Saturday, December 27, 2014

මෛත්‍රීපාල යනු රැවුල මුඩු කල රාජපක්ෂය

2009 යුද්ධය නිමාවීමෙන් පසු රට තුල තහවුරු වූ හෙජමොනිය වූ කලී නව ලිබරල් ධනවාදය සහ සිංහල ස්වෝත්තමවාදය අතර ඇති වූ සන්ධානයයි. මහින්ද රාජපක්ෂ මෙම හෙජමොනික සැකැස්ම නඩත්තු කල අසහාය පාලකයා ලෙස ඉස්මතු වූයේය. සුලූ ජාතික ප‍්‍රජාවන්ගේ දේශපාලන ඉල්ලීම් ත‍්‍රස්තවාදයක් ලෙස අර්ථ දැක්වූ රාජපක්ෂ ජාතික ප‍්‍රශ්නය පිලිබඳ සංවාදය දේශපාලන සාකච්ඡාවේ මුල්ලකට විසි කොට දැම්මේය. 2009 ට පෙර ජාතික ප‍්‍රශ්නය ගැන සංවාදය භ‍්‍රමනය වූයේ බලය බෙදීමේ ආකෘතිය කුමක් විය යුතුද යන්න වටා නම් රාජපක්ෂ එය ජාතික ගීය දෙමල භාෂාවෙන් ගැයීම පවා ‘මහත් අපරාධයක්’ ලෙස සලකුනු වෙන තැනකට ගෙන ආවේය. දෙමල ජනතාවට ඉතිහාසයේ දී අසාධාරනයක් විය යන අදහස 2009 ට පෙර යුගයේ දකුනු ලංකාවේ ‘සාමාන්‍ය දැනුමේ’ කොටසක් ලෙස තිබුනා නම් රාජපක්ෂ ව්‍යාපෘතිය එම සාමාන්‍ය දැනුම අකා මකා දැමීය. දැන් එම සාමාන්‍ය දැනුම සංයුක්ත වන්නේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදය  ඕපපාතිකව බිහි වූ බවටත් දෙමල ජනයාට දෙමල වීම නිසා විශේෂ ප‍්‍රශ්නයක් නැති බවටත් වන සංකල්පනයෙනි.

සංස්කෘතික තලයේ සිංහල ජාතිකවාදය ජයග‍්‍රාහී වූ කැපී පෙනෙන ලක්ෂ්‍යයක් වන්නේ සදාචාරවාදය ලැබූ ජයග‍්‍රහනයයි. දුම්පානය සීමා කරන නීති, මතට තිත, ඉරිදා ටියුෂන් විරෝධය ආදිය හරහා ප‍්‍රකාශයට පත්වූයේ සිංහල බෞද්ධ සදාචාරවාදය ලැබූ ප‍්‍රගමනයයි. මෙම සදාචාරවාදී අලංකාරිකය පසුපස ආර්ථිකමය නව ලිබරල්කරනය සාර්ථක ලෙස සිය අඩු පඩු විදහා ගන්නට වන්නේය. අධ්‍යාපනය ඇතුලූ සමාජ අයිතීන් වෙලඳපොලකරනයට ලක් කිරීමේ සිට සමාජය ප‍්‍රාග්ධන සංසරනයට උචිත ලෙස ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කළ ‘ජාතික භෞතික සැලැස්්ම’ දක්වා මෙම නව ලිබරල්වාදී ආර්ථික චින්තනය විහිදෙන්නේය. මූලික වශයෙන් චීන ආධාර මත සිදු කල යටිතල පහසුකම් නැංවීමේ මෙගා ව්‍යාපෘති වූ කලී කාර්යක්ෂම ප‍්‍රාග්ධන සංසරනයට අවශ්‍ය කරන ලෙස සිදු කල භෞතික ප‍්‍රතිසංස්කරනයන්ය. ව්‍යාපාර වලට නිදහස දීම, ආයෝජන ගෙන්වා ගැනීම ආදිය ගැන මහත් උත්කර්ෂයෙන් කථා කෙරෙන්නට වූ අතර නිෂ්පාදනයේ ඵල බෙදී යාම පිළිබඳ සංවාදයකින් තොරව ද්‍රව්‍යමය ධනය වැඩි කිරීම මෙම උත්කර්ෂය පසුපස පැවැති තාර්කිකයයි. මෙම මොඩලය ‘අයවැය සහන දීම’ වැනි සරල සුබසාධන ක‍්‍රියාවල අයිසිංවලින් සරසා තිබෙන්නකි. සංවර්ධනය වූ කලී ගෝලීය ප‍්‍රාග්ධනයට පහසුකම් සැලසීම සඳහා ඉදිකෙරෙන අධිවේගී මාර්ග සහ ගුවන් තොටුපොලවල් සැදීමය යන්න මේ වනවිට පොදුජන ‘සාමාන්‍ය දැනුමේ’ කොටසකි. මෙම ඒකමානීය සංවර්ධනවාදය පශ්චාත් 2009 යුගයේ ශ‍්‍රී ලංකාව තුළ බිහි වූ හෙජමොනික සැකැස්මේ තවත් මානයකි.

ඉහත කී සියලූ ලක්ෂන ශක්තිමත් රාජ්‍යයක් නමැති ව්‍යුහය තුල සවිමත්ව පෙල ගස්වා තිබේ. ඒ අනුව රාජපක්ෂ රෙජිමය යනු හුදෙක් මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුල නොවේ. එම රෙජිමයේ දේශපාලන වැදගත්කම වූ කලී එය විසින් ලංකාව තුළ බිහි කල නව හෙජමොනික බල සැකැස්මයි.

මෙම සන්දර්භය තුල තබා වර්තමාන ජනාධිපතිවරන ආරෝව සලකා බැලූ විට අපට පෙනෙන්නේ කුමක්ද? රාජපක්ෂට එරෙහි විකල්ප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින මෛත‍්‍රීපාල සිරිසේන ‘අලූත් රටක්’ ගැන පොරොන්දුවක් රට ඉදිරියේ තබයි. එහෙත් හරයෙන් ගත් විට රාජපක්ෂ විසින් ගොඩනැගූ හෙජමොනිය අබිබවා යන ස්වභාවයක් මෛත‍්‍රීපාලගේ ව්‍යාපෘතිය විසින් ඉදිරිපත් කරයිද? ජනප‍්‍රියවාදී මැතිවරන වේදිකා වල මේ ගැන කථා නොවුනත් මේ මොහොතේ බැරෑරුම්ව සලකා බැලිය යුත්තේ මේ ප‍්‍රශ්නයයි. රාජපක්ෂ මෙන්ම මෛත‍්‍රීපාල ව්‍යාපෘතිය ද ස්වකීය සුජාතභාවය ලබා ගන්නේ සිංහල මහජාතිවාදී කතිකාව තුලිනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන එය නගන ඝෝෂාව 18 වන සංශෝධනය අහෝසි කිරීමට සීමාවූවකි. ජාතික ප‍්‍රශ්නය ගැන ඔහුගේ ව්‍යාපාරය නිශ්ශබ්දය. ජාතික පීඩනය කියා දෙයක් ගැන ඔහුගේ ව්‍යාපාරය කථාකරන්නේවත් නැත. රාජ්‍යයේ ඒකීයභාවය සහ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙන බවට වූ ආන්ඩුක‍්‍රම ප‍්‍රතිපාදනයන්ට ( මේ සංශෝධනය සඳහා තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වගන්ති වේ ) තමා අත නොතබන බවට හෙතෙම ප‍්‍රතිඥා දෙන්නේය. ජාත්‍යන්තර බලවේග වලින් රනවිරුවන් රැකගන්නා බවට ද ඔහු ශපථ කරයි.

ආර්ථික තලයේදී පවතින නව ලිබරල්වාදී ආර්ථික චින්තනය පිළිබඳ කිසිදු බැරෑරුම් විවේචනයක් ඔහුගේ ව්‍යාපාරය තුල නැත. මෙගා ව්‍යාපෘති සම්බන්ධ ඔහුට තිබෙන ප‍්‍රශ්නය ඒවායෙන් ගසාකෑම් සිදුවීම පමනි. අධ්‍යාපනය සමාජ අයිතියක සිට වෙලඳ භාන්ඩයක් දක්වා පිරිහෙලන ශිෂ්‍ය නය ක‍්‍රම ආදී යෝජනා ඔහු විවෘතව ඉදිරිපත් කරයි. පවතින ඒකමානීය සංවර්ධනවාදය රාජපක්ෂ පවුලේ ග‍්‍රහණයෙන් මුදවා ගැනීමය ඔහුගේ ප‍්‍රවේශය වන්නේ. මෙමගින් සිදුවිය හැකි උපරිම දෙය රාජපක්ෂ පවුලේ ගජමිතුරන් කවයක අත පවතින ආර්ථික බලය සාම්ප‍්‍රදායික ධනපති කණ්ඩායම් වෙත යලි මාරු වීමකි. දුම්පානය නතර කිරීම, සුරා සූදුවට වැට බැඳීම, අරක්කු මත්පැන් වලින් තොර රටක් හැදීම බඳු සදාචාරවාදී සටන්පාඨවලට ඔහුගේ ප‍්‍රතිපත්ති තුළ සුවිශේෂී වටිනාකමක් තිබේ.

මෛත‍්‍රීපාලගේ ව්‍යාපාරය සන්දර්භගත වී තිබෙන්නේ රාජපක්ෂ විසින් බිහිකල හෙජමොනික සැකැස්මේ  හතර මායිම තුලය. එය වෙනත් හැඩයකින් ප‍්‍රතිනිෂ්පාදනය කරනවාට වැඩි දෙයක් ඔහුගේ ව්‍යාපෘතිය විසින් අඩු තරමින් යෝජනා කරන්නේවත් නැත. මේ නිසා එලැඹෙන ජනවාරි 08 වන දා කවුරු දින්නත් මෙරට පීඩිත ජනකොටස් වලට අභිමුඛ වනු ඇත්තේ එකම හෙජමොනික බල සැකැස්මකි. පරන වතුර පරන බෝතලයෙන්ම බොනවාද? ඒවා අලූත් බෝතලයකින් බොනවාද? මේ ජනාධිපතිවරනය තුළ ප‍්‍රධාන දහරාව විසින් ඉදිරිපත් කොට තිබෙන තේරීමයි.





Tuesday, November 25, 2014

ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන සහ නොපෙනෙන මුහුන

මරිකානු සිවිල් යුද්ධය සැලකෙන්නේ වහල් සේවය අහෝසි කිරීම පිලිබද මතභේදය නිසා ඇති වූ යුද්ධයක් වශයෙනි. එක්සත් ජනපදය තුල වහල් සේවය අහෝසි කිරීමේ තීරනය ගත් ඒබ‍්‍රහම් ලින්කන් ඒ අනුව වහල් සේවයට විරුද්ධව සටන් කල මහා මානවවාදියෙක් ලෙස සුලභව හැදින්වීමට ලක් වේ. වහල් සේවයට එරෙහිව උතුරු දිග ජනපද තුලින් පැන නැගුනු විරෝධය සදාචාරාත්මක වශයෙන් ‘‘උසස්’’ සංකල්පනාවක් ලෙස සැලකෙන්නේය. එහෙත් සැබැවින්ම ඇමරිකානු සිවිල් යුද්ධය යනු වහල් සේවයට පක්ෂ හා විපක්ෂ සංකල්පනා අතර සිදු වූ අදහස් අතර ගැටුමක් පමනක්ද? එය එසේ නොවේ. මෙම ගැටුමට පසුබිම් වූයේ කෘෂිකාර්මික දකුනු දිග ජනපද හා කාර්මික උතුරුදිග ජනපද අතර මෝරමින් ආ ප‍්‍රතිවිරෝධයයි. උතුරේ කාර්මික ප‍්‍රාග්ධනය ප‍්‍රසාරනය වීම සදහා ඉඩ සොයමින් සිටියේය. ප‍්‍රාග්ධනය ප‍්‍රසාරනය වීමට නම් නිදහස් වැටුප් ශ‍්‍රමිකයන් අවශ්‍යයය. වහලා ස්වාමියාට බැද දැමූ කෘෂිකාර්මික දකුනේ ආචීර්නකල්පික ආර්ථික ව්‍යුහය නිදහස් වැටුප් ශ‍්‍රමිකයන් සොයා ගැනීමෙහිලා බාධාවක් ලෙස පැවැතින. කාර්මික ප්‍රාග්ධනයට ස්වකීය ප්‍රසාරනය අත්පත් කරගැනීමට නම් පසුගාමී කෘෂිකාර්මික දකුනේ නිෂ්පාදන සම්බන්ධතා කඩා බිද දැමීම අනිවාර්යයක් ලෙස පැවතුනි. යුද්ධය පුපුරා ගිය පසුබිම එයයි. ඒ අනුව සිවිල් යුද්ධය  යනු හුදු 'අදහස්' අතර ගැටුමක් නොව සමාජ පංති වල ද්‍රව්‍යමය අවශ්‍යතා අතර ද ගැටුමකි. අදහස් ලෝකයට පසුතලය සපයන්නේ භෞතික ලෝකයේ සැබෑ ප‍්‍රතිවිරෝධයයි.

මෙම පූර්විකාව අවශ්‍ය වූයේ මේ දිනවල මෙරට ජනප‍්‍රිය දේශපාලන වේදිකාව ධ‍්‍රැවීකරනය වී තිබෙන ආකාරය පැහැදිලි කරගැනීමටය. ජනාධිපතිවරනය ඉලක්ක කරගෙන මේ වනවිට විවිධ බලවේග එකිනෙකාට එරෙහිව කදවුරු ගැසෙමින් සිටී. ‍මේවා එක්තරා ආකාරයක මල් වෙඩි සංදර්ශනයන්ය. අදහස් තලය තුළ මොවුන් ඉදිරිපත් කරන විවිධ ප‍්‍රකාශන පවතී. ආන්ඩු පක්ෂය පැත්තෙන් ගත් විට ඉදිරිපත් වන අදහස දේශපේ‍්‍රමයයි. මෙය උසස් සදාචාරාත්මක සංකල්පනාවක් ලෙස ඔවුහු ඉදිරිපත් කරති. රටට ආදරය කිරීම හොද දෙයකි. ඒ නිසා ඔබ සන්ධානයට ඡන්දය දෙන්න. අනිත් අතට විපක්ෂ කණ්ඩායම් කදවුරු ගැසී සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නමැති අදහස ඉදිරියට දමමිනි. යහපාලනය සහ ඒකාධිපතිවාදයට තිත තැබිය යුතු නම් ඔබ විපක්ෂයට ඡන්දය දෙන්න. මෙම අදහස් දෙකෙන් සදාචාරාත්මක වශයෙන් උසස් අදහස කවරේද යනුවෙන් මහජන මනස තුල තහවුරු වන අදහස ජය ලබනු ඇත.

ප‍්‍රශ්නය මෙයයි. මේ ප‍්‍රකාශිත සදාචාරාත්මක අදහස් පසු පස පවතින භෞතික යථාර්ථය කුමක්ද? මෙම දේශපාලන කාන්ඩ ගැසීම් දෙස බලන විට පැහැදිලිව පෙනෙන කාරනයක් වන්නේ ‘ප‍්‍රකාශිතය’ සහ ‘ප‍්‍රකාශකයා’ අතර පවතින පරතරයයි. උදාහරනයක් ලෙස ‘රටට ආදරය කිරීම’ නමැති අලංකාරිකය ගනිමු. මේ අලංකාරිකය සමාජයට යෝජනා කරන්නේ රාජපක්ෂ පවුල, එම පවුල් පාලනය යටතේ වරප‍්‍රසාද ලබන විවිධ දේශපාලන කන්ඩායම් සහ සමාජ කොටස්ය. රාජපක්ෂ පවුල සහ ඒ සමග වෙලී තිබෙන ගජමිතුරු කවය ආන්ඩු බලය තුලින් විශාල ද්‍රව්‍යමය වරප‍්‍රසාද සම්භාරයක් ඒකරාශී කරගෙන සිටී. රාජපක්ෂ ගජමිතුරන් ව්‍යාපාර ලෝකයේ අත්පත් කරගෙන තිබෙන බලයේ සිට විමල් වීරවංශගේ ලයිට් බිල දක්වා මෙකී වරප‍්‍රසාද පරාසය විහිදේ. මේ වරප‍්‍රසාද ආරක්ෂා කර ගැනීමටත්, ඒවා වඩ වඩාත් තහවුරු කර ගැනීමටත් ඔවුන්ට උවමනාය. ස්වකීය එකී වරප‍්‍රසාද තවදුරටත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් තමාට ඡන්දය දෙන මෙන් ඔවුන්ට සමාජයෙන් ඉල්ලා සිටිය නොහැක. ඒ සදහා වඩා දිලිසෙන අලංකාරිකයක් අවශ්‍ය වන අතර දේශපේ‍්‍රමය ලෙස ප‍්‍රකාශයට පත් වන්නේ එයයි.

විපක්ෂයේ පෙල ගැසීම ද එබදුය. ආර්ථික ක්ෂේත‍්‍රය තුල පසුගිය වසර කිහිපයක කාලය තුල සිදුවූ රාජපක්ෂකරනය හේතු කොට ගෙන සාම්ප‍්‍රදායික ධනපති හා ඉහළ මධ්‍යම පංතික කොටස් රාජපක්ෂ ආණ්ඩුව සමග යම් විරසකයක් ඇති කරගෙන සිටී. ඉන්ඩිපෙන්ඩන්ස් ආර්කේඩයට කැමති එහෙත් මහින්දට අකමැති කොලඹ කේන්ද්‍රීය ඉහල මැද පංතිය මේ මොහොතේ ප‍්‍රබල ආන්ඩු විරෝධී භූමිකාවක් රගදක්වයි. මහින්ද රාජපක්ෂ ඉංග‍්‍රීසි කථා කරන ආකාරය හාස්‍යයට ලක්කරන පුස්වෙඩිල්ල වැනි ප‍්‍රභූවාදී නාට්‍ය වලින් ප‍්‍රකාශයට පත්වන්නේ එකී මානසිකත්වයයි. රනිල් වික‍්‍රමසිංහ - චන්ද්‍රිකා කුමාරතුංග - සරත් ෆොන්සේකා යනාදීන්ගේ ක‍්‍රියාකාරීත්වය සදහා ඉන්ධන සපයන ගාමක බලවේගය වන්නේ මෙම සමාජ තීරුවේ අභිලාෂයන්ය. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවට රටට දුන් පොරොන්දුව අමු අමුවේ උල්ලංඝනය කල චන්ද්‍රිකා කුමාරතුංග දැන් නැවත විධායක ජනාධිපතිධූරයට එරෙහිව සටනට බැස තිබෙන්නේ ඇයි? විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට රනිල් වික‍්‍රමසිංහ පසුගිය කාලයේ යෝජනා කල විධායක අගමැතිධූරය අතර තිබෙන සංකල්පීය වෙනස කුමක්ද? මෛත්‍රීපාල සිරිසේනට තිබෙන සැබෑ ප්‍රශ්නය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගැටලුවද? රාජපක්ෂ පවුල තමාට නොදී තනිවම කෑම පිලිබද ප්‍රශ්නයද? ප‍්‍රකාශිතය සහ ප‍්‍රකාශකයා අතර පරතරය එබදුය.

මෙලෙස ආධිපත්‍යයධාරී ප‍්‍රභූ සමාජ කන්ඩායම් සදාචාරමය සටන් පාඨ ඉදිරියට දමන්නේ ඒ වටා නිර්ප‍්‍රභූ සමාජ කොටස් පෙල ගස්වා ගැනීම සදහාය. මේ කිසිවෙක් ප‍්‍රකාශ කරන දෙය සම්බන්ධයෙන් අවංක නොවෙති. ප‍්‍රකාශිත තලයේ වර නැගෙන අදහස් වල සැබෑව හදුනා ගැනීමට නම් ඒවා ප‍්‍රකාශ වන භෞතික පසුතලය හදුනාගත යුතුය. විවිධ සදාචාරාත්මක වැකි හා ප‍්‍රකාශ පසුපස තිබෙන පංති අභිලාෂ හදුනාගැනීමට අසමත් වන තාක් පීඩිත පංතියට සෑම දාම සිදුවන්නේ රැවටිල්ලට හා වංචාවට ගොදුරු වීමට බව ලෙනින් ලීවේ වසර සියයකට ඉහතදීය. එම ප‍්‍රකාශයේ හරය අදටත් අදාලය.



Saturday, September 13, 2014

' විමුක්ති විභවතා 'සොයායාම' වෙනුවට විමුක්ති දේශපාලනය 'ගොඩනැගීම' - නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයාට පිලිතුරක්

විසින් ‘විමුක්ති දේශපාලනයට ෂෝට් කට් නැත’ යන හිසින් අගෝස්තු 10 වන දා ‘රාමචන්ද්‍ර සටහන’ තීරුවට ලියන ලද ලිපියට ප‍්‍රතිචාරයක් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ‘පොදු අපේක්ෂක ව්‍යාපාරයේ විමුක්ති දේශපාලන විභවය’ යන මාතෘකාව යටතේ අගෝස්තු 17 වන දා ජනරල පුවත්පතට සපයා තිබුනි. මෙම ලිපිය ලියැවෙන්නේ එම ප‍්‍රතිචාරය ගැන මාගේ අදහස් දැක්වීම සදහාත්, ‘පොදු අපේක්ෂක ව්‍යාපෘතිය’ දේශපාලන ෂෝට් කට් එකක් ලෙස හදුන් වනු ලබන්නේ කවර හේතු නිසා ද යන්න ගැන වඩාත් විස්තීර්නව කරුනු ගොනු කිරීම සදහාත්ය. ‘මාදුලූවාවේ සෝභිත හිමි ප‍්‍රමුඛ ව්‍යාපාරයේ විමුක්ති විභවතා පෝෂනය කිරීමට මැදිහත් වීම මේ මොහොතේ වාමාංශිකයින්ගේ ආචාරධාර්මික කාර්යභාරයක් වේ’ යනුවෙන් ආචාර්ය නිර්මාල්ඉදිරිපත් කරන අදහසට පටහැනිව මේ මොහොතේ වාමාංශයේ කාර්යභාරය ලෙස මා ( = සහ මා අයත් දේශපාලන දහරාව  ) ඉදිරිපත් කරන ප‍්‍රති යෝජනාව ගැන ද විස්තරාත්මකව මෙහිලා සාකච්ඡුා කිරීමට අපේක්ෂා කරමි.

ලිබරල් ව්‍යාපෘතියක්

මාදුලූවාවේ සෝභිත හිමිගේ මූලිකත්වය යටතේ තිබෙන සාධාරන සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය මේ මොහොතේ පවතින්නේ කවර ව්‍යාපෘතියක් ලෙස ද යන්න මෙහිදී මුලින්ම සලකා බලනු වටී. එම ව්‍යාපාරයේ වෙබ් අඩවිය පසුගිය දවසෙක එලි දැක්වුනි. එම වෙබ් අඩවිය අදාල ව්‍යාපාරයේ පරමාර්ථ ලෙස කරුණු දහයක් දක්වා සිටී. ‘නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුලූ සමාජ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම’ හා ‘සවිමත් ජාතික ආර්ථිකයක් ගොඩනැංවීම’ යනුවෙන් දක්වා ඇති කරුනු දෙක සමාජ ආර්ථික තලය ස්පර්ශ කරයි. ඒ හැරුනු විට සෙසු කරුනු අටම වෙන් වී තිබෙන්නේ දේශපාලන-ආන්ඩුකරන තලයේ ප‍්‍රතිසංස්කරන වෙනුවෙනි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, 17 වන සංශෝධනය බලාත්මක කිරීම, එල්එල්ආර්සී කොමිසමේ නිර්දේශ බලගැන්වීම, නීතියේ ආධිපත්‍යය බලගැන්වීම, ලමා හා කාන්තා අයිතිවාසිකම් ප‍්‍රවර්ධනය, තොරතුරු දැනගැනීමේ අයිතිය, වංචා දූෂන වැලැක්වීම යනාදිය එම කරුනු අතර වේ. සියලූම දේශපාලන පක්ෂ සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන තුළ ගුරු කොට ගත යුතු යැයි එම ව්‍යාපාරය විසින් යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කොට ඇත. විධායක ජනාධිපතිධූරය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා, කැබිනට් මන්ඩලයේ ප‍්‍රමානය, මන්ත‍්‍රීවරු පිල් මාරු කිරීම, නව මැතිවරන ක‍්‍රමයක් ඇතිකිරීම, පනත් වල නීත්‍යනුකූලභාවය විමසා බැලීමේ අයිතිය අධිකරනය වෙත ලබාදීම ( අධිකරන විමර්ශනය) යනාදී යෝජනා එහි ඇතුලත්ය.

සමස්තයක් ලෙස සාධාරන සමාජයක් සදහා ව්‍යාපාරයේ  වැඩපිලිවෙල දේශපාලන හා ආන්ඩුකරන තලයේ ලිබරල් ප‍්‍රජාතාන්ත‍්‍රික වටිනාකම් ශක්තිමත් කිරීම අරමුනු කරගත් වැඩපිලිවෙලක් වශයෙන් මේ අනුව හදුනාගත හැක. මෙම වැඩපිලිවෙල බර තබා ඇත්තේ ආණ්ඩුකරන තලය තුළ ලිබරල් ප‍්‍රජාතාන්ත‍්‍රික පරාමිතීන් සවිබල ගැන්වීම සදහාය යන නිරීක්ෂනය සමග ආචාර්ය නිර්මාල් ද එකග වනු ඇතැයි මම සිතමි.

දෙවනුව මෙම ව්‍යාපෘතිය සමග සම්බන්ධ වී තිබෙන සමාජ බලවේග වල ස්වභාවය පැහැදිලි කරගත යුතුය. පෙනෙන්නට ඇති කරුනු අනුව දැනට මෙය පවතින්නේ මධ්‍යම පංතික උගතුන් , සිවිල් බුද්ධිමතුන් හා වෘත්තීකයන්ගේ ව්‍යාපාරයක් වශයෙනි. උදාහරනයක් ලෙස ජනතා විමුක්ති පෙරමුනේ නායකයින් සමග මෙම ව්‍යාපාරයේ නියෝජිතයින් පැවැත්වූ සාකච්ඡාවක් අදාල වෙබ් අඩවිය වාර්තා කර තිබෙන ආකාරය නිදසුන් කොට ගත හැක. පූජ්‍ය මාදුලූවාවේ සෝභිත හිමි සමග 'ආචාර්ය' ජයම්පති වික‍්‍රමරත්න, ‘නීතිඥ’ ජේ.සී. වැලිඅමුන, ‘නීතිඥ’ හරේන්ද්‍ර දුනුවිල, ‘නීතිඥ’ රවි ජයවර්ධන, ‘නීතිඥ’ එස්.ජී. පුංචිහේවා, ‘නීතිඥ’ ලාල් විජේනායක, රිචඞ් මහතා සහ ‘ඉංජිනේරු’ සිසිර ජයමහ යන මහත්වරු එම හමුවට සහභාගී වූ බව අදාල පුවත දක්වයි. මෙම ව්‍යාපාරය දැනට පදනම් වී තිබෙන සමාජ ස්ථරය හා ව්‍යාපාරයේ මනෝභාවය ගැන කදිම රූපකයකි මෙම පුවත. ධනේශ්වර සමාජ සැකැස්ම ඇතුලේ සාපේක්ෂව වරප‍්‍රසාදිත ස්ථරයක් ලෙස සැලැකිය හැකි උගත් මැද පංතික සමාජ තීරුවේ බුද්ධිමතුන්ගෙන් දැනට මෙම ව්‍යාපාරය සිය ශක්තිය උකහා ගනී.

රාජපක්ෂ රෙජිමය යටතේ සිදුවන දේශපාලන පාදඩකරනය ගැන ඇති වූ අවංක කෝපයක් සාමාන්‍යයෙන් මෙම මධ්‍යම පංතික ස්ථරය අතරේ දක්නට පුලූවන. අධිකරනය, රාජ්‍ය සේවය, පොලිස් සේවය වැනි ආයතන වල තිබිය යුතු යැයි සැලකෙන ලිබරල් ස්වාධීනත්වය නැතිවීම, ඉහවහා ගිය වංචා දූෂන, දේශපාලකයින්ගේ ඇගිලි ගැසීම්, පවුල්වාදය යනාදිය මේ කවයේ විවේචනයට පාත‍්‍ර වූ ලක්ෂනයෝ වෙති. '78 න් පසු බිහි වූ ‘අවලස්සන දේශපාලන ක‍්‍රමය’ ගැන වික්ටර් අයිවන් වැනි කෙනෙක්ගේ ලියැවිලි අයත් වන්නේ මෙන්න මේ මැද පංතික විවේචන ප‍්‍රවර්ගයටය. ඔවුන්ගේ පරිකල්පනය දූෂිත, පවුල්වාදී, අධිකාරිවාදී දේශපාලන ක‍්‍රමයක් වෙනුවට සුවිනීත, ලිබරල්,සම්භාව්‍ය බටහිර යුරෝපා පන්නයේ දේශපාලන සැකැස්මකි.

කෙසේ වුවද වැදගත් කරුන මෙයයි. පොදු අපේක්ෂක ව්‍යාපාරයේ යෝජකයින් වන මෙම මධ්‍යම පංතික සමාජ බලවේග ( විය යුතු පරිදිම) ධනවාදය ( සහ ධනවාදයේ මේ මොහොතේ ගෝලීය රූපාකාරය වන නව ලිබරල් ධනවාදය ) ‘ප‍්‍රශ්නයක්’ ලෙස දකින්නේ නැත. ධනවාදී සමාජ පද්ධතිය සහ එය විසින් ජනිත කොට ඇති අනේක විධ සමාජ පීඩනයන් තිබෙන්නේ ඔවුන්ගේ විෂය පථයෙන් බැහැරවය. පවුල්වාදී හා අධිකාරිවාදී දේශපාලන තන්ත‍්‍රයක් සහිත ධනවාදයක් වෙනුවට ලිබරල් ප‍්‍රජාතාන්ත‍්‍රික දේශපාලන තන්ත‍්‍රයක් සහිත ධනවාදයක්. ධනේශ්වර සමාජයේ වරප‍්‍රසාද සමග අවියෝජනීයව බැදී සිටින උගත් මැද පංතික සමාජ කන්ඩායම් වල උපරිම දේශපාලන අභිලාෂය එයයි.

එක්සත් ජාතික පක්ෂ සාධකය

කෙසේ වුවද ස්වකීය අභිලාෂය ‘තනිව’ මුදුන්පත් කරගැනීමට තමන්ට ශක්තියක් නැති බව මෙම සමාජ ස්ථරය හොදාකාරවම දනී. සාධාරන සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ තිබෙන කැපී පෙනෙන ලක්ෂනයකින් මේ බව පැහැදිලිවම පෙනී යයි. එම කැපී පෙනෙන ලක්ෂනය නම් සමාජයේ ස්ථාපිත බල ව්‍යුහයන්ට ආයාචනා කිරීම සදහා එතුල පවතින නැඹුරුවයි. පසුගිය දා නව නගර ශාලාවේදී පැවැති ප‍්‍රසිද්ධ රැස්වීමේදී එම ව්‍යාපාරය සිදුකලේ කුමක්ද? සමාජයේ ඉහල පෙලේ ප‍්‍රභූ නායකයින් ගෙන්වා, ඔවුන්ට සිය වැඩපිලිවෙල පිලිගන්වා, එහි වටිනාකම ඔවුන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීමයි. ඇත්තෙන්ම කිවහොත් යෝජිත පොදු අපේක්ෂක ව්‍යාපෘතිය යථාර්ථයක් වීම රැදී පවතින්නේ එක් සාධකයක් මතය. එනම් ප‍්‍රධාන ධනේශ්වර විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ අනුග‍්‍රහය එම ව්‍යාපෘතියට ලැබෙන්නේද? නැද්ද? යන්න මතය. එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය මෙම පොදු අපේක්ෂක ව්‍යාපෘතියට නොලැබෙන්නේ නම් එම ව්‍යාපෘතිය හුදු කඩදාසි කැබැල්ලකට සීමා වන බව පැහැදිලිය. එජාපයේ සහයෝගයක් නොමැතිව තනිව සිය වැඩපිිලිවෙල ජනාධිපතිවරන තරගයකදී ජයග‍්‍රහනය කරවීමට මෙබදු මැද පංතික විද්වත් ව්‍යාපාරයකට පුලූවන් කමක් නැත. මාදුලූවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ නොව ගෞතම බුදුන් වහන්සේ මැතිවරනයට ඉදිරිපත් කළත් ඔවුන්ට එවැනි වික‍්‍රමයක් නම් තනිව මුදුන් පත් කර ගත නොහැක.

මේ නිසා මූලික වශයෙන් එක්සත් ජාතික පක්ෂය සමග හවුලකට යාමට දක්වන සමත්කම මත සාධාරන සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ ඉදිරිය රැදී තිබේ. සමීකරනය අලූත් තලයකට එලැඹෙන්නේ එම නොවැලැක්විය හැකි හවුල ඇති කරගන්නා අවස්ථාවේ සිටය.

යම් හෙයකින් පොදු අපේක්ෂක ව්‍යාපාරයට එක්සත් ජාතික පක්ෂයත් ඇතුලූ වූවා යැයි සිතමු. එවිට මෙම ව්‍යාපෘතියේ සම්පූර්න බල සමීකරනය වෙනස් වන්නේය. එවැනි තත්වයක් යටතේ දැනට මෙම ව්‍යාපෘතිය මෙහෙයවන සිවිල් බුද්ධිමතුන් අතින් ව්‍යාපෘතිය මෙහෙයවීමේ බලය බලගතු පක්ෂයක් වන එජාපය වෙත මාරු වනු ඇති බව වටහා ගැනීමට අමුතු කෘතහස්ත ඥානයක් අවශ්‍ය නොකෙරේ. අපට අනාවැකි කිව නොහැක. කල හැක්කේ පවතින සාධක මත පුරෝකථනයන් ඉදිරිපත් කිරීමය. එජාපය පොදු අපේක්ෂක ව්‍යාපාරයකට සම්බන්ධ වන පලමු මොහොතේදීම එම ව්‍යාපාරය හැසිරවීමේ සුක්කානම ( යම් විස්මිත ඉන්ද්‍රජාලයක් සිදු නොවන්නේ නම්) එජාපය කරා සංක‍්‍රමනය වනු ඇති බවට පුරෝකථනය කිරීම යුක්තිසහගතය.

එක්සත් ජාතික පක්ෂය ද සම්බන්ධ වන පොදු අපේක්ෂක ව්‍යාපාරයක් තුළ අධිපති නව ලිබරල් හෙජමොනික සැකැස්ම අභියෝගයට ලක්කරන ‘විමුක්ති විභවයක්’ තිබෙන බව නම් පිලිගැනීමට බෙහෙවින් අසීරු තර්කයකි. එජාප ආර්ථික විශේෂඥ හර්ෂ ද සිල්වා මෙහෙයවන, සිරස රූපවාහිනියේ විකාශය වන ‘අර්ථ තර්ක‘ නමැති වැඩසටහනේ එක් අංගයක් මෑතකදී විකාශය වූ අතර ඊට සහභාගී වී සිටියේ ආර්ථික විද්‍යාඥ සිරිමල් අබේරත්නය. මේ දෙපල පුද්ගලික අංශයේ කාර්යක්ෂමතාවය සහ රාජ්‍ය අංශයේ නොහැකියාව ගැන සාම්ප‍්‍රදායික නව ලිබරල්වාදී ස්වරයෙන් එහිදී ආස්වාදනීය ලෙස දොඩමලූ වූහ. ආචාර්ය දේවසිරිගේ නායකත්වයෙන්, විශ්ව විද්‍යාල ආාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය 2012 දී, අධ්‍යාපනය සදහා දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් ඉල්ලා අරගල කරන අවස්ථාවේ, එම ඉල්ලීම ප‍්‍රායෝගික එකක් නොවේ යැයි රාවය පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් දී තිබුනේද මෙම හර්ෂ ද සිල්වාමය. නව ලිබරල් ධනවාදයේ ප‍්‍රබල ආරක්ෂකයෙක් වන එජාපය මූලිකත්වය ගන්නා බල හවුලක් නව ලිබරල් හෙජමොනිය සිදුරු කිරීමට දායක වන්නේ කෙසේදැයි පැහැදිලි නැත.

එසේ කියා එජාපය පොදු අපේක්ෂක ව්‍යාපාරයෙන් ඉවත් කොට තැබුවා කියා සිතමු. එවිට එම ව්‍යාපාරය තවදුරටත් ‘පොදු අපේක්ෂක ව්‍යාපාරයක්’ වන්නේ නැත. එය පොදු අපේක්ෂක ව්‍යාපාරයක් වීමට නම් පෙර දැක්වූ පරිදි එජාපයේ සහයෝගය ලබා ගැනීම අනිවාර්යය. පොදු අපේක්ෂක ව්‍යාපාරයක් යෝජනා කරන ගමන්, නව ලිබරල් ධනවාදී සැකැස්ම ප‍්‍රශ්න කිරීමට අපේක්ෂා කරන  ඕනෑම කෙනෙක් අසුවන උභතෝකෝටිකය වන්නේ එයයි. පොදු අපේක්ෂක ව්‍යාපාරය ගැන ආචාර්ය නිර්මාල්ගේ අදහස් දැක්වීම් වල මා දුටු ප‍්‍රධාන අඩුවක් වූයේ එජාපය සමග සන්ධානය නමැති මේ ප‍්‍රායෝගික සාධකයේ බලපෑම ගැන සාකච්ඡුා කිරීම කෙරෙහි ඔහු අවධානය යොමු කොට නොතිබීමයි.

වාමාංශයේ ඉදිරි දර්ශනය

මේ නිසා පවතින නව ලිබරල් ධනවාදී සමාජ සැකැස්ම ගැන විවේචනයක් නොමැති, මධ්‍යම පංතික මූලයක් සහිත , එජාපය සමග සන්ධානගත වීමේ නියත ඉරනම ලැබ සිටින, ලිබරල් ප‍්‍රජාතාන්ත‍්‍රික ව්‍යාපෘතියක් වෙනුවෙන් සිය ශ‍්‍රමය ආයෝජනය කොට එවැනි ව්‍යාපෘතියක් තුළින් විමුක්ති විභවතා විකසිත කරගැනීමට උත්සාහ කිරීම නොමග යන සුලූ ඉදිරි දැක්මකි. වාමාංශිකයා සිය ශ‍්‍රමය සහ මහන්සිය යෙදවිය යුත්තේ එවැනි ව්‍යාපෘතියක් වෙනුවෙන්ද? පසුගිය ඉතිහාසය පුරාම වාමාංශය සිදු කළේ විවිධ ධනේශ්වර ව්‍යාපෘති තුළ විමුක්ති විභවතා සොයමින් රස්තියාදු වීම හා සිය මහන්සිය නාස්ති කරගැනීම නොවේද? විවෘත ආර්ථිකයට මානුෂික මුහුනුවරක් දෙන බවත්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවත් කියමින් චන්ද්‍රිකා කුමාරතුංග බලය ගද්දී එකල බොහෝ වාමාංශිකයෝ එම මැතිවරන ව්‍යාපාරය ඇතුලේ ‘විමුක්ති විභවතා’ දුටුවෝය. 2005 දී ජනතා විමුක්ති පෙරමුන උත්සාහ කළේ මහින්ද රාජපක්ෂගේ ජාතිකවාදී ව්‍යාපෘතිය සමග හවුලකට ගොස් එමගින් විවර වෙන අවකාශය තුළ තිබෙනවා යැයි එය පරිකල්පනය කළ  ‘විමුක්ති විභවතා’ මතු කරගැනීමට නොවේද?

විවිධ ධනේශ්වර ව්‍යාපෘති තුළ විමුක්ති විභවතා සෙවීමට ගොස් පසුගිය ඉතිහාසය තුල බොහෝ වාමාංශිකයන් සිදුකරන ලද්දේ පවතින ධනවාදී සමාජය ගැන සිය විවේචනය පසෙකට කරගැනීමය. ධනවාදය ස්වභාවික වූත්, අවසානාත්මක වූත්, වෙනස් කල නොහැක්කා වූත් ක‍්‍රමයක් ලෙස අවිඥානිකව පිලිගෙන, ධනවාදී රාමුව තුළ සිදුකෙරෙන විවිධ ප‍්‍රතිසංස්කරන වෙනුවෙන් කරන අරගලයක් බවට ඒ අනුව වාමාංශිකයින්ගේ අරගල පෙරැලින. ජවිපෙ ධනවාදයට එරෙහිව සටන් කිරීම පසෙක තබා එල්ටීටීඊය පරාජය කිරීම, සිංහල සංස්කෘතිය රැකීම හා වැවු හැදීම වැනි වැඩ ඉදිරියට ගත්තේය. ජවිපෙ නොවන වාමාංශය ධනවාදයට එරෙහිව සටන් කිරීම පසෙක තබා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, සුලූ ජාතීන්ගේ අයිතිවාසිකම්, ලමා හා කාන්තා අයිතිවාසිකම් වැනි ප‍්‍රතිසංස්කරන වලට සිය සාකච්ඡාව පසුබස්වා ගත්තේය.

එහි ප‍්‍රතිඵලය වූයේ කුමක්ද?

එහි ප‍්‍රතිඵල ලෙස අද වනවිට ලංකා සමාජයේ වාම කතිකාවත ඉතා දුර්වල තැනකට වැටී ඇත. ( ලංකාවේ වාම අවකාශය පටු වීමට සෝවියට් සංගමය බිද වැටීම වැනි බාහිර සාධක ද බලපෑ බව සැබැවි. එහෙත් වාමාංශිකයින් වාම සාකච්ඡාවෙන් බැහැරව එක්කෝ ලිබරල්වාදයට නැතිනම් ජාතිකවාදයට පල්ලම් බැසීම මේ දුර්වලතාවයට එක හා ප‍්‍රබල ලෙස බලපා ඇත)

මේ ගැන කදිම උදාහරනයක් පසුගිය දිනෙක බොරැල්ල එන්.එම්.පෙරේරා ශාලාවේදී පැවැති ලියොන් ට්‍රොට්ස්කි සමරු දේශනයක් අවස්ථාවේ ආචාර්ය නිර්මාල්ම අත්දුටුවේය. එම දේශනය පවත්වන ලද්දේ ‘නොනවතින විප්ලවය’ නමැති තේමාව යටතේය. රැස්වීමට බහුලව සම්බන්ධ වී සිටියේ ලංකා සමසමාජ පක්ෂයේ හිතවතුන් හා පාක්ෂිකයින් සමූහයකි. එහි මුලසුන නිර්මාල් හෙබවීය. දේශනය අවසානයේ සාකච්ඡා වටයක් ආරම්භ වූ අතර එහිදී ‘චම්පික රනවක විසින් මතු කරන බුද්ධිමය සිංහල ජාතිවාදයේ නව අනතුර’ ගැන ආචාර්ය නිර්මාල් නිරීක්ෂනයක් ඉදිරිපත් කළේය. නිර්මාල්ට පිළිතුරු දුන් සමසමාජ හිතවතෙක් කීවේ මහින්ද වෙනුවට උගතෙක් හා බුද්ධිමතෙක් වන චම්පික රනවක නැගී ඒම හොද දෙයක් මිස නරක දෙයක් ලෙස තමා නොදකින බවයි! ඒ ‘නොනවතින විප්ලවය‘ ගැන සංවාදයකදී සමසමාජ පක්ෂයේ හිතවතෙක් පල කරන ලද අදහසකි. ලංකාවේ පොදු ජන සමාජයේ වාම සවිඥානය තිබෙන්නේ එතැනය !

මේ මොහොතේ වාමාංශිකයාගේ කාර්යභාරය සම්බන්ධ ප‍්‍රශ්නය ගැන එම නිසා මාගේ ප‍්‍රතියෝජනාව වන්නේ වාමාංශිකයා සිය මුලූ ශ‍්‍රමය සමාජයේ වාම අවකාශය පුලූල් කිරීම සදහා යෙදවිය යුතුය යන්නයි. එහිලා කළ යුතු මූලිකම කටයුත්තක් වන්නේ පවතින නව ලිබරල් ධනවාදී සමාජ සැකැස්ම ගැන විවේචනය සමාජගත කිරීමයි. එම විවේචනය මත පදනම්ව සමාජය සංවිධානය කිරීමට මැදිහත් වීමයි. ගෝලීය ආර්ථික අර්බුදයත් සමග ලෝක පරිමානව වාමාංශය ගැන සංවාදය අලූත් වී තිබේ. අප මේ ජීවත් වන්නේ නව ලිබරල් ධනවාදය මනුශ්‍ය ශිෂ්ටාචාරයේ අවසානය යැයි කියන මතය බලවත් ලෙස නැගී සිටි 90 දශකයේ නොව ධනවාදයේ නෛසර්ගික අවලක්ෂනයක් වන අසමානතාවය ගැන ධනේශ්වර ආර්ථික විද්‍යාඥයින් වන තෝමස් පිකෙටි වැනි අය පවා පොත් ලියන වකවානුවකය. එම වාම සංවාදය ලංකා සමාජය තුල ඇති කල යුත්තේ කවුරු විසින්ද? එම සංවාදය මත සමාජයේ දේශපාලන බලවේග සංවිධානය කිරීමට පුරෝගාමීත්වය ගත යුත්තේ කවුරුන් විසින්ද?

සමසමාජ පක්ෂය

මෙහිදී ආචාර්ය නිර්මාල් සිය ලිපියේදී ලංකා සමසමාජ පක්ෂය ගැන මතුකරන ලද නිරීක්ෂනය ඉතාම වැදගත් එකකි. මුල්කාලීන ලසසප යනු එවකට පැවැති අධිපති සමාජ සැකැස්ම සමග භෞතිකව අභිමුඛ වී එය වෙනස් කිරීම සදහා සමාජයේ පීඩිත ජනයා සංවිධානය කිරීමට මැදිහත් වූ බහුජන දේශපාලන ව්‍යාපාරයකි. සමසමාජ ව්‍යාපාරය බලය සදහා කරන අරගලයේදී විශ්වාසය තැබුවේ බිම් මට්ටමේ සිට මහජනයා සංවිධානය කිරීම ගැනය. එසේ නැතිව සමාජයේ ස්ථාපිතව තිබෙන යම් බල ව්‍යුහයක් සමග සම්මුති ගසා සිය වැඩපිලිවෙල ඒ හරහා ජයග‍්‍රහනය කරවා ගැනීම ගැන නොවේ. සමසමාජ පක්ෂයේ ස්වර්නමය යුගය ලෙස සැලකිය හැකි ‘40-‘50 දශක වලදී එය එක් අතකින් සටන්කාමී දේශපාලන බලවේගයක් ලෙස බිම් මට්ටමින් ජනයා සංවිධානය කරමින් ක‍්‍රියා කල අතර අනිත් අතට සමාජය තුල සැලැකිය යුතු බුද්ධිමය හා සදාචාරමය බලයක් අත්පත් කරගෙන සිටියේය. මාර්ටින් වික‍්‍රමසිංහ, චන්ද්‍රරත්න මානවසිංහ වැනි මධ්‍යම පංතික බුද්ධිමතුන් නාගරික කම්කරු පංති සමාජ පදනමක් සහිත සමසමාජ ව්‍යාපාරයට අඩු වැඩි වශයෙන් ආකර්ෂනය වූයේ එය විසින් අභ්‍යාස කළ ඒ බුද්ධිමය හා සදාචාරමය බලය හේතු කොට ගෙනය. බුද්ධිවාදී අන්තයකට හෝ ක‍්‍රියාවාදී අන්තයකට නොවැටී සාර්ථක වාම බහුජන ව්‍යාපාරයක් නිර්මානය කිරීම සම්බන්ධයෙන් ( එහි විවිධ අඩුපාඩු තිබියදීම) සමසමාජ ව්‍යාපාරය කැපී පෙනෙන ආදර්ශයකි.

වාමාංශිකයින් මේ මොහොතේ සිය මුලූ වැර යොදා පොර බැදිය යුත්තේ එවැනි නව පන්නයේ වාම බහුජන අවකාශයක් භෞතිකව නිර්මානය කරගන්නේ කෙසේද? යන ව්‍යවහාරික ප‍්‍රශ්නය සමගය. එහිදී අප විශ්වාසය තැබිය යුත්තේ වරප‍්‍රසාද ලත් වෘත්තිකයන් හා සිවිල් බුද්ධිමතුන් මත නොව, සමාජ සැකැස්ම තුළ පීඩාවට පත්වී සිටින, ආන්තිකකරනයට ලක්වූ සහ අවවරප‍්‍රසාදිත සමාජ බලවේග මතය. සංවිධානය කල යුත්තේ සමාජ සැකැස්ම වෙනස් කිරීමේ සැබෑ විප්ලවවාදී විභවය සහිත එම බලවේගයන්ය. එලැඹෙන ජනාධිපතිවරනයේදී හෝ වේවා, මහ මැතිවරනයකදී හෝ වේවා, කවර හෝ අවස්ථාවකදී හෝ වේවා, කල යුත්තේ කුමක්දැයි තීරනය කල යුත්තේ එම දිගුකාලීන දැක්මට අනුරූපීවය. එලෙස විකල්ප වාම අවකාශය පුලූල්  කිරීම සදහා අරගල කිරීම සරල හා පහසු කරුනක් නොවන බවට විවාදයක් නැත. මේ මොහොතේ එය ‘ජනප‍්‍රිය’ තෝරාගැනීමක් නොවිය හැක. එය කල්ගන්නා, දිගුකාලීන වැඩකි. එහෙත් කළ යුතුව තිබෙන එම දිගුකාලීන කාර්යය අත් හැර, වාමාංශිකයින් වෙනත් ධනේශ්වර ව්‍යාපෘති පසුපස ගමන් කරමින් සිටීම දිගටම කරන තාක් දුරට සමාජ පරිවර්තනය හුදු සිහිනයක් සහ න්‍යායික ලිපි තුල අප විසින් යොදාගන්නා හුදු වාචික සැරසිල්ලක් පමනක් ලෙස දිගටම පවතිනු ඇත.

වාමාංශිකයින් සෝභිත හිමිගේ ව්‍යාපෘතිය සමග සම්බන්ධ වීම ‘ෂෝට්කට් සෙවීමක්’ ලෙස මවිසින් හදුන්වන ලද්දේ මේ අනුවය. එය මේ මොහොතේ කල යුතුව තිබෙන  කල්ගන්නා, දුෂ්කර, දිගුකාලීන කාර්යය පසෙක තබා ස්ථාපිත බල ව්‍යුහයක් සමග සන්ධානගත වීමකි. එවැනි සන්ධානගත වීම් අවසන් වන්නේ පවතින බල ව්‍යුහය තුළ විකල්ප දේශපාලන ක‍්‍රියාධරයා දියැවී යාම තුළ බවට  ඕනෑ තරම් උදාහරන මෑතකාලීන ඉතිහාසය තුළ තිබේ. එම ‘ෂෝට්කට්’ එක වෙනුවට ප‍්‍රතියෝජනා කෙරෙන විකල්ප ක‍්‍රියාමාර්ගය ‘අතිවාමාංශික’ එකක් යැයි ලේබල් කෙට බැහැර කිරීමට පහසුවෙන් ඉඩ ඇත. ඊට දීමට ඇති පිළිතුර මෙයයි.ප‍්‍රංශ විප්ලවයේ එක් සමයක ජැකොබින්වරුද, රුසියන් විප්ලවයේ එක් සමයක බොල්ෂෙවික්වරුද ‘ලේබල් වී සිටියේ’ අති වාමාංශික අරුමැසිවාදීන් ලෙසය.

එහෙත් ඉතිහාසය වෙනස් කළෝ කවරහුදැයි අපි කවුරුත් දනිමු.







 
 


පොදු අපේක්ෂක සංවාදය - ‘පොදු අපේක්ෂක ව්‍යාපාරයේ’ විමුක්ති දේශපාලන විභවය (නිර්මාල් රංජිත් දේවසිරි)

මෙම ලේඛකයා 'විමුක්ති දේශපාලනයට ෂෝට් කට් නැත' නමින් පසුගිය අගෝස්තු 10 ජනරල පුවත්පතට ලියන ලද සටහනට ප්‍රතිචාරයක් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් ලියනු ලැබ අගෝස්තු 17 වන දා එම පුවත්පතේ පල විය. එලැඹෙන ජනාධිපතිවරනයේදී මාදුලුවාවේ සෝභිත හිමිගේ මූලිකත්වයෙන් ගොඩනැගී ඇති පොදු අපේක්ෂක ව්‍යාපාරය ගැන වාමාංශය දැරිය යුතු ස්ථාවරය සංවාදයට වස්තු විෂය විය. නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයාගේ එම පිලිතුර සහ ඊට මෙම ලේඛකයා විසින් ලියන ලද ප්‍රති - පිලිතුර කොටස් දෙකක් ලෙස මෙම බ්ලොග් අඩවියේ පල කරමු. පලමුව පල වන්නේ ආචාර්ය නිර්මාල්ගේ ලිපියයි. සංවාදයට පාදක වූ ලේඛකයාගේ මුල් සටහන මෙතැනින් කියැවිය හැක.

***
                                                                               
මේ ලිපිය ලියැවෙන්නේ අගෝස්තු 10 වන දා ජනරළ පුවත්පතේ පළ වූ රාමචන්ද්‍ර සටහනට ප‍්‍රතිචාරයක් ලෙසටයි.

විශේෂයෙන්ම මා මේ විස්තරාත්මක ප‍්‍රතිචාරය දක්වන්නේ වර්තමානයේ සිටින තරුණ දේශපාලන ක‍්‍රියාධරයින් අතර ඉතා තියුණු නිරීක්ෂන ශක්තියක් සහ හෘදසාක්ෂ්‍යය සහිත ප‍්‍රවේශයක් ඇත්තෙක් ලෙස මා රාමචන්ද්‍ර හඳුනාගන්නා නිසාවෙන් ද වේ. රාමචන්ද්‍ර නිවැරදිව ප‍්‍රකාශ කරන ආකාරයට මම ඉදිරි ජනාධිපතිවරණයේ දී මාදුළුවාවේ සෝභිත හිමි විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සඳහා වූ ව්‍යාපාරයේ කි‍්‍රයාකාරී ලෙස නියැලී සිටිමි. කෙසේ වෙතත් මෙම ව්‍යාපාරය හුදෙක් මහින්ද රාජපක්ෂ ගේ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා වූවක් ලෙස ගැනීම මා මේ ව්‍යාපාරය තූළ හඳුනාගෙන ඇති ශක්‍යතාවය පැත්තෙන් ගතහොත් නම් පටු හඳුනා ගැනීමක් බව මගේ අදහසයි. ඒසේම මෙම ව්‍යාපාරය ‘‘විමුක්ති දේශපාලනයට ෂෝට් කට්’’ එකක් ලෙස හඳුනා ගැනීමද මා සිතන ආකාරයට වැරදි හඳුනා ගැනීමකි.
රාමචන්ද්‍ර කෙළින්ම නැතත් තරමක් වක‍්‍ර ලෙස යෝජනා කරන්නේ මගේ ප‍්‍රවේශය මා විසින්මත් දැඩි ලෙස විවේචනයට ලක් කරනු ලැබ ඇති ජවිපෙ සිංහල ජාතිකවාදය සමඟ උපායමාර්ගික සංධානයකට යාම වැන්නක් බවයි. මගේ අදහස වන්නේ මේ සංසන්දනය ද වැරදි බවයි. මේ තේමාව පිළිබඳ මගේ සමස්ත බුද්ධිමය මැදිහත්වීම විධිමත් ලෙස නිර්වචනය කරන්නේ නම් එය එක් කේන්ද්‍රීය උපන්‍යාසයක් පරීක්ෂාවට ලක් කිරීමක් ලෙස දැක්වීමට කැමැත්තෙමි.

ඒ උපන්‍යාසය මෙසේය:

‘මේ පොදු අපේක්ෂක ව්‍යාපාරයේ දේශපාලන අර්ථ සම්භාරය වාමාංශික දෘෂ්ටිකොණයකින් නිෂේධාත්මක ලෙස ප‍්‍රතික්ෂේප කරන පිරිස් කරන ඉදිරිපත්කිරීම්වල මූලික අඩුපාඩු හතරක්් ඇත.

ඒවා නම්:

1. දේශපාලනයේ හා දෘෂ්ටිවාදයේ දයලෙක්තික සම්බන්ධය හා/හෝ විසම්බන්ධය පිළිබද නිවැරදි තක්සේරුවක් නොමැති වීම; 2. විමුක්ති දේශපාලන ව්‍යාපාරවල ඉතිහාසයේ ඇතැම් සාර්ව ලක්ෂන සැලකිල්ලට නොගැනීම; මේ දෙවෙනි කාරණයට හේතු වී තිබෙන්නේ මෙම වාමාංශිකයින්ගේ දේශපාලන පරිකල්පනය මෙම විමුක්ති ව්‍යාපාරවල සංයුක්ත ඉතිහාසය පිළිබඳ පුළුල් ඓතිහාසික හැදැරීම් මත නොව මෙම විමුක්ති ව්‍යාපාර වල අවසාන ‘ජයග‍්‍රහණය’ ලැබූවන්(උදාහරණ ලෙස ලෙනින්* සීමිත උපායමාර්ගික ඉලක්ක මුල් කරගෙන මේ ව්‍යාපාර පිළිබඳ ඉදිරිපත් කරනු ලැබූ නිරීක්ෂන මත පදනම් වීමයි; 3. විසිවන ශතවර්ශයේ සමාජවාදී ව්‍යාපාරයේ ගැටලූ සහ අප ජීවත්වන අවධියේ සමාජවාදී න්‍යාය පත‍්‍රයක් ඉදිරිපත්කිරීමේ දී මුහුණදෙන සුවිෂේශී අභියෝග පිළිබද ප‍්‍රමාණවත් තක්සේරුවක් නොමැති වීම; 4. මෙම ‘පොදු අපේක්ෂක ව්‍යාපාරයේ ඇත්ත ගතිකයන් පිළිබද පුළුල් තක්සේරුවකට වඩා පළමු හා දෙවෙනි කරුණු මගින් (හෝ ඇතැම්විට වෙනත් උපක‍්‍රමික හා/හෝ පුද්ගල බද්ධ මගින්* සකස්කරන ලද පුර්ව විනිශ්චයන් මත පදනම්ව මේ පිළිබද නිගමනවලට එළඹීමයි.

කෙසේ වෙතත් මෙම ලිපිය තුළ මෙම උපන්‍යාසය සමස්තයක් ලෙස පරීක්ෂාවට ලක්කිරීමට අවස්ථාව නැත. එහිදී එහි ඇතැම් පාර්ශවවලට අමාන්ත‍්‍රණය කොට ඇත. ඒ මේ පිළිබද වැඩිදුර සාකච්ඡුාවක් මා රාවය පුවත්පතේ ගාමිණි වියන්ගොඩ සමග කරන ලද සංවාදයේ ද, සුමිත් චාමින්ද සහ තවත් අය සමග ෆේස්බුක් හී කරන ලද සංවාදයන්හී ද අඩංගු වේ.

එසේම මේ සංවාදයෙන් මට දැනට පෙනී ගොස් ඇති කාරණය වන්නේ මේ සංවාදයේ නිමක් දැකීම අපහසු බවයි. මක් නිසා ද සංවාදයේ නියැගෙන පාර්ශව දෙකටම තම ස්ථාවරය සාධාරණීකරණය කිරීමට සෑහෙන දුරට කරුණු තිබීමයි. මා මේ පිළිබඳව ඉදිරිපත් කරන කරුණු වලංගු කරුණු ලෙස සැලකීමට මගේ ප‍්‍රතිවාදී සම්භාෂකයින් මැලි වුවද ඔවුන් ඉදිරිපත් කරන බොහෝ කරුණු වලංගු ඒවා බව මට ද පෙනී ගොස් තිබේ. අවාසනාවකට මා මුහුණ දී ඇති ප‍්‍රශ්නය වන්නේ ඒ සියළු වලංගු කරුණු තිබියදීත් මේ ව්‍යාපාරයට මගේ මුළු ශාරීරික මෙන්ම බුද්ධිමය ශක්තිය පවා යෙදවීම සඳහා මගේ හිත හදා ගැනීමට මට ඇති කරුණු ප‍්‍රමාණය මගේ ප‍්‍රතිවාදී සම්භාෂකයින්ගේ කරුණුදැක්වීම්වලට වඩා මට ඒත්තු යන සුළු වීමයි. ඒ නිසා මේ ව්‍යායාමය නිෂ්ඵල එකක් යැයි මට ඒත්තු යන තුරු හෝ මේ ව්‍යාපාරය මුළුමනින්ම පරාජයට පත් වී විනාශවන තුරු එය අත් හැර දැමීමට දැනට නම් මගේ කැමැත්තක් නැත.

මේ ව්‍යාපාරයේ නියැලීමට මට තවත් හේතු දෙකක් ඇත. එකක් නම් රාමචන්ද්‍රත් මම ත් පොදුවේ අයත් වන, සහ සාමාන්‍යයෙන් ‘වාමාංශය’ යනුවෙන් හඳුන්වන දේශපාලන කතිකාමය අවකාශය තුළ සිටින සෑහෙන පිරිසක් දිනපතාම සහ වැඩි වැඩියෙන් මේ ව්‍යාපාරය වෙත ඇදී එම යි. අනෙක නම් රාමචන්ද්‍ර විසින් ‘ලිබරල් බුද්ධිමතුන්’ ලෙස හඳුන්වනු ලබන, එසේම ලංකාවේ සමාජය අභිමුවේ දැනට ඇති අර්බුදයේ ‘‘වාමාංශිකයින්’’ දකින අංග, ඔවුන්ට වඩා තරමක් වෙනස් පර්යාවලෝකයකින් වුව ද, බරපතල ගැටලූ ලෙස හඳුනාගනු ලබන සෑහෙන පිරිසක්, මෙතෙක් ඒ අය නියැලී සිටි දක්ෂිණාංශික ලිබරල්වාදී හා ජාතිකවාදී පර්යාවලෝකයෙන් තරමක් දුරට ගැලවී මේ ප‍්‍රශ්න දෙස සාර්ව දෘෂ්ටි කොණයකින් බැලීමේ නැඹුරුවක් ද සහිතව මේ ව්‍යාපාරය දෙසට ඇදී ඒමේ ප‍්‍රවණතාවයක් දැක්වීමයි. මගේ නිරීක්ෂනයන්ට අනුව මේ අය තුළ ඇතිවෙමින් තිබෙන චින්තන පෙරළිය රාමචන්ද්‍ර ඒ සඳහා භාවිත කරන ‘සමාජයේ ගරාවැටීම ගැන ප‍්‍රශ්නය සමාජ ක‍්‍රමය පිළිබඳ ප‍්‍රශ්නයක් ලෙස නොව හුදෙක් ආණ්ඩු ක‍්‍රමය පිළිබඳ ප‍්‍රශ්නයක් ලෙස’’ ගැනීමක් ලෙස සරළ කිරීමට නොහැක. ඒ අය තුළ වාමාංශිකයින්ට අවශ්‍ය තරමට මේ ප‍්‍රශ්න ධනවාදී පද්ධතිය සමග සම්බන්ධ කොට තේරුම් ගැනීමක් දක්නට නොලැබිය හැකි වුවද මේ අර්බුදයේ සාර්ව පැති ගැන වැඩෙන විඥානයක් මේ පිරිස් තුළ වර්ධනය වීම හඳුනා ගැනීමට පුළුවන.

මා හොඳින් දන්නා ආකාරයට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ විගස ලංකාවේ ඇති සකළවිධ ගැටලූ විසඳේ යැයි සිතන අය මේ පිරිස් අතර මට හමු නොවේ. නමුත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මේ සියලූ දෙනාම එක් තැනකට ගෙන ආ හැකි තේමාවකි. එහි වරදක් ඇත්තේ ද නැත. මක් නිසාද යත් විධායක ජනාධිපති ක‍්‍රමය මේ ක‍්‍රමය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මා සිතන ආකාරයට, රාමචන්ද්‍ර සිතනවාට වඩා, කේන්ද්‍රීය කාර්යභාරයක් ඉෂ්ටකරනු ලබන නිසාය. මා සිතන ආකාරයට රනිල් වික‍්‍රමසිංහ පවා විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමට ඒ තරම් උනන්දුවක් නොදක්වන්නේ ඒ නිසාය. වෙනත් ආකාරයකට කියනවානම් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වීම ලංකාවේ දැනට පවත්වා හෙජමොනික සමතුළිතතාවයට මරු පහරක් බව ඉතාම පැහැදිළිය. මේ හෙජමොනික සැකැස්මේ ඉතාම ප‍්‍රබල රැුකවලූන් දෙදෙනෙකු වන චම්පික රණවක හා විමල් වීරවංශ මේ පිළිබඳව දක්වන අදහස් පරීක්ෂාකර බැලීමෙන් මේ තත්වය හොඳින් පැහැදිළි වේ.

රාමචන්ද්‍ර සිතනවාට වඩා වෙනස් ලෙස මම මේ ව්‍යාපාරය තුළ පුළුල් විමුක්ති දෙශපාලනයක් සඳහා වූ විශාල විභවයක් දකිමි. මෙහි දී ලංකා සමසමාජ ව්‍යාපාරය බිහිවූ ආකාරය පිළිබද මගේ නිරීක්ෂණ සමහරක් ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි. සමසමාජ ව්‍යාපාරය පොදුජන ව්‍යාපාරයක් ලෙස සාර්ථක වූයේ ඇන්. ඇම්. කොල්වින්, ලෙස්ලි වැන්නන්ගේ මාක්ස්වාදී දැක්ම නිසාම (පමණක්) නොවේ. (ඇන්. ඇම්. ගේ මාක්ස්වාදී දැක්ම කොල්වින් හා ලෙස්ලි ට වඩා අඩු මට්ටමේ එකක් බව මෙහි දී ප‍්‍රකාශ කළ යුතුය.) ඒ වටා රොක් වූ විශාල බුද්ධිජීවී පිරිස ද නිසා වෙනි. මේ පිරිස අතර මාක්ස්වාදී ලෝක දැක්මට මුලූමනින්ම අනුගත නොවූ බෞද්ධ භික්ෂූන්, විවිධ මට්ටමේ ජාතිකවාදීන් මෙන්ම මාක්ස්වාදයේ එන ප‍්‍රචණ්ඩ විප්ලවය පිළිබඳ අදහස මුලූමනින්ම ප‍්‍රතික්ෂේප කළ ඊ. ඩබ්, අධිකාරම් වැනි පරම අවිහිංසාවාදීහුද වූහ.

කෙසේ වෙතත් මා මෙහිදී යෝජනා කරන ප‍්‍රවේශය ඉහත සඳහන් කළ ආකාරයට රාමචන්ද්‍ර වැනි වාමාංශිකයින්ට එතරම් ආකර්ශනශීලී වන්නක් නොවේ. මේ නිසා මේ පිළිබඳව ගොඩනැංවෙන විවාදය එක්තරා අර්ථයකින් විසිවන ශතවර්ශයේ මුල් වර්ශවල රුසියානු සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරය තුළ ඇති වූ ඊනියා ‘මෙන්ෂෙවික්-බොල්ෂෙවික් විවාදය’ වැන්නක් වනු ඇත. මෙම ලාංකීය විවාදය තුළ මා දරන ස්ථානය රුසියානු විවාදයේ ‘මෙන්ෂෙවික්’ ආස්ථානයට තරමක් සමපාත වන බව කිවහැක. ඇත්ත වශයෙන්ම රුසියානු විවාදය තුළ පවා දැන් මගේ වැඩි පක්ෂපාතිතවය තිබෙන්නේ ඊනියා මෙන්ෂෙවිකයින්ගේ ආස්ථානය වෙතටය.

ඇත්ත වශයෙන්ම විසිවන ශතවර්ෂයේ මුල්කාලය තුළ ලෙනින් වැන්නන් විසින් අනුදත් නිර්ධන පංති විප්ලවය පිළිබඳ අදහසට වැඩි සමාජ-දේශපාලන වලංගුතාවයක් පැවැති සංදර්භයට සාපේක්ෂව සලකා බැලූවොත් අද කොහොමත් ඒ බොල්ෂෙවික් මාවත හෝ ඊට සමාන්තර මාවතක් කෙරේ විශ්වාසය තැබීමට පදනමක් නැත.

මේ නිසා මගේ අදහස නම් වාමාංශිකයින් කළ යුත්තේ සෝභිත හිමිගේ ව්‍යාපාරය තුළ ඇති විමුක්තිවාදී විභවය පෝෂණය කිරීමට දායක වීම බවයි. මම එය වාමාංශිකයින්ගේ ඓතිහාසික කාර්යභාරය යැයි නොකියමි. මක්නිසාද යත් ඓතිහාසික කාර්යභාරයක් පිළිබඳව මා විශ්වාස නොකරන බැවිනි. ඒ වෙනුවට එය ආචාර ධාර්මික කාර්යභාරයක් ලෙස දැක්වීමට මම කැමැත්තෙමි. කෙසේ වෙතත් මේ ගැටලූවේ දී රාමචන්ද්‍ර අයත් චින්තන ධාරාවේ සිටින සුමිත් චාමින්ද වැන්නෙක් ඉතා දැඩි ලෙස කියා සිටින්නේ මෙම ව්‍යාපාරය තුළ කිසිඳු විමුක්ති දේශපාලන විභවයන් නැතිවා පමණක් නොව එය මූලික වශයෙන් සිංහල-බෞද්ධ වර්ගවාදී වන්නා වූ අධිපති හෙජමොනිය ප‍්‍රතිනිෂ්පාදනය කරන්නා වූ එකක්ද වන බවයි. සුමිත් චාමින්ද එහි දී අවධාරණය කරන්නේ මෙම ව්‍යාපාරය මුදුනේ සිටින මාදුළුවාවේ සොභිත හිමියන්ගේ බුද්ධිමය හා දේශපාලන චර්යාවේ ඇතැම් චරිත ලක්ෂණයි. ඒසේම ජූලි 24 රැස්වීමේ ආරම්භයේ දී පංසිල් ගැනීම වැනි සිද්ධීන් ද මෙය තහවුරු කෙරෙන කරුණු ලෙස දැක්වීමට පුලූවන. සුමිත් චාමින්ද මෙහි දී මාදුළුවාවේ සෝභිත හිමි සහ ගලගොඩඅත්තේ ඥානසාර අතර වෙනසක් නැතිය යන නිගමනයට පවා එළඹේ.

මා මෙම තර්කය පිළිගන්නේ නැත. මගේ විරෝධය න්‍යායාත්මක වශයෙන් පදනම් වී ඇත්තේ මූලික වශයෙන්ම කිසියම් සමාජ සැකැස්මක දෘෂ්ටිවාදීමය තලය හා දේශපාලනය අතර ඇති දයලෙක්තික සම්බන්ධය හා/හෝ විසම්බන්ධය මතයි. කිසියම් දෙන ලද සමාජ සැකැස්මක දෘෂ්ටිවාදය හා හෙජමොනික දේශපාලන සබඳතා පුනර්නිෂ්පාදනය වන යාන්ත‍්‍රණ වෙන වෙනම ආයතනගත වී පැවැතියත් සාමාන්‍යයෙන් හෙජමොනික සමතුළිතභාවයක් පවත්නා අවස්ථාවකදී ඒවා එකිනෙක අතර අනුරූපීතාවයක් දැකිය හැකිය. නමුත් මෙම හෙජමොනික සමතුළිතභාවය බිඳවැටීමේ එක් ප‍්‍රකාශමානවීමක් වන්නේ දෘෂ්ටිවාදීමය තලය හා දේශපාලනය අතර ඇති අනුරූපීතාවය අර්බුදයට යාමයි. උදාහරණ වශයෙන් ප‍්‍රංශ විප්ලවයේ දී මෙන්ම 1905-1917 අතර කාලයේ රුසියානු විප්ලවීය නැගිටීම්වල දී ද ඒ නැගිටීම්වලට සක‍්‍රීයව දායක වූ හා ඒවායේ ගාමක බලවේගය වූ පිරිස් ස්ථාපිත පාලක දෘෂ්ටිවාදයෙන් විනිර්මුක්ත වූවෝ නොවූහ. ප‍්‍රංශයේ කැරළි ගැසූ ගොවි ජනයා ලූවී රජුට විරුද්ධ නොවූවා මෙන්ම 1905 දී රුසියාවේ පූජක ගැපොන් පසුපස සාර් මාලිගාවට පෙළපාලි ගිය රුසියානු කම්කරුවෝ ගමන් කළේ ‘සාර් දිනේවා’ කියමිනි. නමුත් ඒවායේ විප්ලවීය විභවය පැවැතියේ ඒ අවස්ථාව වන විට පාලක දෘෂ්ටිවාදය සහ දේශපාලනය අතර අනුරූපීතාවය අර්බුදයට ගොස් තිබුණේය යන කාරණාව මතයි.

ලංකාවේ මේ මොහොතේ ද එවැනි අර්බුදකාරී තත්වයක් නිර්මාණය වි ඇත. එසේ වී ඇත්තේ හෙජමොනික සැකැස්මේ ඉහළ අරා සිටින පාලක ප‍්‍රභූ කණ්ඩායමේ ක‍්‍රියාකාරකම් අතර සහ සාමාන්‍ය නිර්ප‍්‍රභූ ජනයා ද ඇතුළුව මෙම පාලක ප‍්‍රභූ කණ්ඩායමට පිටින් සිටින පිරිස් අතර අභිලාෂ පිළිබද ගැටුමක් තියුණු මට්ටමකින් නිර්මාණය වී තිබීම නිසාවෙනි. මෙම අර්බුදයේ විවිධ දේශපාලන ප‍්‍රකාශන අතර මෙම ස්ථාපිත හෙජමොනික සබඳතා ව්‍යුහයම යලි ස්ථාපිත කර පවත්වාගෙන යාමට දැරෙන උපාමාරු ද දක්නට ලැබේ. හෙජමොනියේ සිංහල-බෞද්ධ අංගෝපාංග දේශපාලන වශයෙන් යලි ස්ථාපිත කොට එය පවත්වාගෙන යාමට බොදුබල සේනා, ජාතික හෙළ උරුමය සහ විමල් වීරවංශ වැනි කොටස් උත්සාහ කරයි. එහි ලිබරල්වාදී අංගෝපාංග යලි ස්ථාපිත කීරීම කෙරෙහි මූලික වශයෙන් යොමු වී එය පවත්වාගෙන යාම කෙරෙහි රනිල් වික‍්‍රමසිංහ වැනි අය නිරත වී සිටී. මා යෝජනා කරන්නේ සෝභිත හිමිගේ ව්‍යාපාරය හැසිරෙන්නේ මේ ව්‍යාපෘතීන් දෙකට වෙනස්ව බවයි. රාමචන්ද්‍ර නිවැරදිව හඳුනාගන්නා පරිදි ‘ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් ගැන ‘අවංක’ හැඟීමකින් යුක්ත මධ්‍යම පාංතික වෘත්තිකයන් හා බුද්ධිමතුන් කවයක් මෙම ව්‍යාපාරයට සහයෝගය දෙමින්’ සිටින්නේ මේ තත්වය නිසාය.
සිංහල-බෞද්ධ ජාතිකවාදී කඳවුර මෙම ව්‍යාපාරය මුළුමනින්ම සතුරු එකක් ලෙස සලකා ඊට පහර දීමට පටන් ගෙන තිබීමත්, රනිල් වික‍්‍රමසිංහ මේ ව්‍යාපාරය සමඟ ඉතා පරිස්සමෙන් ගණුදෙණුකරන ප‍්‍රවේශයක සිටීමත් මගින් පෙන්නුම් කෙරෙන්නේ මෙම තත්වයයි.

ඍජුව කෙසේ වෙතත් වක‍්‍රව රාමචන්ද්‍ර අපට යෝජනා කරන්නේ මෙම ව්‍යාපාරයේ සීමාව වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳ සටන්පාඨය බවයි. කවර ආකාරයකින්වත් එය එසේ වීමට ඉඩක් නැත. මේ ව්‍යාපාරය මගින් සක‍්‍රීය කිරීමේ විභවය සහිත දේශපාලන සංවාදය ඉතා පුළුල් එකක් බව මගේ තක්සේරුවයි. ඉතා පැහැදිළි ලෙසම ඒසේ කළ හැක්කේ කෙසේද යන්න 1 2 3 යනා දී වශයෙන් දැකවීමට මට නොහැකිය. ෆේස් බුක් සංවාදයේ දී සුමිත් චාමින්ද මගේන් ඉල්ලා සිටි එක් දෙයක් වූයේ මෙය සංයුක්ත ලෙස පෙන්නුම් කරන ලෙසයි. එය කිරීමට මා කණගාටුදායක ලෙස අසමත්ය. මට එය පෙන්නුම් කිරීමට ඇති එකම ක‍්‍රමය වන්නේ එය සිදු කර පෙන්වීම මගින්ම පමණි. මා ප‍්‍රයත්න දරන්නේ එයටයි.
එය එක්තරා ආකාරයකට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය සම්බන්ධව මගේ අත්දැකීම වැනිය. එම අරගලයේ ආරම්භක අදියරේ දී මගේ කිට්ටු දේශපාලන මිතුරන් මගේ මැදිහත්වීම නිෂ්ඵල ව්‍යායාමයක් ලෙස පෙන්වා දුනි. මෙහි දී මගේ කිට්ටු දේශපාලන මිත‍්‍රයෙක් වන අජිත් පැරකුම් ජයසිංහ විසින් ඉදිරිපත්කළ තියුණු විවේචනය පෙන්වා දීමට පුළුවන. මේ විවේචනය රළු හා පුද්ගල කේන්ද්‍රීය මඩ ගැසීමක ආකාරයෙන් ශී‍්‍ර ලංකා පෙරටුගාමී පක්ෂය සිය 3මාන වෙබ් අඩවිය මගින් සිදුකරන ලදි. නමුත් පසුව මේ දෙපිරිසටම එම අරගලයේ සාධනීය විභවයන් පිළිගැනීමට සිදුවිය.

කෙසේ වෙතත් මේ කිසිඳු කරුණු දැක්වීමක් රාමචන්ද්‍ර ගේ දැක්ම තුළ සිටින පිරිස්වලට එතරම් ඒත්තුයන සුළු ඒවා නොවේ. මගේ අදහස වන්නේ කලින් කී ෆේස්බුක් සංවාදයේ ක‍්‍රියාකාරී මැදිහත් කරුවෙකු වූ කුමාර දිසානායක කීවාක් මෙන් මේ ක‍්‍රියාමාර්ග දෙක සමාන්තර ලෙස ගමන් කිරීම අහිතකර දෙයක් නොවන බවයි. මා සිතන ආකාරයට සෝභිත හිමිගේ ව්‍යාපාරයට ඇතිවන ආකර්ශනය අභියෝගයක් ලෙස භාරගෙන තමන් අතර පෙරනොවූ විරූ ඒකාබද්ධතාවයක් ගොඩනංවා ගැනීමට ද රාමචන්ද්‍ර අයත් වාමාංශික කතිකාවට හැකියාවක් ඇති බවයි. ඒ කතිකාව සෝභිත හිමි කේන්ද්‍රකරගත් ව්‍යාපාරයට ද නිශේධාත්මක අභියෝගයක් නොව එහි විමුක්තිවාදී නැඹුරුව පෝෂණය කරන්නක් බවට පත්වීමට වැඩි ඉඩකඩක් වනු ඇත්තේ පළමුව කී කතිකාව එතරම් මහජන ආකර්ශනයට ලක්වන එකක් බවට පත්වීමට ඇති ඉඩකඩ සීමිත නිසාය.

- නිර්මාල් රංජිත් ‍දේවසිරි ( අගෝස්තු 17)

ජාත්‍යන්තර සිනමා උලෙලේ පරස්පර විරෝධය

කොලඹ ජාත්‍යන්තර සිනමා උලෙල පසුගිය සතියේ නිමාව දුටුවේය. පේ‍්‍රක්ෂකයින්ගෙන් සිනමා ශාලා පිරී ඉතිරී ගොස් තිබීම උලෙල තුල පෙන්වූ සෑම චිත‍්‍රපයටකදීම පාහේ දක්නට ලැබුණු නිරීක්ෂනයකි. එය මහත් සාධනීය ලකුනක් බව නොකිවමනාය. ලංකාවේ සිනමාව පසුගිය වසර කිහිපයක කාලය තිස්සේ ගමන් කරමින් සිටින්නේ අපගමනයක් කරාය. සිනමාව ලෙස පසුගිය කාලය පුරා වර නැගුනේ රජ කථා සහ බන කථා සරල ලෙස චිත‍්‍රපටයට පෙරලීමයි. මේ බාල වෙලද සිනමාව සදහා මාධ්‍ය අනුග‍්‍රහය මෙන්ම රාජ්‍ය අනුග‍්‍රහය ද නොමදව හිමිව තිබුනි. පේ‍්‍රක්ෂකයින්ගේ දිගු පෝලිම් දක්නට ලැබුනේ එබදු කසිකබල් සිනමා පට පෙන්වන සිනමා ශාලා ඉදිරිපිටය.

ජාත්‍යන්තර සිනමා උලෙල තුල පෙන්වූ කිසිදු චිත‍්‍රපටයක් ලංකාව තුල පසුගිය කාලයේ ජනප‍්‍රිය වූ එම සරල වෙලද සිනමා කැටගරියට අයත් ඒවා නොවේ. එවැනි පසුබිමක් තුළ සිනමා උලෙල විශාල පේ‍්‍රක්ෂක සමූහයක් ආකර්ෂනය කරගැනීම සුවිශේෂීය. කෙසේ වුවද එම සාර්ථකත්වයේ සීමා ඇත. එහි තිබෙන ප‍්‍රබලතම සීමාව නම්, විශාල පේ‍්‍රක්ෂක සහභාගීත්වයක් අත්පත් කරගත් තතු යටතේ පවා, තවමත් සිනමා උලෙල පොදුජනයාගෙන් දුරස්ථ වූ අත්දැකීමක් වශයෙන් ස්ථානගත වී තිබීමයි.

ජාත්‍යන්තර සිනමා උලෙල නරඹන්නට පැමිනි පේ‍්‍රක්ෂකයින් සැලැකූ කල්හි ඔවුහු මූලික වශයෙන් සමාජයේ එක්තරා ස්ථරයක් නියෝජනය කරන්නෝ යැයි කිව හැක. පේ‍්‍රක්ෂකාගාරය සමන්විත වී තිබුනේ නාගරික හා අර්ධ නාගරික මැද පංතික සමාජ කොටස් වලින්ය. මෙම සංස්කෘතික අත්දැකීම සමාජයේ නිර්ප‍්‍රභූ ජනයා හට ආගන්තුක එකක් ලෙසය පැවැතියේ. මෙබදු සංස්කෘතික අත්දැකීමක් සමාජයේ බහුතරය සංයුක්ත කරන  වැඩ කරන ගැහැනුන්ට සහ පිරිමින්ට ගෝචර වන්නේ නැත. සමාජයේ බහුතරය එබදු සිනමා උලෙලක් තිබෙන බවවත් අඩු තරමින් දැන නොසිටින්නට ඇත.

එය සිනමා උලෙල සංවිධායකයින්ගේ ප‍්‍රශ්නයක් නොව අප ජීවත් වන සමාජයේ මූලික හැඩහුරුව සම්බන්ධ දේශපාලන ප‍්‍රශ්නයකි. කලාව තුළ අන්තර්ගත වන්නේ ඓතිහාසික මිනිස් නිර්මානශීලීත්වයයි. ප‍්‍රකෘතිය සමග වූ අනවරත අරගලයේ දී මිනිසා විසින් අත්පත් කරගත් සංස්කෘතික අත්දැකීම් හා සාක්ෂාත් කරගැනීම් කලාව තුල සංයුක්තය. ජීවිතය යනු හුදෙක් ආහාර ගැනීම, රමනය කිරීම හා නින්දට යාම නොවේ. මිනිසා සතුන්ගෙන් වෙනස් වන එක් තැනක් නම් සංස්කෘතික ජීවිතයයි. කලාව තුළින් ප‍්‍රකාශිත රස වින්දනාත්මක කලාපය අයත් වන්නේ එම සංස්කෘතික ජීවිතයටය.

සමාජයේ අති බහුතරය අද වන විට මෙම සංස්කෘතික ජීවිතයෙන් වියෝ කරනු ලැබ සිටිති. කොලඹ නගරය සලකන කල්හි දෛනිකව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රැකියා කරනු සදහා කොලඹ එති. ඉන් සැලැකිය යුතු පංගුවක් වැටුප් ශ‍්‍රමිකයෝ වෙති. සතියේ දින පහ හෝ ඊටත් වැඩි දින ගනනක් කය හා මනස වෙහෙසා වැඩකිරීම මත ජීවිතය රදා පවතින්නා වූ සාමාන්‍ය වැටුප් ශ‍්‍රමිකයෙක්ට සිනමා උලෙල සම්මුඛ වන්නේ කෙසේද? උදේ අටත් සවස පහත් අතර කාලය තුළ චිත‍්‍රපට බැලීමට යන්ට ඔහුට කාලයක් නැත. දවස පුරා වැඩ කරන ශ‍්‍රමිකයින්ට අඩු තරමින් රාත‍්‍රී හතේ දර්ශනයවත් වලංගු නැත. රාත‍්‍රී හත දර්ශනය බැලූවත් රෑ බෝ වී නිවෙස බලා යාමේ ප‍්‍රශ්න ඇත. ප‍්‍රවාහන ප‍්‍රශ්නය පසෙක තැබුවත්, ඊලග දිනයේ උදැසන යලි වැඩට යාම පිලිබද ප‍්‍රශ්නයක් පවතී. පවුලේ සාමාජිකයින්, හිතවතුන් සමග විවේකීව මෙබදු සංස්කෘතික අත්දැකීමක් ආස්වාදනය කිරීමේ විවේකය හා කාලය සමාජයේ බහුතරයක් වූ ශ‍්‍රමය වගුරුවන්නන් හට සහ සාමාන්‍ය වැටුප් ශ‍්‍රමිකයන් හට හිමි වී නැත.

ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය කවරාකාරද? බොහෝ විට එය වෙහෙස මහන්සි වී වැඩ කොට නිවෙස බලා ගිය විට රූපවාහිනිය තුල පෙන්වන බාල වෙලද ටෙලි නාට්‍යයක් නැරඹීමට සීමා වී තිබේ. ඔවුන්ගේ ලෝකය තුළ කලා කෘති ලෙස ස්ථානගත වන්නේ ‘මලී’ හෝ ‘ස්වප්නා’ පන්නයේ  ඕලාරික නිෂ්පාදිතයන්ය. සරල ගීත ඇසීමෙන් ඔබ්බට සංගීත රසාස්වාදනයක් ඔවුහු නොහදුනති. පවතින සමාජ රටාව තුළ බහුතර ජනයාට සැබැවින්ම හිමි වී තිබෙන්නේ සංස්කෘතික ජීවිතයකින් තොර සත්වමය පැවැත්මකි. ආහාර සොයාගැනීම සදහා වැඩ කිරීම, අනුභව කිරීම, වර්ගයා බෝ කිරීම සහ නිදා ගැනීමට එම ජීවිතය සීමා වී ඇත.

උසස් කලා කෘතීන් ආස්වාදය කිරීම සදහා යම් ශික්ෂණයක් හා කලාව පිලිබද යම් අවබෝධයක් අවශ්‍ය කෙරේ. එවැනි ශික්ෂනයක් ප‍්‍රගුන කිරීම සදහා ජීවිතයේ යම් නිදහස් කාලයක් තිබිය යුතුය. විවේකයක් තිබිය යුතුය. පැවැත්ම සදහා දවස පුරා වැඩ කිරීම ඉරනම බවට පත්වී තිබෙන කම්කරුවෙක්ට හෝ වැඩ කරන වෙනත්  මිනිසෙක්ට එබදු ශික්ෂනයක් ප‍්‍රගුන කරගැනීම සදහා ‘කාලයක්’ හෝ ’නිදහසක්’ හිමි වන්නේ නැත. ඒ අනුව ධනවාදී සමාජය තුළ කලාවට හා සංස්කෘතික ජීවිතයට පංතිමය අර්ථයක් තිබේ. වැටුප් ශ‍්‍රමිකයින්ට, ගොවීන්ට, ධීවරයින්ට කලාව හා සංස්කෘතික ජීවිතය අදාල නැත. එක් පැත්තකින් උසස් කලාව ආස්වාදය කිරීම සදහා වූ ශික්ෂනය පවතින සමාජ කොන්දේසි තුළ කවදාවත් ඔවුන්ට හිමි වන්නේ නැත. අනිත් අතින් කලාව ගැන යම් උනන්දුවක් තිබුනත් ඒ සදහා විවේකී වූත් නිදහස් වූත් කාලයක් ඔවුන්ට හිමි වී නැත. සිනමා උලෙල විසින් ඇති කළ ‘සංස්කෘතිය’ ගැන ආස්වාදයෙන් කථා කරද්දී එහි නිශේධනය - එනම් බහුජනතාවට එම සංස්කෘතික අත්දැකීම අහිමි වී තිබීම, එතුලම අන්තර්ගත වන බව මතක තබා ගත යුතු මනාය.  

 
 


Tuesday, September 2, 2014

ඒකමානීය අනගාරික ධර්මපාල

පාලිත සිල්වා අනගාරික ධර්මපාල ලෙස 
ගුනදාස අමරසේකර විසින් රචිත ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?’ කෘතියේ තෙවැනි මුද්‍රනය පසුගිය අගෝස්තු 20 වන දා මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනේදී එලිදැක්වින. මේ අවස්ථාව සදහා විමල් වීරවංශ, චම්පික රනවක ආදී දේශපාලකයින් පිරිසක් සම්බන්ධ වී සිටියහ. ලංකාවේ රාජ්‍යය ධර්මපාලගේ චින්තනය මත පදනම්ව ගොඩනැගිය යුතුව තිබූ බවත්, එසේ සිදුනොවීම බලවත් අභාග්‍යයක් බවත් එම සභාව අමතා ඇමැති විමල් වීරවංශ ප්‍රකාශ කොට තිබුනි. 2013 සැප්තැම්බර් මස 18 වන දා මාධ්‍ය හමුවක් කැදවමින් බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ‘අනගාරික ධර්මපාලලා ලක්ෂයක් ඉදිරි කාලයේ තමා විසින් බිහි කරන බව’ ප්‍රකාශ කලේය. එම සංවිධානයේ නායකයෙක් වූ කිරම විමලජෝති භික්ෂුවගේ මූල්‍ය දායකත්වයෙන් ‘අනගාරික ධර්මපාල’ නමින් සිනමා පටයක් ද මේ වන විට නිෂ්පාදනය වී ඇත.

සිංහල සමාජයේ එදිනෙදා ජන විඥානය තුල අනගාරික ධර්මපාල ස්ථානගත වන්නේ ජාතික වීරයෙක් වශයෙනි. සිංහල ජාතිකවාදී දහරාව තුල සිටින විවිධ වර්ග වල ජාතිකවාදියෝ - ඥානසාරගේ සිට ගුනදාස අමරසේකර දක්වා - ධර්මපාල සංකේතයක් ලෙස සලකන බව පෙනේ. පාසල් වල ලමුන්ට අනගාරික ධර්මපාල ජාතික වීරයෙක් යැයි ඉගැන්වේ. මේ නිසා ධර්මපාල චරිතයට ලැබී තිබෙන්නේ හෙජමොනික අගයකි. ඔහුගේ ජාතික වීරත්වය ප්‍රශ්න කල නොහැකි ඉතාම ස්වභාවික දෙයක් ලෙස සාමාන්‍ය ජන විඥානය තුල තහවුරු වී තිබේ.

අනගාරික ධර්මපාල යනු මෙරට යටත් විජිත විරෝධී බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ ප්‍රබල චරිතයකි. බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය ප්‍රධාන දේශපාලන උපකරනයක් ලෙස ක්‍රිස්තියානිකරනය උපයෝගී කරගත්තේය. ලංකාවේ සාම්ප්‍රදායික ස්වදේශික ආගම්  මැඩ, ක්‍රිස්තියානි ධර්මය ප්‍රචලිත කිරීම සදහා බ්‍රිතාන්‍ය යටත් විජිත රජය ප්‍රකටව උත්සාහ ගත් අතර බෞද්ධ පුනරුද ව්‍යාපාරය යනු එම ආධිපත්‍යයට එරෙහිව පැන නැගි කැරැල්ලකි. ලංකාව තුල කවදාවත් දේශපාලනමය වශයෙන් ප්‍රබල යටත්විජිත විරෝධී ජාතික විමුක්ති ව්‍යාපාරයක් හටගත්තේ නැත. ඒ වෙනුවට අපට දක්නට ලැබෙන්නේ ආගමික හා සංස්කෘතික මුහුනුවරක් රැගත් ප්‍රතිවිරෝධය පෑමේ ව්‍යාපාරය. දේශපාලන-ආර්ථික මාතෘකා ගැන ප්‍රශ්න ධර්මපාල විසින් මතු කරන්නට යෙදුනි. උදාහරනයක් ලෙස බටහිර සංස්කෘතිය පසුපස නොයා ස්වදේශීය කර්මාන්ත දියුනු කරන මෙන් ධර්මපාල ස්වදේශීය ධනවතුන්ගෙන් ඉල්ලා සිටියේය. ජපානය හා ජරමනිය එහිදී ආදර්ශයට ගන්නා ලෙස ඔහු යෝජනා කලේය. එහෙත් මේ පදනම් මත දේශපාලන ව්‍යාපාරයක් බිහිකිරීමට ධර්මපාල අසමත් වූයේය. අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනය සමග දැඩිව බැදී සිටි සිංහල මහ ධනපති පංතිය ධර්මපාලගේ යෝජනාව ගැන සැලැකිල්ලක් නොදැක්වීය.

යටත්විජිතවාදය විසින් ස්වදේශීය ජනයා මත අභ්‍යාස කල බලාධිපත්‍යයට එරෙහි වීමේ ප්‍රමානයට ධර්මපාලගේ ව්‍යාපෘතිය තුල යම් විමුක්තිකාමී සංරචකයක් තිබූ බව කිව හැක. එහෙත් ඉන්දියාව වැනි රටක යටත් විජිත විරෝධී ධනේශ්වර ජාතිකවාදය වර්ධනය වූ ආකාරය සලකන විට ලංකාවේ ධර්මපාල ව්‍යාපාතීය වැන්නක් ස්ථානගත වන්නේ ඉතාම දුර්වල වූත් සීමාකාරී වූත් උත්සාහයක් ලෙසය. යටත්විජිතවාදයට විරුද්ධ වෙද්දී ධර්මපාල සිය පදනම ලෙස ගත්තේ ‘සිංහල බෞද්ධ’ වාර්ගිකත්වයයි. යටත්විජිතවාදය හරහා පැමිනි ධනවාදය විසිරී තිබුනු විවිධ රාජධානි ඒකාබද්ධ කොට ඉන්දියාව නමින් රාජ්‍යයක් ගොඩනැගු‍වේ යම් සේද එලෙසම ලංකාව නමින් රාජ්‍යයක්ද ගොඩනගා තිබුනි. ඉන්දියාවේ ජාතික ව්‍යාපාරය සිය පදනම ලෙස ගන්නේ ඉන්දියානුභාවයයි. නේරු-ගාන්ධිගේ ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරය ඒ අනුව පදනමින් පුලුල් වූවකි. එය බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයට විරුද්ධ වූයේ හින්දු ස්වෝත්තමවාදී පදනමක් හිද සෙසු වාර්ගික ප්‍රජාවන් බැහැර කරන පදනමක් මත සිටිමින් නොවේ.

එහෙත් ධර්මපාලගේ ව්‍යාපාතීයේ සීමාව සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය විසින් සලකුනු කොට තිබුනේය. ඔහුගේ මූලිකත්වයෙන් පල වූ සිංහල බෞද්ධයා පුවත්පත සෙසු වාර්ගිකයින් හැදින්වූයේ හම්බයා,දෙමළා,මරක්කලයා ආදී ගර්හිත යෙදුම් වලිනි. “ හම්බයන් මුස්ලිම්වරුන් කුලී වැඩ කොට සුලු මුදලක් උපයා වෙලදාම් කොට ධනවත් වී සිටිති. හම්බ යෝනකාදීන්ට හසුවී බොහෝ දෙනා අනාථ වෙති. සිංහලයින් එකතු වී සමාගම් පිහිටුවා වෙලදාම් කල යුතු’’ යැයි කී එම පුවත්පත මුස්ලිම් කඩ වර්ජනය කරන මෙන් මහජනයාගෙන් ඉල්ලා සිටියේය. යුරෝපයේ යුදෙව්වන් ෂයිලොකියානු ක්‍රම වලින් පොහොසත් වූයේ යම් සේද දකුනු ඉන්දියාවේ සිට පැමිනි මුස්ලිම්වරු මෙරට වෙලදාම අල්ලාගෙන සිටින බව ධර්මපාල ලිවීය.

අනගාරික ධර්මපාලගේ මේ පටු ස්වෝත්තමවාදී දැක්ම වර්තමානයේ ප්‍රධාන දහරාවේ කිසිදු තැනෙක සාකච්ඡාවට ලක්වන්නේ නැත. පාසල් වල ධර්මපාල යටත්විජිත විරෝධී ජාතික වීරයෙක් ලෙස දරුවන්ට උගන්වද්දී ඒ යටත්විජිත විරෝධයේ සීමාව කුමක්දැයි සාකච්ඡා කෙරෙන්නේ නැත. එහි ප්‍රතිඵලය නම් ධර්මපාල නම් ‘යුග පුරුෂයා’ ගැන අවිවේචනාත්මක ප්‍රතිරූපයක් නිර්මානය වී තිබීමයි. කොහොමත් ලංකාව වැනි පසුගාමී සමාජ වල ‘යුග පුරුෂයන්’ ගැන තිබෙන්නේ අන්ධ ආගමික ස්වභාවයේ සාකච්ඡාවකි. ඒවාවලදී ඔවුන්ගේ ශක්‍යතා උත්කර්ෂයට නංවන අතර සීමාවන් ඔවුන් ජීවත් වී සිටි කාලයේ සන්දර්භය තුල බහා වටහා ගැනීමට උත්සාහ කරන්නේ නැත. මෙම දුර්ගුනය අඩු වැඩි වශයෙන් ‘වමේ ව්‍යාපාරයේ වීරයින්’ ගැන කථා කරද්දිත් දැකගැනීමට පුලුවන.


ධර්මපාල ගැන එවැනි පුලුල් සාකච්ඡාවක් සමාජගත නොවීමේ ප්‍රතිඵලය නම් අසහාය ජාතික වීරයා ගැන ප්‍රතිරූපය දිගින් දිගටම ජනමනස තුල නඩත්තු වීමයි. එම ඒකමානීය ප්‍රතිරූපය ඥානසාරලාගේ සිට වීරවංශලා දක්වා සියලු ආකාර වල තක්කඩීන්ට කදිම ඉල්ලමක් වී තිබේ. 

Friday, August 22, 2014

ගෝඨාභය හැරෙන්නේ කවර පොල් පැලය දෙසටද? ( උප මාතෘකාව - විද්‍යුත් හැදුනුම්පත )

මරිකානු එක්සත් ජනපදයේ  Center for Complex Operations නමැති ආයතනය විසින් PRISM යන හිසින් වාර සගරාවක් පල කරනු ලබයි. ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම සගරාවේ හතර වැනි වෙලුමේ සිවුවන කලාපයට ‘ලංකාවේ ජාතික ආරක්ෂාව’ යන නමින් ලිපියක් ලියා ඇත. රාජපක්ෂ රෙජිමයේ මර්ධන තන්ත්‍රයේ නියමුවා වන ගෝඨාභයගේ මේ ලිපිය අනාගත ලංකාව සංවිධානය කිරීමට රෙජිමය සැලැසුම් කොට තිබෙන ආකාරය ගැන වැදගත් සංඥාවක් නිකුත් කරයි.

ගෝඨාභයට අනුව එල්ටීටීඊ සංවිධානය සමූලඝාතනය කලත් ලංකාවේ ජාතික ආරක්ෂාව සදහා තිබෙන තර්ජනයන් අවසන් වී නැත. මේ ‘නව’ තර්ජනයන් ලෙස ඔහු හදුනාගන්නේ මොනවාද? එල්ටීටීඊය නැවත නැගිටීමට තිබෙන සම්භාවිතාවය, වෙනත් අන්තවාදී සංවිධාන වල පැනනැගීම්, ජාතිවාදී ප්‍රචන්ඩත්වය,සංවිධානාත්මක අපරාධ,  විදේශ අතපෙවීම්, නාවික හා මුහුදු සීමාවන්ට සිදුවිය හැකි බලපෑම් සහ ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි මගින් ඇති කල හැකි ‘තර්ජනයන්’ මෙකී නව අභියෝග ලෙස හෙතෙම හදුනාගනී. ‘වෙනත් අන්තවාදී සංවිධාන’ යටතට ඔහු ඇතුලත් කරන සංවිධාන වර්ග දෙකකි. එකක් ගෝලීය ඉස්ලාමීය සටන්කාමී සංවිධාන සමග ගනුදෙනු කරන ස්වදේශික ඉස්ලාමීය සංවිධාන වල පැනනැගීමයි. දෙවැන්න ඔහුට අනුව ‘ පැරනි කැරලි වලට සම්බන්ධකම් තිබෙන’ අන්තවාදී වාමාංශික කන්ඩායම් වල වර්ධනයයි. මෙම රැඩිකල් වාමාංශික කොටස් විශ්ව විද්‍යාල සිසුන් කුපිත කරමින් දැනටමත් විරෝධතා මෙහෙයවන බවත්, ඔවුන් එල්ටීටීඊයේ ශේෂ වූ කොටස් සමග සබදතා පවත්වන බවත් ලියන ගෝඨාභය නුදුරේදීම එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව කියා සිටී. විශ්ව විද්‍යාල සිසුන් විරෝධතා සදහා මෙහෙයවන රැඩිකල් වාමාංශයක් ගැන ලියද්දී ඔහු කල්පනා කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගැන බවට සැකයක් තිබිය නොහැක.

‘ජාතික ආරක්ෂාවට’ එල්ල වනවා යැයි කියන මේ නව අභියෝග සම්බන්ධයෙන් මේ  දක්ෂිනාංශික නිලධාරියා ඉදිරිපත් කරන විසදුම කුමක්ද? ඊට ඇති විසදුම බුද්ධි අංශ ( රජයේ චරපුරුෂ ජාලාව) තව තවත් ව්‍යාප්ත කිරීම බව ඔහු ලියයි. ඉදිරියේදී හදුන්වා දීමට නියමිත ඊනියා විද්‍යුත් හැදුනුම්පත මේ ක්‍රියාමාර්ගයේ අංගයක් බව ඔහු කියා සිටී. මේ විද්‍යුත් හැදුනුම්පත පුද්ගලයින්ගේ ජීව දත්තමය තොරතුරු පවා ලියාපදිංචි කරනු ලබන අතර ඒ ඒ පුරවැසියන් ගැන අංග සම්පූර්න දත්ත ගබඩාවක් නඩත්තු කිරීමට ඒ හරහා රජයට අවකාශය හිමිවේ.

මකුලුවා වියමින් සිටින දැල පැහැදිලිය. ලංකාව ‘ජාතික ආරක්ෂක රාජ්‍යයක්’ ( National Security State) ලෙස සිය හැඩය සම්පූර්න කරගනිමින් සිටී. ඇමරිකානු ජනාධිපති හැරී ටෲමන් 1947 දී සම්මත කරගත් ජාතික ආරක්ෂක පනතින් ඉක්බිති ඉදි වූ නව රාජ්‍ය ප්‍රතිපදාව ‘ජාතික ආරක්ෂක රාජ්‍යය’ ලෙස හැදින්වෙන අතර සීඅයිඒ සංවිධානය ඇතුලු ආරක්ෂක බල ධූරාවලිය මේ ප්‍රතිපදාව තුල කේන්ද්‍රීය භූමිකාවක් ඉසිලීය. අභ්‍යන්තර හා බාහිර සතුරන්ගෙන් ඇමරිකානු ජනතාව ‘ආරක්ෂා කරගැනීමට’ යැයි කියා මේ ආරක්ෂක බල ධූරාවලිය වෙත අතිමහත් බලතල පවරන ලදී. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදයේ මේ ප්‍රවනතාවය වඩා තීව්‍ර විය. මහජනයාගේ ඉතාම සියුම් දෛනික කටයුතු පවා රාජ්‍යයට නිරීක්ෂනය කිරීමට හැකි වන ආකාරයේ බහුජන අවේක්ෂන (Mass surveillance) පද්ධතියක් එක්සත් ජනපද රජය විසින් පවත්වා ගෙන යන බවට මෑතකදී එඩ්වර්ඩ් ස්නෝව්ඩන් කල හෙලිදරවුව එම ප්‍රවනතාව කෙතරම් තීව්‍ර වී තිබේද යන්න විදහා දක්වයි. ජෝර්ජ් ඕවල් බිග් බ්‍රදර් සෑම දෙයක් දිහාම බලාගෙන ඉන්නා කල්පිත ඕෂීනියා රාජ්‍යය ගැන 1984 නවකථාව ලීවේ ස්ටාලින්වාදය යටතේ රුසියාවේ ගොඩනැගී තිබූ පොලිස්කාර රාජ්‍යය විවේචනය කරනු සදහාය. සීතල යුද්ධ සමයේ ලිබරල් මතධාරීන් රුසියාවට එරෙහිව බහුල ලෙස එම කෘතිය ලෙලවූහ. උත්ප්‍රාසාත්මකව ඕවල්ගේ විවේචනය අද කවරදාටත් වඩා ගැලපෙන්නේ ලිබරල්වාදී ඇමරිකාවටය!

රාජපක්ෂ රෙජිමය ජාතික ආරක්ෂාවට විවිධ තර්ජන තිබෙනවා යැයි කියමින් අධිකතර ලෙස මිලිටරිකරනය වූත් මිනිසුන්ගේ ජීවිත දෙස ඇස ගසාගෙන සිටීමේ බලතල තමා වෙත පවරා ගත්තා වූත් රාජ්‍ය ව්‍යුහයක් ගොඩනගන්නට උත්සාහ කරන්නේ ඇමරිකාව අනුගමනය කරමිනි. රෙජිමයේ කල්පනාව මොන තරම් වියරු එකක්ද යන්න පෙනී යන්නේ සමාජ ජාල වෙබ් අඩවි පවා ‘ජාතික ආරක්ෂාවට’ තර්ජනයක් ලෙස එය පුරෝකථනය කිරීම තුලයි. මේ දෘෂ්ටිය අනුව සමාජයේ පුරවැසියන් යනු චෙස් පෙතක් මත ඉන්නා ඉත්තන්ය. ඔවුන් සිටිය යුත්තේ මොන කොටුවේද යන්න තීරනය කරන්නේ රාජ්‍යය විසින්ය. ඔවුන් කරන්නේ මොනවාද කියා ඔවුන්ට පිටුපසින් සිට රාජ්‍යය තර්ජනාත්මකව බලා සිටී. නාමිකව ඔවුන් ‘නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී’ සමාජයක පුරවැසියන්ය. හැබැයි ඒ නිදහස භුක්ති විදීමට හැක්කේ රාජ්‍යය විසින් ඇද දී තිබෙන කොටුවේ සීමාව තුල සිටය.

ආශ්චර්යයට ප්‍රශස්ති ගයමින් නවීකෘත කොලඹ නගරයේ දිලිසෙන පදික වේදිකා මත ජොගින් යන ගොබ්බ මධ්‍යම පාංතිකයෝ වටහා නොගන්නේ අප සමාජයක් ලෙස ගමන් කරමින් සිටින මේ භයානක දිශානතියයි. ඊනියා සංවර්ධනය සහ 'ජාතික ආරක්ෂාව' සදහා අපගේ නිදහස, අපගේ ආත්මය ද්විතීක කරන ලෙස, අත් හරින ලෙස රාජ්‍යය අපට අනවමින් සිටී. මහජනයාගේ මූලික ප්‍රජාතාන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන මේ ගැඹුරු ප්‍රහාරයට මුලු වැර යොදා එරෙහි විය යුතුය. ඉදිරිපත් කිරීමට නියමිත ඊනියා විද්‍යුත් හැදුනුම්පත් ගැන නීතිය මේ විරෝධය උරගා බැලිය යුතු තීරනාත්මක අවස්ථාවක් වන්නේ එනයිනි.


Tuesday, August 19, 2014

පාන් නැතිනම් කාපල්ලා බිත්තර ආප්ප


නිදහස් චතුරස්‍ර ආකේඩයේ පැවැති විලාසිතා සංදර්ශනයක් 
ලාංකීය සම්භවයක් සහිත ඉන්දියානු නිලි ජැකොලයින් ෆර්ඩිනැන්ඩස් විසින් කෑම සූත්‍ර නමින් ආරම්භ කොට ඇති ආපන ශාලාව පසුගිය දවස් වල ජනමාධ්‍යයන්ගේ සැලකිය යුතු අවධානයකට ලක්විය.  ඕපාදූප වෙබ් අඩවි විසින් වාර්තා කර තිබූ එක් ජනප‍්‍රිය පුවතක් වූයේ එම අවන් හලේ බිත්තර ආප්පයක් රුපියල් 200 ක් වන බවත්, ආප්පයක් රුපියල් 100 ක් වන බවත්ය. කොළඹ නිදහස් චතුරස‍්‍රය අසබඩ නව සුපිරි වෙලද සංකීර්නයක් මහත් ප‍්‍රචාරයක් ලබා දී පසුගිය ජූලි මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විවෘත කරන ලද්දේය. එම සංකීර්නයේ බොහෝ සාප්පු සමන්විත වන්නේ මෙවැනි අධි මිල වෙලද භාන්ඩ වලින්ය. ජැකොලයින් ෆර්ඩිනැන්ඩස්ගේ අවන්හල පිලිබද අලංකාරිකය පසුගිය කාල සීමාව තුළ මෙරට සීඝ‍්‍ර වර්ධනයක් ලබමින් සිටින එක් වැදගත් ආර්ථික-සමාජ උද්ගතයක් පිළිබද ප‍්‍රකාශනයකි. එම උද්ගතය හැදින්වීමේ පහසුව පිනිස ‘සුඛෝපභෝගී වෙළද-සේවා කර්මාන්තය’ ලෙස නම් කරමු.

ගාලූ මුවදොර අසල පැරණි  ඕලන්ද රෝහල ද මෙබදු සුපිරි වෙලද සාප්පු සංකීර්නයකට උදාහරණයකි. ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර් සංගක්කාර - මහේල ජයවර්ධන යුවල ‘මිනිස්ට‍්‍රි ඔෆ් ක‍්‍රෑබ්ස්’ නමින් එහි සුපිරි අවන්හලක් කලෙකට පෙර ඇරඹූහ. මේ ආපනශාලා ස්ථානගත වන්නේ පොදු ජනයාගෙන් ඉතාමත් දුරස්ථ අවකාශයකය. ඒ දුරස්ථභාවය නිර්මානය කරන්නේ මිල දී ගැනීමේ හැකියාව විසිනි. කොලඹ නගරය තුළ සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘති මේ වනවිට ඉදිවෙමින් තිබේ. මේවා ඉදි කෙරෙන්නේත් සමාජයේ ඉහල ක‍්‍රය ශක්තියක් තිබෙන ධනවත් සමාජ ස්ථර ඉලක්ක කරගෙනය. ‘කෑම සූත‍්‍ර’ හෝ වේවා ’මිනිස්ට‍්‍රි ඔෆ් ක‍්‍රෑබ්ස්’ හෝ වේවා - මේ සේවා හා වෙලද භාන්ඩ වල සුඛෝපභෝගීත්වය ඒවායේ මිල විසින් නිර්නය කොට ඇත. නිදහස් චතුරස‍්‍රයේ අලුත විවෘත කල සාප්පු සංකීර්නය ගතහොත්, එහි ඇති සාප්පු තුලට ගොස් බඩු මිලදී ගනු දැකිය හැක්කේ අතලොස්සක් දෙනෙකි. එය නැරඹීමට එන බොහෝ සාමාන්‍ය මිනිසුන් කරන්නේ එම ගොඩනැගිල්ලේ සුන්දරත්වය බලමින් ඔබ මොබ ගමන් කිරීමය. අධික මිල නමැති ප්‍රාකාරය සාමාන්‍ය ජනයා සහ මෙම සුඛෝපභෝගී වෙලද නාම වෙන් කරමින් නැගී සිටී.

සුරූපී නිලි ෆර්ඩිනැන්ඩස් 
මෙලෙස සුඛෝපභෝගී වෙලද-සේවා කර්මාන්තයක් වේගයෙන් වර්ධනය වන්නේ කෙසේද? යමෙක් රුපියල් 200 ක් ගෙවා බිත්තර ආප්පයක් මිල දී ගන්නේ හුදෙක් කුසගිනි නිවා ගැනීම සදහාම නොවේ. එවැනි ක‍්‍රියාවක් තුළ යම් සංකේතීය බලයක් තිබේ. එනම් සමාජ තත්වය හා උසස්කම පිළිබද හැගවුමක් එවැනි ක‍්‍රියාවක් තුළ පවතී. එවැනි ‘සමාජ තත්වයක් ’ ප‍්‍රදර්ශනය කළ හැක්කේ සමාජයේ සුලු තීරුවකටය. සුඛෝපභෝගී කර්මාන්තයේ ආයෝජනය කරන ව්‍යාපාරිකයින් ආමන්ත‍්‍රණය කරන්නේ සමාජයේ මෙම සුලු තීරුවටය.

මේ ආමන්ත‍්‍රනය සදහා බලපා තිබෙන එක් සාධකයක් වන්නේ සමාජයේ මෙම ධනවත් කොටස් අත ඒකරාශි වී තිබෙන අති මහත් ධනයයි. ඒ අතිමහත් ධනය නිසා මෙම ඉහල පාංතික කොටස් වල ක‍්‍රය ශක්තිය සාපේක්ෂව ඉහළය. ජාතික ආදායමේ සියයට 56 ට ආසන්න පංගුවක් මෙරට ජනගහනයේ සියයට 20 ක් විසින් භුක්ති විදිනා බව ප‍්‍රසිද්ධ සංඛ්‍යා ලේඛනමය දත්තයකි. සමාජ ධනය තමා අත සංකේන්ද්‍රනය කරගන්නා මෙම ඉහල පාංතික කොටස් වැඩි වැඩියෙන් වියදම් කරන්නට පෙලඹවීම තුළින් සුඛෝපභෝගී වෙලද-සේවා කර්මාන්තයේ ආයෝජනය කරන ප‍්‍රාග්ධන හිමියන්ට වැඩි වැඩියෙන් ලාභ උපයා ගත හැක. සමාජයේ සුලූ පිරිසක් අත අති මහත් ධනයක් ඒකරාශී වී තිබීමත්, සමාජ තත්වය ප‍්‍රදර්ශනය කිරීමෙහිලා එම පිරිස් සතුව ඇති පෙලඹීමත්, එම පෙළඹීමට ආමන්ත‍්‍රනය කොට ලාභ ඉපැයීම සදහා ව්‍යාපාරිකයින් තුල තිබෙන යොමුවත් යන බහුවිධ සාධක වල එකතුවක් ලෙසය සුඛෝපභෝගී වෙලද-සේවා කර්මාන්තයේ කැපී පෙනෙන වර්ධනයක් ඇති වී තිබෙන්නේ.

ධනවාදයේ සංවර්ධන තර්කය ‘පහලට කාන්දු වීමේ න්‍යාය’ යන්නෙන් විස්තර කෙරේ. ඒ අනුව ධනවත් ස්ථර වලට ආයෝජනය කරන්නටත්, වියදම් කරන්නටත් උපරිම නිදහස දිය යුතුය. එවිට උපදින ධනයෙන් පහළට කාන්දු වන දේ සමාජයේ පහල පාංතිකයන්ට භුක්ති විදිය හැක. ලංකාව තුල මේ වනවිට අත්හදා බලමින් තිබෙන්නේ මේ පහලට කාන්දු වීමේ න්‍යාය නොහොත් ධනවතුන්  කා බී ගිලිහෙන රොඩු බොඩු භුක්ති විද සතුටු වෙයල්ලා න්‍යායයි. උදාහරනයක් ලෙස නිදහස් චතුරස‍්‍රයේ ආකේඩය පිරිසිදු කිරීමට එන ක්ලීනින් සර්විස් ආයතනයක කම්කරු ස්ත‍්‍රියක් සලකමු. එසේත් නැතිනම් එවැනි ස්ථාන ‘සොරුන්ගෙන්‘ මුරකරන මුරකරුවෙක් සලකමු. මේ ශ‍්‍රමිකයින්ට තමාගේත් ශ්‍රම සම්බන්ධයක් තිබෙන මෙවැනි වෙලද සංකීර්න වල තිබෙන දේ් මිලදී ගන්නවා තබා සිතන්නටවත් පුලූවන් කමක් නැත. මෙම ව්‍යවසායන් අයත් අධි ලාභ උපයන ව්‍යපාරිකයින් ගෙවන සොච්චම් වැටුපකින් ඔවුන් ජීවත් විය යුතුය. එනම් ඔවුන්ට උරුම කා බී ඉතුරු වුන පසු වැටෙන රොඞ්ඩය.

ලංකාවේ මිනිස් ධූවිලි
සමාජයේ එක් කෙලවරක සුඛෝපභෝගී ආකේඩ ඉදිවෙද්දී සමාජයේ අනිත් කෙලවර තුල ගොඩ ගැසෙන්නේ මොනවාද? දෛනික ජීවිතය පවත්වා ගැනීම සදහා නොකඩවා කෙරෙන වැඩ කිරීම, මහන්සිය, විඩාව, අතෘප්තිය, පීඩාව සහ දුක් ගැනවිලිය. ගම්බද පාසල් වැසී යයි. ඒවාට ගුරුවරුන් නැත. රෝහල් වල බෙහෙත් නැත. රෝගීහු පෝලිම් වල ලගිමින් නිරා දුක් විදිති.නියගයෙන් පීඩා විදින ගැමි ජනයා දේශපාලකයින් ජල බවුසර් ගැන දෙන පොරොන්දු ගැන විශ්වාසය තබා විස්සෝප වී සිටිති. සමාජ ධනය වෙන් කෙරෙන්නේ කවර පරමාර්ථයක් සදහාද? සමාජයේ සිදුවෙනවා යැයි කියන සංවර්ධනය කා සදහා වූ සංවර්ධනයක්ද?

‘ප‍්‍රංශ විප්ලවයේ හේතුව දැන ගැනීමට නම් වර්සේල්ස් මාලිගාව දැකගැනීම ප‍්‍රමානවත්’ යනුවෙන් ප‍්‍රසිද්ධ කියමනක් තිබේ. දේශපාලනිකව සිදුරු සහිත වුවද සාහිත්‍යමය වශයෙන් රසවත් මේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ විප්ලවාසන්න ප්‍රංශයේ පැවැති ගැඹුරු සමාජ පරතරයයි. ප්‍රංශයේ ලුවී රජු හා රැජින අති සුඛෝපභෝගීත්වයක් සහිත වර්සේල්ස් මාලිගාවේ ජීවත් වූයේ සමාජයේ පොදු ජනයා පීඩිත ජීවිතයක් ගත කරන අතරේදීය. වංශාධිපතීහුද එවැනි සුඛෝපභෝගීත්වයක් භුක්ති වින්දාහ. ප‍්‍රංශ සමාජය කුපිත කළ එක් හේතුවක් වූයේ මේ අසමානතාවයයි. ජනතාව පාන් ඉල්ලන විට ප්‍රංශ රජ බිසව මොවුන් කේක් නොඉල්ලන්නේ මන්දැයි ඇසූ බවට කථාවක් ඇත. පවතින සමාජ ආර්ථික මොඩලය විසින් ලංකාවේ පීඩිත ජන කොටස් වලට කේක් වෙනුවට රුපියල් දෙසීයේ බිත්තර ආප්ප සහිත අලංකාර ආකේඩ විවෘත කර දී ඇත.

සමාජයේ සුලු පිරිසක් අත අධි සුඛෝපභෝගීත්වය ගොඩ ගසමින් වර්තමාන ධනවාදය සංවර්ධනය වෙන්නේ 19 වන ශතවර්ෂයේ යුරෝපීය සමාජ සිහිගන්වන සුලු දවැන්ත ඇති නැති පරතරයක් ප‍්‍රතිනිෂ්පාදනය කරමිනි. ජැකොලයින් ෆර්ඩිනැන්ඩස්ගේ ආප්ප කඩය සහ කොලඹ නගරය තුළ හිස ඔසවන සුඛෝපභෝගී කර්මාන්තය සැබැවින්ම එම අමානුෂික ඇති නැති පරතරය හකුලුවා දක්වන අශ්ලීල ප‍්‍රකාශනයෝ වෙති. එම අවලස්සන ෆර්ඩිනැන්ඩස්ගේ සුරූපී සිනහවෙන් වසා දැමිය නොහැක්කකි.




Saturday, August 9, 2014

විමුක්ති දේශපාලනයට ෂෝට් කට් නැත




යුද්ධය උග්‍ර ලෙස ඇවිලෙමින් තිබූ කාලයයි. ජනතා විමුක්ති පෙරමුන යුද්ධය තුල ස්ථානගත වී සිටියේ යුද්ධයට අනුග්‍රහය දක්වන පක්ෂයක් ලෙසය. දේශහිතෛශී ජාතික ව්‍යාපාරය සහ මානෙල් මල් ව්‍යාපාරය ගොඩ නගා දකුනේ සමාජය තුල එල්ටීටීඊ විරෝධී යුද්ධය සුජාතකරනය සදහා ජවිපෙ සක්‍රීය ලෙස දායක වෙමින් සිටියේය. එම කාලයේදීම ජවිපෙට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය ජාතික ගැටලුව පිලිබද ලෙනින්ගේ කෘතියක් ප්‍රකාශයට පත් කලේය. එම කෘතියට පිලිතුරු ලෙස එවකට එක්ස් කන්ඩායම‍වෙනුවෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ‘ජවිපෙ, ජාතික ගැටලුව සහ මාක්ස්වාදය’ යන හිසින් දීප්තිමත් පොත් පිංචක් රචනා කලේය. ඔහු එහිදී ප්‍රශ්න කලේ සමාජවාදී ශිෂ්‍ය සංගමය සිය ප්‍රකාශන තුල යොදා ගන්නා ‘මාක්ස්වාදී භාෂාවත්’ එම සංවිධානයේ මවු පක්ෂය වන ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලන තලයේදී යොදා ගන්නා ජාතිවාදී භාවිතාවත් අතර පරස්පරයයි.
වසර 2014 එලැඹී ඇත. එලැඹෙන ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව පෙරලා දැමීම සදහා ‘පොදු අපේක්ෂකයෙක්’ ලෙස මාදුලුවාවේ සෝභිත හිමි ඉදිරිපත් කල යුතු බවට සංවාදයක් මේ වනවිට ගොඩනැගී තිබේ. මෙම සංවාදයේ මුඛ්‍ය ප්‍රකාශකයෙක් වන්නේ ආචාර්ය දේවසිරිය. දකුනේ දේශපාලනය තුල හෙජමොනික ප්‍රවර්ගයන් වන සිංහල ජාතිකවාදයේත් නව ලිබරල්වාදයේත් පරාමිතීන්ගෙන් මිදුනු විකල්ප දේශපාලනයක් සදහා සෝභිත හිමිගේ අපේක්ෂකත්වයෙන් අවකාශ විවර වෙනු ඇති බවට නිර්මාල් සිය මුහුනු පොත් සටහනකදී සදහන් කොට තිබුනි. මීට සමාන ආකාරයකින් ප්‍රකට වාමාංශික බුද්ධිමතෙක් වන ආචාර්ය කුමාර් ඩේවිඩ් කාලාන්තරයක් තිස්සේ සෝභිත හිමිගේ අපේක්ෂකත්වයට පක්ෂව කරුනු දක්වමින් සිටී.

දකුන තුල එල්ටීටීඊ වි‍රෝධී ආස්ථානයක් ගෙන සිංහල ජාතිකවාදය සමග සන්ධානගත වීමෙන් ජවිපෙ එවකට අපේක්ෂා කලේ කුමක්ද? ජවිපෙ පැත්තෙන් ගත් විට එය බලය සදහා ෂෝට් කට් එකක් විය. රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා කුමාරතුංග යන ප්‍රධාන පක්ෂ වල නායකයින් දෙපලම එල්ටීටීඊය සමග සාකච්ඡා පැවැත්වීම සිය ප්‍රවේශය කරගෙන තිබූ තතු යටතේ සිංහල ජාතිකවාදය 2002-1004 යුගයේ හිස නැති කවන්ධයක් බවට පත්වී තිබුනි. ජවිපෙ ආමන්ත්‍රනය කලේ එම රික්තකයටයි. ජවිපෙ අභ්‍යන්තර කතිකාව අනුව යුද්ධයට පක්ෂය සහය දුන්නේ සමාජවාදයට ඇති බාධාවක් වන එල්ටීටීඊය ඉවත් කර දැමීමටය. ජවිපෙ සාමාජිකත්වයට ඒ අනුව සභාග දේශපාලනයත් සිංහල වර්ගවාදය සමග සන්ධානගත විමත් ‘උතුම් අරමුනක්’ වෙනුවෙන් ගනු ලැබූ උපක්‍රමික ක්‍රියාමාර්ගයක් විය.

රාජපක්ෂ රෙජිමයේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වය ඉදිරියේ අද වන විට බොහෝ වාමාංශිකයන් කරමින් සිටින්නේද එක්තරා ආකාරයකින් දේශපාලන ෂෝට් කට් සෙවීමකි. රාජපක්ෂ ආන්ඩුව අධිකාරිවාදී තන්ත්‍රයක් බවට පත්වී තිබෙන අතර ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට එල්ල වන ප්‍රහාර දිනෙන් දින උත්සන්න වෙමින් ඇත. මෙම නපුරේ ‘හේතුව’ ලෙස දැන් ජනප්‍රිය ලෙස උපුටා දැක්වෙන්නේ විධායක ජනාධිපතිධූරයයි. මාදුලුවාවේ සෝභිත හිමිගේ සාධාරන සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ කේන්ද්‍රීය තේමාව වන්නේත් විධායක ජනාධිපතිධූරය ‍අහෝසි කිරීමය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ගැන අවංක හැගීමකින් යුක්ත මධ්‍යම පංතික වෘත්තිකයන් හා බුද්ධිමතුන් කවයක් මෙම ව්‍යාපාරයට සහයෝගය දෙමින් සිටී.

මෙම ලිබරල් බුද්ධිමතුන්ගේ ප්‍රශ්නය නම් සමාජයේ පවතින මහා ගරාවැටීම ගැන ප්‍රශ්නය සමාජ ක්‍රමය පිලිබද ප්‍රශ්නයක් ලෙස නොව හුදෙක් ආන්ඩු ක්‍රමය පිලිබද ප්‍රශ්නයක් ලෙස ගැනිමය. අධිකාරිවාදී පාලන රටාව වූ කලී ’77 න් පසු මෙරට තුල බලාත්මක වන නව ලිබරල් ධනවාදී සංවර්ධන මොඩලය සමග වෙන් කල නොහැකි ලෙස ගැටගැසී තිබෙන්නකි. සමාජය තීව්‍ර ලෙස වෙලදපොලකරනය කරමින්, සමාජ අසමානතාවය තීව්‍ර කරමින් ක්‍රියාත්මක වන මෙම සංවර්ධන මොඩලය තුල අසහනයට පත් වන ජන කොටස් වලට එරෙහිව මර්දනය යොදාගැනීමට සිදුවීම අනිවාර්යයකි. උදාහරනයක් ලෙස ප්‍රාග්ධනයට ඉඩදීම සදහා වනාතමුල්ලේ පැල්පත් නිවාස ශුද්ධ කල යුතුය. එහිදී එම ජනයා පලවා හැරීම සදහා බලහත්කාරය යොදාගැනීමට සිදුවේ. විධායක ජනාධිපති වෙනුවට කැබිනෙට්ටුව විධායක බලතල හෙබවූවා කියා එම බලහත්කාරයේ වෙනසක් සිදුවන්නේ නැත. සමාගම් වල ආයෝජන වලට ඉඩ දෙනු වස් මධ්‍යම ඉන්දියාවේ ආදිවාසී ගෝත්‍රික ජනයා බලහත්කාරයෙන් පලවා හරිමින් සිටින්නේ පාර්ලිමේන්තු ආන්ඩු ක්‍රමයක් අනුගමනය කරන ඉන්දීය රාජ්‍යයයි.

එම නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන තන්ත්‍රය පෙරලා දැමිය හැකි ස්ථිර මාර්ගය වන්නේ නව ලිබරල් ධනවාදී සංවර්ධන මොඩලය පිලිබද ප්‍රශ්නය සමග එකට ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නය ගැනීමය. එසේ නොකලහොත් සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නය දඩමීමා කරගෙන එක් පඹයෙක් වෙනුවට වෙනත් පඹයෙක් බලය ඩැහැ ගැනීමය. සෝභිත හිමි යම් හෙයකින් ‘පොදු අපේක්ෂකයා’ වේ නම් එහි වාසිය සෘජුව හිමි වන්නේ එවැනි පොදු ව්‍යාපාරයක ප්‍රධාන සංරචකය ලෙස ක්‍රියා කරන ප්‍රධාන විපක්ෂ බලවේගය වන එක්සත් ජාතික පක්ෂයටය.

වාමාංශය ඉදිරියේ තිබෙන අභියෝගය වූ කලී නව ලිබරල් ධනවාදයටත් ඒ සමග ගැටගැසී තිබෙන අධිකාරිවාදී රාජ්‍යයටත් එරෙහිව පීඩිත ජනයා සංවිධානය කිරීමය. ද්විපක්ෂ ක්‍රමයකට හුරු වී සිටින සමාජයක් තුල එවැනි විකල්ප දේශපාලන දහරාවක් ගොඩනැගීම පහසු කටයුත්තක් නොවේ. එවැනි මහන්සියක් නොදරා සමාජයේ යම් ස්ථාපිත බල ව්‍යුහයක් සමග සම්මුතියකට යාම පහසුය. එහෙත් 2004-2009 ජවිපෙ අත්දැකීම මනාව පෙන්නුම් කරන්නේ එවැනි සම්මුති තුලින් අවසානයේ අපේක්ෂිත අරමුනට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයක් උද්ගත වන ආකාරයයි. විමුක්ති දේශපාලනයට ෂෝට් කට් නැත. මේ වූ කලී සියලු වාමාංශිකයෝ තරයේ සිහි තබාගත යුතු දේශපාලන පාඩමකි. 

Friday, June 27, 2014

රාජපක්ෂගේ තෙරුවන් සරන සහ ඥානසාරගේ අබ සරන

නාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය දිනෙක හම්බන්තොට වරායේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් ‘‘සමහරු දැන් සුලු සිද්ධියකටත් මහ ලොකු හර්තාල් කරනවා‘‘ යැයි උදහස් හඩින් පැවැසීය. අලුත්ගමදී මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන සිදුවූ ජාතිවාදී පහර දීම් වලට ප‍්‍රතිචාරාත්මකව මුස්ලිම් කඩ සාප්පු වසා දමන හර්තාල් ව්‍යාපාර රට තුල ක‍්‍රියාත්මක විය. මෙම හර්තාල් ව්‍යාපාර මෙහෙයවීමේ චෝදනාව මත ‘මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානය’ නමැති සංවිධානයේ සාමාජිකයන් සිවුදෙනෙක් පොලිසිය විසින් පසුගිය දිනෙක අත්අඩංගුවට ගනු ලැබූ අතර හර්තාල් ව්‍යාපාර ගැන ප‍්‍රශ්න කිරීම සදහා ජූනි 25 දා බස්නාහිර පළාත් එජාප මන්ත‍්‍රී මුජිබර් රහුමාන් හතර වෙනි තට්ටුවට කැදවන ලදී. ඇමති රවුෆ් හකීම් මුස්ලිම් ජනයාට එරෙහිව රට තුළ සිදුවන වෙනස්කොට සැලැකීම් ගැන විදේශ රටවල් දැනුවත් කිරීම සිංහල ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ ‘රට පාවා දීමක්’ ලෙසය.

‘සමහරු සුලු සිද්ධියකටත් මහ ලොකු හර්තාල් කරනවා’ කියා ජනාධිපති කියද්දී ඔහු ‘සුලු සිද්ධියක්’ ලෙස මෙතැනදී හදුන්වා දී තිබෙන්නේ කුමක්ද? මුස්ලිම් ජාතිකයින් කිහිප දෙනෙක්ගේ ජීවිතද ඇතුලු කෝටි ගනනක් වටිනා දේපල විනාශ කරනු ලැබූ අලුත්ගම ජාතිවාදී කෝලාහලයයි මොහුට ‘සුලු සිද්ධියක්’ ලෙස පෙනෙන්නේ. මෙම ජාතිවාදී කලබලය පුපුරා ගියේ බොදු බල සේනා නමැති සිංහල නාසිවාදී සංවිධානයේ වර්ගවාදී මැදිහත්වීම හේතුකොට ගෙනය. වර්ගවාදයෙන් කුප්පනු ලැබූ සිංහල පිරිස් මුස්ලිම් නිවාස කොල්ලකද්දී, මිනිසුන් ඝාතනය කරද්දී මුස්ලිම් පිරිස් වෙතින්ද ප‍්‍රතිප‍්‍රහාර එල්ල වූයේය. සිංහල මැර කන්ඩායම් වලට පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සක‍්‍රීය හා නිෂ්ක‍්‍රීය සහයෝගය ලැබුනු බවට තොරතුරු මේ වනවිට හෙලිදරවු වෙමින් පවතී. සිංහල මැර පිරිස් මුස්ලිම්වරුන්ට පහර දෙද්දී පොලිසිය පසෙකට වී බලා සිට ඇත. මෙය එක්තරා ආකාරයකට ‘83 කලු ජූලියේ ඇති වූ සංසිද්ධීන් වෙනත් ආකාරයකින් පුනරුච්චාරනය වීමකි.

හර්තාල් පැන නගින්නේ මෙම ජාතිවාදී පහරදීම් වලට ප‍්‍රතිචාරීවය. හර්තාල් කල අයට විරුද්ධව දැන් රාජ්‍යය නීතිය බලාත්මක කරමින් සිටී. එහෙත් වර්ගවාදී කෝලාහලයක් පුපුරා යන ලෙස ක‍්‍රියා කල එකදු හෝ සිංහල වර්ගවාදී සංවිධානයක් / නායකයෙක් කිසිදු ආකාරයකට නීතිය ඉදිරියට පමුනුවා නැත. අලුත්ගම සිද්ධියට අත්‍යාසන්නව එම නගරයේ පැවැත්වූ බොදු බල සේනා රැස්වීමේදී ගලගොඩඅත්තේ ඥානසාර කල කථාව පැහැදිලිවම ‘මහජන සාමය’ කඩ කිරීමට තුඩු දෙන්නා වූ කථාවකි. ‘වැඩිය නටන්න ආවොත් මුස්ලිම් කඩ සාප්පු වලට අබ සරනයි‘ කියා එහිදී ඔහු උද්වේගකර පේ‍්‍රක්ෂකාගාරයකට ප‍්‍රසිද්ධියේ පවසයි. මේ කිසිදු ක‍්‍රියාවක් රජයේ නීති ඇස ඉදිරියේ ‘වරදක්‘ ලෙස සටහන් වී නැත.

අලුත්ගම සිදුවීම සහ ඊට පසුව දිගහැරුනු සිද්ධි දාමය ලංකා රාජ්‍යයේ වාර්ගික පක්ෂපාතීත්වය සම්බන්ධ කදිම නිදර්ශනයකි. වාර්ගික සම්බන්ධතා විෂයෙහිලා ගත් විට මෙරට රාජ්‍ය යන්ත‍්‍රනය තුළ සිංහල බෞද්ධ ජනවර්ගය කෙරෙහි නෛසර්ගික පක්ෂපාතීත්වයක් තිබේ. ඒ අනුව ගලගොඩඅත්තේ ඥානසාර තමන්ගේ කුප‍්‍රකට අලුත්ගම දේශනාවේදී කියූ දේ ඇත්තකි. ‘ මතක තබාගන්න තාම මේ රටේ තියෙන්නේ සිංහල පොලිසියක්. සිංහල හමුදාවක්‘ යැයි ඔහු එහිදී කියයි. මුස්ලිම් මිනිසුන් මරා දමද්දී හමුදාව හා පොලිසිය නිෂ්ක‍්‍රීයව බලා සිටින්නේ ඇයි? එම ජාතිවාදී පහරදීම් ජනාධිපතිවරයාට ‘සුලු සිදුවීමක්‘ වන්නේ කෙසේද? සිංහල ජාතිවාදී මැරයින් නීතිය ඉදිරියේ ‘වැරදි’ නොවන්නටත් මුජිබර් රහුමාන් පමනක් හතර වන තට්ටුවට කැදවීමටත් හේතුව කුමක්ද? වර්ගවාදය අවුස්සන ජාතිවාදී රැස්වීම් සංවිධානය කොට එම වේදිකා මත සිට මුස්ලිම් ජාතිකයන්ට පරිභව කිරීම සහ ද්වේශසහගතව බැන වැදීම ‘වරදක්’ නොවන්නේත් හර්තාල් සංවිධානය කිරීම ‘වරදක්’’ වන්නේත් ඇයි? මේවා වූ කලී ලංකාවේ රාජ්‍ය ව්‍යුහය තුළ නිධන්ගත වාර්ගික පක්ෂග‍්‍රාහීත්වය සම්බන්ධ නොබිදිය හැකි සාක්ෂි වන්නේය.

ජාතිවාදී කෝලාහලයට පසු ජනාධිපති ගැටුම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුනි. සිංහල දෙමල මුස්ලිම් සියලු දෙනා එක මවකගෙ දරුවන් මෙන් ජීවත් විය යුතු බව පවසන ජනාධිපති සිය නිවේදනය අවසන් කොට තිබුනේ ‘ඔබ සැමට තෙරුවන් සරනයි’ කියාය. බොදුබල සේනා වැනි සිංහල නාසිවාදී කල්ලි පෝෂනය කරන්නේ රාජපක්ෂ රෙජිමය බව ප‍්‍රසිද්ධ රහසකි. සුලු ජාතීන්ට එරෙහිව වෛරය හා ප‍්‍රචන්ඩත්වය වැපිරීමට අදාළ පරිසරය සකස් කරනු ලබන්නේ රාජපක්ෂ රෙජිමය විසින්ය. සුලු ජාතීන්ට එරෙහිව මෘගත්වය වග දිගා කොට, ඒ අරමුන වෙනුවෙන් පිස්සු බල්ලන් මුදා හැර - සිංහල ජනයා සමග එක මවකගෙ දරුවන් ලෙස ජීවත් වන ලෙස සුලු ජාතීන්ට ඇරයුම් කිරීම තරම් තක්කඩිකමක් තවත් වේද? මුස්ලිමුන්ට ‘අබ සරනයි‘ කියන, මුස්ලිම් ලේ ඉල්ලමින් තලු මරන සුනඛයින් වීදි පුරා ලිහා දමා එම පිස්සු බල්ලන් සමාජය විනාශ කරද්දී ජනාධිපතිවරයා ‘ඔබ සැමට තෙරුවන් සරනයි‘ කියා මධ්‍යස්ථ ලීලාවකින් පවසයි. ඥානසාරගේ ‘අබ සරන’ සහ රාජපක්ෂගේ ‘තෙරුවන් සරන’ අතර තිබෙන වෙනස කවරේද?

සුනඛයාගේ පමනක් නොව ගැලවී යා නොහැකි වන ලෙස සුනඛ ස්වාමියාගේ ද බෙල්ලෙන් අල්ලා ගත යුතුය. ඒ සදහා වන ප‍්‍රගතිශීලී දේශපාලන පැනනැගීමක අවශ්‍යතාවය සමාජය විසින් මේ මොහොතේ උදක්ම ඉල්ලා සිටී.

Saturday, June 14, 2014

හයිඩ් පිටියද? ඉන්දීය තානාපති කාර්යාලයද?

ලංකාවේ අනාගත දේශපාලනය සම්බන්ධ ඉදිරි දර්ශන දෙකක් ඉදිරිපත් කරන දේශපාලන පෙලපාලි දෙකක් පසුගිය අගහරුවාදා ( ජූනි 10 ) දින කොළඹ නගරයේ පැවැත්වින. එක් පෙලපාලියක් නෙලූම් පොකුන පරිශ‍්‍රය අසලින් ආරම්භ වී හයිඞ් පිටිය වෙත පැමිනි අතර අනිත් පෙලපාලිය ගාලු පාර දිගේ පැමින ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අසලින් නතර විය. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය , වෘත්තීය සමිති සහ වෙනත් බහුජන සංවිධාන ගනනාවක් සමග එකතු වී සංවිධානය කරන ලද මුල් පෙලපාලිය නම් කොට තිබුනේ ‘නව ලිබරල් ධනවාදයට හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට එරෙහි සිසු ජන පෙලගැස්ම’ නමිනි. ජාතික නිදහස් පෙරමුන ඇතුලු ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරන ලද දෙවන පාගමන පවත්වන ලද්දේ ලංකාව තුල ඊලමක් නිර්මානය කල යුතු බවට තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් කරන ලද ප‍්‍රකාශයකට විරෝධය දැක්වීම සදහාය.

අවිශිබම විසින් පාගමන අවසානයේ රැලියක් හයිඞ් පිටියේ දී පවත්වන ලදී. එම රැලිය ඇමතූ සමාජයේ විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කරමින් පැමින සිටි කථිකයෝ තම තමන්ගේ ක්ෂේත‍්‍ර වල තිබෙන සමාජ ප‍්‍රශ්න ගෙන හැර දැක්වූහ. මහජන අධ්‍යාපනයට කෙරෙන මුදල් කප්පාදු කිරීමේ සිට සෞඛ්‍යය සේවාව පෞද්ගලිකකරනය වීම, කෘෂි යෙදවුම් වෙළදපොලකරනය වීම සහ ඒ හරහා ගොවීන් සූරාකෑමට ලක්වීම, අගනුවරින් පන්නා දැමීමට නියමිත නාගරික දිලින්දන්ගේ ප‍්‍රශ්නය, සමාගම් වල ලාභය වෙනුවෙන් පරිසරය විනාශ වීම ආදී ප‍්‍රශ්න රාශියක් මෙහිදී අවධාරනයට ලක් කෙරින. මේ ප‍්‍රශ්න වල මූලික වග උත්තරකරු ලෙස හදුනාගන්නා ලද්දේ රජය විසින් අනුගමනය කරමින් සිටින නව ලිබරල් සමාජ ආර්ථික ප‍්‍රතිපත්තියයි. මේ සමාජ ආර්ථික මොඩලය බලාත්මක කිරීමට යාමේදී ඊට එරෙහිව මතුවන විරෝධතා මර්දනය කරනු වස් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලන තන්ත‍්‍රයක් අටවා ගැනීමට සිදුවන ආකාරයත් රැලියේදී සාකච්ඡාවට ගන්නා ලදී.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී නතර වූ අනිත් පාගමන ජයලලිතා ජයරාම්ගේ අනුරුවක් ගිනි තබා ඒ වටා ගෝත‍්‍රික නැටුමක් රගදක්වා අවසාන වූයේය. ප‍්‍රශ්නය මෙයයි : ජයරාම් හැර වෙනත් පඹයෝ සිටිත්ද? ලංකාව තුල මෙතෙක් මහජන සේවාවන් ලෙස සැලැකූ දේවල් ඇතුලූ සියලූ දෑ වෙළදපොලකරනය වෙමින් තිබේ. සෑම දෙයකටම මිලක් නියම වෙමින් ඇත. එය සාමාන්‍ය මිනිසාගේ ජීවන බර වැඩි කොට ඇත. මේ ජීවන බර සමග ඔට්ටු වීමට වෙනදාටත් වඩා වැඩියෙන් වැඩ කිරීමට සාමාන්‍ය මිනිසාට බල කෙරී ඇත. එක් රැකියාවක් කරමින් සිටි අය අතුරු රැකියා කරති. අතිකාල සේවා සොයායති. මේ කාර්යබහුල කැඹිරීම තුළ සාමාන්‍ය මිනිසාට අහිමි වන්නේ විවේකය සහ ජීවන තෘප්තියයි. දෛනික ජීවිතය තුල පහල පාංතික ලාංකීය මිනිසා හෙම්බත් වී සිටී. මෙම පීඩාව ජනිත කරන සමාජ ආර්ථික මොඩලය පවත්වාගෙන යන්නේ කවුද? මහා සමාගම්, විශාල ව්‍යාපාරික ධනවතුන්ගේ වාසිය සදහා වූ මෙම සමාජ ආර්ථික මොඩලය පවත්වා ගෙන යන්නේ ශ‍්‍රීලනිපය හා එජාපය ප‍්‍රමුඛ දේශපාලන ප‍්‍රභූ තන්ත‍්‍රය විසිනි. ගිනි තබනවා නම් ගිනි තැබිය යුත්තේ මෙම සමස්ථ බල ව්‍යුහය නියෝජනය කරන පඹයෙකි.

එහෙත් ඒ වෙනුවට ජාතික නිදහස් පෙරමුන අපට කියන්නේ මොනවාද? එය සමාජයේ විරෝධය තමිල්නාඩුවේ දෙමල දේශපාලකයින්ට එරෙහිව සංවිධානය කරයි. මේ සිංහල ජාතිකවාදී කතිකාව අනුව සිංහල මිනිසාගේ සතුරා සිටින්නේ සිංහල සමාජය තුළ නොව සමාජයට පිටතින්ය. එම බාහිර දුෂ්ට සතුරා පරාජය කිරීම අපගේ මූලික කටයුත්ත ලෙස සැලැකිය යුතුය. ඒ සදහා අප සමාජය අභ්‍යන්තරයේ දැවෙන ගැටලූ ද්විතීක කළ යුතුය. ‘බඩට උඩින් රට තබමු‘ යනුවෙන් වර නගන ලද්දේ මේ ප‍්‍රවේශයයි.

මේ බාහිර සතුරා කවදාවත් පරාජය වී අවසන් වන කෙනෙක් නොවේ. සිංහල ජාතිකවාදයේ උත්කෘෂ්ටම ජයග‍්‍රහනය ලෙස සැලකිය හැකි ප‍්‍රභාකරන්ගේ මරනයෙන් පසුව වුව මෙම බාහිර සතුරාගේ පැවැත්ම අහෝසි නොවූ අතර සම්බන්ධන්, විග්නේශ්වරන්,ජයලලිතා, ගෝපි වැනි  ඕනෑම දෙමල නමකින් මේ රික්තකය නිරන්තරයෙන් පුරවනු ලැබේ. මේ අනුව සමාජයේ සාමාන්‍ය මිනිසාගේ විරෝධාකල්පය කවදාවත් පරාජය වී අවසන් නොවන ව්‍යාජ සතුරෙක්ට එරෙහිව දිගින් දිගටම සංවිධානය කරමින් සිටීම ජාතිවාදීන්ගේ කාර්යයයි. සිය ජීවිතයේ සැබෑ පීඩාවේ මූලය වන පවතින සමාජ ආර්ථික මොඩලයට විරුද්ධව ජනතාව සංවිධානය වීම වැලැක්වීමට නම් දිගින් දිගටම මෙබ`දු ව්‍යාජ සටන් නඩත්තු කිරීමට සිදුවේ.

ජූනි 10 වන දා එකම වේලාවක කොලඹ දී මුලූ දුන් පෙලපාලි දෙක ලංකාවේ අනාගත දේශපාලනය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් ඉදිරි දර්ශනයන් ඉදිරිපත් කරන්නේ ඒ අනුවය. එක් පෙලපාලියක් සමාජ ආර්ථික පසමිතුරුතා මත පවතින සමාජ ක‍්‍රමයට එරෙහිව සමාජය සංවිධානය කළ යුතු බවට යෝජනා කරද්දී අනෙක වාර්ගික පසමිතුරුතා මත සමාජය පෙලගැස්වීමට යෝජනා කරයි. ඒ පවතින සමාජ ක‍්‍රමය ප‍්‍රශ්න වීම වැලැක්වීම සදහාය. අප තෝරාගන්නේ නෙලූම් පොකුනේ සිට හයිඞ් පිටියට යන මාවතද? ගාලු පාර දිගේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට යන මාවතද? යන්න මත අපගේ සමාජයේ අනාගතය තීරනය වනු ඇත.  

Saturday, June 7, 2014

එදිරිවීර සරච්චන්ද්‍ර දෙපයින් සිටුවීම


මහාචාර්ය සරච්චන්ද්‍ර 
හාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ‘ධර්මිෂ්ඨ සමාජය’ නමැති කෘතිය රචනා කරන්නේ ලංකාව නව ලිබරල් ධනවාදය වෙත ඇතුලූ වූ මුල් අවධියේය. මෙම කෘතිය හරහා සරච්චන්ද්‍ර විවෘත ආර්ථිකය ලෙස එකල හැඳින්වූ නව ලිබරල් ධනවාදය විසින් සමාජය තුළ ගොඩනගන හර පද්ධතීන් සහ වටිනාකම් පිලිබඳ තියුනු විවේචනයක් ඉදිරිපත් කරයි. ධනවාදී සමාජය තුළ සෑම දෙයක්ම වෙලඳ භාන්ඩ බවට පත්වන ආකාරයත්, මිනිසා වෙලඳ භාන්ඩ අත්පත් කරගැනීම සිය ජීවිතයේ පරම නිෂ්ඨාව බවට පත්කරගත් ආධ්‍යාත්මික වශයෙන් දිලිදු සත්වයෙක් බවට ඌනනය වන ආකාරයත් මෙහිදී ඔහුගේ අවධානයට හසුවේ. කලාව වෙලඳපොලකරනය වීමේ විපාක ගැන සරච්චන්ද්‍ර එම කෘතිය තුළ විශාල සාකච්ඡාවක් ගොඩ නගයි. සයිබර් යුගයේ ජීවත් වන වත්මන් මිනිස් පරම්පරාව මේ පොත ගැන සමහර විට අසාවත් නැති වීමට ඉඩ තිබේ. උසස් පෙල සිංහල විෂය කරන උදවියට විෂය නිර්දේශයට නියමිත වී තිබෙන නිසා 'මනමේ' හෝ ' මලගිය ඇත්තෝ' පරිශීලනය කිරීමට බල කෙරී තිබෙන නිසා සරච්චන්ද්‍ර ගැන යම් පමනකින් දැන සිටියත් ඒ දැනුම 'ධර්මිෂ්ඨ සමාජය' දක්වා ව්‍යාප්ත වූවක් නොවන බවට නම් සැකයක් නැත.

සරච්චන්ද්‍ර මිය ගොස් දැන් වසර ගනනාවක් ගත වී ඇත. සරච්චන්ද්‍රගේ ’ධර්මිෂ්ඨ සමාජය’ කෘතිය ලියා දැන් දශක තුනකට ආසන්න කාලයක් ගෙවී තිබේ. සරච්චන්ද්‍රගේ ජීවිතය අවසාන කාලයේ සමාජය මත යම්තම් පතිත වී පැතිරෙමින් තිබුනු නව ලිබරල් ධනවාදය මේ වන විට මුලූ සමාජයම සිය ග‍්‍රහනයට ගත් යථාර්ථයකි. වෙළඳභාන්ඩකරනය සමාජය තුළ එහි තාර්කික උපරිමය කරා ගමන් කරමින් තිබෙන අතර ‘සංවර්ධනය’ ලෙස වර නගා තිබෙන්නේ මෙලෙස සිදුවන වෙලඳභාන්ඩකරන ක‍්‍රියාවලියයි. ජේ.ආර්.ජයවර්ධන 1977 දී බලයට පැමිනියේ ‘ධර්මිෂ්ඨ සමාජයක්’ ගොඩනගන බවට ප‍්‍රතිඥා දෙමිනි. එක් අතෙකින් නව ලිබරල් ප‍්‍රතිසංස්කරන හඳුන්වා දෙන ගමන් අනිත් අතින් ආගම හා ජාතිය ගැන මතවාදී තලයේ අලංකාරිකයක් පවත්වා ගැනීමට ජයවර්ධන රජය දිගටම ක‍්‍රියා කළේය. පන්සල් වලට අතහිත දීම, භික්ෂූන් ඉදිරියේ ව්‍යාජ ගෞරවයක් පෙන්වමින් සංඝ සමාජය සමග වංක සහයෝගයක් පවත්වා ගැනීම ජයවර්ධන විසින්  සිදු කරන ලදී. ජාතික ප‍්‍රශ්නය විෂයෙහි ජයවර්ධන සිංහල වාර්ගික ජාතිවාදය මත පදනම්ව තීරණ ගත් තැනැත්තෙකි. ඒකීය ලංකාව රැකීම සඳහා දෙමළ සන්නද්ධ කන්ඩායම් විනාශ කරදැමිම ජාතික ගැටලුව  සම්බන්ධයෙන් ඔහුගේ ද ඉදිරි දැක්ම වූයේය.

රොනල්ඩ් රේගන්ට ඇතෙක් පූජා කරන ජේආර්
වර්තමානයේ ‘මහින්ද චින්තනය’ නමින් ක‍්‍රියාත්මක වන්නේ ජේ.ආර්.ජයවර්ධනගේ මෙම නව ලිබරල්වාදී මොඩලය මය. වෙළඳභාන්ඩකරන ක‍්‍රියාදාමය සඳහා සියලූ පහසුකම් සපයන ගමන් අනිත් අතට වාර්ගික ජාතිවාදයත්, ආගම පිළිබඳ අලංකාරිකයත් මතවාදී තලයේ මහින්ද රාජපක්ෂ රජය විසින් නඩත්තු කරනු ලබයි. ස්වකීය ප‍්‍රතිසංස්කරන සඳහා වූ මහජනය සහයෝගය පාලකයින් රඳවා ගන්නේ මෙලෙස නඩත්තු කරන මතවාදය හරහාය. මේ අනුව ‘මහින්ද චින්තනය’ වූ කලී ‘ධර්මිෂ්ඨ සමාජය’ සංකල්පයේ දෙවන සංස්කරනය යැයි කිව හැක.

සිංහල සාහිත්‍යය සමාජය තුළ ධනවාදී සමාජයක් තුළ මිනිසා ගොදුරු වන ආධ්‍යාත්මික දිලිදුබව පිලිබඳ අදහස් දැක්වූ බොහෝ ලේඛකයින් හා කලාකරුවන් සොයාගත හැක. සරච්චන්ද්‍ර එම විවේචනය විධිමත්ව ගොනු කළ අතර මහගමසේකර, කේ.ජයතිලක වැන්නවුන්ගේ රචනා තුල ද මේ විවේචනය හඳුනාගත හැක. මාර්ටින් වික‍්‍රමසිංහ ද ධනවාදී සමාජය ගැන විවේචනාත්මකව ලියූ පුද්ගලයෙකි. මොවුහු මාක්ස්වාදීන් නොවෙති. මෙම සාහිත්‍යකරුවන් මධ්‍යම පංතික බුද්ධිමතුන් පිරිසකි. ධනවාදී සමාජය ගැන මොවුන්ගේ විවේචනයේ සීමාවන් රාශියකි. ඒ සීමාවන් මොනවාද කියා වෙනම සාකච්ඡාවක් සිදුකළ හැක. කෙසේ වුවද සැලැකිය යුතු කාරනය වන්නේ ලංකාව තුළ ධනවාදී සමාජ කොන්දේසි යටතේ මනුෂ්‍යයාගේ ගොදුරු වන ඉරනම පිළිබඳ සාරවත් අදහස් දැක්වීමක් සිදුකල ලේඛක පරම්පරාවක පැවැත්මයි.

ලංකාවේ සාම්ප‍්‍රදායික සාහිත්‍යය කතිකාව තුළ මේ ලේඛකයින් ‘මහා සාහිත්‍යවේදීන්’ ලෙස හුවා දක්වනු ලැබේ. පාසල් හා විශ්ව විද්‍යාල විෂය නිර්දේශ වල මොවුන් සහ මොවුන්ගේ කෘතීන් අන්තර්ගත වේ. මාර්ටින් වික‍්‍රමසිංහ ‘හෙලයේ මහා ගත්කරු’ය. සරච්චන්ද්‍ර සම්බන්ධයෙන් ද එවැනි ප‍්‍රතිරූපයක් නඩත්තු කරනු ලැබේ.

එහෙත් මොවුන් විසින් සිදුකළ සමාජ විවේචනය මේ සාකච්ඡාවන් තුළ දී හලා  දමා ඇත. උදාහරනයක් ලෙස එදිරිවීර සරච්චන්ද්‍ර ගැමි නාට්‍ය ගැන පර්යේෂන කළ බුද්ධිමතෙක් ලෙස විනා ධනවාදී සමාජය ගැන විවේචනය කළ විචාරකයෙක් ලෙස හඳුන්වා දීමක් සිදුවන්නේ නැත. මාර්ටින් වික‍්‍රමසිංහ සම්බන්ධයෙන් ද එසේය. ධනවාදී සමාජයේ පරිභෝජනවාදී ජීවිතය සහ හරසුන් වටිනාකම් ගැන විවේචනයක් කරන ලේඛකයෙක්ට වඩා සොකරි සහ නාඩගම් ගැන සොයමින් ගම්මාන පුරා ඇවිදින මහාචාර්යවරයෙක් ගේ ඉමේජය විවාදාත්මක බවින් අඩුය.

අධිපති කතිකාව විසින් බහිෂ්කරනය කරන ලද මෙම කොටස - එනම් මෙම සාහිත්‍යකරුවන් විසින් සිදුකරන ලද සමාජ විචාරය - නැවත සාකච්ඡාවට ගැනීම මේ මොහොතට අදාල වැදගත් කටයුත්තකි. උදාහරනයක් ලෙස සරච්චන්ද්‍රගේ ‘ධර්මිෂ්ඨ සමාජය‘ ගැන සංවාදයක් මේ මොහොතේ සමාජය තුළ ඇති කල යුතුය. සයිබර් යුගයේ මිනිස් පරම්රාව සමග 'ධර්මිෂ්ඨ සමාජය' තුල සරච්චන්ද්‍ර සාකච්ඡා කල දේවල් නැවත සාකච්ඡා කිරීම පටන් ගත යුතුය. එනම් සරච්චන්ද්‍ර ධනවාදී සමාජය පිලිබඳ ඉදිරිපත් කළ අදහස් ජනප‍්‍රිය තලයේ සාකච්ඡාවට ගත යුතුය. එම අදහස් වල තිබෙන සාරවත් කොටස සහ ඒවායේ තිබෙන සීමා වෙන් කරනු ලබන දේශපාලන විචාරයක් අවශ්‍ය කෙරෙන අතර එවැනි සංවාදයක් තමා ජීවත් වන සමාජය ගැන නැවත සිතා බලනු වස් මිනිසුන් පොළඹවන සාකච්ඡාවක් බවට පත්කරගැනීමේ විභවතාවයෙන් යුක්තය.




රනිල් වික‍්‍රමසිංහ හෙවත් බොර දිය පොකුණේ ධීවරයා

මැදමුලනත් කොලඹත් එක්වන තැන
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ‘සටන් කරන’ අලුත්ම තාරකාව සිරිකොතින් බිහි වී සිටී. රනිල් වික‍්‍රමසිංහ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීම සඳහා මහින්ද රාජපක්ෂ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකගතාවයකට එලැඹ ඇතැයි පවසමින් රට පුරා යාම අරඹා ඇත. සිය රජයක් යටතේ අධ්‍යාපනයට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වෙන් කරන බවට ද හෙතෙම ප‍්‍රතිඥා ලබා දෙමින් සිටී. එක්තරා රැස්වීමක දී වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කර තිබුණේ කන්නංගර ප‍්‍රතිපත්ති වෙනුවට අධ්‍යාපනය සම්බන්ධයෙන් මැදමුලන ප‍්‍රතිපත්තියක් රාජපක්ෂ රජය විසින් අනුගමනය කරන බවයි.

දෛනික දේශපාලන වාද විවාද වලදී ’පිරිසිදු දේශපාලනයේ’ සංකේතයක් ලෙස රනිල් වික‍්‍රමසිංහ උදාරහන කරගන්නා පිරිස් සිටිති. මේ රනිල්වාදීන්ගේ තර්කය අනුව රනිල් වූ කලී බොරු කියා සමාජය නොමග නොයවන අවංක පුද්ගලයෙකි. ඔවුන්ට අනුව  2002 බලයට පැමිනි වික‍්‍රමසිංහට වසර දෙකකින් ගෙදර යන්නට සිදුවූයෙත් ඔහු සතු මේ බොරු නොකීමේ ‘අවංක ගුනය’ නිසාය. ඔවුන්ට අනුව බොරු කියා රට රවටන්නේ මහින්දය. රනිල් වික‍්‍රමසිංහ නමැති වැදගත් මහත්මයා ධනේශ්වර ශිෂ්ටත්වය නියෝජනය කරයි.

බොරු නොකියන රනිල් පිලිබද එම ප්‍රබන්ධමය ගොඩනැංවීම සහ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් දිව දීමට ඉදිරිපත් වී සිටින රනිල්ගේ භෞතික භූමිකාව අප වටහා ගත යුත්තේ කෙසේද? වික‍්‍රමසිංහ නිදහස් අධ්‍යාපනය ගැන කථා කරන වචනයක් පාසා හෙලිදරවු වන්නේ අන් කවරක්වත් නොව ශිෂ්ට යුරෝපා ඇඳුමට යටින් සැඟවී සිටින තක්කඩියාගේ සැබෑ ස්වභාවයයි. නිදහස් අධ්‍යාපනය යනු ලංකාවේ එක්තරා යුගයක දී සිදු වූ සමාජ ප‍්‍රතිසංස්කරනයකි. පශ්චාත් දෙවැනි ලෝක යුද ලෝකය කේන්සියානු ධනවාදයේ ලෝකය විය. සෝවියට් කඳවුරේ පැතිරීම ගැන තිබූ භීතිය, තම තමන්ගේ රටවල වැඩ කරන පංතීන් විසින් සිදුකළ අරගල යනාදියේ ප‍්‍රතිඵලයක් ලෙස ස්වකීය බලය පවත්වා ගනු වස් විවිධ සුබසාධනවාදී ප‍්‍රතිසංස්කරන ලොව පුරා පාලක පංතීහු මේ යුගයේදී හඳුන්වා දුන්හ. නිදහස් අධ්‍යාපනය යනු එවැනි එක් ප‍්‍රතිසංස්කරනයකි.

පොලිස් පහර කෑමට ලක්වූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්
කේන්සියානු යුගය බිඳ වැටී දැන් බොහෝ කල් ඉකුත් වී ඇත. මේ වූ කලී නව ලිබරල් ධනවාදයේ යුගයයි. රාජ්‍ය සුබසාධනවාදය විසින් ආවරනය කරගෙන තිබුනු කලාප වලට ප‍්‍රාග්ධනය කඩා වැදීම මේ යුගයේ ලක්ෂනයයි. මේ අනුව නව ලිබරල් ධනවාදය තුළ සියලූ දේ වෙලඳ භාන්ඩ බවට පත් කෙරේ. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සමාජ සුබසාධන ලෙස සැලකූ සේවා ද මෙම වෙලඳපොල තර්කනයටම යටත් වන අතර නව ලිබරල් ධනවාදී සංවර්ධන මොඩලය මෙබදු සේවා වෙලඳපොලකරනය කල යුතු බවටත් , රජය ඒවා සැපයීමේ වගකීමෙන් ක‍්‍රමයෙන් බැහැර විය යුතු බවටත් ඇනවුම් කරයි . මේ නිසා නිදහස් අධ්‍යාපන කප්පාදුව වූ කලී මැදමුලන මහින්දගේ සාටකය පිළිබඳ ප‍්‍රශ්නයක් නොව අප මේ ජීවත් වන සමාජ ක‍්‍රමය පිළිබඳ දේශපාලන ප‍්‍රශ්නයකි. ධනවාදයේ මේ යුගය තුළ අධ්‍යාපනය යනු වෙලද භාණ්ඩයක් මිස තවදුරටත් අයිතියක් නොවේ.

මේ නව ලිබරල් ධනවාදී ලෝකය තුළ රනිල් වික‍්‍රමසිංහ ස්ථානගත වන්නේ කොතැනද? 1981 දී අධ්‍යාපන ධවල පත‍්‍රිකාව නමැති අධ්‍යාපන පුද්ගලිකකරන යෝජනාවලිය ඉදිරිපත් කළ වික‍්‍රමසිංහ වනාහි ලංකාව තුළ නිදහස් අධ්‍යාපන කප්පාදුවේ පීතෘවරයාය. ඒ යුගයේ කැලනිය විශ්ව විද්‍යාල සිසුන්ගේ ඔලූ පැලීම පිනිස ගෝනවල සුනිල් ඇතුලූ මැරයින් මෙහෙයවන ලද්දේද වික‍්‍රමසිංහ විසිනි. වික‍්‍රමසිංහ අගමැතිධූරය දැරූ 2002-04 කාලයේදි සිය සංවර්ධන ඉදිරි දැක්ම ලෙස ඉදිරිපත් කල ‘යලි පුබුදමු ශ‍්‍රී ලංකා’ වැඩපිලිවෙල අධ්‍යාපන පෞද්ගලිකකරනය වෙනුවෙන් විවෘතව පෙනී සිටියේය. නිදහස් අධ්‍යාපන කප්පාදුව සම්බන්ධයෙන් මෙවැනි අපකීර්තිමත් වාර්තාවක් ඇති වික‍්‍රමසිංහ හදිසියේ ‘නිදහස් අධ්‍යාපනයේ ගැලවුම්කරු’ වීම පසුපස ඇති දේශපාලන රහස කවරේද?

මේ මොහොතේ රට පුරා ශිෂ්‍ය සටන් ඇවිලී යමින් තිබේ. අධ්‍යාපන අයිතිය පිළිබඳ සාකච්ඡාව මග හැර යා නොහැකි ලෙස මතු කිරීමට සටන්කාමී ශිෂ්‍ය සංවිධාන වලට මේ වන විට හැකියාව ලැබී තිබේ. ශිෂ්‍ය අරගල මේ තත්වයට එසැවුනේ එක් රැයෙන් අහම්බෙන් නොවේ. මේ පසුපස දහස් ගනන් සිසුන්ගේ ශ‍්‍රමය, කැපකිරීම් හා දහඩිය කැටි වී තිබේ. වික‍්‍රමසිංහ උත්සාහ කරන්නේ ශිෂ්‍ය අරගල විසින් ඇවිල වූ මේ ගින්නෙන් රසවත් සුරුට්ටුවක් පත්තු කරගැනීමටය. අධ්‍යාපන ක්පපාදුව ‘මැදමුලන ප‍්‍රශ්නයක්’ ලෙස අර්ථ දක්වමින් නිදහස් අධ්‍යාපනය ගැන හඩ තලන්නෙක් ලෙස වෙස් මාරු කරගැනීමට ඔහු කටයුතු කරන්නේ ඒ අනුවය. 2012 විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය අවස්ථාවේ රාවය පුවත්පතට සාකච්ඡාවක් දෙමින් එජාප ආර්ථික විශේෂඥ හර්ෂ ද සිල්වා කීවේ සියයට 6 ක යෝජනාව අප‍්‍රායෝගික බවයි. මේ ආර්ථිකය පිළිබඳ එජාපයේ සැබෑ දර්ශනයයි. ගෝලීය ධනවාදයේ සුවච දාසයෙක් වන දක්ෂිනාංශික එජාපයට රජයේ නව ලිබරල් ධනවාදී සංවර්ධන මොඩලය සමග අබ මල් රොනක මූලධාර්මික වෙනසක් ඇත්තේ නැත.

නිර්ප‍්‍රභූ සමාජ බලවේගයක් වන සරසවි සිසුන් විසින් ගොඩනගන සමාජ මතයක් ස්වකීය න්‍යාය පත‍්‍රය සඳහා කොල්ලකෑමට ධනපති විපක්ෂ නායකයා දරන උත්සාහය පලමු වටයේදීම හෙලිදරවු කළ යුතුව පවතී. එය සිදුකළ හැක්කේ අධ්‍යාපන අයිතිය ගැන ප‍්‍රශ්නය සමාජ මොඩලය පිළිබඳ ප‍්‍රශ්නයෙන් වෙන් කිරීමට ඉඩ නොදී අරගලය තුළ අඛන්ඩව පවත්වා ගෙන යාම තුළ පමනි.

Monday, May 12, 2014

වැදගත් නලින් ද සිල්වා සහ මදාවිකාර ඥානසාර

මෑතකාලීන ලංකා දේශපාලනයේ කැපී පෙනුනු උද්ගතයක් වන්නේ බොදු බල සේනා හා රාවනා බලය පන්නෙයේ සංවිධානවල පැන නැගීමය. මේ සංවිධාන වල සාමාජිකයින් විසින් සිදු කරන විගඩමක් පිලිබද පුවතකින් තොර ප්‍රවෘත්ති විකාශයක් මෑතකාලීනව දැක ගැනීමට නොහැකි වූ තරම්ය. පසුගිය දිනෙක වටරැක විජිත නමැති භික්ෂුවක් විසින් කැදවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක් කඩාකප්පල් කිරීමට මැදිහත් වූ බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව එතැන සිටි ඉස්ලාම් ජාතික පූජකවරුන්ට අශ්ලිල ලෙස බැන වැදුනු අතර හෙතෙම ප්‍රසිද්ධ වේදිකාවල මුස්ලිම් ජාතිකයින් 'පරයින්' ලෙස හෙලා දුටුවේය. සුලු ජාතීන්ට එරෙහිව වෛරීසහගත ප්‍රකාශ කරමින් මෙම සංවිධාන වල සාමාජිකයෝ කිසිදු බාධාවකින් තොරව මහජාතියේ ඉතාම ප්‍රාථමික ආවේගයන්ට ආමන්ත්‍රනය කරමින් සිටිති. මෙලෙස සුලු ජාතීන්ට විරුද්ධව මහජාතියේ ප්‍රාථමික ආවේශයන් කුලප්පු කිරීම මගින් මොවුන් සිදු කරන්නේ ජනවාර්ගික - ආගමික පසමිතුරුතාවය දේශපාලනයේ තීරක පසමිතුරුතාවය ලෙස පවත්වා ගෙන යාමට ආධාර කිරීමයි.

මේ හැසිරීමට සමගාමීව දක්නට ලැබෙන තවත් සිත් ගන්නා සුලු නිරීක්ෂනයක් තිබේ. ලංකාවේ සිංහල බෞද්ධ අයිතිය වැනි අදහස් බෙදාහදා ගන්නා  ඇතැම් සිංහල ජාතිකවාදීන් තමාව බොදු බල සේනා ජාතිකවාදයෙන් වෙන් කොට නිර්වචනය කරගැනීමට උත්සාහ කිරීම ඒ නිරීක්ෂනයයි . මෙසේ තමාව වෙනස් ලෙස නිර්වචනය කරගන්නා සිංහල ජාතිකවාදී අදහස් දරන අය කියන්නේ බොදු බල සේනා සංවිධානය මතු කරන ප්‍රශ්න ඇත්ත ප්‍රශ්න වුවත් ඔවුන් හැසිරෙන ප්‍රචන්ඩ ආකාරය අනුමත කල නොහැකි බවයි. එනම් වඩා 'වැදගත්' ලෙස මේ ප්‍රශ්න බේරා ගත යුතු බවයි. ඒ අදහස ප්‍රකාරව ප්‍රශ්නය තිබෙන්නේ ගලගොඩඅත්තේ ඥානසාර විසින් මතු කරන අදහස් වල නොව ඔහු එම අදහස් මතු කරන ශෛලියේය.

මේ අනුව දැන් සිංහල ජාතිවාදයේ ප්‍රකාශන දෙකක් 
ඇත. එකක් 'වැදගත්' ජාතිවාදයයි. එහි උප ප්‍රවනතා දෙකකි. එක් ප්‍රවනතාවයක් නියෝජනය කරන්නේ කොන්ටම් භෞතික විද්‍යාව සහ පෝල් ෆයරාබන්ඩ් ගැන කථා කරන නලින් ද සිල්වා සහ එරික් ෆ්‍රොම් හා සැමුවෙල් පී හන්ටින්ටන් ගැන කථා කරන ගුනදාස අමරසේකර වැන්නවුන්ය. එය බුද්ධිමය ජාතිවාදය යැයි කිව හැක. අනිත් ප්‍රවනතාවය චම්පික රනවක, විමල් වීරවංශ වැනි ප්‍රයෝජ්‍යතාවාදීන් විසින් නියෝජනය කරන අතර එය ප්‍රායෝගික ජාතිවාදය යැයි නම් කල හැක. 'වැදගත්' සිංහල ජාතිකවාදීන්ට මේ කදවුර සමග අනන්‍ය වීමේ ගැටලුවක් නැත. සිංහල ජාතිවාදයේ අනිත් ප්‍රකාශනය ඥානසාර විසින් නියෝජනය කරන මදාවිකාර ජාතිවාදයයි. ලංකාව සිංහල බෞද්ධ රටක් බව එකහෙලා ප්‍රකාශ කරන බො‍‍හෝ මධ්‍යම පංතික සිංහල බොදුනුවන්ට මේ මදාවිකාර ජාතිවාදය සමග අනන්‍ය වීමේ තරමක අපහසුවක් තිබේ. ප්‍රශ්නය 'වැදගත්' විදිහට බේරා ගත යුතු යැයි ඔවුන් කියන්නේ මේ නිසාය.

සිංහල මහජාතිවාදයේ මේ සියලු ප්‍රවනතා බෙදා ගන්නා පොදු සංකල්පනය කුමක්ද? සිංහල ජාතියේ සතුට පැහැර ගන්නා බාහිර දුෂ්ට ඒජන්තයෙක් සංකල්පනය කිරීම මේ සියල්ලන් විසින් සිදු කරනු ලබයි. මේ බාහිර සතුරා බටහිරයා, දෙමලා, මුසල්මානුවා, මාක්ස්වාදියා, එන්ජීඕ කාරයා හෝ එවැනි ඕනෑම කෙනෙක් විය හැක. මොවුන්ගේ සම්පූර්න කතිකාවත රැදී තිබෙන්නේ මෙබදු බාහිර සතුරෙක් පිලිබද සංකල්පනය නඩත්තු කිරීම මතය. මේ සංකල්පනය පවතින සමාජ රටාව තුල පීඩාවට හා අතෘප්තියට පත් වී සිටින සමාජ කොටස් සාර්ථකව ආමන්ත්‍රනය කිරීමේ හැකියාවෙන් යුක්තය.

සිංහල සමාජයේ පරිපූර්නත්වයට බාධා කරන බාහිර සතුරෙක්ගේ තර්ජනය පිලිබද මේ සංකල්පනය සමාජය තුල ප්‍රචලිත කලෝ කවරහුද? නලින් ද සිල්වා වැනි න්‍යායික ජාතිවාදීන් මෙන්ම චම්පික රනවක වැනි ප්‍රායෝගික ජාතිවාදීන් ඉතිහාසය පුරා සිදුකරන ලද්දේ එම කටයුත්තය. සුලු ජාතීන් යනු සිංහලයාගේ උරුමය පැහැර ගැනීමට කුමන්ත්‍රනය කරමින් සිටින ජන කොට්ටාශයක් ලෙස මතවාදීව පින්තාරු කරන ලද්දේ ඔවුහුය. මේ පින්තාරු කිරීම සදහා විවිධ න්‍යායික සහ දේශපාලනික උපමාරු ඔවුහු යොදාගත්හ.

සුලු ජාතීන් ගැන මෙලෙස ගොඩනගන න්‍යාය සහ මතවාදය ප්‍රායෝගිකකරනය කල හැක්කේ කෙසේද? මෙම මතවාදය භෞතිකයක් බවට පත් වන පලමු මොහොතේම ප්‍රචන්ඩත්වය සහ හිංසනය උපදී. දෙමලා නමැති සතුරා පරාජය කිරීම ගැන නලින් ද සිල්වා හා චම්පික රනවක වැන්නන් ගොඩනංවන ලද න්‍යායික හා මතවාදීමය සංකල්පනය යථාර්ථයක් කරන ලද්දේ මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා හා ගෝඨාභය රාජපක්ෂ විසිනි. ඒ දමිල මල මිනී දස් ගනනක් මතිනි. ඥානාසාර භික්ෂුව කථා කරන විලාස අශෝභන යැයි කියන සිංහල බෞද්ධ මැද පංතික වැදගතුන් යුද්ධ සමයේ නිරායුධ දෙමල හිස් මත අඛන්ඩව බෝම්බ අත් හැරෙද්දී එය අ‍ශෝභන යැයි නොසිතුවේ මන්ද? දෙමල ජනයා සංහාරය කිරීම ඔවුන්ට ශෝභමාන දෙයක් වූවාද? සිවිල් යුද්ධය තුල දී මහින්ද - සරත් - ගෝඨාභය ත්‍රිත්වය විසින් මහා පරිමානයෙන් ක්‍රියාවට නංවන ලද්දේ ඥානසාරගේ මදාවිකාර ජාතිවාදයේම වඩා පද්ධතිගත ආකාරයක් නොවේද? මුස්ලිම්වරුන්ට එරෙහිව ඥානාසාර අද භාවිතයට නංවා තිබෙන හිංසාකාරී භෞතික ක්‍රියාකාරීත්වය වෙන් කල නොහැකි ලෙස සුලු ජාතීන් සතුරන් හා සිංහල උරුමය අපිරිසිදු කිරීමට පැමින සිටින කුමන්ත්‍රනකාරී කැරපොත්තන් ලෙස දකින්නට සමාජය පුරුදු කල 'වැදගත්' ජාතිවාදයේ න්‍යායික හා දේශපාලනික ක්‍රියාකාරීත්වය සමග බැදී තිබේ. ඥානසාරගේ වේශයෙන් එන්නේ නලින් ලා හා චම්පික ලා වගා දිගා කල බීජවල අස්වැන්නය. ඥානසාර යනු නලින්ලාගේ හා චම්පික රනවකලාගේ ජීව විද්‍යාත්මක දරුවාය.

වැදගත් ජාතිවාදය සහ මදාවිකාර ජාතිවාදය අතර බෙදීමක් ඇති කිරීමට දැරෙන වෑයම අතාර්කික එකක් වන්නේ මේ නිසාය. අපට අනුව 'වැදගත්' ජාතිවාදයක් කියා දෙයක් ඇත්ත වශයෙන්ම තිබිය නොහැක. මන්ද ජාතිවාදය එනයින්ම ගත් කල්හි මදාවිකාර සන්තතියක් වන හෙයිනි.