Monday, October 28, 2013

සමාජවාදය පිලිබද මාක්ස්ගේ සංකල්පය - 1 ( එරික් ෆ්‍රොම් )


ධනවාදය එහි අරටුව දක්වා කුනු වී ඕජස් ගලමින් සිටින මේ මොහොතේ ඊට විකල්ප සමාජ රටාවක් ගැන සංවාදය මතු කරගැනීම දැවෙන අවශ්‍යතාවයක් ලෙස පැන නැගී ඇත. සාම්ප්‍රදායිකව ධනවාදයට විකල්ප සමාජ රටාව ලෙස "සමාජවාදය" පිලිබද සංකල්පය ඉදිරිපත් වේ. බොහෝ විට සමාජවාදය ලෙස හදුනා ගැනෙන්නේ ‍20 වන සියවසේ ස්ටාලින්කරනයට ලක්වූ සෝවියට් සංගමය හා එය අනුව යමින් 'සමාජවාදී කදවුර' ලෙස හැදින්වූ රාජ්‍ය පද්ධතිය තුල අභ්‍යාස කල සමාජ ආර්ථික දේශපාලන පිලිවෙලයි. සෝවියට් සංගමයේ ඇද වැටීම විසින් සමාජවාදය පිලිබද සෝවියට් මොඩලයේ අසාර්ථකතාවය පැහැදිලි කරන ලදී.අවාසනාවකට මෙන් ලාංකීය සමාජය තවමත් සමාජවාදයේ පරම ආකාරය ලෙස දකින්නේ මෙම සෝවියට් මොඩලය පමනි. අඩු තරමින් 20 වන සියවස තුලදී සෝවියට් මොඩලයට එරෙහිව සමාජවාදී පදනමක් මත ඉදිරිපත් වූ ට්‍රොට්ස්කිවාදී විචාරය හෝ බටහිර මාක්ස්වාදය තුල ආ විවේචනය ගැනවත් අප සමාජය ප්‍රමානාත්මක ලෙස දැනුවත් නැත.

සෝවියට් මොඩලය සැබැවින්ම සමාජවාදීද යන විවාදය මදෙකට පසෙක තබා සමාජවාදය පිලිබද සෝවියට් මොඩලය ඉක්මවා යමින් විචාරාත්මක ලෙස සමාජවාදී සංකල්පය ප්‍රති-අභිසංස්කරනය කිරිමේ අභියෝගය මේ මොහොතේ සමාජවාදියෙක් ලෙස තමාව හදුන්වා ගන්නා ඕනෑම අයෙක්ට අභිමුඛ වන්නකි. එරික් ෆ්‍රොම් විසින් රචිත Marx's Concept of Man ( මිනිසා පිලිබද මාක්ස්ගේ සංකල්පය) කෘතියේ එන Marx's Concept of Socialism ( සමාජවාදය පිලිබද මාක්ස්ගේ සංකල්පය)  නමැති පරිච්ඡේදය සිංහලයට නගා මෙලෙස ඉදිරිපත් කෙරෙන්නේ  සමාජවාදය පිලිබද එම නව සංවාදයට කෙරෙන දායක වීමක් වශයෙනි.බටහිර මාක්ස්වාදී දහරාවේ චින්තකයෙක් වන එරික් ෆ්‍රොම්ගේ මේ රචනය මානවවාදී මාක්ස්වාදය ( Humanist Marxism) ලෙස හදුන්වන ප්‍රවනතාවයට අයත් වන්නක් ලෙස හැදින්වීමට පුලුවන. එරික් ‍ෆ්‍රොම් මෙම රචනය තුල කාල් මාක්ස්ගේ මුල්කාලීන රචනා මත පදනම්ව ධනවාදයට මෙන්ම ගතානුගතික ස්ටාලින්වාදයට ද එරෙහිව මාක්ස් පිහිටුවමින් සමාජවාදය පිලිබද මාක්ස්ගේ අදහස අභිසංස්කරනය කරයි.


                                                                       ***

සමාජවාදය පිලිබද මාක්ස්ගේ සංකල්පය
මාජවාදය ගැන මාක්ස්ගේ අදහස ගලා එන්නේ මිනිසා පිලිබද ඔහුගේ සංකල්පය තුලිනි. මේ සංකල්පය අනුව, සමාජවාදය යනු , එම මිනිසුන් අතර ආදායම් සමනතාවය තිබුනා හෝ වේවා නොතිබුනා හෝ වේවා යාන්ත්‍රික ලෙස හැඩගස්වන ලද,‍ රෙජිමේන්තුගත කරන ලද මිනිසුන්ගෙන් යුක්ත සමාජයක් නොවේ. එය පුද්ගලයා රාජ්‍යයට, නිලධාරී තන්ත්‍රයට හෝ යන්ත්‍ර වලට යටත් කරන ලද සමාජයක් නොවේ. රාජ්‍යය “ වියුක්ත ධනවාදියෙක්” ලෙස සේව්‍යයා ලෙස ක්‍රියා කරත්, එය පවා සමාජවාදය නොවේ. ඒ වෙනුවට, මාක්ස් ආර්ථික හා දාර්ශනික අත්පිටපත් වලදී නිශ්චිතවම මෙසේ කියයි. “මෙවැනි කොමියුනිස්ට්වාදයක් මිනිස් සංවර්ධනයේ ඉලක්කය නොවේ”. එසේ නම් ඉලක්කය කුමක්ද?

පැහැදිලිවම සමාජවාදයේ ඉලක්කය වන්නේ මිනිසාය. තමාගේ නිෂ්පාදිතයෙන්, තමාගේ වැඩවලින්, තමාගේ සහෝදර මිනිසුන්ගෙන්, තමාගෙන් හා සොබාදහමෙන් මිනිසා පරාරෝපනය නොවන සමාජ සංවිධානයක් සහ නිෂ්පාදන මාදිලියක් නිර්මානය කරගැනීම එහි පරමාර්ථයයි. එය මිනිසාට නැවත තමා සොයාගැනීමට, ලෝකය තම සැබෑ ශක්තීන් තුලින් ග්‍රහනය කරගැනීමට හා ලෝකය සමග සුසංයෝගී පැවැත්මක් වෙත ඒමට උපකාරී කරයි. පෝල් ටිලිච් දක්වන ආකාරයට, මාක්ස්ට සමාජවාදය යනු “ සමාජ යථාර්ථය තුල ආදරය විනාශ වී ගොස් තිබීමට එරෙහිව ගසනු ලැබෙන කැරැල්ලකි”

ප්‍රාග්ධනයේ තෙවැනි වෙලුමේ අවසානය භාගයේදී මාක්ස් නිශ්චිත පැහැදිලිතාවයකින් යුතුව සමාජවාදයේ අරමුන පැහැදිලි කරයි. “ අවශ්‍යතාවය සහ බාහිර උපයෝගීතාවය විසින් ශ්‍රමය ඉල්ලා සිටින මොහොත ඉක්මවා යන තුරු නිදහස සාක්ෂාත් කරගැනීම යථාවක් කරගත නොහැක.මිලෙච්ඡයා තම පැවැත්ම වෙනුවෙන් , සිය අවශ්‍යතා ඉටු කරගනු වස්, සිය ජීවිතය නිෂ්පාදනය සහ ප්‍රතිනිෂ්පාදනය කරනු වස්, සොබාදහම සමග පොර බදින්නේ යම් සේද, ශිෂ්ටාචාරගත මිනිසාද ඕනෑම සමාජ ක්‍රමයක් තුල, දෙන ලද ඕනෑම නිෂ්පාදන සැකැස්මක් තුල ඒ දේම සිදුකරයි. ඔහුගේ සංවර්ධනයත් සමග අවශ්‍යතා වල විෂය පථය පලල් වේ. මන්ද ඔහුගේ අවශ්‍යතා පලල් වන හෙයිනි. ඒත් මේ සමගම නිෂ්පාදන බලවේග ද වර්ධනය වේ. මේවා තුලින් ඔහුගේ අවශ්‍යතා තෘප්තිමත් වේ.  සමාජමය මිනිසා, එකිනෙකා හා සමාගමය සහිත නිෂ්පාදකයින්, හුදු අන්ධ බලවේගයක් මගින් මෙහෙයවනු ලැබීමෙන් තොරව,සොබාදහම සමග සිය අන්තර් සම්බන්ධය තාර්කිකව නියාමනය කරගනිමින් සිය මිනිස් ස්වභාවයට වඩාත්ම වඩාත්ම යෝග්‍ය තත්වයන් යටතේ, සිය කර්තව්‍යය අඩුම ශක්තියක් වැය කොට සාක්ෂාත් කරගන්නා තත්වයකින් මේ ක්ෂේත්‍රය තුල නිදහසේ විෂය පථය සංයුක්ත වනු ඇත. ඒත් එය හැම විටෙකම අවශ්‍යතාවන්හි විෂය පථයක් ලෙසද පවතිනු ඇත. මේ විෂය පථයට ඔබ්බේ සිට, නිදහසේ සැබෑ විෂය පථය සාක්ෂාත් කරගැනීම උදෙසා මිනිස් ශක්තීන්ගේ වර්ධනය ආරම්භ වේ. මෙය විකසිත වනු ඇත්තේ අවශ්‍යතාවයේ විෂය පථය එහි පදනම බවට පත්වූ තතු යටතේ පමනි”

මාක්ස් මෙහිදී සමාජවාදයේ සියලු අත්‍යවශ්‍ය ලක්ෂන ප්‍රකාශ කරයි. පලමුව, මිනිසා තරගකාරී ආකාරයකින් නොව, හවුල් ආකාරයකින් අන්‍යොන්‍ය සමාගමය යටතේ, නිෂ්පාදනය කරනු ඇත. ඔහු තාර්කිකව සහ පරාරෝපිත නොවූ විධියකින් නිෂ්පාදනය කරනු ඇත. එනම් ඔහු නිෂ්පාදනය තමා යටතට ගෙන එනු ලබන අතර නිෂ්පාදනය විසින් හෝ වෙනත් අන්ධ බලයකින් ඔහු මෙහෙයවීමට ලක් නොවනු ඇත. මෙම පැහැදිලි කිරීම මිනිසා නිලධාරී තන්ත්‍රයක් විසින් පාවිච්චි කරනු ලැබෙන ( මේ නිලධාරි තන්ත්‍රය හුදු එක් තනි සමාගමක් නොව මුලු ආර්ථිකයම මෙහෙයවන රාජ්‍ය අධිකාරියක් වුවද) සමාජවාදී සංකල්පයක් සදහා කිසිදු ඉඩක් තබන්නේ නැත.

මේ අනුව පුද්ගලයා සැලසුම් සකස් කරද්දී මෙන්ම ඒවා ක්‍රියාවට නැගීමේදීද සක්‍රීයව ඊට සම්බන්ධ වනු ඇත. කෙටියෙන් කියන්නේ නම්, ඉන් අදහස් වන්නේ, දේශපාලන සහ කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමයි. මෙබදු නව පන්නයේ පරාරෝපනයෙන් නිදහස් වූ සමාජයක් තුල මිනිසා සිය දෙපයින් සිටගත්, නිදහස්, තමා ප‍රාරෝපනයට ලක්කරන නිෂ්පාදන මාදිලියක් සහ පරිභෝජන රටාවක් මගින් හෙම්බත් නොවූ තතු යටතේ මිනිසා සැබැවින්ම තම ජීවිතයේ ස්වාමියා සහ නිර්මාපකයා වනු ඇති බවත්, ජීවත්වීමේ මාධ්‍යයන් නිෂ්පාදනය ‍කරනවා වෙනුවට සිය ජීවිතය ආස්වාදනය කිරීම පටන් ගන්නා මිනිසෙක් වනු ඇති බවට මාක්ස් අපේක්ෂා කලේය. සමාජවාදය ජීවිතය පරිපූර්න වීමක් ලෙස මාක්ස් කිසිදා නොදිටීය. ඔහුට අනුව එය ජීවිතය පරිපුර්න කරගැනීම සදහා තත්වයන් නිර්මානය කරනවා පමනි. මිනිසා තාර්කික, පරාරෝපනයෙන් නිදහස් වූ සමාජයක් ගොඩනැගූ කල්හි, ජීවිතයේ ඉලක්කය වන සැබෑ නිදහසේ පූර්ව කොන්දේසිය වන, “මානව ශක්තීන්ගේ සංවර්ධනය” සාක්ෂාත් කරගනු ඇත. ශේක්ස්පියර්‍ගේ සහ ඇකෙයිලිස්ගේ කෘති මනාව හදාල ඒවා මනා ලෙස ආස්වාදනය කල පුද්ගලයෙක් ලෙස මාක්ස් සමාජවාදය ලෙස හුදෙක් කාබී බඩ පුරවාගත් මිනිසුන්ගෙන් සමන්විත “ සුබසාධන” හෝ “ කම්කරු” රාජ්‍යයක් ගැන කවදාවත් සිහින නොමවන්නට ඇත. ආර්ථික දරිද්‍රතාවයෙන් පමනක් නොව පරාරෝපනය තුලින් නිපන් ආධ්‍යාත්මික පරාරෝපනයෙන්ද අත් මිදුනු කල්හි, තමාගේ සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සදහා ඇවැසි ඓතිහාසික සංස්කෘතික පසුබිම මිනිසා විසින්ම නිර්මානය කර ඇත. මාක්ස්ගේ දැක්ම මිනිසා ගැන ඔහු තුල ඇති භක්තිය තුල රැදී තිබේ. ඔහු සමාජවාදය මිනිස් නිදහසේ සහ නිර්මානශීලීත්වයේ පූර්ව කොන්දේසිය ලෙස දුටුවේ. ඒ වෙනුවට එය මිනිසාගේ ජීවිතයේ අවසාන අරමුන ලෙස දුටුවේ නැත. මාක්ස්ට සමාජවාදය ( හෝ කොමියුනිස්ට්වාදය ) යනු සිය ඉන්ද්‍රීයය ශක්තිය වාස්තවීකරණය කිරීම තුලින් මිනිසා ගොඩනගා ඇති විෂයමූලික ලෝකයෙන් පලා යාමක් හෝ ඉන් වියුක්ත වීමක් නොවේ. එය නැවත අස්වභාවික, ප්‍රාථමික සරලත්වය වෙත ගමන් කිරීමක් නොවේ. එය මිනිස් ස්වභාවය අව්‍යාජ සැබෑ දෙයක් ලෙස සාක්ෂාත්කරනය කරගනු ලබන පලමු සැබෑ පැන නැගීම වේ. සමාජවාදය, මාක්ස්ට අනුව, පරාරෝපනය අබිබවා යමින් මිනිසාට සිය සාරය සාක්ෂාත් කරගැනීම සදහා ඉඩකඩ සපයා දෙනු ලබන්නකි. එය සැබැවින්ම නිදහස්, තාර්කික, සක්‍රීය, ස්වාධීන මිනිසෙක් නිර්මානය කරන්ට අවශ්‍ය පරිසරය සකසා දීමට වඩා අඩු යමක් නොවේ.

මේ මාක්ස්, "නිදහසේ සතුරෙක්" ලෙස හුවා දැක්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ මාක්ස්ගේ නාමයෙන් කථා කරන බව පෙන්නුම් කල ස්ටාලින්ගේ විස්මයජනක ප්‍රෝඩාකාරිත්වය සමග එකතු වී ඇති බටහිර ලෝකය තුල මාක්ස් පිලිබද පොදුවේ පවතින විස්මයජනක නොදැනුවත්භාවය හේතු කොට ගෙනය. මාක්ස්ට සමාජවාදයේ අරමුන වූයේ නිදහසයි. මේ නිදහස මිනිසා සිය දෙපයින් නැගී සිටීම මත පදනම් වූ, සිය ශක්තීන් නිදහස්ව ලෝකය සමග ඵලදායීව සම්බන්ධ වීම සදහා යොදාගන්නා වූ රැඩිකල් අර්ථයක් දරන්නා වූ නිදහසකි. මාක්ස් මෙසේ කියයි. “ නිදහස මිනිසා තුල සාරයක් ලෙස කෙතරම් සංයුක්ත වී තිබේද යත් එහි විරුද්ධවාදීන් පවා එය වටහා ගනී. කිසිදු මිනිසෙක් නිදහස සමග සටන් වදින්නේ නැත. ඔහු වැඩිම උනොත් සටන් කරන්නේ වෙනත් අයගේ නිදහසට විරුද්ධවය. මේ නිසා සෑම විටම සෑම ආකාරයකම නිදහස පැවැතී ඇත. ඒ වරෙක විශේෂ වරප්‍රසාදයක් ලෙසත් වරෙක විශ්වීය අයිතියක් ලෙසත්ය”

මාක්ස්ට අනුව, සමාජවාදය වූ කලී, මිනිසාගේ අවශ්‍යතා සදහා සේවය කරන්නකි. ඒත් මෙහිදී යමෙක් මෙසේ ඇසීමට ඉඩ තිබේ. නූතන ධනවාදය සිදු කරන්නේත් එය නොවේද? අපගේ යුගයේ මහා සමාගම් මිනිසාගේ අවශ්‍යතා සැපිරීම සදහා සැදී පැහැදී සිටිනවා නොවේද? පාරිභෝගික රුචිය පිලිබද සිදු කෙරෙන සමීක්ෂන හරහා මහත් වැර වෑයමක් යොදා මහා පරිමාන ප්‍රචාරක සමාගම් උත්සාහ කරන්නේ මිනිසාගේ අවශ්‍යතා මොනවාද කියා සොයා බැලීමට නොවේද?  සැබැවින්ම යමෙක්ට සමාජවාදය පිලිබද සංකල්පය වටහා ගත හැක්කේ මිනිසාගේ සැබෑ අවශ්‍යතා සහ කෘතිම ලෙස නිර්මානය කරන ලද, ව්‍යාජ අවශ්‍යතා අතර මාක්ස් දකින වෙනස තේරුම් ගන්නේ නම් පමනි.

මිනිසා පිලිබද සමස්ත සංකල්පය තුලින් ගලා එන පරිදි මිනිසාගේ සැබෑ අවශ්‍යතා ඔහුගේ ස්වභාවය තුල මුල් බැස ගෙන ඇත. ව්‍යාජ අවශ්‍යතා සහ සැබෑ අවශ්‍යතා අතර වෙනස වටහා ගත හැක්කේ මිනිසාගේ ස්වභාවය සහ ඒ ස්වභාවය තුලින් පැන නගින ඔහුගේ සැබෑ අවශ්‍යතා වල ස්වභාවය වටහා ගන්නේ නම්ය. මිනිසාගේ සැබෑ අවශ්‍යතා යනු මනුෂ්‍යයෙක් ලෙස සිය සාරය සාක්ෂාත් කරගැනීම සදහා ඔහුට ආධාර කරන්නා වූ අවශ්‍යතාය. මාක්ස් මෙසේ ලියයි. “ මම සැබැවින්ම ආදරය කරන දෙයක පැවැත්ම මා හට අවශ්‍යතාවයක් ලෙස, උවමනාවක් ලෙස දැනෙනු ඇත. එය නොමැතිව මගේ සාරය මා හට පූරනය කරගැනීමට, පරිසමාප්ත කරගැනිමට හෝ සාක්ෂාත් කරගැනීමට නොහැක”. මිනිසාගේ සැබෑ සහ ව්‍යාජ අවශ්‍යතා අතර වෙනස සටහන් කිරීමට මාක්ස්ට හැකියාව ලැබෙන්නේ මිනිස් ස්වභාවය පිලිබද සිදු කරන ලද සුවිශේෂී සංකල්පගත කිරීමක පදනම මත පමනි. මුලුමනින්ම ආත්මීය ප්‍රවේශයක් ගන්නේ නම්, ව්‍යාජ අවශ්‍යතා සැබෑ සහ හදිසි අවශ්‍යතා ලෙස අත්දැකීමට ඉඩ ඇති අතර මෙවැනි පූර්න ලෙස ආත්මමූලික ප්‍රවේශයක් ගන‍්නේ නම් අවශ්‍යතා පිලිබද එවැනි විභේදනයක් ඇති කිරීම සදහා නිර්නායකයක් හදුනා ගත නොහැකි වනු ඇත. (වර්තමාන භාෂා ව්‍යවහාරයට අනුව යමෙක් නියුරෝසික සහ තාර්කික අවශ්‍යතා අතර වෙනස ලෙස මෙය හදුන්වනු ඇත) බොහෝ විට මිනිසා තම ව්‍යාජ අවශ්‍යතා පිලිබද සවිඥානික වන අතර සැබෑ අවශ්‍යතා පිලිබද අවිඥානිකය. සමාජ විශ්ලේෂකයාගේ කාර්යය නම්, සිය සැබෑ අවශ්‍යතා වල යථාර්ථය පිලිබදවත් ව්‍යාජ අවශ්‍යතා වල මායාව පිලිබද වත් මිනිසාට අවබෝධ කරගත හැකි වන පරිදි ඔහු අවදි කිරීමයි. මාක්ස්ට අනුව, සමාජවාදයේ ප්‍රධානම අරමුන වන්නේ, මිනිසාගේ සැබෑ අවශ්‍යතා හදුනා ගැනීම සහ ඒවා සාක්ෂාත් කරගැනීමට ඔහුට සහාය වීමයි. මෙය ඉටු කරගත හැක්කේ ප්‍රාග්ධනයට මිනිසාගේ ව්‍යාජ අවශ්‍යතා නිර්මානය කිරීමටත් ඉක්බිති ඒවා ගසා කෑමටත් තිබෙන අවකාශය අහෝසි කොට, නිෂ්පාදනය මිනිසා සදහා වූ එකක් බවට පත්කිරීමෙන් පසුව පමනි.

සෑම සාංදෘෂ්ටිකවාදී දර්ශනයකම දැකිය හැකි ආකාරයට මිනිසාගේ පරාරෝපනයට එරෙහිව ගසන ලද කැරැල්ලක් ලෙස සමාජවාදය පිලිබද මාක්ස්ගේ අදහස හදුනාගත හැක. හක්ස්ලි දක්වන පරිදි “ අපගේ වර්තමාන ආර්ථික, සමාජයීය හා ජාත්‍යන්තර හැඩගැසීම් පදනම් වී තිබෙන්නේ සංවිධානාත්මක ආදර - විරහිතභාවය මතය”. මේ අනුව සමාජවාදය පිලිබද මාක්ස්ගේ සංකල්පය මේ ආදර විරහිතභාවයට එරෙහි විරෝධය පල කිරීමකි. මිනිසා විසින් මිනිසාව සූරාකෑමට, මිනිසා විසින් පරිසරය සූරාකෑමට, අපගේ ස්වභාවික සම්පත් නිරපරාදේ අපතේ යැවීමට එරෙහිව එල්ල කරනු ලබන විරෝධය පෑමකි. සමාජවාදයේ අරමුන ලෙස අප පෙර දැක්වූ, පරාරෝපිත බවින් මිදුනු මනුෂ්‍යයා, සොබාදහම “ පාලනය” කරන මිනිසෙක් නොව ඒ හා සහයෝගී පැවැත්මක් පවත්වා ගන්නා මනුෂ්‍යයෙකි. ඔහු ජීවමානය. ඔහු වස්තූන් කෙරෙහි ප්‍රතිචාරාත්මක වන අතර ඒ අනුව වස්තූන් ඔහු වෙනුවෙන් ජීවිතයට එලැඹෙනු ඇත.

මින් අදහස් වන්නේ මාක්ස්ගේ සමාජවාදය ඉතිහාසයේ බොහෝ ශ්‍රේෂ්ඨ මානවවාදී ආගම් වලට පොදු වූ ගැඹුරු ආගමික ආවේශයන් සාක්ෂාත් කරගැනීමක් ලෙස හැදින්වීම නිවැරදි බව නොවේද? මාක්ස්, හෙගල් සහ වෙනත් බොහෝ අය මෙන්, මිනිසාගේ ආත්මය පිලිබද ප්‍රශ්නය දේවධාර්මික අර්ථයකින් නොව ලෞකික දාර්ශනික අර්ථයකින් ගන්නා බව වටහා ගන්නේ නම් එය එසේ බව අපට වටහා ගැනීමට හැකිවනු ඇත.

3 comments:

  1. අනේ රාමෝ, මේ එරික් ෆ්‍රොම් කියන එකාත් උඹ වගේම මැන්ටලයක් බං. වෙන කරන්න දෙයක් නැත්නම් චූ කරලා බුදිය ගන්න කියපං විකාර කතා නොකර.

    ReplyDelete
  2. Since the scarcity of resources prevails, till the abundance of resources achieved, society will have class crisis. Because the proportion with power will control the resources which leads to class division of the society. If the resources are abundant, no one will not need to control the resources. Perfect communism is abundance of resources, a society where no one will not need to use money any more, a society where you can go to a super market and (not buy) bring the things u want. Our human race is not developed yet to achieve that status, it will take another few hundred years.

    ReplyDelete