Friday, May 17, 2013

දෙමල ජනයාගේ සැබෑ නියෝජිතයා හෙල උරුමයද? විමල් වීරවංශද?

එන්න අපි විජයග්‍රහනය සමරමු!

තුරු පලාත් සභා මැතිවරනය පැවැත්වීම බෙදුම්වාදයට පාර කපන්නක් බව ජනතා විමුක්ති පෙරමුනු මන්ත්‍රී අනුර දිසානායක ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සදහන් කොට තිබුනි. මේ අනුව උතුරු පලාත් සභා ඡන්දය පැවැත්වීමට එරෙහිව ‍මේ දිනවල රගදැක්වෙමින් තිබෙන පෙරහැරට අලුත් බොරු කකුල්කාරයෙක් එකතු වී සිටී. විමල් වීරවංශ‍ගේ පක්ෂය උතුරේ මැතිවරනය පැවැත්විම රට බෙදීමට තුඩු දෙන්නක් ලෙස සදහන් කරමින් කොලඹ කොටුවේ අත් පත්‍රිකා දශ ලක්ෂයක් බෙදාහැරීමේ වැඩසටහනක් පසුගිය දිනෙක දියත් කලේය. ආන්ඩුවෙන් වෙන්වී මැයි රැලිය පැවැත්වීමට හේතුව ලෙස ද ඔහුගේ පක්ෂය සදහන් කලේ පලාත් සභා ඡන්දය පිලිබද මත භේදයයි. ජාතික හෙල උරුමය පලාත් සභා ක්‍රමය ඇතුලු 13 වන සංශෝධනය ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන පනතක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව පැවසේ.

දැනට ලංකාවේ උතුරු පලාතේ හැර සෙසු සියලු පලාත් වල පලාත් සභා ක්‍රියාත්මකය. තතු එසේ තිබිය දී උතුරේ පමනක් පලාත් සභා මැතිවරනය පැවැත්වීමට එරෙහිව එන විරෝධයේ මූලය කවරක්ද? පෙනෙන්නට තිබෙන ලකුනු අනුව මෙම මැතිවරනය දෙමල ජාතික සන්ධානය ජයගැනීම වැලැක්විය ‍නොහැක. රජය කේපී,දයා මාස්ටර්, දේවානන්දා, තමලිනි වැනි කවර තුරුම්පුවක් අත් හදා බැලුව ද දෙමල ජාතික සන්ධානය මෙම මැතිවරනය ජයගැනීමට ඇති සම්භාවිතාවය ඉහලය.

ඉඩම් හා පොලිස් බලතල සහිත පලාත් සභාවක් දෙමල ජාතික සන්ධානයට ලැබීම බෙදුම්වාදයට පාර කපනු ඇති බව පලාත් සභා මැතිවරනය පැවැත්වීමට එරෙහි වන්නන්ගේ තර්කයයි. ලංකාවේ සෙසු පලාත් වල පලාත් සභා ස්ථාපනය කොට තිබෙන්නේ ඉඩම් හා‍ පොලිස් බලතල ව්‍යවස්ථාවෙන් ඉවත් කොට නොමැති සන්දර්භයකදීය. මේ අනුව දකුනු පලාතේ ශාන් විජේලාල් ද සිල්වා, බස්නාහිර පලාතේ ප්‍රසන්න රනතුංග යනාදීහු මෙම බලතල නීතියෙන් භුක්ති විදිති. රනවක-වීරවංශ-සෝමවංශ ත්‍රිමූර්තියට එලෙස ප්‍රසන්න රනතුංග හෝ ශාන් විජේලාල් පලාත් සබා බලතල භුක්ති විදීමේ විරෝධතාවයක් නැත. ඔවුන් එක හෙලා විරුද්ධ වන්නේ සිංහල දකුන භුක්ති විදින මෙම බලතල දෙමල උතුර වෙත ලැබෙනවාටය.

ලංකාව සිංහලයින්ගේ රටක් ලෙස හගින සිංහල මහජාතිවාදය දෙමල ජනයා ජීවත් විය යුත්තේ සිංහලයාගේ අධිකාරී ක්ෂේත්‍රය තුල බව විශ්වාස කරයි. දේශපාලන බලතල මේ අනුව තිබිය යුත්තේ සිංහල දේශපාලන ප්‍රභූ තන්ත්‍රය අතේය. එම බලතල දෙමල දේශපාලන කන්ඩායම් සමග බෙදා ගැනීමට දරන උත්සාහයන් සිංහල මහජාතිවාදයේ දෘෂ්ටිකෝනයට අනුව සිංහලයාගේ අධිකාරියට ද්‍රෝහී වීමකි. රට පාවා දීමකි. දෙමලා මත සිංහලයා අභ්‍යාස කරන වරප්‍රසාදිත බලය හෑල්ලුවට ලක්කිරීමකි. බන්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමේ සිට වර්තමාන පලාත් සභා මැතිවරන විරෝධය දක්වා දෙමල දේශපාලන තන්ත්‍රය සමග බලතල බෙදාගැනීමට කරන ලද සෑම උත්සාහකයටම එරෙහිව සිංහල සමාජය තුලින් ගැඹුරු විරෝධතා මතුවිය. මේ විරෝධතා වල මූලය වනාහි "මේ සිංහල අපගෙ රටයි" යන අධිපතිවාදී පීඩක මනෝභාවයයි.  රනවක-වීරවංශ- සෝමවංශ ත්‍රිමූර්තිය විසින් නිරූපනය කරන්නේ එලෙස පැන නගින මහජාතිවාදී විරෝධයයි. මේ විරෝධයේ කිසිදු ප්‍රගතිශීලී හරයක් නැත. ඒ විරෝධය තුල අමු අමුවේ ගැබ් වනුයේ දෙමල සමාජය යටත් කොට තබාගැනීමට සිංහල අධිපති මනෝභාවය තුල තිබෙන පරපීඩක ආශාවයි.

පලාත් සභා මැතිවරනයට විරෝධය පාන සිංහල දේශපාලකයින් නැවත නැවතත් කියන්නේ දෙමල ජනයාගේ "සැබෑ" අවශ්‍යතාවය දේශපාලන බලතල නොව අවතැන් වූවන් පදිංචි කිරීම, යටිතල පහසුකම් වැනි වෙනත් වෙනත් අවශ්‍යතා බවයි. මේ කරුන දිසානායක මන්ත්‍රීවරයා ද අවධාරනය කොට තිබුනි. 

දෙමල ජනයාගේ "සැබෑ" ප්‍රශ්නය කුමක් දැයි තීරනය කල යුත්තේ කවුද? පිලිතුරු සපයා ගතයුතු  මූලික ප්‍රශ්නය එයයි. දෙමල සමාජයේ සැබෑ ප්‍රශ්නය අරක නොව මේක යැයි කියමින් පුවත්පත් සාකච්ඡා තබන්නේ, පත්‍රිකා බෙදන්නේ සිංහල දේශපාලකයින් සමූහයකි. තමුන්ට තිබෙන සැබෑ ප්‍රශ්නය කුමක් දැයි තීරනය කල යුත්තේ දෙමල ජනයා මිස මෙම අවස්ථාවාදී තක්කඩීන් නොවේ. තමාගේ සැබෑ ප්‍රශ්නය යටිතල පහසුකම් නම් දෙමල ප්‍රජාව එය ප්‍රකාශ කරනු ඇත. තමාගේ සැබෑ ප්‍රශ්නය දේශපාලන නිදහස නම් දෙමල ප්‍රජාව එයත් ප්‍රකාශ කරනු ඇත. අවශ්‍ය කරනුයේ එම තීරන ගැනීම සදහා දෙමල සමාජයට තිබෙන අයිතිය සහ නිදහස පිලිගැනීමය. 

එය වූ කලී මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගත හැකි වඩාත්ම ප්‍රජාතාන්ත්‍රික ස්ථාවරය වන‍්නේය. 

10 comments:

  1. මට නං තේරෙන ඉදිහට ඔය යාපනෙයි කොලඹයි ඉන්න සීමිත දේමල් පිරිසක් ඇරුනම බහුතර දෙමල ප්‍රජාව ලිදේ ඉන්න ගෙම්බන් ටිකක්...ලෝකයත් එක්ක ගත්තම සිංහල මිනිස්සු අවුරුදු 50ක් පිටිපස්සෙ නම් දෙමල මිනිස්සු ඉන්නේ අවුරුදු 100 ට එහා...

    චෙල්වනායගම ඉදලා සම්භන්දන් ල දක්වා කරන්නේ තමන්ගේ පැලැන්තියේ බලය ‍රැක ගන්න සාමන්‍ය දෙමල මිනිස්සුන්ට විස කවන එකයි...


    බෙදුම්වාද්ය මෙන්ම ක්‍රොධය වපුරන අවිශ්වාසය මේ ප්‍රශ්නෙට පිලිතුර නෙවෙයි කියලා විතරක් කියන්නම්.....

    ReplyDelete
    Replies
    1. //මට නං තේරෙන ඉදිහට ඔය යාපනෙයි කොලඹයි ඉන්න සීමිත දේමල් පිරිසක් ඇරුනම බහුතර දෙමල ප්‍රජාව ලිදේ ඉන්න ගෙම්බන් ටිකක්...ලෝකයත් එක්ක ගත්තම සිංහල මිනිස්සු අවුරුදු 50ක් පිටිපස්සෙ නම් දෙමල මිනිස්සු ඉන්නේ අවුරුදු 100 ට එහා...
      //

      එම නිසා අවුරුදු 50 ක් ඉස්සරහින් සිටින සිංහල පාලකයින්ට හමුදා බලය යොදා පසුගාමී දෙමල සමාජය පාලනය කිරීමේ අයිතිය තිබිය යුතුය.දක්ෂ තර්කයක්!!

      Delete
  2. මොවුන් මේ ඇත්තෙන් ම සේවය කරන්නේ දෙමළ ඊලාම්වාදීන්ටයි. මොවුන්ගේ ක්‍රියාමාර්ග හරහා උතුර ලංකාවේ කොටසක් නො වන බව පෙන්නුම් කෙරේ. එමගින් උතුර‍ට වෙන ම රාජ්‍යයක් ද යුක්තියුක්ත වේ.

    ReplyDelete
  3. මම නම් පලත් සභා ක්‍රමයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි, ලංකාව වගේ පොඩි රටකට අනවශ්‍ය දෙයක්. නමුත් සිනහවට කාරණය නම් මේකට විරුද්දව පිටකොටුවේ උපවාස කරපු උන් අද මේවා වල බඩ පිණුම් ගහන එක. එතකොට දැන් තියෙන ප්‍රශ්ණේ උතුරට පලා බබා දෙන එක. ඇයි මල හත්තිලව්වේ අපේ උන්ට හොඳනම් එහේ තිබ්බම් මක් වෙනවද. අනික රජීව් ඕක දුන්නෙත් උන්ට කොට. මම නම් කියන්නේ ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව රකිනවා කියලා පොරොන්දු වෙලා, ඒකට විරුද්ධව කතා කරන මොකා උනත් අල්ලලා ප්‍රෂ්න කරන්න ඕනේ අසාද් සාලි ප්‍රෂ්න කරා වගේ. සාලිට තැඹිලි පෙව්වේ නැති උනාට. මෙයාලට තැඹිලි පොවන්න කස්ටිය ඉන්නවනේ. හැබයි මූට කටු දුන්නට පාඩු නෑ. ටොමියාගේ ඇක්ටින් නම් සුපර් ඈ...

    ReplyDelete
  4. @“තමාගේ සැබෑ ප්‍රශ්නය දේශපාලන නිදහස නම් දෙමල ප්‍රජාව එයත් ප්‍රකාශ කරනු ඇත“ - හොදයි ඒ දේශපාලන නිදහස යනු වෙනම රටක් නම්, එය දීමට පෙර රටේ ජනමතය විමසීම අත්‍යවශ්‍යයි නේද? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වැඩිදෙනා ගේ කැමැත්ත නේ. රටේ බහුතර මතය උතුරේ වෙනම රටක් බිහිකිරීම නොවන බව නැවත නැවත ඔප්පු වී ඇති දෙයක්.උතුරේ සුලුතරය නොවේ සමස්ථ රටේ බහුතරය මතය නේද ක්‍රියාත්මක විය යුතුවන්නේ?

    ReplyDelete
    Replies
    1. ජය ශ්‍රී - ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බහුතරවාදය නෙමෙයිනෙ ‍මචං.සුලුතරයේ අයිතිවාසිකම් ගරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්.ගෙදර ගෑනියි මිනිහයි මිනිහගෙ අම්මයි ඉන්නව.ගෙදර ගෑනිට මිනිහ ගහනව.අම්ම ඒකට මුකුත් කියන් නැහැ. ගෑනි කියනව මට දික්කසාදය ඕනෙ කියල.එත‍කොට මිනිහ කියනව - බහුතරය ඒ කියන්නේ මායි අම්මයි උඹ දික්කසාද වෙනවට විරුද්ධයි ඒ හින්ද උඹ අපේ පාලනය යටතේ හිටපං කියල.ඒක ප්‍රජාතන්ත්‍රවාදය ද?

      Delete
  5. උතුරු පලාත් සභා ඡන්දය හොඳ දේශපාලනික සෙල්ලම් ටිකක් එලියට අවස්ථාවක් , ඡන්දයෙන් දිනිම සහ පැරදීමට අමතර දිනුම් පැරදුම් මේකත් එක්ක ගැටගැහිලා තියෙයි . මගේ මතයට අනුව පලාත් සභා යල්පැන ගිය අසාර්ථක විසඳුමක් , නමුත් නිසි කාලයේදි නිසි පියවර නොගත් නිසා දැන් කරගහන්න සිද්ධ වෙලා තියනවා . ඒ නිසා දකුණට පලාත් සභා තියේ නම් උතුරටත් ඒක දිය යුතුයි . පොලිස් හා ඉඬම් බලතල පලාත් සභා වලට ලැබුවත් ඒ හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම වලක්වා ගන්න විධි විධාන සලස්වා ගන්න පුලුවන් - උදා මධ්‍යම හෝ ෆෙඩරල් පොලිසියක්

    ReplyDelete
  6. රාමචන්ද්‍ර කියන්නේ දෙමල බෙදුම්වදය වෙනුවෙන් පෙනී හිටින කෙනෙක්. උතුරු පලත් සභාව TNA එක අනිවාර්‍යන්ම දිනනවා. නමුත් මේ බලතල සමගම උතුරු පලාත් සභාව දින්නොත් එය බෙදුම් වාදයට යන දීර්ඝ ගමනේ එක සැතපුම් කනුවක් වෙනවා නිසැකවම​. ලෝක තත්වයන් උදාහරනයක්ට ගත්තත් යුද්ධෙන් බැරි උන බෙදුම්වාදී අව්ශ්‍යතා බලය බෙදීම හරහා ලබා ගෙන තියෙනවා ඕනතරම්. සම්බන් න්ලා මේ අවශ්ථාවේ හොරගල් අහුලන්නේ ඒකටයි. චෙල්වනායගම්ගේ අද ටිකක් හෙට තව ටිකක් නියාය තමයි ඔහුගේ උපාය​. පසු ගිය වසරේ ඔහුගේ මඩකලපු දේශනයේ හරය තුල තියෙන්නේ ඔහු ඊලම අත් නොහැරි බවයි. ප්‍රභාකරන්ගේ යුද උපාය වෙනුවට ඔහු බලය බෙදීම හරහා පියවරෙන් පියවර ඉදිරියට යමින් ඊලම කරා යාමට සූදානම්. ඊනියා ජාත්‍යාන්තරයත් මේ සදහා පෙල ගැසී තියෙන බව පේනව​. මේ සත්‍ය හොදින්ම දන්නා රාමචන්ද්‍ර​, අජිත් ජයසින්හ වැන්නන් තක්කඩි ආකාරයෙන් පවසන්නේ අනෙක් පලාත් සභාවල ෂාන්ලා, මහීපාලලා, ප්‍රසන්නලා වැනි සිංහලයන් ගන්නා ආතල් ගැනීමට උතුරේදී සම්බන්දන්ලාටද ඉඩ දෙන ලෙසයි. පලාත් සභාව පිහිටුවීම හරහා තවත් එක් ප්‍රභූ පැලැන්තියකට සුඛවිහරනය විදීමේ අවශ්තාව ලැබුනා මිස ඒ කිසිදු පලාත් සභාවකින් පලාතේ මහජනයාට අත්වූ සෙතක් නම් නෑ. මේ සියල්ල දන්නා මෙම වාමාංශිකයන් ඉතාමත් කපටි සහ තක්කඩි ආකාරයේ මුග්ද ප්‍රශ්න අසමින් පෙනී හිටින්නේ දෙමල සමාජයේ ප්‍රභූ පැලැන්තිය වෙනුවෙන් මිස ඔවුන් නියෝජනය කරනවා යැයි වහසි බස් දොඩන ඊනියා නිර්දන පන්තියක් වෙනුවෙන් නම් නොවේ. උතුරේ දෙමල සමාජය පුරා හොදින් බැලූවිට පේන්නේ ඔවුන් පීඩාවට පත් වී සිටින්නේ ඊනියා සිංහල ජාතිවාදයක් නිසා නොවන බවයි. ඔවුන් විශාල කුල පීඩනයකින් ජීවත්වේ. සම්බන්දන්ලා වැනි ඊනියා කුලීනයන්ගේ අව්ශ්‍යතාව මෙම කුලහීනයන්ව තවදුරටත් පාගමින් පාලනය කිරීම සදහා බලය ලබා ගැනීමටයි. උදාහරනයකට උතුරේ කෝවියාර් වැනි කුලයක කිසිවෙක්ව ගෙදරකට හෝ වැද්දා ගැනීමට සම්බන්දන්ලා වැනි වෙල්ලායන් කැමති නොවේ. අද දෙමල සමාජය වෙනුවෙන් පෙනීහිටීමේ අයිතිය සින්නක්කර ලබා ගෙන ඇත්තේ මේ ඊනියා කුලීන වෙල්ලාලයන්‍ය​. උන් කුලහීන දෙමල සමාජයට කරනා පීඩනය රාමචන්ද්‍රන්ලාට කිසිදා නොතේරේ. තමන්ගේ මනෝ රාජික මාක්ස්වාදය​ සිංහල සමාජය විසින් ප්‍රතික්ශේපක කරන නිසා සිංහලයා කෙරෙහි වන​ ජන්මාන්තර වෛරය පිරිමහා ගන්නේ දෙමල ජාතිවාදින්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටීමෙනුයි. ලංකාවේ සෑම වාමාංශික පක්ශයක්ම දෙමල ජාතිවාදය වෙනුවෙන් පෙනී හිටින්නේ සිංහලයාට විරුද්ධවීමේ අවශ්‍යතාවය මතයි. ඒ සදහා දියාරු, බන්කොලොත් හම්පඩ න්‍යායන් ටොන් ගානක් මේ මනෝරාජිකයන්ගේ ශබ්ද කෝශවල ඇත​. පලාත් සභා ක්‍රමයට මාද මුල සිටම විරුද්ද අයෙක්මි. නමුත් පවතින යථාර්තය තුල උතුරේ චන්දය​ පැවත්වීමට අවශ්‍යම නම් මුලින්ම කල යුත්තේ ඉඩම් හා පොලිස් බලතල ඉන් ඉවත් කිරීමයි. අද දෙමල සමාජයේ වැඩිම පිරිසක් ජීවත් වන්නේ දකුණේ බව මොවුන් අමතක කරයි. අනෙක් අතට 83 ඊනියා කලු ජූලිය නිසා හෝ කොලඹ ජීවත් වෙන දෙමල ජනතාව අද වැඩි වීමක් මිස අඩු වීමක් සිදුවී නැත​. මේ යථාර්තය තක්කඩි ලෙස මග හරිමින් සිංහල ජාතිවාදය නැමති මුව හමට තඩි බාමින් තම වෛරය පිට කිරීමක් මේ වාමාංශික නඩ වලින් සිදුවේ.

    ReplyDelete
  7. http://lankacnews.com/sinhala/news/94954/

    බලය බෙදීමෙන් සියලු රෝග නිවාරනය වන බව පවසන වාමාංශික කේවට්ටයනි! දෙමල සංධානයේ මෙවැනි ප්‍රකාශ වලට ඔබලාගේ විග්‍රහ කුමක්ද​? මේ කියන විදිහටම දකුණ සිංහල නිජ භූමිය යැයි පවසමින් දකුණේ දෙමල මුස්ලිම් උන් පන්නා දැම්මොත් නම් උබලාගේ මූසල කටවල් ඇරෙනවා සිකුරුයි. දැන්වත් තේරුම් ගනින් දෙමල ජාතිවාදය කියන්නේ ෆැසිස්ට් බෙදුම්වාදයක් මිස ඊනියා විමුක්ති අරගලයක් නොවන බව​.
    අදෝමැයි! උබලාගේ ටිකිරි මොලයක් තරම​.......

    ReplyDelete
  8. රාමචන්ද්‍ර මොකද කාලෙකින් ලිපියක් (රාම තෙලක්) දැම්මේ (ඇරියේ) නැත්තේ?

    ReplyDelete