Friday, September 6, 2013

අවසන් පිරිමි කටහඩත් එජාපයට අහිමි වූ පසු

මති විමල් වීරවංශට අනුව දයාසිරි ජයසේකර පක්ෂය මාරු කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂය තුල තවදුරටත් 'පිරිමි හඩවල්' නැත. ඔහු මේ බව පවසා තිබුනේ පසුගිය දිනෙක මහනුවරදී පැවැති මැතිවරන රැස්වීමක් අමතමිනි. " එජාපයේ හිටපු පිරිමි කටහඩක් තිබිච්ච අන්තිම මනුස්සයා ඔය ආවේ.ඒ නිසා අපි අලියට ගහන්න එපා කියන්නෙ නැහැ. මොකද අලියට ගහන්න කෙනෙක් දැන් නැහැ" - ඇමති වීරවංශගේ ප්‍රකාශය ජනමාධ්‍යයන් විසින් වාර්තා කොට තිබුනේ ඒ ආකාරයටය. වීරවංශගේ මේ ප්‍රකාශයට හැරෙන තැපෑලෙන් පිලිතුරක් එජාප මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් සපයා තිබුනි. තමා වන්ෂොට් බවත් තමාට ඇත්තේ "හොද පිරිමි හඩක්" බවත් වීරවංශට පිලිතුරු ලෙස හෙතෙම සදහන් කොට තිබුනේ කුරුනෑගල මැතිවරන රැස්වීමක දීය.

දේශපාලනයේ දී "පිරිමි හඩවල්" මේ තරම් වැදගත් වන්නේ ඇයි? ඇමති වීරවංශට අනුව පිරිමි හඩ සහිත අවසන් පුද්ගලයාත් ඉවත් වී ඇති බැවින් එජාපය තුල ඡන්දය ලැබීමට සුදුස්සෙක් තවදුරටත් ඉතුරු වී නැත. "පිරිමි හඩක් තිබීම" ඡන්දය දීමේදී සැලකිය යුතු සුදුසුකමක් වන බව මින් ව්‍යංගව ගම්‍ය වන අදහසයි. රන්ජන් රාමනායක වීරවංශගේ මේ ප්‍රකාශය සලකා ඇත්තේ තම පක්ෂයට සිදුකල අපහාසයක් වශයෙනි. සිය පුරුෂභාවය ඔප්පු කිරීම සදහා වහාම ඔහු ඉදිරිපත් වන්නේ එබැවිනි. දේශපාලනය තුල පිරිමි හඩෙහි වැදගත්කම මෙහිදී රාමනායක ද වීරවංශ තරම්ම පිලිගෙන තිබේ. වීරවංශ 'එජාපය තුල පිරිමි නැහැ' කියද්දී රාමනායක 'ඇයි යකෝ මම පිරිමියෙක් නොවේදැ'යි අසයි. පුරුෂභාවය දේශපාලන පක්ෂයක අත්‍යවශ්‍ය ලක්ෂනයක් ලෙස මේ අනුව මේ දෙදෙනා අතරම අවිඥානික සම්මුතියක් පවතී.

මේ ලිංගවාදය ( Sexism ) සමාජය තුල කෙතරම් තදින් මුල්බැහැගෙන තිබේද යන්න විදහා දක්වන අනගි උදාහරනයකි. සමාජයේ ඇති වී තිබෙන ශ්‍රම විභජනය තුල දේශපාලනය 'පිරිමි වැඩකි'. පුරුෂභාවය දේශපාලනය තුල උත්කර්ෂයට නැගෙන්නේ ඒ අනුවය. 2005 ජනාධිපතිවරනය අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ "වීර සිංහල පුරුෂයෙක්" ගේ ඉමේජය නිරූපනය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරන වේදිකාවල දී බොහෝ විට කියැවුනු කරුනකි. පවුල යනු ස්ත්‍රියගේ ක්‍රියාකාරී ක්ෂේත්‍රයයි. රාජ්‍යය සහ දේශපාලනය යනු පුරුෂයාගේ ක්‍රියාකාරී ක්ෂේත්‍රයයි. විධිමත් නීතිය අනුව ස්ත්‍රීන්ට දේශපාලනයේ යෙදීමෙහිලා කිසිදු ප්‍රකාශිත තහනමක් නැත. එහෙත් යථාර්ථයේදී දේශපාලනයේ යෙදෙන්නේ පුරුෂ සම්මතයන් වෙත ලගා වීමේ හැකියාව දක්වන ස්ත්‍රීන් පමනි. උදාහරනයක් ලෙස ලංකාවේ දේශපාලනය තුල යම් ස්ථාවරත්වයක් අත්පත් කරගත් බොහෝ ස්ත්‍රී චරිත වැන්දඹු චරිත වීම සලකා බලමු. සිරිමා බන්ඩාරනායකගේ සිට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දක්වා චරිත දේශපාලනය තුල ස්ථාවර වන්නේ ඔවුන් 'මහා පුරුෂයින්ට අත්වැල සැලසූ බිරින්දෑවරු' වීම නිසාය. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වැනි අයෙක් ගත්විට එහිදී ක්‍රියා කරන්නේ 'භාරත ලක්ෂ්මන්ගේ දියනිය' නමැති සාධකයයි. මේ සෑම අවස්ථාවකදීම මේ අයට ස්වාධීන අනන්‍යතාවයක් නැත. සමාජය මේ අයව හදුනාගන්නේත්, කියවන්නේත් ඇය හා සම්බන්ධ අනෙත් පිරිමි චරිතය හරහාය. එනම් එස්.ඩබ්.ආර්.ඩී.බන්ඩාරනායකගේ බිරිද, විජය කුමාරතුංගගේ බිරිද ආදී වශයෙනි. ( දේශපාලන චරිත ලෙස හැදින්විය නොහැකි අනර්කලී, උපෙක්ෂා ස්වර්නමාලි වැනි ස්ත්‍රී ශරීර මෙහිදී මොහොතකට අමතක කර දමමු )

දේශපාලන පක්ෂ තුල, පලාත් සභා, පාර්ලිමේන්තුව වැනි ධනේශ්වර නියෝජිත ආයතන තුල කාන්තා සහභාගිත්වය ලංකාවේදී ඉතාමත් දුර්වලය. පාර්ලිමේන්තු මට්ටටම්දී එය‍ නොගිනිය හැකි තරම් සුලු එකකි. ස්ත්‍රිය පිලිබද පසුගාමී අදහස් අභියෝගයට ලක්කල ( මුල්කාලීන) ලංකා සමසමාජ පක්ෂයේ සෙලීනා පෙරේරා වැනි රැඩිකල් චරිත අතරින් පතර හමුවුවද වාමාංශික සංවිධාන තුල ද ‍මේ සම්බන්ධයෙන් දක්නට ඇති තත්වය සතුටුදායක එකක් නොවේ.

ස්ත්‍රීන්ගේ මේ අවම දේශපාලන භූමිකාවට හේතුව කුමක්ද? දේශපාලනය වැනි විෂයකට සම්බන්ධ වීමට ස්ත්‍රීන් තුල පවා දක්නට ලැබෙන්නේ මන්දෝත්සාහීභාවයකි. එසේ නම් මෙය මනෝ විද්‍යාත්මක කාරනයක් - එනම් ස්වභාවයෙන්ම ස්ත්‍රීන් දේශපාලනය වැනි දේට සම්බන්ධ වීමට දක්වන අකමැත්තක් ලෙස විස්තර කල හැකිද?

ස්ත්‍රීවාදී න්‍යායවේදිනියක කැතරින් මැක් කිනොන්ට අනුව ස්ත්‍රිය හා පුරුෂයා අතර වෙනස බිහි වෙන්නේ ආධිපත්‍යය තුලිනි. සියවස් ගනනාවක් පැරනි පුරුෂාධිපත්‍යය විසින් ස්ත්‍රියගේ හා පුරුෂයාගේ භූමිකාවන් පිලිබද කතිකාව නිර්මානය කොට ඇත. පවුල ස්ත්‍රියගේ ක්‍රියාකාරී ක්ෂේත්‍රය ලෙසත්, දේශපාලන පිරිමියාගේ ක්‍රියාකාරී ක්ෂේත්‍රය ලෙසත් සිදුකොට ඇති විභජනය මෙන්න මේ පුරුෂමූලික කතිකාවේ නිර්මිතයකි. මේ කතිකාව කෙතරම් දුරට ස්වභාවිකකරනය වී තිබේද යත් ස්ත්‍රිය පවා ' දේශපාලනය පිරිමි වැඩකි' යන අදහස පිලිගනී. පිරිමි හඩක් නැති නිසා එජාපයට ඡන්දය නොදිය යුතු යැයි වීරවංශ කියද්දී ඊට එරෙහි විරෝධයක් සමාජය තුලින් පැන නොනගින්නේ ස්ත්‍රියගේ හා පුරුෂයාගේ භූමිකා පිලිබද පුරුෂවාදී කතිකාව ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව සමාජය පොදුවේ පිලිගෙන තිබෙන නිසාය.

රෝසි සේනානායක වැනි ලිබරල්වාදීන් විශ්වාස කරන්නේ පාර්ලිමේන්තුවේ සියයට 25ක කෝටාවක් ස්ත්‍රීන්ට වෙන්කොට මෙම විෂමතාවය අබිබවා යා හැකි බවයි. මොවුන්ට නොවැටහෙන කරුන නම්-  සමාජ ව්‍යුහයේ තිබෙන විෂමතාවයක් හුදෙක් නීතිය තුල කරන ප්‍රතිසංස්කරනවාදී අන්ඩ දැමිම් වලින් ඉක්මවිය නොහැකි බවයි. ස්ත්‍රියගේ නිදහස රැදී තිබෙන්නේ පාර්ලිමේන්තුව තුල සියයට විසිපහේ කෝටා දීම වැනි 'උඩින් ' සිදුකෙරෙන නෛතික විජ්ජාවන් තුල නොවේ. සමාජය පහලින් - එහි ව්‍යුහය තුලින් මතුවී එන රැඩිකල් අරගලයක් තුලය.







11 comments:

  1. ///දේශපාලනයේ දී "පිරිමි හඩවල්" මේ තරම් වැදගත් වන්නේ ඇයි? ඇමති වීරවංශට අනුව පිරිමි හඩ සහිත අවසන් පුද්ගලයාත් ඉවත් වී ඇති බැවින් එජාපය තුල ඡන්දය ලැබීමට සුදුස්සෙක් තවදුරටත් ඉතුරු වී නැත. "පිරිමි හඩක් තිබීම" ඡන්දය දීමේදී සැලකිය යුතු සුදුසුකමක් වන බව මින් ව්‍යංගව ගම්‍ය වන අදහසයි. රන්ජන් රාමනායක වීරවංශගේ //මේ ප්‍රකාශය සලකා ඇත්තේ තම පක්ෂයට සිදුකල අපහාසයක් වශයෙනි. සිය පුරුෂභාවය ඔප්පු කිරීම සදහා වහාම ඔහු ඉදිරිපත් වන්නේ එබැවිනි. දේශපාලනය තුල පිරිමි හඩෙහි වැදගත්කම මෙහිදී රාමනායක ද වීරවංශ තරම්ම පිලිගෙන තිබේ. වීරවංශ 'එජාපය තුල පිරිමි නැහැ' කියද්දී රාමනායක 'ඇයි යකෝ මම පිරිමියෙක් නොවේදැ'යි අසයි. පුරුෂභාවය දේශපාලන පක්ෂයක අත්‍යවශ්‍ය ලක්ෂනයක් ලෙස මේ අනුව මේ දෙදෙනා අතරම අවිඥානික සම්මුතියක් පවතී.//

    රාමචන්ද්‍රගේ අඩවිය යැයි අමතනවාට වඩා මම උඹට රාමා යැයි ඇමතීම මට වඩා පහසුය. මම උඹව නොහඳුණමි. ලෙහෙසි පහසු වචණයකින් ඇමතීම පවා සමහරුන්ට පෙනෙන්නේ මම උඹේ මතය අණුමත කරන්නෙක් ලෙසය.සියළු අදහස් ගරු කල යුතු බව මම තරයේ අදහමි.

    අද උඹ මාතෘකා කරගන්නා විෂයේදී මම සියයට සියයක් සිටින්නේ උඹ වාඩි වෙන තැනය.මෙය සුහද සාකච්ඡාවක් වන තුරු ,උඹේ ඇරඹුමට හොඳ අදහස් එකතු වෙන තුරු මම බලා සිටිමි.

    ReplyDelete
  2. ETHA KOTA GEHENU AGAMATHI, JANADIPATHI UNE PIRIMI KATAHANDAWAL THIBILADA

    ReplyDelete
    Replies
    1. sirimawo,chandrika dennatama thibune pirimi katahadak

      Delete
  3. \\\" එජාපයේ හිටපු පිරිමි කටහඩක් තිබිච්ච අන්තිම මනුස්සයා ඔය ආවේ.ඒ නිසා අපි අලියට ගහන්න එපා කියන්නෙ නැහැ. මොකද අලියට ගහන්න කෙනෙක් දැන් නැහැ" \\\

    විමල් මේ කියන්නේ උපහාසෙට කියන දේ ඔබත් හොඳින් දන්නවා. එහෙම එකක් අල්ලන් මහා දේශපාලන කථිකාවක් , පුරුෂ ආධිපත්‍ය , කාන්තාවගේ පසුගාමීත්වය ගැන කතා කරයි නම් එය විහිළුවක්..


    දේශපාලනයට අවශ්‍ය කරන්නේ කොන්ද කෙළින් තියන් වැඩ කරන , හරි දැක්මක් , පරිපාලනය ගැන දැනුමක් තියෙන මිනිස්සු . ගැහැණුද , පිරිමිද කියන කාරණාව අදාළ නැහැ . ලංකාවේ දේශපාලනය තුළ වෙන්නේ ප්‍රෝඩාවක්. එවැනි ප්‍රෝඩාවක් වෙනත් වචන , සන්ධර්භ තුලින් විග්‍රහ කිරීමෙන් ඵලක් නැහැ.

    පුරුෂ දේශපාලනය සහ කාන්තා දේශපාලනය ගැන කතා කරන්න තරම් දෙයක් නැහැ ලංකාව තුළ. ( බ්ලොග් පෝස්ට් පුරවන්න නම් හොඳයි )


    ReplyDelete
    Replies
    1. //විමල් මේ කියන්නේ උපහාසෙට කියන දේ ඔබත් හොඳින් දන්නවා. එහෙම එකක් අල්ලන් මහා දේශපාලන කථිකාවක් , පුරුෂ ආධිපත්‍ය , කාන්තාවගේ පසුගාමීත්වය ගැන කතා කරයි නම් එය විහිළුවක්..//

      මේ "ජෝක් කථාව" තුලින් එලියට පනින්නේ විමල්ගේ අවිඥානය.රන්ජන්ගේ පිලිතුර තුලිනුත් එලියට පනින්නේ ඔහුගේ අවිඥානය. පිරිමි කටහ‍ඩේ වැදගත්කම ගැන අවිඥානිකව මේ සියල්ලන් අතර සම්මුතියක් තිබෙන බවයි මට පෙන්නුම් කරන්න අවශ්‍ය කලේ.

      Delete
    2. මට නම් වීරවංශගේ හා රන්ජන්ගේ අවිඥානයට වඩා මෙතැන වැදගත් ලෙස පෙනෙන්නේ, මේ සියළු කතා ඉලක්ක කරගන්නේ වර්ථමාන ශ්‍රී ලාංකික පොදු ජන විඥානය වීමයි. ඒ තුල අගය කරන්නාවූ දේවල් තමන් තුල ඇතිබව සහ ප්‍රතිවාදියා තුල නැතිබව පෙන්වීමනේ මේ කරන්නේ...

      Delete
  4. වීරවංස කියන කතා නම් සත පහකට ගණං ගත යුතු නෑ. ඒත් මේ කතාවෙන් කියවෙන්නෙ ලංකාවෙ පොදුවේ පිළිගත්තු එක සංකල්පයක් . දේශපාලනයට පිරිමි කමක් තියෙන්න ඕනය කියන එක.

    2005 ජනාධිපතිවරණයෙදි රූපවාහිනියෙ පුන පුනා ප්‍රචාරය කරපු දැන්වීමක්..මහින්ද රාජපක්ෂ සරම එක අතකින් පොඩ්ඩක් උස්සගෙන වේදිකාවකට පනින එක. එතනෙ පඩි පෙලක් තිබ්බට එයා කෙලින්ම පනිනව වේදිකාවට. ...වේරලියද්දගෙ " පණ ඇති මිනිහෙක් " ද මොකක්ද කියල සිංදු කෑල්ලකුත් ඒ අස්සෙ දානවා..ඒකෙං කියන්න පොදු පෙරමුණේ ප්‍රචාරක කටයුතු බාර උදවිය පෙන්නන්න හැදුවෙ මහින්දගෙ පිරිමි කම වෙන්න ඕන. කොහොම හරි වැඩේ සාර්ථකයි..මහින්ද දිනුවනෙ බොහොම සුළු වැඩි ඡන්ද ගානකින්. ඒ සුළු ඡන්ද ගාන ලැබුණෙ අර ස්ටේජ් එකට පැනිල්ල නිසා වෙන්නත් පුළුවන්...

    මේ ඊයෙ පෙරේද ගල් විහාරෙ සැතපෙන පිළිමෙ අර ගමපහ කට්ටියක් හෝදල ලොකු ආන්දෝලනයක් උනානෙ. එතන මාධ්‍යයවල උලුප්පලා දැක්කුවෙ පිළිමෙ උඩ කාන්තාවක් නැඟල හිටියය කියල. අන්තිමට ඒ හිටියෙ කොණ්ඩෙ වවාගත්තු පිරිමියෙක්ය කියල කියන්නත් සිද්ද උනා. මේකෙන් කියන්නෙ පිළිමෙ උඩට පිරිමියෙක් නැග්ගනම් ඒ හැටි අවුලක් නෑ කියන එක නෙවෙයි නම් වෙන මොකක්ද? පිළිමෙ උඩට නඟින එක වැරදිනං කවුරු නැග්ගත් වැරදියි. ඒකට මොකටද ආයෙ ගෑණු පිරිමි භේදයක්?

    ReplyDelete
    Replies
    1. දීපිකා ප්‍රියදර්ශනී ගයන ගීයක පද දෙකක් මේ,

      “මව්වරු මයි ලොව බුදුවන්නේ-පියවරු මයි ලොව බුදුවන මව්නට ඒ විවරන දෙන්නේ“
      තව ගීයක තියෙනවා
      “ජයසිරිමා රජුනේ මට පිරිමි පුතෙක් දෙන්නයි“ කියල
      මේ හැදෙයකින් ම පෙන්වන්නේ සමාජ ආකල්ප න්ද

      Delete
  5. මේක මම අහල තියෙනකතාවක්,
    1971 කැරැල්ල වෙලාවේ කැබිනට් මණ්ඩලයේ හිටපු එකම පිරිමියා බණඩාරණායක මැතිණිය ලු.

    ReplyDelete
  6. සියයට 50% කාන්තාවෝ ගැන මොකක්ද කතා කරන්නේ. රජෙකුට බය වෙච්ච පොන්නයෝ නේ 100% ඉන්නේ. මුන්ගේ කටහඬ විතරයි පිරිමි අර සැටලයිට් නෝනගේ වගේ.. ඔක්කෝම පොන්නයෝ... සමාවෙයන් රාමා.. මට වෙන කොමෙන්ට් එකක් එන්නේ නෑ.. මේ පුරුෂ ශක්තිය ඇති පිරිස ගැන ලියන්න..

    ReplyDelete
  7. විමල් වීරවංශගේ හීනමානය එලි දැක්වීමක්,

    ReplyDelete