Friday, October 18, 2013

එල්ටීටීඊ කිසිවෙක් මිනිසෙක් නොවේ

ත්‍රස්තවාදීන්ට මානව හිමිකම් වලංගු නැති බව අගවිනිසුරු මොහාන් ද සිල්වා තීරනය කොට තිබේ. ඔහු මේ තීන්දුව පසුගිය ඔක්තෝබර් 14 වන දා ලබා දුන්නේ 2012 දී වවුනියාව බන්ධනාගාරයේදී රැදවියන් හා බන්ධනාගාර නියාමකයින් අතර ඇති වූ ගැටුමේදී මරා දමන ලද ගනේෂන් නිමලරූබන් ගේ මවුපියන් ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත දමමිනි. උසස් පෙල තර්ක ශාස්ත්‍රය හදාරන සිසුන්ට උත්තර පත්‍ර වල ලිවීම සදහා අපූරු "E ප්‍රස්තුතයක්" මේ අනුව අගවිනිසුරු ඉදිරිපත් කොට ඇත. කිසිදු ත්‍රස්තවාදියෙක්ට මානව හිමිකම් අදාල නැත.එම නිසා කිසිදු එල්ටීටීඊ සැකකරුවෙක් මිනිසෙක් නොවේ.

"චෙච්නියාවේදී වගේ කල හැකි ප්‍රබලම විදිහට ත්‍රස්තවාදය සමග ගනුදෙනු කල යුතුයි. නිමලරූබන් යනු ත්‍රස්තවාදියෙක්. ඔහුට වෙනත් ආකාරයකට සැලකිය හැකිද?" අගවිනිසුරු පෙත්සම්කරුවන්ගේ නීතිඥයා අමතා විවෘත අධිකරනයේ එසේ ප්‍රකාශ කල බව කලම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ්අඩවිය වාර්තා කර තිබුනි. වවුනියාව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම නිසා සැකකරුවන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවන ලද අතර නිමලරූබන් එහිදී මියයන තුරු පහර කෑමට ලක්විය. නිල පැහැදිලි කිරීම වූයේ මරනයට හේතුව හෘදයාබාධයක් බවයි. එහෙත් පශ්චාත්-මරන පරීක්ෂනය ශරීරය මතුපිට බරපතල තුවාල පිලිබද සදහන් කල අතර නඩුව පැවරූ ඔහුගේ දෙමාපියන් ඉල්ලා සිටියේ මරනයට සැබෑ හේතුව හෙලි කරන ලෙසයි.

නිමලරූබන්ගේ නඩුවට අත් වූ ඉරනම එක්සත් ජනපදයේ දී කාලිඩ් එල් මස්රිගේ නඩුවට අත්වූ ඉරනම සිහිගන්වයි. එල් මස්රි 2001-2005 කාලය තුල සීඅයිඒ සංවිධානය විසින් පැහැර ගෙන රදවාගනු ලැබී යැයි සැලකෙන රැදවියන් 3000 අතරින් එක් අයෙකි. යුරෝපයේදී පැහැර ගනු ලැබ ඇෆ්ගනිස්ථානය ‍වෙත ඔහු ගෙන යනු ලැබූ අතර, එහිදී ලිංගික වධ හිංසා ඇතුලු දරුනු වධ බන්ධනයන්ට ඔහු ලක්විය. 2006 දී ඔහු සිය මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව එක්සත් ජනපද අධිකරනය ඉදිරියේ නඩු පැවරූ කල්හි  "රාජ්‍ය රහස්" පිලිබද වරප්‍රසාදය යටතේ මෙම නඩුව ඇසීම අධිකරනය ප්‍රතික්ෂේප කලේය. නඩුව ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ ගොනු කල විට ලිබරල් එක්සත් ජනපදයේ විනිසුරුවරු එය ඇසීම ප්‍රතික්ෂේප කලහ.

ලංකා රජයට නිමලරූබන් "ත්‍රස්තවාදයෙක්" වන්නේ යම් සේද එක්සත් ජනපද රජයට කාලිඩ් එල් මස්රි ද "ත්‍රස්තවාදියෙකි" . මෙහිදී "ත්‍රස්තවාදියා" යනු කවුදැයි නිර්වචනය කරන්නේ කවුද? ඒ නිර්වචනය කිරීමේ හැකියාව ලැබෙන්නේ බලවතාටය.ආධිපත්‍යධාරියාටය. ඇෆ්ඝනිස්ථාන දුර්ග වලදී කුඩා ලමුන් මත අදටත් දිනපතා බෝම්බ අත්හරින එක්සත් ජනපද රෙජිමය "ත්‍රස්තවාදී" එකක් නොවී එක්සත් ජනපදය සමග හැප්පෙන්නන් පමනක් ත්‍රස්තවාදීන් වන්නේ කෙසේද? සිවිල් යුද්ධයේ අවසාන භාගයේදී ශෙල් ප්‍රහාර එල්ල කොට දෙමල සිවිල් වැසියන් සමූහ වශයෙන් ඉවක් බවක් නැතිව මරා දැමූ ලංකා රජය ත්‍රස්තවාදී එකක් නොවී එල්ටීටීඊ සටන්කරුවන් පමනක් ත්‍රස්තවාදීන් වන්නේ කෙසේද? "ත්‍රස්තවාදියා" යනු මේ අනුව විෂයමූලික ඇත්තක් නොව කතිකාමය ගොඩනැංවීමකි.

නීතියේ දර්ශනය තුල 'නීතිය යනු කුමක්ද?' යන ප්‍රශ්නයට ලිබරල් කතිකාව තුල එන පිලිතුර ගලා එන්නේ සමාජ සම්මුතිවාදය තුලින්ය. ඒ අනුව නීතිය යනු පාලකයා සහ පාලිතයා අතර ඇති වූ සම්මුතියකි. රොස්කො පවුන්ඩ්ට අනුව නීතිය යනු ප්‍රතිවිරුද්ධ අභිලාෂයන් සහිත සමාජ කන්ඩායම් අතර ඇති වන ගැටුම් වලදී සංහිදියාවක් ඇති කිරීමට මැදිහත් වන බේරුම්කරුවෙකි. නීතිය පිලිබද මෙම 'සම්මුති න්‍යාය' තුලින් යෝජනා කෙරෙන අදහසට පටහැනිව නීතිය පිලිබද 'ගැටුම් න්‍යාය' යෝජනා කරන්නේ නීතිය යනු ප්‍රතිවිරුද්ධ අභිලාෂ සහිත කන්ඩායම් අතර අරගලයේදී වඩා බලගතු කන්ඩායමට පක්ෂපාතීව ක්‍රියා කරන, එම බලගතු කන්ඩායමේ අපේක්ෂාවන් සමග තදින් වෙලී තිබෙන ව්‍යුහයක් වශයෙනි.

ලංකා දේශපාලන ඉතිහාසය තුල වරින් වර ඉස්මතු වන,  එකිනෙක හා පොර බදිමින් සිටින ප්‍රධානම ප්‍රතිවිරෝධතාවයන් වන්නේ පංති අනන්‍යතා අතර ප්‍රතිවිරෝධය සහ වාර්ගික අනන්‍යතා අතර ප්‍රතිවිරෝධයයි. මේ ගැටුම්මය සන්දර්භයන් තුල ලංකා රාජ්‍යය ගොඩ නැගී තිබෙන්නේ කෙසේද? එක් අතෙකින් එය ධනේශ්වර රාජ්‍යයකි. එනම් එය ධනපති පංතියේ අභිලාෂයන් සමග සමීපව සන්ධානගත වී සිටී. ඒ වගේම එය සිංහල-කේන්ද්‍රීය රාජ්‍යයකි. එනම් සිංහල වාර්ගික අභිලාෂයන් හා දෙමල වාර්ගික අභිලාෂයන් අතර ගැටුමේදී එය බහුතර සිංහල අභිලාෂයන් සමග සමීපව සන්ධානගත වී සිටී. නීතිය තුල පරාවර්තනය වන්නේ මෙන්න මේ  බල සම්බන්ධතාවයේ ඡායාවයි.


'ගරු අධිකරනය' ඇස් රෙදි කඩෙකින් වැසූ නීතියේ කන්‍යාව රජකරන යුක්තියේ දෙවොල යැයි සිතා එය ඉදිරියේ හිස් පාත් කරන සියල්ලන් දැන ගත යුත්තේ 'ගරු අධිකරනයේ අපක්ෂපාතීත්වය' සහ 'ස්වාධීනත්වය' යනු පට්ටපල් බොරුවක් බවයි. එවැනි ස්වාධීන අධිකරන ලෝකයේ කොහේවත් නැත. කාලිඩ් එල් මස්රි ගෙන් ජීවමානව මූර්තිමත් වන්නේ එක්සත් ජනපදයේ නීතිය සහ අධිකරනය පවා එරට බලගතු සමාජ කන්ඩායම් වල අපේක්ෂාවන් හා සන්ධානගතව සිටින ආකාරයයි. සිංහල මහජාතිවාදයට අනුව නිරායුධ ගනේෂන් නිමලරූබන් මැරී වැටෙන තුරු පහර දීම වරදක් නොවේ. ඒ අනුව "නීතිය ඉදිරියේද" එය වරදක් ‍නොවේ. රාජ්‍යයේ සෑම උපකරනයකම ඇට මිදුලු තුලට සිංහල මහජාතිවාදය කිදා බැස තිබෙන්නේ ඒ ආකාරයටය. මෙය හුදෙක් මොහාන් ද සිල්වා නමැති අගවිනිසුරුගේ හැසිරීම පිලිබද සදාචාරාත්මක ප්‍රශ්නයක් නොවේ. සමාජය තුල ආධිපත්‍යය සහ පීඩනය ආයතනගත වී ඇති ආකාරය පිලිබද දේශපාලන ප්‍රශ්නයකි. 

13 comments:

  1. රාමේ ඔයා චාර්ටර් නේද ? ඔයා කොටින්ගේ සල්ලි වලට බ්ලොග් ලියනවා නේද ? කැතයි අනේ ඔයාගේ වැඩ...

    ReplyDelete
    Replies
    1. ඔවු ඇනෝනිමස්. ඒ උපයා ගත් මහා ධනස්කන්ධය පැකර්-රවි විජේරත්න ඒකාබද්ධ සමාගමේ ආයෝජනය කරන්නත් මම හිතාගෙන ඉන්නවා. අපි කැසිනෝ මන්දිරයේදී මුන ගැසෙමු.

      Delete
    2. //ඒ උපයා ගත් මහා ධනස්කන්ධය පැකර්-රවි විජේරත්න ඒකාබද්ධ සමාගමේ ආයෝජනය කරන්නත් මම හිතාගෙන ඉන්නවා//

      සභාවේ සිනා!

      Delete
    3. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඉතිහාසගත අපේ අභිමානය හා ශ්‍රේෂ්ඨත්වය ලොවටම ප්‍රදර්ශනය වන අයුරින්.ඒකනේ යූඑන් එකට ගිහිල්ලත් නැව් ටෝක් දෙන්නේ

      Delete
  2. All men are equal. But some men are more equal than others.

    ReplyDelete
    Replies
    1. ඔබ මෙයින් අදහස් කරන්නේ ගතානුගතිකත්වයද කකා ...?

      ( මෙතනට අදාළ නැහැ..අර කවිය ගැන මම කියපු දේයින් අදහස් වෙන්නේ නැහැ ඒ කවිය රසවත් නැතැයි කියා )

      Delete
    2. මෙය අලුත් දෙයක් නොවේ. නඩු පැවරීමකින් තොරව දිගින් දිගටම රඳවා තබාගෙන සිටීමට එරෙහිව මම 1991දී පමණ පවරන ලද මානව හිමිකම් නඩුවක් ප්‍රතික්ෂේප කෙරුණේ මතුගම පදිංචිකරුවකු වූ මා මාතර ගියේ කුමටදැයි අසමින්.

      Delete
    3. අජිත් - මාතෘකාවට අදාල නැති කරුනක්. ඒ නඩුවේ විනිශ්චයකාරයා කවුද කියා මතකද?

      Delete
  3. "ත්‍රස්තවාදියා" හෝ "ත්‍රස්තවාදය" යන්නට නිරපේක්ෂ අර්ථ දැක්වීමක් තියනව. වැඩේ තියෙන්නෙ ඒ සූත්‍රයට දැම්මම මිනිස්සු, සංවිධාන, රටවල් ආදියත් ත්‍රස්තවාදී ගොඩට වැටීම.

    ගරු අගවිනිසුරුතුමාගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

    ReplyDelete
  4. මේ පාලනය තුල ඔබට බලාපොරොත්තුවිය හැක්කේ හිස කඳෙන් වෙන්කරවා ගැණීම වැනි උත්තර පමණි. අන් සියල්ලක්ම අතීතය පමණි.

    ReplyDelete
  5. ''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
    http://yawwnayaa.blogspot.com/

    නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
    http://yawvanaya.blogspot.com/

    ඔය දෙකම ලියන්නේ

    පුංචී කුමාරිහාමිද
    චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
    ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ

    මේ තුන්දෙනාම

    එක්කෙනෙක්ද
    දෙන්නෙක්ද
    තුන්දෙනෙක්ද

    ReplyDelete
  6. නිතියත් පාලනය කරන්නෙ මිනිසුන් විසින්.එම නිසා පාලකයාගෙ කැමැත්ත (අදාල විෂය ) තමයි නිතිය
    හය හතර

    ReplyDelete
  7. VERY SIMPLE THEORY IN GEO POLITICS..
    that is "Your Terrorist" and "My Terrorist"

    ReplyDelete