Wednesday, March 5, 2014

අන්නා ගම්මන්පිල සහ උදය හසාරේ


වංචා - දූෂන විරෝධය මේ වනවිට ලංකාවේ දේශපාලනය තුල ඉහල ඉල්ලුමක් සහිත සටන් පාඨයක් බවට පත්වී තිබෙන ආකාරය දැකගත හැක. මෙම තනුවට අනුව තම තමන්ගේ මැතිවරන ගීතය ගායනා කිරීමට විවිධ පක්ෂ වල දේශපාලකයෝ වෑයම් කරති. උදය ගම්මන්පිල බස්නාහිර පලාත් සභා ඡන්දයට අදාල සිය මැතිවරන ව්‍යාපාරය පටන් ගන්නේම තමා පිරිසිදු දේශපාලකයෙක් බව හැගවීමට තැත් කරමිනි. ජනතා විමුක්ති පෙරමුනේ මෑතකාලීන ප්‍රසිද්ධ ප්‍රකාශ බලන විට මහින්ද රාජපක්ෂගේ දූෂන හා වංචා ඔවුන්ගේ ප්‍රකට තේමාවක් බවට පත්වී තිබේ. මෙම ප්‍රවනතාව සිත්ගන්නා සුලු ආකාරයකින් නියෝජනය කරන්නේ සරත් ෆොන්සේකාගේ පක්ෂයයි. 2010 ජනාධිපතිවරනයට ඉදිරිපත් වූ අවස්ථාවේ රටේ සියලු වංචා දූෂන නැති කොට එම මුදල් වලින් රාජ්‍ය සේවක වැටුප රුපියල් දසදහස දක්වා නැංවීමට හේ ප්‍රතිඥා දුන්නේය. ආන්ඩුවේ දූෂනයට එරෙහි යහපාලනය මෙවර පලාත් සභා ඡන්දයේදීද ඔහු විසින් මතු කරන ප්‍රසිද්ධ මාතෘකාවයි.

වංචා දූෂන වලින් තොර "පිරිසිදු දේශපාලනය" පිලිබද මෙම ඉල්ලීම හුදෙක් ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. තුන්වන ලෝකයේ බොහෝ රටවල මෙය දේශපාලන ඉල්ලීමක්‍ ලෙස තිබෙන අතර පසුගිය දා ඉන්දීය ප්‍රාන්ත මැතිවරනයේදී දිල්ලියේ බලය ලබාගත් අලුත් පක්ෂයක් වන ආම් ආද්මි පක්ෂයේ නැගීම විසින් සහ අන්නා හසාරේ විසින් දියත් කල දූෂන විරෝධී උපවාසය මගින් ද ප්‍රකට වනුයේ මෙම ප්‍රවනතාවයයි.මෙම තේමාවේ ඉලක්කය බොහෝ විට මධ්‍යම පංතික නාගරික කොටස්ය. විවෘත ආර්ථිකයෙන් පසු ලංකාවේ වෘත්තීය, ව්‍යාපාරික, කලමනාකරන ආදී ශ්‍රේනීන් නියෝජනය කරන නව මැද පංතියක් නාගරිකව ප්‍රසාරනය වී ඇත. නව ලිබරල් ධනවාදයේ නිමැවුමක් ලෙස සැලකිය හැකි මෙම සමාජ තට්ටුව ඔවුන් ජීවත් වන සමාජය 'නරක එකක්' වී ඇත්තේ දේශපාලකයින්ගේ වැරදි වැඩ හා දූෂන නිසා යැයි කල්පනා කරයි. පිරිසිදු දේශපාලකයෙක් ලෙස රෙදි පොරවා ගැනීම මෙම සමාජ තට්ටුවේ සහය ආකර්ෂනය කරගැනීමෙහිලා ඇති පහසු මාර්ගයකි.

ඒ ඒ සිදුවීමට මතුපිටින් ප්‍රතිචාර දක්වන මෙම සරල දූෂන විරෝධී දේශපාලනය කෙසේවුවද එනයින්ම වංචාකාරීය. අප ජීවත් වන ධනවාදී සමාජයේ ලක්ෂනය වන්නේ වෙලදපොලකරනයයි. ජීවිත‍යේ සෑම අංශයක්ම වෙලදපොලට සම්බන්ධ කිරීම එමගින් සිදු කෙරේ. ආහාර පාන වල සිට බේත් ගැනීම, ඉගෙන ගැනීම දක්වා සියලු අවශ්‍යතා මේ අනුව වෙලදපොල සමග සම්බන්ධ කෙරෙන අතර මේවාට මිලක් නියම කරනු ලබයි. මෙම වෙලදපොලකරනයේ ප්‍රතිඵලය වන්නේ වෙලදපොල විසින් ඉල්ලන මේ 'මිල' ගෙවීම සදහා වැඩි වැඩියෙන් ඉපැයීමට සිදුවීමයි. සරල උදාහරනයක් ලෙස සෞඛ්‍ය සේවය ගන්නේ නම් සෞඛ්‍යය යනු අයිතියක් නොව වෙලද භාන්ඩයක් ලෙස සැලකෙන සමාජයක හොද සෞඛ්‍ය සේවයක් ලබා ගැනීමට නම් වැඩිපුර ගෙවිය යුතුය. වැඩි පුර ගෙවීමට වැඩිපුර ඉපැයිය යුතුය. දැන් ප්‍රශ්නය වන්නේ මෙයයි. සාමාන්‍ය වැටුප් ශ්‍රමිකයෙක් වැඩි පුර ඉපයිය යුත්තේ කෙසේද? එක්කෝ ඔහු දැන් වැඩ කරන ප්‍රමානය දෙගුන කල යුතුය. සිය විවේකය කැප කරමින් තව තවත් වැඩ කල යුතුය. නැතිනම් වැඩකරනවාට විකල්පව පවතින වෙනත් ක්ෂනික මාර්ගයක් ගැන අවධානය යොමු කල යුතුය. මෙම විකල්ප මාර්ග ලොතරැයි මිලදී ගැනීමේ සිට අපරාධ, වංචා හා විෂමාචාර වල නියැලීම දක්වා පුලුල් පරාසයක් ගනී.

තත්වය වඩා දරුනු වන්නේ ධනවාදී සමාජයේ පාරිභෝගික භාන්ඩ වලට ඉන්ද්‍රජාලික වටිනාකමක් හිමි වී තිබීම මතයි. වෙලදපොල විසින්  ජීවිතයේ වටිනාකම පාරිභෝගික භාන්ඩ ගොඩගසා ගැනීම තුල අර්ථවත් කොට තිබේ. මේ නිසා ධනවාදී මිනිසා හැකිතාක් පාරිභෝගික භාන්ඩ අත්පත් කරගැනීමේ නොනවතින උමතු තරගයකට ඇද දමනු ලැබූවෙකි. බ්‍රිතාන්‍ය නව ලිබරල්වාදයේ මාතාව වූ මාග්‍රට් තැචර් වරෙක සදහන් කලේ 'සමාජයක් කියා දෙයක් නැති බවයි". මේ පුද්ගලවාදය තමා ගැන පමනක් සිතීම සමාජ සාරධර්මයක් බවට පත් කොට ඇත. ලෝකයට විවෘත වූ පුලුල් සාමාජීය මිනිසෙක් වෙනුවට පාරිභෝගික භාන්ඩ සමග සංසර්ගයේ යෙදීම ජීවිතයේ පරම නිෂ්ඨාව කරගත් කේවල මිනිසෙක් නිර්මානය කර ඇත.


සිය නිෂ්ඨාව සාක්ෂාත් කරගැනීම සදහා සමාජ විරෝධී ලෙස හැසිරීම සදහා මිනිසුන් පොලඹවන 'හේතුව' අපට සොයාගත හැක්කේ ඉහත සියලු කරුනු වල එකතුවක් තුලය. දූෂනය සදහා මිනිසුන් පොලඹවන්නේ අප ජීවත් වන සමාජයේ සමාජ ආර්ථික පදනම හා ඒ සමග බැදී ඇති සමාජ ආකල්ප විසිනි. ධනවාදය නෛසර්ගිකවම මිනිසා දූෂනයට හා සමාජ විරෝධී ක්‍රියාකාරකම් වලට පොලඹවනු ලබයි. උදය ගම්මන්පිල, අනුර දිසානායක, සරත් ෆොන්සේකා, හර්ෂ ද සිල්වා යනාදී මැද පංතික ඡන්ද වලට කෙල හලන දේශපාලන ව්‍යාපාරිකයෝ ප්‍රශ්නයේ මෙන්න මේ මූලය සාකච්ඡාවට ගන්නේ නැත. ප්‍රශ්නය එහි සමාජ ආර්ථික මූලයෙන් වෙන්කොට වියුක්තව සාකච්ඡා කිරීම නාගරික මැද පංතියේ 'හිත නොරිදවා'  ( ඔවුන් මෙම දූෂිත සමාජය තුල භුක්ති විදිමින් සිටින ආතල් එක නොකඩා)  ඔවුන්ගේ ඡන්ද කඩාගැනීමෙහිලා ඇති පහසු මාර්ගය වන්නේය. එහෙත් සැබෑ දේශපාලනය වූ කලී 'පහසු' දෙය නොව 'නිවැරදි' දෙය කිරීමයි. නිවැරදි දෙය කිරීම සදහා මුලින්ම ප්‍රශ්නය නිවැරදිව මතු කර සිටිය යුතුය.  

3 comments:

  1. කාලෙකට පස්සෙ ඔලුවෙන් යමක් හිතල ලියල තියෙනවා

    ReplyDelete
  2. අපූරු ලිපියක් රාමා.
    ගම්මන්පිල කපටියෙක්.රටේ බහුතරය මෝඩයො බව ඌ දන්නවා.ඵ් නිසා ඵ් මෝඩ බහුතරය රවට්ටන්න අපූරු සූට් ඵකක ඈදගෙන මෙයා මේපාර ඉලෙක්ශන් ඵකට බෑස්සේ.
    කොහොමත් රටේ බහුතරය තමුන්ගේ ගොo කම් අතාරිනකම් ගම්පන්පිලල වගේ රජ කපටින්ට තෑනක් තියෙයි.ජනතාවට කානු පල්ල ඉතුරුවෙලා තියෙයි.

    ReplyDelete
  3. "There is nothing called a society",Thatcher
    What a paradox!!
    ....................
    Clement

    ReplyDelete