Monday, October 28, 2013

සමාජවාදය පිලිබද මාක්ස්ගේ සංකල්පය - 2 ( එරික් ෆ්‍රොම් )



ගම මිනිසාගේ සැබෑ අවශ්‍යතා පූර්නය නොකරන නිසාත්, එය එනයින්ම පරාරෝපිත ප්‍රපංචයක් බවට පත්වූ නිසාත් මාක්ස් ආගමට එරෙහිව සටන් වදී. දෙවියන්ට එරෙහිව මාක්ස් කල සටන, යථාර්ථයේදී, දෙවියන් නමැති මූර්තියට එරෙහිව කරන ලද සටනකි. තරුනයෙක් ලෙස ඔහු තම උපාධි නිබන්ධනයේ මෙසේ ලිවීය. “ දෙවියන් කෙරෙහි අපහාසාත්මක වන්නේ දෙවියන් නොඅදහන අය නොව, මිනිසුන්ගේ ලක්ෂන දෙවියන් වෙත ආරෝපනය කරන්නවුන්ය”. මාක්ස්ගේ අදේවවාදය තාර්කික ගූඨවාදයේ ඉතාමත් වර්ධිත ආකාරයක් නියෝජනය කරයි. එය ඔහුට “අදේවවාදී වීම” සම්බන්ධයෙන් චෝදනා කරන ආගම හා දෙවියන් වෙනුවෙන් සටන් කරන බොහෝ දෙනෙක්ට වඩා මෙයිස්ටර් එකාර්ට් හෝ සෙන් බුදු දහම වැන්නක් සමග බොහෝ සෙයින් සමීප වේ.

ඉතිහාසය පිලිබද මාක්ස්ගේ දර්ශනයත්, සමාජවාදය පිලිබද ඔහුගේ අදහසත් ග්‍රීක හා රෝම චින්තාවලිය තුල දැකිය හැකි මානවවාදයේ දාර්ශනික මූලයන් සහ පරන තෙස්තමේන්තුවේ එන අනාගත දිවැසිවරුන් කෙරෙන් ප්‍රකට වන ගලවා ගැනීම පිලිබද අපේක්ෂාවන් සමග සම්බන්ධ වන අන්දම ගැනත් සදහන් නොකොට ආගම පිලිබද මාක්ස්ගේ ආකල්පය ගැන කථා කල නොහැක. ගැලවුම්කරුවානන්ගේ පැමිනීම පිලිබද අපේක්ෂාව පෙරදිග චින්තනය තුල එන කාවදින සුලු ලක්ෂනයකි. පැරනි තෙස්තමේන්තුවේ එන අනාගත වක්තෘවරු ලාඕ ට්සූ හෝ බුද්ධා මෙන් හුදෙක් ආධ්‍යාත්මික නායකයින් පමනක් නොව ඔවුහු දේශපාලන නායකයින් ද වූහ. ඔවුහු මිනිසාට ඔහු “පැවතිය යුතු” ආකාරය පිලිබද දර්ශනයක් ඉදිරිපත් කරති. මිනිසා විසින් තෝරාගත යුතු විකල්පයන් මිනිසාට අභිමුඛ කරවති. ඉතිහාසයට අර්ථයක් ඇති බවත්, ඓතිහාසික ක්‍රියාවලිය තුල මිනිසා තමාව අංගසම්පූර්න ලෙස හැඩගස්වා ගන්නා බවටත් වූ අදහස පැරනි තෙස්තමේන්තුවේ එන බොහෝ අනාගත වක්තෘවරු බෙදා හදා ගනිති. ඒ අනුව මිනිසා කවදා හෝ සාමය හා යුක්තිය සහිත සමාජ රටාවක් ගොඩනගගා ගනු ඇත. ඒත් මෙම අනාගත වක්තෘවරුන්ට සාමය සහ යුක්තිය යනු යුද්ධය සහ අයුක්තිය නොපැවතීම නොවේ. යුක්තිය සහ සාමය යනු පැරනි තෙස්තමේන්තුව තුල එන මිනිසා පිලිබද සංකල්පය තුල ගැඹුරු ලෙස මුල් බැස පවතින්නකි. 

මිනිසා, තමා පිලිබද ස්ව විඥානය ඇති කරගැනීමට පෙර, එනම් ඔහු “මිනිසෙක්” වීමට පෙර, සොබාදහම සමග සහයෝගීව ජීවත් විය ( ඊඩන් උයනේ ජීවත් වන ආදම් හා ඒව) ඔහුගේ පලමු නිදහස් ක්‍රියාව, එනම් “නැහැ” කීමට ඔහු තුල තිබුනු ශක්‍යතාවය ඔහුගේ දෑස් අරිමින් තමා ලෝකය තුල ආගන්තුකයෙක් ලෙස ස්ථානගත වී සිටින අයුරු දැකීමට ඔහු පොලඹවයි. සොබාදහම සමගත්, මිනිසුන් හා මිනිසුන් අතරත් මිනිසුන් හා ගැහැනුන් අතරත් ඇති අරගල හේ අත් දකී. ඓතිහාසික ක්‍රියාදාමය යනු මිනිසා තම සුවිශේෂී මානවීය ගුනාංගයන් වර්ධනය කරගන්නා වූ ක්‍රියාවලියයි. ඔහු ඒ තුල ආදරය සහ අවබෝධය පිලිබද ගුනාංග වර්ධනය කරගන්නා අතර ඔහු පරිපූර්න මනුෂ්‍යත්වය සාක්ෂාත් කරගත්තාට පසු, මිනිසා සහ සොබාදහම අතර එකමුතුකම වෙත නැවත වතාවක් ඔහු පිවිසෙනු ඇත. මේ නව එකමුතුකම ඉතිහාසය ආරම්භ වීමට පෙර පැවැති පූර්ව-සවිඥානික එකමුතුකමට වඩා වෙනස්ය. එය තමා ගැන, සොබාදහම ගැන, තමා සහ සිය සහෝදර මිනිසුන් අතර සබදතාවය ගැන සිය ඓතිහාසික ක්‍රියාවලිය තුල ලබාගත් අවබෝධය මත පදනම් වන්නකි. පැරනි තෙස්තමේන්තුවේ චින්තනය ප්‍රකාරව, දෙවියන් ඉතිහාසය තුලින් අනාවරනය වේ ( ඒබ්‍රහම්ගේ දෙවියන් , අයිසාක්ගේ දෙවියන් හා ජාකොබ්ගේ දෙවියන් ලෙස) එසේම  ඉතිහාසය මගහැර යන ආකාරයකින් නොව ඉතිහාසය තුල මිනිසාගේ ගැලවීම රැදී ඇත. මෙහි අදහස වන්නේ මිනිසාගේ ආධ්‍යාත්මික අභිලාෂයන් සමාජ පරිවර්තනයන් සමග වෙන් කල නොහැකි ලෙස බැදී ඇති බවත්, දේශපාලනය මානවීය වටිනාකම් සහ මිනිසාගේ ස්වයං සාක්ෂාත්කරගැනීම සමග වෙන් කල නොහැකි පථයක් වන බවත්ය.

මීට සමාන චින්තාවලියක් ග්‍රීක සහ රෝම අදහස් ලෝකය තුලද දැකගත හැක. ස්ටොයික දාර්ශනික සීනොගේ සිට සෙනෙකා හා සෙසෙරෝ දක්වා ස්වභාවික නීතිය සහ මිනිසාගේ සමානත්මතාවය පිලිබද අදහස් මිනිස් මනස තුල මහත් බලපෑම් සහගත තත්වයක් ඉසිලීය. මේවා අනාගත දිවැසිවර සම්ප්‍රදායන් සමග එක්වී ක්‍රිස්තියානි චින්තනයේ පදනම පසුකාලීනව සකස් කලේය.

පෝල්ගෙන් පසු ක්‍රිස්තියානිය ගැලවීම පිලිබද ඓතිහාසික සංකල්පය ශුද්ධ වශයෙන් ආධ්‍යාත්මික එකක් බවට පත්කරමින්, පල්ලිය “ යහපත් සමාජය” පැවැති තැනට ආදේශ කරමින් එම සංකල්පය පරිවර්තනයකට ලක් කල අතර මේ පරිවර්තනය කෙසේ වුවද එහි තාර්කික අන්තයට ගමන් කලේ නැත. මුල්කාලීන පල්ලියේ පියවරු පවතින රාජ්‍යය කෙරෙහි රැඩිකල් විවේචන ගෙන ආ අය වූහ. මධ්‍යකාලීන යුගයේ කතෝලික චින්තනය ලෞකික රාජ්‍යය සහ අධිකාරිය ස්වභාවික හා දිව්‍යමය නීතියේ පදනම උඩ විචාරයට ලක්කරති. මේ දෘෂ්ටිකෝනයට අනුව රාජ්‍යය සහ සමාජය අනාවරනය කරගැනීම් සහ විචාර බුද්ධිය තුලින් සොයාගත හැකි ආධ්‍යාත්මික වටිනාකම් වලින් දික්කසාද නොවිය යුතු බව දක්වයි. තවද ප්‍රතිසංස්කරන යුගයට පෙර මෙම අදහස විවිධ ක්‍රිස්තියානි නිකායන් අත වඩාත් රැඩිකල් ආකාරය වලින් ප්‍රකාශයට පත්වූ අතර සමකාලීන යුගයේ “ මිතුරන්ගේ සමාජය” (Society of Friends ) වැනි නිකායන් දක්වාම ඒ සම්ප්‍රදාය ගලා ඒ.

ක්‍රිස්තියානි ප්‍රතිසංස්කරනයට පසු, මෙම ගැලවුම්කාරවාදී මෙසායාවාදී චින්තනය තවදුරටත් ආගමික භාෂාවකින් ප්‍රකාශයට පත් වූයේ නැත. ඒ වෙනුවට එය දාර්ශනික, ඓතිහාසික හා සමාජයීය චින්තනයක ස්වභාවයෙන් ප්‍රකාශයට පත්විය. පුනරුද යුගයේදී එය ශ්‍රේෂ්ඨ යුටෝපියාවන්හි ස්වභාවයෙන් ප්‍රකාශයට පත්විය. මේ අනුව නව ලෝකය දුර ඈත අනාගතයක නොව දුර ඈත ප්‍රදේශයක් මත සංකල්පගත කරන ලදී. ප්‍රංශ හා ඉංග්‍රීසි විප්ලව තුලත් බුද්ධි ප්‍රබෝධ යුගයේ දාර්ශනිකයින්ගේ අදහස් තුලත් මේ සිතීම් රටාව හදුනාගත හැක. එය එහි වඩාත්ම නූතන සහ වඩාත්ම පරිපූර්න හැඩහුරුව ලබා ගත්තේ සමාජවාදය පිලිබද මාක්ස්ගේ සංකල්පය තුලය. මොසෙස් හෙස් වැනි සමාජවාදීන් හරහා මාක්ස් මත බල පැවැත්වූ අනාගත දිවැසිවර ගැලවුම්කාරවාදී සම්ප්‍රදායේ බලපෑම කවරාකාර වුවත් බුද්ධි ප්‍රබෝධ යුගයේ දාර්ශනිකයන් තුල විශේෂයෙන් ස්පිනෝසා, ගොයෙතෙ සහ හෙගල් තුල දක්නට ලැබුනු අනාගත වක්තෘමය ගැලවුම්කාරමය සම්ප්‍රදායට නෑකම් කියන චින්තනය ඔහු වෙත වක්‍රාකාරයෙන් බලපෑ බව නම් නිසැකවම පැවැසිය හැක. දහතුන් වන සියවසේ දිවැසිවර ක්‍රිස්තියානි චින්තනයත්, දහ අට වන සියවසේ බුද්ධි ප්‍රබෝධයත්, දහ නම වන සියවසේ සමාජවාදයත් අතර තිබෙන පොදු ලක්ෂනය වන්නේ රාජ්‍යය ( සමාජය) සහ ආධ්‍යාත්මික වටිනාකම් එකිනෙකෙන් වෙන් කල නොහැකි බවත් දේශපාලනය සහ සදාචාරාත්මක වටිනාකම් බෙදිය නොහැකි බවටත් වූ අදහසයි. මේ අදහස පුනරුද යුගයේ ලෞකික සංකල්ප විසින් ( මැකියාවෙලි) අභියෝගයට පාත්‍ර වූ අතර එසේම නූතන රාජ්‍යයන් හි ඓහිකවාදය විසින් ද එය අභියෝගයට ලක්කලේය. බටහිර මිනිසා, ඔහු දැවැන්ත භෞතිකමය අත්පත් කරගැනීම් සාක්ෂාත් කරගන්නා සෑම අවස්ථාවකදීම පාහේ, තමා විසින් අත්පත් කරගත් ඒ නව ශක්තීන්ට තමාවම සීමා රහිත ලෙස පාවා දෙනු ලැබූ බවත් මේ නව ශක්තීන්ගෙන් බීමත්ව තමාවම අමතක කරගත් බවත් කිව හැක්කා සේය. මේ සමාජ වල ප්‍රභූන් බල තන්හාවෙන්, සුඛෝපභෝගීත්වය සදහා වූ තෘෂ්නාවෙන් වියරු වැටී තමා අනුගමනය කරන මිනිසුන් ඒ අනුව මෙහෙයවූහ. පුනරුද කාලයේ ලෝක ගෝලය සොයාගැනීමත්, නව විද්‍යාවක් බිහිවීමත්, උතුරු ඉතාලියේ ධනවත් නගර බිහිවීමත් අතර තුර මෙම තත්වය දක්නට ලැබුනු අතර එය නැවත වතාවක් පලමු හා සමකාලීන දෙවන කාර්මික විප්ලව යුගවලදී එලෙසම විද්‍යාමාන විය.

ඒත් මේ වර්ධනය තවත් වෙනත් සාධකයක පැවැත්ම විසින් වඩාත් සංකීර්න කරනු ලැබේ. රාජ්‍යය සහ සමාජය යම් යම් නිශ්චිත ආධ්‍යාත්මික වටිනාකම් සාක්ෂාත් කරගැනීමට ආධාර කිරීම සදහා පවතින ආයතන වන්නේ නම්, යම් යම් ආකාර වලට සිතන ලෙස හා ඒ අනුව වැඩ කරන ලෙස මිනිසාට බල කරන උත්තරීතර අධිකාරියක පැවැත්ම සුජාත වීම සම්බන්ධ අවදානමක් හටගනී. වාස්තවික ලෙස වලංගු වටිනාකම් සමාජ ජීවිතය තුලට ආබද්ධ කරගැනීම සර්වාධිකාරවාදයක් නිර්මානය වීම සදහා පාර කැපිය හැක. මධ්‍යකාලීන යුගයේ මෙම සර්වාධිකාරී ආධ්‍යාත්මික අධිකාරිය වූයේ කතෝලික පල්ලියයි. මුලදී මිනිසාට වඩා වැඩි නිදහසක් පොරොන්දු වෙමින් ප්‍රොතෙන්සතන්ත්‍රවාදය මේ අධිකාරිය සමග සටන් කල අතර කෙසේ වුවද අවසානයේ එය ආධාර කලේ ප්‍රාදේශික වංශාධිපති රාජ්‍යයන්ට සිය ඒකාධිකාරී සහ අන්තනෝමතික බලය මිනිසාගේ ශරීරය සහ ආත්මය මත අභ්‍යාස කිරීමෙහිලා උපකාර කිරීමටය. වංශාධිපති අධිකාරියට එරෙහි කැරැල්ල පැන නැගුනේ ජාතියේ නාමයෙන්ය. මොහොතකට ජාතික රාජ්‍යය නිදහසේ ඒජන්තයා ලෙස පෙනී සිටියේය. ඒත් ඉක්මනින්ම ජාතික රාජ්‍යය ප්‍රාග්ධනය හිමි සමාජ කොටස් වල භෞතික අවශ්‍යතා ආරක්ෂා කරන්නා වූ ආයතනයක් බවට කැපවුනු අතර එම පංතියට සමාජ‍යේ බහුතරයක් දෙනාගේ ශ්‍රමය හා මහන්සිය සූරාකෑමට උපකාර කරන ආයතනයක් ලෙස එය අවසාන විය. සමාජයේ ඇතැම් පංතීන් මේ නව සර්වාධිකාරයට එරෙහිව විරෝධය පෑ අතර මේ ලෞකික අධිකාරියේ ඇගිලි ගැසීම් වලින් තනි පුද්ගල මිනිසාගේ නිදහස ආරක්ෂා විය යුතු බවට උද්ඝෝෂනය පෑහ. මෙය ලිබරල්වාදයට උපත ලබා දුන්නේය. එය රාජ්‍යයෙන් නිදහස ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටි අතර සමාජය සහ රාජ්‍යය නිදහස සාක්ෂාත් කරගැනීම සදහා උත්සාහ නොකල යුතු බවට අනිත් අතට ඇගවීය. එනම් ලිබරල්වාදයට රාජ්‍යය සහ පල්ලිය වෙන් කිරීම වෙනුවෙන් පෙනී සිටින්නට සිදුවූවා සේම අනිත් අතට යම් යම් නිශ්චිත ආධ්‍යාත්මික සහ සදාචාරාත්මක වටිනාකම් සාක්ෂාත් කරගැනීමේදී රාජ්‍යයට හා සමාජයට භූමිකාවක් නැති බවත් මේ වටිනාකම් මුලුමනින්ම තනි තනි පුද්ගලයින් විසින් තමා වෙත ලගා කරගත යුතු බවට ප්‍රකාශ කිරීමටත් සිදුවිය.

සමාජවාදය ( එහි මාක්ස්වාදී රූපාකාරය සහ වෙනත් රූපාකාර තුල) “යහපත් සමාජය” පිලිබද අදහස යලි හරවමින් එය මිනිසාගේ ආධ්‍යාත්මික අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා අවශ්‍ය තත්වයන් සකස් කරන්නක් ලෙස අර්ථනිරූපනය කලේය. රාජ්‍යය සහ පල්ලිය සම්බන්ධව ගත් කල්හි එය අධිකාර විරෝධී වූ අතර ඒ අනුව රාජ්‍යය වියැකී යාම වෙනුවෙන් සහ ස්වේච්ඡාවෙන් එකිනෙකා සමග නිදහස් සමාගමයට එලැඹි මිනිසුන්ගේ සංගමයක් ලෙස සංවිධානය වූ සමාජයක් ස්ථාපනය කිරීම කෙරෙහි උත්සුක විය. එහි අරමුන වූයේ මිනිසාට තමා වෙතටම නැවත පැමිනීමට ආධාර කිරීමට හැකි ආකාරයට සමාජය නැවත ගොඩනැංවීමය. මිනිස් මනස වහල්භාවයට පත්කරන අධිකාරිවාදී බලවේග වලින් තොර සමාජයක් එය විසින් පරිකල්පනය කලේය.

මේ අනුව මාක්ස්වාදී සහ වෙනත් ප්‍රවනතාවලට අයත් සමාජවාදය දිවැසිවර ගැලවුම්කාරවාදයේ, දහතුන් වන සියවසේ තෝමිස්වාදයේ, පුනරුද කාලීන යුටෝපියානුවාදයේ සහ දහඅට වන සියවසේ බුද්ධි ප්‍රබෝධයේ අනුප්‍රාප්තිකයෝ වෙති. එය වූ කලී සමාජය ආධ්‍යාත්මික සාක්ෂාත් කරගැනීම සදහා අවකාශ සපයන පසුතලයක් ලෙස දකින දිවැසිවර-ක්‍රිස්තියානි අදහසේත් මිනිස් නිදහස පිලිබද අදහසේත් සහවාදයයි. මේ හේතුව නිසා එය පල්ලියට විරුද්ධය. මන්ද පල්ලිය මිනිස් මනස මත තහංචි පනවන හෙයිනි. එය ලිබරල්වාදයට විරුද්ධය. මන්ද එය සමාජය සහ සදාචාරාත්මක වටිනාකම් වෙන් කරනු ලබන හෙයිනි. එය ස්ටාලින්වාදයට සහ කෘෂෙව්වාදයට විරුද්ධය. මන්ද එහි සර්වාධිකාරවාදී ස්වභාවය එය විසින් යෝජනා කරන මානවවාදී අගයන් නොසලකා හරිනු ලබන හෙයිනි.

සමාජවාදයේ හරය මේ අනුව මිනිසාට නැවත සැබෑ මනුෂ්‍යයෙක් බවට පත්වීමට ආධාර කරමින් මිනිස් පරාරෝපනය අහෝසි කර දැමීමයි. “ එය මිනිසා සහ මිනිසා අතරත් මිනිසා සහ සොබාදහම අතරත් වන පසමිතුරුතාවය බේරුම් කරන්නා වූ  ක්‍රියාදාමයයි. එය පැවැත්ම සහ සාරය අතරත්, වස්තුකරනය සහ ස්වයං-ප්‍රතිඥාව අතරත්, නිදහස සහ අවශ්‍යතාවය අතරත්, පුද්ගලයා හා වර්ගයා අතරත් ගැටුමට ඉදිරිපත් වන්නා වූ සැබෑ විසදුමයි. එය ඉතිහාසය විසින් ඉදිරිපත් කරන ගැටලු ප්‍රකාශයට ඉදිරිපත් කෙරෙන විසදුම වන අතර එම විසදුම ලෙස එය එහි අනන්‍යතාවය ලබයි”. මාක්ස්ට සමාජවාදය යනු මානවයාට නැවත තමාව සොයාගැනීමට, නැවත මිනිස්භාවය වෙත පැමිනීමට ආධාර කරන්නා වූ සමාජ රටාවයි. පැවැත්ම සහ සාරය අතර අනන්‍යතාවය, වස්තුව සහ ආත්මය අතර විභේදනය සහ පසමිතුරුතාවය ජය ගැනීමට, සොබාදහම මානුෂිකකරනය කිරීමට ආධාර කරන්නා වූ සමාජ රටාවයි. එය මිනිසා තවදුරටත් ආගන්තුකයින් අතර ආගන්තුකයෙක් නොවන, ලෝකය තමාගේම නිවස්නය සහ තමාගේම ලෝකය ලෙස දකින සමාජයක් පිලිබද ඇගවුමකි.

3 comments:

  1. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  2. මේ අනුව සමාජවාදය පිලිබද මාක්ස්ගේ සංකල්පය මේ ආදර විරහිතභාවයට එරෙහි විරෝධය පල කිරීමකි.

    Marxism, it self is a true uprising against the abduction of love from the human society by the capitalism. Rama, you have meticulously forwarded this idea.Of course the essence of Marxism is Love.

    Clement Peris

    ReplyDelete
  3. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    පැලැස්ස බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete