Friday, August 16, 2013

දෙමල සමාජය මග හැර - ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ?

සම්බන්ධන් හා විග්නේශ්වරන් - නව දෙමල නායකත්වය 
තුරු පලාත් සභාවට තරග වදින දෙමල ජාතික සන්ධානයේ මහ ඇමැති අපේක්ෂක සී.වී.විග්නේශ්වරන් "කොටියෙක්" ලෙස පින්තාරු කිරීම මේ දිනවල සිංහල ජනමාධ්‍ය මහත් අභිරුචියෙන් කරමින් සිටින්නා වූ කාර්යයකි. ජූලි 30 දින දිවයින පුවත්පතට ලිපියක් සපයන මනෝජ් අබේදීර මහ ඇමති අපේක්ෂක ලෙස විග්නේශ්වරන් පත්කිරීම ' සාමකාමී මාර්ග වලින් ඊලම ලබාගැනීම' සදහා වූ ගමනේ එක් අවස්ථාවක්ලෙස විස්තර කරයි. අමාත්‍ය චම්පික රනවකට අනුව විග්නේශ්වරන් එන්නේ ඊලම ලබා ගැනීම සදහාය. ඇමැති විමල් වීරවංශ විග්නේශ්වරන්ගේ ආගමනය පසුපස ඇති ' කුමන්ත්‍රනය' හෙලි කරමින් දිගු කාලයක් තිස්සේ උතුරේ දේශපාලනය කල මාවෙයි සේනාධිරාජා වෙනුවට විග්නේශ්වරන් විදෙස් තානාපති කාර්යාල දෙකක් විසින් තෝරාගෙන ඇත්තේ බෙදුම්වාදී ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සදහා බව පවසා තිබුනි.

පසුගිය සති අන්ත ' ලක්බිම' පුවත්පතට ( අගෝස්තු 11 ඉරිදා ) සම්මුඛ සාකච්ඡාවක් දෙමින් සී.වී.විග්නේශ්වරන් සිය පවුල් පසුබිම ගැන විස්තරයක් සපයා තිබුනි. පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුනාචලම් වැනි අය සමග ඥාති සබදතා තමාට ඇති බව එහිදී ඔහු පවසයි. කොලඹ ඉපිද කොලඹ හැදුනු වැඩුනු විග්නේශ්වරන් සිංහල කේන්ද්‍රීය රාජ්‍යයේ එක් බල කුළුනක් වන ශ්‍රේෂ්ඨාධිකරනයේ ඉහල ධූරයක් කාලයක් පුරා ඉසිලීය.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ පරාජයත් සමග දෙමල ජාතිකවාදී දේශපාලන නායකත්වය නැවත වතාවක් සාම්ප්‍රදායික දෙමල ප්‍රභූ පංතිය වෙත මාරු වී තිබේ. මෙය පශ්චාත් එල්ටීටීඊ දෙමල දේශපාලනයේ සිදුව තිබෙන එක් සංධිස්ථානාත්මක වෙනසකි. සම්බන්ධන්-සුමන්තිරන් පාර්ශවය දෙමල ජාතික සන්ධානය තුල ඇති වී තිබෙන අභ්‍යන්තර ආරවුලේ දී ජයග්‍රාහී පාර්ශවය වශයෙන් ඉස්මතු වී ඇත. දෙමල ජාතිකවාදයේ වඩා දැඩි රුපාකාරයක් නියෝජනය කරන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වැන්නවුන් හා සසදන කල්හි සම්බන්ධන්- සුමන්තිරන් පාර්ශවය වෙතින් නියෝජනය වන්නේ වඩා " මෘදු" ජාතිකවාදයක් යැයි කිව හැක. ස්වාධීන රාජ්‍යයකින් මෙහා කිසිදු අතරමැද සම්මුතියකට එකග නොවූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ රැඩිකල් ජාතිකවාදයට සාපේක්ෂව සම්බන්ධන්-සුමන්තිරන් පාර්ශවය ස්ථානගත වන්නේ සිංහල ප්‍රභූ පංතියට වඩාත් පහසුවෙන් සම්මුතියකට එලැඹිය හැකි ස්ථානයකය. විග්නේශ්වරන් යනු සම්බන්ධන්- සුමන්තිරන් පිලේ යෝජනාවකි. සිංහල ස්ථාපිතය සමග මෙන්ම ගෝලීය බලවතුන් සමග ද රාජ්‍ය තාන්ත්‍රිකව ගනුදෙනු කල හැකි ධනේශ්වර විද්වතෙක් මහ ඇමති ලෙස නම් කිරීම හරහා මේ පාර්ශව සමග කරන කේවල් කිරීමක් තුලින් ෆෙඩරල් මූලධර්ම මත පදනම්ව ස්වයං පාලන තත්වයක් උතුරේ දෙමල ජනයා වෙත දිනාගත හැකි යැයි දෙමල ජාතික සන්ධානය අපේක්ෂා කරයි. කොටි සංවිධානය සමූලඝාතනය වීමට ඉඩ හැර බලා සිටි බටහිර බලවතුන්ගෙන් හා ඉන්දියාවෙන් "වෙනම රාජ්‍යයක්" සදහා අනුබලයක් නොලැබෙන බවත්, උපරිම වශයෙන් ඔවුන්ගේ ආධාරයෙන් දිනාගත හැක්කේ ස්වයං පාලන තත්වයක් බවත් දෙමල ධනේශ්වර ජාතිකවාදය මේ වනවිට තේරුම් ගෙන ඇත. මේ මොහොතේ දෙමල ජාතික සන්ධානයේ දේශපාලනය භ්‍රමනය වන්නේ එම අවබෝධය තුලින් මතුව ආ තක්සේරුව වටාය.

ඉංග්‍රීසි සාහිත්‍යය තුල රොබින්සනියානු නවකථා ( Robinsonade) යනුවෙන් ප්‍රවර්ගයක් තිබේ. මේ නම සම්පාදනය වන්නේ රොබින්සන් කෲසෝ නවකථාව ආශ්‍රයෙනි. කොරල් දූපත, රනරාල ( Masterman Ready) වැනි නවකථා මේ ප්‍රවර්ගය යටතේ වර්ග කෙරේ. යුරෝපීය වෙලෙන්දන්, දේශගවේෂකයින් කරන සංචාර වලදී ෆැසිපික් සාගරයේ දූපත්වල ජීවත් වන නොදියුනු ගෝත්‍රික පිරිස් විසින් මේ යුරෝපා සංචාරකයින් විරෝධය පල කෙරෙන අයුරු මේ නවකථා වල එන ප්‍රමුඛ තේමාවකි. සුදු හම සහිත ආගන්තුකයින් ගැන මේ ගෝත්‍රිකයින් දක්වන්නේ අනාරක්ෂිත බව පිලිබද ප්‍රාථමික ඉවක් තුලින් පැන නැගෙන විරෝධයකි. වටහාගත නොහැකි ආගන්තුක දෙයක් අභිමුඛ වූ කල්හි එම ආගන්තුක ගූඨ දෙය එක්කෝ දේවත්වයට නැගීම නැතිනම් එය සතුරෙක් ලෙස සලකා ඊට පහර දීම ගෝත්‍රික ලක්ෂනයකි. එම ලක්ෂනය ගලා එන්නේ ලෝකය පිලිබද ඇති නොදැනුම තුලිනි.

සිංහල සමාජයේ පහල තට්ටු වල , විශේෂයෙන් මැද පංතික හා පහල මැද පංතික ස්ථරයන් තුල සමකාලීනව උග්‍ර සිංහලවාදයක් රජයනු නිරීක්ෂනය කල හැක. මේ සිංහලවාදී ග්‍රාම්‍ය මනසට ගෝලීය දේශපාලනය හා දෙමල දේශපාලන තලය තුල පවතින සංකීර්න ප්‍රතිවිරෝධතා විෂය නොවේ. එම මනසට හැම දෙමලෙක්ම එක වාගේය. ප්‍රභාකරන් වේවා, සුමන්තිරන් වේවා, විග්නේශ්වරන් වේවා - මේ සියල්ලෝ දෙමලුය. එක්සත් ජනපදය වේවා, බ්‍රිතාන්‍යය වේවා, ඉන්දියාව වේවා - මේ සියල්ලෝ එම දෙමලුන්ට ආවඩන බාහිර සතුරෝය. ගෝලීය ප්‍රාග්ධනය හැසිරෙන ආකාරයේ සංකීර්නතා හෝ දෙමල දේශපාලන සමාජයේ පවතින විවිධත්වයන් අවබෝධ කරගැනීම තරම් ග්‍රාම්‍ය සිංහල මනස පරිනත නොවන නිසා පැසිෆික් දූපත්වාසී ගෝත්‍රිකයින් තමන්ට තේරුම් ගැනීමට නොහැකි ඕනෑම දෙයකට එරෙහිව ඊතල විද්දා සේ තමාට අභිමුඛ වන සෑම ආගන්තුක නමකටම එරෙහිව දුනු හීතල ගැනීමට මෙම මනස සුදානම්ය.

විමල් වීරවංශ, චම්පික රනවක වැනි ජාතිවාදි තක්කඩීන් ඉතාම සවිඥානිකව ආමන්ත්‍රනය කරන්නේ මෙම ග්‍රාම්‍ය සිංහල මනෝභාවයටය. මාවෙයි සේනාධිරාජා වෙනුවට විග්නේශ්වරන් ඡන්දයට ඒම ගැන කදුලු හෙලමින්, සේනාධිරාජා ගැන අනුකම්පාවෙන් කථා කරන වීරවංශ යම් හෙයකින් සේනාධිරාජා ඡන්දයට ආවොත් කියන්නේ කුමක්ද? එහිදී සේනාධිරාජාගේ ජාතිකවාදී දේශපාලන පසුබිම ඉදිරියට දමා කොලඹ ඉපදුනු විග්නේශ්වරන් වෙනුවට උග්‍ර ජාතිකවාදී අතීතයක් සහිත සේනාධිරාජා ඡන්දයට තෝරා ගත්තේ බෙදුම්වාදයට වඩාත් ලංවනු පිනිස යැයි කියනු ඇත. සේනාධිරාජා "කොටියෙක්" කියා කියනු ඇත. ප්‍රභාකරන් කොටියෙකි. සම්බන්ධන් කොටියෙකි. සේනාධිරාජා කොටියෙකි. විග්නේශ්වරන් ද කොටියෙකි. සිංහල මහ ජාතිවාදයේ අධිකාරිය කොන්දේසි විරහිතව පිලිගන්නා ඩග්ලස් දේවානන්දා, දයා මාස්‍ටර් වැනි දාසයින් හැර කවර හෝ දේශපාලන ක්‍රියාකාරීත්වයක් දක්වන ඕනෑම දෙමල ජාතිකයෙක් මේ කතිකාව අනුව "කොටියෙකි". මෙලෙස මුලුමහත් දෙමල දේශපාලන ප්‍රජාවම කොටි ප්‍රජාවක් ලෙස පින්තාරු කරද්දී තමා කරන ගොඩනැංවීම අසත්‍යයක් බව රනවකලා හොදින් දනිති. එහෙත් මෙම ගොඩනැංවීම හරහා ග්‍රාම්‍ය සිංහල මනොභාවය සාර්ථකව උද්දීපනය කල හැකි බව, සාර්ථකව එය ස්පර්ශ කල හැකි බව ඔවුහු දනිති. සිංහල පොදු සමාජයේ මනෝභාවය මෙම ග්‍රාම්‍යත්වය තුල ගිලී පවතින තාක් දුරට වීරවංශලා හා රනවකලා ජයග්‍රාහී වනු ඇත.

දේශපාලන වෙනසක් පිලිබද අපේක්ෂා කරන කවරෙක්ට වුවද පොදු සමාජ සිතීමේ බුද්ධිමය නිම් වලලු පලුල් කිරීමේ අභ්‍යාසය මග හැර යා නොහැක්කේ මේ නිසාය.

Saturday, August 3, 2013

T 56 සහ තබ්ලාව ( මිලිටරි රියැලිටි සංකල්පය )

ජාතික රූපවාහිනී සංස්ථාව විසින් සංවිධානය කෙරෙන රනවිරු රියල් ස්ටාර් වැඩසටහනේ අවසන් මහා තරගය පසුගිය දිනෙක සජීවීව විකාශය කරන ලදී. එහි ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති රාජපක්ෂ සහ එම ආර්යාව සමග ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද සහභාගී වී සිටියහ. විනිශ්චය මන්ඩලයේ වාඩි වී සිටියේ යශෝදා විමලර්ධම, එඩ්වර්ඩ් ජයකොඩි හා ජැක්සන් ඇන්තනී යන තිදෙනාය. තරග වදින සොල්දාදුවන් ගීතය ගයා අවසන් වූ විට ඒ ගැන අදහස් දැක්විම මේ විනිසුරන්ට භාර වී තිබුනි. සිය සෑම අදහස් දැක්වීමක්ම පාහේ ජැක්සන් ඇන්තනී ආරම්භ කරන ලද්දේ "මිලිටරි රියැලිටි" සංකල්පය ලෝකයට පලමුවෙන් හදුන්වා දුන් "අතිගරු ජනාධිපතිතුමන්ට" සහ " ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ට" ස්වකීය උපහාරය පුද කරමින්ය.

රනවිරු රියල් ස්ටාර් වැඩසටහන වූ කලී වෙලදපොල ධනවාදය සමග සිංහල රනකාමී ස්වෝත්තමවාදයත්, වැඩවසම් පිලිම වන්දනාවත් මිශ්‍ර වී බිහිවුනු අපූර්ව ආකාරයේ ඔලු තුනක සත්වයෙකි. සුපර් ස්ටාර් පන්නයේ රියැලිටි වැඩසටහන් බටහිර රටවල බිහිවූයේ විනේදාස්වාද කර්මාන්තය ( Entertainment industry) දියුනු වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. කාර්මික ධනවාදයෙන් පශ්චාත් කාර්මික යුගයට මාරු වෙද්දී බටහිර රටවල හටගත් එක් වැදගත් උද්ගතයකි විනෝදාස්වාද කර්මාන්තය වෙත විශාල වශයෙන් ප්‍රාග්ධනය ආයෝජනය වීම. ලංකාවේ රූපවාහිනී නාලිකා මහත් අභිරුචියෙන් විකාශය කරන සුපර් ස්ටාර් තරගවල සිට ලිට්ල් ස්ටාර්/ ලවිං ස්ටාර් තරග දක්වා වූ සියලු රියැලිටි වැඩසටහන් බටහිර විනෝදාස්වාද කර්මාන්තය තුලින් ගෙඩි පිටින් නයට ගත් සංකල්පයෝ වෙති.ජැක්සන් ඇන්තනී ඇතුලු පිරිස වාඩි වී සිටි විනිශ්චයාසනය පසුපස කුඩා පරිමාන තිරයක් සවිකොට තිබුනි. විවිධ සමාගම් වල වෙලද සන්නාම එහි වර්නවත්ව ප්‍රදර්ශනය කෙරෙමින් තිබුනි.

මේ වානිජ ක්‍රීඩාවේ දී කෙසේ වුවද විකුනනු ලැබෙන්නේ "රනවිරුවා"වය. ශිහාන් මිහිරංග වැනි සුකුමාල තරුනයන් සහ නදිනි ප්‍රේමදාස වැනි ගැහැනුන්ගේ භාව භාව ලීලාවන් විකුනනවාට වඩා අභිමානවත් රනවිරුවන් විකිනීම තරමක වෙනස් වැඩකි. යුද්ධ කාලයේ විකාශය වූ මහත් ප්‍රසිද්ධියට පත් " අපි වෙනුවෙන් අපි" වෙලද දැන්වීම ඔබට මතක නම්, එම දැන්වීමේ ‍තේමාව වී තිබුනේ රනවිරුවාගේ නිල ඇදුම තුල සුන්දර මනුශ්‍යයෙක් ජිවත්වන බව පෙන්වාදීමයි. ඔහු " අපෙන් එකෙකි". රනවිරු රියල් ස්ටාර් තුලින් පෙන්වා දෙන්නේ හමුදා සොල්දාදුවා තුල මහත් සෞන්දර්යයාත්මක මිනිසෙක්, රසවතෙක්, සංවේදී කලාකරුවෙක් ජීවත් වන බවයි. කොච්චර ලස්සනද? අපේ රනවිරුවන්ට යුද්ධ කරනවා වගේම සිංදු කියන්නත් පුලුවන්.

මෙහිදී හමුදා සොල්දාදුවා සෞන්දර්යමය වස්තුවක් බවට මාධ්‍යය විසින් පත්කරනු ලැබේ. උත්තුංග දේහධාරී රනකාමී එසේම කලාකාමී රනවිරු පිරිමින්ට එස්එම්එස් ගැසීම සදහා සමාජයේ යෞවනියන් අතර උන්මාදයක් වගාදිගා කරනු ලැබේ. එම එස්එම්එස් තුලින් ඩයලොග් සමාගම ඊට සමගාමීව විශාල ආදායමක් උපයාගනී. සිංහල ජාතිය සමග බහුජාතික ප්‍රාග්ධනය අතිනත ගෙන ඇත්තේ එසේය.

එහෙත් යථාර්ථයේ දී හමුදාව සහ හමුදා සෙබලා යනු මෙවැනි සෞන්දර්යයමය වස්තුවක් නොව පීඩක උපකරනයක් බව අපි දනිමු. පසුගිය දා වැලිවේරිය රතුපස් වලදී ඉතාම විවෘතව හා ඉතාම මිලේච්ඡ ලෙස හෙලිදරවු වූයේ එම කරුන මිස ‍අනෙකක් නොවේ. එය ( හමුදාව) අධිපති පංතිය සහ අධිපති සමාජ රටාව ආරක්ෂා කරගනු වස් නඩත්තු කෙරෙන මර්ධක යන්ත්‍රයකි. අද වැලිවේරිය නිරායුධ ජනයාගේ විරෝධය දැක්වීම් වලට විවෘතව වෙඩි තබා ඒවා විසුරුවා හැරීමට පාලකයින් වෙනුවෙන් මැදිහත් වන්නේ යම් සේද කටුනායක කම්කරු උද්ඝෝෂනවලදී නිරායුධ කම්කරුවන්ට ගිනි බින්දේද, හලාවත ධීවර උද්ඝෝෂනවලදී තරුන ධීවරයෙක්ගේ හිස් කබල පුපුරා යන ලෙස වෙඩි තිබ්බේ ද රනවිරු රියල් ස්ටාර් වේදිකාව මත නර්තන ලීලා දැක්වූ හමුදා සෙබලුන්මය. මියගිය එල්ටීටීඊ සෙබලියන්ගේ සිරුරු නිරුවත් කොට, ඒවා සමග අශ්ලීල බස් තෙපලමින් විනෝද වෙමින්, ඒ විනෝද වීම් සිය ජංගම දුරකථන මගින් රූගත කොට සටහන් කරගනු ලැබුවේ ද මිලිටරි රියැලිටි වැඩසටහන් වල ගී ගයන මෙම සෙබලුන්මය. රියැලිටි වැඩසටහන් යනු යථාර්ථය එලෙසම විකාශය කිරීම නම් සැබෑ "මිලිටරි රියැලිටි" වැඩසටහන රනවිරු රියල් ස්ටාර් නොව චැනල් ෆෝ නාලිකාව විකාශය කල ශ්‍රී ලංකන් කිලිංග් ෆීල්ඩ්ස්ය. සමාජයේ දුගී සහ පීඩිත ස්ථරයන්ට අයත් තරුනයින් අතරින් ශක්තිසම්පන්නයින් තෝරාබේරා බදවාගෙන, ඔවුන් මොල සේදීමකට ලක්කොට, සන්නද්ධ පුහුනුවක් ලබාදී ධනපති රාජ්‍යය වෙනුවෙන් ඕනැම ප්‍රචන්ඩ ක්‍රියාවක් කිරීම සදහා අවිචාරාත්මකව ඔවුන්  පුරුදු පුහුනු කිරීම හමුදාවේ කාර්යය භාරයයි. සොල්දාදුවා යනු මේ අනුව විරුවෙක් හෝ යෝධයෙක් නොව අධිපති පංතිය විසින් සිය අභිමතාර්ථයන් වෙනුවෙන් පාවිච්චි කෙරෙන අධිපති පංතියේ ඉත්තෙකි.ගොදුරකි. 

මිලිටරි රියැලිටි වැඩසටහන් මගින් සිදුකෙරන්නේ හමුදාව පිලිබද ඉහත දේශපාලන යථාව සෞන්දර්යයවාදී කඩතුරාවකින්  වසාදැමීමයි. මේ නිසා රනවිරු රියල් ස්ටාර් යනු හමුදාවේ සිටින දක්ෂයින්ට "අත දීම" සදහා සිදුකෙරෙන අහිංසක සංගීත සාජ්ජයක් නොව අතිශය දේශපාලනික වැඩසටහනකි. බැල්කනියේ ඉහල ආසන අරා මහින්ද - ගෝඨාභය දෙබෑයෝ තෘප්තිමත් සිනහවකින් යුක්තව බලා සිටින්නේ කරලියේ රගදෙන එම දේශපාලන වැඩසටහන දිහාය. සාරංග දිසාසේකර සිය හුරුබුහුටි නිවේදනයෙන්ද, ජැක්සන් ඇන්තනී සිය වාචාල නන් දෙඩවීම් වලින්ද, යශෝදා විමලධර්ම සිය ශාන්ත අභිනයන්ගෙන්ද වර්න ගන්වනු ලබන්නේ සෞන්දර්යයමය කඩතුරාවකින් වසනු ලැබූ එම දේශපාලන වැඩසටහනයි. මේ නිසා නිසැකවම අපට මෙසේ කිව හැක. රනවිරු රියල් ස්ටාර් - එහි කාර්යය අතින් ගත්කල්හි - 'රතු ඉරට' වඩා දේශපාලනිකය.