Thursday, April 25, 2013

මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට ද? - 2

2012 ඉරාකයේ බැග්ඩෑඩ් හි පැවැති මැයි දින පෙලපාලියට සහභාගී වූ තරුනියක් -
මොට්ටැක්කිලිය වෙනුවට රතු තරුව 

20 වන සියවස මැද වනවිට මුස්ලිම් ලෝකය තුල ජාතිකවාදී හා වාමාංශික බලවේග මහත් බලයක් ඉසිලූ ආකාරය අප පසුගිය ලිපිය තුල දී සාකච්ඡා කලෙමු. මෙලෙස මේ ලෝකය තුල මහත් පරාක්‍රමයක් ඉසිලූ එම දේශපාලන ප්‍රවාහයන්ට එරෙහිව ඉස්ලාම් මූලධර්මවාදය පෙරමුනට ගැනීමෙහිලා තීරනාත්මක කාර්යභාරය ඉටු කලේ එ.ජනපදයේ නායකත්වය යටතේ ගෝලීය ධනවාදය විසිනි. එලෙස එම ප්‍රවාහයන්ට විරුද්ධව ඉස්ලාම් මූලධර්මවාදය උසි ගන්වන්ට ගෝලීය ධනවාදී බලවතුන්ව පෙලඹවූ තර්කනය ඉතා සරලය. නසර් වැන්නන් නියෝජනය කල රැඩිකල් ජාතිකවාදී ව්‍යාපෘතීන් මෙන්ම වාමාංශික දේශපාලන ව්‍යාපෘතිය ද ගෝලීය ධනවාදයේ ආර්ථික හා දේශපාලන ව්‍යාප්තිවාදයට බාධා කල පවුරු ලෙස ඉස්මතු වී තිබුනි. 

උදාහරනයක් ඊජිප්තු ජනාධිපති අබ්දුල් ගමල් නසර් විසින් සූවස් ඇල ජනසතු කිරීම දැක්විය හැක. මේ පියවරත් සමග නසර් සටන්කාමීව බටහිර කදවුර සමග අභිමුඛ වූයේය.සෝවියට් සංගමයේ පිටුබලය මෙවැනි නායකයන් සදහා සැපයින. තෙල් සම්පතින් අනූන අරාබි ලෝකය අධිරාජ්‍යවාදයට එරෙහිව එක්සත් වියයුතු බවට  නසර් කලාපය පුරා මහත් උද්ඝෝෂනයක් ගෙනගිය අතර ඔහු තමාට එරෙහි තර්ජනයක් ලෙස සැලැකූ බටහිර බලවතුන් නසර්වාදයට එරෙහිව පෝෂනය කිරීමට තෝරාගත්තේ මුස්ලිම් සහෝදරත්වය සංවිධානයයි. මුස්ලිම් සහෝදරත්වය  වෙත ආධාර බ්‍රිතාන්‍ය සූවස් ඇල සමාගම, එ.ජනපදය හා සෞදි අරාබිය තුලින් ගලා ආවේය.

සෞදි අරාබි කලන මිතුරා 

අරාබි ලෝකයේ ආධිපත්‍යය සදහා වූ ව්‍යාපෘතියේ දී ස්වකීය විශ්වසනීය සගයා ලෙස බටහිර බලවතුන් තෝරාගන්නා ලද්දේ සෞදි අරාබියයි. අමෙරිකානු ජනාධිපති අයිසන්හවර් කලාපීය නායකත්වය සදහා නසර්ට විකල්පයක් ලෙස සෞදි රජපවුල ගොඩනැංවීම කෙරෙහි අවධානය යොමුකල යුතු බවට වරෙක විවෘතව අදහස් දක්වා තිබුනි. වෙනත් මුස්ලිම් රටවල මෙන් සටන්කාමී ජාතිකවාදී හෝ වාමවාදී උද්ගතයන් තම රට තුල පැනනැගීමට ඒකාධිපති සෞදි රජපවුල කිසිදු ඉඩක් නොතැබීය .එවැනි යම් හෝ විසමුම්තික ව්‍යාපාරයක් පැන නැගෙන සලකුනක් හෝ සෞදිය තුල වී නම් එය සිය යකඩ හස්තයෙන් තලා පෙලා මුලිනුපුටා දැමීමට මෙම කුප්‍රකට රජ පවුල පසුබට නොවීය. ඉස්ලාම්වාදයට " විරුද්ධ" ලිබරල් බටහිර රාජ්‍යයන්ට උග්‍ර මූලධර්මවාදී සෞදි රාජ්‍යය එදා මෙන්ම අදත්  " මිත්‍රයෙකි"!

ඇෆ්ගනිස්ථානයේ දී මොහාමඩ් නජිබුල්ලාගේ වාමවාදී ආන්ඩුවට එරෙහිව මුජහදීන් - ශුද්ධ වූ සටන්කරුවන් - හදාවඩා ගැනීමෙහිලා සීඅයිඒ සංවිධානය කල මැදිහත්වීම අද වනවිට සියල්ලෝ දනිති. සෝවියට් ආධාර ලැබූ නජිබුල්ලාගේ රජය පෙරලා දැමීමේ දී ශුද්ධ වූ ඉස්ලාමීය සටන්කරුවන් සමග එක්සත් වූ එක්සත් ජනපදය මොවුන් වෙත මුදල් හා විවිධාකාර ආධාර නිර්ලෝභීව සැපයීය.පසුකාලීන තලෙයිබාන්වාදයට උපත දුන්නේ මෙම මුජහදීන් සටන්කරුවන්ය. නජිබුල්ලාට එරෙහිව මුජහදීන්වරු ගොනු කල එක් මූලික සටන් පාඨයක් වූයේ ඔහුගේ ආන්ඩුවේ " ඉස්ලාම් විරෝධී" ස්වභාවයයි.කාන්තා සාක්ෂරතාවය නංවමින් සමාජ හා දේශපාලන ජීවිතය තුල කාන්තා සහභාගීත්වය නැංවීම සදහා නජිබුල්ලාගේ රජය ගෙන තිබූ ක්‍රියාමාර්ග මොවුන්ගේ දැඩි විවේචනයට පාත්‍ර විය. තලෙයිබාන්වරුන්ගේ මූල බීජ මෙම මුජහදීන්වරු තුල පැහැදිලිවම විද්‍යාමාන වූ අතර සැබැවින්ම  තලෙයිබාන්වාදය නමැති දරුවා ඉස්ලාම්වාදය නමැති ඩිම්බය සමග ගෝලීය ධනවාදය නමැති ශුක්‍රානුව සංසේචනය වීම තුලින් උපන්නෙකි. තලෙයිබාන්වාදය "දුෂ්ට" හා " නපුරු" බව අද බටහිර ලිබරල්වාදීන් කියද්දී  ඔවුන් නරුම ලෙස අමතක කරන කරුන වන්නේ එම දරුවාගේ පිතෘවරයා තමාම බවයි.

රැඩිකල් ජාතිකවාදයේ සීමාව සහ වාමාංශයේ පරිහානිය 

කෙසේවුවද '70 දශකය වනවිට මුස්ලිම් ලෝකය තුල අරාබි ජාතිකවාදය සහ වාමාංශය සතුව පැවැති පරාක්‍රමය දුර්වල වීම ආරම්භ වී තිබුනි. මේ සදහා බල පෑ හේතු රාශියකි.

රැඩිකල් අධිරාජ්‍ය විරෝධී එලැඹුමක් දැක්වූවද ඊජිප්තුවේ නසර්වාදය වැනි  ජාතිකවාදී ප්‍රවනතා අභ්‍යන්තර දුර්වලතා රාශියකින් ගහන වූයේය. මැද පංතික දෘෂ්ටියකින් මෙහෙයවුනු මෙම ප්‍රවනතාවෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයක් ඇටවීමෙන් එහා ගමන් කිරීමට අසමත් වූහ. සුබසාධක රාජ්‍යය එම සමාජ තුල බලපැවැත්වූ සමාජ අසමානතා ආමන්ත්‍රනය කිරීමට තරම් ප්‍රමානවත් එකක් වූයේ නැත. 1973 ආර්ථික අර්බුදය විසින් ලොව පුරා සුබසාධක රාජ්‍ය ආකෘතිය අර්බුදයට යවද්දී අරාබි ජාතිකවාදී සුබසාධකවාදය ද එම අර්බුදයෙන් ගැලවුනේ නැත. 

මොස්කව් නුවර මගපෙන්වීම යටතේ කලාපීය කොමියුනිස්ට් පක්ෂ 60 දශකය පුරාම තම රටවල ජාතිකවාදී රෙජිමයන් අරභයා අනුගමනය කරමින් සිටියේ අවිවේචනාත්මකව සහය දීමේ ප්‍රතිපත්තියකි.සෝවියට් සංගමයේ විදේශ ප්‍රතිපත්තිය යටතේ නසර්ගේ ආන්ඩුව වැනි ජාතිකවාදී ආන්ඩු සමග හිතවත්කමක් පවත්වා ගැනීම අවශ්‍ය වී තිබුනි. සෝවියට් සංගමය මේ නිසා ඒ ඒ රටවල කොමියුනිස්ට් පක්ෂ වලට එම ආන්ඩු කෙරෙහි "මෘදු" පිලිවෙතක් අනුගමනය කරන ලෙස බලපෑම් කලේය. සමාජවාදී ජාත්‍යන්තරවාදය පිරිහුනු රාජ්‍යයක් වූ සෝවියට් සංගමයට තවදුරටත් අදාල නොවීය.එය සිය විදේශ ප්‍රතිපත්තිය වෙනුවෙන් ලෝකයේ සමාජවාදී අරගල ද්විතීක කිරීම ඉතා විවෘතව මේ යුගය වනවිට සිදුකරමින් සිටියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස  අරාබි ජාතිකවාදී රෙජිමයන් අර්බුදයට යනවිට වාමාංශය ද දුර්වල වන්නට වූයේය. ඒ සදහා බල පෑ එක් හේතුවක් වූයේ ජාතිකවාදී පාලනයන්ට දැක්වූ අවිවේචනාත්මක සහයෝගය නිසා වාමාංශිකයන් සහ ජාතිකවාදීන් අතර කැපී පෙනෙන වෙනසක් පොදු සමාජය තුල සටහන්ව නොතිබීමය.

මෙලෙස ඓහිකවාදී වාමාංශය හා ජාතිකවාදය මුස්ලිම් ලෝකය තුල දුර්වල වීම අත වැනුවේ රැඩිකල් ඉස්ලාම්වාදයේ පැමිනීමටය. 20 වන සියවසේ අවසන් දශක තුන යනු දේශපාලනික ඉස්ලාම්වාදය ජයග්‍රහනය කිරීමේ දශක තුනයි. සමාජ ආර්ථික ගැටලු වලින් පීඩාවට පත්වන පීඩිත සමාජ කොටස් වෙත " ඉස්ලාමීය විසදුමක් " යෝජනා කල කුමේනිගේ ඉරාන """""විප්ලවය" මෙකී මූලධර්මවාදයේ ජයග්‍රාහී සන්ධිස්ථානයක් විය. අද සටන්කාමී මූලධර්මවාදී සංවිධාන සිය සොල්දාදුවන් බදවා ගන්නේ සමාජයේ අවවරප්‍රසාදිත පීඩිත පංතීන් අතරිනි. අරාබි ලෝකය තුල වාමාංශය බලවත්ව සිටි 40,50 දශක වල මෙම පීඩිත සමාජ පංතීහු පංති අරගලයේ ධජය යටතේ සංවිධානය කරනු ලැබූහ. අද ඔවුන් සංවිධානය කෙරෙන්නේ ආගම්වාදයේ නිස්සාර ධජය යටතේය. ඕනෑම සමාජයක වාමාංශය බලවත් වන තරමට ඒ සමාජවල ආගම්වාදය, ජාතිවාදය යනාදිය දුර්වල වන්නේ වාමාංශය විසින් සමාජය පංති පදනම මත සංවිධානය කිරීම හේතුවෙන් ජාතික සහ ආගමික බෙදීම් යටපත් වී යාම සිදුවන නිසාය.

වර්තමානයේ බටහිර රටවල් හා ඇතැම් ඉස්ලාමීය සංවිධාන අතර ඇති ආරෝව කුමක්ද? මෙය වූ කලී සමෘද්ධිමත් මැදපෙරදිග කලාපයේ ධනය බෙදාගැනීම පිලිබද කාලකන්නි ආරවුලක් විනා බටහිර මාධ්‍යයන් විසින් හුවා දැක්වෙන ආකාරයට "සුන්දර ලිබරල්වාදය" සහ "දුෂ්ට ඉස්ලාම්වාදය" අතර ගැටුමක් නොවේ. මෑතක දී ඊජිප්තුවේ බලයට පත් 'මුස්ලිම් සහෝදරත්වය' බදු පක්ෂ හරයෙන් ගත්කල ධනේශ්වර සංස්ථාවෝය. මේවා ගෝලීය ධනවාදයට කිසිසේත්ම විකල්පයක් නොවේ.

මේ මොහොතේ සැබැවින්ම මැදපෙරදිගට අවශ්‍යව තිබෙන්නේ වාමාංශික ව්‍යාපෘතියේ නව පුනර්ජිවනයකි. ඊජිප්තුව හා ටියුනීසියාව පසුගිය කලෙක දෙදරුම් කැවූ ජනප්‍රිය මහජන අරගල වලදී ඒ රටවල වැඩකරන පංතියේ ජනයා දැක්වූ සටන්කාමී පුරෝගාමීත්වය එබදු වාමාංශික පුනර්ජීවනයක් සදහා ඒ සමාජවල ඇති විභවය විදහා දක්වන්නේය.ඊජිප්තුවේ හොස්නි මුබාරක් ආන්ඩුව බිද වැට්ටවූ මහජන අරගලයේ දී සුවිශේෂී කාර්යයක් ඉටු කරන ලද්දේ වැඩ වර්ජන කැදවමින් වීදියේ සටන් කල වැඩ කරන ජනතාවෝය. එම ජනතාව දේශපාලනිකව සංවිධානය වී නොසිටීම මත එම අරගලය අවසානයේ මුස්ලිම් සහෝදරත්වය වැනි ඉස්ලාම්වාදී සංවිධානයක් වෙත ජය ගෙන දෙමින් නිමා විය. එසේ නිමා වුවද, එම සටන් වලදී ඒ රටවල වැඩ කරන ජනතාවෝ දැක්වූ සටන්කාමීත්වය ගෝලීය ධනවාදයෙන් හා ආගමික අන්තවාදයෙන් අන්ධකාර වී තිබෙන මැදපෙරදිග අහස මත පෑයූ දීප්තිමත් තාරකාවකි. එම සටන්කාමීත්වය නිසි ඉදිරි දැක්මක් සහිතව මෙහෙයවීම සමග මුස්ලිම් ලෝකය තුල වාමාංශික කතිකාව පුනර්ජීවනය කිරීම පිලිබද ප්‍රශ්නයට ගැට ගැසී තිබේ.

මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට ද? - 1

ශිෂ්ටාචාර අතර ගැටුම? 

2001 සැප්තැම්බර් 11දින  අමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉස්ලාම් මූලධර්මවාදය සහ ත්‍රස්තවාදය වැනි මාතෘකා ගැන අලුත් උද්යෝගයක් බටහිර ලෝකය තුල ජනිත වූයේය. මෑතක සිට ලංකාව තුල ද මහත් අභිරුචියෙන් ඉස්ලාම් මූලධර්මවාදය පිලිබද කථා කරනු දක්නට ලැබේ. පසුගිය දිනෙක ඇමැති චම්පික රනවක "අල් කයිදා හා අල් ජිහාඩ්" යනුවෙන් එලි දැක්වූ කෘතිය මෙම අභිරුචිය පිලිබද හරස්කඩක් ලෙස සැලකිය හැක. මේ අනුව බටහිර දේශපාලන වේදිකා තුල පට්ටා ගැසූ මාතෘකාවක් හදිසි ආකර්ෂනයක් සහිතව ලංකාවේ දේශපාලන වේදිකා මත ප්‍රාදුර්භූත වී තිබේ.

එකම කාසියේ දෙපැත්ත?

ඉස්ලාම් මූලධර්මවාදය හෙවත් දේශපාලන ඉස්ලාමය ( political Islam) ගැන කෙරෙන විවාද වලදී අදහස් දක්වන බොහෝ අය අන්තවාදය ඉස්ලාම් ආගමේ ස්වභාවික ආනුශංගයක් ලෙස හැදින්වීමට ප්‍රිය කරති. උදාහරනයක් ලෙස 2007 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් පලකල ලෝක ආගම් පිලිබද හැදින්වීමේ කෘතියක දී ඉස්ලාම් ධර්මය ගැන කෙරෙන විස්තරය එහි බිහිවීමෙන් ආරම්භ කොට අවසන් කරන්නේ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් සහ මැඩ්රිඩ් නගරයේ සිදුවූ බෝම්බ පිපිරීම් ගැන සදහන් කරමිනි. මේ සදහන පසුපස පවතින තාර්කිකය සරලය. එනම් කිසිදු ප්‍රතිවිරෝධයකින් තොරව ඉස්ලාම් ආගම දේශපාලන අන්තවාදය වෙත පාර කපන බවයි.

සැමුවෙල් හන්ටින්ටන් සහ බර්නාඩ් ලුවිස් වැනි දක්ෂිනාංශික චින්තකයෝ බටහිර දී ඉස්ලාම් එනයින්ම මූලධර්මවාදී වේ යන අදහස ප්‍රවර්ධනය කිරීමෙහිලා මූලිකත්වය ගත්තෝ වූහ. ලුවිස් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ලියන කෘතියක දී ( What went wrong ) තර්ක කරන්නේ ‍රාජ්‍යයෙන් ආගම වෙන්කිරීම පිලිබද ඓහිකවාදී අදහස ඉස්ලාමයට ආගන්තුක බවයි. ශිෂ්ටාචාර අතර ගැටුම ගැන සිය ප්‍රවාදය ඉදිරිපත් කරමින් හන්ටින්ටන් තර්ක කලේ වර්තමානයේ ලෝකය අත්දකින්නේ වෙනස් ඇගයීම් සහිත බටහිර ක්‍රිස්තියානි ශිෂ්ටාචාරයත් ඉස්ලාමීය ශිෂ්ටාචාරයත් අතර ඝට්ටනයක් බවයි. ප්‍රශ්නය ඉස්ලාම් මූලධර්මවාදය නොව සිය සංස්කෘතියේ ශ්‍රේෂ්ඨත්වය ගැන මහත් උමතුවක් මිනිසුන් තුල බෝ කරන ඉස්ලාම් ශිෂ්ටාචාරයම බව මෙහිදී හන්ටින්ටන් තර්ක කරයි.

බටහිර දී මුස්ලිම් සමාජය ගැන මහත් අභිරුචියෙන් ගෙන හැර දැක්වූ උක්ත ප්‍රාචීනවාදී
( orientalist) අදහස දැන් දැන් ලංකාව තුලත් විශාල වශයෙන් උපුටා දැක්වෙමින් තිබේ. මෙහිදී මේ නිසා පැනනගින්නේ අතිමූලික ගැටලුවකි. මුස්ලිම් සමාජය සමග සහවාසයක් ඇති කරගන්නේ කෙසේද එය එනයින්ම මූලධර්මවාදය ප්‍රවර්ධනය කරන්නක් වන විට?  මෙම ලිපිය තුලින් අප උත්සාහ කරන්නේ මූලධර්මවාදය ඉස්ලාමයේ ස්වභාවික ආනුශංගයකි යන අදහස වැඩි දුරටත් විභාග කොට බලමින් එහි නිරවද්‍යතාවය පිරික්සා බැලීමටය.

***

ලෝකයේ මැද පෙරදිග කලාපය තුල ඉස්ලාම් මූලධර්මවාදය මේ වනවිට බලවත් දේශපාලන බලවේගයක් බවට පත්වෙමින් තිබේ. මෙය සත්‍යය කරුනකි. ඉස්ලාම් ආගමට දැඩි අර්ථනිරූපන සපයන ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය වැනි "සාමකාමී " සංවිධාන වල සිට මරාගෙන මැරෙන සටන්කාමී සන්නද්ධ කන්ඩායම් දක්වා විවිධ ‍අන්තවාදී දේශපාලන බලවේග මුස්ලිම් ලෝකය තුල හොල්මන් කරමින් සිටී.

කෙසේ වුවත් මූලධර්මවාදයේ මෙම පැන නැගීමේ ඓතිහාසික දේශපාලන හා සමාජයීය සන්දර්භය
නොසලකා හැර මූලධර්මවාදය සරලව මුස්ලිම් ජනයා සමග අනන්‍ය කිරීමට යන්නේ නම් එහිදී අප සිදුකරන්නේ බලවත් වරද්දා ගැනීමකි. ඉස්ලාම් භීතිකාවෙන් පෙලෙන ඇතැම් දක්ෂිනාංශික බටහිර මාධ්‍යයෝ තලෙයිබාන්වාදය යනු දුෂ්ට මුස්ලිම් සංස්කෘතියේ නොවැලැක්විය හැකි වියරුවක් ලෙස අප පිලිගන්නවා දැකීමට රුචි කරති. එසේ වුවද ඉස්ලාමීය මූලධර්මවාදයේ නැගීම එහි ඓතිහාසික පසුතලය තුල පිහිට වු විට පැහැදිලි වන්නේ  එය මුස්ලිම් සමාජය තුල සිදුවූ මෑතකාලීන පැන නැගීමක් වන බවයි.

20 වන සියවස අග භාගයේ දී ලෝකය විවිධාකාර දක්ෂිනාංශික උද්ගතයන් ගනනාවකට මුහුන දුන්නේය. ඉන්දියාවේ බීජේපීය විසින් නියෝජනය කල හින්දු මූලධර්මවාදය සහ බටහිර රටවල ක්‍රිස්තියානි මූලධර්මවාදය එලෙස උද්ගත වූ අතර ඉස්ලාම් මූලධර්මවාදයේ නැගීම හුදෙක් හුදෙකලා සංසිද්ධියක් නොව එම වෙනත් අන්තවාදයන්ගේ නැගීම සමග සමකාලීනව සිදු වන්නකි. මෙම ලියුම්කරුගේ ප්‍රධාන තර්කයක් වන්නේ ඉස්ලාම් මූලධර්මවාදය මුස්ලිම් ලෝකය තුල මෑතකාලීනව අධිපතීත්වයට ලක්වූ ප්‍රවනතාවයක් මිස අතීතයේ සිටම අඛන්ඩ ප්‍රවාහයක් ලෙස ගලා එන්නක් නොව බවයි.

මුස්ලිම් අධිරාජ්‍යයන්ගේ යටගියාව

මුල්කාලීන මුස්ලිම් ශිෂ්ටාචාර ගැන ලියමින් ඒවා තුල දේශපාලන කටයුතු හා ආගමික කටයුතු අතර තත්වාකාර (de facto) වෙන්වීමක් දැකිය හැකි බවට මොහොමඩ් අයූබ් වැනි ශාස්ත්‍රඥයින් තර්ක කොට ඇත. ආගම හා රාජ්‍ය පාලන කටයුතු පිලිබද බලතල බෙදීමක් උලමාවරු හා මුස්ලිම් රාජ්‍ය නායකයින් අතර පැවැති බව දක්වන හෙතෙම උමයියාද් සහ ඔටෝමන් වැනි අධිරාජ්‍යයන් තුල මුස්ලිම් පාලකයා ආගමික සංස්ථාවන් අබබිවා බලවත්ව සිටි ආකාරය පැහැදිලි කරයි. ලෞකික පාලකයින් සිය බලය පැතිරවීම සදහා ආගම පාවිච්චි කලාද? පැහැදිලිවම ඊට "ඔවු" යන පිලිතුර දෙන අයූබ් එනමුත් එය ආගමික අංශය විසින් දේශපාලන අංශය මෙහෙයවීමක් ලෙස නොව දේශපාලන අංශය විසින් ආගමික අංශය මෙහෙයවීමක් ලෙස හදුන්වයි. වැඩවසම් යුගයේ සෙසු සියලු රාජ්‍යයන්වල - කතෝලික වේවා, හින්දු වේවා,බෞද්ධ වේවා - සිදුවූයේ මීට වෙනස් දෙයක් නොවේ. ලෞකික පාලකයින් හා ආගමික නායකයින් අතර තිබූ බලතල බෙදීම "තත්වාකාර" එකක් වන්නේ නිල වශයෙන් මේ පැරනි අධිරාජ්‍යයන් ඉස්ලාමීය වූ නිසාය.එහෙත් භාවිතයේ දී ලෞකික මුස්ලිම් පාලකයින් ආගමික නායකයින් නොතකා ක්‍රියා කිරීම පිලිබද උදාහරන එමට දැක්විය හැකි බව දක්වන අයූබ් මධ්‍යකාලීන යුගයේ බටහිර සමාජවල ක්‍රිස්තියානිය හා රාජ්‍යය අතර පැවැති සම්බන්ධයෙන් මුල්කාලීන මුස්ලිම් සමාජවල ආගම හා රාජ්‍යය අතර පැවැති සම්බන්ධය එතරම් වෙනස් නොවන බවට තර්ක කොට ඇත.

යටත්විජිතවාදය සහ ජාතික විමුක්ති අරගල

අබ්දුල් ගමල් නසර්  
මෙසේ පැරනි මුස්ලිම් රාජ්‍යයන් වල ආගම හා රාජ්‍යය අතර තිබුනු තත්වාකාර දුරස්ථභාවය වඩාත් නිශ්චිතව තහවුරු වීම ආරම්භ වන්නේ 19 වන සියවසේ උදාවත් සමගය. 19 වන සියවස වනවිට පැරනි මුස්ලිම් අධිරාජ්‍යයන් බටහිර යටත් විජිතවාදයේ බලපෑමට හසුවීම ඇරඹී තිබුනි. මේ බලපෑම් මෙම අධිරාජ්‍යයන් වෙත බටහිර නූතනත්වය හදුන්වා දුන්නේය. බටහිර ආක්‍රමන හමුවේ සිය දේශභූමි ගිලිහී යාම වලක්වා ගනු වස් ඔටෝමන්, පර්සියානු බදු මුස්ලිම් අධිරාජ්‍යවල පාලකයෝ ධනවාදී ප්‍රතිසංස්කරනයන්ට දොර හලෝය. මේ ප්‍රතිසංස්කරනවලට සමගාමීව බටහිර අධ්‍යාපනය යනාදිය මේ අධිරාජ්‍යයන් තුල ව්‍යාප්ත විය. සාම්ප්‍රදායික ආගමික ලෝක දෘෂ්ටිය වෙනුවට වඩා නූතන ලෝක දෘෂ්ටියක් සහිත නව ප්‍රභූ සහ මැද පංතියක් එතුලින් මේ රටවල බිහිවන්නට විය.

එලෙස බිහි වූ නව ප්‍රභූ පංතියය පසුකාලීනව අරාබි රටවල් තුල බටහිර අධිරාජ්‍යවාදයට විරුද්ධව ඇති වූ ජාතිකවාදී විජිත විරෝධී අරගල වලට නායකත්වය දීමට ඉදිරියට පැමිනෙන්නේ. 20 වන සියවස වනවිට රැඩිකල් ජාතිකවාදී රැල්ලක් මුස්ලිම් රටවල් සිසාරා හඹායමින් තිබුනි. 1923 තුර්කියේ බලයට පත්වූ ජාතිකවාදී නායක මුස්තාෆා කෙමල් තුර්කිය ඓහික රාජ්‍යයක් ලෙස ස්ථාපනය කලේය. ආගම හා රාජ්‍යය අතර තිබු සම්බන්ධය කඩා දැමූ හෙතෙම ශරියා නීතිය වෙනුවට ස්විට්සර්ලන්ත සිවිල් නීති සංග්‍රහය මත පදනම් වූ නව සිවිල් නීතියක් හදුන්වා දෙමින් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන ලෙස හැදින්විය හැකි දේශපාලන ප්‍රතිසංස්කරන මාලාවක් ක්‍රියාවට නැංවීය.

නසර්වාදයේ භූමිකාව

කෙමල් වැන්නවුන් වෙතින් නියෝජනය වූ මෙම මුල්කාලීන ජාතිකවාදී ප්‍රවාහය කෙසේ වුවද ඉසිලුවේ ප්‍රභූවාදී ස්වභාවයකි . එම ව්‍යාපාර වල මූලිකත්වය ගත් අය සමාජයේ පිලිගත් ප්‍රභූන් වූහ.

රැඩිකල් මුස්ලිම් ජාතිකවාදය එහි අලුත් අදියරක් වෙත එලැඹියේ දෙවන ලෝක යුද්ධයට පසුවය. මේ කාලයේ අලුත් පරම්පරාවක රැඩිකල් ජාතිකවාදයක් අරාබි රටවල් මූලික කරගෙන බිහිවීම ඇරඹෙන අතර ඊජිප්තුවේ අබ්දුල් ගමල් නසර් මෙම නව ජාතිකවාදයේ උද්යෝගිමත් ප්‍රකාශකයා ලෙස සැලකිය හැක. මෙම නව අරාබි ජාතිකවාදය සමාජයේ ප්‍රභූ පිරිස් අතරින් නොව පහල සමාජ පංතීන් අතරින් සිය බලය උකහා ගත්තකි. ගෝලීය බලවතුන්ගේ අනුග්‍රහය සහිතව ඊශ්‍රායලය අරාබි රටවල්වලට එරෙහිව යුද මෙහෙයුම් දියත් කිරීමට සමගාමීව අරාබි ජාතිකවාදය වඩ වඩා රැඩිකල්කරනය වීමත් වඩ වඩා වාමාංශය වෙත තල්ලු වීමත් සිදුවිය. අරාබි රටවල කොමියුනිස්ට් පක්ෂ වල බලපෑම වැඩි වන්නට වූ අතර මේ නව වාමවාදී හා ජාතිකවාදී දහරාව මුස්ලිම් රටවල් බොහොමයක් තුල ප්‍රබල ඓහික සම්ප්‍රදායක් ජනනය කලේය. වෝලටර් ලැක්වෙයර් 50 දශකයේ අරාබි රටවල උගත් තරුනයින් අතර පැවැති දේශපාලන මතාන්තර ගැන ලියමින් දක්වන්නේ කොමියුනිස්ට්වාදය සහ ජාතිකවාදය ඔවුන් අතර වඩාත් බලපැවැත්වූ  මතවාදී දහරාවෝ බවය.

" අරාබි සමාජවාදය" නමැති තේමාව යටතේ අබ්දුල් ගමල් නසර් ඊජිප්තුවේ දියත් කල ප්‍රතිසංස්කරන මාලාව එහි හරයෙන් ගත්කල දැඩි ඓහික ස්වභාවයක් ගත්තේය. ජනසතු කිරීම් හා සමාජ සුබසාධක වැඩසටහන් ප්‍රවර්ධනය කල නසර්වාදය අපට එක්තරා ආකාරයක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩසටහනක් ලෙස නම් කල හැක. ආගමික නායකයින් දේශපාලනයට ඇගිලි ගැහීම සමග සෘජුව අභිමුඛ වූ නසර් ඉස්ලාම් අන්තවාදය යෝජනා කල එවකට එතරම් බලයක් නොතිබුනු සංවිධානයක් වූ මුස්ලිම් සහෝදරත්වය ( අද ඊජිප්තුවේ බලය දරන පක්ෂය ) වැනි ප්‍රවනතා සමග අභියෝගාත්මකව අභිමුඛ වූයේය. ඉන්දුනිසියාවේ සිට ඇලිජිරියාව දක්වා මුස්ලිම් රටවල් ගොන්නක ඓහික වටිනාකම් ප්‍රවර්ධනය කල යටත් විජිත විරෝධී ව්‍යාපාරයන්ගේ පිබිදීමක් මේ යුගයේ දක්නට ලැබේ. ඊජිප්තුව, ඉරානය, ඉරාකය, සිරියාව, ලෙබනනය,සුඩානය වැනි රටවල කොමියුනිස්ට් පක්ෂ මේ යුගය වනවිට කම්කරු හා ගොවිජන බලවේග පංති සටන් තේමා වටා සාර්ථකව සංවිධානය කරමින් සිටි අතර  අද මූලධර්මවාදී ගුහාවක් ලෙස චිත්‍රනය කෙරෙන ඇෆ්ඝනිස්ථානයේ ආන්ඩු බලය එරට සමාජවාදී බලවේග විසින් '70 ගනන් වලදී අත්පත් කරගත්තේ අනාගමික සමාජ දේශපාලන ප්‍රතිසංස්කරන දාමයකට මුලපුරමිනි.

මූලධර්මවාදය මුස්ලිම් සමාජයේ ජාති ලක්ෂනයක් නම් හත්වන සියවසේ සිට විසි එක් වන සියවස දක්වා අඛන්ඩ මූලධර්මවාදී ප්‍රවාහයක් මුස්ලිම් සමාජවල දක්නට තිබිය යුතුය. එහෙත් අප දුටු පරිදි අතීතයේ බොහෝ මුස්ලිම් අධිරාජ්‍යයන් තුල ආගමත් රාජ්‍යයත් අතර තත්වාකාර වෙන්වීමක් තිබූ අතර 20 වන සියවසේ මෑතක් වන තුරුම මේ සමාජ බොහොමයක තීරනාත්මක දේශපාලන බලවේග වූයේ  මූලධර්මවාදයට පටහැනිව ඓහික වටිනාකම් ප්‍රවර්ධනය කල රැඩිකල් ජාතිකවාදී හා වාමාංශික දේශපාලන සම්ප්‍රදායන්ය.

මුස්ලිම්වරු එනයින්ම මූලධර්මවාදී නම් එවැනි ඓහික දේශපාලන සම්ප්‍රදායක් මේ සමාජවල පැවතුනේ කෙසේද? මෙලෙස මුස්ලිම් රටවල බලවත්ව පැවැති ඓහික දේශපාලන සම්ප්‍රදායයන් බිදවැටී අද දක්නට ලැබෙන මූලධර්මවාදී ප්‍රවනතා ඉස්මතු වූයේ කෙසේද? ඒ සදහා බලපෑ හේතු කවරේද? මෙම ප්‍රශ්නය මෙම ලිපියේ වෙනත් කොටසකින් සාකච්ඡා කිරීමට අප අපේක්ෂා කරමු.

Wednesday, April 17, 2013

ඉන්දියාවේ පහලට කාන්දු වීමේ විප්ලවය - 2 / Trickle down revolution - අරුන්දතී රෝයි

ගිනිගෙන දැවෙන මනිපූරය - විරෝධය පෑමේ අවස්ථාවක් 

මෙහි පලමු කොටස සදහා මෙම සබැදිය යොදාගත හැක.)
න්දියාවේ 64 වන නිදහස් සැමරුම දිනයේ අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං ආවේග රහිත,අස්ථි පවා කුසීතභාවයෙන් ශීතල කරවන සුලු ඒකාකාරී කථාවක් පවත්වනු වස් රතු බලකොටුවේ තබා ඇති ස්වකීය වෙඩි නොවදින සබන් පෙට්ටිය වෙත නැංගේය.මෙම කථාවට සවන් දෙන අතරතුර,මොහු මේ ආමන්ත්‍රනය කරන්නේ - ලෝකයේ දෙවන වේගවත්ම ආර්ථික වර්ධන වේගය පවතිද්දීත් - අප්‍රිකාවේ දිලිදුම ජාතීන් 26 ක මුලු ජනගහනය එකතු කල විට ලැබෙන සංඛ්‍යාවටත් වඩා වැඩි දිලින්දන් පිරිසකින් යුක්ත ජාතියක් බව කිසිවෙකුටවත් සිතෙනු ඇද්ද?
"ඔබ සියලු දෙනා ඉන්දියාවේ ප්‍රගතිය වෙනුවෙන් දායක වී තිබේ"ඔහු පැවසීය."අපගේ කම්කරුවන්ගේ,ශිල්පීන්ගේ හා ගොවීන්ගේ දැඩි කැපවීම අද සිටින ස්ථානය වෙත අපගේ දේශය රැගෙන ඒමෙහිලා උපකාරී විය.සෑම පුරවැසියෙකුටම සමාජයෙහි අයිතියක් පවතින,සෑම පුරවැසියෙකුටම ගෞරවයෙන් අභිමානයෙන් යුක්ත සාමකාමී හා යහපත් අධිෂ්ඨානය සහිත පරිසරයක ජීවත් විය හැකි,සමෘද්ධිමත් වූත් සෞභාග්‍යමත් වූත් ඉන්දියාවක් අපි ගොඩනගමින් සිටින්නෙමු.එය කවර ගැටලුවක් වුවද ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයන්ගෙන් විසදිය හැකි ඉන්දියාවකි.එය සෑම පුරවැසියෙකුගේම මූලික අයිතීන් ආරක්ෂා කරනු ලබන ඉන්දියාවකි"
ඇතැම් විට මෙය මාරාන්තික හාස්‍යයක් යැයි යමෙකුට සිතෙනු ඇත.එතුමා ජාතිය අමතනු අසන අයෙකුට මොහු ෆින්ලන්තයේ හෝ ස්වීඩනයේ ජනතාව අමතනවා වැනි හැගීමක් පහල වුවහොත් එහි පුදුමයක් නැති.

පෞද්ගලික අවංකභාවය පිලිබද අපගේ අග්‍රාමාත්‍යවරයාට තිබෙන කීර්ති නාමය ඔහුගේ කථාපිටපත් තුලටත් කාන්දු වන්නේ නම්,ඔහු විසින් කිව යුතුව තිබුනේ මෙවැනි දෙයකි.

"සහෝදරවරුනි,සහෝදරියනි.අපගේ විභූතිමත් අතීතය සිහිපත් කරන මෙම අවස්ථාවට පැමිනි ඔබ සියලු දෙනා සාදරයෙන් පිලිගනිමි.යම් යම් දේවල් තරමක් මිල අධික වී ඇති බවත්,ආහාර මිල පිලිබද ඔබ මැසිවිලි නගමින් ඉන්නා බවත් මම දන්නවා.නමුත් එදෙස මෙලෙස බලන මෙන් මම ඉල්ලා සිටිමි.ඔබ අතුරින් මිලියන හයසිය පනහක් දෙනා ජීවත් වනුයේ ගොවීන් හා කෘෂි කම්කරුවන් වශයෙන් කෘෂිකර්මාන්තයෙනි.නමුත් ඔබගේ ඒකාබද්ධ දායකත්වයෙන් සංයුක්ත වනුයේ මුලු ජාතික ආදායමින් 18% ක් පමනි.එබැවින් ඔබෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?අපගේ තොරතුරු තාක්ෂන ක්ෂේත්‍රය දෙස බලන්න.එහි සේවා නියුක්තව සිටිනුයේ ජනගහනයෙන් 0.2% පමනි.නමුත් ජාතික නිෂ්පාදිතයේ 5% ක් සමන්විත වනුයේ ඔවුන්ගේ නිෂ්පාදනයන්ගෙනි.ඔබට ඒ හා සමවෙන්නවත් පුලුවන්ද ?අපගේ රටේ ආර්ථික වර්ධනයට සමගාමීව රැකියා උත්පාදනයක් සිදුව නැති බව ඇත්තකි.නමුත් වාසනාවකට මෙන් අපගේ ශ්‍රම බලකායේ 60% පමන ස්වයංරැකියාවල යෙදෙන්නවුන් වෙති.ශ්‍රම බලකා‍යේ 90% පමන සේවයේ යෙදී සිටිනුයේ අසංවිධානාත්මක අංශයේය.ඔවුන්ට කිරීමට වැඩ ලැබෙනුයේ හුදෙක් මසකට දින කිහිපයක් පමනක් බව මම පිලිගනිමි.නමුත් ඌන සේවානියුක්තිය යනුවෙන් ප්‍රවර්ගයක් අප හදුනා නොගන්නා නිසා අපට ඒ ගැන වැඩිදුර නොවෙහෙසී සිටිමට පුලුවන.ඔවුන් විරක්ෂාවෙන් පෙලෙනවුන් වශයෙන් අපගේ සංඛ්‍යා ලේඛන තුල ඇතුලත් කිරීම නිවැරදි නැත.මෙබදු ප්‍රශ්න අපට පසුව විසදාගත හැක.අපගේ "පහලට කාන්දු වීමේ විප්ලවය" සම්පූර්න වූවාට පසු,සෞඛ්‍ය සේවාවන් සම්පූර්නයෙන්ම පෞද්ගලිකකරනයට ලක්වූවාට පසු අපට මේ ගැන සිතා බැලිය හැක.මේ අතර ඔබ සියලු දෙනා සෞඛ්‍ය රක්ෂනයන් මිලදී ගනු ඇතැයි මම උදක්ම අපේක්ෂා කරමි.ඒකශීර්ෂ ආහාර සුරක්ෂිතතාවය පසුගිය වසර 20 තුල පහත වැටී තිබේ යන කරුන සැලකුවහොත් - ඒ වසර විස්ස අපගේ සීඝ්‍ර ආර්ථික වර්ධනය සිදුවූ කාලයද වන්නේය - මාව විශ්වාස කරන්න,එය හුදෙක් අහම්භයක් පමනි.

"මාගේ ආදරනීය වැසියනි,කෝටිපතියන් හා ප්‍රකෝටිපතියන්ගෙන් යුක්ත අපගේ පොහොසත්ම පුරවැසියන් 100 දෙනා ජාතික ආදායමේ 25% ක වත්කම් උසුලන නව ඉන්දියාවක් අපි ගොඩනගමින් සිටින්නෙමු.සීමිත හා අතිශය සීමිත පිරිසක් අතර ධනය සංකේන්ද්‍රනය වන තරමට කාර්යක්ෂමතාවය ඉහල නගී.කෝකී පිරිස ඕනෑවට වඩා වැඩිවූ විට සුප් හොද්ද දියාරු වන බව ඔබ දන්නවා නෙව.අපගේ ආදරනීය ප්‍රකෝටිපතියන්,සිය ගනනක් වූ කෝටිපතියන්,ඔවුන්ගේ ඥාතී මිත්‍රාදී සමීපතමයන්,ඔවුන්ගේ ව්‍යාපාරික හා දේශපාලන හවුල්කරුවන් සමෘද්ධිමත් වූත්,සාමකාමී හා යහපත් අධිෂ්ඨානය සහිත සිය මූලික අයිතිවාසිකම් සුරක්ෂිත වූත් පරිසරයක ගෞරවයෙන් සහ ආත්මාභිමානයෙන් යුක්තව ජීවත්වනු දැකීමට අපි කැමැත්තෙමු.

"මාගේ සිහිනය මුලුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමෝපායන් භාවිතා කිරීමෙන් මුදුන්පත් කරගත නොහැකි බව මම දනිමි.මේ නිසා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය තුවක්කු කට තුලින් උපත ලබන බව විශ්වාස කිරීමට මම පෙලඹී සිටිමි.අපගේ හමුදාව,පොලිසිය,මධ්‍යම රජයේ සංවෘත පොලිස් බලකාය,දේශසීමා ආරක්ෂක බලකාය,ඉන්දු ටිබේට දේශසීමා පොලිසිය,නැගෙනහිර දේශසීමා රයිෆල් බලකාය - ගෝනුස්සන්,සුනඛයන් හා සර්පයන් සමගින් - අපගේ ඛනිජ සම්පතින් පොහොසත් ප්‍රදේශ වෙත යොමු කොට එහි ඇතිව තිබෙන නොමග ගිය කැරලි චප්ප කර දැමීමට මා කටයුතු කරමින් සිටින්නේ එබැවිනි."

"ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද අපගේ අත්හදාබැලීම් ආරම්භ වූයේ නාගලන්තයෙන්,මනිපූරයෙන් හා කාශ්මිරයෙන්ය.මෙතැනදී නැවත නැවතත් කාශ්මිරය ඉන්දියාවට අයත් අභ්‍යන්තර කලාපයක් බව මතක් කර දීම අවශ්‍ය නැතැයි මම සිතමි.එහි ජනතාව වෙත ප්‍රජාතන්ත්‍රවාදය උදාකර දීම සදහා මිලියන භාගයකට ආසන්න සොල්දාදුවන් අප එහි යවා ඇත.පසුගිය මාස දෙක පුරාවට ඇදිරි නීතියට එරෙහි වෙමින් සහ පොලිසිය වෙත ගල් ගසමින් සිය ජීවිත අවදානමට ලක්කරගනිමින් සිටින කාශ්මිර තරුනයන් වනාහි ත්‍රස්තවාදී සහායකයෝ වෙති.ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ සැබැවින්ම රැකියා අවස්ථාවන්ය.නිදහස නොවේ.අවාසනාවකට මෙන් රැකියා ඉල්ලුම් පත් සලකා බැලීමට පෙර ඔවුන් 60 දෙනෙක් මරනයට පත්ව තිබේ.මෙම නොමගගිය තරුනයන් මරා දමනු වෙනුවට ඔවුන් විසුරුවා හැරීම සදහා වෙඩි තබන මෙන් මම මේවනවිටත් පොලිසිය වෙත උපදෙස් දී ඇත්තෙමි"

සිය වසර හතක් වූ ධූර කාලය තුල මන් මෝහන් සිං සෝනියා ගාන්ධිගේ අනිශ්චිත,මෘදු මනසක් සහිත නියෝජිතයා/සහායකයා වශයෙන් පෙනී සිට තිබේ.මෙය වනාහි පසුගිය වසර 20 තුල මුලින්ම මුදල් අමාත්‍යවරයා ලෙස හා පසුව අග්‍රාමාත්‍යවරයා ලෙස ඉන්දියාව අද තිබෙන තත්වය වෙත ගෙන ඒමෙහිලා ක්‍රියාකාරී වූ නව ආර්ථික වැඩපිලිවෙල මත පදනම් වූ රෙජිමයක් විසින් ශක්තිමත් කොට තිබෙන බලසම්පන්න පුද්ගලයෙකු වටා මවා තිබෙන කදිම වෙස්වලාවකි.මන්මෝහන් සිං ගාන්ධිගේ සහායකයෙකු බවක් මින් ප්‍රතික්ෂේප නොවේ.ඉන් අදහස් වන්නේ ඔහුගේ ආඥාවන් සෝනියා ගාන්ධි කෙරෙන් පැන නොනගින බවයි.බටහිර බෙංගාලයේ හිටපු මුදල් අමාත්‍ය අශෝක් මිත්‍රා ස්වකීය චරිතාපදානයේදී (A Prattler’s Tale) මන්මෝහන් සිං බලය වෙත ක්‍රමානුකූලව එසවුනු අන්දම විස්තර කරයි.1991 දී ඉන්දියාවේ විදේශ සංචිත ප්‍රමානය භයානක ලෙස පහත වැටුනු විට,නර සිහ රාඕ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හදිසි නය මුදලක් ඉල්ලා සිටියේය.මූල්‍ය අරමුදල කොන්දේසි දෙකක් මත ඊට සහය පල කලේය.පලමුවැන්න ආර්ථික ප්‍රතිසංස්කරන හා ව්‍යුහාත්මක ගැලපුම් ක්‍රියාවට නැංවීමයි.දෙවැන්න තමා නම් කරන පුද්ගලයෙකු මුදල් ඇමති ලෙස පත්කිරීමයි.මිත්‍රාට අනුව මූල්‍ය අරමුදලේ "තෝරාගත් පුද්ගලයා" වූයේ මන්මෝහන් සිංය.

ගෙවීගිය වසරවලදී ඔහු විසින් සිය කැබිනට් මන්ඩලය හා නිලධාරී තන්ත්‍රය සෑම දෙයක්ම - ජලය,විදුලිය,ඛනිජ සම්පත්,කෘෂිකර්මාන්තය,ඉඩම්,සන්නිවේදනය,අධ්‍යාපනය,සෞඛ්‍යය - මේ සියල්ල මහා සමාගම් වෙත පවරා දීම වෙනුවෙන් ඉවැන්ජලික කැපවීමකින් කටයුතු කරන පිරිසකගෙන් පුරවා දමා ඇත.

සෝනියා ගාන්ධි සහ ඇයගේ පුත්‍රයා මෙම සමස්ථ ක්‍රියාවලිය තුල වැදගත් භූමිකාවක් රගදක්වයි.ඔවුන්ගේ වගකීම වනුයේ දයාව හා ආකර්ශනය පිලිබද අංශය භාරව වැඩකිරීම සහ මැතිවරන දිනා දීමයි.මහජන කෝපය සංසිදවීම හා මහා නෞකාවේ ගමන බාධා රහිතව ගමන් කිරීමට උපකාර කරන ප්‍රගතශීලී යැයි පෙනෙන,එනමුත් අතිශය උපක්‍රමික හා සංකේතාත්මක තීරන ගැනිමටත් ඒවායේ වාසිය ලබාගැනීමටත් ඔවුන්ට අවස්ථාව තිබේ.( මේ සදහා කදිම නිදර්ශනයක් ලෙස නියම්ගිරි ප්‍රදේශයේ බෝක්සයිට් ලෝහය සදහා පතලක් කැනීමට වේදන්තා සමාගමට ලබාදුන් බලපත්‍රය අහෝසි කිරීම සැමරීම සදහා රාහුල් ගාන්ධි විසින් කැදවූ රැලිය දැක්විය හැක.නියම්ගිරි සටන වනාහි ඩොන්ග්‍රියා කොන්ද් ගෝත්‍රය සහ දේශීය විදේශිය ක්‍රියාධරයන් ගේ එකමුතුකම මගින් වසර ගනනක් තිස්සේ සිදුකරන ලද්දකි.රැලිය අමතමින් රාහුල් ගාන්ධි තමා "ගෝත්‍රික ජනයා වෙනුවෙන් සටන්කරන සොල්දාදුවෙකු බව" ප්‍රකාශ ක‍ලේය.ගෝත්‍රික ජනතාවගේ මහා පරිමාන අවතැන්වීම් වලට හේතුව ස්වකීය පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති බව සදහන් නොකිරීමට කෙසේවුවද හෙතෙම ප්‍රවේශම් විය.එසේම මෙම "ගෝත්‍රිකයන් වෙනුවෙන් සටන් කරන සොල්දාදුවා" අහක බලා සිටියදී අසල්වැසි ප්‍රදේශවල තිබෙන අනෙකුත් සෑම බෝක්සයිට් කන්දක්ම අපායට යන තුරු පතුලට කැනෙමින් තිබේ යන කරුනද හෙතෙම සැගවීය.රාහුල් ගාන්ධි වැදගත් මහත්මයෙකු විය හැක.නමුත් තමා නියෝජනය කරන පක්ෂය කිසිසේත්ම වගකිව යුතු නැති,තමන්ට කිසිම සම්බන්ධයක් නැති දෙයක් ගැන කතාකරන්නාක් මෙන් "පොහොසත් ඉන්දියාව" හා "දුප්පත් ඉන්දියාව" ලෙස ඉන්දියාවන් දෙකක් තිබේ යනුවෙන් කියමින් රට වටා යාම අසා සිටින ඕනෑම කෙනෙකුගේ මෙන්ම ඔහුගේද බුද්ධියට කෙරෙන උපහාසාත්මක නිග්‍රහයකි)

"ජනතාවගේ කුමාරයා " - රාහුල් ගාන්ධි ඩොන්ග්‍රියා කොන්ද් ගෝත්‍රික  ලමුන් පිරිසක් සමග 
ජනතා පදනමක් සහිත,ඡන්දය දිනිය හැකි දේශපාලකයන් සහ (විනිශ්චයකාරවරු හා නිලධාරීන් වැනි) ජනතාවට ඉදිරියට යා යුතු නැති එසේත් නැතහොත් (අග්‍රාමාත්‍යවරයා වැනි) මැතිවරන දිනීම පිලිබද වෙහෙසීමේ වගකීමෙන් මුක්ත කරනු ලැබූ,එනමුත් සැබැවින්ම තීරන ගන්නා දේශපාලකයන් අතර පවතින ශ්‍රම විභජනය වනාහි ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයෙහි පවතින විශිෂ්ට උපබෙදිමකි.සෝනියා හෝ රාහුල් ගාන්ධි ආන්ඩුව භාරව සිටින බවට උපකල්පනය කිරීම බරපතල වරද්දා ගැනීමකි.විනිශ්චයකාරවරුන්,නිලධාරීන් හා දේශපාලඥයන්ගෙන් සමන්විත සීමිත පිරිසකගෙන් යුක්ත පර්ෂදයක් අත සැබෑ බලය ඒකරාශී වී තිබේ.ඔට්ටු තැබීමේ තරග වල දිවීමට දමනු ලැබූ අශ්වයන් සමූහයක් මෙන් මොවුන් කලින් කලට - අඩු වැඩි වශයෙන් රටේ සියලු දේවල් අයිතිව සිටින මහා සමාගම් කිහිපයක් විසින්- පත්කරනු මෙහෙයවනු හා සහය දක්වනු ලැබේ.මොවුන් වෙනස් පක්ෂ වලට අයත්විය හැක.එසේම එකිනෙකාගේ දරුනු දේශපාලන පසමිතුරන් ලෙස මහා රගදැක්වීම්වලදී කටයුතු කිරීමටත් ඉඩ ඇත.නමුත් එය හුදෙක් මහජනයාගේ විනෝදාස්වාදය උදෙසා නිෂ්පාදනය කරන ලද ප්‍රයෝගයකි.එකම සැබෑ පසමිතුරුතාවය වනාහි මහා සමාගම් අතර පවතින ව්‍යාපාරමය පසමිතුරුතා පමනි.

පී.චිදම්බරම් වූ කලී මෙම සමාගම්වාදී පර්ෂදයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි.ඇතැමුන් පවසන පරිදි මොහු කොංග්‍රසය ඊලග මැතිවරනයේදී පරාද වුවහොත්,පරාජයෙන් පසුව පවා අභ්‍යන්තර කටයුතු භාර ඇමති ලෙස දිගටම කටයුතු කිරීමට තරම් විපක්ෂය අතරේද ජනප්‍රිය පුද්ගලයෙකි.එවැන්නක් සිදුවීම කෙසේ වුවද වඩා යහපති.ඔහු මත පැවරී තිබෙන රාජකාරිය අවසන් කිරීම සදහා ඔහුට අමතර වසර කිහිපයක් කුමන අතින් බැලුවත් අවශ්‍ය වනු ඇත.

2007 ඔක්තොම්බරයේදී සිය පැරනි විශ්ව විද්‍යාලය වූ හාවඩ් සරසවියෙහි පැවැත්වුනු දේශනයකද චිදරම්බරම් සිය කාර්යභාරය හා රාජකාරිය කවරක්දැයි ලුහු කොට දැක්විය.දේශනය නම් කොට තිබුනේ " දුප්පත් කමින් පෙලෙන පොහොසත් රටවල් - සංවර්ධනයේ අභියෝග" නමිනි.නිදහසින් පසු ගත වූ දශක තුන ඔහු එහිදී හැදින්වූයේ "අපතේ ගිය වසරවල්" ලෙසිනි.2002 දී 6.9% ක් වූ ආර්ථික වර්ධන වේගය 2007 වන විට 9.4% දක්වා වැඩි වීම පිලිබද ඔහු උදම් ඇනීය.එහිදී ඔහු පවසන්නට යෙදුනු දෙය ඔහුගේ දලදඩු ගද්‍යයෙහි කොටසක් ඔබ වෙත උපුටා දැක්වීට තරම් මා හට වැදගත්භාවයෙන් ප්‍රාමානිකය.

"... ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුල ආර්ථිකය ඉහල වර්ධනයක් පෙන්නුම් කරද්දී සංවර්ධනයේ අභියෝග ජයගැනීම එතරම් බැරෑරුම් කටයුත්තක් නොවන බව යමෙකු කල්පනා කරනු ඇත.නමුත් සත්‍යය ඊට සම්පූර්නයෙන් වෙනස්ය.ප්‍රජාතන්ත්‍රවාදය - වි‍ශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ සමාජවාදී යුගයේ උරුමය සත්තකින්ම සංවර්ධනයේ අභියෝග වඩාත් තීව්‍ර කොට තිබේ.උදාහරන කිහිපයක් ඇසුරින් මෙය පැහැදීමට මට අවසර දෙන්න.ලෝකයේ හතර වනුව විශාලතම ගල්අගුරු සංචිතය ඉන්දියාව සතුයි.ඒ වගේම යකඩ,මැංගනීස්,බෝක්සයිට්,ටයිටේනියම්,මිනිරන්,ක්‍රෝමේට්,දියමන්ති,ස්වභාවික ගෑස්,පෙට්‍රෝලියම්,හුනුගල් යනාදී ඛනිජ ඉන්දියාවේ ඛනිජ සංචිතය තුල අඩංගුයි.මෙම සම්පත් හැකි ඉක්මනින් සහ වඩාත් කාර්යක්ෂමව කැනිය යුතුයි යන්න ඕනෑම සාධාරන පුද්ගලයෙකුට වැටහෙන සරල සත්‍යයක්.මේ සදහා විශාල ප්‍රාග්ධනයක්,කාර්යක්ෂම ව්‍යවසායන් හා වෙලදපොල බලවේගයන්ට ක්‍රියාකාරී වීමට ඉඩ සපයන ප්‍රතිපත්ති රාමුවක් ඇවැසියි.මේ කිසිදු සාධකයක් වර්තමාන කැනීම් ක්ෂේත්‍රය තුල දකින්නට නැහැ.මේ සම්බන්ධ වූ නීතී යල් පැන ගොස් තිබෙන අතර පාර්ලිමේන්තුව සමත් වී තිබෙනුයේ හුදෙක් අවශ්‍ය නෛතික ප්‍රතිසංස්කරනයන්හි මායිම දක්වා පැමින මායිමට වී ක්‍රීඩා කරමින් සිටීමට පමනයි.කැනීම් ක්ෂේත්‍රය විෂයෙහි පෞද්ගලික ආයෝජන ආකර්ෂනය කරගැනීම සදහා අප විසින් ගෙන තිබෙන උත්සාහයන් සම්පූර්නයෙන් හා එහෙම් පිටින්ම පාහේ අසාර්ථක වී තිබෙනවා.මේ අතර සමස්ථ කැනීම් විෂය ක්ෂේත්‍රය තවමත් ප්‍රාන්ත රාජ්‍යයන්ගේ හස්තය තුල සිර වී තිබෙනවා.මෙම පවතින තත්වයෙහි කවරාකාර හෝ වෙනසක් සිදුකිරීමට ගනු ලැබෙන කවර උත්සාහයක් වුවද වනාන්තර,පරිසරය හෝ ග්‍රෝතික ජනගහනය වැනි තේමාවන් යටතේ නීත්‍යනුකූලවම ක්‍රියාත්මක වන විවිධ කන්ඩායම් වල විරෝධයට ලක්වීම අනිවාර්යයක්.එමෙන්ම කැනීම් අංශය රජයේ ඒකාධිකාරයක් විය යුතු යැයි විශ්වාස කරන හා එනයින් අදාල අංශයට පුද්ගලික අංශය ප්‍රවේශ වීම සම්බන්ධයෙන් දෘෂ්ටිවාදාත්මක විරෝධතා සහිත දේශපාලන පක්ෂත් සිටිනවා.ස්ථාපිත වෘත්තිය සමිති වෙතින් එම පක්ෂ වෙත සහය සැපයෙනවා.එම වෘත්තිය සංගම් දැනුවත් වුවත් හෝ නොදැනුවත් වුවත්, ඔවුන්ගේ සටන්පාඨ පසුපස පවතින්නේවෙලද මාෆියාවේ හස්තයයි.මෙහි ප්‍රතිඵලය වනුයේ සැබෑ ආයෝජන ස්කන්ධය ඉතාමත්ම අඩු අගයක් ගැනීමත්,කැනීම් අංශයේ වර්ධනය මන්දගාමි වීමත් එය ආර්ථිකයේ වර්ධන වේගය පසුපසට ඇද දමන බාධකයක් ලෙස ක්‍රියාකිරීමත්ය.මම ඔබට තවත් නිදර්ශනයක් සපයන්නම්.කර්මාන්ත සදහා පහසුකම් සැපයීමට විශාල වශයෙන් ඉඩම් අවශ්‍ය වෙනවා.කැනීම,සකස් කිරීම හා නිෂ්පාදනය කිරීම සදහා ඛනිජ සම්පත් ආශ්‍රිත ඇලුමිනියම් හා වානේ වැනි කර්මාන්තයන්ට විශාල පරිමානයන්ගෙන් ඉඩම් අවශ්‍ය කරනවා.මෙම කර්මාන්තයන්ට අදාල පරිපූරක සේවා සම්බන්ධීකරනය කිරීමට අවශ්‍ය ගුවන් තොටුපොල,වරාය,වේලි හා බලශක්ති නිෂ්පාදනාගාර වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති සදහාත් මහාමාර්ග සහ දුම්රිය මාර්ග සදහාත් විශාල වශයෙන් ඉඩම් ඕනෑ වෙනවා.මේ නිසා ආන්ඩු විසින් තමා වෙත පැවරී තිබෙන බලතල ප්‍රකාරව ස්වකීය පරිපාලන බල මන්ඩල හරහා ඉඩම් පවරා ගනු ලැබුවා.ඉඩම් පවරා ගැනීමේදී සලකා බැලිය යුතුව තිබුනු එකම ගැටලුව වූයේ වන්දි පිලිබද ප්‍රශ්නයයි.එම තත්වය දැන් වෙනස් වී තිබෙනවා.සෑම ව්‍යාපෘතියක් සම්බන්ධවම දැන් නව පාර්ශවකරුවන් සිටිනා අතර ඔවුන්ගේ ඉල්ලීම්ද සලකා බැලිය යුතුව තිබෙනවා.මේ යටතේ පරිසර තත්ව වාර්තා සකස්කිරිම,අනිවාර්ය ඉඩම් පවරා ගැනීම් සදහා හේතු සැපයීම,නිසි වන්දි ලබාදීම,අවතැන් වන අය පුනරුත්ථාපනය හා නැවත පදිංචි කිරීම සහ සෑම අවතැන් පවුලකටම නිවාස,රැකියා හා විකල්ප කෘෂිකාර්මික ඉඩම් සපයා දීම වැනි වගකීම් අප මත පැවරී තිබෙනවා"

සම්පත් "කාර්යක්ෂමව" හා "හැකි ඉක්මනින්" කැනීම සදහා "වෙලදපොල බලවේග" සදහා ඉඩ සපයා දීම යනු නිශ්චිතවම යටත් විජිත වාදීන් සිය යටත්විජිත වල සිදුකරන ලද දෙයයි.ස්පාඥ්ඥය සහ උතුරු අමෙරිකාව දකුනු අමෙරිකාවේදීත්,යුරෝපය අප්‍රිකාවේදීත් සිදුකලේ හා සිදුකරමින් සිටින්නේ එයයි.දකුනු අප්‍රිකාවේදී ඇපාතඩයිඩ් රෙජිමය සිදුකලේද එයයි.එමෙන්ම කුඩා රටවල රූකඩ ඒකාධිපතීන් සිය ජනයා රුධිර මුහුදු තුල ගිල්වමින් සිදුකරන ලද්දේ ද එයයි.එය වර්ධනය සහ සංවර්ධනය සදහා වන ඉපැරනි සූත්‍රයකි.මෙම සූත්‍රය පිලිබද කථාන්දරය පැරනිය.අති පැරනිය.අතිශයින් පැරනිය.අප තවමත් මෙම සූත්‍රය වටා භ්‍රමනය වෙමින් සිටිය යුතු වෙමුද?

දැන් හදිසි කාර්යයක් ලෙස සලකා කැනීම් බලපත්‍ර නිකුත් කිරීම හරහා ඔබට ඩොලර් බිලියන ගනන් දක්වා ව්‍යාප්ත වන වංචාවන් සමග,කැනීම් සමාගම් විසින් ගංගා දූෂනය කර දැමීම් සමග,ප්‍රාන්ත දේශසීමා හාරා දැමීම් සමග,පරිසර පද්ධතීන් කාබාසීනියා කර දැමීම් සමග සහ පාලනයෙන් තොරව පැන නැගෙන සිවිල් යුද්ධ සමග සම්මුඛ වීමට අවස්ථාව සැපයෙනු ඇත.මේ සියල්ල දුගීන්ගේ සිරුරු සහ විනාශ වී ගිය භූමිදර්ශන මතින් ඉපැරනි ශෝකාන්තයක් ලෙස පැන නැගෙනු ඇත.

දාන්තේවාද් හි මාඕවාදීන් දඩයම් කිරීමෙහි යෙදී සිටින හමුදාව 
අග්‍රාමාත්‍යවරයාගේ දේශනයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදී වගකීම් සම්බන්ධ කොටසේදී ඔහු දක්වන පශ්චාත්තාපී ස්වරය මොහොතකට සිහියට නගාගන්න."ප්‍රජාතන්ත්‍රවාදය - විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන - සහ සමාජවාදී යුගයේ උරුමය සත්තකින්ම සංවර්ධනයේ අභියෝගය තීව්‍ර කොට තිබේ".මෙම ප්‍රකාශය හෙතෙම අවතැන් වූවන්ට වන්දි ගෙවීම,රැකියා ලබාදීම හා යලි පදිංචි කරවීම පිලිබද සුවිනීත ලෙස ගොතනු ලැබූ බොරු මගින් ඌන පූරනය කරයි.ඔහු කතාකරන්නේ කුමන වන්දි ගැනද?කුමන යලි පදිංචි කිරීම ගැනද?සෑම පවුලකටම ලැබුනු කවර රැකියා අවස්ථාව පිලිබදවද?(ඉන්දියාවේ වසර හැටක කාර්මිකකරනය විසින් ජනනය කොට තිබෙනුයේ ශ්‍රම බලකායේ 6 % ක් සදහා ප්‍රමානවත් වූ රැකියා අවස්ථාවන් පමනි).අනිවාර්ය ඉඩම් පවරා ගැනීම් සදහා "හේතු දැක්වීම" සම්බන්ධව රජයට පවතින "බැදීම" පිලිබද කථාකරන්නේ නම්,1996 සම්මත කල පංචායත් ( ලැයිස්තුගත කලාප දක්වා දීර්ඝ කිරීමේ ) පනත -Panchayat (Extension to Scheduled Areas) Act - PESA- යටතේ ගෝත්‍රික ජනප්‍රජාවන් ජීවත් වන ඉඩම් අනිවාර්ය පවරා ගැනීමට ලක්කිරීම හා ඒවා පුද්ගලික කැනීම් සමාගම් වල දේපල බවට රූපාන්තරනය කිරීම නීතියට හා ව්‍යවස්ථාවට පටහැනි බව ඕනෑම කැබිනට් අමාත්‍යවරයෙකු අනිවාර්යයෙන්ම දැන සිටිය යුත්තකි.මෙම පනත 1950 ඉන්දීය ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව පැනවූ අවස්ථාවේ සිට ගෝත්‍රික ජන ප්‍රජාවන් සම්බන්ධයෙන් සිදුවුනු ඇතැම් වැරදි සැලකීම් හා අසාධාරනකම් දුරලීම සදහා උත්සාහයක් ලෙස ගෙනෙනු ලැබූ සංශෝධනයකි.මෙම පනත ඒ සමග අනනුකූල වන අන් කවර නීතියක් වුවද අබිබවා බලධාරී වේ.පනතේ තිබෙන්නේ ඒ විදිහටයි. එය ගෝත්‍රික ප්‍රජාවන් සම්බන්ධයෙන් ගැඹුරු වෙමින් තිබෙන ආන්තිකකරනය පිලිගනු ලබන සහ බල තුලනය රැඩිකල් ලෙස ප්‍රතිස්ථාපනය කිරීම අරමුනු කරගනු ලැබූ නීතියකි.නීතියක් වශයෙන් මෙය සුවිශේෂි වන්නේ එය විසින් ප්‍රජාව - සාමූහිකය - නෛතික ඒකකයක් ලෙස පිලිගනිමින් ලැයිස්තුගත කරනු ලැබූ කලාප වල ජීවත් වන ගෝත්‍රික ප්‍රජාවන් වෙත ස්වයං පාලන බලතල සහතික කරන නිසාය.මෙම පනත ප්‍රකාරව ගෝත්‍රික ඉඩම් "අනිවාර්ය පවරා ගැනීමකට ලක්කිරීම" කවර තත්වයක් යටතේ වත් සාධාරනීකරනය කල නොහැක.මේ අනුව උත්ප්‍රාසාත්මක ලෙස ආන්ඩුව ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නිෂ්පල වන ලෙස කටයුතු කරමින් සිටින විට සැබැවින්ම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් කරන්නේ "මාඕවාදීන්" යනුවෙන් හදුන්වනු ලබන පිරිසය!(රජය විසින් මෙම මාඕවාදී ගොඩට ඉඩම් පවරා ගැනීමට විරෝධය පාන කවරෙකු වුවද ඇතුලත් කරනු ලබයි)

2008 හා 2009 කාලය ඇතුලත,පංචායත් සභා පිලිබද අමාත්‍යංශය විසින් රට තුල පංචායත් ක්‍රමයේ ප්‍රගතිය සම්බන්ධව සකස් කරන වාර්තාවක් සදහා පරිච්ඡේදයක් සැපයීම උදෙසා පර්යේෂකයන් දෙදෙනෙකු පත් කරන ලදී.අජය දන්ඩේකාර් හා චිත්‍රංගඩා චෞද්රි මෙම පරිච්ඡේදය රචනා කල අතර එහි මාතෘකාව වූයේ "PESA පනත : වාමාංශික අන්තවාදය හා රාජ්‍ය පාලනය - ඉන්දියාවේ ගෝත්‍රික දිස්ත්‍රික්ක ආශ්‍රිත අභියෝග සහ උද්ගතයන්" යන්නයි.පහත දැක්වෙන්නේ වාර්තාවෙන් උපුටා ගනු ලැබූ කොටස් කිහිපයකි.

"1894 මධ්‍යම ඉඩම් පවරා ගැනීමේ පනත අද වනතුරු PESA පනතේ ප්‍රතිපාදන සමග අනුකූල වන පරිදි සංශෝධනය වී නැත.මේ මොහොත වන විට ඉහත යටත්විජිත යුගයේ නීතිය පුද්ගලික හා ප්‍රජා ඉඩම් පුද්ගලික කර්මාන්ත සදහා පවරා ගැනිම සදහා ඉතාමත් පලල් ලෙස අයුතු ලෙස භාවිතා කෙරී තිබේ.බොහෝ අවස්ථාවන්හිදී ප්‍රාන්ත රජයන් පුරුදු වී සිටිනුයේ පලමුව මහා පරිමාන සමාගම් සමග අවබෝධතා ගිවිසුම් වලට එලැඹ ඉක්බිති ඉඩම් පවරා ගැනීමේ පනත යටතේ රාජ්‍ය ව්‍යවසායන් වෙනුවෙන් ඉඩම් අත්පත් කර ගැනීමයි.ඉන්පසු ඉතාම පහසුවෙන් එලෙස පවරා ගත් ඉඩම් පුද්ගලික සමාගම් වෙත බදු දෙනු ලැබේ.මෙමගින් පනතෙහි දක්වා තිබෙන "ඉඩම් පවරා ගත හැක්කේ මහජන අරමුනක් සදහාය" යන ප්‍රතිපාදනය මුලුමනින්ම හා පහසුවෙන් මග හරිනු ලැබේ.

පංචායත් සභා විසින් නිසි උපචාරයන් අනුගමනය කරමින් අනුමත කරගන්නා ලද වි‍රෝධය දැක්වීමේ ප්‍රඥප්තීන් යට ගැසීම හෝ ඒ වෙනුවට ව්‍යාජ ලේඛන ආදේශ කිරීම පිලිබද ඇතැම් සිද්ධීන්ද අපට වාර්තා විය.මෙහි ඇති බරපතලම කරුන වනුයේ රජය විසින් ඒවාට වගකිව යුතු නිලධාරීන් සම්බන්ධව කිසිදු පියවරක් අනුගමනය කිරීමට මෙතෙක් සමත්ව නොතිබීමයි.පනිවුඩය කිසිදු සැකයකට ඉඩ නොතබන තරමට පැහැදිලිය.මෙබදු ගනුදෙනු පසුපස සෑම මට්ටමකදීම කුමන්ත්‍රන හා රහසිගත එකගතා බලපවත්වයි.

ලැයිස්තුගත කලාප වල පවතින ගෝත්‍රික ඉඩම් මේ සෑම ප්‍රාන්තයකදීම ගෝත්‍රික නොවන පිරිස් වෙත පැවරීම නීති විරෝධී වේ.නමුත් පශ්චාත් ලිබරල්කරන යුගය තුල එබදු ඉඩම් හුවමාරු කිරීම සිදුවනවා පමනක් නොව එසේ සිදුවීම මෙම යුගය තුල වඩාත් ස්ථාවරභාවයක්ද අත්පත් කරගෙන ඇත"

සිය වාර්තාව සමාලෝචනය කරමින් ලේඛක‍යෝ මෙසේ කියති.

"ප්‍රාන්ත ආන්ඩු සහ කර්මාන්ත ආයතන අතර අත්සන් කරනු ලැබූ ගිවිසුම්,වහාම මහජන අවකාශයක් තුල යලි විමසා බැලිය යුතු වන අතර,පංචායත් ග්‍රාම සභාවන් එම විමර්ශනයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත්කරගත යුතුය"

මෙහිදී කැනීම් සම්බන්ධව අත්සන් කල අවබෝධතා ගිවිසුම් යලි සලකා බැලිය යුතු බවට ඉල්ලා සිටිනුයේ - කරදරකාරි සමාජ ක්‍රියාකාරීන් හෝ මාඕවාදීන් හෝ නොව රජයේම වාර්තාවකි.රජය මෙම ලියවිල්ල සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?ඊට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?2010 අප්‍රේල් 24 දින නිල උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත් කලේය.කෙතරම් අව්‍යාජ පියවරක්ද.ඔබ සිතනු ඇත.නමුත් අවාසනාවකට මෙන් ප්‍රසිද්ධියට පත්කල වාර්තාවෙහි උක්ත පරිච්ඡේදය අන්තර්ගත නොවීය.එය හැලී ගොස් තිබුනි.

අඩ සියවසකට පෙර,තමා මරා දැමීමට වසරකට ‍ප්‍රථම චේ ගෙවාරා මෙසේ ලිවීය."පීඩක බලවේග තමා විසින්ම ස්ථාපනය කරනු ලැබූ නීති අබිබවා ඒවා කඩ කරමින් බලය අභ්‍යාස කරන විට,සාමය එනයින්ම කඩ වී තිබෙන බවට සැලකිය යුතුය"

සැබැවින්ම එය එසේ විය යුතුය.මන්මෝහන් සිං පාර්ලිමේන්තුවේදී මෙසේ පැවසීය."ඛනිජ සම්පතින් අනූන ස්වභාවික සම්පත් සහිත ප්‍රදේශයන්හි වාමාංශික අන්තවාදය ව්‍යාප්ත වීම තවදුරටත් සිදු වේ නම් ආයෝජන සදහා වූ පරිසරය නිසැක වශයෙන්ම බිද වැටෙනු ඇත".මෙය වක්‍රොක්තිය භාවිතා කරමින් යුද ප්‍රකාශ කිරීමකි.

( මෙහිදී මදක් මාතෘකාවෙන් පිට පැනීමට මට අවසර දෙන්න.සික් ජාතිකයන් දෙදෙනෙකු පිලිබද කුඩා පුවතක් මෙහිදී මා මතකයට නැගේ.බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 1931 දී එල්ලා මරා දැමීමට පෙර පන්ජාබයේ ආන්ඩුකාරවරයා වෙත සිය අවසන් පෙත්සම ලියමින් පසුව ජනාදරයට පත් වූ සික් ජාතික විප්ලවවාදයෙකු හා මාක්ස්වාදියෙකු වූ භගත් සිං මෙසේ පැවසීය."ඉන්දීය ජනතාව හා එහි ස්වභාවික සම්පත් අතලොස්සක් වූ පරපෝෂිතයන් විසින් සූරා කනු ලබන තාක් දුරට යුදමය තත්වයක් පවතින බව අපි ප්‍රකාශ කරමු.මෙම සූරාකන්නන් පිරිසිදු බ්‍රිතාන්‍ය ධනපතීන් වුවද,ඉන්දීය හා බ්‍රිතාන්‍ය මිශ්‍ර ධනපතීන් වුවද අඩුම තරමින් ඔවුන් පූර්න ඉන්දියානුවන් වුවද තත්වයෙහි වෙනසක් සිදු නොවනු ඇත)

මේ කැනීම් කුමක් සදහාද? ඇලුමිනියම් සදහාද?
වෙනත් රටවල අවි කර්මාන්තය සදහාද?
ඉන්දියාවේ පැන නැගී තිබෙන බොහෝ අරගල දෙස ඔබ සැලකිල්ලෙන් යුතුව අවධානය යොමු කල හොත් ජනතාව විසින් ඉල්ලා සිටිනුයේ සිය ව්‍යවස්ථානුකූල අයිතීන් මිස අන් කිසිවක් නොවන බව ඔබට පෙනී යනු ඇත.නමුත් අපගේ ප්‍රජාතන්ත්‍රවාදයට අදාල නෛතික හා සදාචාරාත්මක රාමුව සකස් කරන ව්‍යවස්ථාව ගරු කිරීම තවදුරටත් අවශ්‍ය වූවක් ලෙස ඉන්දීය රජය කල්පනා නොකරනවා වැන්න.ඒ වෙනුවට මෙම ව්‍යවස්ථාව භාවිතා කෙරෙමින් තිබෙනුයේ මහජන යහපත නම් නාමයට මුවා වි රජය විසින් තමාගේම ජනතාවට එරෙහිව දියත් කොට තිබෙන ප්‍ර‍චන්ඩ ප්‍රවාහය ඉදිරියේ ඊට අවනත නොවී එයට එරෙහිව විරෝධය දක්වන ජනතාවට පහර දීම සදහා වූ යකඩ මුගුරක් ලෙසිනි.රාජ්‍යයේ සහ විශාල සමාගම් වල ආරක්ෂාව සදහා එම මුගුර වනමින්  බී.ජී.වර්ගීස් Outlook සගරාවට මැයි මස 3 දින ලිපියක් සපයමින් මෙසේ පවසා තිබුනි."මාඕවාදීන් දිය වි යනු ඇත.කෙතරම් කලක් ගත වුනත් ඒ සදහා කෙතරම් වේදනාවක් විදීමට සිදු වූවත් අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදී ඉන්දියාව සහ එහි ව්‍යවස්ථාව ජයග්‍රාහී වනු ඇත".

මෙම ලිපියට අසාද් මෙසේ ප්‍රතිචාර දැක්වීය.

අසාද්ගේ මෙම ප්‍රතිචාරය ඔහු මරා දැමීමට පෙර ඔහු විසින් ලියනු ලැබූ අවසාන ලියවිල්ල වූයේය.

"ඔබගේ ව්‍යවස්ථාව ජයග්‍රාහීව වැජඹෙනුයේ ඉන්දියාවේ කවර ප්‍රාන්තයකද,වර්ගීස් මහත්මයානෙනි?දාන්තේවාද්හි,බිජාපූර්හි,කන්කර්හි,නාරායන්පූර්හි?නැතිනම් ජාර්කන්දයේ හෝ ඔරිස්සාවේ?ලාල්ගාර්හි?ජන්ගල්මහාල්හි?කාශ්මීර නිම්නයේ?මනිපූර්හි?දහස් ගනන් සික් ජාතිකයන් සමූලඝාතනය වන විට,දහස් ගනන් මුස්ලිම් ජාතිකයන් වල දැමෙන විට පසුගිය වසර 25 පුරා ඔබගේ ව්‍යවස්ථාව සැගවී සිටියේ කොහිද?ලක්ෂ ගනන් ගොවීන්ට සිය දිවි නසා ගැනීම සදහා බල කෙරෙන විට,දහස් ගනන් ජනයා රජය විසින් අනුග්‍රහ දක්වන සල්වා ජුදුම් අනු හමුදාව විසින් මරා දමන විට එම ව්‍යවස්ථාව හැංගී සිටියේ කොහේද?ආදිවාසී කාන්තාවන් සමූහ වශයෙන් දූෂනය කෙරෙන විට?මිනිසුන් නිල ඇදුම් හැදගත් මැර කන්ඩායම් විසින් පැහැර ගෙන යන විට?සැබැවින්ම ඉන්දියාවේ අති බහුතරයක් ජනයාට ඔබගේ ව්‍යවස්ථාව වූ කලී වැසිකිලි කඩදාසියක් තරම් වත් නොවටිනා අර්ථ ශුන්‍ය ලියැවිල්ලකි"

අසාද් මරා දැමුනු විට,ඇතැම් මාධ්‍ය ආයතන එම අපරාධය සාධාරනීකරනය කිරීම සදහා ලැජ්ජා විරහිත ලෙස අසාද් ඉහත ලියවිල්ලේ කල ප්‍රකාශය,එනම් ඉන්දීය ව්‍යවස්ථාව වැසිකිලි කඩදාසියක් තරම්වත් නොවටී යන්න සන්දර්භයෙන් උගුලුවා ගෙන නැවත නැවත උපුටා දැක්වූහ.

රජය ව්‍යවස්ථාව ගරු නොකරන්නේ නම් අපට විකල්පයක් ලෙස ව්‍යවස්ථාවේ පූර්විකාව සංශෝධනය කල හැක."ඉන්දියාවේ ජනතාව වන අපි,ඉන්දියාව ස්වාධීන,සමාජවාදී,ඓහික,ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් ලෙස පවත්වාගෙන යාමට බැදී සිටිමු" යන්න පහත පරිදි වෙනස් කල හැක."ඉන්දියාවේ ඉහල කුල හා පංති වලට අයත් ජනතාව වන අපි,ඉන්දියාව සමාගම්වාදී,හින්දු,සැටලයිට් රාජ්‍යයක් ලෙස පවත්වා ගැනීමට බැදී සිටිමු"

***

ම්බද ඉන්දියාවේ,නිශ්චිතව ගෝත්‍රික වාසභූමි පුරා පැනනැගී තිබෙන කැරලිකාරී වාතාවරනය ඉන්දීය රාජ්‍යයට පමනක් නොව ඕනෑම විරෝධය පෑමේ ව්‍යාපාරයක් වෙත රැඩිකල් අභියෝග සමූහයක් ඉදිරිපත් කොට තිබේ.එය ප්‍රගතිය,සංවර්ධනය පමනක් නොව ශිෂ්ටාචාරය පිලිබද පවා වන සම්මත හා පිලිගත් අදහස් වල වලංගුභාවය ප්‍රශ්න කිරීමට ලක් කොට ඇත.එය විරෝධය පෑමේ අරගලයන්හි ආචාර ධාර්මික වටිනාකම් මෙන්ම එකී අරගලයන් තුල භාවිතා වන විවිධාකාර උපක්‍රමවල කාර්යක්ෂමතාවයද ප්‍රශ්න කරනු ලබයි.සැබෑය.මේ ප්‍රශ්නය මීට පෙරද ඉදිරිපත්ව තිබේ.වසරින් වසර,සිය ගනනක් වූ විවිධ ආකාර වලින් - චත්තිස්ගර්හි මුක්ති මෝර්චා ව්‍යාපාරය,ගාන්ධමර්ධන් උද්ඝෝෂන හා අනෙකුත් සිය ගනනක් වූ මහජන ව්‍යාපාරයන් හරහා නැවත නැවතත් සාමකාමී ලෙස මෙම ප්‍රශ්නය මතු කෙරී ඇත.එය වඩාත් ඒත්තු යන සුලු ලෙස සහ වඩාත් පැහැදිලි ලෙස නර්මදා නිම්නයේ වේලි විරෝධී ව්‍යාපාරය මගින් මතු කරන ලදී.ඉන්දීය රජය මීට දක්වා තිබෙන එකම ප්‍රතිචාරය වී තිබෙනුයේ මර්ධනය,නොසලකා හැරීම සහ බුම්මා ගත් නිශ්ශබ්දතාවය පමනි.එම ප්‍රතිචාරය සාමාන්‍ය මිනිසුන් කෙරෙහි වන ඛේදජනක නිග්‍රහාත්මක ආකල්පයක් තුලින් පැන නැගුනකි.ඊටත් වඩා එම ප්‍රතිචාරය විසින් අවතැන්වීමේ හා සන්තකය අහිමි වීමේ ක්‍රියාවලිය කෙතරම් දුරට වේගවත් කොට තිබේද සහ ඉදිරියට තල්ලු කොට තිබේද යත් මහජන ප්‍රකෝපය පාලනය කල නොහැකි මට්ටමට ඉහල නැගීම එහි ප්‍රතිඵලය වී තිබේ.අද ලෝකයේ ඉතාමත්ම දිලිදු ජනතාවක් ලොව වඩාත්ම ධනවත් හා ඉසුරුමත් සමාගම් සමූහයක ගමන පමා කිරීමට සමත්ව සිටිති.එය දැවැන්ත ජයග්‍රහනයකි.

කැරලි ගසා නැගී සිටි සියල්ලෝ මෙම දේශය හදිසි හා අන්තරාදායක තත්වයකට වැටී තිබෙන බව මනා කොට දැන සිටිති.වචනයෙන්,ක්‍රියාවෙන් පමනක් නොව සිතිවිල්ලෙන් පවා පලවන ඕනෑම ආකාරයක විරෝධය පෑමක් අපරාධයක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙන නීති විරෝධි කටයුතු වැලැක්විමේ පනත හා චත්තිස්ගර් විශේෂ මහජන ආරක්ෂක පනත වැනි නීති මගින් කාශ්මීරයේ,නාගලන්ත‍යේ හා ඇසෑම‍යේ ජනතාවගේ මෙන්ම තමාගේද සිවිල් අයිතීන් තමාගෙන් උදුරා ගෙන තිබෙන බව ඔවුහු මනා ලෙස දනිති.

හදිසි නීතිය බල පැවැත්වූ අදුරු යුගයේ පවා මහජනයාට යුක්තිය පිලිබද සිහින දැකීමට හා සිය විදවීම් අබිබවා නැගී සිටීම පිලිබද සිහින දැකීමට අවසර තිබුනි.1975 ජූනි 25 දින මධ්‍යම රාත්‍රියේ ඉන්දිරා ගාන්ධි විසින් හදිසි නිතිය ප්‍රකාශයට පත් කල විට ඇය එය සිදු කලේ මතු වෙමින් තිබූ ලදරු විප්ලවය චප්ප කර දැමීමටය.බෙංගාලයේ නැක්සලයිට් නැගිටීම අඩු වැඩි වශයෙන් මුලිනුපුටා දමා තිබුනි.නමුත් ඒ මොහොතේ මිලියන සංඛ්‍යාත ජනයා සම්පූර්න විප්ලවයක් පිලිබද ජය ප්‍රකාශ් නාරායන්ගේ සටන් පාඨය වටා ඒකරාශි වෙමින් සිටියහ.මේ සියලු කලහකාරී උද්ගතයන්හි කේන්ද්‍රය ලෙස පැවතියේ ඉඩම් පිලිබද ඉල්ලීමය.( ඒ කාලයේ පවා - අද මෙන්ම - ව්‍යවස්ථාවේ මූලික නියාමනයක් වන ඉඩම් ප්‍රතිව්‍යාප්තිය බලාත්මක කරන ලෙස ඉල්ලා සිටීම සදහා විප්ලවයක් අවශ්‍ය වූයේය)

අවුරුදු තිස් පහකට පසු,අද වනවිට,බොහෝ දේ නාටකීය ලෙස වෙනස් වී තිබේ.යුක්තිය නමැති ඒ ශ්‍රේෂ්ඨ,සුන්දර අදහස මානව අයිතිවාසිකම් නමැති අර්ථය දක්වා පටු වී ඇත.සමානත්මතාවය හුදෙක් යුටෝපියානු ෆැන්ටසියක් බවට පත්ව තිබේ.දුගීන් බිත්තියට හේත්තු කරනු ලැබ තිබේ.ඉඩම් අහිමි දුගීන් වෙනුවෙන් අලුතින් ඉඩම් ලබාගැනීම උදෙසා සටන් කිරීමේ සිට හුදෙක් එම ජනයාට ඉතුරු වී තිබෙන දේ ආරක්ෂා කරගැනීමේ අයිතිය වෙනුවෙන් සටන් කරන තැනට මාරු වීමට විප්ලවකාරී පක්ෂ සහ විරෝධය පෑමේ ව්‍යාපාරයන්ට සිදුව ඇත.සිදුවෙමින් තිබෙන එකම ඉඩම් ප්‍රතිව්‍යාප්තිය ලෙස පෙනෙන්නට තිබෙන්නේ විශේෂ ආර්ථික කලාප යන නාමයට මුවාවී සිදුකෙරෙන දුගීන්ගේ ඉඩම් පැහැර ගනු ලැබ ධනවතුන්ට පවරා දෙන ලැබෙන ක්‍රියාවලියයි.ඉඩම් අහිමි වූවන් ( ඔවුන්ගෙන් බහුතරය දාලිත්වරු වෙති),විරැකියාවෙන් පෙලෙන්නන්,මුඩුක්කු වාසීන් සහ නාගරික වැඩකරන පංතික ජනයා අඩු වැඩි වශයෙන් නොසලකා හැරීමට ලක්ව ඇත.බටහිර බෙංගාලයේ ලාල්ගාර්හ් වැනි ප්‍රදේශවල දී ජනයා පොලිසියෙන් හා ආන්ඩුවෙන් ඉල්ලා සිටින්නේ හුදෙක් තමාගේ පාඩුවේ ඉන්නට ඉඩ හරින ලෙස පමනි.පොලිස් කෲරත්වයට එරෙහි ජනතා කමිටුව නම් ආදිවාසී සංවිධානය ආරම්භ වූයේ එක් සරල ඉල්ලීමකිනි.එනම් පොලිස් අධිකාරීවරයා ලාල්ගාර්හ් වෙත පැමින ඔහුගේ පොලිස් භටයන් විසින් එහි ගම් වැසියන්ට සිදුකල තාඩන පීඩන සම්බන්ධව සමාව ආයාචනා කල යුතු බවට වූ ඉල්ලීමෙනි.මෙම ඉල්ලීම විකාර එකක් ලෙස සලකා බැහැර කෙරින.( රජයේ නිලධාරියෙකු තමාගෙන් සමාව ගනු ඇතැයි අර්ධ නිර්වස්ත්‍ර මිලේච්ඡයන් සමූහයක් අපේක්ෂා කරන්නේ කෙසේද?) මේ නිසා ජනයා සිය ගම් බැරැක්ක බවට පත් කරගත් අතර පොලිසියට ඇතුලු වීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කලහ.පොලිසිය ඊට ප්‍රචන්ඩ ලෙස ප්‍රතික්‍රියා දැක්වීය.ජනයා එම ප්‍රචන්ඩත්වය වියරු ලෙස පිලිගත්හ.දැන්,වසර දෙකක් ගෙවී අවසන් වූ තැන,සාහසික ස්ත්‍රී දූෂන,ඝාතන හා ව්‍යාජ වැටලීම් සමූහයකට පසු මේ සියල්ල යුද්ධය තුල ගිලී ගොස් තිබේ.ඉහත සංවිධානය තහනම් කොට තිබෙන අතර එය මාඕවාදී අතකොලුවක් ලෙස හංවඩු ගසා තිබේ.එහි නායකයන් එක්කෝ සිරගත කොට ඇත.නැතිනම් මරා දමා ඇත.( ඔරිස්සාවේ  නාරායන්පට්නා හි චාසි මුල්යා ආදිවාසී සංග් හා ජාර්ක්ලන්ද් හි විස්තප්පෙන් විරෝධී එක්තා මන්ඩ් යන සංවිධාන ද සමාන ඉරනමකට මුහුන දුන්නේය)

එක්තරා යුගයක යුක්තිය හා සමානත්මතාවය ගැන සිහින මැවූ ජනතාවක්,වගා කරන්නා වෙත ඉඩම් ඉල්ලා සිටීමට තරම් නිර්භීත වූ ජනතාවක්,අද වනවිට පත්ව ඇත්තේ හුදෙක් පොලිස් පහර දීම් හා දාමරිකකම් සම්බන්ධයෙන් සමාව ඉල්ලා සටන් කරන්නට සිදුව තිබෙන තත්වයකටය.සංවර්ධනය කියන්නේ මේකටද ?

( අප විසින් පරිවර්තනය කරන ලද කොටස මින් අවසන් වේ. සම්පූර්න ලිපිය වෙත මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැක )

Tuesday, April 16, 2013

ඉන්දියාවේ පහලට කාන්දුවීමේ විප්ලවය - අරුන්දතී රෝයි / The Trickle down Revolution - Arundathi Roy

වීදුරු පෙට්ටියක් තුල ව්‍යායාම් කිරීම - අගමැති මන් මෝහන් සිං ජාතිය අමතයි
පහත කොටස් වශයෙන් පලවන්නේ ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි විසින් 2010 සැප්තැම්බර් මස ඉන්දීය Outlook සගරාවට The Trickle down Revolution යන හිසින් සපයන ලද ලිපියේ තෝරාගත් කොටසක සිංහල පරිවර්තනයයි. ඇය විසින් ඉන්දියාවේ මාඕවාදී අරගලය අලලා රචනා කල දීර්ඝ සටහනක් අප කලෙකට ඉහත දී පල කලෙමු. පහත ලිපිය මගින් ඇය මාඕවාදී අරගලයේ සිට ඉන්දියාව මත අධිපතීත්වයට පත්වී තිබෙන නව ලිබරල්වාදී ආර්ථික සමාජ පර්යාය දක්වා විනිවිද යන සුලු අදහස් දැක්වීමක් සිදු කරන්නීය. ලංකාව තුල ක්‍රියාත්මක වෙමින් තිබෙන සමාන්තර සමාජ ආර්ථික විපර්යාසයන් සමග මෙම අදහස් දැක්වීම් සමපාත වන අන්දම සිත්ගන්නා සුලුය.

 [ Trickle down theory ( පහලට කාන්දු වීමේ න්‍යාය) - විශාල ව්‍යාපාරිකයන්ට හා ධනවතුන්ට රජය බදු සහන ඇතුලු විවිධ සහන සැපයූ විට ආර්ථිකය ප්‍රසාරනය වන බවත් එලෙස සිදුවන ප්‍රසාරනයේ ඵල ක්‍රමානුකූලව පහල සමාජ පංතීන් වෙත කාන්දු වනු ඇති බවත් එනයින් එය සමස්ත සමාජයේම යහපත සලසනු ඇති බවත් මෙම න්‍යාය මගින් යෝජනා කෙරේ ]

***
පලමු කොටස 

***

2010 ජූලි 2 දින හිමිදිරි පාන්දර අබිලාබාද් හි ඈත ගන වනාන්තරයකදී අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය විසින් අසාද් නමින් ඔහුගේ සගයන් අතර ප්‍රචලිතව සිටි චෙම්කුරි රාජ්කුමාර් නම් වූ පුද්ගලයාගේ පපුව පසාරු වී යන සේ වෙඩි තබන ලදී.අසාද් වනාහි තහනම් කරන ලද මාඕවාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මන්ඩල සභිකයෙකු වූ අතර ඉන්දීය රජය සමග යෝජිත සාම සාකච්ඡා වලදී එම පක්ෂය නියෝජනය කරන ප්‍රධාන සාකච්ඡාකරු ලෙස නම් කොට තිබුනේද ඔහුවය.ඝාතනය පිලිබද සලකුනු පහසුවෙන් සැගවිය හැකිව තිබියදී ඉතා කිට්ටුවෙන් ඔහුට වෙඩි තබා සිදු වූයේ කුමක්දැයි මනාව කියා පාන පිලිස්සුම් ලකුනු පොලිසිය විසින් ඔහුගේ ශරීරයේ ඉතිරි කරන ලද්දේ ඇයි?එය හුදු වැරදීමක්ද?නැතිනම් එය සිතා මතා දෙන ලද පනිවුඩයක්ද?

ඔවුහු එම හිමිදිරියේම හේමචන්ද්‍ර පාන්ඩේ නමූ වූ තවත් අයෙකුව ද  ඝාතනය කලහ.ඔහු අසාද් සමග ගමන් කරමින් සිටි තරුන මාධ්‍යවේදියෙකි.ඔවුන් ඔහුව මරා දැමුවේ ඇයි?සිදු කරන ලද ඝාතනය පිලිබද ඇසින් දුටු සාක්ෂි මකා දමනු පිනිසද?නැතිනම් එයත් හුදු වැරදීමක්ද?

යුද්ධයක් අතර තුර,සාම සාකච්ඡා ක්‍රියාදාමයක ආරම්භක අවස්ථාවකදීම,එක් පාර්ශවයක් විසින් අනෙත් පාර්ශවයේ ප්‍රධාන සාම සාකච්ඡාකරු ඝාතනය කරන්නේ නම් ඝාතක පාර්ශවයට සාමය පිලිබද අවශ්‍යතාවයක් නැති බව නිගමනය කිරීම සාධාරනය.අසාද් ඝාතනය කරන ලද්දේ ඔහුට ජීවත් වන්නට ඉඩ හැරීම මගින් ‍කෙරන පරදු තැබීම උවමනාවට වඩා වැඩි යැයි යමෙකු විසින් තීරනය කල නිසා වැන්න.මෙම තීරනය ඉතාම බරපතල වැරදි සහගත විනිශ්චයක් වීමට ඉඩ තිබේ.ඒ හුදෙක් අසාද් ඉසිලූ තත්වය නිසා පමනක් නොවේ,ඉන්දියාවේ වර්තමාන දේශපාලන පරිසරය ද සලකා බලන විටය.

***

න්ඩකාරන්‍යය වනයේ සහෝදරවරුන්ට ආයුබෝවන් කියා වනාන්තරයෙන් මා ඉවතට පැමින දවස් කිහිපයක් ගෙවුනු ඉක්බිති නව දිල්ලියේ පාර්ලිමේන්තු වීදියේ ජන්තර් මන්තර් පරිශ්‍රය අසල තරමක් වෙහෙසකර වූවත් වනාන්තරයේ සිදුවීම් සමග සමීපතාවයක් ඉසිලූ වෙනත් කාර්යයක් නිරීක්ෂනය කිරීමට මම අවස්ථාව ලද්දෙමි.ජන්තර් මන්තර් යනු ජායිපූර්හි දෙවන සවායි ජා සිං නම් මහරාජාරවරයා විසින් 1710 දී ඉදිකරන ලද නිරීක්ෂනාගාරයකි.ඒ කාලයේ එය වේලාව දැක්වීමට භාවිත වූ,කාලගුනය පුරෝකථනය කල හා ග්‍රහලෝක නිරීක්ෂනය කල විද්‍යාත්මක ආශ්චර්යයක් ලෙස සැලකින.අද එය එතරම් උනුසුම් සංචාරක ආකර්ෂක ස්ථානයක් නොවේ.ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය සදහා දිල්ලියේ පවතින කුඩා ප්‍රදර්ශනාගාරයක් ලෙස එය ද්විත්ව කාර්යයක් ඉටු කරයි.

දේශපාලන පක්ෂ විසින් හෝ ආගමික සංවිධාන විසින් සංවිධානය කරනු ලබයි නම් හැර දිල්ලිය තුල වෙනත් ආකාරයක උද්ඝෝෂන පැවැත්වීම තහනම් කරනු ලැබ මේ වනවිට කාලයක් ගතව තිබේ.අතීතයේ ඇතැම්විට දවස් ගනන් දිග්ගැස්සුනු ඓතිහාසික උද්ඝෝෂන හා මහජන රැස්වීම් පවත්වන ලද රාජ්පත්හි බෝට් ක්ලබ් පරිශ්‍රය දේශපාලන කටයුතු වලින් සම්පූර්නයෙන්ම මුක්ත කරනු ලැබ තිබෙන අතර බෝට්ටු සවාරි යාමට බැලුම් විකිනීමට හා විනෝද චාරිකා වලට පමනක් එහි අවසර සීමා කොට ඇත.ඉන්ඩියා ගේට් හි තවදුරටත් අවසර තිබෙන්නේ Justice for Jessica ( ජෙසිකා යනු දිල්ලියේ අවන්හලකදී දේශපාලන සබදතා සහිත මැරයෙකු විසින් මරා දමනු ලැබූ නිරූපිකාවකි) පන්නයේ ඉටි පන්දම් එලි දල්වාගෙන කෙරෙන මධ්‍යම පාංතික නිෂ්ඨාවන් සදහා වූ විරෝධතාවන්ට පමනි.ඉන් මෙහා කිසිවකට අවසර නැත.නීති විරෝධී පොදු අරමුනක් සහිතව රැස්වන පස් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සහිත රැස්වීම් නීති විරෝධී කල්ලි ගැසීම් ලෙස ප්‍රකාශයට පත් කෙරෙන 19 වන සියවසේ කෙටුම්පත් කරන ලද නීතියක් වන දන්ඩ නීති සංග්‍රහයේ 144 වගන්තිය නගරයේ තැනින් තැන යොදාගනු ලැබ තිබේ.මෙම නීතිය බ්‍රිතාන්‍යයන් විසින් 1861 දී සම්මත කරන ලද්දේ 1857 කැරැල්ල වැන්නක් නැවත ඇති වීම වලකනු පිනිසය.එය හදිසි අවස්ථාවක් සදහා වන තාවකාලික පිලියමක් වශයෙන් හදුන්වා දුන්නත් මේ වනවිට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වල ස්ථිර නීතියක් බවට එය පත්ව ඇත.අපගේ අගමැතිවරයා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පුදන ලද ගෞරව උපාධිය පිලිගන්නා අතර බ්‍රිතාන්‍යයන් විසින් අප වෙත දායාද කල පොහොසත් උරුමයක් පිලිබද සදහන් කලේ ඇතැම් විට මෙබදු නීතීන් සම්පාදනය කිරීම පිලිබද කෘතඥතාවය පල කිරීමේ අදහසින් විය හැක."අපගේ අධිකරනය,නීති පද්ධතිය,සිවිල් සේවය හා පොලිසිය වැනි ශ්‍රේෂ්ඨ ආයතන,බ්‍රිතාන්‍ය ඉන්දියානු පරිපාලනය මගින් වර්ධනය කරනු ලැබූ අතර ඒවායෙන් විශාල සේවයක් රටට සැලසී තිබේ"අගමැතිවරයා සිය ඔක්ස්ෆර්ඩ් දේශනයේදී පැවසීය.

දිල්ලිය තුල 144 වගන්තිය ක්‍රියාවේ නොයෙදෙන එකම ස්ථානය ජන්තර් මන්තර් පරිශ්‍රයයි.දේශපාලන ස්ථාපිතය සහ මාධ්‍ය විසින් නොසලකා හරිනු ලැබීම නිසා හෙම්බත්ව සිටින රට පුරා විවිධ පැති වලින් පැමිනෙන ජනතාව,සිය හඩ අවධානයට ලක්වේ යැයි දැඩි ලෙස අපේක්ෂා කරමින් මෙම ස්ථානයේ රැදෙති.මින් ඇතමුන්ට මෙහි පැමිනීමට දීර්ඝ දුම්රිය ගමනක් වැයවේ.බෝපාල් ගෑස් කාන්දුවීමේ ඛේදවාචකයේ වින්දිතයන් වැනි ඇතමුන් සති ගනනක් තිස්සේ පා ගමනින්ම දිල්ලිය වෙත පැමින තිබුනි.අවුවට කැකෑරෙන ( හෝ ශිතලට ගල් ගැසුනු) පදික වේදිකාවේ වඩාත්ම හොදම ස්ථානය අල්ලා ගැනීමට එකිනෙකා සමග පොරබැදීමට මොවුන්ට සිදුවූවත්,ජන්තර් මන්තර් පරිශ්‍රයේ සති ගනන්,මාස ගනන් ඇතැම්විට වසර ගනන් පවා රිසි ලෙස කදවුරු බැදීමට මෑතක්  වන  තුරු ඔවුහු අවසර ලදහ.පොලිසියේ හා විශේෂ කාර්යාංශයේ ක්‍රෝධසහගත රවාබැලීම් මධ්‍යයේ ඔවුහු තමන්ගේ පාට සේදී ගිය බැනර් හා සටන් පුවරු ඔසවති.දුක්ගැනිවිලි රැගත් සංදේශ ඉදිරිපත් කරමින්,උද්ඝෝෂන පවත්වමින්,අවිනිශ්චිත උපවාස ප්‍රකාශයට පත්කරමින් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි  පවත්නා තමන්ගේ භක්තිය අභ්‍යාස කරනු ලබන්නේ මෙම ස්ථානයේදීය.මෙම ස්ථානයේ සිට ඔවුන් පාර්ලිමේන්තුව වෙත පා ගමනින් යාමට වෑයම් කර තිබේ ( නමුත් එය සාර්ථක වූ එකදු දිනයක් හෝ නොවීය) මෙම ස්ථානයේ සිට ඔවුහු එ පිලිබද සිහින මැවූහ.

 කෙසේ වුවද කාලයත් සමග  ප්‍රජාතන්ත්‍රවාදය කාලය ගනන් ගැනීමට යොදාගන්නා තමන්ගේ මිනුම් දඩු  වෙනස් කර තිබේ.සියල්ල දැඩි ලෙස කාර්යාලීය හෝරා වලට - නවයේ සිට පහට සීමා කොට ති‍බේ.අතිකාල නැත.රාත්‍රී වැඩ මුර නැත.මිනිසුන් පැමිනියේ කොයි තරම් ඈතක සිට වුවත්,ඔවුන්ට නගරයේ රෑ ගතකිරීමට වෙනත් තැනක් තිබුනත් නැතත්,ඔවුන් සවස 6 වනවිට ඉවත් නොවුනහොත් බලහත්කාරය යොදා ඔවුන් පලවා හැරෙනු ඇත.පොලිසිය අවශ්‍ය යයි සිතන්නේ නම් මේ සදහා බැටන් පොලු හා ජල ප්‍රහාර යොදාගනී.මෙම නව කාල මිනුම් දඩු ස්ථාපනය කරන ලද්දේ නව දිල්ලිය සත්කාරය සපයන 2010 පොදු රාජ්‍ය මන්ඩලීය ක්‍රිඩා උලෙලේ කටයුතු සුමුදු ලෙස ගලා යාම සහතික කරනු පිනිසය.නමුත් කිසිවෙක් පැරනි කාල මිනුම් දඩු නැවත ස්ථාපනය කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වන්නේ නැත.සමහර විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමරනු වස් සංවිධානය කෙරෙන උත්සවයක් වෙනුවෙන් හිලවු කිරීමට අපගේ ප්‍රජාතන්ත්‍රවාදය තුල ඉතිරිව තිබෙනුයේ මෙවැනි දේවල් කිහිපයක් පමනක් විය හැක.ඇතැම්විට මෙය එක් රැයක් තුලදී ලක්ෂ හතරකට ආසන්න ජනතාවකගේ නිවාස සමතලා කරනු ලැබ ඔවුන් නගරයෙන් ඉවතට පන්නා දමනු ලැබීම හා සැසදිය හැක.ඇතැම්විට වෙලදාමේ අයිතිය ඩැහැ ගැනීමට නාගරික සාප්පු සංකීර්නයන්ට අවස්ථාව ලබාදෙමින් සිය දහස් ගනන් පදික වෙලෙදුන්ගේ ජීවිකාව ශ්‍රේෂ්ඨාධිකරන නියෝගයක් මත උදුරා ගනු ලැබීම සමග.නැතිනම් දස දහස් ගනන් යාචකයන් නගරයෙන් එපිටට නැව්ගත කරන අතර අහස්පාලම්,උමං මාර්ග,ඔලිම්පික් පන්නයේ පිහිනුම් තටාක,ව්‍යායාම සදහා වූ අංගන හා ක්‍රීඩකයන් සදහා සුඛෝපභෝගී නවාතැන් පර්යන්ත ඉදිකරනු පිනිස තවත් දස දහස් ගනන් ගැලී වහලුන් නගරය තුලට ආනයනය කිරීම සමග එය සැසදිය හැක.පැරනි අධිරාජ්‍යය තවදුරටත් නොපවතිනවා විය හැක.නමුත් පැහැදිලිවම දාසභාවය පිලිබද අපගේ දීර්ඝ සම්ප්‍රදාය ව්‍යවසායන් සදහා ලාභ උපයා දෙන උල්පතක් ලෙස ක්‍රියාකරමින් තවදුරටත් යාවත්කාලීන වෙමින් පවතී.

දිල්ලියේ සිදු කෙරෙන ගොවින්ගේ උද්ඝෝෂනයක් 
මා ජන්තර් මන්තර් පරිශ්‍රයට පැමින සිටියේ රට පුරා විවිධ නගර වලින් ආ පදික වේදිකාවාසීන් සමූහයක් මූලික අයිතිවාසිකම් කිහිපයක් සම්බන්ධව හඩ නැගීම සදහා එහි පැමින සිටි බැවිනි.ඔවුන්ගේ උද්ඝෝෂනය දැකබලා ගැනීම මාගේ නිෂ්ඨාව වූයේය.ඔවුන්ගේ ඉල්ලීම් සරලය.නිවසක් සදහා වූ අයිතිය.ආහාර සදහා අයිතිය ( සලාක කාඩ් පත්) ජීවිතය සදහා අයිතිය ( පොලිසියේ හා නගර සභා නිලධාරීන්ගේ දාමරිකකම් හා මෘග සැලකීම් වලින් ආරක්ෂාව)

මේ හේමන්තු සෘතුවේ ආරම්භක කාලයයි.සූර්යයා තියුනු වූවත් තවමත් ශිෂ්ටසම්පන්නභාවයක් පෙන්නුම් කරයි.මා මේ කියන දෙය ඇතැම්විට දරුනු දෙයක් විය හැකි නමුත් සත්‍යය මෙයයි - ඔබට මදක් ඈතක සිටියදී වුවද උද්ඝෝෂනයේ "සුවද" දැනෙනු ඇත.ඒ වු කලී වසර ගනනක් පුරා,ඇතැම්විට ජීවත කාලයක් පුරා සෞඛ්‍යය හා පිරිසිදුකම වැනි මනුශ්‍යන්ගේ (ඇතැම්විට සතුන්ගේ යැයි කිව හැක) මූලික අවශ්‍යතා පවා සපුරාගැනීම අහිමි කරවනු ලැබූ,අවමානුශිකකරනයට ලක්කල දහස් ගනන් මිනිස් ශරීර වලින් පැන නැගි සාමූහික දුර්ගන්ධයයි.අපගේ මහා නගර විසින් පදම් කරනු ලැබූ මස් සහිත ශරීර,දරුනු දේශගුනික පීඩාවන්ගෙන් කිසිදු ආරක්ෂාවක් නොලැබූ ශරීර,පිරිසිදු ජලය සදහා ප්‍රවේශයක් නොමැති,පිරිසිදු වාතය,සනීපාරක්ෂාව හෝ වෛද්‍යමය රැකවරනය අහිමි කරවනු ලැබූ ශරීර.මෙම මහා රාජ්‍යයේ කිසිවක් - ප්‍රගතිශීලි ව්‍යාපෘති යැයි සැලකුනු ව්‍යාපෘතිද ඇතුලත්ව - මොවුන් වෙත සහනයක් වී නැත. මෙම ජනයා සදහා පහසුකම් සැලසීමට කිසිදු නාගරික ආයතනයක් මේ වනතාක් බිහිවී නැත.ජවහර්ලාල් නේරු ජාතික නාගරික ප්‍රතිසංස්කරන වැඩපිලිවෙල වේවා,වෙනත් මුඩුක්කු සංවර්ධනය කිරීමේ,රැකියා උත්පාදනය කිරීමේ හෝ සුබසාධනය සැපයීමේ ව්‍යාපෘතියක් වේවා - කිසිවක්ම නැත.අඩුම තරමින් කසල බැහැර කිරීමේ ව්‍යාපෘතියක සහයෝගයවත් මොවුන්ට ලැබී නැත.මෙම ජනතාව මලපහ කරන්නේ කසල ගොඩවල් මත හිදගෙනය.ඔවුහු විවිධ යෝජනා ක්‍රම හා ආයතන අතර ඇති වී තිබෙන ඉරි තැලීම් තුල ජීවත් වන හුදු සෙවනැලි බවට පත්වූ මිනිස්සු වෙති.ඔවුන් නිදන්නේ වීදිවලය.කන්නේ වීදිවලය.ආදරය කරන්නේ වීදිවලය.දරුවන් වදන්නේ වීදිවලය.දූෂනයට ලක්වන්නේ වීදිවලය.එලවලු කපන්නේ,රෙදි හෝදන්නේ,දරුවන් ඇතිදැඩි කරන්නේ ජීවත් වන්නේ හා මිය යන්නේ වීදිවලය.

සිනමා තාක්ෂනය යනු ආඝ්‍රානය පිලිබද සංවේදනයන්ද ප්‍රකාශයට පත් කල හැකි කලා මාධ්‍යයක් නම් - වෙනත් වචන වලින් කියනවා නම් සිනමාපට තුලින් ගද සුවද දනවන්නට හැකි නම්,ස්ලම් ඩෝග් මිලියනයර් වැනි චිත්‍රපට කිසිවිටෙක ඔස්කාර් සම්මාන නොදිනනු ඇත.මේ වර්ගයේ දරිද්‍රතාවයක් තුලින් පැන නැගෙන දුර්ගන්ධය - එය උනුසුම් පොප් කෝන් වල පුසුඹ සමග කිසිසේත් මුසු වන්නක් නොවේ.

මෙදින ජන්තර් මන්තර් පරිශ්‍රයේ උද්ඝෝෂනය සදහා සහභාගී වෙමින් සිටින පිරිස අඩුම තරමින් ස්ලම් ඩෝග්ස් ලා - මුඩුක්කු සුනඛයන් හෝ නොවෙති.මොවුන් පදික වේදිකා වාසීන්ය.ඔවුන්ට ජීවත් වීමට මුඩුක්කුවක්වත් නැත.මේ අය කවුද?මොවුන් පැමිනියේ කොහේ සිටද?මේ වනාහි දිදුලන ඉන්දියාවේ සරනාගතයෝ වෙති.මොවුහු උන්මන්තක ස්වරූපයක් උසුලන නිෂ්පාදන ක්‍රියාවලියක් තුලදී විෂ සහිත දෙයක් ලෙස බැහැර කරන ලද මිනිසුන් කොට්ටාශයකි.මොවුහු ග්‍රාමීය ජීවිතයේ කම්කටොලු,මන්දගාමීව පැතිරෙන හාමත,ගංවතුර හා නියග ( මේවා බොහෝ විට මිනිසුන් විසින්ම නිර්මානය කල ඒවාය),පතල් කැනීම්,වානේ කම්හල් සහ ඇලුමිනියම් ආකර,සුපිරි මාර්ග හා අධිවේගී මාර්ග ඉදිකිරීම්,නිදහස ලැබූ දා පටන් ඉදිකරන ලද විශාල පරිමාන වේලි 3 300 හා දැන් ඉදිකෙරෙන විශේෂ ආර්ථික කලාප යනාදිය නිසා අවතැන් වූ,උන්හිටි තැන් අහිමි වූ මිලියන හැටකට ආසන්න ජනතාවකගේ නියෝජිතයන් පිරිසක් වෙති.මොවුන් ඉන්දියාවේ ජීවත් වන දෛනික ආදායම රුපියල් විස්සට අඩු මිලියන 830 ක් වූ ජනතාවගේ කොටසකි.මොවුහු ධාන්‍ය ආහාර ටොන් මිලියන ගනන් ආන්ඩුවේ ගබඩා වලදී මීයන් විසින් කා දැමෙන අතරතුර හෝ තොග පිටින් පුලුස්සා දැමෙන අතරතුර ( දුගීන්ට නොමිලේ බෙදා දෙනවාට වඩා අතිරික්ත ආහාර තොග පුච්චා දැමීම වඩා වියදම් අඩුය) සාගතයෙන් බැට කන ජනයා වෙති.අප රටේ මිලියන ගනනක් වූ මන්දපෝෂනයෙන් පෙලෙන දරුවන්ගේ දෙමව්පියන් මොවුන්ය.එම දරුවන් අතුරින් සෑම වසරකදීම මිලියන දෙකක් වයස අවුරුදු පහ සම්පූර්න වීමට පෙර මියයති.නව ඉන්දියාව ගොඩනගනු වස් නගරයෙන් නගරයට ප්‍රවාහනය කෙරෙන මිලියන සංඛ්‍යාත ජංගම කුලීකරුවන්ගේ ගොඩට මොවුන් අයත්ය."නූතන සංවර්ධනයේ ඵල" භුක්ති විදීම යන්නෙන් අදහස් වන‍්නේ මෙයද?

ත්‍රස්තවාදී තර්ජන හා මැලේරියා ඩෙංගු  වසංගත රෝගවල තර්ජන මධ්‍යයේ බොහෝ ජාත්‍යන්තර මලල ක්‍රීඩකයන් සහභාගී වීමත් ප්‍රතික්ෂේප කොට තිබෙන,පුරා සති දෙකක කාලයක් පුරා පැවැත්වෙන ක්‍රීඩා සැනකෙලියක් වෙනුවෙන් මහජන මුදල් වලින් ඩොලර් බිලියන 9 ක් වියදම් කිරීමට තරම් තමා සවිමත් බව සිතන ආන්ඩුවක් ( මෙම මුදල් වටිනාකම මූලික ඇස්තමේන්තුව මෙන් 2000%ක වැඩිවීමකි ) එබදු ආන්ඩුවක් පිලිබදව මොවුන්  - මෙම ජනතාව කෙසේ කල්පනා කරනු ඇද්ද?මේ වූ කලී පොදු රාජ්‍ය මන්ඩලයේ නාමික ප්‍රධානියා වන එංගලන්තයේ මහ රැජින තමන්ගේ ඉතාම වගකීම් විරහිත සිහිනයකදීවත් මුලසුන දැරීමට නොපෙලඹෙන පන්නයේ සැනකෙලියකි.මෙම බිලියන ගනනක මුදලින් විශාල ප්‍රතිශතයක් දේශපාලඥයන් හා ක්‍රීඩා නිලධාරීන් විසින් සොරාගෙන හා සගවාගනු ලැබ තිබේ යන කරුන පිලිබද ඔවුන් කුමක් සිතනු ඇද්ද?ඔවුන් ඒ පිලිබද එතරම් නොසිතනු ඇතැයි මම අනුමාන කරමි.මන්ද රුපියල් විස්සකටත් වඩා අඩු දෛනික ආදායමකින් යැපෙන මෙම මිනිසුන්ට එබදු පරාසයක ධනස්කන්ධයක් යනු විද්‍යා ප්‍රබන්ධයකටත් වඩා සිතාගත නොහැකි ප්‍රබන්ධයකි.එලෙස වියදම් වන ධනය කෙරෙහි තමන්ටත් අයිතියක් තිබෙන බව ඔවුන්ට නොවැටහේ.සොරාගන්නා මුදල් මැතිවරන මිලදී ගැනීම සදහා පෙරලා යොදාගනිමින්,ඉන්දියාවේ දූෂිත දේශපාලන නායකයන්ට නැවත නැවතත් මැතිවරන වලින් බලයට ඒමට හැකිව තිබෙනුයේ මේ නිසාය.
( එසේ බලයට ආ පසු මවාගත් එඩිතරභාවයකින් යුක්තව මොවුහු මෙසේ ප්‍රශ්න කරති."ඇයි මාඕවාදීන්ටත් ඡන්ද වලට ඉදිරිපත් වෙන්න බැරි?")

ඒ දීප්තිමත් දිනයේ එම මලානික සෙනග අතර සිටියදී මේ රටේ ජනතාවන් විසින් දියත් කරන ලද නොයෙක් සටන් හා අරගල මා සිහියට ආවේය.නර්මදා නිම්නයේ,පොලාවරාම් හි,අරුන්චාල් ප්‍රදේශ්හි මහා වේලිවලට විරුද්ධව,ඔරිස්සාවේ චත්තිස්ගාර් හා ජාර්ක්ලනද්හි පතල් හෑරීමට විරුද්ධව,ලාල්ගාර්හි ආදීවාසීන් විසින් පොලිසියට එරෙහිව,රට පුරා විශේෂ ආර්ථික කලාප සහ කර්මාන්ත වෙනුවෙන් ඉඩම් බලෙන් අත්පත් කරගැනීමට විරුද්ධව ඇති වූ අරගල පිලිබදව මම කල්පනා කලෙමි.සිය ඉරනම පරාජය කරනු වස් අවුරුදු කීයක් ( අනේක විධ ආකාර වලින්) මෙම ජනතාවන් සටන් කර තිබේද?මාසි,නර්මදා,රූපී,නිටි,මන්ග්ටු,මාධව්,සරෝජා,රාජු,ගුඩ්සා උසෙන්දි හා කම්ලා සහෝදරිය ( ඇය මා මාඕවාදින් සමග වනාන්තරයේ ජීවත් වූ කාලයේ මාගේ තරුන ශරීරාරක්ෂිකාව ලෙස ක්‍රියා කලාය) සිය ගිනි අවි උර මත දරාගෙන සිටිනා දර්ශනය මා මතකට ආයේය.මා නොබෝ දිනෙකට පෙර ඇවිද ගිය වනාන්තරයේ ශ්‍රේෂ්ඨ ගෞරව සම්ප්‍රයුක්තභාවය හා වියරු වැටුනු ජාතියක වේගවත් හද ගැස්මෙහි රිද්මය බදු වූ බස්තාර්හි භූම්කාල් සැමරුම් උත්සවයේදී වැයුනු ආදිවාසී බෙර වාදනයන්ගේ රිද්මය පිලිබද මම කල්පනා කලෙමි.

ව්රාන්ගල් දක්වා මා සමග ගමන් කල පද්මා පිලිබද මම සිතුවෙමි.ඇය තවම අවුරුදු තිස්ගනන් වල පසුවූවත් ගරාදි පෙලට වාරු වී‍ ශරීරය අද්ද අද්දා මිස පඩිපෙලවල් නැගීමට ඇයට නොහැක.ඇපෙන්ඩික්ස් ශල්‍ය කර්මයකට භාජනය වී සතියක් යාමට මත්තෙන් ඇයව අත්අඩංගුවට ගනු ලැබ තිබුනි.අභ්‍යන්තර රුධිර වහනයකට ලක්වන තුරුම සිරගෙය තුලදී ඇයට පහර දෙනු ලැබූ අතර අවසානයේ ඇ‍ගේ ශරීරාවයවයන් කිහිපයක් මේ නිසා ඉවත් කිරීමට සිදුවිය.ඇයගේ දනහිස් කුඩුකරන අතරතුර එහි අරමුන පැහැදිලි කරමින් පොලිසිය කාරුනිකව විස්තර කරන ලද්දේ "ඇය තවදුරටත් වනාන්තරය වෙත ඇවිදීම වලක්වනු වස්" තමන් එය සිදුකරන බවයි.වසර අටක් සිරබත් කෑමෙන් පසු ඇය නිදහස ලැබුවාය.දැන් ඇය ‘Amarula Bhadhu Mitrula Committee’ නම් වූ සංවිධානයේ කැදවුම්කාරිනියයි.යුද්ධයේදි මිය ගිය අයගේ ඥාතීන් හා මිතුරන්ගෙන් මෙම සංවිධානය සෑදී තිබේ. ව්‍යාජ වැටලිම් වලදී මරා දැමෙන පුද්ගලයන්ගේ සිරුරු යලි සොයාගැනීම සදහා මෙම සංවිධානය මහන්සි ගනී.තමාට සොයාගත හැකි කවර හෝ ප්‍රවාහන මාධ්‍යයක් - බොහෝවිට මෙය ට්‍රැක්ටරයකි- උපකාරී කරගනිමින් උතුරු ආන්ද්‍රා ප්‍රදේශයේ ඉහල පහල ගමන්කරමින් තම සමීපතමයන්ගේ මල සිරුරු සොයාගැනීමට තරම් හැකියාවක් නොමැති දුප්පත් දෙමව්පියන් හෝ කාලත්‍රයන් වෙනුවෙන් මරා දැමුනු අයගේ මල සිරුරු ප්‍රවාහනය කිරීමෙහි පද්මා යෙදී සිටී.

වෙනසක් උදා කිරීම වෙනුවෙන්,යටත් පිරිසෙන් යුක්තියේ ඡායාවක් හෝ සිය ජීවිත වෙත කැදවා ගැනීම වෙනුවෙන් වසර ගනනක් තිස්සේ,දශක ගනනාවක් පුරාවට සටන් කරනා අයගේ නොපසුබස්නා සුලුබව,ප්‍රඥාව හා ධෛර්ය විස්මය උපදවන සුලුය.ඉන්දියානු රජය පෙරලා දැමීමට වේවා,මහා වේලි වලට එරෙහිව වේවා,එසේත් නැතිනම් හුදෙක් එක් නිශ්චිත විශේෂ ආර්ථික කලාපයකට,පතලකට හෝ වානේ ආකරයකට එරෙහිව වේවා හටගත් ඕනෑම අරගලයක පොදු සාරය වන්නේ ඒ එක් එක් ජනතාවෝ සටන් කරන්නේ ඔවුන්ගේ ගෞරවය සදහා වීමයි.මනුශ්‍යයන් ලෙස ජීවත් වීමට හා මනුශ්‍යයන් වශයෙන් හදුනාගනු ලැබීමට තිබෙන අයිතිය වෙනුවෙන් වීමයි. ඔවුන්ට සටන් කිරීමට සිදුව තිබෙන්නේ  "නූතන සංවර්ධනයේ ප්‍රතිලාභ" යනුවෙන් පාලකයන් පම්පෝරි ගසන දෙය හුදෙක් මහමග පසෙක තිබෙන ගව මලකුනක් වාගේ ගදගසන දුගද හමන දෙයක් පමනක් බව ඔවුන් අත්දැක තිබෙන නිසාය.

Wednesday, April 10, 2013

මාග්‍රට් තැචර් ගේ හම්බන්තොට අවතාරය



සටහන - එංගලන්තයේ හිටපු අගමැතිනියක වූ මාග්‍රට් තැචර් මිය ගොස් තිබේ. පහත පලවන්නේ 2012 අගෝස්තු මාසයේ දී මෙම ලියුම්කරු විසින් ජනරල පුවත්පතට සපයන ලද ලිපියකි .මෙය ලියන ලද්දේ රට තුල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කීපයක් දියත් වෙමින් තිබුනු වකවානුවකය. තැචර්ගේ මරනයත් සමග තැචර්වාදයේ උරුමය ගැන මතු වී තිබෙන සංවාදයට වැදගත් විය හැකි යැයි සිතන නිසා එම ලිපිය නැවත පල කෙරේ.


***

2012 අගෝස්තු 4 වනදා ඉරිදා අයිලන්ඩ් ඉංග්‍රීසි පුවත්පතට සපයන සිය දේශපාලන ලිපිය සී.ඒ.චන්ද්‍ර ප්‍රේම අවසාන කරන්නේ පහත වචන වලිනි.

" මහින්ද රාජපක්ෂට අද ලංකාවේ තිබිය යුත්තේ බ්‍රිතාන්‍යය තුල මාග්‍රට් තැචර් සතුව පැවැති ප්‍රතිරූපයයි.තැචර් යකඩ කාන්තාව ලෙස විරුදාවලි ලද්දේ ඇය බ්‍රිතාන්‍යය වෙනුවෙන් යුද්ධ දිනූ නිසා නොව වෘත්තීය සමිති කුඩුපට්ටම් කොට බ්‍රිතාන්‍යය විනාශයකින් ගලවාගත් නිසාය"

සී.ඒ.චන්ද්‍රප්‍රේම මෙම ලිපියේ සංස්කරනය කල සිංහල පරිවර්තනයක් ඊට පසු දින සිංහල දිවයින පුවත්පතේද පලකොට තිබුනි.උත්ප්‍රාසාත්මක ලෙස ඔහුගේ දිවයින කොලමේ නම  "වම් ඉවුර" යි.

මෙරට සිවිල් යුද්ධය අලලා  "ගෝඨාගේ යුද්ධය" නමින් කෘතියක් මෑතකදී පලකල චන්ද්‍රප්‍රේම රාජපක්ෂ රෙජිමයේ ක්‍රියාවන් සදහා විදග්ධ ස්වභාවයේ ආවරනයන් සපයන පුවත්පත් න්‍යායධරයන් කිහිපදෙනා අතර ප්‍රමුඛයෙකි. ඔහුගේ විශේෂත්වය නම් කිව යුත්ත නොවලහා ප්‍රකාශ කිරීමයි. මේ අනුව රාජපක්ෂ රෙජිමය තැචර් පන්නයේ පාලනයක් විය යුතු බවට ඔහු කරන  ප්‍රකාශය ආන්ඩුවේ දෘෂ්ටිකෝනයෙන් සැලකූ කල්හි මේ මොහොතේ මග හැර යා නොහැකි යෝජනාවකි.

මාග්‍රට් තැචර් යනු '80 දශකයේදී බ්‍රිතාන්‍යය තුල නව ලිබරල්  ආර්ථික ප්‍රතිසංස්කරන ක්‍රියාවට නැංවීම සදහා මූලිකත්වය ගත් අගමැතිවරියයි. ඇය අනුදත් පාලන ක්‍රමවේදය තැචර්වාදය නමින් ප්‍රචලිත වූ අතර බ්‍රිතාන්‍ය දේශපාලන විචාරකයෙක් වන ඇන්ඩෘ ගැම්බ්ල් තැචර්වාදයේ හරය මෙලෙස සාරාංශගත කරයි. :-  "විවෘත ආර්ථිකයක් සහ බලසම්පන්න ආන්ඩුවක්"

තැචර් පාලන සමය තුල රාජ්‍ය සුබසාධන වියදම් කපා දැමීම හා පෞද්ගලිකකරනය බදු නව ලිබරල්වාදී ක්‍රියාමාර්ග මහා පරිමානයෙන් ක්‍රියාවට නැංවුනි. රාජ්‍යයට පලදා තිබූ සුබසාධනවාදී වස්ත්‍ර ඇය එකින් එක කීතු කීතු කලාය. බ්‍රිතාන්‍යය තුල තදින් මුල්බැසගෙන තිබුනු වෘත්තීය සමිති ව්‍යපාරයේ කශේරුව ඇය විසින් නිර්දය ලෙස බිදහෙලන ලදී.1984 එරට පතල්කරුවන් විසින් දියත් කල අවුරුද්දක් පමන දිග්ගැස්සුනු වැඩවර්ජනය ඇය වෘත්තීය සමිති ව්‍යාපාරය සමග නිර්දය ලෙස මර්දනකාරීව අභිමුඛ වූ තීරනාත්මක අවස්ථාවයි. එහිදී තැචර්ගේ ප්‍රහාරයෙන් බිදී විසිරී ගිය එරට වෘත්තිය සමිති ව්‍යාපාරය අද වනතුරුම එය සතුව 60 හා 70 දශකවල තිබුනු ශක්තිය අත්පත් කරගැන්මට සමත් වී නැත.

ආර්ථික ලිබරල්වාදයට හා දේශපාලන අධිකාරිවාදයට අමතරව තැචර්වාදයේ අනෙත් මුහුන වූයේ සංස්කෘතික ගතානුගතිකත්වයයි. වික්ටෝරියානු සංස්කෘතික හා සදාචාර සම්මතයන් කෙරෙහි අනුග්‍රහශීලී ආකල්පයක් දැක්වූ තැචර් පාලනය සදාචාර ප්‍රමිතීන් මත එංගලන්තයේ වීඩියෝ කැසට් වෙලදපොල නියාමනය කිරීමට ඉදිරිපත් වූ පලමු ආන්ඩුව ද විය. මාක්ස්වාදී විචාරක ස්ටුවර්ට් හෝල් මෙම තත්වය එකල හැදින්වූයේ අධිකාරිවාදී ජනප්‍රියවාදයක් ( authoritative populism ) වශයෙනි.

තැචර්වාදයේ ඉහත සියලු ලක්ෂන මහින්ද රාජපක්ෂ රෙජිමය තුලින්ද අඩු වැඩි වශයෙන් පරාවර්තනය වන්නේය. රාජපක්ෂ ආන්ඩුව යනු ආර්ථික ලිබරල්වාදය දේශපාලන අධිකාරිවාදය හා සංස්කෘතික ගතානුගතිකවාදය යන ත්‍රිවිධ උපනතීන්ගේ සංයුක්තයකි. සිංහල ජාතිකවාදය හා බෞද්ධ සදාචාරවාදය සිය පාලක දෘෂ්ටිවාදය බවට පත්කරගෙන තිබෙන එය ජනප්‍රියවාදී ආකාරයකින් විවිධ සමාජ පංති හා කන්ඩායම් සිය බලපෑම යටතේ රදවා ගනිමින් සිටී. ‍ආන්ඩුවේ තනි පක්ෂ ඒකාධිපති හැසිරීම හේතුවෙන් මෙම ජනප්‍රියවාදය අධිකාරිවාදී එකකි.

රාජපක්ෂ රජය පසුගිය සතිය තුල වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගනනාවකට මුහුන පෑවේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි ස්ථාවරයක් දැරූ වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකුගේ නිවෙසට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම මත වෛද්‍යවරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එලැඹුනහ. අනධ්‍යන හා ආචාර්ය සේවක මන්ඩලවල වෘත්තිය ක්‍රියාමාර්ග නිසා මෙරට ජාතික  විශ්ව විද්‍යාල පද්ධතිය මාස හතරකට ආසන්න කාලයක් මේ වනවිට අක්‍රීයව පවතී. වෘත්තිය සංගම්වල මෙම ප්‍රතික්‍රියාවන් සෘජුව හෝ වක්‍රව අධ්‍යාපනය පුද්ගලිකකරනය සම්බන්ධ ආන්ඩුවේ නවලිබරල්වාදී ප්‍රවේශයට ප්‍රතිචාරීව මතුවූ ඒවා වේ. ඊට අමතරව විදුලි සේවකයන්ගේද බරපතල වැඩවර්ජනයක් පසුගිය සතියේ උද්ගත විය.

මෙවැනි ප්‍රතිවිරෝධතා හොදින් හෝ නරකින් බිද හෙලීමෙන් තොරව රාජපක්ෂට සිය ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට පවත්වාගෙන යා නොහැක. දිවයිනට  "වම් ඉවුර"  ලියන උග්‍ර දක්ෂිනාංශිකයා පවසන ආකාරයට තැචර් පන්නයේ යකඩ මිනිසෙකු වීමට මේ අනුව ඉදිරියේදී මහින්ද රාජපක්ෂට තත්වයන් විසින් බලකරනවා ඇත. තැචර් හා වෘත්තිය සමිති පිලිබද සංවාදයන්හිදී ඉංග්‍රීසි පුවත්පත් නිතර උත්ප්‍රාසයෙන් උපුටා දක්වන ඇය විසින් බලයට ඒමට පෙර 1975දී කල ප්‍රසිද්ධ ප්‍රකාශයක් තිබේ. එම ප්‍රකාශයේදී ඇය කියන්නේ වෘත්තිය සමිති වලට අවසර දීම පමනක් නොව ඒවාට උදවු කිරීමත් නීතියේ යුතුකම බවයි. පසුකාලීනව එංගලන්තයේ වෘත්තීය සමිති නාශකයා බවට පත්වූයේ මුල්කාලයේ වෘත්තිය සංගම් හිතවාදයක් ප්‍රකට කල මෙම තැචර්මය. මහින්ද රාජපක්ෂ යනු හිටපු  "කම්කරු නායකයෙකි". ඔහුගේ න්‍යායාචාර්යවරුන්ට වෘත්තිය සමිති කුඩුපට්ටම් කරන ලෙස එම  කම්කරු නායකයාගෙන් මැ යදිමින් පුවත්පත් ලිපි ලිවීමට සිදුව තිබීම ඉතිහාසයේ සරදමකි.

( 2012 අගෝස්තු - ජනරල )