Friday, March 28, 2014

වාරනය පිලිගැනීම වෙනුවට සිවිල් නීති කැඩීම

විශ්ව විද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂනයක්

ජර්මනියේදී හිට්ලර් කල සෑම සියලු දෙයක්ම "නීත්‍යනුකූල" ක්‍රියා වූ බවත් හංගේරියාවේදී හංගේරියානු නිදහස් සටන්කාමීන් කල සෑම සියලු දෙයක්ම " නීති විරෝධී " ක්‍රියා වූ බවත් අපි කිසි විටෙක අමතක නොකල යුත්තෙමු.

- මාටින් ලූතර් කිං (1963)

න්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය විසින් පසුගිය මාර්තු 19 වන දා පැවැත්වූ විරෝධතා පා ගමනට එරෙහි වාරන නියෝගයක් මහර මහේස්ත්‍රාත් අධිකරනය විසින් නිකුත් කර තිබුනි. මෙම පාගමන සංවිධානය කර තිබුනේ අධ්‍යාපන පෞද්ගලිකකරනයටත් සිසුන්ගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් කප්පාදු කිරීමටත් විරෝධය පල කිරීම සදහාය. පා ගමන කැලනිය විශ්ව විද්‍යාලයෙන් ආරම්භ වීමට නියමිතව තිබූ අතර උදෑසන එම ස්ථානයට පැමිනි පොලිසිය ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන පා ගමන තහනම් කරන නියෝගය නිවේදනය කලේය. කෙසේ වුවද මේ තහනම නොතකා හල පන්දහසක් පමන සිසුහු සිය විරෝධතා පෙලපාලිය පැවැත්වූහ.

උක්ත පා ගමන වැලැක්වීමේ නියෝගය අධිකරනය විසින් නිකුත් කර තිබුනේ එමගින් 'මහජන සාමයට ' බාධා ඇති වීමට ඉඩ තිබේ යන පදනම මතය. 'මහජන සාමය' හෝ ' මහජන ආරක්ෂාව' වැනි හේතු දක්වමින් ජනතාවගේ විරෝධය දැක්වීම් තහනම් කිරීමට අධිකරනය කැදවීම මේ වනවිට සාමාන්‍යකරනය වෙමින් පවත්නා අත්දැකීමක් බවට පත්ව ඇත. පෙබරවාරි මාසයේදී රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පවත්වා ගෙන ගිය සාමකාමී සත්‍යග්‍රහයක් හකුලා ගන්නා ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරනය නියෝග කලේ එම සත්‍යග්‍රහය නිසා ' මහජන පීඩාවක්' ඇති වන බව දක්වමින්ය. 2013 නොවැම්බර් මාසයේදී සෞඛ්‍යය සේවා වෘත්තීය සමිති සන්ධානය විසින් කැදවා තිබූ වැඩවර්ජනයකට එරෙහිව කොලඹ දිසා අධිකරනය විසින් මේ ආකාරයටම වාරන නියෝගයක් නිකුත් කලේය. වරාය, ටෙලිකොම් ආදී ක්ෂේත්‍ර වල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එරෙහිව ද පසුගිය කාලයේ මේ විදිහට අධිකරන නියෝග නිකුත් වූයේය. මෙය කෙතරම් සීමාන්තික ප්‍රවනතාවයක් වීද යත් පසුගිය වසරවල්වල රජයේ හමුදා විසින් හලාවත ධීවර උද්ඝෝෂනයකට වෙඩි තබා ධීවරයෙක් මරා දැමූ අවස්ථාවේ සහ කටුනායක කම්කරු උද්ඝෝෂනයකට වෙඩි තබා කම්කරු තරුනයෙක් මරා දැමූ අවස්ථාවේ අවමංගල සභාවේ දේශපාලන ස්වභාවයේ කථා පැවැත්වීම තහනම් කරමින් පවා අධිකරන නියෝග නිකුත් වනු දැකගත හැකි විය.රාජ්‍යය විසින් මරා දමන අයව වල දැමිය යුතු වූයේත් ඒ අනුව රාජ්‍යයට අවශ්‍ය ආකාරයටය. 

විරෝධතා පැවැත්වීම, පෙලපාලි යාම, වැඩවර්ජනය කිරීම යනාදිය සමාජයේ පුරවැසියන් සතු ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම්ය. කම්කරුවන් හෝ තරුනයන් මේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් අභ්‍යාස කරන විට එය 'මහජන පීඩාවක්' ලෙස අර්ථ දක්වා 'මහජන සාමයට' ඉන් ඇති විය හැකි බලපෑම් ගැන කලබල වුවත් ප්‍රභූ ආරක්ෂකයින් පිරිවරාගෙන ප්‍රභූවරුන් මං තීරු වසාගෙන වාහන ධාවනයේ යෙදෙන විට, එසේත් නැතිනම් කලම්බෝ නයිට් රේස් වැනි සැනකෙලි සදහා පාරවල් වසන විට එය 'මහජන පීඩාවක්' ලෙස රාජ්‍යය දකින්නේ නැත. මේවාට එරෙහිව පොලිසිය වාරන නියෝග ඉල්ලන්නේ හෝ අධිකරනය වාරන නියෝග ලබා දෙන්නේ හෝ නැත. රාජ්‍යයට 'මහජන සාමය' මතක් වන්නේ සමාජයේ ජන කොටස් රාජ්‍යයට පාලනය කරගත නොහැකි ආකාරයට රාජ්‍යයේ නිල අදහස් අභියෝගයට ලක්කරන විටය. විසම්මුතිය විදහා දක්වමින් සටන් කරන විටය. ඒ සටන් සදහා ස්වකීය ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් භාවිතා කරන විටය. 

මාර්තු 19 වන දා ශිෂ්‍ය උද්ඝෝෂනය
කදුලු ගෑස් ගසා විසුරුවා හල අවස්ථාව
අධිකරනය වනාහි රාජ්‍යයේ කොටසකි. පාර්ලිමේන්තුව, හිරගෙවල්, පොලිසිය, විවිධ අමාත්‍යංශ බදු රාජ්‍යයේ වෙනත් ආයතන වලට නැති අමුතු ගාම්භීරකමක් උසාවිය වෙත ආරෝපනය කර ඇත. ලංකාවේ උසාවියක් තුල නඩුවක් නරඹන අයෙක්ට අත් බැදගෙන සිටිය නොහැක. අත් බැද ගෙන හිදගෙන සිටීම ද සලකන්නේ උසාවියට කල අපහාසයක් ලෙසය. විනිසුරුට නීතිඥයින් අමතන්නේ දෙකට තුනට නැවී නියාලු ලෙස 'ස්වාමීනී' කියාය. ක්ෂුද්‍ර තලයේ මෙබදු 'සමාචාර' වල සිට මහේක්ෂ තලයේ ඇති අධිකරනයට අපහාස කිරීමේ නීති දක්වා සියල්ල විසින් කරන්නේ අධිකරනය සම්බන්ධ ගාම්භීර ප්‍රතිරූපයක් නඩත්තු කිරීමයි.

මේ ගාම්භීර ප්‍රතිරූපයේ තිබෙන වාසිය කුමක්ද? ඒ හේතුවෙන් රාජ්‍යයේ වෙනත් උපකරන වලට සාපේක්ෂව පොදු සමාජය ' අවනත කරගැනීමේ ' වැඩි හැකියාවක් අධිකරනය භුක්ති විදී. 'නීතියට අවනත වීමේ යුතුකමක් පොදු ජනයාට තිබේ' යනුවෙන් මතයක් සමාජයේ පවත්නා නිසා යම් දෙයක් අරභයා උසාවි නියෝගයක් ලබා දුන් කල්හි එය සුජාත තීන්දුවක් ලෙස පිලිගැනීම සදහා වූ නිසග පෙලඹුමක් පොදු ජනයා තුල පවතී. මේ පෙලඹුම ඇති වීම සදහා බලපාන වැදගත් හේතුවක් වන්නේ අධිකරනය වනාහි ස්වාධීන ආයතනයක් බවට මිනිසුන් තුල තිබෙන ( දෘෂ්ටිවාදී ) විශ්වාසයයි. පොලිසිය හෝ හමුදාව වැනි ආයතන වල පාර්ශවිකත්වය සහ ජඩකම පැහැදිලිව පෙනෙන්නට තිබුනත් අධිකරනයේ පාර්ශවිකත්වය බැලූ බැල්මට දැකගත නොහැක.

අධිකරනය ගැන මහජනයා තුල තිබෙන මෙම එක්තරා විදිහට ' පිලිගැනීම' නිසා සමාජය පාලනය කිරීමේදී උසාවිය
මාටින් ලූතර් කිං ඝාතනය වීමට පෙර දින
මෙම්ෆ්ස්හි සිය අවසන් කථාව කරමින් - මෙහිදී ඔහු අයුක්ති සහගත
වාරන නියෝග වලට අවනත නොවීම ගැන කථා කරයි 
වූ කලී සාර්ථක තුරුම්පුවකි. බැටන් පොලු පහර දහසකට හෝ කදුලු ගෑස් පහර දහසකට කල නොහැකි සාර්ථක බලපෑමක් එක් අධිකරන නියෝගයකට සිදුකල හැක. අධිකරන නියෝගයක් කඩ කොට යමෙක් සිය විරෝධය පල කිරීම දිගටම කරගෙන යන්නේ නම් ' අධිකරනයට අපහාස කිරීම ' සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට පුලුවන. පා ගමනක් නැවැත්වීමට හෝ වැඩවර්ජනයක් කඩාකකප්පල් කිරීමට එන පොලිස් නිලධාරීන් සමග විරෝධතාකරුවන්ට දේශපාලනිකව ගැටී ගනුදෙනු බේරා ගත හැක. කදුලු ගෑස් ගසන්නේ නම් අනිත් පැත්තට ගල් ගැසීමට වුව පුලුවවන. එහෙත් අධිකරනය මෙබදු සටනකට මැදිහත් වූ විට ගනුදෙනු බේරාගැනීමට සිදු වන්නේ උසාවි ශාලාව තුලදීය. එහිදී රාජ්‍යය විසින් විරෝධතාකරුවන්ට එරෙහිව කදුලු ගෑස් ‍‍වෙනුවට නීති තර්ක පාවිච්චි කරන අතර ඒවා සමග හැප්පීමට ගල් මුල් වෙනුවට එවැනිම නීති තර්ක වල පිහිට සෙවීමට විරෝධතාකරුවන්ට සිදුවේ. මෙහි වාසිය රාජ්‍යයටය. මන්ද නීති පොත් පෙරලන්නේ නම් මර්දනකාරී නීති ඇති පමන සොයාගැනීමේ නොහැකියාවක් පාලකයින්ට නැති බැවිනි.

මේ නිසා ස්වකීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන බලවේග මේ මොහොතේ විසදුම් සොයාගත යුතු වැදගත් ප්‍රශ්නයක් වන්නේ අධිකරනය විසින් සිදුකරන මර්දනයට මුහුන දිය යුත්තේ කෙසේද? යන්නය. මර්දනය නීතිගත කරන නීති ඇති තරම් පොත් තුල තිබෙන නිසා හුදෙක් නීති තර්ක වල පිහිටෙන් මෙම මර්දනය ආපසු හැරවිය නොහැක. අධිකරනමය මර්දනය පරාජය කිරීම සදහා අවශ්‍ය කරන්නේ දේශපාලන අරගලයකි. මෙම ප්‍රශ්නය විසදිය හැක්කේ උසාවි ශාලා තුල නීතිමය තලයකදී නොව මහ පොලොව මත දේශපාලන තලයකදීය.

උසාවි නියෝග නොතකා පාගමන් ගිය විශ්ව විද්‍යාල සිසුන් මේ අනුව ප්‍රදර්ශනය කලේ මෙකී මර්දනයට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන එක් වැදගත් පූර්වාදර්ශයක් යැයි කිව හැක. සිවිල් නීති කඩකිරීම යනු අයුක්ති සහගත පාලනයකට හා නීති රාමුවකට එරෙහිව මහජනයා සටනට කැදවිය හැකි ඉතාම ප්‍රබල අරගල මාදිලියකි.






5 comments:

  1. කාලේකට පස්සේ රාමචන්ද්‍රන් එක්ක එකට හිට ගන්න පුලුවන් මේ කථාව සම්භන්ධයෙන්.....

    උද්ගෝෂණවලදි සාමන්‍ය ජනතාවට බධා නොවන පරිදි එවා හසුරවන්න..උද්ගෝෂණ පොරවල් ප්‍රොෆෙශනල් වෙනවා නම් මහජන සහයෝගය තව ලබා ගන්න පුළුවන්...

    අධිකරණය ගැන නම් කථා කරලා වැඩක් නෑනේ....අදිකරනය ලංකාවේ තියෙන දූශිතම ආයතන වලින් එකක් කියලා හිටපු ජනධිපතිනයක්මනේ කිව්වේ.....

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා කලත් කමක් නෑ මලේ මේ යකා එක්ක හිටගන්න නම් එපා.

      Delete
  2. මටත් කියන්න ඕනම කරපු කතා ටිකක් රාමචන්ද්‍ර කියල තියෙනව. මේ කතාවෙ සෑම අකුරකටම වචනෙකටම වාක්‍යයකටම රාමචන්ද්‍ර එක්ක 100% ක් එකඟයි.රාජ්‍ය කියන ආයතනය ප්‍රශ්න කරන්න ඕන. එහෙම ප්‍රශ්න කරන තරමට සාර්ථකව සමාජ විග්‍රහයක් කරන්න ලැබෙනව. ඔය උත්තරීතරකම් වගෙ දේවල් මට නම් පේන්න බෑ.ඕව උන් උන්ම බැබලෙන්න හදාගත්තුව

    ReplyDelete
  3. ඕකුන්ට මහජනතාව කියලා පිරිසක් ඉන්න බව මතක් උනේ ඔකුන්ගේ මහ එකීට ආන්ඩුවෙන් කෙලිය වෙලාවේ. අන්තීමට උනටම කළු කෝට් දාගෙන තනියෙන් පෙලපාලි යන්න උනා. අම්බානක කෑවේ පාදඩයන්ගෙන්. පාදඩයන් සල්ලි වලට එළියට දාන උන් එදා කළු කෝට් කාරයන්ට නියම පාඩමක් ඉගැන්නුවේ. උසාවී නියෝගය පයිසෙකට ගනන් නොගත් කොල්ලන්ට කෙල්ලන්ට මාගේ උපහාරය.

    අපිට තමයි උන්ගෙත් නීතිය. ආන්ඩුවේ උන් ආවම බල්ලෝ වගේ නැට්ට පුකේ ගහගන්නවා... තද වැඩිද මනදා... එහෙම හිතෙනවා නම් මකලා දාන්න..

    ReplyDelete
  4. කතාවට මාත් එකඟයි. ඉතාමත් ටික දෙනෙක් ඇරුනම නීතිඥයෝ වත් විනිසුරුවරු වත් රාජකාරිය පගාවට දාල තියෙන්නේ . ඒ නිසා කල වැඩේ හරි.

    ReplyDelete