුද්ගලයන් පුහුනු කරවීමයි? මෙහිදී සලකා බැලිය යුතු කරුන නම් රජයේ සේවය පවත්නේ හුදෙක්ම පොදු ජනතාවට සේවයක් සැලසීම සඳහා බවය.අයිතිවසිකම් එන්නේ දෙවනුවටය.
    අපේ රටේ විවිධ ක්ෂේත්‍ර වල ඉගෙනුම ලබන සිසුන්ගේ චින්තන රටාව විප්ලවීය වෙනසකට බඳුන් කල යුතුයයි මා සඳහන් කලේ එබැවිනි.

    ජයම්පති

    ReplyDelete
  2. මෙම ලිපියේ සඳහන් සමහර බටහිර යුරෝපීය සමාජවාදී වදන් මට හරියාකාරව නොවැටහෙන්නේ වුවද එහි සඳහන් ශිෂ්‍ය උද්ගෝෂන සම්බන්ධයෙන් නම් මගේ මතය ප්‍රකාශ කල යුතුවම ඇත.