Thursday, June 27, 2013

අධාර්මික මහින්ද රාජපක්ෂ සහ සැදැහැවත් රූපට් මර්ඩොක්

කාගේ මර්දනය ද? 
නමාධ්‍ය සදහා ආචාරධර්ම මාලාවක් නිකුත්කිරීමට රජය විසින් යෝජනා කිරීමත් සමග මාධ්‍ය මර්දනය පිලිබද සාකච්ඡාව අලුත් වටයකින් පෙරට පැමින තිබේ . මාධ්‍ය නිදහස පිලිබද ක්‍රියාකාරීහු ගනනාවක් රජයේ මෙම පිලිවෙත මාධ්‍යවේදීන්ගේ නිදහස සීමා කරන්නක් බව පෙන්වා දෙන්නට වූහ. මේ අදහස් දැක්වීම් වලදී රජය ජනමාධ්‍යවේදී නිදහසට ඇගිලි ගැසීම දැඩි ලෙස හෙලා දැකීමට ද පාත්‍ර විය.

මාධ්‍ය නිදහස පිලිබද සාකච්ඡාව සාමාන්‍යයෙන් භ්‍රමනය වන්නේ රාජ්‍ය මර්දනය නමැති අක්ෂය වටාය. 90 දශකයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සිට අද දක්වා වූ විවිධ මාධ්‍යවේදී සංවිධාන  එක් එක් ආන්ඩු ජනමාධ්‍යයන්ට එරෙහිව කරනු ලබන අනිසි බලපෑම් ප්‍රශ්න කර තිබේ.

අප එම නිසා තරමක වෙනස් ප්‍රශ්නයක් විමසමු. මාධ්‍යවේදීන් නිදහස් විය යුත්තේ රජයෙන් පමන ද? රජයේ ජනමාධ්‍ය ආචාර ධර්ම වලට විරෝධය දක්වමින් පසුගිය දිනවල පත්තර පිටු පිරවූ තිසරනී ගුනසේකරගේ සිට රාවය වැනි ලිබරල් පුවත්පත්වලට ලියන බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී ලේඛක භවතුන් අතාර්කික වන එක් ස්ථානයක් වනුයේ මෙම ප්‍රශ්නයයි. 

මේ ප්‍රශ්නයට ප්‍රවේශයක් ලෙස 1984 දී එංගලන්තයේ හටගත් පතල්කරුවන්ගේ වැඩවර්ජනය සමයේ “සන්” පුවත්පත ආශ්‍රිතව ඇතිවූ සංසිද්ධියක් සාකච්ඡාවට ගත හැක. මාග්‍රට් තැචර්ගේ රජය සමග එංගලන්ත කම්කරු ව්‍යාපාරය තීරනාත්මකව අභිමුඛ වූ වැඩවර්ජනයක් වූ එය එක්තරා ආකාරයක අවි නොගැටෙන සිවිල් යුද තත්වයක් කරා රට ගෙන ආවේය. රූපට් මර්ඩොක් නමැති ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාට අයත් “සන්” නමැති ටැබ්ලොයිඩ් පුවත්පත එම වැඩවර්ජන සමයේ තදබල වර්ජන විරෝධී ස්ථාවරයක් අනුගමනය කලේය. වර්ජනයේ උච්චතම කාලයේ නිකුත් වූ සන් පුවත්පතේ එක් කලාපයක මුල් පිටුව සරසා තිබුනේ පතල්කරුවන්ගේ වෘත්තීය සමිතියේ නායක ආතර් ස්කාගිල්  අත ඔසවා යමෙක්ට ආචාර කරන විශාල උඩුකය ඡායාරූපයකිනි .අහඹු ලෙස ගෙන තිබූ එම ඡායාරූපයේ ස්කාගිල් අත ඔසවාගෙන සිටින ආකාරය හිට්ලර්ගේ නාසි ආචාරයට සමාන වූවකි.මෙම ඡායාරූපය සමග ලියැවුනු මුල්පුවත ස්කාගිල් නාසිවාදියෙක් බවත් වැඩවර්ජන ව්‍යාපාරය එනිසා නාසිවාදී ව්‍යාපාරයක් බවත් හැගවෙන ආකාරයෙන් ලියා තිබුනි. 

ආතර් ස්කාගිල් හිට්ලර්ට සමාන කරමින්
සැලසුම් කර තිබූ "සන්" හි මුල්පිටුව
මෙලෙස සකස් කොට මුද්‍රනයට යවනු ලැබූ පුවත්පතේ මුල් පිටුව කවදාවත් මුද්‍රනද්වාරයෙන් එලියට පැමිනියේ නැත. එම පිටුව කම්කරු ව්‍යාපාරයට කල අපහාසයක් ලෙස හෙලාදුටු මුද්‍රන කම්කරුවෝ එය මුද්‍රනය කිරීම ප්‍රතික්ෂේප කලහ. අවසානයේ සන් පුවත්පත පිටවූයේ මුල්පිටේ විශාල හිස්තැනක් සමගය. ඒ හිස්තැනේ “ආතර් ස්කාගිල්ගේ පින්තූරය හා මුල්පුවත පලකිරීම සේවකයින් ප්‍රතික්ෂේප කල නිසා මෙවර කලාපය ඒ කිසිවක් නැතිව පල කෙරේ” යනුවෙන් මුද්‍රනය කොට තිබුනි. 

මේ මාධ්‍ය සේවකයින් මාධ්‍ය ආයතනයක මෙහෙයවීම එහි හිමිකරුගේ අතින් තම අතට ගත් ඓතිහාසික මොහොතක් සම්බන්ධ නිදසුනකි. නූතන මාධ්‍යවේදියා අන් සියල්ලටම පෙර ප්‍රාග්ධනයේ වහලෙකි. රූකඩයකි. ඔහුගේ “නිදහස” ප්‍රාග්ධනය විසින් නිර්නය කරනු ලැබේ. රජය කඩා පනින්නේ ප්‍රාග්ධනය විසින් කොහොමත් සීමා කොට ඇති ඔහුගේ “නිදහස” තුලටය. රජය කඩා නොපැන්නත් එනයින්ම මාධ්‍යවේදියාගේ ඊනියා නිදහස සීමා කොට සිර කරන ලද්දකි. 

වැරදුනු සැලසුම - සැබැවින්ම එලියට ආ පුවත්පත
උදාහරනයක් ලෙස දෙරන රූපවාහිනී ආයතනයේ දිල්කා සමන්මලී මහත්මිය ඇතැම්විට ගලගොඩඅත්තේ ඥානසාරගෙන් හෝ රන්ජන් රාමනායකගෙන් ප්‍රශ්න ඇසූ ආකාරයට නාමල් රාජපක්ෂගෙන් හෝ ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න විචාරීමට කැමැත්තක් දක්වනවා විය හැක. එහෙත් ඒ සදහා “නිදහස” ඇයට දෙරන ප්‍රාග්ධන හිමිකාරීත්වය විසින් ලබාදෙන්නේ නැත. සිරස මාධ්‍යවේදීන්ගේ “ගවේෂනශීලීත්වය” හා “නිර්මානශීලීත්වය” මහාරාජාගේ ප්‍රාග්ධනය නමැති හතර කෙලවර තුල නතර වූවකි. සිංහල ජාතිය වෙනුවෙන් කෑ මොර දෙන නේශන් හා රිවිර පුවත්පත් පවත්වාගෙන යන්නේ බුකී හිමියෙක් වන රවී විජේරත්නය. විජේරත්නගේ ප්‍රාග්ධන දේශපාලන අවශ්‍යතා විසින් අනුමත කරන තාක් දුරට සිය පෑන හැසිරවීමට සිංහල බෞද්ධ මාලින්ද සෙනෙවිරත්නට “නිදහස” තිබේ. මෙවැනි උදාහරන අටෝරාසියක් ඇවැසි නම් ගෙන හැර දැක්විය හැක. ධනපතියාගේ ලාභයට සේවය කරන තාක් දුරට , ඒ තාක් දුරට පමනක් , ශිල්ප දැක්වීමට මාධ්‍යවේදියා නමැති වැටුප් ශ්‍රමිකයාට අවසර දී තිබේ. 

ප්‍රාග්ධන හිමිකාරීත්වයේ මෙම ආධිපත්‍යය තුල සිය නිර්මානශීලීත්වය හෝ ගවේෂනශීලිත්වය පූර්න අයුරින් විකසිත කරගැන්මට මාධ්‍යවේදියා කිසිදිනෙක ඉඩ නොලබයි. මන්ද මාධ්‍යවේදියා පිනුම් ගැසිය යුත්තේ ප්‍රාග්ධන හිමියා විසින් අදිනු ලැබූ සර්කස් පථය තුල වන බැවිනි. මෙහිදී අපට නැවත මුල් ප්‍රශ්නයට යොමුවිය හැක. මාධ්‍යවේදියා නිදහස් විය යුත්තේ රජයෙන් පමනද? ප්‍රාග්ධනයේ ආධිපත්‍යය විසින් මාධ්‍යවේදියා යටත් කරගෙන සිටීම සුනන්ද දේශප්‍රිය වර්ගයේ ලිබරල් ක්‍රියාකාරීන්ට විෂය නොවන්නේ මන්ද? රජයේ අඩත්තේට්ටම් වලින් නිදහස් වූ පමනින් ජනමාධ්‍ය නිදහස සාක්ෂාත් වන්නේද? 

පුවත්පතක් සැලසුම් කිරීමේ සිට එය මුද්‍රනද්වාරයෙන් එලියට දැමීම දක්වා සියලු කටයුතු මාධ්‍ය සේවකයින් විසින් සිදුකෙරේ. ප්‍රාග්ධන අධිපතියා අදාල මාධ්‍යයෙන් යම් ලාභයක් ලබයි නම් ඒ ලාභය ගලා එන්නේද මාධ්‍ය සේවකයින්ගේ දක්ෂතාවය හා කැපවීම් තුලිනි. තතු එසේ නම් ප්‍රාග්ධන හිමිකාරීත්වයේ ආධිපත්‍යය යටතේ මාධ්‍යවේදියා පසුවිය යුත්තේ ඇයි? පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩතලන මහත්වරු  ධනේශ්වර මාධ්‍ය කර්මාන්තය තුල පවතින අධිපති-යටත්වැසි සම්බන්ධය ගැන පවසන්නේ කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදය පැවැතිය යුත්තේ පාර්ලිමේන්තුවේ පමනද? එය වැඩබිමට ගෙන ඒම පිලිබද මාධ්‍ය සංවිධාන හඩ නොනගන්නේ මන්ද? තමාව පාලනය කිරීමේ බලය 1984 වර්ෂයේ එක්අවස්ථාවකදී  “සන්” පුවපත්පතේ කම්කරුවෝ රූපට් මර්ඩොක්ගෙන් සියතට උදුරා ගත්හ.ලංකාවේ සියලු මාධ්‍යවේදී ශ්‍රමිකයෝ “සන්” පුවත්පතේ සේවකයින්ගේ ආදර්ශය අනුගමනය කල යුතු බව අප කිවහොත් - සුනන්ද දේශප්‍රිය මහතා හෝ තිසරනී ගුනසේකර මහත්මිය අප සමග එකග වනු ඇද්ද? 


9 comments:

  1. ලෝකය සුවිසල් ප්‍රාග් දනය සහිත ආයතන වලින් පාලනය වන යුගයක ඔබේ කතාව ඇත්තය. පත්තර කරුවන්ට මුදලාලි කෙනෙකු යටතේ වැඩ කරන්නට සිදු වෙයි. ඔබට Blogger (google නමැති සුපිරි ආයතනයට අයත්) යටතේ නොමිලේ ලිවීමට ලැබී ඇත. Google ආයතනේ දත්ත ඕනෑ වෙලාවක ඇමරිකානු රහස් ඔත්තු සේවයට දීමට ලෑස්ති බව දැන් වන විට ලෝකය දනී.

    දැනට ඔබ ලියන දෙයින් ඇමරිකාවට හෝ අනිකුත් ප්ර්ග්දනය සහිත විශාල සමාගම් වලට බල පෑමක් නැත. (කොටින්ම ඔබ ඔවුන්ට උදව්වකි) කවද හෝ ඔබ පවතින coorporate monarchy එකට තර්ජනයක් උවහොත් ඔබටත් වලිගය අකුලගන්නට සේදු නොවේ යයි ඇති සහතිකය කුමක්ද?

    එදාට ඔබ “සන්” පුවපත්පතේ කම්කරුවෝ වගේම Google ආයතනය සියතට ගන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවනම් මට ඔබෙන් අහන ප්‍රශ්නයක් නැත.

    ReplyDelete
  2. මගේ මතයත් මෙයයි. මම නම් හිතන්නේ, දේශපාළකයන් වගේම, පත්තරේ අයිතිකාරයන්ගෙනුත් ලකුණු දාගන්න, ජේෂ්ඨ, අදීන, නිර්භීත මාධ්‍යවේදියෝ ස්වයං වාරණ දාගෙන, එයාලගෙම ආචාර ධර්ම සෙට් එකක් දාගෙන ඉන්නේ. ඕවට කියන්නේ ආචාර ධර්ම නෙමෙයි. අපි නම් කියන්නේ "ධර්මෙ" කියලා..

    ReplyDelete
    Replies
    1. මට සමන්තා ෆෝක්ස්ගේ මතකයත් ඇවිස්සුනා...

      Delete
  3. ඕකට කරන්න තියෙන්නේ තම තමන් කැමති මතවාද තියෙන පත්තර හෑලි වලට ගිහිල්ලා හේත්තු වෙන එකයි..ඒතකොට කාට උනත් බොක්කෙන්ම ලියන්න පුලුවන්...දැන මාලින්ද සෙනෙවිරත්තන කරන එකේ මට වැ‍රැද්දක් පේන්නේ නැත්තේ එකයි...

    අනිත් එක ප්‍රාග්ධනය හා එහි කලමණාකරනය නැතුව පත්තර අච්චු ගහන්නේ ගස් කොල වලද?...ඔය ප්‍රාග්ධනය නැතුව ගිහිල්ලා 'හිරු' ට වෙච්චෙ වැඩේ අපට වඩා රාමචන්ද්‍ර දන්නවා.....

    ReplyDelete
  4. රාමචන්ද්‍ර, 13වන ව්‍යවස්ථා සංශෝධනය සහ උතුරු පලාත් සභා මැතිවරනය ගැන ඔබේ අදහස කුමක්ද?

    - Dimithri

    ReplyDelete
    Replies
    1. පලාත් සභා ඡන්දය සීමිත ප්‍රතිසංස්කරනයකි.එහෙත් එය පැවැත්විය යුතුයි.තමා වෙනුවෙන් තීරන ගැනීමට දෙමල ජනයාට තිබෙන අයිතිය පිලිගත යුතුය.

      http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2013_05_01_archive.html

      //දෙමල ජනයාගේ "සැබෑ" ප්‍රශ්නය කුමක් දැයි තීරනය කල යුත්තේ කවුද? පිලිතුරු සපයා ගතයුතු මූලික ප්‍රශ්නය එයයි. දෙමල සමාජයේ සැබෑ ප්‍රශ්නය අරක නොව මේක යැයි කියමින් පුවත්පත් සාකච්ඡා තබන්නේ, පත්‍රිකා බෙදන්නේ සිංහල දේශපාලකයින් සමූහයකි. තමුන්ට තිබෙන සැබෑ ප්‍රශ්නය කුමක් දැයි තීරනය කල යුත්තේ දෙමල ජනයා මිස මෙම අවස්ථාවාදී තක්කඩීන් නොවේ. තමාගේ සැබෑ ප්‍රශ්නය යටිතල පහසුකම් නම් දෙමල ප්‍රජාව එය ප්‍රකාශ කරනු ඇත. තමාගේ සැබෑ ප්‍රශ්නය දේශපාලන නිදහස නම් දෙමල ප්‍රජාව එයත් ප්‍රකාශ කරනු ඇත. අවශ්‍ය කරනුයේ එම තීරන ගැනීම සදහා දෙමල සමාජයට තිබෙන අයිතිය සහ නිදහස පිලිගැනීමය.

      එය වූ කලී මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගත හැකි වඩාත්ම ප්‍රජාතාන්ත්‍රික ස්ථාවරය වන‍්නේය.//

      Delete
    2. ස්තුතියි..

      //අවශ්‍ය කරනුයේ එම තීරන ගැනීම සදහා දෙමල සමාජයට තිබෙන අයිතිය සහ නිදහස පිලිගැනීමය//

      ඔබ මෙයින් අදහස් කරන්නේ ස්වයං නීර්න අයිතිය (හෝ එවන් වූ අයිතියක්) විය යුතුයි.

      - Dimithri

      Delete
  5. කොහොමත් මාධ්‍ය ක්‍රියාකරන්නේ ප්‍රාග්ධනය මෙහෙයවන බලපුලුවන්කාරයන්ගේ ආචාර ධර්ම පද්ධතියට එකඟවය. සුලු වෙනස් කම් කීපයක් තිබේ. තමා සේවය කරන්නේ කුමන පාටින් යුත් ප්‍රාග්ධනයටදැයි යන්න එකක්.
    විකල්ප අදහස් ගලා ඒම කොහොමත් නතර කිරීමට බෑ.

    පුද්ගලයින්ට මඩ ගැසීම, චරිත ඝාතනය සමාජ දුෂණය, දැනුවත් සංස්කෘතික හා ආගමික සංහාර, මනස් විකෘති කරන අසභ්‍ය විකාර ආදී ක්‍රියා මාධ්‍ය නිදහස යයි කියා කෙනෙක් හිතනවා නම් එයත් වැරදියි.

    කොහොමත් ඒවට වැඩි ආයුශ නැත. සිරිමා මැතිණියට 77දී කල අසභ්‍ය අපහාස, ප්‍රේමදාස සමයේ චන්ද්‍රිකා සමයේ හතු මෙන් පිපුන ටැබ්ලොයිඩ් පත්තර සමාජ සේවයට වඩා සමාජ දුශනයකි කලේ.

    කුමන කලාව හෝ ගණිකා වෘත්තියෙ යෙදවූ අයට කාලයාගේ අවෑමෙන් කොහොමත් බැස්ටිය ලැබේ. ඒ නිසා ඔය කියන ආචාර ධර්ම පද්ධති අටවන්නේ කාගේ යහපතටදැයි කියන්න ඕනෑ නැත.

    ReplyDelete